Skip to content

පටුනට යන්න

යෙහෝවා පක්ෂපාත ප්‍රේමයෙන් මහත්ය

යෙහෝවා පක්ෂපාත ප්‍රේමයෙන් මහත්ය

යෙහෝවා පක්ෂපාත ප්‍රේමයෙන් මහත්ය

‘යෙහෝවා . . . මහත් සේ [ප්‍රේමණීය, NW] කරුණාවෙන් යුක්තය.’—ගීතාවලිය 145:8.

1. දෙවිගේ ප්‍රේමය කොතරම් මහත්ද?

“දෙවි ප්‍රේමයය.” (1 යොහන් 4:8) ප්‍රීතිය දනවන මෙම වදන්වලින් තහවුරු කෙරෙන්නේ යෙහෝවා පාලනය කරන්නේ ප්‍රේමය පදනම් කරගෙන බවයි. ඔහුට කීකරු නොවන මිනිස්සු පවා ඔහු ප්‍රේමණීය ලෙස සපයන සූර්යාලෝකයෙන් හා වැස්සෙන් ප්‍රයෝජන ගනිති. (මතෙව් 5:44, 45) දෙවි මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම ප්‍රේමය පෙන්වන නිසා ඔහුගේ සතුරන්ට පවා පසුතැවිලි වී, ඔහු වෙතට හැරී සදාකාල ජීවනය අත් කරගත හැකියි. (යොහන් 3:16) කෙසේවෙතත්, දිගින් දිගටම දුෂ්ටකම් කරන අයව යෙහෝවා විසින් ළඟදීම විනාශ කර දමනු ඇත. ඔහු මෙම පියවර ගන්නේ ඔහුට ප්‍රේම කරන අයට ධර්මිෂ්ඨකම වාසය කරන නව ලොවක සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව උදා කර දීම සඳහාය.—ගීතාවලිය 37:9-11, 29; 2 පේතෘස් 3:13.

2. යෙහෝවාට කැප වී තිබෙන අයට ඔහු පෙන්වන විශේෂාකාර ප්‍රේමය කුමක්ද?

2 යෙහෝවා ඔහුගේ සැබෑ නමස්කාරකයන්ට ප්‍රේමය පෙන්වන්නේ සුවිශේෂී ආකාරයකටය. මෙම ප්‍රේමය ඉතා අනර්ඝය; සැමදා පවතී. මෙවන් ප්‍රේමයක් විස්තර කිරීමට යොදාගෙන තිබෙන හෙබ්‍රෙව් වචනය පරිවර්තනය කර ඇත්තේ “ප්‍රේමණීය කරුණාව” නොහොත් “පක්ෂපාත ප්‍රේමය” කියාය. පුරාණ ඊශ්‍රායෙලයේ විසූ දාවිත් රජ දෙවිගේ ප්‍රේමණීය කරුණාව ඉමහත් සේ අගය කළේය. ඔහුගේ පෞද්ගලික අද්දැකීම් හා දෙවි අන් අය සමඟ කටයුතු කර තිබෙන ආකාරය ගැන මෙනෙහි කිරීම නිසා මෙම වදන් නිසැකකමකින් යුතුව ගායනා කිරීමට ඔහුට හැකි විය. “යෙහෝවා දයාවන්තය; අනුකම්පාවෙන් පූර්ණය; උදහස් වීමට ප්‍රමාදය; මහත් [සේ ප්‍රේමණීය, NW] කරුණාවෙන් [නොහොත් පක්ෂපාත ප්‍රේමයෙන්] යුක්තය.”—ගීතාවලිය 145:8.

දෙවිට පක්ෂපාත අයව හඳුනාගැනීම

3, 4. (අ) යෙහෝවාගේ පක්ෂපාත සේවකයන්ව හඳුනාගැනීමට 145වන ගීතිකාව අපට උපකාරවත් වන්නේ කෙසේද? (ආ) දෙවිගේ පක්ෂපාත සේවකයන් ඔහුට “ප්‍රශංසා” කරන්නේ කෙසේද?

3 සාමුවෙල්ගේ මව වූ හන්නා යෙහෝවා දෙවි ගැන මෙසේ පැවසුවාය. “ඔහු තමන් ශුද්ධවන්තයන්ගේ [තමන්ට පක්ෂපාත අයගේ, NW] පාද ආරක්ෂා කරන්නේය.” (1 සාමුවෙල් 2:9) එම “පක්ෂපාත අය” වන්නේ කවුරුන්ද? දාවිත් රජ මෙයට පිළිතුරු සපයයි. යෙහෝවාගේ ශ්‍රේෂ්ඨත්වය වර්ණනා කිරීමෙන් පසු ඔහු මෙසේ සඳහන් කරයි. “ඔබගේ ශුද්ධවන්තයෝද [පක්ෂපාත අය, NW] ඔබට ප්‍රශංසා කරන්නෝය.” (ගීතාවලිය 145:10) දෙවිගේ ගුණ වර්ණනා කිරීමෙන් ඔහුට ප්‍රශංසා කිරීමට මිනිසුන්ට හැකියි.

4 යෙහෝවාගේ පක්ෂපාත අය ඔවුන්ගේ මුඛය විවෘත කර ඔහුගේ ගුණ වර්ණනා කරන බැවින් ඔවුන්ව හඳුනාගැනීම අමාරු නැත. සාමාජීය ඇසුරකදී හෝ වේවා ක්‍රිස්තියානි රැස්වීම්වලදී හෝ වේවා ඔවුන් කතා බහ කරන දේවල පොදු තේමාව වන්නේ කුමක්ද? එය යෙහෝවාගේ රාජ්‍යය බව නිසැකයි. දෙවිගේ පක්ෂපාත සේවකයන්ට තිබෙන්නේ දාවිත්ට තිබුණා හා සමාන හැඟීම්ය. ඔහු මෙසේ ගායනා කළේය. “ඔවුහු ඔබගේ [යෙහෝවාගේ] රාජ්‍යයේ මහිමය වර්ණනා කරන්නෝය. ඔබගේ බලය ගැනද කතා කරන්නෝය.”—ගීතාවලිය 145:12.

5. යෙහෝවාගේ පක්ෂපාත සේවකයන් ඔහුගේ ගුණ වර්ණනා කරද්දී, ඔහු ඒවාට සවන් දෙන බව අප දන්නේ කෙසේද?

5 යෙහෝවා ඔහුගේ පක්ෂපාත සේවකයන් ඔහුට ප්‍රශංසා කරද්දී එයට අවධානය දෙනවාද? ඔව්, ඔවුන් පවසන දේවලට ඔහු සිය අවධානය දෙයි. මලාකී අපේ කාලයේ පවතින සැබෑ නමස්කාරය ගැන සඳහන් අනාවැකියක මෙසේ සඳහන් කළේය. “එකල යෙහෝවා කෙරෙහි භය ඇත්තෝ එකිනෙකා සමඟ කතා කරගත්තෝය. යෙහෝවාද කන් දී ඇසුවේය. එවිට යෙහෝවා කෙරෙහි භය ඇත්තාවූ ඔහුගේ නාමය සැලකුවාවූ අය ගැන ඔහු ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියන ලද්දේය.” (මලාකී 3:16) යෙහෝවා ඔහුගේ සේවකයන් තමන්ගේ ගුණ වර්ණනා කරද්දී, ඒ ගැන ඉමහත් සේ ප්‍රීති වෙයි; එමෙන්ම ඔවුන්ව තමන්ගේ මතකයේද තබාගනී.

6. දෙවිගේ පක්ෂපාත සේවකයන්ව හඳුනාගැනීමට අපට උපකාරවත් වන ක්‍රියාකාරකම කුමක්ද?

6 යෙහෝවාගේ පක්ෂපාත සේවකයෝ සැබෑ දෙවිට නමස්කාර නොකරන අයට කතා කිරීම සඳහා ධෛර්ය සම්පන්නව මුල් පියවර ගනිති. මෙයද ඔවුන්ව හඳුනාගත හැකි තවත් ආකාරයකි. දෙවිගේ පක්ෂපාත සේවකයෝ ‘දෙවිගේ බලවත් ක්‍රියාත් ඔහුගේ රාජ්‍යයේ තේජෝමහිමයත් මනුෂ්‍ය පුත්‍රයන්ට දන්වති’. (ගීතාවලිය 145:11) ඔබ යෙහෝවාට නමස්කාර නොකරන අය සමඟ ඔහුගේ රාජ්‍යයේ මහිමය ගැන කතා කිරීමට මං සොයමින්, එම අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්නවාද? වැඩි කල් නොගොස් පහ වී යෑමට නියමිත මිනිසුන්ගේ ආණ්ඩු මෙන් නොව, ඔහුගේ රාජ්‍යයේ තේජෝමහිමය සදාකාලිකය. (1 තිමෝති 1:17) ජනයා යෙහෝවාගේ සදාකාලික රාජ්‍යය ගැන ඉගෙනගෙන, ඊට සහය පළ කරන බව පෙන්වීම හදිසි කාරණයකි. “ඔබගේ රාජ්‍යය සදාකාලික රාජ්‍යයක්ය. ඔබගේ අධිපතිකමද සියලු පරම්පරාවලම පවත්නේය” කියා දාවිත් ගායනා කළේය.—ගීතාවලිය 145:13.

7, 8. වර්ෂ 1914දී සිදු වූයේ කුමක්ද? දෙවි ඔහුගේ පුත්‍රයාගේ රාජ්‍යය මාර්ගයෙන් දැන් පාලනය කරමින් සිටින බව ඔප්පු වන්නේ කුමකින්ද?

7 යෙහෝවාගේ රාජ්‍යය ගැන කතා කිරීමට 1914 සිට තවත් හේතු මතු වී තිබේ. දාවිත්ගේ පුත්‍රයා වූ යේසුස් ක්‍රිස්තුස් රජකම් කරන ස්වර්ගික මෙසියානු රාජ්‍යය දෙවි ස්ථාපිත කළේ එම වසරේදීය. දාවිත්ගේ රාජ්‍යය සදාකාලයටම ස්ථිර කර පිහිටුවන බවට යෙහෝවා දුන් පොරොන්දු එසේ ඉටු විය.—2 සාමුවෙල් 7:12, 13; ලූක් 1:32, 33.

8 දැන් යෙහෝවා ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ගේ රාජ්‍යය යොදාගනිමින් පාලනය කරන බවට වූ සාක්ෂි, යේසුස් පැමිණ සිටින කාලය හා සම්බන්ධ ලකුණ ඉටු වෙමින් තිබෙන නිසා දැකිය හැකියි. එම ලකුණේ වඩාත්ම කැපීපෙනෙන අංගය වන්නේ දෙවිගේ සියලුම පක්ෂපාත සේවකයන් විසින් සිදු කරනු ලබන බවට යේසුස් පුරෝකථනය කළ කාර්යයයි. මේ ගැන ඔහු මෙසේ පැවසුවේය. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.” (මතෙව් 24:3-14, NW) දෙවිගේ පක්ෂපාත සේවකයෝ ජ්වලිතව මෙම අනාවැකිය ඉටු කිරීමෙහි හවුල් වෙති. මෙහි ප්‍රතිඵලයක් හැටියට පුරුෂයන්, ස්ත්‍රීන් හා ළමුන් දශලක්ෂ හයකට වැඩි සමූහයක් මෙම අද්විතීය කාර්යයෙහි නිරත වෙමින් සිටිති. යෙහෝවාගේ රාජ්‍යයට විරුද්ධ වන සියලුදෙනාගේම අවසානය ළඟදීම සිදු වනු ඇත.—එළිදරව් 11:15, 18.

යෙහෝවාගේ පරමාධිපත්‍යයට යටත් වීමෙන් ප්‍රයෝජන ගැනීම

9, 10. යෙහෝවා සහ පාලකයන් අතර තිබෙන වෙනස කුමක්ද?

9 අප කැප වූ ක්‍රිස්තියානීන් නම් පරමාධිපති ස්වාමි වූ යෙහෝවා සමඟ අප පවත්වනු ලබන සබඳතාව නිසා අපි බොහෝ ප්‍රයෝජන භුක්ති විඳින්නෙමු. (ගීතාවලිය 71:5; 116:12) උදාහරණයක් හැටියට, අප දෙවිට භයව ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වන නිසා අපට ඔහුගේ අනුමැතිය තිබීම ගැන අපි සතුටු වන්නෙමු. එමෙන්ම අපි ඔහුට ආත්මිකව සමීපව සිටින්නෙමු. (ක්‍රියා 10:34, 35; යාකොබ් 4:8) මීට හාත්පසින්ම වෙනස්ව, මිනිස් පාලකයන් බොහෝ අවස්ථාවලදී සබඳකම් පවත්වන්නේ හමුදා නායකයන්, ධනවත් ව්‍යාපාරිකයන්, ක්‍රීඩා හා විනෝදාස්වාදය ගෙන දෙන ක්ෂේත්‍රවල සිටින කීර්තිමත් පුද්ගලයන් වැනි ජනප්‍රිය අය සමඟයි. සොවෙටන් නමැති අප්‍රිකානු පුවත්පතක සඳහන් වී තිබූ ආකාරයට ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරියෙක් ඔහුගේ රටේ තිබෙන දිලිඳුකමින් පීඩා විඳින ප්‍රදේශ ගැන මෙසේ පැවසුවේය. “අපගෙන් බොහෝදෙනෙක් එවැනි ප්‍රදේශවලට යන්න අකමැති වීමට හේතුව මට තේරුම්ගන්න පුළුවන්. එක හේතුවක් වන්නේ එවැනි තත්වයක් පවතින බව අමතක කර දමන්න අපට තිබෙන වුවමනාව. ඒක අපේ හෘදය සාක්ෂියට වද දෙන දෙයක්. අපි පදවන මිල අධික වාහන නිසා අපි අපහසුතාවට පත් වෙනවා.”

10 ඇතැම් පාලකයන් තමන්ගේ යටත් වැසියන්ගේ ශුභසිද්ධිය ගැන අවංකවම සැලකිලිමත් වන බව සැබෑවකි. එහෙත් ඔවුන් අතර සිටින ශ්‍රේෂ්ඨ පාලකයන් පවා ඔවුන්ගේ යටත්වැසියන්ව හොඳින් හඳුනන්නේ නැත. ඇත්තෙන්ම අප තුළ මෙවන් ප්‍රශ්නයක් ඇති විය හැකියි. තමන්ගේ යටත්වැසියන් අසීරු තත්වයන්ට මුහුණ දෙන අවස්ථාවලදී විගස ඔවුන් එක් එක්කෙනා ළඟට ඇවිත් උපකාර කිරීමට තරම් සියලුම යටත්වැසියන් ගැන සැලකිල්ල දක්වන පාලකයෙක් සිටිනවාද? ඔව්, එවැනි කෙනෙක් සිටියි. දාවිත් මෙසේ ලීවේය. “යෙහෝවා වැටෙන සියල්ලන්ට ආධාර කරයි; නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවයි.”—ගීතාවලිය 145:14.

11. දෙවිගේ පක්ෂපාත සේවකයන් මුහුණ දෙන පරීක්ෂා මොනවාද? ඔවුන්ට ලැබෙන උපකාරය කුමක්ද?

11 යෙහෝවාගේ පක්ෂපාත සේවකයෝ බොහෝ පරීක්ෂාවලට හා විපත්වලට මුහුණ දෙති. මේවාට හේතු වන්නේ ඔවුන්ගේම අසම්පූර්ණකම් හා “දුෂ්ටයා” වන සාතන්ගේ බලය යටතේ තිබෙන ලෝකයක ඔවුන් ජීවත් වීමයි. (1 යොහන් 5:19, NW; ගීතාවලිය 34:19) ක්‍රිස්තියානීහු පීඩා අද්දකිති. සමහරු නිදන්ගත රෝගවලින් පෙළෙති; තවත් අය වියෝ දුකෙන් පසු වෙති. ඇතැම් අවස්ථාවලදී යෙහෝවාගේ පක්ෂපාත සේවකයන් අතින් සිදු වන අඩු පාඩුකම් නිසා ඔවුන් අධෛර්යයට පත්ව ‘නැමී’ සිටිය හැකියි. කෙසේවෙතත්, මුහුණ දීමට සිදු වන පරීක්ෂාව කුමක් වුවත් ඔවුන් එක් එක් කෙනාට සැනසිල්ල ලබා දීමටත්, ඔවුන්ව ආත්මිකව ශක්තිමත් කිරීමටත් යෙහෝවා නිතරම සෑදී පැහැදී සිටියි. රජු වන යේසුස් ක්‍රිස්තුස්ද තමන්ගේ පක්ෂපාත යටත්වැසියන් කෙරෙහි දක්වන්නේ එවැනිම ප්‍රේමණීය සැලකිල්ලකි.—ගීතාවලිය 72:12-14.

සුදුසු කාලයේදී කෑම සැපයීම

12, 13. යෙහෝවා “ජීවමාන සියල්ලන්ගේ” අවශ්‍යතා කොතරම් හොඳින් සපුරාලනවාද?

12 යෙහෝවා ප්‍රේමණීය කරුණාව පෙන්වමින් ඔහුගේ සේවකයන්ගේ සියලුම අවශ්‍යතා සපුරාලයි. පෝෂ්‍යදායී ආහාරවලින් ඔවුන්ව තෘප්තිමත් කිරීම එයට ඇතුළත් වේ. දාවිත් රජ මෙසේ ලීවේය. “සියල්ලන්ගේ ඇස් ඔබ [යෙහෝවා] දෙස යොමු කර තිබේ; ඔබද සුදුසු කාලයේ ඔවුන්ට කෑම දෙන්නේය. ඔබ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරන්නේය.” (ගීතාවලිය 145:15, 16) විපත්තිදායක කාලවලදී පවා තම පක්ෂපාත සේවකයන්ට “දිනපතා අවශ්‍ය භෝජනය” ලබාගැනීමට හැකි වන පරිදි කටයුතු හසුරුවන්න යෙහෝවාට පුළුවනි.—ලූක් 11:3, NW; 12:29, 30.

13 “ජීවමාන සියල්ලන්” තෘප්තියට පැමිණෙන බව දාවිත් සඳහන් කළේය. සතුන්ද මීට ඇතුළත් වේ. මිහිතලයේ ඇති තරම් වෘක්ෂලතාදියද, සාගරවල ජලජ පැළෑටිද නොතිබුණා නම් ජලජ ජීවීන්ට හා ගොඩබිම වෙසෙන සතුන්ට හුස්ම ගැනීමට ඔක්සිජන් වායුව හා අනුභව කිරීමට ආහාර නොතිබෙනු ඇත. (ගීතාවලිය 104:14) කෙසේවෙතත් සියලුම සතුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා යෙහෝවා කටයුතු පිළියෙළ කරයි.

14, 15. වර්තමානයේ ආත්මික ආහාර සපයනු ලබන්නේ කෙසේද?

14 සතුන් මෙන් නොව මිනිසුන්ට ආත්මික අවශ්‍යතාවක්ද තිබේ. (මතෙව් 5:3, NW) යෙහෝවා ඔහුගේ පක්ෂපාත සේවකයන්ගේ ආත්මික අවශ්‍යතා මොන තරම් අපූර්ව ලෙස සපයනවාද! “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” තමන්ගේ අනුගාමිකයන්ට “නියම වේලාවට” ආත්මික ආහාර ලබා දෙන බවට සිය මරණයට කලින් යේසුස් පොරොන්දු විය. (මතෙව් 24:45, NW) වර්තමානයේ එම දාස පන්තිය සමන්විත වන්නේ අභිෂේක ලත් 1,44,000දෙනාගෙන් දැනට ඉතිරි වී සිටින අයගෙනි. යෙහෝවා ඔවුන් මාර්ගයෙන් ආත්මික ආහාර බහුල ලෙස සපයා තිබේ.

15 උදාහරණයක් හැටියට, මේ කාලයේ සිටින යෙහෝවාගේ සෙනඟගෙන් බොහෝදෙනෙක් තමන්ගේම භාෂාවෙන් පළ වී තිබෙන නැවුම් හා නිවැරදි බයිබල් පරිවර්තනයකින් ප්‍රයෝජන ලබති. ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය, මොන තරම් අපූර්ව ආශීර්වාදයක් වී තිබෙනවාද! එපමණක්ද නොව, බයිබලය අධ්‍යයනය කිරීම සඳහා යොදාගනු ලබන භාෂා 300කට වඩා වැඩි ගණනකින් යුත් ආධාරක පොත් පත් දශලක්ෂ ගණනින් ප්‍රකාශයට පත් කෙරේ. මේ සියලුම ආත්මික ආහාර ලොව පුරා සිටින සැබෑ නමස්කාරකයන්ට ආශීර්වාදයක් වී තිබේ. මේ සෑම දෙයක් සඳහාම ප්‍රශංසාව හිමි විය යුත්තේ කාටද? යෙහෝවා දෙවිටය. ඔහුගේ මහත් ප්‍රේමණීය කරුණාව නිසා ‘සුදුසු කාලයේදී කෑම’ සැපයීම සඳහා ඔහු දාස පන්තියට උපකාර කර තිබේ. එවන් සැපයුම් මාර්ගයෙන් වර්තමානයේ පවතින ආත්මික පාරාදීසයේ සිටින “ජීවමාන සියල්ලන්ගේ ආශාව” පූර්ණ කරනු ලැබේ. මේ පොළොව ළඟදීම පාරාදීසයක් බවට පත් වෙනවා දැකීමේ අපේක්ෂාව ගැන යෙහෝවාගේ සේවකයන් තුළ තිබෙන ප්‍රීතිය මොන තරම්ද!—ලූක් 23:42, 43.

16, 17. (අ) සුදුසු කාලයේදී ආත්මික ආහාර ලැබුණු බවට තිබෙන උදාහරණ මොනවාද? (ආ) සාතන් චෝදනාවට ලක් කර තිබෙන ප්‍රධානතම කාරණය ගැන දෙවිගේ පක්ෂපාත සේවකයන් තුළ ඇති වන හැඟීම් 145වන ගීතිකාවෙන් ප්‍රකාශ වන්නේ කෙසේද?

16 සුදුසු කාලයේදී ආත්මික ආහාර ලැබීම සම්බන්ධයෙන් කැපීපෙනෙන උදාහරණයක් සලකා බලන්න. වර්ෂ 1939දී දෙවන ලෝක මහා යුද්ධය යුරෝපයේ ආරම්භ විය. එම වසරේම නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ (සිංහලෙන් නැත) “මධ්‍යස්ථභාවය” නමැති මාතෘකාවෙන් යුත් ලිපියක් පළ විය. සටන් වැද සිටි රටවල සිදු වෙමින් පැවති කටයුතුවලදී නොසැලෙන ලෙස තම මධ්‍යස්ථභාවය අඛණ්ඩව රැකගැනීමේ අවශ්‍යතාව එවකට ලොව පුරා සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට තේරුම්ගැනීමට උපකාරවත් වූයේ එහි ඉදිරිපත් කර තිබූ පැහැදිලි තොරතුරුය. වසර හයක් පුරා පැවති එම යුද්ධයට හවුල් වී සිටි පාර්ශ්ව දෙකටම අයත් ආණ්ඩුවල උදහසට ඔවුන් ලක් විය. කෙසේවෙතත්, දෙවිගේ පක්ෂපාත සේවකයෝ තහංචි හා පීඩා මැද නොනවත්වාම රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමෙහි නිරත වූහ. වර්ෂ 1939 සිට 1946 දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ඔවුන් ලැබූ වර්ධනය සියයට 157කි. මෙම විස්මිත වර්ධනය ආශීර්වාදයක් නොවේද! එපමණක්ද නොව, එම යුද්ධය පැවති කාලයේදී ඔවුන් කැපීපෙනෙන අයුරින් රැකගත් පක්ෂපාතකම සැබෑ ආගම හඳුනාගැනීමට එදා මෙන් අදත් ජනයාට උපකාරවත් වේ.—යෙසායා 2:2-4.

17 යෙහෝවා සපයන ආත්මික ආහාර කාලයට සුදුසු ඒවා පමණක් නොව, ඒවායින් ආත්මික අවශ්‍යතාව පූර්ණ ලෙස තෘප්තිමත් වේ. දෙවන ලෝක මහා යුද්ධ සමයේදී ජාතීන් යුද්ධය මුල් තැනට දමා කටයුතු කරද්දී, වඩාත් වැදගත්ම දෙය වන්නේ තමන්ගේ ගැලවීමට වඩා වැඩි දෙයක් බව තේරුම්ගෙන, එය කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමට යෙහෝවාගේ සෙනඟට උපකාර ලැබිණ. යෙහෝවාගේ පරමාධිපත්‍යය නිසි ලෙස මෙහෙයවීම සම්බන්ධයෙන් මුළු විශ්වයටම බලපාන පරිදි මතු කර තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය තේරුම්ගැනීමට ඔහු ඔවුන්ට උපකාර කළේය. යෙහෝවාගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගත බව තහවුරු කිරීමේදී හා සාතන් බොරුකාරයෙකු බව ඔප්පු කිරීමේදී තමන්ගේ පක්ෂපාතකම රැකගැනීමෙන් එයට යම් ප්‍රමාණයකට හෝ දායක වීමේ අවස්ථාව යෙහෝවාගේ සෑම සාක්ෂිකරුවෙකුටම තිබූ බව දැනගන්න ලැබීම මොන තරම් තෘප්තියක් ඇති කරවන හැඟීමක්ද! (හිතෝපදේශ 27:11) යෙහෝවා ගැනත් ඔහු පාලනය කරන ආකාරය ගැනත් බොරු චෝදනා ඉදිරිපත් කරන සාතන් මෙන් නොව, යෙහෝවාගේ පක්ෂපාත සේවකයෝ “යෙහෝවා ස්වකීය සියලු මාර්ගයන්හි ධර්මිෂ්ඨය” කියා නොනවත්වාම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති.—ගීතාවලිය 145:17.

18. කාලෝචිත මෙන්ම තෘප්තිය ලැබිය හැකි ආත්මික ආහාරයක් ලැබීම පිළිබඳ මෑත කාලීන නිදසුනක් සපයන්න.

18 කාලෝචිත මෙන්ම තෘප්තිය ගෙන දෙන ආත්මික ආහාරයකට තවත් නිදසුනක් වන්නේ 2002/03 අතරතුර කාලයේදී ලොව පුරා පවත්වන ලද සිය ගණනක් වූ “ජ්වලිතවත් රාජ්‍ය ප්‍රකාශකයෝ” නමැති දිස්ත්‍රික් සමුළුවේදී මුදාහැරිය යෙහෝවාට ළං වෙන්න නමැති පොතයි. “විශ්වාසවන්ත හා නුවණැති දාසයා” විසින් පිළියෙළ කරනු ලැබීමෙන් අනතුරුව, යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන මෙම පොතෙහි මූලික අවධානය යොමු කරන්නේ 145වන ගීතාවලියේ සඳහන් ගුණාංග ඇතුළුව යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨ ගුණාංග වෙතටයි. දෙවිගේ පක්ෂපාත සේවකයන්ට තව තවත් ඔහුට ළංවීමට උපකාර කිරීමේදී මෙම කදිම පොත මගින් වැදගත් කාර්යභාරයක් ඉටු වෙනු ඇති බව නිසැකයි.

යෙහෝවාට තව තවත් ළංවීමට කාලයක්

19. ළඟා වෙමින් පවතින තීරණාත්මක කාලය කුමක්ද? ඒ කාලයට මුහුණ දීමට අපට හැක්කේ කෙසේද?

19 යෙහෝවාගේ පරමාධිපත්‍යය හා බැඳි වාදයට ලක් කර තිබෙන ප්‍රශ්නය නිරාකරණය කිරීමේ තීරණාත්මක අදියර ළං වෙමින් පවතී. එසකියෙල් 38වන පරිච්ඡේදයෙහි පුරෝකථනය කර තිබෙන ආකාරයට ළඟදීම සාතන් “මාගොග් දේශයේ ගොග්” වශයෙන් ඔහුගේ කාර්යය සම්පූර්ණ කරනු ඇත. මෙයට යෙහෝවාගේ සෙනඟට එරෙහිව ලෝක ව්‍යාප්ත ප්‍රහාරයක් එල්ල කිරීම ඇතුළත් වේ. මෙහිදී සාතන් දෙවිගේ පක්ෂපාත සේවකයන්ගේ අඛණ්ඩ ස්ථාවරය බිඳ හෙළීම සඳහා ඔහුගේ මුළු වැර යොදනු ඇත. එනිසා යෙහෝවාට නමස්කාර කරන අය වෙන කවරදාටත් වඩා මුළු හදින්ම යාච්ඤා කිරීම අවශ්‍යයි. උපකාර ඉල්ලා මොරගැසීම පවා අවශ්‍ය විය හැකියි. ඔවුන් දෙවි කෙරෙහි ගෞරවාන්විත බියක් ඇතුව ප්‍රේමය පෙන්වීම ඒ කාලයේදී නිෂ්ඵල දෙයක් වෙයිද? නැත. කොහෙත්ම නැත. මන්ද 145වන ගීතාවලියේ මෙසේ පවසයි. “යෙහෝවා තමන්ට යාච්ඤා කරන සියල්ලන්ට, එනම් සැබවින් ඔහුට යාච්ඤා කරන සියල්ලන්ට ළංව සිටියි. ඔහු තමන් කෙරෙහි භය ඇත්තන්ගේ ආශාව ඉෂ්ට කර දෙන්නේය. ඔවුන්ගේ මොරගැසීම අසා ඔවුන් ගලවන්නේය. යෙහෝවා තමන්ට ප්‍රේම කරන සියල්ලන්ව ආරක්ෂා කරන්නේය. නමුත් සියලු දුෂ්ටයන්ව විනාශ කරන්නේය.”—ගීතාවලිය 145:18-20.

20. ගීතාවලිය 145:18-20හි සඳහන් වදන් නුදුරු අනාගතයේදී සැබෑවක් බව ඔප්පු වන්නේ කෙසේද?

20 යෙහෝවා සියලුම දුෂ්ටයන්ව අතු ගා දමන කාලයේදී ඔහු අපට ළංව සිටීමත්, ඔහුගේ ගැලවීමේ බලය අපට අද්දකින්න ලැබීමත් මොන තරම් ප්‍රීති ප්‍රමෝදයක් ඇති කරවන හැඟීමක් වනු ඇද්ද! ඉතාමත් ආසන්නව තිබෙන එම තීරණාත්මක කාලයේදී යෙහෝවා සවන් දෙන්නේ සැබෑකමින් නොහොත් “සැබවින් ඔහුට යාච්ඤා කරන සියල්ලන්ට” පමණි. ඔහු කුහකයන්ට සවන් නොදෙන බව නිසැකයි. දුෂ්ටයන් අන්තිම පැයේදී ඔහුගේ නාමය කියා යාච්ඤා කිරීම, කවදත් නිෂ්ඵල දෙයක් වූ බව දේවවචනය නැවත නැවතත් පැහැදිලිව පෙන්වා දෙයි.—හිතෝපදේශ 1:28, 29; මීකා 3:4; ලූක් 13:24, 25.

21. දෙවිගේ නාමය සඳහන් කරන්න ලැබීම ගැන තමන් සතුටු වන බව යෙහෝවාගේ පක්ෂපාත සේවකයන් පෙන්වන්නේ කෙසේද?

21 යෙහෝවා කෙරෙහි භය ඇති අය “සැබවින් ඔහුට යාච්ඤා” කිරීම වෙන කවරදාටත් වඩා දැන් හදිසි දෙයකි. ඔහුගේ පක්ෂපාත සේවකයෝ යාච්ඤා කිරීමේදී හා රැස්වීම්වලදී අදහස් දැක්වීමේදී ඔහුගේ නම සඳහන් කිරීමට සතුටු වෙති. ඔවුහු එදිනෙදා කතා බහේදී දෙවිගේ නාමය සඳහන් කරති. එමෙන්ම ඔවුහු ප්‍රසිද්ධියේ දේවසේවයේ හවුල් වන විට යෙහෝවාගේ නාමය ධෛර්ය සම්පන්නව ප්‍රකාශ කරති.—රෝම 10:10, 13-15.

22. ලෞකික ආකල්පවලට හා ආශාවන්ට දිගටම එරෙහිව සිටීම අතිවැදගත් දෙයක් වන්නේ මන්ද?

22 යෙහෝවා දෙවි සමඟ සමීප සබඳතාවක් ඇතුව සිටීමෙන් අත් වන ප්‍රයෝජන දිගටම භුක්ති විඳීමට නම් අපේ ආත්මිකත්වයට හානි කරන දේවලට අප අඛණ්ඩව එරෙහිව සිටීමද අතිවැදගත් වේ. අපේ ආත්මිකත්වය විනාශ කරන දේවල් අතර ද්‍රව්‍යවාදය, හානිකර විනෝදාස්වාදයන්, අන් අයට සමාව දීමට අකමැති ආකල්පයක් හා අඟහිඟකම්වලින් පෙළෙන අය ගැන සැලකිල්ල නොදැක්වීම යනාදිය සඳහන් කළ හැකියි. (1 යොහන් 2:15-17; 3:15-17) මෙවැනි දේවල් නිවැරදි කරගන්නේ නැත්නම්, ඒවා බරපතළ පාපවලටද අවසානයේදී යෙහෝවාගේ අනුමැතිය අහිමි වීමටද මඟ පෑදිය හැකියි. (1 යොහන් 2:1, 2; 3:6) යෙහෝවා අපට දිගටම ප්‍රේමණීය කරුණාව නොහොත් පක්ෂපාත ප්‍රේමය පෙන්වන්නේ අප ඔහුට සැමදාම විශ්වාසවන්තව සිටියහොත් පමණක් බව මතකයේ තබාගැනීම ප්‍රඥාවන්ත දෙයකි.—2 සාමුවෙල් 22:26.

23. දෙවිගේ සියලුම පක්ෂපාත සේවකයන් ඉදිරියෙහි තිබෙන උදාර අනාගතය කුමක්ද?

23 එම නිසා යෙහෝවාට පක්ෂපාතව සේවය කරන සියලුදෙනා ඉදිරියෙහි තිබෙන උදාර අනාගතය කෙරෙහි අපේ සිත යොමු කර තබාගනිමු. මෙසේ කිරීමෙන් “සෑමදාම” හා “සදාකාලේටම” යෙහෝවාව උසස් කරන, ඔහුට ප්‍රශංසා කරන අය අතර සිටීමේ උතුම් අපේක්ෂාව අප සතුව තබාගත හැකියි. (ගීතාවලිය 145:1, 2) එනිසා ‘සදාකාල ජීවනය ලැබෙන පිණිස දෙවිගේ ප්‍රේමයෙහි පවතින්න’ අදිටන් කරගනිමු. (යූද් 20, 21, NW) අපේ ස්වර්ගික පියා ඔහුට ප්‍රේම කරන අයට පෙන්වන මහත් ප්‍රේමණීය කරුණාව ඇතුළු ඔහුගේ උතුම් ගුණාංගවලින් අපි දිගටම ප්‍රයෝජන ගනිද්දී, අපේ සිත්වල ඇති වන හැඟීම්, 145වන ගීතිකාවේ අවසන් වදන්වලින් දාවිත් ප්‍රකාශ කළ හැඟීම් හා සමාන වේවා! “මාගේ මුඛය යෙහෝවාගේ ප්‍රශංසාව කියන්නේය; මාංසමය වූ සියල්ලෝද සදාකාලේටම ඔහුගේ ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කෙරෙත්වා.”

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• දෙවිගේ පක්ෂපාත සේවකයන්ව හඳුනාගැනීමට 145වන ගීතිකාව උපකාරවත් වන්නේ කෙසේද?

• යෙහෝවා “ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරන්නේ” කෙසේද?

• අප යෙහෝවාට තව තවත් ළංවීම අවශ්‍ය වන්නේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ පින්තූරය]

දෙවිගේ පක්ෂපාත සේවකයෝ ඔහුගේ බලවත් ක්‍රියා ගැන කතා කිරීමෙන් සතුටක් ලබති

[17වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ සේවකයෝ තමන් නොදන්න අයට ඔහුගේ රාජ්‍යයේ තේජෝමහිමය ගැන ඉගෙනගැනීමට උපකාර කිරීම සඳහා ධෛර්ය සම්පන්නව ඉදිරිපත් වෙති

[18වන පිටුවේ පින්තූර]

යෙහෝවා ‘ජීවමාන සියල්ලන්ටම’ ආහාර සපයයි

[හිමිකම් විස්තර]

සතුන්: Parque de la Naturaleza de Cabárceno

[19වන පිටුවේ පින්තූරය]

යෙහෝවා ඔහුට යාච්ඤා කරමින් උපකාරය සොයන ඔහුගේ පක්ෂපාත සේවකයන්ට අවශ්‍ය ශක්තිය හා මඟ පෙන්වීම සපයයි