Skip to content

පටුනට යන්න

“මේ ලෝකයේ ස්වභාවය වෙනස් වන්නේය”

“මේ ලෝකයේ ස්වභාවය වෙනස් වන්නේය”

“මේ ලෝකයේ ස්වභාවය වෙනස් වන්නේය”

“සහෝදරයෙනි, මම මෙසේ කියමි. ඇත්තේ තව කෙටි කාලයකි.”—1 කොරින්ති 7:29, NW.

1, 2. ඔබේ ජීවිත කාලයේදී ඔබ දැක තිබෙන වෙනස්කම් මොනවාද?

ඔබේ ජීවිත කාලය පුරා ලෝකයේ සිදු වී තිබෙන වෙනස්කම් මොනවාද? ඔබට ඒවායින් සමහරක් විස්තර කළ හැකිද? උදාහරණයක් හැටියට වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණුවක් දැකිය හැකියි. මෙම ක්ෂේත්‍රයේ සිදු කර තිබෙන පර්යේෂණවල ප්‍රතිඵලයක් හැටියට ඇතැම් රටවල 1900 ගණන්වල මුල් භාගයේදී අවුරුදු 50කට අඩු මට්ටමක තිබූ සාමාන්‍යය ආයු අපේක්ෂාව අද වන විට අවුරුදු 70කටත් වඩා වැඩි වී ඇත. ගුවන්විදුලි යන්ත්‍රය, රූපවාහිනිය, සෙලියුලර් දුරකථන හා ෆැක්ස් යන්ත්‍ර නිසි ලෙස භාවිත කිරීමෙන් අප ප්‍රයෝජන ලබා තිබෙන ආකාරය ගැනද සිතා බලන්න. එමෙන්ම බොහෝදෙනෙකුට උසස් ජීවන තත්වයක් උදා කර දී තිබෙන අධ්‍යාපන, ප්‍රවාහන හා මානව හිමිකම් වැනි ක්ෂේත්‍රවල ලබා ඇති ප්‍රගතියද මෙහිදී අමතක කළ නොහැකියි.

2 කෙසේවෙතත් සියලුම වෙනස්කම් යහපත් දිවි පැවැත්මකට හේතු වී නොමැති බව අමුතුවෙන් කිව යුතු නැත. සාරධර්ම පිරිහී යෑම, අපරාධ, මත්ද්‍රව්‍ය භාවිතය, දික්කසාද අනුපාතය, උද්ධමනය හා ත්‍රස්තවාදය මගින් එල්ල වන තර්ජන යනාදිය දිනෙන් දින ඉහළ යෑම නිසා සිදු වන විනාශකාරී ප්‍රතිවිපාකද නොසලකාහැරිය නොහැකියි. බොහෝ කලකට ඉහතදී ප්‍රේරිත පාවුල් ලියූ මෙම වදන් සමඟ ඔබද එකඟ විය හැකියි. “මේ ලෝකයේ ස්වභාවය වෙනස් වන්නේය.”—1 කොරින්ති 7:31, NW.

3. “මේ ලෝකයේ ස්වභාවය වෙනස් වන්නේය” කියා පාවුල් ලියූ විට, ඔහු එයින් අදහස් කළේ කුමක්ද?

3 පාවුල් ඉහත ප්‍රකාශය කරද්දී, ලෝකය රංගන වේදිකාවකට සමාන කළේය. මෙම වේදිකාවේ රඟපාන දේශපාලනික, ආගමික හා සංස්කෘතික ක්ෂේත්‍රවල සිටින ජනප්‍රිය පුද්ගලයෝ වේදිකාවට අවතීර්ණ වී තමන්ගේ චරිතය රඟපෑමෙන් අනතුරුව, ඊළඟට වේදිකාවට පැමිණෙන අයට ඔවුන්ගේ චරිත රඟ දැක්වීමට අවස්ථාව සලසා දෙමින් එයින් පිට වී යති. මෙය සියවස් ගණනාවක් පුරා සිදු වෙමින් පවතින දෙයකි. අතීතයේදී යම් රාජ වංශයක් දශක ගණනාවක් හෝ ඇතැම්විට සියවස් ගණනාවක් පවා පාලනය කර තිබිය හැකියි. ඒ කාලයේදී වෙනස්කම් සිදු වූයේ සෙමින්ය. එදා මෙන් නොව අද ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කිරීමට ප්‍රමුඛ පෙළේ පාලකයෙකුව ඝාතනය කරන්නෙකුගේ වෙඩි උණ්ඩයකට හැකියි. ඇත්තෙන්ම කැලඹිලි සහිත කාලයක ජීවත් වන අප හෙට කුමක් විය හැකිදැයි කියා දන්නේ නැත.

4. (අ) ලෝක සිද්ධීන් දෙස ක්‍රිස්තියානීන් බැලිය යුතු සමබර ආකාරය කුමක්ද? (ආ) දැන් අප සලකා බලන්න යන දෙයාකාරයක සාක්ෂි මොනවාද?

4 ලෝකය රංගන වේදිකාවක් නම්, එහි නායකයන් රඟපාන්නන් නම් ක්‍රිස්තියානීහු නරඹන්නෝ වෙති. * කෙසේවෙතත් ක්‍රිස්තියානීන් ‘ලෝකයේ කොටසක් නොවන’ නිසා රඟපාන්නන් රඟපාන ආකාරය ගැන හෝ ඔවුන් කවුද යන්න ගැන හෝ සොයා බැලීමට ඔවුහු එතරම් උනන්දු නොවෙති. (යොහන් 17:16) ඔවුන් මහත් ඕනෑකමින් බලා සිටින්නේ නාට්‍යය එහි විනාශකාරී උච්චාවස්ථාව කරා ළඟා වෙමින් තිබෙන බව අඟවන අවසාන ජවනිකා දෙසයි. මන්දයත් තමන් දිගු කාලයක සිට බලා සිටින්නාවූ, යෙහෝවා විසින් ගෙනෙන ධර්මිෂ්ඨ නව ලෝකය පිහිටුවීමට කලින් දුෂ්ට සමාජ ක්‍රමය අවසන් විය යුතු බව ඔවුහු දනිති. * එමනිසා අප ජීවත් වන්නේ අන්තිම දවස්වල බවටත් නව ලෝකය ආසන්න බවටත් තිබෙන මතු දැක්වෙන දෙයාකාරයක සාක්ෂි අපි දැන් පරීක්ෂා කර බලමු. (1) බයිබලයේ සිදුවීම් කාලයට අනුව පෙළගැසී ඇති අන්දම. (2) පිරිහෙමින් පවතින ලෝක තත්වය.—මතෙව් 24:21; 2 පේතෘස් 3:13.

වටහාගත නොහැකි වූ දෙයක් අවසානයේදී වටහාගනී!

5. “ජාතීන් සඳහා නියම කරන ලද කාලවල්” කියන්නේ කුමක්ද? මෙම කාලවල් ගැන සොයා බැලීමට අප උනන්දු විය යුත්තේ මන්ද?

5 යම් සිදුවීම් කාලයට අනුව පෙළගැසීමෙන් (කාල නිර්ණය) සිදු කෙරෙන්නේ කාලය හා සිද්ධීන් අතර තිබෙන සම්බන්ධතාව හැදෑරීමයි. දේවරාජ්‍යයේ මැදිහත් වීමකින් තොරව මේ ලෝකයේ පාලකයන් ප්‍රධාන චරිත රඟපාන කාලයක් ගැන යේසුස් පැවසුවේය. යේසුස් මෙම කාල පරිච්ඡේදය හැඳින්වූයේ “ජාතීන් සඳහා නියම කරන ලද කාලවල්” ලෙසයි. (ලූක් 21:24, NW) ‘නියම කරන ලද කාලවල’ අවසානයේදී, දෙවිගේ ස්වර්ගික රාජ්‍යය බලයට පැමිණේ. එහි යුක්තිසහගත පාලකයා යේසුස් ක්‍රිස්තුස්ය. මුලදී යේසුස් පාලනය කරන්නේ ‘ඔහුගේ සතුරන් මැදය.’ (ගීතාවලිය 110:2) දානියෙල් 2:45හි සඳහන් වන පරිදි ඊළඟට සිදු වන්නේ දේවරාජ්‍යය විසින් සියලුම මිනිස් ආණ්ඩු “පොඩි කර නැති කර” දමා සදහටම පාලනය කිරීමයි.

6. ‘ජාතීන් සඳහා නියම කරන ලද කාලවල්’ පටන්ගත්තේ කවදාද? එම කාලවල් කොතරම් දීර්ඝ වූවාද? ඒවා අවසන් වූයේ කවදාද?

6 “ජාතීන් සඳහා නියම කරන ලද කාලවල්” අවසන් වී, දේවරාජ්‍යයේ පාලනය පටන්ගත්තේ කවදාද? මෙයට පිළිතුර ‘අන්තිම කාලය දක්වා වසා මුද්‍රා කර තබන’ ලද අතර බයිබලයේ සිදුවීම් කාලයට අනුව පෙළගැස්වීම එයට සම්බන්ධ වේ. (දානියෙල් 12:9) බයිබලය අධ්‍යයනය කරමින් සිටි නිහතමානී කණ්ඩායමකට එම ප්‍රශ්නවලට උත්තර හෙළි කිරීමට යෙහෝවා එම “කාලය” ළඟා වෙද්දී පියවර ගත්තේය. දෙවිගේ ආත්මයේ උපකාරය ඇතුව ඔවුහු ‘ජාතීන් සඳහා නියම කරන ලද කාලවල’ අර්ථය තේරුම්ගත්හ. අවුරුදු 2,520ක කාල පරිච්ඡේදයක් ඇතුළත් එම “කාලවල්” ආරම්භ වූයේ ක්‍රි.පූ. 607දී සිදු වූ යෙරුසලමේ විනාශයත් සමඟය. එම වසරේ පටන්ගත් ‘ජාතීන් සඳහා නියම කරන ලද කාලවල’ අවසානය සිදු වූයේ 1914දී බවට එම තොරතුරු ඇසුරෙන් ඔවුහු ගණන් බැලූහ. එමෙන්ම වත්මන් සමාජ ක්‍රමයේ අවසානය 1914දී ආරම්භ වූ බවද ඔවුහු තේරුම්ගත්හ. වර්ෂ 1914 ගණනය කරන ආකාරය ශුද්ධ ලියවිලි ඇසුරෙන් පැහැදිලි කිරීමට බයිබලය අධ්‍යයනය කරන කෙනෙකු වශයෙන් ඔබට හැකිද? *

7. දානියෙල් පොතේ සඳහන් කාලවල් සතේ පටන්ගැනීම, එහි කාල පරාසය හා අවසානය ගණන් බැලීමට අපට උපකාරවත් වන්නේ කුමන ශුද්ධ ලියවිලි පාඨද?

7 එක් ඉඟියක් දානියෙල් පොතේ සැඟවී තිබේ. යෙහෝවා ‘නියම කරන ලද කාලවල’ ආරම්භය වන ක්‍රි.පූ. 607දී යෙරුසලම විනාශ කිරීමට බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර්ව යොදාගත් බැවින්, ජාතීන් සංකේතමය කාලවල් සතක් පුරා දිව්‍ය මැදිහත් වීමකින් තොරව පාලනය කරන බව එම පාලකයාට හෙළි කරන ලදි. (එසකියෙල් 21:26, 27; දානියෙල් 4:16, 23-25) එම කාලවල් සතට කොපමණ කාලයක් අයත් වේද? එළිදරව් 11:2, 3 සහ 12:6, 14 යන වගන්තිවල සඳහන් වන පරිදි කාලවල් තුනහමාරකට දවස් 1,260ක් අයත් වේ. මේ අනුව කාලවල් සතක් යනු එය මෙන් දෙගුණයක්, එනම් දවස් 2,520ක් විය යුතුය. මෙම ගණනය කිරීමට අයත් වන්නේ එපමණද? නැත. මන්ද යෙහෝවා දානියෙල්ගේ කාලයේ විසූ අනාගතවක්තෘවරයෙකු වූ එසකියෙල්ට එම සංකේතමය කාලවල අර්ථය පැහැදිලි කරගැනීමට මෙම නියමය දුන්නේය. “අවුරුද්දකට දවසක් බැගින් ඔබට නියම කළෙමි.” (එසකියෙල් 4:6) එමනිසා කාලවල් සතට අවුරුදු 2,520ක් අයත් වේ. ගණන් බැලීමේ ආරම්භය වශයෙන් ක්‍රි.පූ. 607 සහ කාල පරාසය වශයෙන් අවුරුදු 2,520 යොදාගැනීමෙන් අපට නිගමනය කළ හැක්කේ නියම කරන ලද කාලවල් 1914දී අවසන් වූ බවයි.

“අන්තිම කාලය” තහවුරු කෙරේ

8. වර්ෂ 1914 සිට ලෝක තත්වය වඩ වඩා දරුණු අතට හැරී තිබෙන බව පෙන්වා දීමට ඔබට ඉදිරිපත් කළ හැකි සාක්ෂි මොනවාද?

8 බයිබලයේ සිදුවීම් කාලයට අනුව පෙළගැස්වීම පදනම් කරගනිමින් තේරුම්ගත් ඉහත කරුණු නිවැරදි බව වර්ෂ 1914 පටන් ලෝකයේ සිදු වී තිබෙන දේවලින් තහවුරු වේ. යුද්ධ, සාගත හා වසංගත මගින් “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය” සනිටුහන් කෙරෙන බව යේසුස්ම පැවසුවේය. (මතෙව් 24:3-8, NW; එළිදරව් 6:2-8) ඇත්තෙන්ම 1914 සිට සිදු වී තිබෙන්නේ එයයි. මේ තත්වය පිළිබඳව තවත් තොරතුරු සපයමින් පාවුල් සඳහන් කළේ මිනිසුන් එකිනෙකා කෙරෙහි දක්වන ආකල්පවල ප්‍රබල වෙනසක් සිදු වන බවයි. අද අපි සෑම කෙනෙක්ම දකින එම වෙනස්කම් පිළිබඳව ඔහු කළ විස්තරය නිවැරදිව ඉටු වී තිබේ.—2 තිමෝති 3:1-5.

9. වර්ෂ 1914 සිට පවතින ලෝක තත්වය ගැන නිරීක්ෂකයන් පවසන්නේ මොනවාද?

9 ඇත්තටම වර්ෂ 1914 සිට “මේ ලෝකයේ ස්වභාවය” විශාල වශයෙන් වෙනස් වී තිබේද? මහාචාර්ය රොබට් වෝල් 1914 පරම්පරාව (සිංහලෙන් නැත) නමැති පොතෙහි මෙසේ සඳහන් කරයි. “වර්ෂ 1914 අගෝස්තු මාසයේදී එක ලෝකයක් අවසන් වී තවත් ලෝකයක් ආරම්භ වූ බව යුද්ධය පැවති කාලයේ ජීවත් වූ අයට නම් කිසිම දිනක අමතක වන්නේ නැත.” මෙය තහවුරු කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ෂෝසේ ඒ. කොස්ටා ඉ සිල්වා මෙසේ ලීවේය. “අප ජීවත් වන්නේ ඉතා වේගයෙන් වෙනස්කම් සිදු වන කාලයකයි. මෙහි ප්‍රතිඵලයක් හැටියට මිනිසුන්ගේ සිත්තැවුල් හා මානසික පීඩනය මිනිස් ඉතිහාසයේ කිසිම කලෙක නොපැවති මට්ටමක් කරා වැඩි වී තිබේ.” මෙය ඔබ පෞද්ගලිකව අද්දැක තිබේද?

10. වර්ෂ 1914 පටන් ලෝක තත්වය වඩ වඩා දරුණු අතට හැරීමට බලපා තිබෙන හේතුව බයිබලය අපට පැහැදිලි කරන්නේ කෙසේද?

10 වඩ වඩා දරුණු වන ලෝක තත්වයට වගකිව යුත්තා කවුද? එළිදරව් 12:7-9 දක්වා වගන්තිවල මොහුව හෙළි කරන්නේ මෙසේය. “ස්වර්ගයෙහි යුද්ධයක් ඇති විය: මිකායෙල් [යේසුස් ක්‍රිස්තුස්] සහ ඔහුගේ දූතයෝ මකරාට [සාතන් නමැති යක්ෂයාට] විරුද්ධව යුද්ධ කළෝය. මකරා සහ උගේ දූතයන්ද යුද්ධ කළ නමුත්, ඌ ජයගත්තේ නැත. එතැන් පටන් ඔවුන්ට ස්වර්ගයෙහි ස්ථානයක් තිබුණේද නැත. එබැවින් ඒ මහත් මකරා පහතට හෙළනු ලැබුවේය. . . . [ඌ] මුළු පොළොවම නොමඟ [යවයි].” මේ අනුව ගැටලුවලට වගකිව යුත්තා වන්නේ සාතන් නමැති යක්ෂයාය. මොහුව 1914දී ස්වර්ගයෙන් පහ කර දමා තිබීමේ ප්‍රතිඵලයක් හැටියට “පොළොවටත් මුහුදටත් දුක් [ඇති වී තිබේ]. මන්ද යක්ෂයා තමාට ඇත්තේ කෙටි කාල පරිච්ඡේදයක් බව දැන, ඔහු මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටින්නේය.”—එළිදරව් 12:10, 12, NW.

අවසාන ජවනිකාව රඟ දක්වනු ඇත්තේ කෙසේද?

11. (අ) “මුළු පොළොවම” නොමඟ යැවීමට සාතන් යොදාගන්න උපක්‍රම මොනවාද? (ආ) ප්‍රේරිත පාවුල් අවධානය යොමු කරන්නේ සාතන් දරන කුමන විශේෂ වෑයම කෙරෙහිද?

11 සාතන් ඔහුගේ අවසානය ළඟා වෙමින් තිබෙන බව දැන සිටින නිසා “මුළු පොළොවම” නොමඟ යැවීමට දරන වෑයම් 1914 සිට වැඩි කර තිබේ. කවදත් රැවටීමට අතිදක්ෂයෙකු වන සාතන් වේදිකාව පිටුපස සිටිමින් රඟපාන්නන් වශයෙන් ලෝකයේ නායකයන්ව හා නව අදහස් ඉදිරිපත් කරන්නන්ව ලෝකය නමැති වේදිකාවට එවයි. (2 තිමෝති 3:13; 1 යොහන් 5:19) ඔහුගේ එක් ඉලක්කයක් වන්නේ තමන් පාලනය කරන ආකාරය මගින් ජනයාට සැබෑ සාමය අත් කරගත හැකි බව සිතීමට සලස්වමින් ඔවුන්ව රැවටීමයි. පොදුවේ ගත් කල, මිනිසුන්ව නොමඟ යැවීමට ඔහු යොදාගන්න උපක්‍රම සාර්ථක වී ඇත. මන්ද ලෝක තත්වය වඩ වඩා දරුණු අතට හැරෙමින් තිබෙන බවට ඕනෑ තරම් සාක්ෂි තිබියදීත් මිනිසුන් දිගටම බලාපොරොත්තු ඇති කරගෙන බලා සිටී. වත්මන් සමාජ ක්‍රමය විනාශ කරනු ලැබීමට කලින් සාතන්ගේ නොමඟ යවන ප්‍රචාරයන් කැපීපෙනෙන අයුරින් එළි දැක්වෙන බව ප්‍රේරිත පාවුල් පුරෝකථනය කළේය. මේ ගැන ඔහු ලීවේ මෙසේය. “‘සාමය සහ සුරක්ෂිතභාවය!’ යයි ඔවුන් කියන විට, ගර්භිණියකට විළිරුජාව පැමිණෙන්නාක් මෙන් ඔවුන් නොදැනුවත්වම ඔවුන් පිටට ක්ෂණිකව විනාශය පැමිණෙන්නේය. ඔවුහු කිසිසේත් නොගැලවෙන්නෝය.”—1 තෙසලෝනික 5:3, NW; එළිදරව් 16:13.

12. අපේ කාලයේ සාමය ඇති කිරීමට දරමින් තිබෙන්නේ කුමනාකාරයේ වෑයම්ද?

12 පසුගිය අවුරුදුවල සිට දේශපාලනඥයන් නොයෙකුත් සැලසුම් විස්තර කිරීමේදී “සාමය හා සුරක්ෂිතභාවය” යන ප්‍රකාශය නිතර භාවිත කර තිබේ. ඔවුහු 1986 ජාත්‍යන්තර සාම වර්ෂය ලෙස නම් කළද, ඒ වසරේ ලෝකයේ සාමයක් දක්නට තිබුණේ නැත. ලෝක නායකයන් දරන එවන් වෑයම් දකින කල 1 තෙසලෝනික 5:3හි සඳහන් වදන් සම්පූර්ණයෙන් ඉටු වෙනවා කියා සිතිය හැකිද? එසේ නැතහොත් පාවුල් එම වගන්තියෙහි සඳහන් කළේ මුළු ලෝකයේම අවධානයට යොමු වන සුවිශේෂී සිදුවීමක් ගැනද?

13. “සාමය හා සුරක්ෂිතභාවය” කියා පැවසීම ගැන පාවුල් පුරෝකථනය කරද්දී, ඉන්පසු සිදු වන විනාශය ඔහු සැසඳුවේ කුමක් සමඟද? මෙයින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

13 බොහෝ අවස්ථාවලදී බයිබල් අනාවැකිවල සම්පූර්ණ ඉටුවීම තේරුම්ගනු ලබන්නේ ඒවායේ ඉටුවීම අවසන් වීමෙන් පසුව හෝ ඉටු වෙමින් පවතින විටයි. එමනිසා බලා සිටීමට අපට සිදු වනු ඇත. කෙසේවෙතත් සිත්ගන්නාසුලු කරුණක් වන්නේ “සාමය හා සුරක්ෂිතභාවය” කියා හඬගා පැවසීමෙන් පසු ක්ෂණිකව සිදු වන විනාශය හා ගැබිනි කාන්තාවකට ඇති වන ප්‍රසව වේදනාව අතර පාවුල් කළ සැසඳීමයි. දරුවෙකු බිහි කිරීමට මාස නවයක පමණ කාලයක සිට බලා සිටින මවකට ඇගේ කුස තුළ දරුවා දවසින් දවස වැඩෙන බව දැනෙයි. තම කුසේ සිටින දරුවාගේ හෘද ස්පන්දනය ඇයට ඇසීමට ඉඩ තිබේ. දරුවා දඟලන ආකාරයද ඇයට දැනිය හැකියි. දරුවාගේ පාදය ඇගේ කුසට වැදීම පවා දැනිය හැකියි. කාලයක සිට බලා සිටින ඇගේ ජීවිතයේ සුවිශේෂි සිද්ධියක් වන දරුවා බිහි කිරීම ආසන්න බව අඟවන ප්‍රසව වේදනාව ඇයට යම් දවසක දැනෙන තෙක් එම ලක්ෂණ දිනෙන් දින වැඩි වේ. “සාමය හා සුරක්ෂිතභාවය” ගැන පැවසීම පිළිබඳ අනාවැකිය ඉටු විය හැකි ආකාරය කුමක් වුවත්, එය ක්ෂණිකව සිදු වන වේදනාකාරී නමුත් අවසානයේදී ප්‍රීතිය ගෙන දෙන සිද්ධියක් වන දුෂ්ට ලෝකය විනාශ වී නව ලෝකය ආරම්භය වීමට මඟ සලසනු ඇත.

14. අනාගතික සිදුවීම් දිග හැරෙන්නේ කුමන අනුපිළිවෙළට අනුවද? එම සිදු වීම් අවසානයේ ප්‍රතිඵලය කුමක් වනු ඇද්ද?

14 පැමිණීමට නියමිත විනාශය සිදු වන කාලය ලෝකය නමැති වේදිකාවේ රඟ දක්වන දර්ශන නරඹමින් සිටින විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් තුළ ගරුබිය දනවන හැඟීම් ඇති කරනු ලබන කාලයක් වනු ඇත. මුලින්ම පොළොවේ රජවරු (සාතන්ගේ සංවිධානයේ අංගයක් වන දේශපාලනික කොටස්) මහ බැබිලෝනියට අත හිත දෙන අයට ප්‍රහාර එල්ල කර ඔවුන්ව විනාශ කර දමනු ඇත. (එළිදරව් 17:1, 15-18) මෙසේ ලෝක වේදිකාවේ රඟ දක්වන නාට්‍යයේ කතා වස්තුව විස්මිත ලෙස වෙනත් අතකට හැරෙමින් සාතන්ගේ රාජ්‍යය එයටම විරුද්ධව නැඟී සිටීම නිසා කැඩී බිඳී යනු ඇත. මෙසේ කැඩී බිඳී යන කොටස් එකිනෙකාට විරුද්ධව සටන් කිරීම වැළැක්වීමට සාතන්ට නොහැකි වනු ඇත. (මතෙව් 12:25, 26) යෙහෝවා “තමාගේ අදහස ඉටු කරන පිණිස,” එනම් ඔහුගේ ආගමික එදිරිවාදීන්ව මිහිතලයෙන් තුරන් කර දැමීම සඳහා පොළොවේ රජවරුන්ගේ සිත් තුළට එසේ භේදවීමේ අදහස දමනු ඇත. බොරු ආගම් විනාශ වීමෙන් පසුව යේසුස් ක්‍රිස්තුස් ඔහුගේ ස්වර්ගික හමුදාව යොදාගනිමින් සාතන්ගේ සංවිධානයේ ඉතිරි වී තිබෙන කොටස් වන ව්‍යාපාරික හා දේශපාලනික කොටස් සම්පූර්ණයෙන්ම පරාජය කර දමනු ඇත. අවසානයේදී සාතන්වද ක්‍රියා විරහිත කරනු ලැබේ. එම ජවනිකාවෙන් පසු තිරය වැසෙන්නේ දිගු කාලයක් පුරා නරඹමින් සිටි නාට්‍යය අවසානයකට පැමිණ තිබෙන බව අඟවමිනි.—එළිදරව් 16:14-16; 19:11-21; 20:1-3.

15, 16. “ඇත්තේ තව කෙටි කාලයක්” බවට කෙරෙන සිහිගැන්වීම අපේ ජීවිතවලට බලපෑ යුත්තේ කෙසේද?

15 මේ සෑම දෙයක්ම සිදු වනු ඇත්තේ කවදාද? අප දවස හා පැය දන්නේ නැත. (මතෙව් 24:36) කෙසේවෙතත් “ඇත්තේ තව කෙටි කාලයක්” බව නම් දනිමු. (1 කොරින්ති 7:29, NW) එනිසා ඉතිරි වී තිබෙන කාලය අප නැණවත්ව පාවිච්චි කිරීම ඉතාමත් වැදගත්. මෙය කරන්නේ කෙසේද? ප්‍රේරිත පාවුල් පැහැදිලි කළ පරිදි අප අත්‍යවශ්‍ය නොවන දේවල් අත්හැර වඩා වැදගත් දේවල නියැලීම සඳහා ‘සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන’ ගත යුතුයි. එමෙන්ම සෑම දවසක්ම වටිනා දවසක් ලෙස සැලකිය යුතුයි. මන්ද? “දවස් නපුරු බැවිනි.” එමෙන්ම අප සඳහා ‘යෙහෝවාගේ කැමැත්ත කුමක්දැයි වටහාගෙන’ සිටින නිසා ඉතිරි වී තිබෙන වටිනාකමින් යුත් ටික කාලය අප නාස්ති කරන්නේ නැත.—එෆීස 5:15-17, NW; 1 පේතෘස් 4:1-4.

16 සමස්ත ලෝක සමාජ ක්‍රමයම විනාශ වීමට නියමිත බව දැන සිටීම අපට පෞද්ගලිකව බලපෑ යුත්තේ කෙසේද? ප්‍රේරිත පේතෘස් අපේ ප්‍රයෝජනය සඳහා ලීවේ, “මේ සියල්ල මෙසේ නැති වී යෑමට තිබෙන හෙයින්, ඔබ කෙබඳු අය විය යුතුදැයි සිතා බලන්න. ශුද්ධ වූ හැසිරීමෙහි නිරත වෙමින්ද දේවභක්තික ක්‍රියා කරමින්ද” සිටින්න කියායි. (2 පේතෘස් 3:11, NW) ඇත්තෙන්ම අප විය යුත්තේ මේ ආකාරයේ පුද්ගලයන්ය! එනම් පේතෘස්ගේ නැණවත් උපදේශයට අනුව අප (1) අපේ හැසිරීම ශුද්ධව තබාගැනීම සඳහා ඒ ගැන සුපරීක්ෂාකාරීව සිටීමත් (2) යෙහෝවාට සේවය කිරීමේදී අප ජ්වලිතව කරන ක්‍රියා මගින් ඔහු කෙරෙහි තිබෙන අපේ ප්‍රේමය සැමවිටම පිළිබිඹු වන බවට සහතික වීමත් අවශ්‍යයි.

17. විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් නිතරම සුපරීක්ෂාකාරීව සිටින්නේ සාතන්ගේ කුමන උගුල්වලට එරෙහිව සිටීමටද?

17 මේ ලෝකයේ සිත් වසඟ කරවන දේවලට ඇදී යෑමෙන් වැළකී සිටීමට දෙවි කෙරෙහි තිබෙන ප්‍රේමය අපට උපකාරවත් වනු ඇත. ඉදිරියේදී වත්මන් සමාජ ක්‍රමයට සිදුවීමට නියමිත දෙය සලකා බලන කල, සැප වින්දනයට මුල් තැන දෙන ජීවන රටාවකට අප ඇලුම් කිරීම අනතුරුදායකය. අප රැකියාව කරමින් ජීවත් වන්නේ මේ ලෝකයේ වුවද එය මුළුමනින්ම භුක්ති නොවිඳින්න කියා දී තිබෙන නැණවත් උපදේශයට අප අවනත විය යුතුයි. (1 කොරින්ති 7:31, NW) ලෝකයේ මුළා කරවන ප්‍රචාරයන්ගෙන් නොමඟ නොයෑමට අපට කළ හැකි සෑම දෙයක්ම අප කළ යුතුයි. මේ ලෝකයේ පවතින ගැටලුවලට සාර්ථක විසඳුම් සෙවීමට එයට නොහැකියි. මේ ලෝක ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යෑමට එයට නොහැකි වනු ඇත. මේ ගැන අපට එතරම්ම නිසැක විය හැක්කේ මන්ද? දෙවිගේ ආනුභාවය ලත් වචනයේ මෙසේ පවසා තිබෙන බැවිනි. “ලෝකයත් එහි ආශාවත් පහව යන්නේය. නමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය.”—1 යොහන් 2:17, NW.

හොඳම කොටස ඉදිරියේදී!

18, 19. ඔබ මහත් ආශාවෙන් බලා සිටින්නේ නව ලොවේදී කුමන වෙනස්කම් දැකීමටද? බලා සිටීම එතරම්ම වටිනා දෙයක් වන්නේ මන්ද?

18 යෙහෝවා ළඟදීම සාතන්ගේ හා ඔහුට අනුබල දෙන්නන්ගේ භූමිකාව නිමාවට පත් කරමින් ලෝක වේදිකාවේ තිරය වසා දමනු ඇත. ඉන්පසු වත්මන් සමාජ ක්‍රමයේ අවසානයෙන් බේරී ජීවත් වන්නන් දෙවිගේ ආශීර්වාද ඇතුව ලෝකය නමැති වේදිකාව මත වෙනස් චරිත නිරූපණය කිරීමට ඒ කාලය අතරතුර පටන්ගනු ඇත. ඒ දර්ශනයේදී යුද්ධ කිසිදා දැකිය නොහැකි වනු ඇත. දෙවි “පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වන්නේය.” (ගීතාවලිය 46:9) ඒ කාලයේදී ආහාර හිඟකම් තිබෙනවා වෙනුවට පොළොව මත ‘ධාන්‍ය බහුලව ඉතිරෙනු ඇත.’ (ගීතාවලිය 72:16, නව අනුවාදය) එමෙන්ම සිරගෙවල්, පොලිස් ස්ථාන, ලිංගිකව බෝ වෙන රෝග, දික්කසාද, මූල්‍යමය අර්බුද හා ත්‍රස්තවාදයද නොතිබෙනු ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද නොසිටිනු ඇත.—ගීතාවලිය 37:29; යෙසායා 33:24; එළිදරව් 21:3-5.

19 සොහොන් ගෙවල්වලින් බිලියන ගණනක්ව නැවත නැඟිටුවනු ලබන අතර, ඔවුන්ද රඟපාන්නන් ලෙස ලෝකය නමැති වේදිකාවේ පෙනී සිටිනු ඇත. එක් පරම්පරාවක් තවත් පරම්පරාවක් සමඟ යළි එකතු වෙන විටත් මරණය නිසා දිගු කාලයක් සමුගෙන සිටි ප්‍රේමණීයයන් හද පත්ලෙන්ම නැඟෙන උණුසුම් හැඟීම් සමඟින් එකිනෙකාව වැලඳගන්න විටත් මොන තරම් ප්‍රීතියක් ඇති වේද! අවසානයේදී මිහිතලයේ ජීවත් වන සෑම කෙනෙක්ම යෙහෝවාට නමස්කාර කරනු ඇත. (එළිදරව් 5:13) ඊළඟ දර්ශනය සඳහා අවශ්‍ය වෙනස්කම් සම්පූර්ණයෙන් සිදු කිරීමෙන් පසු ලොව පුරා පැතිරුණු පාරාදීසයක්, ලෝකය නමැති වේදිකාවේ දැකගැනීමට හැකි වනු ඇත. ඔබ මෙම දර්ශනය හොඳින් නරඹන විට ඔබට කෙසේ හැඟෙනු ඇද්ද? ඔබේ මුවින් මේ හා සමාන වදන් පිටවෙනවා නිසැකයි. ‘මම මේ දර්ශනය පැමිණෙන තෙක් බොහෝ කාලයක් තිස්සේ බලා සිටියා. ඒ වුණත් එතරම් කාලයක් බලාගෙන සිටිය එක කොච්චර වටිනවාද!’

[පාදසටහන]

^ 4 ඡේ. පාවුල් වෙනත් කාරණයක් සම්බන්ධයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව සමාන කළේ “ලෝකයටත් දේවදූතයන්ටත් මිනිසුන්ටත් රංග භූමියක ප්‍රදර්ශනයක්” ලෙස පෙනී සිටින අයටයි.—1 කොරින්ති 4:9, NW.

^ 4 ඡේ. උදාහරණයක් හැටියට දානියෙල් 11:40, 44, 45 යන වගන්තිවල සඳහන් ‘උතුරු දිශාවේ රජගේ’ අනන්‍යතාව පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න නමැති පොතේ 280-1 දක්වා පිටු බලන්න.

^ 6 ඡේ. පිටුවහල් කරන ලද යුදෙව්වන් ක්‍රි.පූ. 537දී ආපසු පැමිණීමට අවුරුදු 70කට කලින් යෙරුසලම වැටුණු බව බයිබලයේ සඳහන් කරුණුවලින් හෙළි වේ. (යෙරෙමියා 25:11, 12; දානියෙල් 9:1-3) ‘ජාතීන් සඳහා නියම කරන ලද කාලවල’ අවසානය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ශුද්ධ ලියවිලි ඇසුරෙන් තර්ක කිරීම (rs, සිංහලෙන් නැත) නමැති පොතේ 95-7 දක්වා පිටු බලන්න.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• “මේ ලෝකයේ ස්වභාවය වෙනස් වන්නේය” කියා ප්‍රේරිත පාවුල් පැවසූ වදන් අපේ කාලයේ සැබෑවක් වී තිබෙන්නේ කෙසේද?

• ‘ජාතීන් සඳහා නියම කරන ලද කාලවල’ අවසානය සොයාගැනීමට බයිබලයේ සිදුවීම් කාලයට අනුව පෙළගස්වා ඇති ආකාරය උපකාරවත් වන්නේ කෙසේද?

• “අන්තිම කාලය” 1914දී පටන්ගත් බව වෙනස් වන ලෝක තත්වයන් මගින් තහවුරු කෙරෙන්නේ කෙසේද?

• “ඇත්තේ තව කෙටි කාලයකි” යන ප්‍රකාශය අපට බලපෑ යුත්තේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[20වන පිටුවේ පින්තූරය]

වටහාගත නොහැකි වූ දෙයක් අවසානයේදී වටහාගැනේ!