Skip to content

පටුනට යන්න

මිනිසාව නොව දෙවිව මහිමවත් කරන්න

මිනිසාව නොව දෙවිව මහිමවත් කරන්න

මිනිසාව නොව දෙවිව මහිමවත් කරන්න

මෑත මාසවලදී, පවත්වන ලද යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ “දෙවිව මහිමවත් කරන්න” දිස්ත්‍රික් සමුළුවට එක් රැස් වූ අවස්ථාවේදී, ලොව පුරා වෙසෙන ධර්මිෂ්ඨකමට ප්‍රිය කරන අය දෙවිව මහිමවත් කරන ආකාරය ඉගෙනගත්හ. එහි ඉදිරිපත් කරන ලද අධ්‍යාපනික වැඩසටහන අපි සලකා බලමු.

බයිබලය මත පදනම් වූ මෙම වැඩසටහන වැඩිදෙනෙකු සම්බන්ධයෙන් දවස් තුනක් පුරා දිව ගිය අතර, විශේෂ ජාත්‍යන්තර සමුළුවලට සහභාගි වූ අය සඳහා එය දවස් හතරක වැඩසටහනක් විය. ඒ සියල්ලේදී, පැමිණි අය ශුද්ධ ලියවිල්ල මත පදනම් කතා 30කට වඩා සවන් දුන්හ. මෙම කතාවල් ආත්මික අගය ගැඹුරු කළාවූද, ඇදහිල්ල ශක්තිමත් කළ අද්දැකීම්වලින් සමන්විත වූද, බයිබල් ප්‍රතිපත්තිවල ප්‍රායෝගික අගය කාවැද්දුවාවූ නිරූපණවලින් සමන්විත වූද කතාවල් වූ අතර, පළමු සියවසේ ක්‍රිස්තියානීන් මුහුණ දුන් අභියෝග මැනවින් පෙන්වා දුන්, මුළුමනින්ම වෙස්ගැන්වූ නාට්‍යයක්ද විය. ඔබ මේ සමුළුවකට පැමිණියා නම්, මෙම ලිපිය කියවන අතරතුරේදී ඔබ ගත් සටහන් යළිත් පුනරීක්ෂණය කර බලන මෙන් අපි ඔබට ඇරයුම් කරන්නෙමු. ඒ මගින් පිරිපුන් ආත්මික මංගල්‍යයක මාහැඟි මතක සටහන් නැවත ඔබේ මතකයට නැඟෙන බවත් ඒ මගින් යම් දේවල් ඉගෙනගත හැකි බවත් අපට ස්ථිරය.

පළමු දින තේමාව: ‘යෙහෝවා, මහිමය ලබන්නට ඔබ වටින්නෙහිය’

ආරම්භක යාච්ඤාව සහ ගීතිකාවෙන් පසුව, පළමු කථිකයා පැමිණි සිටි සියල්ලන්වම ඉතා සාදරයෙන් පිළිගත්තේ, “අප රැස්ව සිටින්නේ දෙවිව මහිමවත් කිරීමටය” යන තේමාවෙන් යුත් කතාව සමඟින් සමුළුවේ මූලික පරමාර්ථය කෙරෙහි අවධානය යොමු කරවමිනි. එළිදරව් 4:11න් උපුටා දක්වමින් කථිකයා සමුළුවේ ප්‍රධාන තේමාව අවධාරණය කළේය. දෙවිව මහිමවත් කිරීම යන්නෙන් අදහස් කරන දේ ගැන ඔහු එ සැණින් ඉතා පැහැදිලිව කාවැද්දුවේය. ගීතාවලිය පොත යොදාගනිමින් ඔහු අවධාරණය කළේ, දෙවිව මහිමවත් කිරීමට, ‘නමස්කාර කිරීම,’ ‘ස්තුති කිරීම,’ සහ ‘ප්‍රශංසා කිරීම’ ඇතුළත් බවය.—ගීතාවලිය 95:6; 100:4, 5; 111:1, 2.

ඊළඟ කතාව වූයේ, “දෙවිව මහිමයට පත් කරන අයට ආශීර්වාද ලැබේ” යන්නයි. කථිකයා විසින් උනන්දුව දනවන අදහසක් පළ කරන ලදි. ලොව පුරා රටවල් 234ක යෙහෝවාගේ සාක්ෂිකරුවන් මිලියන හයකට වඩා වැඩි ගණනක් සිටින බැවින්, යෙහෝවාව මහිමවත් කරමින් සිටින අයට කිසි දවසක ඉර බසින්නේ නැති බව පැවසිය හැකියි. (එළිදරව් 7:15) විශේෂ පූර්ණ කාලීන සේවයේ යම් ක්ෂේත්‍රයක සිටින ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් කිහිපදෙනෙකු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවන් මෙම කතාවට ඇතුළත් වූ අතර, සබයේ සිටින්නන්ගේ හදවත් උණුසුම් කළ මෙම අංගය බොහෝ සෙයින් අගය කෙරිණි.

“මැවිල්ල දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි” යන්න ඊළඟ කතාවයි. නිහඬව වුවද භෞතික අහස දෙවිගේ මහන්තත්වය ගැන කියාපාන අතර ඔහුගේ ප්‍රේමණීය කරුණාව සඳහා ඇති අපගේ කෘතඥතාව ගැඹුරු කරවයි. මෙය පැහැදිලි ලෙස සවිස්තරාත්මකව විස්තර කරන ලදි.—යෙසායා 40:26.

පීඩා, විරුද්ධවාදිකම්, ලෞකික බලපෑම් සහ පව්කාර නැඹුරුවාවන් සැබෑ ක්‍රිස්තියානීන්ගේ අඛණ්ඩතාවට අභියෝග එල්ල කරයි. මෙබැවින්, “අඛණ්ඩතාවේ මාර්ගයේ ගමන් කරන්න” යන කතාව නිතැතින්ම සබයේ සිත් ඇදගත්තේය. ගීතාවලිය 26වන පරිච්ඡේදයේ පදයෙන් පදයට කරන ලද සාකච්ඡාවක් මීට ඇතුළත් වූ අතර, සදාචාරය සම්බන්ධයෙන් තම ස්ථාවරය රැකගත්තාවූද, ප්‍රශ්න කටයුතු විනෝදාස්වාදවල බොහෝ කාලයක් මිඩංගු කළ නමුත් පසුව ගැටලුවෙන් ගොඩ ඒම සඳහා පියවර ගත්තාවූද පාසැල් වියේ සිටි සාක්ෂිකරුවන්ගේ අද්දැකීම් මීට ඇතුළත් විය.

මූලික ඇමතුමෙන් උදෑසන වැඩසටහන නිමා විය. එහි තේමාව වූයේ “මහිමාන්විත අනාවැකිමය දර්ශන අපව පොලඹවයි!” යන්නයි. දෙවිගේ මෙසියානු රාජ්‍යයේ පිහිටුවීම සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධව තමන් දුටු තේජාන්විත අනාවැකිවලින් ඇදහිල්ල මහත් සේ ප්‍රබෝධවත් වූ අය වශයෙන් අනාගතවක්තෘ දානියෙල්ගේ, ප්‍රේරිත යොහන්ගේ හා පේතෘස්ගේ ආදර්ශ ගැන කථිකයා සඳහන් කළේය. අප අන්තිම කාලයේ ජීවත් වනවා යන කාරණය පිළිබඳව පැහැදිලි සාක්ෂි අමතක වී ඇති යම් අය ගැන කතා කරමින් කථිකයා පැවසුවේ මෙසේයි. “අප අවංකව බලාපොරොත්තු වන්නේ එවන් අය, රාජ්‍ය මහිමයෙන් යුතුව ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීමේ යථාර්ථය ගැන තමන්ගේ අවධානය නැවතත් යොමු කොට, නැවතත් ආත්මික ශක්තිය ලබාගැනීමට උපකාර කරනු ලැබේවා යන්නයි.”

දහවල් වැඩසටහන ආරම්භ වූයේ “යෙහෝවාගේ මහිමය හෙළි කරනු ලබන්නේ යටහත් පහත් අයටය” යන මාතෘකාවෙන් යුත් කතාව සමඟිනි. යෙහෝවා විශ්වයේ උසස්ම තැනැත්තා වුවද යටහත් පහත්කම සම්බන්ධයෙන් ආදර්ශයක් තබන අන්දම කථිකයා පෙන්වා දුණි. (ගීතාවලිය 18:35) යෙහෝවා අනුග්‍රහය දක්වන්නේ අවංකව යටහත් පහත් වන අයටය. නමුත් තමන් සමඟ එකට වැඩ කරන අයට හෝ තමන්ට ඉහළින් තනතුරු දරන අයට පමණක් යටහත් පහත් වී තමන්ගේ යටතේ වැඩ කරන අයට කර්කශ ලෙස සලකන අයට යෙහෝවා විරුද්ධය.—ගීතාවලිය 138:6.

ඊළඟට, කතා මාලාවක් තුළින් බයිබල් අනාවැකි ගැන සාකච්ඡා කෙරිණි. “ආමොස්ගේ අනාවැකි—අපගේ කාලය සඳහා එහි ඇති පණිවුඩය” යන ප්‍රධාන තේමාවේ විවිධ පැති එතුළින් කැපීපෙනෙන්නට සලස්වන ලදි. ආමොස්ගේ ආදර්ශයට යොමු දක්වමින්, පළමු කථිකයා කාවැද්දුවේ පැමිණෙමින් තිබෙන යෙහෝවාගේ විනිශ්චය ගැන ජනයාට දැනුම් දීමට අපට ඇති වගකීම ගැනයි. ඔහුගේ කතාවේ තේමාව වූයේ, “දේවවචනය නිර්භීතව කතා කරන්න” යන්නයි. දෙවන කථිකයා මෙම ප්‍රශ්නය ඇසීය. “යෙහෝවා මේ පොළොව මත තිබෙන දුෂ්ටකම හා දුක් වේදනාවන් කවදා හෝ නිමා කරනු ඇද්ද?” “දුෂ්ටයන්ට එරෙහිව දිව්‍ය විනිශ්චය” යන කතාවේදී ඔහු පෙන්නුවේ දිව්‍ය විනිශ්චය සෑමවිටම යුක්තිසහගත බවත්, එයින් බේරිය නොහැකි බවත්, එය තෝරා බේරා කරන විනිශ්චයක් බවත්ය. කතා මාලාවේ අන්තිම කොටසේදී කථිකයා අවධානය යොමු කළේ “යෙහෝවා සිත සෝදිසි කරයි” යන තේමාවටය. යෙහෝවාව සතුටු කිරීමට බලවත් ආශාවක් දක්වන අය, ‘නපුරට ද්වේෂ කර, යහපතට ප්‍රේම කරන්න’ යන ආමොස් 5:15හි සඳහන් වචනවලට අවනත වෙනවා ඇත.

වයින් වැනි සිත් පිනවන මත්පැන් වැරදි ලෙස යොදාගනු ලැබීමට ඉඩ කඩ තිබේ. “මත්පැන් අනිසි ලෙස භාවිත කිරීමේ උගුලෙන් බේරෙන්න” යන තම කතාවේදී කථිකයා, යම් පුද්ගලයෙකු වෙරි වුණේ නැතත්, මත්පැන් පමණට වඩා භාවිත කිරීමෙන් ඇති වන ශාරීරික හා ආත්මික අන්තරායන් ගැන කතා කළේය. යමෙකුට මඟ පෙන්වන යම් ප්‍රතිපත්තියක් ඔහු ඉදිරිපත් කළේය. එනම්, මද්‍යසාර කෙනෙකුගේ ශරීරයට දැරිය හැකි ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසා, ඔබේ “ප්‍රායෝගික ප්‍රඥාව සහ කල්පනා කිරීමේ හැකියාව” මොට කරන ඕනෑම ප්‍රමාණයක් පෞද්ගලිකව ඔබට වැඩියි කියා පැවසිය හැකි බව ඔහු පැවසීය.—හිතෝපදේශ 3:21, 22, NW.

අප ජීවත් වන්නේ අර්බුදකාරී කාලවල බැවින්, ඊළඟ කතාව වූ, “‘විපත්ති කාලවලදී’ අපේ බලකොටුව වන යෙහෝවා” යන මැයෙන් යුත් කතාව සබයේ සිටින්නන්ට මහත් සැනසීමක් ගෙන දුන් කතාවකි. යාච්ඤාවෙන්ද, ශුද්ධාත්මයෙන්ද සහ සෙසු ක්‍රිස්තියානීන්ගෙන්ද ලැබෙන ශක්තිය අපට මුහුණ දීමට ඇති තත්වයන් සමඟ කටයුතු කිරීමට මහෝපකාරී වෙයි.

එම දවසේ අවසාන කතාව වූයේ “‘සරුසාර දේශය’—පාරාදීසයේ පෙර දැක්ම” යන්නයි. මෙම කතාව අවසන් වූයේ සියල්ලන්වම ප්‍රීතියටත් පුදුමයටත් පත් කරවමිනි. එනම්, බයිබල් සිතියම් බොහොමයක් සමඟින් නව ප්‍රකාශනයක් මුදාහැරීමෙන්ය. එහි තේමාව ‘ඒ සරුසාර දේශය දැකගනිමු’ යන්නය.

දෙවන දවසේ තේමාව: “ඔහුගේ මහිමය ජාතීන් අතරේ . . . ප්‍රකාශ කරන්න”

දවසේ පාඨය සලකා බැලුවායින් පසුව, සමුළුවේ ඉදිරිපත් කරනු ලැබූ දෙවන කතා මාලාවේ තේමාව වූයේ, “කැඩපතක් මෙන් යෙහෝවාගේ තේජස පිළිබිඹු කරන්න” යන්නයි. පළමු කොටසින්, “සෑම තැනකම ශුභාරංචිය පතළ කිරීම” ගැන කියැවුණු අතර, සැබෑ ක්ෂේත්‍ර සේවා අද්දැකීම් කිහිපයක් යළිත් නිරූපණය කර පෙන්වීමට සැලැස්වීය. දෙවන කොටසින්, “අන්ධ වූ අයගේ කඩතුරාව ඉවත් කිරීම” යන තේමාවෙන් යුත් කතාව කථිකයා ඉදිරිපත් කරන විට, නැවත බැලීමක නිරූපණයක් ඊට ඇතුළත් කළේය. “අපගේ දේවසේවයේදී වඩාත් පුළුල් ලෙස එසේ කිරීම” යන අවසාන කොටසේදී ක්ෂේත්‍රයේ අද්දැකීම් ඇතුළත් උනන්දුව දනවන සම්මුඛ සාකච්ඡාවන් ඉදිරිපත් කරන ලදි.

වැඩසටහනේ ඊළඟ කොටස වූයේ, “නිකරුණේ වෛර කරනු ලැබ” යන තේමාවෙන් යුත් කොටසයි. විරුද්ධවාදිකම් හමුවේ දෙවිගේ ශක්තියෙන් යුතුව අඛණ්ඩතාව රැකගත් ඇදහිලිවන්ත පුද්ගලයන්ගේ ප්‍රබල අද්දැකීම් කිහිපයක් ඊට ඇතුළත් විය.

ඉතා ආශාවෙන් බලා සිටියාවූ සමුළුවේ අංගයක් වූ බව්තීස්ම කතාවෙන් පසු සුදුසුකම් ලැබූ සියලු බව්තීස්ම අපේක්ෂකයන්ව වතුරේ මුළුමනින්ම ගිල්වා බව්තීස්ම කරන ලදි. වතුර බව්තීස්මය පුද්ගලයෙකු යෙහෝවාට මුළුමනින්ම කැපවීම සංකේතවත් කරයි. මෙබැවින්, “අපගේ කැපවීමට එකඟව ජීවත් වීමෙන් දෙවිව මහිමයට පත් වෙයි” යන මාතෘකාව ඉතා සුදුසු එකක් විය.

පස්වරු වැඩසටහන ආරම්භ වුණේ “ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ ක්‍රිස්තුස්ට තිබූ දෘෂ්ටිය වගා කිරීම” යන මාතෘකාවෙන් යුත් කතාව සමඟින් ආත්ම සෝදිසියක් කිරීමට දිරිගන්වමිනි. ශ්‍රේෂ්ඨත්වය පැමිණෙන්නේ ක්‍රිස්තුස්ගේ යටහත් පහත්කම අනුකරණය කිරීමෙනි යන උනන්දුමත් කරුණ කථිකයා විසින් ගෙනහැර දක්වන ලදි. මෙසේ, ක්‍රිස්තියානියෙකු පෞද්ගලික කීර්තිය මුදුන් පමුණුවාගැනීමේ අරමුණින් වගකීම් දැරීමට උත්සාහ නොකළ යුතුයි. ඔහු තමාගෙන් මෙබඳු ප්‍රශ්න ඇසිය යුතුය. ‘කාටවත් එතරම් පෙනෙන්නේ නැති වැඩ කිරීමට මම කැමැත්තෙන් සිටිනවාද?’

ඔබ කවදා හෝ හෙම්බත් වී ඇද්ද? ඇත්තෙන්ම සෑම කෙනෙකුටම වෙහෙස දැනේ. “වෙහෙසුණද, හෙම්බත් නොවී” යන කතාව සියල්ලන් විසින්ම අගය කරනු ලැබීය. බොහෝ කලක් පුරා සේවය කර ඇති සාක්ෂිකරුවන් සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවලින් පෙන්නුම් කළේ, යෙහෝවා “තමන්ගේ ආත්මය මාර්ගයෙන්” අපව ‘ශක්තිමත්’ කරවන බවයි.—එෆීස 3:16, NW.

ත්‍යාගශීලීත්වය යනු අපට උපතින් පිහිටා නැති නමුත් ඉගෙනගත යුතු ගුණාංගයකි. “ත්‍යාගශීලී වන්න, බෙදාගැනීමට සූදානම්ව සිටින්න” යන කතාව තුළ මෙම මූලික කාරණය ගෙනහැර දක්වන ලදි. හැමදෙනාටම හොඳින් සිතා බැලීමට කථිකයා මෙම ප්‍රශ්නය ඇසුවේය. “මහලු වියේ පසු වන, අසනීපවලින් හා මානසික පීඩනවලින් පෙළෙන, තනිකම හා පාළුව දැනෙන සහෝදර සහෝදරියන් සමඟ දවසේ අපට තිබෙන කාලයෙන් විනාඩි කිහිපයක් ගත කරන්න අප සූදානම්ද?”

“නාඳුනන අයගේ හඬින් පරෙස්සම් වන්න” යන කතාව සබයේ අවධානය ඇද බැඳ තබාගත්තේය. මෙම කතාව තුළ යේසුස්ගේ අනුගාමිකයන්ව බැටළුවන්ට සමානව සැසඳූ අතර, එම බැටළුවන් තම “උතුම් එඬේරා” ලෙස සවන් දෙන්නේ ඔහුට පමණි. තවද ඔවුහු “නාඳුනන අයගේ හඬට” සවන් නොදෙති. මන්ද යක්ෂයා විසින් පොලඹවනු ලබන බොහෝ පුද්ගලයන්ගේ හඬ ඔවුහු දනිති.—යොහන් 10:5, 14, 27, NW.

යම් සංගීතයක් පැහැදිලිව තේරුම්ගෙන රස විඳීමට එය වයන සංගීත කණ්ඩායම ඉතාමත් එක්සත්ව එය වාදනය කළ යුතුයි. ඒ හා සමානව, දෙවිව මහිමවත් කිරීම පිණිස, ලොව වටා සිටින සැබෑ නමස්කාරකයන් එක්සත් විය යුතුයි. මෙබැවින්, “‘එක කටින්’ දෙවිව මහිමවත් කරන්න” නමැති කතාවෙන් අප සියලුදෙනාටම “පවිත්‍ර භාෂාව” කතා කරමින්, “උරෙන් උර ගැටී” යෙහෝවාට සේවය කළ හැකි ආකාරය ගැන ප්‍රයෝජනවත් උපදෙස් සැපයිණි.—ශෙපනියා 3:9, NW.

දෙමාපියෝ, විශේෂයෙන් ළමා වියේ පසු වන දරුවන් සිටින දෙමාපියෝ, අන්තිම කතාවේදී ඉතාමත් සතුටු වූහ. එහි තේමාව වූයේ, “අපගේ දරුවෝ—අගනා උරුමයකි” යන්නයි. පිටු 256කින් යුත් ප්‍රකාශනයක් නිකුත් වූ අතර, මෙය සබයේ සිටින්නන්ව මහත් සතුටට පත් කළේය. උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන පොත දෙමාපියන්ට මහෝපකාරී වනු ඇත. ඒ දෙවිගෙන් ඔවුන්ට දී ඇති අගනා තෑග්ගක් වන දරුවන් සමඟ ආත්මික විපාක ලැබෙන පරිද්දෙන් එම පොත ඇසුරෙන් ඔවුන් සමඟ කාලය ගත කිරීමටය.

තෙවන දින තේමාව: “දෙවිගේ මහිමය සඳහා සියල්ල කරන්න”

සමුළුවේ අන්තිම දවස ආරම්භ වූයේ ආත්මික සිතිවිලි පුබුදුවාලමින් දින පදයේ තොරතුරු සිහිගන්වමිනි. මෙදින වැඩසටහනේ පළමු කොටසින් පවුල් විධිවිධානය කෙරෙහි අමතර අවධානයක් දෙන ලදි. ඒ සඳහා සබයේ සිටින්නන්ගේ මනස් සූදානම් කළ පළමු කතාව වූයේ, “දෙමාපියෙනි, ඔබගේ පවුල් කවය ගොඩනඟන්න” යන්නයි. දෙමාපියන්ට තම දරුවන්ට ද්‍රව්‍යමය වශයෙන් සැපයීමට ඇති වගකීම ගැන සලකා බැලීමෙන් පසුව, කථිකයා පැහැදිලි ලෙස පෙන්වා සිටියේ දෙමාපියන්ට පැවරී ඇති මූලිකම වගකීම නම් තම දරුවන්ට ආත්මිකව සැපයීම බවයි.

ඊළඟ කථිකයා දරුවන්ව අමතමින් කතා කළේ “යෞවනයන් යෙහෝවාට ප්‍රශංසා කරන අන්දම” යන මාතෘකාව යටතේය. යෞවනයන් “පිනි” හා සමාන බවත්, එසේ වන්නේ ඔවුන්ගේ සංඛ්‍යාව මහත් බැවින්ද ඔවුන්ගේ යෞවන ජ්වලිතය ඉතා ප්‍රබෝධවත් බැවිනුත්ය. යෙහෝවාගේ සේවය තුළ ඔවුන් හා වැඩ කිරීමට වැඩිහිටි අය සතුටු වෙති. (ගීතාවලිය 110:3) මෙම කොටසට ආදර්ශවත් යෞවනයන් සමඟ කරන ලද කදිම සම්මුඛ සාකච්ඡා කිහිපයක්ම ඇතුළත් විය.

මුළුමනින්ම වෙස්ගැන්වූ බයිබල් නාට්‍යය දිස්ත්‍රික් සමුළුවල සෑමවිටම ඉතා උනන්දුව දනවන අංගයක් වන අතර, මෙම සමුළුවේදීද එය එසේම විය. “විරුද්ධවාදිකම් මැද නිර්භීතව සාක්ෂි දැරීම” යන තේමාවෙන් යුත් මෙම නාට්‍යයෙන් ගෙනහැර පෑවේ යේසුස්ගේ පළමු සියවසේ අනුගාමිකයන් ගැනයි. එය නිකම්ම විනෝදය ගෙන දෙන්නක් වූවා නොව එය ඉතා උපදේශාත්මක නාට්‍යයක් විණි. ඉන් පසුව ඉදිරිපත් කෙරුණු, “‘අත් නෑර’ ශුභාරංචිය ප්‍රකාශ කරන්න” යන කතාව නාට්‍යයේ මූලික කරුණු සබයේ මනසට කාවැද්දීය.

සබයේ සිටි සියලුම අය ඊළඟට බලා සිටියේ ඉරිදා වැඩසටහනේ තවත් විශේෂාංගයකි. එනම්, “අද දින දෙවිව මහිමවත් කරමින් සිටින්නෝ කවරහුද?” යන ප්‍රසිද්ධ කථාවයි. විද්‍යාව හදාරන හා ආගම්වලට සම්බන්ධ පුද්ගලයන් සමස්තයක් වශයෙන් දෙවිව මහිමවත් නොකර සිටින ආකාරය ගැන කථිකයා පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කළේය. අද දින දෙවිගේ නාමය මහිමවත් කරමින් සිටින්නේ ඔහුගේ නාමය දරන ඔහු පිළිබඳ සත්‍යය දේශනා කරන සහ උගන්වන අය පමණි.

ප්‍රසිද්ධ කථාවෙන් පසුව මුරටැඹ සඟරාවේ පාඩම් ලිපියේ සාරාංශය පැවැත්විණි. අනතුරුව පැවති අවසාන කතාවේ තේමාව වූයේ, “යෙහෝවාගේ මහිමය සඳහා ‘බොහෝ පල දරන්න’” යන්නයි. කථිකයා සබයේ සිටින සියල්ලන්ටම කරුණු දහයකින් සමන්විත සම්මුතියක් ඉදිරිපත් කළේය. මෙම කරුණු පදනම් වූයේ මැවුම්කරු වන යෙහෝවාට මහිමය දිය හැකි විවිධ ක්‍රම දහයක් මත පදනම්වය. ලොව පුරා පැවති සියලු සමුළුවලදී නැඟූ “එසේය” යන එම ඒකමතික හඬ දස දෙස ගිගුම් දුන්නේය.

මෙසේ “දෙවිව මහිමවත් කරන්න” යන තේමාව පැමිණ සිටින්නන්ගේ සවන්වලට තදින් කාවද්දවමින් සමුළුව අවසන් විණි. තවද අපි යෙහෝවාගේ දෘශ්‍යමාන සංවිධානයේ පංගුකාරයන් හැටියට ඔහුගේ ආත්මයේ පිහිටෙන්, මිනිසුන්ව නොව දෙවිව මහිමවත් කිරීමට සෑමවිටම උත්සාහ කරමු.

[23වන පිටුවේ කොටුව⁄පින්තූර]

ජාත්‍යන්තර සමුළු

අප්‍රිකාවේ, ආසියාවේ, ඕස්ට්‍රේලියාවේ, යුරෝපයේ, උතුරු සහ දකුණු අමෙරිකාවේ දවස් හතරකින් යුත් ජාත්‍යන්තර සමුළු පැවැත්විණි. ලොව වටෙන් ආරාධනා ලැබූ සාක්ෂිකරුවෝ මෙම එක්කාසු වීම්වලට පැමිණ සිටියහ. මේ අන්දමින් අමුත්තන් සහ ඔවුන්ගේ සත්කාරකයන් අතර “අන්‍යෝන්‍ය දිරිගැන්වීමක්” විය. (රෝම 1:12, NW) පැරණි මිත්‍රත්වයන් යළිත් පණගැන්විණි. අලුත් මිත්‍රත්වයන් ඇති විණි. මෙම ජාත්‍යන්තර සමුළු වැඩසටහන්වල විශේෂ අංගයක් වූයේ “වෙනත් රටවලින් පැමිණෙන වාර්තා” නම් අංගයයි.

[25වන පිටුවේ කොටුව⁄පින්තූර]

දෙවිව මහිමවත් කරන නව ප්‍රකාශන

“දෙවිව මහිමවත් කරන්න” යන දිස්ත්‍රික් සමුළුවලදී අලුතෙන් ප්‍රකාශන දෙකක් මුදාහැරිණි. ‘ඒ සරුසාර දේශය දැකගනිමු’ යන මැයෙන් යුත් සිතියම් පොතේ දිගු කල් පවතින කවරය සහ පිටු 36ක අඩංගු සිතියම්ද බයිබලීය ස්ථානවල ඡායාරූපද ඇතුළත් වෙයි. සෑම පිටුවක්ම පූර්ණ වර්ණයෙන් සමන්විත වන අතර, ඇසිරියානු, බැබිලෝනියානු, මේද-පර්සියානු සහ ග්‍රීක සහ රෝම අධිරාජ්‍යවල සිතියම් අන්තර්ගතය. යේසුස්ගේ දේවසේවය සහ ක්‍රිස්තියානි ධර්මයේ විහිදීම පෙන්වා දෙන වෙනත් සිතියම්ද එහි අඩංගුය.

උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන පොත පිටු 256කින් යුත් පින්තූරු 230ක් පමණ අඩංගු පොතකි. දරුවන් සමඟ එකට වාඩි වී ඔවුන් සමඟ එහි අන්තර්ගත පින්තූරු නැරඹීමෙන් සහ පොතේ සඳහන් හදවත්වල සිතිවිලි අවදි කරන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමෙන් ඔවුන් හා එක්ව සතුටු විය හැකියි. මෙම නව ප්‍රකාශනය සැලසුම් කර තිබෙන්නේ යෞවන දරුවන්ගේ සදාචාරයන් කෙලසීමට ඉලක්ක කොටගත් සාතන්ගේ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමටය.

[23වන පිටුවේ පින්තූරය]

මිෂනාරිවරු ඇදහිල්ල ශක්තිමත් කරන අද්දැකීම් පැවසූහ

[24වන පිටුවේ පින්තූර]

බව්තීස්මය “දෙවිව මහිමවත් කරන්න” සමුළුවල වැදගත් අංගයක් විය

[24වන පිටුවේ පින්තූර]

බයිබල් නාට්‍යයන් බාල මහලු කවුරුත් සතුටින් නරඹති