Skip to content

පටුනට යන්න

යෙහෝවා අපගේ දෛනික අවශ්‍යතා සපුරාලයි

යෙහෝවා අපගේ දෛනික අවශ්‍යතා සපුරාලයි

යෙහෝවා අපගේ දෛනික අවශ්‍යතා සපුරාලයි

“ඒ ගැන කරදර වී දෙගිඩියාවෙන් සිටීම නතර කරන්න. . . . මේ දේවල් ඔබට අවශ්‍ය බව ඔබේ පියාණන් දන්නේය.”—ලූක් 12:29, 30, NW.

1. යෙහෝවා සත්වයන්ට ආහාර සපයන්නේ කෙසේද?

ඔබ කවදා හෝ ගේ කුරුල්ලෙකු හෝ වෙනත් යම් පක්ෂියෙකු බිම පහුරුගානවා දැක තිබේද? බිම පහුරුගාමින් ඌ කුමක් සොයනවාදැයි ඔබ සමහරවිට කල්පනා කර තිබෙන්නට පුළුවන. කන්ද උඩ දේශනාවේදී යේසුස් පෙන්වූයේ යෙහෝවා කුරුල්ලන්ට සපයන ආකාරය දෙස බැලීමෙන් අපට යමක් ඉගෙනගත හැකි බවයි. ඔහු පැවසුවේ මෙසේයි. “අහසේ කුරුල්ලන් දෙස හොඳින් බලන්න. උන් බීජ වපුරන්නේවත් කපන්නේවත් ගබඩාවලට රැස් කරන්නේවත් නැත. නමුත් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් උන් පෝෂණය කරන්නේය. ඔබ උන්ට වඩා වටින්නේ නැද්ද?” (මතෙව් 6:26, NW) යෙහෝවා ඔහුගේ මැවිලිවලට පුදුමාකාර ක්‍රමවලින් ආහාර සපයයි.—ගීතාවලිය 104:14, 21; 147:9.

2, 3. අපගේ දිනපතා භෝජනය ඉල්ලා යාච්ඤා කිරීමට යේසුස් අපට ඉගැන්වූ කාරණයෙන් අපට ගත හැකි ආත්මික පාඩම් මොනවාද?

2 එසේනම්, “අපේ දිනපතා භෝජනය අද අපට දෙන්න” යන අයැදීම යේසුස් සිය ආදර්ශ යාච්ඤාවට ඇතුළත් කළේ මන්ද? (මතෙව් 6:11, NW) මෙම සරල අයැදීමෙන් අපට ගැඹුරු ආත්මික පාඩම් ඉගෙනගත හැකියි. පළමුව, ඉන් අපට මතක් කර දෙන්නේ අපගේ ශ්‍රේෂ්ඨ සැපයුම්කරුවාණන් නම් යෙහෝවා වන බවයි. (ගීතාවලිය 145:15, 16) සිටවන්නට සහ වගා කරන්නට මිනිසුන්ට හැකියි. එහෙත් ආත්මිකව හා භෞතිකව දේවල් වර්ධනය වීමට සැලැස්විය හැක්කේ දෙවිට පමණි. (1 කොරින්ති 3:7) අප කන බොන දේවල් දෙවිගෙන් ලැබෙන දීමනාය. (ක්‍රියා 14:17) අපගේ දෛනික අවශ්‍යතා සපුරාලන මෙන් ඔහුගෙන් අයැදීමෙන් ඔහුට අප පෙන්වන්නේ එවන් සැපයුම් අප සැහැල්ලුවට නොගන්නා බවයි. ඇත්තවශයෙන්ම, අපට වැඩ කිරීමට හැකිකම තිබෙනවා නම්, එවන් ඉල්ලීමක් කිරීම නිසාම ඒ වගකීමෙන් අපට නිදහස් විය හැකි බවක් අදහස් කරන්නේ නැත.—එපීස 4:8; 2 තෙසලෝනික 3:10.

3 දෙවනුව, “දිනපතා භෝජනය” අප විසින් ඉල්ලනු ලැබීමෙන් අඟවන්නේ අප අනාගතය ගැන ඕනෑවට වඩා කනස්සලු නොවිය යුතු බවයි. යේසුස් තවදුරටත් පැවසුවේ මෙසේයි. “එබැවින් ‘කුමක් කමුද’ කියාවත් ‘කුමක් බොමුද’ කියාවත් කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද අන්‍යජාතීන් මහත් උනන්දුවකින් හඹා යන්නේ මේ සියල්ල පසුපසය. නමුත් මේ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නේය. එබැවින් පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් ඔබට දෙනු ලැබේ. එහෙයින් හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසේ කරදර තිබෙනු ඇත. එක දවසක තිබෙන කරදර ඒ දවසට සෑහෙයි.” (මතෙව් 6:31-34, NW) “දිනපතා භෝජනය” ඉල්ලා කරන යාච්ඤා මගින් ‘ඇති දෙයින් සෑහීමට පත්වීම සමඟ බැඳී පවතින දේවභක්තික’ සරල ජීවිතයක් ගත කිරීමේ ක්‍රමයට අපව හුරු කරවයි.—1 තිමෝති 6:6-8, NW පාද සටහන.

දවස්පතා ආත්මික ආහාර

4. ආත්මික ආහාර ගැනීමේ වැදගත්කම අවධාරණය කෙරෙන්නේ යේසුස්ගේ සහ ඊශ්‍රායෙල්වරුන්ගේ ජීවිතවල කිනම් සිද්ධීන්වලින්ද?

4 දිනපතා ආහාර ඉල්ලා අප කරන යාච්ඤා මගින් දෛනිකව ආත්මික ආහාර ගැනීමට අපට තිබෙන අවශ්‍යතාවද මතක් කර දෙයි. දිගු කලක් මුළුල්ලේ නිරාහාරව සිටියද, ගල් රොටි බවට පත් කිරීමට සාතන් කළ පෙලඹවීමට යේසුස් එරෙහි වූයේ මෙසේ කියමිනි. “‘මිනිසා ජීවත් විය යුත්තේ රොටි පමණකින් නොව, යෙහෝවාගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකිනි’ කියා ලියා තිබේ.” (මතෙව් 4:4,NW) තවද ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ පැවසූ මෝසෙස්ගේ වචනද යේසුස් මෙහිදී උපුටා දැක්වූයේය. “ඔහු [යෙහෝවා] ඔබ යටත් කොට, ඔබ බඩගින්නට පැමිණෙන්ට ඉඩඇර, මනුෂ්‍යයා ජීවත් වන්නේ රොටිවලින් පමණක් නොවන බවත් යෙහෝවාගේ මුඛයෙන් නික්මෙන සියල්ලෙන් මනුෂ්‍යයා ජීවත් වන බවත් ඔබට දන්වා දෙන පිණිස, ඔබ දැන නොගෙන සිටියාවූ, ඔබ පියවරුන්ද දැන නොගෙන සිටියාවූ මන්නාවලින් ඔබ පෝෂණය කළේය.” (ද්විතීය කථාව 8:3) යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට මන්නා සැපයූ ආකාරයෙන් ශාරීරික ආහාර සැපයුවා පමණක් නොව, ආත්මික අරුත් ඇති පාඩමක්ද ඉගැන්වීය. ඉගෙනගැනීමට තිබූ එක් පාඩමක් නම්, ‘දවසකට සෑහෙන ප්‍රමාණය දිනපතා රැස් කරගත’ යුතු වීමයි. ඔවුන් දවසකට සරිලන ප්‍රමාණයට වඩා රැස් කරගත්තා නම්, ඉතිරි ආහාරවල පණුවන් සෑදී දුගඳ වහනය වන්නට වුණි. (නික්මයාම 16:4, 20) එහෙත්, සබත් දවසට අවශ්‍ය ආහාර සපුරාගැනීම සඳහා ආහාර දෙගුණයක් එකතු කළ හයවෙනි දවසේදී එම දෙය සිදු වූයේ නැත. (නික්මයාම 16:5, 23, 24) මෙලෙස මන්නා මගින් ඔවුන්ගේ මනස්වලට ඉතා වැදගත් යමක් කාවද්දනු ලැබුණි. එය නම්, ඔවුන් කීකරු විය යුතු බවත්, ඔවුන්ගේ ජීවිත රඳා පවතින්නේ රොටි මත පමණක් නොව, නමුත් “යෙහෝවාගේ මුඛයෙන් නික්මෙන සියල්ලෙන්ය” යන කාරණයයි.

5. යෙහෝවා අපට දෛනික ආත්මික ආහාර සපයන්නේ කෙසේද?

5 එසේම, අපද යෙහෝවා තම පුත්‍රයා තුළින් සපයනු ලබන ආත්මික ආහාරවලින් දිනපතා පෝෂණය විය යුතුයි. මේ අරමුණින්, ඇදහිල්ලේ පවුලේ අයට “නියම වේලාවට ආහාර දෙන පිණිස” යේසුස් ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයෙකු’ පත් කර ඇත. (මතෙව් 24:45, NW) විශ්වාසවන්ත දාස පංතිය බයිබල් ආධාරක මාර්ගයෙන් ආත්මික ආහාර බහුල ලෙස සපයා තිබෙනවා පමණක් නොව, දිනපතා බයිබලය කියවන ලෙසටද අපව දිරිගන්වයි. (යෝෂුවා 1:8; ගීතාවලිය 1:1-3) යේසුස් මෙන් අපටද ආත්මික පෝෂණය ලබාගෙන යෙහෝවාගේ කැමැත්ත ඉගෙනගෙන එය කිරීමට දැඩි ප්‍රයත්නයක් දැරිය හැකියි.—යොහන් 4:34.

පව්වලට කමාව

6. අප සමාව ඉල්ලිය යුත්තේ කිනම් ණය ගැනද? යෙහෝවා ඒවා අවලංගු කිරීමට කැමැත්තෙන් සිටින්නේ කිනම් කොන්දේසි මතද?

6 ආදර්ශ යාච්ඤාවේ මීළඟ ඉල්ලීම නම්, “අපේ ණයකාරයන්ට අප කමා කළාක් මෙන් අපේ ණයත් අපට කමා කළ මැනව” යන්නය. (මතෙව් 6:12) යේසුස් මෙහිදී කතා කරමින් සිටියේ මුදල් අතින් ණය වී සිටීමක් ගැන නොවේ. ඔහුගේ මනසේ තිබුණේ අපගේ පව්වලට සමාව දීම ගැනයි. ආදර්ශ යාච්ඤාව ගැන ලූක්ගේ වාර්තාවෙහි මෙම ඉල්ලීම ගැන අපට කියවීමට තිබෙන්නේ මෙසේයි. “අපේ පව්වලට සමාව දෙන්න. මන්ද අපට වැරදි කළ සැමෝටම අපිත් සමාව දෙන්නෙමු.” (ලූක් 11:4, NW) මෙසේ, අප පව් කරන විට, එය හරියට අප යෙහෝවාට ණයක් වෙනවා හා සමානය. එහෙත්, අප අවංකවම පසුතැවිලි වී, ‘හැරී,’ ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීමේ පදනම මත සමාව අයදිනවා නම්, අපගේ ප්‍රේමණීය පියාණන් අපගේ පව් ‘මකා දැමීමට’ හෙවත් අවලංගු කිරීමට සූදානමින් සිටී.—ක්‍රියා 3:19, 20; 10:43; 1 තිමෝති 2:5, 6.

7. සෑම දවසකම අප අපේ පව්වලට සමාව ඉල්ලා යාච්ඤා කළ යුත්තේ මන්ද?

7 තවත් දෘෂ්ටි කෝණයකින් බලන කල, අප පව් කරන විට, අපි යෙහෝවාගේ ධර්මිෂ්ඨකමේ ප්‍රමිතිවලින් පහතට වැටෙන්නෙමු. උරුම කරගත් පාපය නිසා, අපි සියලු දෙනාම වචනයෙන්, ක්‍රියාවෙන් සහ සිතිවිලිවලින් පව් කරන්නෙමු. නැතහොත් අපි කළ යුතු දෙය කිරීමට අපොහොසත් වන්නෙමු. (දේශනාකාරයා 7:20; රෝම 3:23; යාකොබ් 3:2; 4:17) එබැවින්, අප දවස පුරා කරන කටයුතුවලදී හිතාමතා පව් කළත් නැතත්, අප අපේ දෛනික යාච්ඤාවලදී අපේ පව්වලට සමාව ඉල්ලිය යුතුයි.—ගීතාවලිය 19:12; 40:12.

8. සමාව ඉල්ලා කරන යාච්ඤා මගින් අපව පෙලඹවිය යුත්තේ කුමක් කිරීමටද? කිනම් ප්‍රයෝජනදායක ප්‍රතිඵල මේ මගින් ඇති වේද?

8 අප අවංකව ආත්ම සෝදිසියක් කර, පසුතැවිලි වී, පාපෝච්චාරණය කර, ක්‍රිස්තුස් වැගිරෙවූ රුධිරයේ පව් සමා කිරීමේ බලය කෙරෙහි තබන ඇදහිල්ලේ පදනම මත සමාව ඉල්ලා යාච්ඤා කළ යුතුය. (1 යොහන් 1:7-9) අපගේ යාච්ඤාවල අවංකභාවය සනාථ කිරීම පිණිස, සමාව ඉල්ලා අප කරන අයැදීම් සමඟ “පසුතැවිලි වූ බව පෙන්වන ක්‍රියාවන්” කළ යුතුය. (ක්‍රියා 26:20, NW) එවිට අපගේ පව්වලට සමාව දීමට යෙහෝවා තුළ ඇති කැමැත්ත කෙරෙහි ඇදහිල්ල තැබිය හැකියි. (ගීතාවලිය 86:5; 103:8-14) මෙහි ප්‍රතිඵලය නම්, සැසඳිය නොහැකි මනසේ සාමයයි. එනම් “සියලු සිතිවිලි අබිබවා යන දෙවිගේ සමාදානයය.” එය “ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් [අපගේ] සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත.” (ෆිලිප්පි 4:7, NW) එහෙත්, යේසුස් ඉගැන්වූ ආදර්ශ යාච්ඤාවෙන්, අපගේ පව්වලට සමාව ලබාගැනීමට කළ යුතු තවත් බොහෝ දේවල් ගැන අපට උගන්වයි.

සමාව ලැබීමට නම්, අප සමාව දිය යුතුය

9, 10. (අ) යේසුස් සිය ආදර්ශ යාච්ඤාවට ඇතුළත් කළ ප්‍රකාශය කුමක්ද? මේ මගින් අවධාරණය කළේ කුමක්ද? (ආ) අප විසින් සමාව දෙනු ලැබීම ගැන යේසුස් තවදුරටත් නිදර්ශනය කළේ කෙසේද?

9 “අපට වැරදි කළ අයට අප සමාව දී තිබෙන්නාක් මෙන් අපේ වැරදිවලට සමාව දෙන්න” යන ඉල්ලීම යේසුස් පැහැදිලි කළ ආදර්ශ යාච්ඤාවේ කොටසක් පමණක් වීම මෙහිදී උනන්දුව ගෙනදෙන කරුණකි. යාච්ඤාව අවසන් කළායින් පසුව, ඔහු තවදුරටත් කීවේ මෙසේයි. “මන්ද, ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වැරදිවලට සමාව දෙනවා නම්, ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ද ඔබට සමාව දෙනවා ඇත. නමුත් ඔබ මිනිසුන්ගේ වැරදිවලට සමාව දෙන්නේ නැත්නම්, ඔබේ වැරදිවලටද ඔබේ පියාණන් සමාව දෙන්නේ නැත.” (මතෙව් 6:14, 15, NW) මෙසේ, යේසුස් ඉතා පැහැදිලිව පෙන්වා සිටියේ යෙහෝවා විසින් අපගේ පව්වලට සමාව දෙනු ලැබීම අප අන්‍යයන්ට සමාව දීමට කැමැත්තෙන් සිටීම යන කොන්දේසියට යටත්ව තිබෙන බවයි.—මාර්ක් 11:25.

10 වෙනත් අවස්ථාවක, යේසුස් තවත් උපමාවක් කියා දුන්නේය. ඉන් පෙන්වූයේ යෙහෝවා අපට සමාව දීම අප අපේක්ෂා කරනවා නම්, අපත් අන්‍යයන්ට සමාව දීමේ අවශ්‍යතාවයි. ඉමහත් ණය සම්භාරයක් ගෙවීමට බැරිව සිටි දාසයෙකුගේ ණය අවලංගු කළ එක්තරා ත්‍යාගශීලී රජෙකු ගැන ඔහු පැවසීය. මෙම රජ පසුව මෙම දාසයාට දැඩි සේ දඬුවම් කළේ එම දාසයා ඔහුගේ සෙසු දාසයෙකුගේ සාපේක්ෂ වශයෙන් ඉතා සුළු ණයක් අවලංගු කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. යේසුස් එම උපමාව අවසන් කළේ මෙසේ කියමිනි. “ඔබ එකිනෙකාත් තම තමාගේ සහෝදරයාට ඔබේ හදවතින්ම සමාව නොදුන්නොත්, ස්වර්ගයේ සිටින මාගේ පියාණන්ද ඔබට එසේම කරනවා ඇත.” (මතෙව් 18:23-35, NW) මෙහිදී උගන්වන ලද පාඩම පැහැදිලිය. එනම්, අප එක් එක්කෙනාට යෙහෝවා සමාව දී ඇති පාපවල ණය ප්‍රමාණය, වෙනත් ඕනෑම අයෙකු අපට එරෙහිව කර ඇති පව්වල ණය ප්‍රමාණයට වඩා ඉතා විශාලය යන්නය. එපමණක්ද නොව, යෙහෝවා අපට දවස් පතා සමාව දෙයි. එසේනම්, වෙනත් අය අපට ඉඳ හිට කරන වැරදිවලට සමාව දීමට අපට ස්ථිර වශයෙන්ම හැකියි.

11. යෙහෝවා විසින් අපට සමාව දෙනු ලැබීම අප අපේක්ෂා කරන්නේ නම්, අප අනුගමනය කළ යුත්තේ ප්‍රේරිත පාවුල් විසින් දී ඇති කිනම් උපදේශයද? ඒ මගින් ඇති වන මාහැඟි ප්‍රතිඵල කවරේද?

11 ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “එකිනෙකාට කරුණාවද ගැඹුරු දයානුකම්පාවද පෙන්වන්න. දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔබට මුළු හදවතින්ම කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට මුළු හදවතින්ම කමා කරන්න.” (එෆීස 4:32, NW) අන්‍යෝන්‍ය ලෙස එකිනෙකාට සමාව දීම ක්‍රිස්තියානීන් අතර සාමය ඇති කරවයි. පාවුල් තවදුරටත් ඉල්ලා සිටියේ මෙසේයි. “එබැවින්, දෙවිගේ තෝරාගත්, ශුද්ධ, ප්‍රේමණීය අය මෙන්, දයානුකම්පාවෙන් යුත් ගැඹුරු සෙනෙහසද, කරුණාවන්තකමද, යටහත් පහත් මනසක්ද, මෘදුකමද, බොහෝ ඉවසිලිවන්තකමද පැළඳගන්න. යමෙකුට විරුද්ධව පැමිණිලි කිරීමට හේතුවක් ඇත්නම්, එකිනෙකා ගැන ඉවසමින්, මුළු හදවතින්ම එකිනෙකාට කමා කරන්න. යෙහෝවා මුළු හදවතින්ම ඔබට කමා කළාක් මෙන් ඔබත් එසේ කරන්න. නමුත් මේ සියල්ලට අමතරව, ප්‍රේමය පැළඳගන්න. මන්ද එය එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමකි.” (කොලොස්සි 3:12-14, NW) මේ සියලු දේම යේසුස් අපට ඉගැන්වූ යාච්ඤාව තුළ අඟවනු ලැබ තිබේ. එය මෙසේයි. “අපට වැරදි කළ අයට අප සමාව දී තිබෙන්නාක් මෙන් අපේ වැරදිවලටද අපට සමාව දෙන්න.”

පරීක්ෂාව යටතේ ආරක්ෂාව

12, 13. (අ) ආදර්ශ යාච්ඤාවේ ඊළඟට සඳහන් කරන ලද ඉල්ලීම කුමක්ද? (ආ) මහා පරීක්ෂකයා කවුද? අපව පරීක්ෂාවට නොපමුණුවන්න කියා අප කරන යාච්ඤාවේ අර්ථය කුමක්ද?

12 යේසුස්ගේ ආදර්ශ යාච්ඤාවේ ඊළඟට තිබෙන ඉල්ලීම මෙයයි. “දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න.” (මතෙව් 6:13, NW) යේසුස් මින් අදහස් කළේ අපව පරීක්ෂා නොකරන්න කියා අප යෙහෝවාගෙන් ඉල්ලිය යුතු බවද? මෙය විය නොහැකියි. මන්දයත් ශ්‍රාවක යාකොබ් මෙසේ ලියන්නට ආනුභාවය ලදි. “පරීක්ෂා කරනු ලබද්දී, “මම දෙවි විසින් පරීක්ෂා කරනු ලබමි” යයි කිසිවෙක් නොකියාවා! මන්ද, නපුරු දෙයින් දෙවිව පරීක්ෂා කළ නොහැක. ඔහුද නපුරු දෙයින් කිසිවෙකුව පරීක්ෂා කරන්නේ නැත.” (යාකොබ් 1:13, NW) එපමණක්ද නොව, ගීතිකාකරු මෙසේ ලීවේය. “යෙහෝවා, ඔබ අයුතුකම් ගණනට ගන්නේ නම්, යෙහෝවා, කාට සිටින්ට හැක්කේද?” (ගීතාවලිය 130:3) යෙහෝවා අප කරන සෑම වරදක් දෙසම බලා සිටින්නේ නැත. තවද ඔහු අපව වරදක් කිරීමට පොලඹවන්නේද නැත. එසේනම්, ආදර්ශ යාච්ඤාවේ මෙම කොටසින් අදහස් කරන්නේ කුමක්ද?

13 අපව වරදට පොලඹවන්නෙත් සහ සියුම් ක්‍රම මගින් අපව වැටී යෑමට සලස්වන්නෙත්, එමෙන්ම අපව ගිල දැමීමට උත්සුක වන්නෙත්, සාතන් වන යක්ෂයාය. (එෆීස 6:11, NW පාද සටහන) මහා පරීක්ෂකයා ඔහුයි. (1 තෙසලෝනික 3:5) පරීක්ෂාවට නොවැටෙන මෙන් අප යාච්ඤා කිරීම මගින් අප යෙහෝවාගෙන් ඉල්ලමින් සිටින්නේ අපව පරීක්ෂා කරනු ලබන විට වැටී යෑමට ඉඩ නොහරින ලෙසටයි. “[සාතන්] අපව රවටා වාසි නොලබන පිණිස,” පරීක්ෂාවන්ට යට නොවන පිණිස අපි මෙහිදී අයැදමින් සිටිමු. (2 කොරින්ති 2:11, NW) අපගේ යාච්ඤාව වන්නේ ‘මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයේ වාසය කිරීමටය.’ එනම් තමන් කරන සෑම දෙයකදීම යෙහෝවාගේ පරමාධිපත්‍යය හඳුනාගන්නාවූ අයට යෙහෝවා ලබා දෙන ආත්මික ආරක්ෂාව ලැබීමය.—ගීතාවලිය 91:1-3.

14. අප පරීක්ෂා යටතේ සිටින විට, අප යෙහෝවා දෙස බැලුවහොත් ඔහු අපව අත් නොහරින බව ප්‍රේරිත පාවුල් අපට සහතික කරන්නේ කෙසේද?

14 අපගේ යාච්ඤාවලින් හා අපගේ ක්‍රියාවලින් ප්‍රකාශ වන එය අපගේ අවංක ආශාව නම්, යෙහෝවා අපව කවදාවත් අතහරින්නේ නැති බවට අපට ස්ථිර විය හැකියි. ප්‍රේරිත පාවුල් අපගේ බිය සැක දුරු කරන්නේ මෙසේයි. “මිනිසුන්ට පොදුවේ පැමිණෙන පරීක්ෂාවක් මිස අනිකක් ඔබ වෙත පැමිණ නැත. දෙවි විශ්වාසවන්තය. ඔබට දරාගත හැකි තරමට වඩා පරීක්ෂා කරනු ලබන්න ඔහු ඉඩ දෙන්නේ නැත. ඒ වෙනුවට, පරීක්ෂාවත් සමඟම, ඔබට එය විඳදරාගත හැකි වන පිණිස ඔහු ඉන් ගැලවීමට මඟද සලසා දෙන්නේය.”—1 කොරින්ති 10:13, NW.

“දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න”

15. දුෂ්ටයාගෙන් ගැලවීම අයැද වෙන කවරදාටත් වඩා අද දින අප යාච්ඤා කිරීම වැදගත් වන්නේ මන්ද?

15 ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල වඩාත් විශ්වාසවන්ත අත් පිටපත්වල දක්නට ලැබෙන පරිදි, යේසුස්ගේ ආදර්ශ යාච්ඤාව “දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න” යන වචනවලින් අවසන් වෙයි. * (මතෙව් 6:13, NW) මේ අන්තිම කාලයේදී මීටත් වඩා යක්ෂයාගෙන් ආරක්ෂාව අවශ්‍යය. සාතන් සහ ඔහුගේ භූතයෝ ‘දෙවිගේ ආඥා පිළිපදිමින්, යේසුස් ගැන සාක්ෂි දැරීමේ කාර්යයේ’ නියැලී සිටින අභිෂේක ලත් ඉතිරි අය සමඟ හා ‘මහත් සමූහයට’ අයත් තම සහයකයන් සමඟද යුධ වැදී සිටිති. (එළිදරව් 7:9, 12:9, 17, NW; 16 පැරණි අනුවාදය) ප්‍රේරිත පේතෘස් ක්‍රිස්තියානීන්ට අවවාද කළේ මෙසේයි. “සිහිකල්පනාව ඇතිව සිටින්න. සෝදිසියෙන් සිටින්න. ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන්, කවරෙකුව හෝ ගිලදමන්න සොයමින් ඔබ මොබ ඇවිදින්නේය. නමුත් . . . ඇදහිල්ලේ ස්ථිරව සිට, ඔහුට විරුද්ධව සිටින්න.” (1 පේතෘස් 5:8, 9, NW) අපගේ සාක්ෂි දැරීමේ වැඩය නතර කිරීමට සාතන් මහත් කැමැත්තකින් සිටී. ආගමික, වාණිජමය හෝ දේශපාලනික වශයෙන් තමන්ට පොළොව මත සිටින ඉත්තන් මාර්ගයෙන් ඔහු උත්සාහ කරන්නේ අපව භය ගැන්වීමටය. එහෙත්, අප ස්ථිරව සිටිනවා නම්, යෙහෝවා අපව ගලවනු ඇත. ශ්‍රාවක යාකොබ් ලීවේ මෙසේයි. “එහෙයින් දෙවිට යටත් වෙන්න. යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යන්නේය.”—යාකොබ් 4:7, NW.

16. පරීක්ෂාව යටතේ සිටින සිය සේවකයන්ට පිහිට වීමට යෙහෝවා සැණෙකින් යොදාගන්නා වූ ක්‍රම මොනවාද?

16 යෙහෝවා තම පුත්‍රයාව පරීක්ෂා කරනු ලැබීමට ඉඩහැරියේය. එහෙත්, යේසුස් ආරක්ෂාවක් ලෙස දේවවචනය යොදාගෙන සාතන්ට විරුද්ධ වීමෙන් අනතුරුව, යේසුස්ව ශක්තිමත් කිරීම සඳහා යෙහෝවා දේවදූතයන්ව එවීය. (මතෙව් 4:1-11) ඒ හා සමානව, අප යෙහෝවාට ඇදහිල්ලෙන් යුතුව යාච්ඤා කර ඔහු අපගේ බලකොටුව කරගන්නවා නම්, අපට පිහිට වීමට යෙහෝවා සිය දේවදූතයන්ව යොදාගනී. (ගීතාවලිය 34:7; 91:9-11) ප්‍රේරිත පේතෘස් ලීවේ මෙසේයි. “දේවභක්තික ජනයාව පරීක්ෂාවලින් ගලවාගන්නේ කෙසේද කියාත්, අධර්මිෂ්ඨයන්ව කපාහරින පිණිස විනිශ්චයේ දවස සඳහා වෙන් කර තබන්නේ කෙසේද කියාත් යෙහෝවා දන්නේය.”—2 පේතෘස් 2:9, NW; 2:9, 10, පැ.අ.

පූර්ණ ගැලවීම ළඟය

17. අපට ආදර්ශ යාච්ඤාව දීම මගින් එහි අඩංගු කාරණා යේසුස් නිසි තැන තබන්නේ කෙසේද?

17 යේසුස් සිය ආදර්ශ යාච්ඤාවේදී කාරණා නියමිත තැනට තබයි. අපගේ ප්‍රධාන සැලකිල්ල යොමු විය යුත්තේ යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ වූද ශුද්ධ වූද නාමය විශුද්ධ වීම කෙරෙහියි. මෙය ඉෂ්ට කරන මාධ්‍යය මෙසියානු රාජ්‍යය වන බැවින්, සියලු අසම්පූර්ණ මිනිස් රාජ්‍යයන් හෙවත් ආණ්ඩු විනාශ කිරීමට පැමිණෙන මෙන් අප යාච්ඤා කරන අතර, ස්වර්ගයේ මෙන්ම පොළොවෙහිද දේවකැමැත්ත සම්පූර්ණයෙන් ඉෂ්ට වෙන්න කියා අපි යාච්ඤා කරන්නෙමු. පාරාදීස පොළොවක් මත සදාකාල ජීවනය ලැබීමේ අපගේ බලාපොරොත්තුව රඳා පවතින්නේ යෙහෝවාගේ නාමය විශුද්ධ කරනු ලැබීම මත සහ ඔහුගේ ධර්මිෂ්ඨ පරමාධිපත්‍යය විශ්වය පුරා සිටින සියල්ලන් විසින් පිළිගනු ලැබීම මතය. මේ සියලු වැදගත් කාරණා ගැන යාච්ඤා කිරීමෙන් පසුව, අපට අපගේ දෛනික අවශ්‍යතා ගැනද, අපගේ පව්වලට සමාව ඉල්ලාද, සාතන් නම් දුෂ්ටයා වන යක්ෂයාගේ පරීක්ෂාවලින් හා උපායවලින් අපව ගලවන මෙන්ද අපට යාච්ඤා කළ හැකියි.

18, 19. හොඳ සිහිකල්පනාවෙන් සිට අපේ බලාපොරොත්තුව ‘අවසානය දක්වා තදින් අල්ලාගෙන’ සිටීමට යේසුස් දුන් ආදර්ශ යාච්ඤාව අපට උපකාරවත් වන්නේ කෙසේද?

18 දුෂ්ටයාගෙන්ද ඔහුගේ දූෂිත සමාජ ක්‍රමයෙන්ද අපට ලැබෙන සම්පූර්ණ ගැලවීම ළඟා වෙමින් තිබේ. තමාට ඇත්තේ “කෙටි කාල පරිච්ඡේදයක්” බව දන්නා සාතන්, පොළොව කෙරෙහි, විශේෂයෙන්ම යෙහෝවාගේ ඇදහිලිවන්ත සේවකයන් කෙරෙහි “මහත් කෝපයෙන්” ඇවිලී සිටී. (එළි. 12:12, 17, NW; 16, පැ.අ.) ‘සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය’ ගැන දුන් සංයුක්ත ලකුණේ යේසුස් මහත් කුතුහලයක් දනවන සිද්ධීන් ගැන කලින්ම කී අතර, ඒවායින් සමහරක් ඉෂ්ට වීමට තිබෙන්නේ අප ඉදිරියේය. (මතෙව් 24:3, 29-31) අප මේවා සිදු වෙනවා දකින කල, ගැලවීම සඳහා ඇති අපගේ බලාපොරොත්තුව වඩාත් දීප්තිමත් වනවා ඇත. යේසුස් මෙසේ පැවසීය. “මේ දේ සිදු වන්න පටන්ගත් කල, නැඟී සිට ඔබේ හිස් ඔසවන්න, මන්ද ඔබේ ගැලවීම ළඟය.”—ලූක් 21:25-28, NW.

19 යේසුස් සිය ගෝලයන්ට දුන් ආදර්ශ යාච්ඤාවේ සාරය ගත් කල, අවසානය ළං වෙනවාත් සමඟම අප අපගේ යාච්ඤාවලට ඇතුළත් කළ යුතු දේවල් ගැන අපට නිවැරදි මඟ පෙන්වීමක් ඒ මගින් ලබා දේ. යෙහෝවා අපගේ ආත්මික මෙන්ම ශාරීරික අවශ්‍යතාවන් දෛනිකව දිගටම සපයන බවට වූ නිසැකකම ඇතුව අපි අන්තිමය දක්වාම ස්ථිරව සිටිමු. අප යාච්ඤා පූර්වකව හොඳ සිහිකල්පනාවෙන් යුතුව සිටීමෙන්, ‘අපට තිබුණු නිසැකකම අවසානය දක්වා තදින් අල්ලාගෙන සිටීමට’ අපට හැකියාව ලැබේ.—හෙබ්‍රෙව් 3:14; 1 පේතෘස් 4:7.

[පාදසටහන]

^ 15 ඡේ. ඇතැම් පැරණි බයිබල්වල, එනම් කිං ජේම්ස් වර්ෂන් වැනි බයිබල්වල, ස්වාමීන්ගේ යාච්ඤාව අවසන් වෙන්නේ දෙවිට කරන ප්‍රශංසා ප්‍රකාශයක් සමඟිනි. එය මෙසේය. “රාජ්‍යයද, බලයද, මහිමයද සදහටම ඔබගේය, ආමෙන්.” ද ජෙරොම් බිබ්ලිකල් කමෙන්ටරි මෙසේ ප්‍රකාශ කරයි. “මෙම ප්‍රශංසා ප්‍රකාශය, . . . විශ්වාසවන්ත [අත්පිටපත්] බොහොමයක දක්නට නැත.”

පුනරීක්ෂණයක් වශයෙන්

• අප “අපගේ දිනපතා භෝජනය” අයැදීමෙන් අඟවන දේවල් මොනවාද?

• “අපේ ණයකාරයන්ට අප කමා කළාක් මෙන් අපේ ණයත් අපට කමා කළ මැනව”යනුවෙන් යාච්ඤාවේදී කරන ඉල්ලීම පැහැදිලි කරන්න.

• අපව පරීක්ෂාවට නොපමුණුවන්න කියා අප යෙහෝවාගෙන් අයදින විට අප ඉන් අදහස් කරන්නේ කුමක්ද?

• “දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න” කියා අප යාච්ඤා කළ යුත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූර]

අපට සමාව ලබා ගැනීමට නම් අපද අන් අයට සමාව දිය යුතුය

[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Lydekker