Skip to content

පටුනට යන්න

“විශාලතම ඉන්ජිනේරු ව්‍යාපෘතිවලින් එකක්”

“විශාලතම ඉන්ජිනේරු ව්‍යාපෘතිවලින් එකක්”

“විශාලතම ඉන්ජිනේරු ව්‍යාපෘතිවලින් එකක්”

අවුරුදු 3,000කට පමණ කලින්, සලමොන් රජුගේ පාලන සමයේදී යෙරුසලමේ යෙහෝවාගේ දේවමාලිගාව ගොඩනඟනු ලැබූ විට, අලංකාර දිය පොකුණක් බඳු විශාල තඹ භාජනයක් සාදා දේවමාලිගාවේ දොරටුවට පිටින් තබන ලදි. එහි බර ටොන් 30කට වඩා වැඩි වූ අතර, එයට වතුර ලීටර් 40,000ක් පමණ දැමිය හැකි විය. මෙම විශාල භාජනය හඳුන්වනු ලැබුවේ ජලාධාරය කියාය. (1 රාජාවලිය 7:23-26) “එය හෙබ්‍රෙව් ජාතීන් විසින් කරන ලද විශාලතම ඉන්ජිනේරු ව්‍යාපෘතිවලින් එකක් වූවාට කිසිම සැකයක් නැත” කියා කැනඩාවේ ජාතික පර්යේෂණ මණ්ඩලයේ කාර්මික නිලධාරියෙකු වන ඇල්බර්ට් සොයිඩ්හෝෆ් බිබ්ලිකල් ආකියොලොජිස්ට් නමැති සඟරාවේ ප්‍රකාශ කළේය.

එම ජලාධාරය සාදනු ලැබුවේ කෙසේද? “රජ යොර්දාන් සමභූමියෙහි . . . තිබෙන මැටි භූමියෙහි [තඹ භාජන] වාත්තු කෙරෙව්වේය” කියා බයිබලය සඳහන් කරයි. (1 රාජාවලිය 7:45, 46) “ඒවා වාත්තු කිරීමේ ක්‍රමය, විශාල ලෝකඩ සීනු නිපදවීමේදී තවමත් භාවිත කරන ක්‍රමයට සමාන වන්ට ඇති” යයි සොයිඩ්හෝෆ් පවසයි. ඔහු එය පැහැදිලි කරන්නේ මෙසේය. “මූලිකවම මීට ඇතුළත් වන්නේ යටිකුරු අතට හරවනු ලැබූ හොඳින් වේළුණු වාත්තු අච්චුවක මතුපිටට ඉටි තට්ටුවක් දැමීමයි. . . . ඉටි වේලුනාට පස්සේ වාත්තු වැඩකරුවන් ඉටි තට්ටුවට උඩින් වාත්තු අච්චුවේ ඉතිරි කොටස සකසා එයත් වේලෙන්නට හැරියා. අවසාන පියවර වශයෙන් ඔවුන් කළේ රත් කිරීමෙන් ඉටි ටික ඉවත් කරමින් එම හිඩස්ස තුළට උණු කළ ලෝකඩ වත් කිරීමයි.”

ජලාධාරයේ අධික විශාලත්වය හා බර නිසා මෙය නිර්මාණය කිරීමෙහිලා හොඳ නිපුණත්වයක් අවශ්‍ය විය. උණු කළ තඹ ටොන් 30ක පමණ පීඩනයකට ඔරොත්තු දීමට වාත්තු අච්චුවේ ඇතුල් කොටසටත් බාහිර කොටසටත් හැකියාව තිබිය යුතු වූ අතර, ජලාධාරයේ පිපිරීම් හා දෝෂ තිබීම වැළැක්වීම සඳහා වාත්තු කිරීම නොනවත්වා කළ යුතු විය. අච්චුව තුළට උණු කළාවූ ලෝහ ද්‍රාවණය වත් කිරීම සඳහා උදුන් කිහිපයක්ම එකට සම්බන්ධ කිරීම අවශ්‍ය වන්නට ඇත. ඇත්තෙන්ම එය අතිවිශාල වැඩක්!

දේවමාලිගාව කැප කළ අවස්ථාවේදී තමා කළ යාච්ඤාව තුළින් සලමොන් රජ දේවමාලිගාවේ වැඩ සියල්ල වෙනුවෙන් යෙහෝවා දෙවිව පැසසුමට ලක් කළේ මෙයාකාරයෙනි. ‘ඔබ ස්වකීය මුඛයෙන් එය පොරොන්දු වී ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළේය.’—1 රාජාවලිය 8:24.