Skip to content

පටුනට යන්න

ආගම්වලින් කෙරෙන්නේ හොඳක්ද නැත්නම් නරකක්ද?

ආගම්වලින් කෙරෙන්නේ හොඳක්ද නැත්නම් නරකක්ද?

ආගම්වලින් කෙරෙන්නේ හොඳක්ද නැත්නම් නරකක්ද?

“ක්‍රිස්තියානි ධර්මයට මා ණයගැතිය. එසේම පසුගිය අවුරුදු 2000ක කාලය පුරා අප ජීවත් වී තිබෙන ලෝකයද ක්‍රිස්තියානි ධර්මයට ණයගැති බව මම විශ්වාස කරමි.”—පෙරවදන, Two Thousand Years—The First Millennium: The Birth of Christianity to the Crusades.

“ක්‍රිස්තියානි ධර්මයට” අනුග්‍රහය දක්වමින් එම අදහස් පළ කළේ ඉංග්‍රීසි ජාතික ලේඛකයෙකු හා රූපවාහිනි වැඩසටහන් මෙහෙයවන්නෙකු වන මෙල්වන් බ්‍රැග් විසිනි. ආගම කෙරෙහි ඔහුට දැනුණා හා සමානව ණයගැති බවක් හා පක්ෂපාත බවක් දැනෙන මිහිතලයේ වාසය කරන බොහෝදෙනෙකුගේ හැඟීම් එම වදන්වලින් කියාපායි. ආගම ප්‍රබල ලෙස තමන්ගේ ජීවිත කෙරෙහි යහපත් බලපෑමක් ඇති කර තිබෙන බව ඔවුහු විශ්වාස කරති. නිදසුනක් වශයෙන් එක් ලේඛකයෙක් පවසන්නේ ඉස්ලාම් ධර්මය ‘මුළු ලෝකයටම ප්‍රයෝජනවත් [වී තිබෙන] උතුම් ශිෂ්ටාචාරයක් බිහි කර ඇත’ කියාය.

ආගම්වල කාර්යය හොඳද නැත්නම් නරකද?

කෙසේවෙතත්, පොදුවේ ගත් කල ආගම් මගින් ඇත්තටම හොඳක් කෙරෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් බැරෑරුම් ප්‍රශ්නයක් බ්‍රැග් පසුව පැවසූ මෙම වදන්වලින් මතු කෙරේ. “ක්‍රිස්තියානි ධර්මය මට යමක් පහදා දිය යුතුයි. ඒ සඳහා එය මට ණයගැතිය.” ඔහුට පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ කුමක් ගැනද? “එහි ‘ඉතිහාසයේ’ බොහෝ කාල වකවානුවල දැකිය හැකි ලක්ෂණ වන දැඩි ලෙස තම මතයේම එල්බගෙන සිටීම, නපුරුකම්, අමානුෂිකකම් හා දැන දැනම දේවල් නොසලකාහැරීම ගැනයි.”

දැඩි ලෙස තම මතයේම එල්බගෙන සිටීම, නපුරුකම් හා අමානුෂිකකම් කිරීම මෙන්ම දැන දැනම දේවල් නොසලකාහැරීම යනාදිය නිසා ලෝකයේ ආගම් බොහොමයක ඉතිහාසයෙහි කලු පැල්ලම් ඇති වී තිබෙන බව බොහෝදෙනෙකු පැවසිය හැකිය. මෙවැනි අයගේ මතය වන්නේ ආගම් දැහැමි හා ශුද්ධ බවක් පෙන්වන වෙස් මුහුණක් බැඳගෙන, මිනිසුන්ට යහපතක් සලසන බව පෙන්නුවත්, ඒවා කුහකකමින් හා බොරුවෙන් පිරී තිබෙන බවයි. (මතෙව් 23:27, 28) “ශිෂ්ටාචාර ගැන සලකා බලන කල ආගම්වලට සුවිශේෂි ස්ථානයක් හිමි වන බව අපේ පොත් පත්වල බහුලව සඳහන් වී ඇත” කියා එක් විශ්වකෝෂයක (A Rationalist Encyclopædia) සඳහන් වේ. “ඉතිහාසය දෙස බලන විට පෙනී යන්නේ බහුල ලෙස අපකීර්තියට පත්වී තිබෙන්නෙත් ආගම් බවයි” කියාද එහි සඳහන් වේ.

ප්‍රේමය, සාමය හා දයාව ගැන දේශනා කළද වෛරය නමැති ගිනිදැල් තව තවත් අවුළවන, ඔවුන්ගේ අනුබලය යටතේ කෙරෙන කුරිරු සටන් දෙවිගේ නාමයෙන් සාධාරණීකරණය කරන, ආගමික නායකයන් ගැන නිමක් නැති වාර්තා, පුවත්පතක් රැගෙන බැලුවොත් ඔබ දකීවි. බොහෝවිට ආගම් මිනිස් ජීවිත කෙරෙහි විනාශකාරී බලපෑමක් ඇති කර තිබෙන බව බොහෝදෙනෙකුට හැඟී යෑම පුදුමයක් නොවේ.

ආගම් නැති කල වඩා හොඳ ලොවක්?

ඉංග්‍රීසි ජාතික දාර්ශනිකයෙකු වූ බර්ට්‍රන් රසල් මෙන් සමහරුන් නිගමනය කර තිබෙන්නේ යම් දවසකදී “සියලුම ආගමික විශ්වාසයන් නැති වී යනවා” නම් හොඳයි කියාය. ඔවුන්ගේ මතයට අනුව මනුෂ්‍ය වර්ගයාගේ සියලුම ගැටලුවලට කල් පවතින එකම විසඳුම වන්නේ ආගම් ඉවත් කර දැමීමයි. කෙසේවෙතත් ආගම් ප්‍රතික්ෂේප කරන අය ආගම්වලට ලැදි අයට සමානව අන් අය තුළ වෛරය ඇති කළ හැකි බවත්, දැඩි මත දැරිය හැකි බවත් එවැනි අයට අමතක විය හැකිය. ආගමික විෂයන් ගැන ලියන කතුවරියක වන කැරෙන් ආම්ස්ට්‍රොං අපට මේ කාරණය මතක් කරවයි. “නාට්සීන් විසින් කරන ලද යුදෙව් සමූල ඝාතනයෙන් අවම වශයෙන් පෙනී යන්නේ ලෝකෝත්තර මතිමතාන්තර ආගමික සටන් තරම්ම මාරාන්තික විය [හැකි] බවයි.”—The Battle for God—Fundamentalism in Judaism, Christianity and Islam.

එසේනම් ඇත්තෙන්ම ආගම්වලින් කෙරෙන්නේ හොඳක්ද? එසේ නැත්නම් එය මිනිසාගේ ගැටලුවලට මුලද? මෙම ගැටලුවලට විසඳුම සියලුම ආගම් ඉවත් කර දැමීමද? මේ ගැන බයිබලයට පැවසීමට තිබෙන දෙය ගැන ඊළඟ ලිපියෙන් කියවා බලන්න. එම ප්‍රශ්නවලට එය සපයන පිළිතුරු ඔබව පුදුමයට පත් කරාවි.