Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ උතුම්කම සොයා දැනගත නොහැකියි

යෙහෝවාගේ උතුම්කම සොයා දැනගත නොහැකියි

යෙහෝවාගේ උතුම්කම සොයා දැනගත නොහැකියි

“යෙහෝවා උතුම්ය; බොහෝ සෙයින් ප්‍රශංසා ලැබිය යුතුය. ඔහුගේ උතුම්කමද සොයා දැනගත නොහැකිය.”—ගීතාවලිය 145:3.

1, 2. දාවිත් කුමන ආකාරයේ පුද්ගලයෙකු වූවාද? දෙවි සමඟ බලන කල දාවිත් තමා ගැන සිතුවේ කෙසේද?

එක සිය හතළිස් පස්වන ගීතිකාවේ රචකයා අතීතයේ විසූ සුප්‍රසිද්ධ අයගෙන් කෙනෙකි. ඔහු නහඹරයෙකුව සිටි කාලයේදී සන්නද්ධ යෝධයෙකුව මරා දැමුවේය. රණශූර රජෙකු වූ ඔහුගේ අතින් පරාජය වූ සතුරන් ගණන අතිවිශාලය. පුරාණ ඊශ්‍රායෙලයේ දෙවන රජු වූ මොහුගේ නම දාවිත්ය. ඔහු මිය යෑමෙන් පසුවද ඔහුගේ ප්‍රසිද්ධිය මැකී ගියේ නැත. එම නිසා අද ලෝකයේ සිටින බොහෝදෙනෙක් ඔහු ගැන කුමක් හෝ දෙයක් දැන සිටිති.

2 දාවිත් නොයෙකුත් දස්කම් කළද යටහත් පහත් පුද්ගලයෙකු විය. ඔහු යෙහෝවා ගැන මෙසේ ගායනා කළේය. “ස්වකීය ඇඟිලි වැඩය වූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවූ සඳ හා තාරකාත් බලා කල්පනා කරන කල, ඔබ මනුෂ්‍යයා සිහි කිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍ය පුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?” (ගීතාවලිය 8:3, 4) දාවිත් තමන් උතුම් කෙනෙක් කියා සිතුවේ නැත. එසේ සිතනවා වෙනුවට, තමන්ගේ සියලුම සතුරන්ගෙන් තමන් ගැලවුණේ යෙහෝවාගෙන් ලැබූ උපකාරය නිසා බව පිළිගත් ඔහු දෙවි ගැන පැවසුවේ මෙසේය. “ඔබගේ ගැලවීම නමැති පලිහ ඔබ මට දුන්නේය. ඔබගේ මෘදුකම මා උසස් කළේය.” (2 සාමුවෙල් 22:1, 2, 36) යෙහෝවා පව්කාරයන්ට දයාව දක්වමින් මෘදුකම විදහා පෙන්වයි. දාවිත් දෙවිගේ මහත් කරුණාව ස්තුතිපූර්වකව අගය කළේය.

‘මම රජු වන දෙවිව උසස් කරන්නෙමි’

3. (අ) ඊශ්‍රායෙලයේ රජු වීම පිළිබඳව දාවිත්ට තිබූ ආකල්පය කුමක්ද? (ආ) යෙහෝවාට ප්‍රශංසා කිරීමට දාවිත්ට කොතරම් ආශාවක් තිබුණාද?

3 දෙවි ඊශ්‍රායෙලයේ රජ ලෙස දාවිත්ව පත් කර තිබුණද, සැබෑ රජු හැටියට ඔහු සැලකුවේ යෙහෝවාවයි. දාවිත් මෙසේ පැවසුවේය. “රාජ්‍යයත් යෙහෝවා ඔබට අයිතිය. ඔබ සියල්ල කෙරෙහි හිස මෙන් උසස්ව සිටින්නේය.” (1 ලේකම් 29:11) පාලකයා වශයෙන් දෙවි කෙරෙහි දාවිත්ට තිබුණේ මොන තරම් ගෞරවනීය හැඟීමක්ද! ඔහු මෙසේ ගායනා කළේය. ‘මාගේ දෙවි වූ රජ්ජුරුවනි, ඔබ උසස් කරන්නෙමි; ඔබගේ නාමයට සදාකාලේටම ප්‍රශංසා කරන්නෙමි. සෑමදාම ඔබට ප්‍රශංසා කරන්නෙමි. සදාකාලේටම ඔබගේ නාමය වර්ණනා කරන්නෙමි.’ (ගීතාවලිය 145:1, 2) දාවිත්ගේ ආශාව වූයේ යෙහෝවා දෙවිට සෑම දවසකම මෙන්ම සදාකාලයටම ප්‍රශංසා කිරීමයි.

4. එකසිය හතළිස්පස්වන ගීතිකාවෙන් හෙළි වන බොරු චෝදනා මොනවාද?

4 දෙවි තම මැවිලිවලට නිදහස ලබා නොදෙන ආත්මාර්ථකාමී පාලකයෙක් කියා සාතන් කර තිබෙන චෝදනාවට 145වන ගීතිකාවෙන් හොඳ උත්තරයක් සැපයේ. (උත්පත්ති 3:1-5) දෙවිට කීකරු වන අය එසේ කරන්නේ වාසි ප්‍රයෝජන ගැන සිතාගෙන මිස, දෙවිට තිබෙන ප්‍රේමය නිසා නොවේය කියා සාතන් පවසා තිබෙන බොරුවද එම ගීතිකාවෙන් හෙළි කරයි. (යෝබ් 1:9-11; 2:4, 5) දාවිත් මෙන් වර්තමානයේ සිටින සැබෑ ක්‍රිස්තියානීහුද යක්ෂයාගේ එම බොරු චෝදනාවලට උත්තරයක් දෙමින් සිටිති. දේවරාජ්‍යයේ පාලනය යටතේ සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව ඔවුන් අමිල වස්තුවක් ලෙස සලකන්නේ යෙහෝවාට සදාකාලයටම ප්‍රශංසා කිරීම සඳහා ඔවුන්ට තිබෙන ආශාව නිසාය. දැනටමත් දශලක්ෂ ගණනක් යේසුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීමෙන්ද, යෙහෝවාගේ කැප වූ බව්තීස්ම ලත් නමස්කාරකයන් වශයෙන් ඔහුට තිබෙන ප්‍රේමය නිසා කීකරුව සේවය කිරීමෙන්ද ඔහුට ප්‍රශංසාවට කිරීමට පටන්ගෙන තිබේ.—රෝම 5:8; 1 යොහන් 5:3.

5, 6. යෙහෝවාට ප්‍රශංසා කිරීම සඳහා තිබෙන ප්‍රස්තාවන් මොනවාද?

5 යෙහෝවාගේ සේවකයන් වශයෙන් ඔහුව ප්‍රශංසාවට පත් කිරීම සඳහා අපට උදා වන බොහෝ ප්‍රස්තා ගැන සිතා බලන්න. අප ඔහුගේ වචනය වන බයිබලය කියවන විට යම් දෙයක් අපගේ සිතට තදින්ම කාවදිනවා නම්, ඒ ගැන යාච්ඤා කිරීමෙන් යෙහෝවාව ප්‍රශංසාවට පත් කිරීමට අපට හැකියි. දෙවි තම සෙනඟ සමඟ කටයුතු කර තිබෙන ආකාරය අප තුළ පෙලඹීමක් ඇති කරන අවස්ථාවලදී හෝ ඔහුගේ මවිතකර මැවිල්ලේ යමක් දැක ඒ ගැන ප්‍රීති ප්‍රමෝදයක් ඇති වන විට දෙවිට ප්‍රශංසාව හා ස්තුතිය පළ කළ හැකියි. එමෙන්ම සෙසු නමස්කාරකයන් සමඟ ක්‍රිස්තියානි රැස්වීම්වලදී හෝ එදිනෙදා කරන කතා බහවලදී යෙහෝවා දෙවිගේ අරමුණු ගැන සාකච්ඡා කරන විටද අපි ඔහුට ප්‍රශංසා කරන්නෙමු. ඇත්තෙන්ම, දේවරාජ්‍යය උදෙසා කරනු ලබන සියලුම ‘යහපත් ක්‍රියාවලින්’ යෙහෝවාට ප්‍රශංසාව අත් වේ.—මතෙව් 5:16.

6 එවන් යහපත් ක්‍රියාවලට එක් උදාහරණයක් වන්නේ මෑත කාලයේ දිලිඳු රටවල වෙසෙන යෙහෝවාගේ සෙනඟ නමස්කාරය සඳහා එක් රැස් වන ගොඩනැඟිලි රැසක් ඉදි කිරීමයි. මෙම ඉදි කිරීම්වලින් බොහොමයක් සිදු කර තිබෙන්නේ වෙනත් රටවල සිටින සෙසු නමස්කාරයන්ගෙන් ලැබුණු මූල්‍යමය උපකාර හා රාජ්‍ය ශාලා ගොඩනැඟීමට සිය කැමැත්තෙන්ම දිලිඳු රටවලට යෑමට ඉදිරිපත් වූ ඇතැම් ක්‍රිස්තියානීන්ගෙන් ලැබුණු උපකාරය ඇතුවයි. සියලුම යහපත් ක්‍රියා අතරින් අතිශයින්ම වැදගත් ක්‍රියාව වන්නේ යෙහෝවාගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමෙන් ඔහුව ප්‍රශංසාවට පත් කිරීමයි. (මතෙව් 24:14) එකසිය හතළිස් පස්වන ගීතිකාවේ ඊළඟ වගන්තිවල පෙන්වා දෙන පරිදි දාවිත් දෙවිගේ පාලන තන්ත්‍රය අගය කරමින් රජු වශයෙන් ඔහුව උසස් කළේය. (ගීතාවලිය 145:11, 12) දෙවි ප්‍රේමණීය ලෙස හොබවන ඔහුගේ පාලන තන්ත්‍රය දාවිත් මෙන් ඔබත් ස්තුතිපූර්වකව අගය කරනවාද? ඔබ ඔහුගේ රාජ්‍යය ගැන අනිත් අය සමඟ නිතිපතාම කතා කරනවාද?

දෙවිගේ උතුම්කම පිළිබඳ උදාහරණ

7. යෙහෝවාට ප්‍රශංසා කිරීමට තිබෙන ප්‍රධානතම හේතුවක් සඳහන් කරන්න.

7 යෙහෝවාට ප්‍රශංසා කිරීමට පෙලඹීමක් ඇති කරවන එක් ප්‍රධාන හේතුවක් ගැන ගීතාවලිය 145:3හි සඳහන් වේ. ඒ ගැන දාවිත් මෙසේ ගායනා කරයි. “යෙහෝවා උතුම්ය. බොහෝ සෙයින් ප්‍රශංසා ලැබිය යුතුය; ඔහුගේ උතුම්කමද සොයා දැනගත නොහැකිය.” යෙහෝවාගේ උතුම්කමට සීමාවක් නැත. එය සම්පූර්ණයෙන්ම සොයා දැනගත නොහැකිය. මිනිසුන්ට එය පූර්ණ ලෙස අවබෝධ කරගත නොහැකිය. එනමුත් යෙහෝවාගේ සොයා දැනගත නොහැකි උතුම්කම පිළිබඳව තිබෙන උදාහරණ සලකා බැලීමෙන් අප දැන් ප්‍රයෝජන අත් කරගන්නවා නිසැකයි.

8. යෙහෝවාගේ උතුම්කම හා බලය ගැන විශ්වය අපට හෙළි කරන්නේ කුමක්ද?

8 විදුලි ආලෝකය හාත්පස පැතිරී තිබෙන නගරයෙන් ඈත්ව සිටි දවසක ඔබ පැහැදිලි රාත්‍රි අහස දෙස බැලූ අවස්ථාවක් මතක් කරගැනීමට වෑයම් කරන්න. අහස්කුස සිසාරා පැතිරී තිබෙන තරු රාශිය දැකීමෙන් ඔබ විස්මයට පත් වූයේ නැද්ද? මේ ආකාශ වස්තු සියල්ලම මැවීමෙන් යෙහෝවා පෙන්වා තිබෙන ඔහුගේ උතුම්කම ගැන ඔහුට ප්‍රශංසා කිරීමට ඔබ තුළ පෙලඹීමක් ඇති වූයේ නැද්ද? එහෙත් ඔබ දුටුවේ පෘථිවි ග්‍රහයාද අයත්ව සිටින මන්දාකිනියේ තිබෙන තරු රාශියෙන් ඉතාමත් කුඩා ප්‍රමාණයක් පමණයි. මන්දාකිනි බිලියන සියයකට වඩා තිබෙන බව ගණන් බලා ඇත. දුරේක්ෂයක් නොමැතිව දැකගත හැක්කේ ඒවායින් තුනක් පමණි. නිමක් කොනක් නැති විශ්වයේ තිබෙන අසංඛ්‍යාත තරු හා මන්දාකිනි යෙහෝවා සතු මැවීමේ බලයට හා ඔහුගේ සොයා දැනගත නොහැකි උතුම්කමට සාක්ෂි සපයයි.—යෙසායා 40:26.

9, 10. (අ) යේසුස්ගේ නැවත නැඟිටීමේදී යෙහෝවාගේ උතුම්කම දැකිය හැක්කේ කෙසේද? (ආ) යේසුස්ගේ නැවත නැඟිටීම අපේ ඇදහිල්ලට බලපෑ යුත්තේ කෙසේද?

9 යේසුස් ක්‍රිස්තුස්ද ඇතුළුව යෙහෝවාගේ උතුම්කමට සාක්ෂි සපයන තවත් දේවල් සලකා බලන්න. දෙවි ඔහුගේ පුත්‍රයාව මැවීමේදී හා තමන්ගේ “ප්‍රධාන කර්මාන්තකාරයා” වශයෙන් අසංඛ්‍යාත යුග ගණනාවක් පුරා ඔහුව යොදාගැනීමේදී සිය උතුම්කම පෙන්වා තිබේ. (හිතෝපදේශ 8:22-31) යෙහෝවා ඔහුගේ ඒකජාතක පුත්‍රයාව මනුෂ්‍ය වර්ගයා උදෙසා මිදීමේ මිලයක් හැටියට දුන් අවස්ථාවේදී ඔහුගේ ප්‍රේමයේ මහත්කම දැකීමට සැලැස්සුවේය. (මතෙව් 20:28; යොහන් 3:16; 1 යොහන් 2:1, 2) යේසුස්ව නැවත නැඟිටවනු ලැබූ අවස්ථාවේදී යෙහෝවා ඔහු සඳහා නිර්මාණය කළ තේජාන්විත අමරණීය සිරුර මිනිසුන්ට තේරුම්ගත නොහැකි දෙයකි.—1 පේතෘස් 3:18.

10 අප විසින් සොයා දැනගත නොහැකි යෙහෝවාගේ උතුම්කම සිතට කාවදින අයුරින් බලපාන පැති බොහොමයක් යේසුස්ගේ නැවත නැඟිටීම හා බැඳී පවතී. පෙනෙන මෙන්ම නොපෙනෙන දේවල් මැවීමේ කාර්යය සම්බන්ධයෙන් යේසුස්ගේ මතකය, දෙවි ඔහුව නැවත නැඟිටවීමේදී තිබූ ලෙසම යළි ඇති කළ බව නිසැකයි. (කොලොස්සි 1:15, 16) එම මැවිලිවලට දෙවිගේ ආත්මික පුත්‍රයෝ, විශ්වය, පල දරන පෘථිවිය හා එහි වෙසෙන සියලුම ආකාරයේ ජීවීන්ද අයත් වේ. දෙවිගේ පුත්‍රයා මිනිසෙකු ලෙස මෙලොවෙහි ඉපදීමට කලින් ස්වර්ගය හා පොළොව ගැන දැන සිටි සම්පූර්ණ ඉතිහාසය පිළිබඳ දැනුම යළි ඔහු තුළ ඇති කිරීමට අමතරව, පරිපූර්ණ මිනිසෙකු වශයෙන් ඔහු ලබා තිබූ අද්දැකීම්ද යෙහෝවා යේසුස්ගේ මතකයට එක් කළේය. අප විසින් සොයා දැනගත නොහැකි යෙහෝවාගේ උතුම්කමට යේසුස්ගේ නැවත නැඟිටීම කදිම සාක්ෂියකි. එපමණක්ද නොව, අනිත් අයගේ නැවත නැඟිටීම සිදු විය හැකි දෙයක් බවට එම උතුම් ක්‍රියාව සහතිකයක් වේ. එමෙන්ම දෙවිට ඔහුගේ පරිපූර්ණ මතකයේ සිටින මිය ගිය බොහෝදෙනෙකුව නැවත ජීවත් කරවීමට හැකි බවට වූ අපේ ඇදහිල්ලද එමගින් තවත් ශක්තිමත් විය යුතුය.—යොහන් 5:28, 29; ක්‍රියා 17:31.

පුදුම හා බලවත් ක්‍රියා

11. යෙහෝවා ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී කිරීමට පටන්ගත් පුදුම ක්‍රියාව කුමක්ද?

11 යේසුස්ගේ නැවත නැඟිටීම සිදු වූ දා සිට යෙහෝවා තවත් උතුම් ක්‍රියා හා පුදුම ක්‍රියා රාශියක් කර තිබේ. (ගීතාවලිය 40:5) යෙහෝවා ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී “දෙවිගේ ඊශ්‍රායෙල්” කියා හඳුන්වනු ලබන අලුත් ජාතියක් බිහි කළේය. ශුද්ධාත්මයෙන් අභිෂේක කර තිබෙන මොවුහු ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ගෙන් සමන්විත වෙති. (ගලාති 6:16) මෙම අලුත් ජාතිය එවකට සොයාගත් ලෝකය පුරා බලවත් ලෙස ව්‍යාප්ත විය. යේසුස්ගේ ප්‍රේරිතයන්ගේ මරණින් පසු, සිදු වූ ඇදහිල්ලට විරුද්ධව කැරලිගැසීමේ ප්‍රතිඵලයක් හැටියට ක්‍රිස්තියානි ආගම් බිහිවීම මධ්‍යයේ පවා යෙහෝවා ඔහුගේ අරමුණ, එහි ඉටුවීම කරා මෙහෙයවමින් දිගටම පුදුම ක්‍රියා සිදු කළේය.

12. ලෝකයේ සියලුම ප්‍රධාන භාෂාවලින් බයිබලය ලබාගත හැකිවීම කුමකට සාක්ෂියක්ද?

12 උදාහරණයක් හැටියට බයිබලයේ පිළිගත් ග්‍රන්ථ සමූහය සුරක්ෂිත කරනු ලැබූ අතර අද ලෝකයේ තිබෙන සියලුම ප්‍රධාන භාෂාවලට එය පරිවර්තනය කර තිබේ. බොහෝ අවස්ථාවලදී බයිබලය පරිවර්තනය කිරීම සිදු කර තිබෙන්නේ දුෂ්කරතා හා සාතන්ගේ නියෝජිතයන්ගෙන් එල්ල වූ මරණ තර්ජනය මැදයි. බයිබලය භාෂා 2,000කට වඩා වැඩි ගණනකට පරිවර්තනය කිරීම, සොයා දැනගත නොහැකි තරම් වූ මහත් උතුම්කමකින් යුත් දෙවි වන යෙහෝවාගේ කැමැත්ත නොවුණා නම්, කවදාවත් එවැනි දෙයක් සිදු නොවන බව නිසැකයි!

13. වර්ෂ 1914 සිට යෙහෝවාගේ උතුම්කම ඔහුගේ රාජ්‍යය හා බැඳි අරමුණුවලින් දැකගත හැකි වී තිබෙන්නේ කෙසේද?

13 යෙහෝවාගේ උතුම්කම ඔහුගේ රාජ්‍යය හා බැඳි අරමුණුවලින්ද දැකගැනීමට හැකි වී තිබේ. උදාහරණයක් හැටියට, ඔහු 1914දී ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ව ස්වර්ගයේ රජු හැටියට පත් කළේය. ඉන් ටික කලකට පසු යේසුස් සාතන්ට හා ඔහුගේ භූතයන්ට එරෙහිව පියවර ගත්තේය. ස්වර්ගයෙන් පහ කර දමන ලද ඔවුන්ව පොළොව ආසන්නයට සීමා කර තිබෙන අතර ඔවුන්ට බලා සිටීමට සිදු වී තිබෙන්නේ තමන්ව අගාධයට දමන තෙක්ය. (එළිදරව් 12:9-12; 20:1-3) එදා සිට යේසුස්ගේ අභිෂේක ලත් අනුගාමිකයන් පීඩා බහුලව අද්දැක තිබේ. කෙසේවෙතත්, ක්‍රිස්තුස් අදෘශ්‍යමානව පැමිණ සිටින මේ කාලයේදී යෙහෝවා ඔවුන්ව පෝෂණය කර ඇත.—මතෙව් 24:3; එළිදරව් 12:16ආ.

14. යෙහෝවා 1919දී සිදු කළ පුදුම ක්‍රියාව කුමක්ද? එමගින් ඉටු කරගෙන තිබෙන්නේ කුමක්ද?

14 යෙහෝවා ඔහුගේ උතුම්කම පෙන්වමින් 1919දී තවත් පුදුම ක්‍රියාවක් කළේය. ඒ කාලයේ ආත්මිකව අක්‍රියව සිටි යේසුස්ගේ අභිෂේක ලත් අනුගාමිකයන්ව යළි ප්‍රාණවත් කරන ලදි. (එළිදරව් 11:3-11) එදා සිට ගෙවී ගොස් තිබෙන වසර ගණනාව පුරා අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ස්වර්ගයේ පිහිටුවා තිබෙන රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ජ්වලිතව දේශනා කර තිබේ. එක්ලක්ෂ හතළිස්හාරදහස් දෙනාගේ ගණන සම්පූර්ණ කිරීම සඳහා සෙසු අභිෂේක ලත් අයවද එක් රැස් කර ඇත. (එළිදරව් 14:1-3) යෙහෝවා ක්‍රිස්තුස්ගේ අභිෂේක ලත් අනුගාමිකයන්ව යොදාගනිමින් “අලුත් පොළොවක්,” එනම් ධර්මිෂ්ඨ මිනිස් සමාජයක් සඳහා අත්තිවාරම දැමුවේය. (එළිදරව් 21:1) එහෙත් විශ්වාසවන්ත අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සියලුදෙනාම ස්වර්ගයට ගිය පසු ‘අලුත් පොළොවට’ සිදු වනු ඇත්තේ කුමක්ද?

15. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් මූලිකත්වය ගෙන තිබෙන්නේ කුමන කාර්යයකද? එහි ප්‍රතිඵල වී තිබෙන්නේ මොනවාද?

15 මෙම සඟරාවේ (ඉංග්‍රීසි කලාපයේ) 1935 අගෝස්තු 1 සහ අගෝස්තු 15 කලාපවල පළ වූ ප්‍රධාන ලිපිවල සාකච්ඡා කර තිබුණේ එළිදරව් 7වන පරිච්ඡේදයේ සඳහන් “මහත් සමූහය” ගැනයි. අභිෂේක ලත් ක්‍රිස්තියානීහු තමන්ගේ සෙසු නමස්කාරකයන් වශයෙන් සියලුම ජාතීන්ගෙන්, ගෝත්‍රවලින්, ජනයන්ගෙන් හා භාෂාවලින් පැමිණෙන අයව සොයමින් ඔවුන්ව තමන්ගේ ඇසුරට එක් කරගැනීමට පටන්ගත්හ. මේ “මහත් සමූහය” ‘අලුත් පොළොවේ’ නිත්‍ය සාමාජිකයන් වශයෙන් පාරාදීසයේ සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව ඇතුව ඉතා ආසන්නව තිබෙන ‘මහත් පීඩාවෙන්’ බේරී ජීවත් වනු ඇත. (එළිදරව් 7:9-14) අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ මූලිකත්වය යටතේ සිදු කරනු ලබන රාජ්‍යය ගැන දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ කාර්යය නිසා වර්තමානයේ දශලක්ෂ හයකට වැඩි පිරිසක් පාරාදීස පොළොවක නිමක් නැතිව සතුටින් ජීවත් වීමේ අපේක්ෂාව ඇතුව සිටිති. සාතන්ගෙන් හා ඔහුගේ දූෂිත ලෝකයෙන් එල්ල වන විරුද්ධවාදිකම් මැද එවන් වර්ධනයක් ඇති කිරීම ගැන ප්‍රශංසාව හිමි විය යුත්තේ කාටද? (1 යොහන් 5:19) සිය ශුද්ධාත්මය යොදාගනිමින් මේ සෑම දෙයක්ම කළ හැක්කේ යෙහෝවාට පමණයි.—යෙසායා 60:22; සෙකරියා 4:6.

යෙහෝවාගේ තේජෝමහිමය හා ගෞරවය

16. මිනිසුන්ට ‘යෙහෝවාගේ ගෞරවයේ තේජෝමහිමය’ තමන්ගේ පියවි ඇස්වලින් දැකගත නොහැක්කේ මන්ද?

16 යෙහෝවාගේ “පුදුම ක්‍රියා” හා “බලවත් ක්‍රියා” කුමන ස්වරූපයක් ගත්තද, ඒවා කිසිම දිනක අමතක නොවනු ඇත. දාවිත් මෙසේ ලීවේය. “එක් පරම්පරාවක් තවත් පරම්පරාවකට ඔබගේ කර්මාන්ත වර්ණනා කරමින් ඔබගේ බලවත් ක්‍රියා ප්‍රකාශ කරන්නේය. මම ඔබගේ ගෞරවයේ තේජෝමහිමයත් ඔබගේ පුදුම ක්‍රියාත් මෙනෙහි කරන්නෙමි. මනුෂ්‍යයෝ ඔබගේ භයානක [ක්‍රියාවල] බලය ගැන කතා කරන්නෝය. මමද ඔබගේ උතුම්කම ප්‍රකාශ කරන්නෙමි.” (ගීතාවලිය 145:4-6) එහෙත් “දෙවි ආත්ම- යක්” වන නිසාත්, ඒ හේතුවෙන් ඔහුව මිනිසුන්ට දැකිය නොහැකි නිසාත් දාවිත්ට යෙහෝවාගේ තේජෝමහිමය දැනගත හැකි වූයේ කොතෙක් දුරටද?—යොහන් 1:18; 4:24.

17, 18. ‘යෙහෝවාගේ ගෞරවයේ තේජෝමහිමය’ සඳහා තිබෙන අගය කිරීම වැඩි කරගැනීමට දාවිත්ට හැකි වූයේ කෙසේද?

17 දාවිත්ට දෙවිව දැකගත නොහැකි වුවත් යෙහෝවාට හිමි ගෞරවය කෙරෙහි තමන්ගේ අගය කිරීම තවත් වර්ධනය කරගත හැකි ආකාර ඔහුට තිබිණ. උදාහරණයක් හැටියට, ලෝක ව්‍යාප්ත ජලගැල්මක් මගින් දුෂ්ට ලෝකය විනාශ කිරීම වැනි දෙවිගේ බලවත් ක්‍රියා පිළිබඳව ශුද්ධ ලියවිල්ලේ සඳහන් වාර්තාව කියවීමට ඔහුට හැකි විය. දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවේ වහල්භාවයෙන් ගලවාගනිද්දී එහි බොරු දෙවිවරුන් නින්දාවට පත් වූ ආකාරය දාවිත් දැනගෙන තිබෙන්න ඇති. එම සිද්ධීන් යෙහෝවාගේ තේජෝමහිමයට හා උතුම්කමට සාක්ෂි සපයයි.

18 දෙවිගේ තේජෝමහිමය කෙරෙහි වූ දාවිත්ගේ අගය කිරීම වැඩිවීමට ශුද්ධ ලියවිලි කියවීම පමණක් නොව, ඒවා ගැන මෙනෙහි කිරීමද හේතු වූ බවට සැකයක් නැත. උදාහරණයක් හැටියට, යෙහෝවා ඊශ්‍රායෙල් ජාතියට නීතිය දුන් අවස්ථාවේදී සිදු වූ දේවල් ඔහු මෙනෙහි කරන්න ඇති. ඒ අවස්ථාවේදී අහසේ මහත් ගර්ජනා හා විදුලි කෙටීම්ද ඇති විය; මහා ඝන වලාකුළක් අහසේ තිබිණ; කන් දෙදරන තරම් මහත් හොරණෑ ශබ්දයක් ඇසිණ. සීනයි කන්ද සෙලවී එයින් දුම් පිට විය. යෙහෝවා නියෝජිතයෙකු ලෙස දේවදූතයෙකුව යොදාගනිමින් කතා කරද්දී, ඒ කන්ද පාමුල එක් රැස් වී සිටි ඊශ්‍රායෙල් ජනයාට ගින්දර හා ගන වලාකුළු අතරින් දස පනත ලබා දෙනු ඇසිණි. (ද්විතීය කථාව 4:32-36; 5:22-24; 10:4; නික්මයාම 19:16-20; ක්‍රියා 7:38, 53) මේ දේවලින් යෙහෝවාගේ ශ්‍රේෂ්ඨත්වය මොනවට පැහැදිලි වූවාද! මේ වාර්තාවල සඳහන් සිද්ධීන් මෙනෙහි කරන, දේවවචනයට ඇලුම් කරන අය තුළ ‘යෙහෝවාගේ ගෞරවයේ තේජෝමහිමය’ මගින් පෙලඹීමක් ඇති වෙනවා නිසැකයි. අද අපට මුළු බයිබලයම තිබේ. යෙහෝවාගේ උතුම්කම අපේ සිත්වලට තදින්ම කාවද්දන විවිධාකාර තේජවත් දර්ශන පිළිබඳව එහි සඳහන් වේ.—එසකියෙල් 1:26-28; දානියෙල් 7:9, 10; එළිදරව් 4වන පරිච්ඡේදය.

19. යෙහෝවාගේ තේජෝමහිමය සඳහා වූ අපේ අගය කිරීම වැඩි කරනු ඇත්තේ කුමක්ද?

19 දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීති අධ්‍යයනය කරන විටද යෙහෝවාගේ තේජෝමහිමය කෙරෙහි ගෞරවාන්විත බියක් දාවිත් තුළ ඇති වූවා විය හැකියි. (ද්විතීය කථාව 17:18-20; ගීතාවලිය 19:7-11) යෙහෝවාගේ නීතිවලට කීකරු වීමෙන් ගෞරවාන්විත තත්වයක සිටීමටත් වෙනත් සියලුම ජාතීන්ගෙන් වෙන්ව සිටීමටත් ඊශ්‍රායෙල්වරුන්ට හැකි විය. (ද්විතීය කථාව 4:6-8) දාවිත් කළාක් මෙන් අපත් නිතිපතා ශුද්ධ ලියවිලි කියවමින් ඒ ගැන ගැඹුරින් මෙනෙහි කරනවා නම්, කඩිසරව ඒවා අධ්‍යයනය කරනවා නම් යෙහෝවාගේ තේජෝමහිමය සඳහා වූ අපේ අගය කිරීම වැඩි වනු නිසැකයි.

යෙහෝවාගේ යහපත් ගුණාංග මොන තරම් උතුම්ද!

20, 21. (අ) ගීතාවලිය 145:7-9හි යෙහෝවාගේ යහපත්කම අතිමහත් බව පැහැදිලි කර තිබෙන්නේ කුමන ගුණාංග සම්බන්ධ කරගනිමින්ද? (ආ) මෙහි සඳහන් දෙවිගේ ගුණාංග ඔහුට ප්‍රේම කරන සියල්ලන් කෙරෙහි ඇති කරන බලපෑම කුමක්ද?

20 අප දැනටමත් සලකා බැලූ ආකාරයට 145වන ගීතිකාවේ මුල් වගන්ති හය යෙහෝවාගේ සොයා දැනගත නොහැකි උතුම්කම පිළිබඳව සාක්ෂි සපයන දේවල් වෙනුවෙන් ඔහුව ප්‍රශංසාවට පත් කිරීමට අපට හොඳ හේතු සපයයි. ගීතා 145 හතේ සිට නවය දක්වා වගන්තිවල යෙහෝවාගේ යහපත් ගුණාංග සඳහන් කරමින් ඔහුගේ උතුම්කම උසස් කර දක්වයි. දාවිත් ඒ ගැන මෙසේ ගායනා කරයි. “ඔවුහු ඔබගේ මහත් යහපත්කමේ සිහිවීම ප්‍රකාශ කරමින් ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ගී කියන්නෝය. යෙහෝවා දයාවන්තය; අනුකම්පාවෙන් පූර්ණය; උදහස් වීමට ප්‍රමාදය; මහත් කරුණාවෙන් යුක්තය. යෙහෝවා සියල්ලන්ට යහපත්ය. ඔහුගේ දයාබරකම් ඔහුගේ සියලු කර්මාන්ත කෙරෙහිය.”

21 මෙහිදී දාවිත් මුලින්ම අවධානයට ලක් කරන්නේ යෙහෝවාගේ යහපත්කම හා ධර්මිෂ්ඨකමයි. සාතන් නමැති යක්ෂයා විසින් ප්‍රශ්නයට ලක් කරනු ලැබුවේද මෙම ගුණාංගයි. මෙම ගුණාංග මගින් දෙවිට ප්‍රේම කරමින් ඔහුගේ පාලන තන්ත්‍රයට යටත් වන සියලුදෙනාම කෙරෙහි ඇති කරන්නේ කුමනාකාරයේ බලපෑමක්ද? නිසැකවම යෙහෝවාගේ යහපත්කම හා ඔහු පාලනය කරන ආකාරයෙන් පිළිබිඹු වන ඔහුගේ ධර්මිෂ්ඨකම ඔහුට නමස්කාර කරන අය තුළ මොන තරම් ප්‍රීතියක් ඇති කරනවාද කියනවා නම් ඔහුට ප්‍රශංසා කරමින් ගයන ගී ඔවුන්ට නතර කළ නොහැක එමෙන්ම යෙහෝවා ‘සියල්ලන්ටම’ යහපත්ය. මෙය බොහෝදෙනෙකුට ප්‍රමාද වීමට කලින් පසුතැවිලි වී දෙවිගේ සැබෑ නමස්කාරයන් වීම සඳහා උපකාරවත් වෙයි කියා අපි විශ්වාස කරමු.—ක්‍රියා 14:15-17.

22. යෙහෝවා ඔහුගේ සේවකයන්ට සලකන්නේ කෙසේද?

22 යෙහෝවා ‘මෝසෙස් ඉදිරිපිටින්’ යද්දී, ඔහු විසින්ම විශේෂයෙන් සඳහන් කළ ගුණාංග දාවිත් ඉතා අගය කොට සැලකුවේය. ඒ අවස්ථාවේදී යෙහෝවා මෝසෙස්ට පැවසුවේ මෙසේය. “යෙහෝවාය, යෙහෝවාය, ඔහු අනුකම්පාවෙන් පූර්ණ වූ දයාවන්ත වූ උදහස් වීමට ප්‍රමාද වන්නා වූ අධිකතර [ප්‍රේමණීය, NW] කරුණාව සහ සැබෑකමද ඇත්තා වූ දෙවි කෙනෙක්ය.” (නික්මයාම 34:6) මේ අනුව දාවිත්ද මෙසේ පැවසුවේය. “යෙහෝවා දයාවන්තය; අනුකම්පාවෙන් පූර්ණය; උදහස් වීමට ප්‍රමාදය; මහත් [ප්‍රේමණීය, NW] කරුණාවෙන් යුක්තය.” යෙහෝවා සොයා දැනගත නොහැකි තරම් උතුම් වුවත් පොළොව මත සිටින තමන්ගේ සේවකයන්ට දයාවෙන් සලකමින් ඔවුන්ව ගෞරවනීය තලයක තබයි. ඔහු අනුකම්පාවෙන්ද පූර්ණයි; පසුතැවිලි වන පව්කාරයන්ට යේසුස්ගේ මිදීමේ මිල පූජාවේ පදනම මත සමාව දීමටද සූදානම්ව සිටියි. එමෙන්ම යෙහෝවා උදහස් වීමටද ප්‍රමාදය; ඔහුගේ ධර්මිෂ්ඨ නව ලොවට ඇතුල් වීමෙන් වළක්වන දුර්වලකම් ජයගැනීමට තම සේවකයන්ට අවස්ථාව ලබා දීමෙන් ඒ බව පෙනී යයි.—2 පේතෘස් 3:9, 13, 14.

23. අප ඊළඟ ලිපියේදී සලකා බලන්නේ කුමන අනර්ඝ ගුණාංග ගැනද?

23 දාවිත් දෙවිගේ ප්‍රේමණීය කරුණාව නොහොත් පක්ෂපාත ප්‍රේමයද ඉමහත් සේ පැසසුමට ලක් කරයි. යෙහෝවා මේ ගුණාංගය විදහා පෙන්වන ආකාරය ගැනත් ඔහු පෙන්වන ප්‍රේමණීය කරුණාවට ඔහුගේ සේවකයන් ප්‍රතිචාරය දක්වන ආකාරය ගැනත් 145වන ගීතිකාවේ ඉතිරි කොටස්වලින් පැහැදිලි කෙරේ. මේ ගැන ඊළඟ ලිපියේ සාකච්ඡා කරනු ඇත.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• යෙහෝවාට “සෑමදාම” ප්‍රශංසා කිරීමට තිබෙන ප්‍රස්තා මොනවාද?

• යෙහෝවාගේ උතුම්කම සොයා දැනගත නොහැකි බවට තිබෙන උදාහරණ මොනවාද?

• යෙහෝවාගේ තේජෝමහිමය සඳහා තිබෙන අපේ අගය කිරීම වැඩි කරගැනීමට අපට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූරය]

විශ්වයේ තිබෙන මන්දාකිනි යෙහෝවාගේ උතුම්කමට සාක්ෂි සපයයි

[හිමිකම් විස්තර]

Anglo-Australian Observatory අනුග්‍රහයෙනි. ඡායාරූපය David Malin විසිනි

[12වන පිටුවේ පින්තූරය]

යේසුස් ක්‍රිස්තුස් ගැන සලකා බලන කල යෙහෝවාගේ උතුම්කම දැකිය හැක්කේ කෙසේද?

[13වන පිටුවේ පින්තූරය]

සීනයි කන්ද අසලදී ඊශ්‍රායෙල්වරුන්ට නීතිය ලැබුණු අවස්ථාවේදී යෙහෝවාගේ තේජෝමහිමය පිළිබඳ සාක්ෂි දැකගත හැකි විය