Skip to content

පටුනට යන්න

ඔබේ අධ්‍යාත්මික අවශ්‍යතාවන් සන්සිඳවා ගත හැකි අයුරු

ඔබේ අධ්‍යාත්මික අවශ්‍යතාවන් සන්සිඳවා ගත හැකි අයුරු

ඔබේ අධ්‍යාත්මික අවශ්‍යතාවන් සන්සිඳවා ගත හැකි අයුරු

“පසුගිය දශකය තුළදී රැකියා ස්ථානයේ අධ්‍යාත්මිකත්වය පවත්වාගැනීම සම්බන්ධයෙන් ලියවුණු පොත් පත් 300කටත් වැඩියෙන් එළි දැක්කා. මේවා අතර ප්‍රධාන විධායක නිලධාරි වන යේසුස් හා ටාවෝවාදයේ පැවසෙන පරිදි හොබවන මූලිකත්වය (සිංහලෙන් නොමැත) වැනි විවිධ මාතෘකාවලින් යුත් පොත් පත්වලින් පොත් හල් පිරී ඉතිරී ගියා” යැයි එක්තරා සඟරාවක (U.S. News & World Report) වාර්තා විය. ධනවත් රටවල ජනයා තම ජීවිතයට දැන් දැන් වැඩි වැඩියෙන් ආත්මික මඟ පෙන්වීමක් ලබාගැනීමට දැඩි පිපාසයකින් පසු වන බව මෙයින් පැහැදිලි වෙයි. මේ ගැන ව්‍යාපාරික සඟරාවක (Training & Development) අදහස් දක්වා තිබුණේ මෙසේයි. “අපේ ජීවිතයේ සෑම අංගයක් කෙරෙහිම තාක්ෂණය බලපාන යුගයක අපිට වඩාත් අර්ථවත් ජීවිත ගොඩනඟා ගත හැකි ආකාරය ගැනත් අපේ ජීවිතයේ අරමුණ ගැනත් වඩාත් තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි ආකාරය ගැනත් ගැඹුරින් සොයමින් සිටිනවා.”

එහෙත් ඔබව සෑහීමට පත් කරවන අධ්‍යාත්මික හෙවත් ආත්මික මඟ පෙන්වීම ලබාගත හැක්කේ කොහෙන්ද? පුරාණයේදී මිනිස්සු ජීවිතය “වඩාත් අර්ථවත්” එකක් කරගැනීමට හා ජීවිතයේ “අරමුණු” කුමක්දැයි සොයා බැලීමට ස්ථාපිත ආගම්වල උපකාරය පැතූහ. නමුත් අද බොහෝදෙනෙකු ස්ථාපිත ආගම් කෙරෙහි විශ්වාසයක් තබන්නේ නැත. එක් සඟරාවක (Training & Development) පෙන්නුම් කරන්නේ “මිනිස්සු ආගම හා අධ්‍යාත්මය පරස්පර විරෝධී දේවල් දෙකක් හැටියට සලකන” බවයි. සමීක්ෂණයට සහභාගි වූවන් පැවසුවේ ආගම යනු “නොඉවසනසුලු, භේද ඇති කරන” යමක් ලෙසත්, ඊට වෙනස්ව ආත්මිකත්වය යනු “විශ්වනීය හා සියලුදෙනාවම ඇතුළත් කරන” යමක් ලෙසත්ය.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් රාජධානිය සහ යුරෝපය වැනි ආගමික නැඹුරුවාවක් නොදක්වන රටවල ජීවත් වන බොහෝ තරුණයෝ ආගම හා ආත්මිකත්වය අතර පෙර කිවූ ආකාරයේ වෙනසක් දකිති. මහාචාර්ය රූත් වෙබර් එක් සඟරාවක (Youth Studies Australia) ලියා තිබුණේ මෙසේයි. “තරුණයන්ගෙන් වැඩි පිරිසක් දෙවි කෙනෙක් ගැන හෝ එහෙමත් නැත්නම් අධි ස්වාභාවික බලයක් ගැන විශ්වාස කරනවා. නමුත් ඔවුන්ගේ අධ්‍යාත්මිකත්වය ප්‍රකාශ කිරීමට පල්ලියක් අවශ්‍ය වන්නේ හෝ වැදගත් වන්නේ නැති බවයි ඔවුන්ට හැඟෙන්නේ.”

සත්‍ය ආගම අධ්‍යාත්මිකත්වය නංවාලයි

ආගම් ගැන මෙවැනි සැක පහළ කිරීම තේරුම්ගත හැකියි. බොහෝ ආගමික සංවිධාන දේශපාලන කුමන්ත්‍රණවලට දැඩි ලෙස සම්බන්ධ වී සිටිති. තවද ඔවුහු සදාචාර ප්‍රමිති පැවැත්වීම ගැන බොරු මවාපෑමක් කරන අතර විවිධ ආගමික යුද්ධවලට අනුබල දීම නිසා අහිංසක මිනිසුන්ගේ ලේවලින් නැහැවී සිටිති. එහෙත් බොරු මවා පෑම් හෙවත් කුහකකම්වලින් හා මුළා කිරීම්වලින් දූෂිත වී ඇති ආගමික සංවිධාන ජනයා විසින් ප්‍රතික්ෂේප කරනු ලබන අතරම එවැනි වැරදි බයිබලයේ නොසලකාහැර තිබෙනවායයි සිතන නිසා සමහරදෙනෙකු බයිබලයද ප්‍රතික්ෂේප කිරීමේ වරදට හසු වී තිබේ.

ඇත්තවශයෙන්ම බයිබලය කුහකකම සහ නීති විරෝධි ක්‍රියා හෙළාදකියි. යේසුස් ඔහුගේ කාලයේ විසූ ආගමික නායකයන්ට පැවසුවේ “ලියන්නෙනි, පරිසිවරුනි, කුහක වූ ඔබට දුක් වේ! මන්ද ඔබ හුණු ගා සුදු කළ සොහොන් ගෙවලට සමානය. ඒවා පිටතින් අලංකාරව පෙනුණත් එහි ඇතුළත මළවුන්ගේ ඇටකටුවලින්ද සියලු ආකාර අපවිත්‍රකම්වලින්ද පිරී තිබේ. එලෙසම ඔබත් පිටතින් මිනිසුන්ට ධර්මිෂ්ඨව පෙනෙන්නහුය. නමුත් ඔබ ඇතුළතින් කුහකකමින් හා නීති විරෝධී ක්‍රියාවලින් පිරී සිටින්නහුය” කියායි.—මතෙව් 23:27, 28, NW.

තවද බයිබලය සියලුම ක්‍රිස්තියානීන්ට උනන්දු කරන්නේ දේශපාලනමය කටයුතුවලදී මධ්‍යස්ථව සිටීමටයි. එහි භක්තිවන්තයන්ට මඟ පෙන්වන්නේ එකිනෙකාව මැරීමට නොව එකිනෙකා වෙනුවෙන් තම ජීවිතය පවා දීමට කැමැත්තෙන් සිටිය යුතු බවයි. (යොහන් 15:12,13; 18:36; 1 යොහන් 3:10-12) බයිබලය මත පදනම් වූ සත්‍ය ආගම “නොඉවසනසුලු, භේද ඇති කරන” තත්වයක් විදහා පෙන්වනවා වෙනුවට “සියලුදෙනාවම ඇතුළත් කරනවා.” ප්‍රේරිත පේතෘස් පැවසුවේ මෙසේයි. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට ස්ථිරවම වැටහේ. මන්ද සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇති, ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නේය.”—ක්‍රියා 10:34, 35, NW.

අධ්‍යාත්මික ශුභ සිද්ධිය සඳහා විශ්වාසවන්ත මඟ පෙන්වීම බයිබලය තුළින්

මිනිසුන්ව මවා තිබෙන්නේ දෙවිගේ ස්වරූපයෙන් බව බයිබලයේ පවසයි. (උත්පත්ති 1:26, 27) මෙයින් අඟවන්නේ මනුෂ්‍යයන් ශරීරාකාරයෙන් දෙවිට සමාන බවක් නොවෙයි. නමුත් මනුෂ්‍යයන්ට දෙවිගේ ගුණාංග විදහා පෑ හැකි බවයි. මෙම ගුණාංගවලට ආත්මික කාරණා හෝ ආත්මිකත්වය ඇතුළත් වෙයි.

එය එසේ නම්, දෙවි අපේ ආත්මික අවශ්‍යතා සන්සිඳවාගැනීමට අවශ්‍ය දෑ සපයයි කියා විශ්වාස කිරීම තර්කානුකූලයි. ඒ වගේම අපේ ආත්මිකත්වයට ප්‍රයෝජනවත් දේ හා හානිදායක දේ අතර වෙනස අපට වටහාගැනීමට හරි මඟ පෙන්වීම සපයයි කියා විශ්වාස කළ හැකියි. යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වාගැනීම සඳහා ශරීරයට ඇතුල් වන විෂ බීජ හා සමඟ සටන් කිරීමට යෙහෝවා විශිෂ්ට ප්‍රතිශක්ති පද්ධතියක් නිර්මාණය කර තිබේ. ඒ හා සමානව, ශාරීරික හා ආත්මික ජීවිතයට හානිදායක ක්‍රියාවලින් වැළකී හරි තීරණ ගැනීමට උපකාර කිරීම සඳහා ඔහු අපිට හෘදය සාක්ෂියක් හෙවත් ඇතුළාන්ත හඬක් ලබා දී තිබේ. (රෝම 2:15, 16) අපේ ප්‍රතිශක්ති පද්ධතිය ක්‍රියා කිරීමට නම් එයට අවශ්‍ය පෝෂණය ලබා දිය යුතු බව අපි දනිමු. ඒ හා සමානව අපේ හෘදය සාක්ෂිය හොඳින් ක්‍රියාත්මක වීමට නම් අප හොඳ ආත්මික ආහාරවලින් එය පෝෂණය කළ යුතුයි.

අපේ ආත්මික ශුභසිද්ධිය සඳහා අවශ්‍ය කරන ආහාරය ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “මිනිසා ජීවත් විය යුත්තේ රොටි පමණකින් නොව, යෙහෝවාගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකිනි.” (මතෙව් 4:4 , NW) යෙහෝවා පැවසූ වදන් ඔහුගේ වචනය වන බයිබලයේ ලියා තිබේ. ඒවා ‘ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්වීමටත් ප්‍රයෝජනවත්’ වේ. (2 තිමෝති 3:16, NW) ඒ නිසා එම වටිනා ආත්මික ආහාර ලබාගැනීමට අප පුද්ගලික වෑයමක් දැරිය යුතුයි. අප බයිබලයේ ඉගැන්වීම් ගැන කොතරම් දුරට දැනුම ලබාගන්නවාද හා එහි ප්‍රතිපත්ති අපේ ජීවිතයට කොතරම් දුරට අදාළ කරගන්නවාද යන දේ මතයි අපට ආත්මිකව හා ශාරීරිකව ප්‍රයෝජන ලබාගත හැකි වන්නේ.—යෙසායා 48:17, 18.

ප්‍රයත්නය වටීද?

අපේ ආත්මිකත්වය ගොඩනැංවීම සඳහා බයිබල් අධ්‍යයනය අවශ්‍ය වන අතර ඒ සඳහා කාලය වැය කිරීමට සිදු වන බව පිළිගත යුතුයි. අද ජනයාට එවැනි දෙයකට වැය කිරීම සඳහා කාලයක් නැති බවයි පෙනෙන්නේ. නමුත් ඒ සඳහා කාලය වැය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන කොතරම්ද යත් දරන ඕනෑම ප්‍රයත්නයක් වටී! තමන්ගේ ආත්මිකත්වය ගොඩනැංවීමට කාලය ගත කිරීමේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් ඉතා කාර්ය බහුල ජීවිත ගත කරන වෘත්තීමය රැකියාවල නිරත වී සිටින සමහර අයගේ අදහස්වලට ඇහුම්කන් දෙන්න.

වෛද්‍යවරියක් වන මරීනා මෙසේ පැවසුවාය. “මම මගේ ආත්මිකත්වය ගැන හිතන්න පටන්ගත්තේ මම රෝහලක සේවයට බැඳී අන් අය විඳින වේදනා ගැන තදින්ම දැනෙන්න පටන්ගත්තට පසුවයි. ඊට පස්සේ මම තේරුම්ගත්තා ජීවිතයේ තෘප්තිය හා සමාදානය අද්දකින්න නම් මට ආත්මික අවශ්‍යතාවක් තිබෙනවා කියා පිළිගෙන එය සපුරාලිය යුතු බව. මේ වගේ වෘත්තියක නියැලෙන අය අනිත් අයගේ දුක් කරදර ගැන සැලකිලිමත් වීමට සිදු වන නිසාත් කාර්ය බහුල ජීවිතයක් ගත කරන නිසාත් පහසුවෙන්ම හෙම්බත් වෙන්න පුළුවන්.

“මම දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කරනවා. මෙය මට උපකාරවත් වෙනවා මගේ ක්‍රියාවන් සහ ආකල්පයන් සෝදිසි කර බලා හදාගැනීමටත්, ශුභවාදී සිතුවිලි රටාවක් තබාගැනීමටත්. මගේ ජීවිතය සමබරව තබාගැනීමටත් හැකි වී තිබෙනවා. මගේ රැකියාවෙන් මම මහත් තෘප්තියක් ලබනවා. ඒත් මට ඇති වන්නාවූ නිෂේධාත්මක හැඟීම් පාලනය කරගන්න, පීඩනය අඩු කරගන්න ඒ වගේම මිනිසුන් සමඟ ඉවසීමෙන් හා මුදු මොළොක් ලෙස කටයුතු කරන්න අවශ්‍ය මගේ චිත්තවේගයන් හා බැඳි හැඟීම් යහ මඟට ගෙන ආවේ මගේ බයිබල් පාඩමයි. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීම මගින් මගේ පවුල් ජීවිතයත් සාර්ථක වෙලා තියෙනවා. ඒත් මා ලැබූ වැදගත්ම දෙය වන්නේ යෙහෝවාව දැනගන්න ලැබීමයි. ඒ වගේම නිදහසේ ගලා එන ශුද්ධාත්මයෙන් බිඳක් අද්දකින්නටත් එමගින් ජීවිතයට ලොකු අර්ථයක් ලබාගන්නටත් මට හැකි වී තිබෙනවා.”

ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන නිකලස් පැවසුවේ මෙසේයි. “මම යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න කලින් මට ආත්මික දේවල් කෙරෙහි කිසිම උනන්දුවක් තිබුණේ නැහැ. මගේ ජීවිතයේ එකම අරමුණ වුණේ මගේ රැකියාවේ සාර්ථකත්වය ලබාගන්න එකයි. බයිබලය අධ්‍යයනය තුළින් මම දැනගෙන තියෙනවා ජීවිතය කියන්නේ රැකියාව විතරක් නොවන බවත් ඒ වගේම යෙහෝවාගේ කැමැත්ත කිරීමෙන් කල්පවතින සැබෑ සන්තෝෂය අද්දකින්න පුළුවන් බවත්.

“මගේ රැකියාවෙන් මට යම්තාක් දුරට තෘප්තියක් ලැබෙනවා. නමුත් ජීවිතය සරලව තබාගැනීම හා ආත්මික දේවල් කෙරෙහි පැහැදිලි දෘෂ්ටියක් තබාගැනීම වැනි පාඩම් මම ඉගෙනගත්තේ බයිබලය අධ්‍යයනය කිරීමෙන්. මමයි මගේ භාර්යාවයි ද්‍රව්‍යවාදී ජීවන රටාවකින් ඈත් වී සිටින නිසා එයින් ඇති වන බොහෝ පීඩනවලින් අපි මිදී සිටිනවා. ජීවිතය පිළිබඳව ආත්මික දෘෂ්ටියක් තිබෙන වෙනත් අය සමඟ ඇසුරු කිරීමෙන් අපට සැබෑ මිතුරන් බොහෝමයක් ඇති කරගැනීමටත් හැකි වී තිබෙනවා.”

නීතිඥයෙක් වන වින්සන්ට් පැවසුවේ මෙසේයි. “හොඳ රැකියාවකින් යම් තෘප්තියක් ලබන්න පුළුවන්. නමුත් ප්‍රීතිය හා සෑහීම ලබන්න නම් ඊටත් වඩා වැඩි දෙයක් අවශ්‍ය බව මම හොයාගත්තා. මේ සම්බන්ධයෙන් බයිබලයේ තියෙන ඉගැන්වීම් ගැන දැනගන්න කලින් මට මතකයි මට එකපාරටම ජීවිතයේ හිස්බවක් දැනුණා. ඉපදෙනවා, වැඩෙනවා, විවාහ වෙනවා, දරුවන් හදා වඩා ගැනීමේදී ඔවුන්ට අවශ්‍ය දේ සැපයීම සඳහා රැකියාවක් කරනවා, ඒ දරුවන්ටත් අපේ ජීවන චක්‍රය ඒ විදිහටම පිළිපදින්න පුහුණු කරනවා, අන්තිමේදී මහලු වෙලා මිය යනවා.

“යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තට පස්සෙයි ජීවිතයේ අරමුණ ගැන මට තිබුණු ප්‍රශ්නවලට සෑහීමක් ලැබිය හැකි පිළිතුරු ලැබුණේ. මට බයිබල් පාඩම තුළින් යෙහෝවාව පුද්ගලයෙක් ලෙස දැන හඳුනා ගැනීමටත් ඔහු කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් වර්ධනය කරගැනීමටත් හැකි වෙලා තියෙනවා. මෙය උපකාරවත් වී තිබෙනවා දෙවිගේ අරමුණට එකඟව මගේ ජීවිතය හැඩගස්සාගැනීමට වෑයම් කරන ගමන් හොඳ ආත්මික දෘෂ්ටියක් ඇතුව සිටීමට. මටයි මගේ භාර්යාවටයි දැනෙන්නේ අපි දැන් ජීවත් වන ක්‍රමය තමයි හොඳම ක්‍රමය කියලා. ඒකෙන් අපේ ජීවිතයට නියම අර්ථයක් ලැබෙන නිසා අපි ලොකු තෘප්තියක් ලබනවා.”

ඔබටත් බයිබලය අධ්‍යයනය කිරීම තුළින් ජීවිතයේ අරමුණ ගැන දැනගෙන එය වඩාත් අරුත්බර එකක් කරගත හැකියි. යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔබට උපකාර කිරීමට ආශාවෙන් බලා සිටිති. මරීනා, නිකලස් සහ වින්සන්ට් මෙන් යෙහෝවා ගැනත් පොදුවේ මනුෂ්‍ය වර්ගයා සඳහා වූද පුද්ගලිකව ඔබ සඳහා වූද ඔහුගේ අරමුණ ගැනත් ඉගෙනගැනීමෙන් ඔබටත් සැබෑ තෘප්තියක් ලබාගත හැකියි. එවිට දැන් ඔබේ ආත්මික අවශ්‍යතා සපුරාගැනීම පමණක් නොව නමුත් පරිපූර්ණ සෞඛ්‍ය තත්වයක් යටතේ අනන්ත ජීවිතයක් භුක්ති විඳීමේ බලාපොරොත්තුවද තබාගන්න ඔබට පුළුවන් වේවි. මෙම තත්වය අද්දකිනු ඇත්තේ “තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන” අය පමණි.—මතෙව් 5:3, NW.

අපේ ආත්මිකත්වය ගොඩනැංවිය හැකි එක් ක්‍රමයක් නම් යාච්ඤාවයි. යේසුස් ඔහුගේ ගෝලයන්ට යාච්ඤා කරන ආකාරය ඉගැන්වීම සඳහා කාලය වැය කළේය. ඔහු පොදුවේ ස්වාමීන්ගේ යාච්ඤාව ලෙස හඳුන්වන යාච්ඤාව ඔවුන්ට ඉගැන්නුවේය. එම යාච්ඤාවෙන් අද ඔබට අදහස් වන්නේ කුමක්ද? ඔබට එයින් ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද? මේවාට පිළිතුරු ඔබට ඊළඟ ලිපි දෙකෙන් ලැබෙනවා ඇත.

[6වන පිටුවේ පින්තූර]

මරීනා

[7වන පිටුවේ පින්තූර]

නිකලස්

[7වන පිටුවේ පින්තූර]

වින්සන්ට්