Skip to content

පටුනට යන්න

‘ස්වාමිනී, යාච්ඤා කරන්නේ කෙසේදැයි කියා අපට උගන්වන්න’

‘ස්වාමිනී, යාච්ඤා කරන්නේ කෙසේදැයි කියා අපට උගන්වන්න’

‘ස්වාමිනී, යාච්ඤා කරන්නේ කෙසේදැයි කියා අපට උගන්වන්න’

“ඔහුගේ ගෝලයෙක් කතා කරමින්, ‘ස්වාමිනී . . . යාච්ඤා කරන්නේ කෙසේද කියා අපටත් උගන්වන්න’ යයි ඔහුට කීවේය.”—ලූක් 11:1, NW.

1. යේසුස්ගේ එක් ගෝලයෙක් යාච්ඤා කරන්නේ කෙසේදැයි කියා ඔවුන්ට උගන්වන ලෙස යේසුස්ගෙන් ඉල්ලා සිටියේ ඇයි?

ක්‍රිස්තු වර්ෂ 32වන වසරේ එක් අවස්ථාවක, යේසුස් යාච්ඤා කරනවා ඔහුගේ ගෝලයෙක් ඒ දෙස බලා සිටියේය. යේසුස් තම පියාණන්ට පවසමින් සිටින්නේ මොනවාද යන්න ඔහුට ඇසුණේ නැත. මන්ද එය සමහරවිට නිහඬව කළ යාච්ඤාවක් වූ නිසා විය හැකියි. එසේවුවත්, යේසුස් යාච්ඤා කොට අවසන් වූ කෙණෙහිම, එම ගෝලයා, “ස්වාමිනී, . . . යාච්ඤා කරන්නේ කෙසේද කියා අපටත් උගන්වන්න” යයි ඔහුට කීය. (ලූක් 11:1, NW) මෙසේ ඉල්ලා සිටීමට හේතු පාදක වූයේ කුමක්ද? යාච්ඤාව වනාහි යුදෙව්වන්ගේ ජීවිතයේ සහ නමස්කාරයේ නිරන්තර අංගයක් වී තිබුණි. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලෙහි ගීතාවලියේ සහ වෙනත් තැන්වල යාච්ඤා රාශියක් අන්තර්ගතය. එබැවින් මෙහිදී මෙම ගෝලයා යේසුස්ගෙන් විමසා සිටියේ ඔහු කිසිම විටෙක අසා නැති දෙයක් ගැන හෝ ඔහු කිසිදා කර නැති දෙයක් ගැන නොවේ. තවද, යුදෙව් ආගමේ නායකයන්ගේ චාරිත්‍රානුකූල යාච්ඤා අසා ඔහුට හොඳ හුරුවක් තිබුණු බවටද කිසිදු සැකයක් නැත. එහෙත් දැන් ඔහු යේසුස් යාච්ඤා කරනවා දුටු අතර, පෙනෙන විදිහට ඔහු වටහාගත් දෙයක් නම්, රබ්බිවරුන් විසින් පුහු මාන්නයෙන් කරන ලද යාච්ඤාවල් සහ යේසුස් යාච්ඤා කළ විදිහ අතර විශාල වෙනසක් ඇති බවයි.—මතෙව් 6:5-8.

2. (අ) අප විසින් ආදර්ශ යාච්ඤාව වචනයෙන් වචනයට කට පාඩම් කරගෙන නැවත උච්චාරණය කිරීමක් යේසුස් අදහස් නොකළ බව ඇඟවෙන්නේ කුමකින්ද? (ආ) යාච්ඤා කරන ආකාරය ගැන දැනගැනීමට අප උනන්දු විය යුත්තේ ඇයි?

2 මීට මාස 18කට පමණ පෙරාතුව තමා ඉදිරිපත් කළ කන්ද උඩ දේශනාවේදී, යේසුස් තම ගෝලයන්ට යාච්ඤා කරන ආකාරය පිළිබඳව යම් ආදර්ශයක් සපයා තිබුණි. (මතෙව් 6:9-13) පෙනෙන විදිහට මෙම ගෝලයා ඒ අවස්ථාවේදී එතැන නොසිටියා විය හැකියි. එමනිසා, එම ආදර්ශ යාච්ඤාවේ අත්‍යවශ්‍ය කරුණු යේසුස් නැවතත් ඔහුට කාරුණිකව කියා දුණි. මෙහිදී අප සැලකිල්ලට ගත යුතු දෙයක් තිබේ. එනම්, යේසුස් කලින් කියූ දේ වචනයෙන් වචනයට නැවත කීවේ නැති බවය. කට පාඩම් කරගෙන අර්ථ විරහිත ලෙස යළි යළිත් උච්චාරණය කිරීම සඳහා යාච්ඤාවක් නොදුන් බව මින් ඇඟවේ. (ලූක් 11:1-4) නමක් සඳහන් කර නැති එම ගෝලයා මෙන් අපද යාච්ඤා කරන ආකාරය ගැන ඉගෙනගැනීමට කැමතිය. එවිට අපගේ යාච්ඤාවලින් අපව යෙහෝවාට තවත් ළං කරනු ඇත. එමනිසා අපි දැන් ප්‍රේරිත මතෙව් වාර්තා කර ඇති ලෙසට එම ආදර්ශ යාච්ඤාවේ මුළු අර්ථය සෝදිසි කර බලමු. ඉල්ලීම් හතක් ඊට ඇතුළත් වේ. ඉන් තුනක් දෙවිගේ අරමුණ හා බැඳී තිබෙන අතර, හතරක් අපගේ ද්‍රව්‍යමය හා ආත්මික අවශ්‍යතාවලට සම්බන්ධය. මෙම ලිපියේ අප සලකා බලන්නේ පළමු ඉල්ලීම් තුන ගැනයි.

ප්‍රේමණීය පියෙක්

3, 4. යෙහෝවාව “අපගේ පියාණෙනි” කියා අප විසින් ඇමතීමෙන් අඟවෙන්නේ කුමක්ද?

3 යාච්ඤාව ආරම්භයේදීම යේසුස් පෙන්නුම් කළේ අපට යෙහෝවා සමඟ ඉතා සමීප වූද ගෞරවාන්විත වූද සම්බන්ධතාවක් තිබෙන බවට අපගේ යාච්ඤාව තුළින් පිළිබිඹු විය යුතු බවයි. එම කන්දේ පැත්තක තමා අසලටම පැමිණ සිටි සිය ගෝලයන්ගේ ප්‍රයෝජනය සඳහාම කතා කරමින් යේසුස් ඔවුන්ට පැවසුවේ යෙහෝවාට “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි” කියා අමතන ලෙසයි. (මතෙව් 6:9, NW) එක් විශාරදයෙකු පවසන ලෙස, යේසුස් කතා කළේ පොදුවේ භාවිත කළ හෙබ්‍රෙව් භාෂාවෙන් වේවා ඇරමයික භාෂාවෙන් වේවා, “පියාණෙනි” යන වචනය සඳහා පාවිච්චි කළ යෙදුමෙන් අර්ථවත් වූයේ ‘බාල දරුවෙකු’ තමාගේ පියාව අමතන ඉතා සමීප ඇමතුමකි. යෙහෝවාට “අපගේ පියාණෙනි” කියා ඇමතීම උණුසුම් වූද, ඉතා විශ්වාසවන්ත වූද සම්බන්ධතාවක් දක්වයි.

4 “අපගේ පියාණෙනි” යනුවෙන් ආදේශ කිරීමෙන් අප පිළිගන්නේ යෙහෝවා අපගේ ජීවන දායකයාණන් බව පිළිගන්නාවූ පුරුෂයන්ගෙන් හා ස්ත්‍රීන්ගෙන් සැදුම් ලත් විශාල පවුලක අප සාමාජිකයන් බවයි. (යෙසායා 64:8; ක්‍රියා 17:24, 28) ආත්මයෙන් ජනිත වූ ක්‍රිස්තියානීන්ව “දෙවිගේ පුත්‍රයෝ” ලෙසට භාර ගෙන ඇති අතර, “අබ්බා, පියාණෙනි!” කියා හඬ නැඟීමට ඔවුන්ට හැකියි. (රෝම 8:14, 15, NW) මිලියන ගණනක් ඔවුන්ගේ පක්ෂපාත සහයකයෝ බවට පත් වී සිටිති. යෙහෝවාට තම ජීවිත කැප කොට සිටින ඔවුන් වතුර බව්තීස්මය මගින් තමන්ගේ කැපවීම සංකේතවත් කර ඇත. මෙම “වෙනත් බැටළුවන්ටද” යේසුස්ගේ නාමයෙන් යෙහෝවා වෙතට එළඹ “අපගේ පියාණන්” කියා ඔහුව ඇමතිය හැකියි. (යොහන් 10:16; 14:6, NW) යෙහෝවාට ප්‍රශංසා කිරීමටද, ඔහු අපට පෙන්වා ඇති යහපත්කමට ස්තුති කිරීමටද, ඔහු අපව උසුලනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව අප උසුලාගෙන යන කරදර ඔහු මත තැබීමටද අපට අපගේ ස්වර්ගික පියාණන් වෙතට යාච්ඤාවෙන් නිරතුරුවම ළඟා විය හැකියි.—පිලිප්පි 4:6, 7; 1 පේතෘස් 5:6, 7.

යෙහෝවාගේ නාමයට ඇති ප්‍රේමය

5. ආදර්ශ යාච්ඤාවේ මූලිකම ඉල්ලීම කුමක්ද? මෙය යෝග්‍ය දෙයක් වෙන්නේ මන්ද?

5 යාච්ඤාවේ මුලින් ඉල්ලා ඇත්තේ යාච්ඤාවක ප්‍රමුඛත්වය දිය යුතු දේයි. එහි මෙසේ කියැවේ. “ඔබගේ නාමය විශුද්ධ වේවා.” (මතෙව් 6:9, NW) එසේය, යෙහෝවාගේ නාමය විශුද්ධවත් වීම අපගේ සැලකිල්ලට භාජන විය යුතු මූලිකම කරුණයි. මන්ද අපි ඔහුට ප්‍රේම කරන්නෙමු. ඔහුගේ නාමය මතට ගෙනැවිත් තිබෙන නින්දා කන්දරාව දෙස අප බලන්නේ ඉමහත් පිළිකුලකිනි. සාතන් ගැසූ කැරැල්ලෙන්ද, යෙහෝවා දෙවිට අකීකරු වීමට ඔහු විසින් මුල් මිනිස් යුවළව පෙලඹවීමෙන්ද දෙවිගේ නාමයට අපහාස ගෙන එන ලදි. එසේ කළේ, දෙවිගේ විශ්වනීය පරමාධිපත්‍යය හොබවන ආකාරය ගැන ප්‍රශ්න කිරීමෙනි. (උත්පත්ති 3:1-6) එපමණක්ද නොව, ඔහුව නියෝජනය කරන බවට කියා සිටින අය විසින් සියවස් ගණනාවක් පුරා කරන ලද ලජ්ජාසහගත ක්‍රියාවලින් සහ ඉගැන්වීම් මගින්ද ඔහුගේ නාමයට ගෙනැවිත් තිබෙන්නේ නින්දාවකි.

6. යෙහෝවාගේ නාමය විශුද්ධ වේවා කියා අප යාච්ඤා කරනවා නම්, අප නොකරන්නේ මොනවාද?

6 යෙහෝවාගේ නාමය විශුද්ධ කිරීම ගැන අප කරන යාච්ඤාවෙන් පෙනී යන්නේ, විශ්වනීය පරමාධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය කවරේදැයි යන්නයි. එනම්, විශ්වය පාලනය කිරීමට යෙහෝවාට ඇති අයිතියට අප සම්පූර්ණ සහයෝගය දෙන බව අපි එමගින් පෙන්වමු. යෙහෝවාට වුවමනා වෙන්නේ ඔහුටද ඔහුගේ නාමය නියෝජනය කරන සියලු දේටද ප්‍රේම කිරීම හේතුවෙන් සිය ධර්මිෂ්ඨ පරමාධිපත්‍යයට කැමැත්තෙන්ම සහ ප්‍රීතියෙන් සේවය කරන බුද්ධිමත් මැවිලි විශ්වය පුරා වාසය කරනවා දැකීමටයි. (1 ලේකම් 29:10-13; ගීතාවලිය 8:1; 148:13) යෙහෝවාගේ නාමය කෙරෙහි අපට ප්‍රේමයක් තිබෙනවා නම්, ඔහුගේ ශුද්ධ නාමයට නින්දාව ගෙන ආ හැකි ඕනෑම දෙයක් කිරීමෙන් අප වළකිනවා ඇත. (එසකියෙල් 36:20, 21; රෝම 2:21-24) විශ්වයේ සහ එහි වැසියන්ගේ සාමය රඳා පවතින්නේ යෙහෝවාගේ නාමය විශුද්ධ වීම සහ ඔහුගේ පරමාධිපත්‍යයට ප්‍රේමයෙන් යුතුව යටත් වීම මතය. එබැවින්, “ඔබගේ නාමය විශුද්ධ වේවා” යනුවෙන් අප විසින් කරන යාච්ඤාව, යෙහෝවා සිය ප්‍රශංසාව උදෙසා සිය අරමුණ ඉටු කරනු ඇති බවට අප තුළ ඇති නිසැකකම පළ කිරීමක් වෙයි.—එසකියෙල් 38:23.

අප යාච්ඤා කරන රාජ්‍යය

7, 8. (අ) යේසුස් අපට යාච්ඤා කිරීමට ඉගැන්වූ රාජ්‍යය කුමක්ද? (ආ) දානියෙල් සහ එළිදරව් පොත්වලින් මෙම රාජ්‍යය ගැන අප ඉගෙනගන්නේ කුමක්ද?

7 ආදර්ශ යාච්ඤාවේ දෙවෙනි ඉල්ලීම නම්, “ඔබගේ රාජ්‍යය පැමිණේවා” යන්නයි. (මතෙව් 6:10 NW) මෙම ඉල්ලීම මීට පළමු ඉල්ලීම සමඟ ඉතා සමීපව බැඳී තිබේ. යෙහෝවා සිය ශුද්ධ නාමය විශුද්ධි කරන මාධ්‍යය නම් මෙසියානු රාජ්‍යයයි. එනම් ඔහුගේ ස්වර්ගික ආණ්ඩුවයි. මෙහි නීත්‍යනුකූලව පත් කරනු ලැබ සිටින රජු නම් ඔහුගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්ය. (ගීතාවලිය 2:1-9) දානියෙල්ගේ අනාවැකියේ මෙසියානු රාජ්‍යය විස්තර කර ඇත්තේ ‘කන්දකින්’ ගැලවී එන ‘ගලක්’ හැටියටය. (දානියෙල් 2:34, 35, 44, 45) මෙම කන්දෙන් නියෝජනය වෙන්නේ යෙහෝවාගේ විශ්වනීය පරමාධිපත්‍යයයි. එම නිසා, ගලින් නියෝජනය වන රාජ්‍යය වනාහි යෙහෝවාගේ විශ්වනීය පාලනය අලුතින් ප්‍රකාශ වන ආකාරයකි. මේ අනාවැකියේ සඳහන් ගල ‘මහත් කන්දක් වී මුළු පොළොව එයින් පිරීමෙන්’ අරුත් ගැන්වෙන්නේ මෙම මෙසියානු රාජ්‍යය පොළොව පුරා දිව්‍ය පරමාධිපත්‍යය නියෝජනය කරන බවයි.

8 මේ රාජ්‍යය ආණ්ඩුවේ ක්‍රිස්තුස් සමඟ හවුලේ පාලනය කරන 1,44,000දෙනා, ‘මිනිස් වර්ගයා අතරින් මිල දී ගත්තාවූ’ අය වන අතර, ඔවුහු රජවරුන් සහ පූජකයන් ලෙස ඔහු සමඟ පාලනය කරති. (එළිදරව් 5:9, 10; 14:1-4; 20:6, NW) දානියෙල් මේ අයව යොමු දක්වන්නේ, ‘මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්’ ලෙසටය. එනම් ඔවුන්ගේ ප්‍රධානියා වන ක්‍රිස්තුස් සමඟ එක්ව වැඩ කරමින් “මුළු අහස යට තිබෙන රාජ්‍යවල රජකමද ආණ්ඩුවද මහත්කමද” ඔවුන් ලබනු ඇති අතර, “ඔවුන්ගේ රාජ්‍යය සදාකාල රාජ්‍යයක්ය. සියලුම ආණ්ඩුද ඔහුට සේවය කර කීකරු වෙනවා ඇත.” (දානියෙල් 7:13, 14, 18, 27) ක්‍රිස්තුස් සිය අනුගාමිකයන්ට යාච්ඤා කිරීමට ඉගැන්වූ ස්වර්ගික ආණ්ඩුව එයයි.

රාජ්‍යය පැමිණෙන මෙන් අප තවමත් යාච්ඤා කිරීමට හේතුව

9. දෙවිගේ රාජ්‍යය පැමිණෙන මෙන් අප යාච්ඤා කිරීම සුදුසු දෙයක් වෙන්නේ ඇයි?

9 ක්‍රිස්තුස් සිය ආදර්ශ යාච්ඤාවේදී දෙවිගේ රාජ්‍යය පැමිණෙන මෙන් යාච්ඤා කිරීමට අපට ඉගැන්වීය. බයිබල් අනාවැකිවල ඉෂ්ට වීමෙන් පැහැදිලි ලෙස පෙනී යන්නේ මෙසියානු රාජ්‍යය 1914දී ස්වර්ගයේ ස්ථාපිත කරනු ලැබූ බවයි. * එබැවින්, මෙම රාජ්‍යය “පැමිණෙන” මෙන් අප විසින් තවමත් යාච්ඤා කරනු ලැබීම සුදුසු දෙයක්ද? සහතිකවම එසේය. මන්දයත්, දානියෙල්ගේ අනාවැකිය තුළ ගලකින් සංකේතවත් වන මෙම මෙසියානු රාජ්‍යය, මහා රූපයකින් සංකේතවත් කර ඇති මිනිස් දේශපාලනික ආණ්ඩු සමඟ ඍජුවම ගැටෙනු ඇත. මෙම ගල රූපයේ වැදී එය කුඩු කර දැමීම ඉදිරියේදී සිදු වීමට තිබෙන දෙයකි. දානියෙල්ගේ අනාවැකියේ මෙසේ කියයි. “ඒකේ ආණ්ඩුව අන් සෙනඟකට අත්හරිනු නොලබන්නේය. . . . ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කරන්නේය. එයද සදාකාලේටම පවතින්නේය.”—දානියෙල් 2:44, 45.

10. දෙවිගේ රාජ්‍යය පැමිණීම අප පුල පුලා බලා සිටින්නේ මන්ද?

10 සාතන්ගේ මෙම දුෂ්ට සමාජ ක්‍රමයට එරෙහිව දෙවිගේ රාජ්‍යය පැමිණෙන තෙක් අපි පුල පුලා බලා සිටින්නෙමු. මන්ද යෙහෝවාගේ ශුද්ධ නාමය විශුද්ධ වෙන්නේද දිව්‍ය පරමාධිපත්‍යයට එරෙහිව සිටින සියල්ලන්වම මින් ඉවත් කර දැමීමක් සිදු වෙන්නේද එය මගිනි. “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියා අපි ඉතා උනන්දුවෙන් යාච්ඤා කරමු. තවද ප්‍රේරිත යොහන් සමඟ අපි මෙසේද කියමු. “ආමෙන්! ස්වාමීන් වන යේසුස්, එන්න.” (එළිදරව් 22:20, NW) එසේය, යෙහෝවාගේ නාමය විශුද්ධ කිරීමටත් ඔහුගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගතභාවය තහවුරු කිරීමටත් යේසුස් පැමිණේවා. එවිට ගීතිකාකරුගේ මෙම වචන සැබෑවක් වේවි. ‘යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයාණන් බව ඔවුන් [ජනයා] දැනගනිත්වා’—ගීතාවලිය 83:17.

‘ඔබගේ කැමැත්ත සිදු වේවා’

11, 12. (අ) දෙවිගේ කැමැත්ත “ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියා යාච්ඤා කරන විට අප ඉල්ලන්නේ කුමක්ද? (ආ) යෙහෝවාගේ කැමැත්ත ඉෂ්ට වේවා කියා අප යාච්ඤා කරන විට තවත් කුමන දෙයක් ඉන් අදහස් කරයිද?

11 ඊළඟට යේසුස් සිය ගෝලයන්ට මෙසේ යාච්ඤා කිරීමට ඉගැන්වූයේය. “ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.” (මතෙව් 6:10, NW) විශ්වය බිහි වූයේ යෙහෝවාගේ කැමැත්ත නිසාය. බලවත් ස්වර්ගික මැවිලි මෙසේ ශබ්ද නඟා මොරගසති. “යෙහෝවා, අපේ දෙවියනි, මහිමයත් ගෞරවයත් බලයත් ලබන්නට ඔබ වටින්නෙහිය. මන්ද, ඔබ සියල්ල මැව්වෙහිය. ඔබේ කැමැත්ත නිසා ඒවා ඇති විය. ඒවා මවන ලද්දේය.” (එළිදරව් 4:11, NW) “ස්වර්ගයේ තිබෙන දේවල් හා පොළොවේ තිබෙන දේවල්” සඳහා යෙහෝවාට අරමුණක් තිබේ. (එෆීස 1:8-10, NW) දෙවිගේ කැමැත්ත සිදු වේවා කියා යාච්ඤා කිරීමෙන් අප ඇත්තවශයෙන්ම යෙහෝවාගෙන් ඉල්ලන්නේ ඔහුගේ අරමුණ ඉෂ්ට කරන ලෙසයි. එපමණක්ද නොව, දිව්‍ය කැමැත්ත විශ්වය පුරාම සිදු වෙනවා දැකීමට අප පුල පුලා ආශාවෙන් බලා සිටින බවද අපි ඒ මගින් පෙන්වන්නෙමු.

12 මේ යාච්ඤාවෙන් අප පෙන්වන තවත් දෙයක් නම්, යෙහෝවාගේ කැමැත්තට අනුකූලව අපගේ ජීවිත සකස් කිරීමට අප කැමැත්තෙන් සිටින බවය. යේසුස් පැවසුවේ මෙසේයි. “මාගේ කෑම නම්, මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කර, ඔහුගේ කාර්යය සම්පූර්ණ කිරීමය.” (යොහන් 4:34, NW) යේසුස් මෙන්, අපිද කැප වූ ක්‍රිස්තියානීන් වශයෙන්, දෙවිගේ කැමැත්ත කිරීමෙන් මහත් සතුටක් ලබමු. යෙහෝවා සහ ඔහුගේ පුත්‍රයා සඳහා අප තුළ ඇති ප්‍රේමය මගින් “තවදුරටත් මිනිස් ආශාවන් උදෙසා නොව, දෙවිගේ කැමැත්ත උදෙසා ජීවත් වන පිණිස” අප තුළ පෙලඹීමක් ඇති වේ. (1 පේතෘස් 4:1, 2; 2 කොරින්ති 5:14, 15, NW) යෙහෝවාගේ කැමැත්තට පටහැනි බවට අප දන්නාවූ දේවල් කිරීමෙන් වැළකීමට අපි උත්සුක වෙමු. (1 තෙසලෝනික 4:3-5) බයිබලය කියවීමට හා අධ්‍යයනය කිරීමට අපට ඇති සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගැනීමෙන් අපි ‘යෙහෝවාගේ කැමැත්ත කුමක්දැයි වටහාගන්නෙමු.’ තවද “රාජ්‍යයේ මේ ශුභාරංචිය” දේශනා කිරීමෙහිලා ක්‍රියාශීලී ලෙස හවුල් වීමද මීට ඇතුළත් වේ.—එෆීස 5:15-17; මතෙව් 24:14; NW.

ස්වර්ගයේ යෙහෝවාගේ කැමැත්ත

13. සාතන්ගේ කැරැල්ල සිදුවීමට බොහෝ කලකට පෙරාතුව දෙවිගේ කැමැත්ත සිදු වෙමින් තිබුණේ කෙසේද?

13 යෙහෝවාගේ කැමැත්ත ස්වර්ගයේ ඉෂ්ට වෙමින් තිබුණේ ඔහුගේ එක් ආත්ම පුත්‍රයෙකු කැරලි ගසා සාතන් බවට පත් වෙන්නට බොහෝ කලකට පෙරාතුවය. දෙවිගේ පළමු පුත්‍රයා ප්‍රඥාව ලෙසට පුද්ගලාරෝපණය කරනු ලැබීම ගැන හිතෝපදේශ පොත විස්තර කරයි. ගණනය කළ නොහැකි යුග වකවානු ගණනාවක් පුරා දෙවිගේ ඒකජාතක පුත්‍රයා “සෑම කල්හිම ඔහු ඉදිරියෙහි නිතර සන්තෝෂ වෙමින්” සිය පියාණන්ගේ කැමැත්ත කිරීමට ඉතා සතුටු වූ බව ඉන් පෙන්වයි. අවසානයේදී, “ස්වර්ගයෙහි හා පොළොවෙහි දෘශ්‍යමාන මෙන්ම අදෘශ්‍යමාන” සියලු දේ මැවීමෙහිලා ඔහු යෙහෝවාගේ “ප්‍රධාන කර්මාන්තකාරයා” බවට පත් විය. (හිතෝපදේශ 8:22-31; කොලොස්සි 1:15-17, NW) යෙහෝවා යේසුස්ව සිය වචනය හෙවත් ඔහු වෙනුවෙන් කතා කරන්නා ලෙසට යොදාගත්තේය.—යොහන් 1:1-3, NW.

14. දේවදූතයන් ස්වර්ගයේ යෙහෝවාගේ කැමැත්ත ඉෂ්ට කරන ආකාරය ගැන අපට ගීතාවලිය 103වන පරිච්ඡේදයෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද?

14 යෙහෝවාගේ පරමාධිපත්‍යය සියලු මැවිලිවලට වඩා උසස්ව තිබෙන බවත්, දේවදූත සේනාවන් ඔහුගේ උපදෙස්වලටද ආඥාවලටද සවන් දෙන බවත් ගීතිකාකරු පෙන්වයි. අපට කියවීමට තිබෙන්නේ මෙසේයි. “යෙහෝවා තමන් සිංහාසනය ස්වර්ගයෙහි පිහිටෙව්වේය; ඔහුගේ රාජ්‍යයද සියල්ල කෙරෙහි බලපවත්වයි. ඔහුගේ වාග් ශබ්දය අසා ඔහුගේ වචන ඉෂ්ට කරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, යෙහෝවාගේ දූතයෙනි, ඔහුට ප්‍රශංසා කරව්. යෙහෝවාගේ සේනා සියල්ලෙනි, එනම් ඔහුගේ කැමැත්ත ඉෂ්ට කරන්නාවූ ඔහුගේ මෙහෙකරුවෙනි, ඔහුට ප්‍රශංසා කරව්. යෙහෝවාගේ රාජ්‍යයේ [හෙවත් “පරමාධිපත්‍යයේ”] සියලු තැන්හි තිබෙන ඔහුගේ සියලු කර්මාන්තයෙනි, ඔහුට ප්‍රශංසා කරව්.”—ගීතාවලිය 103:19-22.

15. යේසුස්ට රාජ්‍යය බලතල ලැබීම ස්වර්ගයේ දේවකැමැත්ත ඉෂ්ට වීමට බලපාන්නේ කෙසේද?

15 යෝබ් පොතේ අඟවන පරිදි තම කැරැල්ලට පසුවත් සාතන්ට ස්වර්ගයට යෑමට හැකියාවක් තිබූ බව පෙනී යයි. (යෝබ් 1:6-12; 2:1-7) කෙසේවෙතත්, එළිදරව් පොතේ පුරෝකථනය කළේ, සාතන් සහ ඔහුගේ භූතයන් ස්වර්ගයෙන් නෙරපනු ලබන කාලයක් උදා වනු ඇති බවය. පෙනෙන විදිහට එම කාලය උදා වූයේ යේසුස් ක්‍රිස්තුස්ට 1914දී රාජ්‍යය බලය ලැබුණායින් පසුවය. එතැන් පටන්, එම කැරලිකරුවන්ට ස්වර්ගයේ තවත් කිසිදු ස්ථානයක් නැත. ඔවුන්ව පොළොවට සීමා කරනු ලැබ තිබේ. (එළිදරව් 12:7-12) ස්වර්ගයේ තවත් කිසිදු වාද කරන හඬක් දැන් ඇසෙන්නේ නැත. ඇසෙන්නේ “බැටළුපැටියාණන්” වන ක්‍රිස්තුස් යේසුස්ව ගෞරවයෙන් පිළිගැනීමට හවුල් වෙමින් යෙහෝවාට යටහත් ලෙස ප්‍රශංසා කරන හඬවල් පමණි. (එළිදරව් 4:9-11) ඇත්තෙන්ම, යෙහෝවාගේ කැමැත්ත දැන් ස්වර්ගයේ ඉෂ්ට වෙමින් තිබේ.

පොළොව සඳහා යෙහෝවාගේ කැමැත්ත

16. මිනිස් වර්ගයාගේ බලාපොරොත්තුව පිළිබඳව ක්‍රිස්තියානි ලෝකය උගන්වන දෙය ආදර්ශ යාච්ඤාව මගින් නිෂ්ප්‍රභ වෙන්නේ කෙසේද?

16 ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි පොළොව පිළිබඳ දෙවිගේ අරමුණ ගැන කිසිදු සඳහනක් නොකරන අතර, යහපත් මිනිසුන් සියල්ලන්ම ස්වර්ගයට යන්නේ යයි කියා සිටියි. එහෙත්, යේසුස් අපට ඉගැන්වූයේ “ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියා යාච්ඤා කිරීමටයි. (මතෙව් 6:10, NW) ප්‍රචණ්ඩත්වයෙන්, අයුක්තියෙන්, අසනීපවලින් සහ මරණයෙන් ගහනව තිබෙන මේ පොළොව මත අදදින යෙහෝවාගේ කැමැත්ත ඉෂ්ට වෙනවා කියා මොනයම් අන්දමකින්වත් කිව හැකිද? කොහෙත්ම නැත! ප්‍රේරිත පේතෘස් වාර්තා කර ඇති මෙම පොරොන්දුවට අනුව, එනම් “ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ අලුත් අහසක් [ක්‍රිස්තුස් විසින් පාලනය කරනු ලබන මෙසියානු රාජ්‍යාණ්ඩුව] හා අලුත් පොළොවක් [ධර්මිෂ්ඨ මිනිස් සමාජයක්] අපි බලා සිටින්නෙමු” යන පොරොන්දුවට අනුකූලව දෙවිගේ කැමැත්ත පොළොව මත ඉෂ්ට කරන මෙන් අප ඉතා උනන්දුවෙන් යාච්ඤා කළ යුතුයි.—2 පේතෘස් 3:13, NW.

17. පොළොව සඳහා යෙහෝවාගේ අරමුණ කුමක්ද?

17 පොළොව මැවීමෙහිලා යෙහෝවාට අරමුණක් තිබුණි. මෙසේ ලිවීමට ඔහු අනාගතවක්තෘ යෙසායාට ආනුභාවය දුණි. “ස්වර්ගයන් මැව්වාවූ, පොළොව මවා සාදා එය පිහිටෙව්වාවූ, එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවාවූ දෙවි වන යෙහෝවා මෙසේ කියන්නේය. මම යෙහෝවාය. වෙන කෙනෙක් නැත.” (යෙසායා 45:18) පාරාදීස උයනක පළමු මිනිස් යුවළව තැබූ දෙවි ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ බෝවී වැඩි වෙමින් පොළොව පූර්ණ කොට ඒක යටත් කරගන්න.” (උත්පත්ති 1:27, 28; 2:15) පැහැදිලිවම පෙනී යන දෙයක් නම්, මැවුම්කරුගේ අරමුණ වෙන්නේ, යෙහෝවාගේ පරමාධිපත්‍යයට සතුටින් යටත් වෙන ධර්මිෂ්ඨ පරිපූර්ණ මිනිස් ජාතියකින් පොළොව ජනාවාස වී ඔවුන් ක්‍රිස්තුස් විසින් පොරොන්දු වූ පාරාදීසයේ සදාකල් ජීවත් වීමය.—ගීතාවලිය 37:11, 29; ලූක් 23:43.

18, 19. (අ) දෙවිගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම පොළොව මත ඉෂ්ට වීමට පෙරාතුව කුමක් කළ යුතුද? (ආ) ඊළඟ ලිපියේදී සලකා බැලෙන්නේ යේසුස්ගේ ආදර්ශ යාච්ඤාවේ වෙනත් කිනම් අංගයන්ද?

18 යෙහෝවාගේ පරමාධිපත්‍යයට මුරණ්ඩු ලෙස අකීකරු වන පුරුෂයන්ගෙන් සහ ස්ත්‍රීන්ගෙන් මේ පොළොව ගහනව තිබෙන අතරේදී පොළොව සම්බන්ධව ඔහුගේ කැමැත්ත ඉෂ්ට වීමට කිසිදු ඉඩක් නැත. ක්‍රිස්තුස්ගේ නායකත්වය යටතේ බලවත් දේවදූත හමුදාවන් යොදාගනිමින් දෙවි ‘පොළොව විනාශ කරන අයව විනාශ කර දමනවා’ ඇත. බොරු ආගම, දූෂිත දේශපාලනය, ගිජුකම හා වංචනික වාණිජ්‍යය සහ විනාශකාරී හමුදාවන් ඇතුළු සාතන්ගේ සම්පූර්ණ සමාජ ක්‍රමය සදහටම තුරන් කරනු ලබනවා ඇත. (එළිදරව් 11:18; 18:21; 19:1, 2, 11-18) යෙහෝවාගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගතභාවය තහවුරු කරනු ලැබ ඔහුගේ නාමය විශුද්ධ කරනු ලබනවා ඇත. “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි ඔබගේ නාමය විශුද්ධ වේවා. ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියා අප පවසද්දී අපි මේ සියලු දේ ගැන යාච්ඤා කරන්නෙමු.—මතෙව් 6:9, 10, NW.

19 කෙසේවෙතත්, තම ආදර්ශ යාච්ඤාවේදී යේසුස් පෙන්වූයේ අපට පෞද්ගලික කාරණා ගැනද යාච්ඤා කළ හැකි බවයි. ඔහුගේ යාච්ඤාවේදී ඔහු දුන් උපදෙස්වල මේ අංගයන් ඊළඟ ලිපියේදී සලකා බැලෙනු ඇත.

[පාදසටහන]

^ 9 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන දානියෙල්ගේ අනාවැකියට අවධානය යොමු කරන්න යන ප්‍රකාශනයේ 6වන පරිච්ඡේදය බලන්න.

පුනරීක්ෂණයක් ලෙස

• යෙහෝවාට “අපගේ පියාණෙනි” කියා ඇමතීම සුදුසු වෙන්නේ මන්ද?

• යෙහෝවාගේ නාමය විශුද්ධ වෙන මෙන් අප විසින් යාච්ඤා කරනු ලැබීම අතිශයින් වැදගත් වෙන්නේ මන්ද?

• දෙවිගේ රාජ්‍යය පැමිණෙන මෙන් අප යාච්ඤා කරන්නේ මන්ද?

• ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද දේව කැමැත්ත ඉෂ්ට වෙන්න කියා අප යාච්ඤා කරන විට අදහස් වෙන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය]

යේසුස් කළ යාච්ඤා පරිසිවරුන් චාරිත්‍රානුකූලව කළ යාච්ඤාවලට වඩා බොහෝ සෙයින් වෙනස්ය

[10වන පිටුවේ පින්තූරය]

දෙවිගේ රාජ්‍යය පැමිණෙන මෙන්ද ඔහුගේ නාමය විශුද්ධ වෙන මෙන්ද ඔහුගේ කැමැත්ත ඉෂ්ට කරනු ලබන මෙන්ද ක්‍රිස්තියානීහු යාච්ඤා කරති