Skip to content

පටුනට යන්න

ජීවිතයේ අස්ථිරභාවයට මුහුණ දෙන්න ඔබට පුළුවන්

ජීවිතයේ අස්ථිරභාවයට මුහුණ දෙන්න ඔබට පුළුවන්

ජීවිතයේ අස්ථිරභාවයට මුහුණ දෙන්න ඔබට පුළුවන්

“ස්ථිරයෙන්ම!” “වරදින්නේ නැහැ!” “සහතිකයි!” ඔබ මෙවැනි කියමන් බොහෝ වර ආසා තිබෙන බවට කිසි සැකයක් නැත. එනමුත් අපගේ එදිනෙදා ජීවිතයේදී අපට නිසැක විය හැකි දේ බොහෝ අල්පය. ජීවිතය අවිනිශ්චිතය. ස්ථිර වශයෙන්ම නිසැක විය හැකි දෙයක් තිබේද කියා නිතර දෙවේලේ අපට සිතෙයි. අවිශ්වාසය සහ අස්ථිරභාවය ජීවිතයේ කොටසක් වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

මනුෂ්‍යයන් බහුතරයකගේ ආශාව වන්නේ තමන්ට සහ තම පවුලට ආරක්ෂාව, සතුට ළඟා කර දීමයි. එම සතුට හා ආරක්ෂාව ලබා දෙයි කියා සිතන මුදල් හා ද්‍රව්‍යමය දේවල් යනාදිය අත් කරගැනීමට ඔවුහු අපමණ වෙහෙසක් දරති. එනමුත් භූමිකම්පාවක්, කුණාටුවක්, අනතුරක් හෝ සැහැසික අපරාධයක් නිසාවෙන් ඒ අත් පත් කරගත් දේ ඇසි පිය හෙළන සැණෙකින් විනාශ වී යා හැකියි. දරුණු රෝගාබාධයක්, දික්කසාදයක් හෝ රැකියාව අහිමි වීමක් නිසාවෙන් ජීවිතය එක රැයකින් වෙනස් විය හැකියි. එවැනි දේවල් ඔබ ඇත්තටම අත් නොදකින්නට පුළුවන. ඒත් කොයි අවස්ථාවක හෝ ඛේදවාචකයක් සිදු විය හැකියි යන සිතුවිල්ල පවා සිතට මහත් වදයක් මෙන්ම පීඩාකාරීය. ගැටලුව එය පමණක්ම නොවේ.

අස්ථිරභාවය යන වචනය සැකය යන වචනයට සමානයි. එක් ශබ්දකෝෂයක “සැකය” යන්න නිර්වචනය කළේ මෙසේයි. “යම් විශ්වාසයක් හෝ මතයක් පිළිබඳව තිබෙන අස්ථිරභාවය. එය බොහෝවිට තීරණ ගැනීමට බාධාවකි.” මනස පාලනය කිරීම (සිංහලෙන් නැත) නමැති පොතට අනුව “කනස්සල්ලට විශාල වශයෙන් දායක වන්නේ වැදගත් යමක් ගැන තිබෙන අස්ථිරභාවය.” සැකය දුරු කරගත නොහැකි නිසා කනස්සල්ලක්, පරාජිත හැඟීමක් සහ කෝපයක් ඇති විය හැකියි. ඇත්තවශයෙන්ම කුමක් සිදු වෙයිද කුමක් සිදු නොවෙයිද කියා ලතවීම අපේ මානසික සහ ශාරීරික සෞඛ්‍යයට අනතුරුදායකයි.

මේ හේතුව නිසා සමහරෙක් අනෙක් අන්තයට යති. මේ අයගේ ආකල්පය, “වෙන්නේ මොකක්ද කියලා ඇයි කරදර වෙන්නේ? අද දේ අද, හෙට දේ හෙට” යනුවෙන් බ්‍රසිලියානු තරුණයෙකු පැවසූ දේ හා සමානයි. “හෙට අපි මැරෙන බැවින් කමු, බොමු” යන දෛවවාදී ආකල්පය මඟ පාදන්නේ අපේක්ෂා භංගත්වයට, විපතකට සහ අවසානයේදී මරණයටයි. (1 කොරින්ති 15:32, NW) එමනිසා, ‘වෙනස් වන ඡායාවක් මෙන් කිසි සේත් වෙනස් වන්නේ නැති’ මැවුම්කරු වන යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබීම ඊට වඩා ඥානවන්තයි. (යාකොබ් 1:17, NW) අප දෙවිගේ වචනය වන බයිබලය සෝදිසි කර බලනවා නම් ජීවිතයේ අස්ථිර තත්වයන්ට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ඥානවන්ත උපදෙස් හා මඟ පෙන්වීම් අපට එයින් සොයාගත හැකියි. මෙතරම් අස්ථිර තත්වයන් හා දේවල් පවතින්නේ ඇයි කියා තේරුම්ගැනීමටත් එය උපකාරවත් වේ.

දේවල් මෙතරම් අස්ථිර වීමට හේතු

ශුද්ධ ලියවිල්ලේ ජීවිතය පිළිබඳව යථාර්ථවාදී අදහසක් ඉදිරිපත් කර ඇත. එමෙන්ම අස්ථිර හා වෙනස් වනසුලු තත්වයන් ගැන හරි ආකල්පයක් ඇති කරගැනීමටත් එය අපට උපකාරවත් වේ. යහපත් පවුල් සබඳතා, සාමාජීය තත්වය, බුද්ධිය, හොඳ සෞඛ්‍යයක් වැනි දේ යම් ප්‍රමාණයකට සුරක්ෂිතකමක් ලබා දේ. ඒත් බයිබලයේ පෙන්නුම් කරන්නේ එවන් දේ නිසා අපට සැමදා රෝස මල් යහනක සැතපෙන සුන්දර, සුරක්ෂිත ජීවිතයක් අපේක්ෂා කළ නොහැකි බවයි. ප්‍රඥාවන්ත සලමොන් රජ මෙසේ පැවසුවේය. “මම වනාහි ඉර යට දිවීමේ දිනුම ශීඝ්‍ර අයටවත් යුද්ධයේ ජය බලවන්තයන්ටවත් කෑම ප්‍රඥාවන්තයන්ටවත් වස්තුව තේරුම් ඇත්තන්ටවත් කරුණාව දැනගැන්ම ඇත්තන්ටවත් ලැබෙනවා නොව.” මන්ද? “කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධ වෙන” බැවිනි. එමනිසා, ඔහු අනතුරු අඟවමින් තවදුරටත් මෙසේ පැවසුවේය. “නපුරු දැලකට අසු වෙන මත්ස්‍යයන්ද මලපතකට අසු වෙන පක්ෂීන්ද මෙන් මනුෂ්‍යයාත් තමාගේ කාලය නොදැන සිටියි. විපත්ති කාලය මනුෂ්‍ය පුත්‍රයන් පිටට හදිසියෙන් පැමිණෙන විට උන් වාගේ ඔවුහු ඊට අසු වෙති.”—දේශනාකාරයා 9:11, 12.

මිනිස් පරම්පරාවකට බලපාන්නාවූ කනස්සල්ලෙන් පිරි අස්ථිර කාලයක් ගැන යේසුස් ක්‍රිස්තුස්ද සඳහන් කළේය. යේසුස් ඉතාමත් පැහැදිලිව මෙසේ පැවසුවේය. “ඉර, සඳ හා තාරකාවල ලකුණු පහළ වන්නේය. මුහුදේ ඝෝෂාව සහ එහි කැලඹීම නිසා ගැලවෙන මාර්ගය නොදන්නා හෙයින් පොළොවේ ජාතීන්ට මහත් වේදනාවක් වන්නේය. ඒ අතරතුරේදී මිනිස්සු භයෙන්ද ලොවට සිදුවීමට යන දේ ගැන සිතීමෙන්ද ක්ලාන්ත වන්නෝය. මන්ද අහසේ බලයන් සොලවනු ලබන්නේය.” නමුත් දැන් ජීවත් වන අවංක හදවත් ඇති පුද්ගලයන්ට යේසුස් දිරිගන්වනසුලු යමක් පවසයි. “මේ දේවල් සිදු වනවා දකින විට, දෙවිගේ රාජ්‍යය ළඟ බව දැනගන්න.” (ලූක් 21:25, 26, 31, NW) දෙවි කෙරෙහි ඇදහිල්ල තිබෙන නිසා අපටද අනාගතයේ අස්ථිරභාවය ගැන බියක් ඇති කර නොගෙන සුරක්ෂිත අනාගතයක් දෙස නෙත් යොමු කිරීමට හැකියාව ලැබෙයි.

‘බලාපොරොත්තුව ගැන පූර්ණ නිසැකකමක් ඇතුව’

අප අසන, කියවන හෝ දකින හැම දෙයක් ගැනම නිසැක විය නොහැකි වුවත් මැවුම්කරුව විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇත. ඔහු උතුම් දෙවි කෙනෙකු පමණක් නොව භූමියේ සිටින තම දරුවන්ව රැකගන්නාවූ ආදරණීය පියෙකි. දෙවි තමාගේම වචන ගැන සහතික කරන්නේ එය “මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදු කොට, මා නියම කළ කාරණය සපල කරනවා ඇත” යනුවෙනි.—යෙසායා 55:11.

යේසුස් ඉගැන්වූයේ දෙවිගෙන් ඉගෙනගත් සත්‍යය වන අතර ඔහුට සවන් දුන් හුඟදෙනෙකු එය පිළිගත්තේ ස්ථිර විශ්වාසයකින් හා නිසැකකමකින් යුතුවයි. මීට උදාහරණයක් පවසනවා නම්, අවංක සමරිතානුවන් පිරිසක් කලින් යේසුස්ට සවන් දී තිබූ ස්ත්‍රියට පැවසුවේ, “දැන් අප අදහන්නේ ඔබේ කීම නිසා නොවේ. මන්ද අපම ඇසූ අතර, මේ මිනිසා ලෝකයේ ගැලවුම්කරු බව අපි ස්ථිරවම දන්නෙමු” කියායි. (යොහන් 4:42, NW) එලෙසම අප අනාරක්ෂිත කාලයක ජීවත් වුවත් අප විශ්වාස කරන දේ ගැන අප තුළ අල්පමාත්‍රයක හෝ සැකයක් තිබිය යුතු නැත.

සමහරෙකු කියා සිටින්නේ ආගමික විශ්වාසයන් ගත් කල ඒවා තේරුම්ගන්න වෑයම් කරනවාට වඩා නිකම්ම විශ්වාස කළ යුතු බවයි. නමුත් බයිබල් ලේඛක ලූක් එයට එකඟ වන්නේ නැත. අන් අය ඔහු විසින් ලියනු ලැබූ දෙයෙහි ‘සත්‍යතාව සම්පූර්ණයෙන්ම දැනගන්නා පිණිස’ ඔහු හොඳින් පර්යේෂණය කර නිවැරදි තොරතුරු සපයන ලදි. (ලූක් 1:4, NW) අන්තිමේදී අප මුළා වෙයි හෝ බලාපොරොත්තු සුන් වෙයි කියා අපගේ ඇදහිල්ලට අයිති නැති මිතුරන් සහ ඥාතීන් බිය විය හැකියි. එම නිසා අපේ ඇදහිල්ල වෙනුවෙන් කතා කිරීමට සූදානමින් සිටිය යුතුයි. (1 පේතෘස් 3:15) අප විශ්වාස කරන දේට හේතු වන්නේ කුමක්ද යන්න නිවැරදිව දැනගැනීමෙන් පමණයි අන් අයට දෙවි කෙරෙහි විශ්වාසයක් ඇති කරගැනීම සඳහා උපකාර කිරීමට අපට හැක්කේ. යෙහෝවාව බයිබලයෙහි විස්තර කරන්නේ මෙම වදන්වලිනුයි. “ඔහු පර්වතයය, ඔහුගේ ක්‍රියාව සම්පූර්ණය. ඔහුගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය. ඔහු විශ්වාස වූ අයුතුකමෙන් තොරවූ දෙවි කෙනෙකි. ඔහු වනාහි ධර්මිෂ්ඨය, අවංකය.”—ද්විතීය කථාව 32:4.

අන්තිමට සඳහන් දේ සැලකිල්ලට ගන්න. “ඔහු වනාහි ධර්මිෂ්ඨය, අවංකය.” මේ ගැන ස්ථිර වීමට අප තිබෙන සාක්ෂි මොනවාද? ප්‍රේරිත පේතෘස්ට මේ ගැන හොඳ නිසැකකමක් තිබුණි. ඔහු රෝම නිලධාරියෙකුට සහ ඔහුගේ පවුලේ අයට මෙසේ පැවසුවේය. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට ස්ථිරවම වැටහේ. මන්ද සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇති, ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නේය.” (ක්‍රියා 10:34, 35, NW) දෙවිම කාරණා හැසිරවීම නිසා කලින් අනුමැතිය නොලත් අපවිත්‍ර තත්වයක සිටි අන්‍ය ජාතික පවුලක් දෙවි ඉදිරියෙහි අනුමැතිය ලත් තත්වයකට පත් වූ ආකාරය පේතෘස් සියැසින්ම දුටු නිසයි ඔහු එම වදන් පැවසුවේ. ලොව පුරා රටවල් 230කට වඩා වැඩි ගණනක වෙසෙන මිලියන හයකට අධික “මහත් සමූහයක්,” තමන් කලින් ගත කරමින් සිටි ජීවන රටාව අත්හැර දමා ධර්මිෂ්ඨකමේ මාර්ගයේ ගමන් කරනවා දකින විට දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බවත් ඔහුගේ ධර්මිෂ්ඨකම පිළිබඳවත් පේතෘස්ට මෙන් අපටත් ස්ථිර විය හැකියි.—එළිදරව් 7:9; යෙසායා 2:2-4.

සැබෑ ක්‍රිස්තියානීන් වශයෙන් අප අන්තවාදී හෝ උද්ධච්ච නොවී යටහත් හා සාධාරණ විය යුතුයි. නමුත් අප විශ්වාස කරන දේ හා අනාගතය ගැන අපේක්ෂා කරන දේ පිළිබඳව කිසි සැකයක් හෝ අස්ථිරභාවයක් නැත. පළමුවන ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ට ප්‍රේරිත පාවුල් පැවසුවේ, “ඔබෙන් එකිනෙකා අවසානය දක්වා බලාපොරොත්තුව පිළිබඳව සම්පූර්ණ නිසැකකම ඇතිව සිටින පිණිස, එම උනන්දුවම පෙන්වනවාට අපි ආශා වන්නෙමු” යනුවෙනි. (හෙබ්‍රෙව් 6:11, NW) බයිබලයෙහි සඳහන් ශුභාරංචිය අපටද “බලාපොරොත්තුව පිළිබඳව සම්පූර්ණ නිසැකකමක්” ලබා දී තිබේ. එම බලාපොරොත්තුව ස්ථිර ලෙස පදනම් වී තිබෙන්නේ දෙවිගේ වචනයෙහිය. තවදුරටත් පාවුල් පැහැදිලි කළ ආකාරයට එය “කලකිරීමකට මඟ පාදන්නේ නැත.”—රෝම 5:5, NW.

ඒ වගේම අන් අයට බයිබලයෙහි අන්තර්ගත ශුභාරංචිය ඉගැන්වීමෙන් ඔවුන්ට ආත්මිකව, මානසිකව හා ශාරීරිකව සුරක්ෂිතකමක් හා නිසැකකමක් ලබාගැනීමට හැකි වන බව අපට ස්ථිරයි. එවිට “අප දේශනා කළ ශුභාරංචිය ඔබ අතරට පැමිණියේ කතාවෙන් පමණක් නොව, බලයෙන්, ශුද්ධාත්මයෙන් සහ ස්ථිර විශ්වාසයෙන් යුක්තවය” යයි පාවුල් මෙන් අපටත් කිව හැකියි.—1 තෙසලෝනික 1:5, NW.

ආත්මික සුරක්ෂිතකම නිසා වර්තමාන ආශීර්වාද

අද දින අපේ ජීවිතයට පූර්ණ ආරක්ෂාවක් ලැබෙයි කියා බලාපොරොත්තු විය නොහැකි වුණත් යම් තරමක යහපත් සුරක්ෂිත ජීවිතයක් ලබාගැනීමට කළ හැකි දේවල් තිබේ. නිදසුනක් වශයෙන් නොකඩවා ක්‍රිස්තියානි රැස්වීම් සඳහා එක්රැස් වීම තුළින් ස්ථාවර බවක් ලැබෙයි. මන්ද එහිදී නිවැරදි මෙන්ම නැණවත් ප්‍රතිපත්ති සහ සාරධර්ම අපට උගන්වයි. “උඩඟු නොවී, අස්ථිර ධනය කෙරෙහි නොව, භුක්ති විඳීම සඳහා අපට බහුල ලෙස සියල්ල ලබා දෙන දෙවි කෙරෙහි ඔවුන්ගේ බලාපොරොත්තු තබන ලෙස, දැන් පවතින සමාජ ක්‍රමයෙහි සිටින ධනවතුන්ට අණ කරන්න” යනුවෙන් පාවුල් පැවසුවේය. (1 තිමෝති 6:17, NW) තමන්ගේ විශ්වාසය තාවකාලික දේවල් හෝ විනෝදය මත නොව යෙහෝවා කෙරෙහි තැබීමට ඉගෙනීමෙන් කලින් අද්දුටු සිත් තැවුලෙන් හා කනස්සල්ලෙන් මිදීමට බොහෝදෙනෙකුට හැකි වී තිබේ.—මතෙව් 6:19-21.

අප සභාවේදී උණුසුම් සහෝදරත්වයක් භුක්ති විඳින අතර එම ඇසුර බොහෝ ආකාරවලින් අපට ප්‍රයෝජනවත් වෙයි. එක් අවස්ථාවක ප්‍රේරිත පාවුල්ට සහ ඔහුගේ සංචාරක සහකරුවන්ට “අධික පීඩනයක්” දැනුණ අතර ‘ඔවුන්ට තම ජීවිත ගැන පවා බලාපොරොත්තුවක් නොතිබුණේය’. පාවුල් උපකාරය සහ සහනය ලබාගත්තේ කොහෙන්ද? දෙවි කෙරෙහි ඔහුට තිබූ විශ්වාසය කිසි විටකත් චංචල වුණේ නැති බව අපට නිසැකයි. ඒත් සමඟම ඔහුගේ උපකාරයට පැමිණි සෙසු ක්‍රිස්තියානීන්ද ඔහුව දිරිමත් කර සැනසුවේය. (2 කොරින්ති 1:8, 9; 7:5-7; NW) අද දිනත් ස්වාභාවික විපතකදී හෝ වෙනත් ආපදාවකදී සෙසු ක්‍රිස්තියානීන්ට හා අනෙකුත් අයට අවශ්‍ය ද්‍රව්‍යමය හා ආත්මික උපකාරය දීමට මුලින්ම පැමිණෙන්නේ අපේ ක්‍රිස්තියානි සහෝදරයන්ය.

ජීවිතයේ අස්ථිරභාවයට මුහුණ දීමට ශක්තිය ලැබෙන තවත් උපකාරයක් නම් යාච්ඤාවයි. අප අනපේක්ෂිත පීඩනයක් අද්දකින හැමවිටම අපේ ප්‍රේමණීය ස්වර්ගික පියාගේ උපකාරය පැතිය හැකියි. “යෙහෝවා පීඩා ඇත්තවුන්ට උස් කොටුවක් වන්නේය. විපත්ති කාලවලදී උස් කොටුවක් වන්නේය.” (ගීතාවලිය 9:9) මිනිස් දෙමාපියන් තම දරුවන් රැකගැනීමට අසමත් විය හැකියි. එනමුත් දෙවි අපගේ බිය, සැක හා සාංකාවන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය උපකාරය දීමට කැමැත්තෙන් සිටී. යාච්ඤාවෙන් අපගේ කනස්සල්ල දෙවි මත තබන විට “අප ඉල්ලන, සිතන සියලු දේට වඩා අධික ලෙස කරන්න” ඔහුට හැකියාව තිබෙනවා කියා අපට නිසැක විය හැකියි.—එෆීස 3:20, NW.

ඔබ නිතරම යාච්ඤාවෙන් දෙවිගේ උපකාරය පතනවාද? ඔබගේ යාච්ඤා දෙවි අසනවා කියා ඔබට නිසැකකමක් තිබෙනවාද? සවෝ පාවුලෝහි දැරියක් මෙසේ කියා සිටියාය. “මගේ අම්මා කිව්වා අනිවාර්යයෙන්ම යාච්ඤා කරන්න ඕනේ කියලා. ‘මම දන්නේ නැති කෙනෙකුට යාච්ඤා කරන්නේ මොකටද’ කියලා මම කල්පනා කළා. නමුත් අපිට දෙවිගේ උපකාරය අවශ්‍ය නිසා යාච්ඤා කළ යුතුයි කියා තේරුම්ගැනීමට හිතෝපදේශ 18:10 මට උපකාරවත් වුණා.” එම පදයෙහි මෙසේ සඳහන් වේ. “යෙහෝවාගේ නාමය බලකොටුවක්ය. ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.” අප යෙහෝවාට නොකඩවා කතා කරන්නේ නැත්නම් ඔහු කෙරෙහි විශ්වාසයක් හා නිසැකකමක් අප ඇති කරගන්නේ කෙසේද? ආත්මික සුරක්ෂිතභාවයක් භුක්ති විඳීමට නම් අප දිනපතා හදවතින්ම යාච්ඤා කිරීම පුරුද්දක් කරගත යුතුයි. යේසුස් පැවසුවේ, “සිදු වන්න නියමිත මේ සියල්ලෙන් බේරෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටීමට හැකියාව ලැබෙන පිණිසද දිගටම අයැදිමින් අවදිව සිටින්න” කියාය.—ලූක් 21:36, NW.

ස්ථිර විය හැකි තවත් දෙයක් තිබේ. ඒ දෙවිගේ රාජ්‍ය පිළිබඳ අපේ බලාපොරොත්තුවයි. දානියෙල් 2:44 සහ 45ආ කොටසෙහි තිබෙන වදන්වලට ඔබේ අවධානය දෙන්න. “ස්වර්ගයේ දෙවි කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවන්නේය. ඒකේ ආණ්ඩුව අන් සෙනඟකට අත්හරිනු නොලබන්නේය. . . . ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය.” එම බලාපොරොත්තුව ශක්තිමත් එකකි. එමෙන්ම ඒ ගැන ස්ථිර විය හැකියි. මනුෂ්‍යයන්ගේ පොරොන්දු බොහෝවිට බිඳ වැටෙයි. ඒත් අපට සැමවිටම යෙහෝවාගේ වචනය විශ්වාස කළ හැකියි. දෙවි විශ්වාස කළ නොහැකි කෙනෙකු නොවේ. ඔහු පර්වතයක් මෙන් නොසැලෙන නිසා අපට ඔහු කෙරෙහි රඳා සිටිය හැකියි. අපටත් දාවිත්ට මෙන් මෙසේ හැඟීමට හොඳ හේතු ඇත. ‘මාගේ පර්වතය දෙවිය, ඔහු කෙරෙහි විශ්වාස කරමි. ඔහු මාගේ පලිහය. මාගේ ගැලවීමේ අඟය. මාගේ උස් කොටුවය. මාගේ රක්ෂස්ථානයය. මාගේ ගැලවුම්කාරයාය. බලාත්කාරකමෙන් ඔබ මා ගලවන්නේය.’—2 සාමුවෙල් 22:3.

ඔබේ මනස පාලනය කිරීම නමැති කලින් සඳහන් කළ පොතේ තවදුරටත් විස්තර කරන්නේ මෙසේයි. “යමෙකු සිදු විය හැකි නරක දේවල් ගැන වැඩි වැඩියෙන් සිතන තරමට ඒවා සැබවින්ම සිදු වන බවට වූ හැඟීම ඔහුගේ මනසේ පහළ වෙයි. ඉන්පසු එයට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව කල්පනා කිරීම දුෂ්කර දෙයකි.” එහෙමනම්, ලෝකයේ තිබෙන කනස්සලු කරවන හා සැක සහිත දේවල් ගැන ඇයි අප කරදර වෙන්නේ? මේ ලෝකයේ තිබෙන අස්ථිර දේ නොව දෙවි දෙන ස්ථිර දේ කෙරෙහි විශ්වාසය තබන්න. යෙහෝවාගේ ස්ථිර පොරොන්දු කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් තැබීමෙන් “ඔහු කෙරෙහි ඇදහිල්ල තබන කිසි කෙනෙකුගේ බලාපොරොත්තු කඩ නොවන්නේය” යන සහතිකය අපට ලැබිය හැකියි.—රෝම 10:11, NW.

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මනුෂ්‍යවර්ගයාට අනාගතයේදී ආශීර්වාද ලැබෙන බව දෙවිගේ වචනයෙහි සහතික කරයි

[30වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ඔහු කෙරෙහි ඇදහිල්ල තබන කිසි කෙනෙකුගේ බලාපොරොත්තු කඩ නොවන්නේය”

[31වන පිටුවේ පින්තූරය]

රාජ්‍යයේ ශුභාරංචිය මනුෂ්‍යයන්ට සුරක්ෂිතකමක් ලබා දෙයි