Skip to content

පටුනට යන්න

‘යෙහෝවාගේ වෘක්ෂයෝ තෘප්තියට පැමිණෙති’

‘යෙහෝවාගේ වෘක්ෂයෝ තෘප්තියට පැමිණෙති’

යෙහෝවාගේ මැවිල්ලේ අසිරිය

‘යෙහෝවාගේ වෘක්ෂයෝ තෘප්තියට පැමිණෙති’

ඔබ වනාන්තරයක සිටින විට සද්දන්ත ගස් අතරින් හිරු රැස් කඩා හැළෙන ආකාරය ඔබේ නෙත ගැටි තිබෙනවාද? සුළඟ ගස්වල කොළ අතරින් හමා යන විට නැඟෙන සිරි සිරි ශබ්දය ඔබේ සවනට වැකී තිබෙනවාද?—යෙසායා 7:2.

වසරේ එක් කාලයකදී ලෝකයේ යම් ප්‍රදේශවල විවිධ ගස්වල පත්‍ර රතු, තැඹිලි, කහ සහ අනෙකුත් වර්ණයන්ගෙන් දිදුලන්නේ හරියට වනයට ගිනි අවුලුවා ඇත්තාක් මෙනි! ‘වනයද එහි සියලු ගස්ද ප්‍රීතියෙන් ශබ්ද නඟන්න’ යන ප්‍රකාශය මොන තරම් යෝග්‍ය ප්‍රකාශයක්ද!—යෙසායා 44:23. *

පෘථිවියේ බිම් ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ වැසී තිබෙන්නේ වනාන්තරවලින්. වනාන්තර සහ එහි වසන අසීමිත ජීවීන් එහි නිර්මාතෘ සහ මැවුම්කරු වන යෙහෝවා දෙවිව මහිමවත් කරන්නේ ඉතා විශිෂ්ට ආකාරයෙන්. “පල දෙන ගස් හා කිහිරි වෘක්ෂ සියල්ලෙනි, . . . යෙහෝවාට ප්‍රශංසා කරන්න” යනුවෙන් ගායනා කළේ ආනුභාව ලත් ගීතිකාකරුයි.—ගීතාවලිය 148:7-9, 12.

“ගස් මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍යයි. මිනිසාගේ ද්‍රව්‍යමය අවශ්‍යතාත් සුන්දර පරිසරයක ජීවත් වීමේ ඔහු සතු ආශාවත් සන්සිඳුවනවා” යයි අප අවට ඇති ගස් යන ග්‍රන්ථයේ (සිංහලෙන් නැත) සඳහන් කරනවා. වනාන්තර වර්ෂාවට දායක වන අතර ඒ මගින් ජල උල්පත් රැක දී මිනිසාට පිරිසිදු ජලය ලබාගැනීමට හැකි කරවයි. ඒ වගේම ගස් වාතය පිරිසිදු කිරීමටත් දායක වෙනවා. ප්‍රභාසංශ්ලේෂණය නමැති විශිෂ්ට ක්‍රියාවලියේදී ශාක පත්‍රවල සෛල මගින් කාබන් ඩයොක්සයිඩ්, ජලය, ඛනිජ ලවණ සහ හිරු එළිය උපයෝගි කරගනිමින් පෝෂ්‍ය පදාර්ථ හා ඔක්සිජන් නිපදවනවා.

වනාන්තරය, සුන්දරත්වය සහ නිර්මාණශීලීත්වය පිළිබඳව සැපයිය හැකි හොඳම නිදසුන කියා පැවසුවොත් එය නිවැරදියි. බොහෝවිට එහි ඇති සද්දන්ත ගස් වනාන්තරයට තේජවත්බවක් ලබා දෙයි. මීවන, පාසි, වැල්, පඳුරු සහ පැළෑටි ඒ අතර වැවෙනවා. එම ශාක රඳා සිටින්නේ ගස්වල සෙවණැල්ල සහ වනාන්තරයෙන් ලැබෙන තෙතමනය මතයි.

සමහර වනාන්තරවල වසර අගභාගයේදී කොළ හැළෙන කාලයට එක් අක්කරයක මිලියන දහයකට වඩා කොළ ප්‍රමාණයක් හැළෙනවා. එම කොළවලට කුමක්ද සිදු වන්නේ? කෘමීන්, දිලීර, පණුවෝ සහ අනෙකුත් ජීවීන් මෙම කාබනික ද්‍රව්‍ය සරු පසකට අත්‍යවශ්‍ය වන හියුමස් බවට පත් කරනවා. කාටත් නොපෙනෙන අයුරින් මෙම වැඩකරුවන් කිසිම දෙයක් අපතේ නොයවා පස සකස් කරන්නේ අලුත් වර්ධනයක් සඳහායි.

හැළුණු කොළ යට තිබෙන පස ජීවීන් විශාල සංඛ්‍යාවකගෙන් ගහනයි. වනාන්තරය (සිංහලෙන් නැත) නමැති ග්‍රන්ථයේ සඳහන් වන පරිදි “සෙන්ටිමීටර් 2.5ක ගැඹුරකින් හා සෙන්ටිමීටර් 30ක වර්ගඵලයකින් යුත් බිම් ප්‍රමාණයක ජීවීන් 1,350කට වඩා සොයාගත හැකියි. මෙයට පස් මිටක සිටින පියවි ඇසට නොපෙනෙන බිලියන ගණන් ජීවීන් ඇතුළත් නැහැ.” ඊට අමතරව වනාන්තර උරගයන්, කුරුල්ලන්, කෘමීන් සහ ක්ෂීරපායී සතුන්ගෙන් ගහනව පවතිනවා. මෙම සුන්දරත්වය සහ විවිධත්වය සඳහා ගෞරවය හිමි විය යුත්තේ කාටද? ඔවුන්ගේ මැවුම්කරු මෙසේ ප්‍රකාශ කිරීම උචිත වේ. “වනයේ සියලු සතුන් සහ දහස් ගණන් කඳුවල ගවයොත් මාගේය.”—ගීතාවලිය 50:10.

සමහර සතුන්ව මවා තිබෙන්නේ ශිශිර තරණය කිරීමේ විශිෂ්ට හැකියාව ඇතුවයි. එමනිසා ශීත ඍතුවේ අධික සීතල දරාගැනීමේ හා දීර්ඝ කාලයක් පුරා ආහාර නොමැතිව වුවත් ජීවත් වීමේ හැකියාව උන් සතුයි. නමුත් හැම සතෙකුටම එම හැකියාව නැහැ. ශීත ඍතුවේ මැදභාගයේදී වුවත් මුව රංචුවක් එළිමහනේ යන ආකාරය ඔබට දැකගත හැකියි. මුවෝ ශිශිර තරණය කරන්නේවත් කෑම රැස් කර තබන්නේවත් නැහැ. ජර්මනියෙන් ලැබුණ මෙහි දක්නට ලැබෙන පින්තූරයේ පෙනෙන ආකාරයට උන් ළපටි දළු සහ පොහොට්ටු ඒ කාලයේදී ආහාරයට ගන්නවා.

ශුද්ධ ලියවිලිවල ශාක පිළිබඳව විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. එක් ගණන් බැලීමකට අනුව බයිබලයේ වෙනස් වෙනස් ශාක වර්ග 130ක් පිළිබඳව සඳහන් වන අතර එයට ගස් වර්ග 30ක් ඇතුළත්. බයිබලයේ තිබෙන එම යොමු දැක්වීම්වල විශේෂත්වය ගැන උද්භිත විද්‍යඥයෙක් වන මයිකල් සෝහාරි මෙවන් ප්‍රකාශයක් කරනවා. “ජීවිතයේ විවිධ පැතිවලට සම්බන්ධ කරමින් ශාක ගැන බයිබලයේ විශාල යොමු දැක්වීම් ප්‍රමාණයක් දැකගත හැකියි. නමුත් බයිබලීය නොවන වෙනත් සාමාන්‍ය පොත් පත්වල එසේ දක්නට ලැබෙන්නේ නැහැ.”

ගස් සහ වනාන්තර ප්‍රේමණීය මැවුම්කරුවෙකුගෙන් ලද අගනා ත්‍යාගයන්. අප වනාන්තරයේ සිරි නරඹා ඇත්නම් අපත් ගීතිකාකරුගේ වචන සමඟ එකඟ වන බව නිසැකයි. “යෙහෝවාගේ වෘක්ෂයෝ, එනම් ඔහු සිටෙවූ, ලෙබනොන්හි කිහිරි වෘක්ෂයෝ, තෘප්තියට පැමිණෙති. එහි කුරුල්ලෝ කූඩු සාදාගනිති.”—ගීතාවලිය 104:16, 17.

[පාදසටහන]

^ 4 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිනදර්ශනයේ 2004  ජනවාරි/පෙබරවාරි මාස බලන්න.

[9වන පිටුවේ කොටුව⁄පින්තූර]

මැද පෙරදිග පල දරන ඉතාමත්ම ලස්සන ගස් අතරින් එක ගසක් ආමන්ඩ් ගස හෙවත් රටකොට්ටම්බා ගසයි. වසරේ මුලම අනෙකුත් ගස් සියල්ලට කලින් පිබිදෙන්නේ මෙම ගසයි. අනෙක් ගස්වලට ප්‍රථම මෙහි මල් පූදින නිසාවෙන් පුරාණ හෙබ්‍රෙව්වරුන් රටකොට්ටම්බා ගස හැඳින්වූයේ පිබිදෙන්නා ලෙසයි. මෙම ගස බොහෝවිට පිබිදෙන්නේ ලා රෝස පැහැයෙන් හෝ සුදු පැහැයෙන් යුත් මලින් බර වෙලයි.—දේශනාකාරයා 12:5.

දැනට හඳුනාගෙන තිබෙන කුරුලු වර්ග 9,000න් 5,000ක් වර්ග කර තිබෙන්නේ ගී ගයන කුරුල්ලන් හැටියටයි. උන්ගේ ගී රාවය මහ ගන වනාන්තරයේ නිහැඬියාව බිඳ හෙළනවා. (ගීතාවලිය 104:12) නිදසුනකට ගී ගයන ගේ කුරුල්ලාට කන්කලු ගී නාදයන් කිහිපයක් තිබෙනවා. අළු, කහ සහ කහ කොළ වර්ණයන්ගේ අපූර්ව සංකලනයකින් යුත් මෙහි දැක්වෙන පින්තූරයේ සිටින රැවියා (Mouring warblers) වැනි පක්ෂීන් පුංචි ගායකයෝය.—ගීතාවලිය 148:1, 10.

[9වන පිටුවේ පින්තූරය]

ප්‍රංශයේ නොමැන්ඩිහි වනරෝද