Skip to content

පටුනට යන්න

ආගම් මිනිසාගේ ගැටලුවලට මුලද?

ආගම් මිනිසාගේ ගැටලුවලට මුලද?

ආගම් මිනිසාගේ ගැටලුවලට මුලද?

“ආගම් ගැටුම්වලට අනුබල නොදෙන විට ක්‍රියා කරන්නේ මිනිසුන්ගේ හෘදය සාක්ෂිය අසංවේදී කර, ජීවිතයේ කටුක යථාර්ථය බැහැර කර සර්වශුභවාදී මායාවන්ගෙන් මිනිස් මොළය පුරවන මත්ද්‍රව්‍යයක් හා සමානවයි. . . . [ආගම්] මිනිසුන්ට පටු ලෙස සිතීමට, මිථ්‍යා මත විශ්වාස කිරීමට, වෛරයෙන් හා බියෙන් වෙළී සිටීමට බලපෑම් කරයි.” මෙම වදන් ලීවේ කලින් මෙතෝදිස්ත මිෂනාරිවරයෙකු ලෙස සේවය කළ කෙනෙකි. ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය. “මේ චෝදනා නිවැරදියි. හොඳ මෙන්ම හොඳ නැති ආගම්ද තිබේ.”—Start Your Own Religion.

‘එය නම් හරිම අසාධාරණ විවේචනයක්’ කියා ඇතමුන් පැවසිය හැකියි. එහෙත් ඉතිහාසයේ වාර්තාගත වී තිබෙන දේවල් ප්‍රතික්ෂේප කළ හැක්කේ කාටද? “දෙවිට හෝ නොපෙනෙන බලවේගයකට සේවය හා නමස්කාර කිරීම” කියා විග්‍රහ කරනු ලබන ආගම පිළිබඳව ඉතිහාසයේ සඳහන් බොහොමයක් දේවල් සිත් කම්පා කරවනසුලුය. ආගම් මගින් කළ යුත්තේ අපව දැනුවත් කිරීම හා අප තුළ යහපත් සිතුවිලි ඇති කිරීමයි. කෙසේවෙතත් බොහෝ අවස්ථාවලදී ආගම් මගින් කරන්නේ ගැටුම්, වෛරය හා අගතිසහගත හැඟීම් ඇති කිරීමයි. ඒ මන්ද?

නොමඟ යවන ‘ආලෝකයේ දූතයෙක්’

බයිබලයට අනුව මෙයට තිබෙන්නේ ඉතාමත් සරල පිළිතුරකි. සාතන් නමැති යක්ෂයා “ආලෝකයේ දූතයෙකුගේ” වෙස් ගනිමින් දෙවිගේ නොව ඔහුගේ ඉගැන්වීම් අනුගමනය කරවීම සඳහා බොහෝදෙනෙකුව මුළා කර තිබේ. (2 කොරින්ති 11:14) “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත් බව” පැවසීමෙන් සාතන්ගේ බලපෑම කොතරම් පුළුල් ලෙස ව්‍යාප්ත වී තිබෙනවාද යන්න ප්‍රේරිත යොහන් පෙන්වා දුන්නේය. (1 යොහන් 5:19, NW) සාතන් “මුළු පොළොවම නොමඟ [යවමින්]” සිටි බව යොහන් දැන සිටියේය.—එළිදරව් 12:9, NW.

මෙහි ප්‍රතිඵල වී තිබෙන්නේ කුමක්ද? බාහිර වශයෙන් ශුද්ධ බව පෙනෙන්න තිබෙන ආගම් සාතන් විසින් බිහි කරනු ලැබ තිබීමයි. “‘ආගමික’ මුහුණුවරක්” දැකිය හැකි වුවද, ආගම්වල සැබෑ තත්වය ඒවා නිපදවන නරක පලවලින් හෙළි වේ. (2 තිමෝති 3:5, ජේ. බී. ෆිලිප්ස්; මතෙව් 7:15-20) ඇත්තෙන්ම ආගම් මිනිසාගේ ගැටලු විසඳීමට උපකාර කරනවා වෙනුවට එම ගැටලු ඇතිවීමට බලපා තිබෙන හේතු සාධකයක් බවට පත් වී තිබේ.

එය විය නොහැකි දෙයක් හෝ අසාධාරණ විවේචනයක් කියා මේ අදහස ප්‍රතික්ෂේප කිරීමට ඉක්මන් වන්න එපා. රැවටීමක නියම ස්වභාවය වන්නේ එයට ගොදුරු වන තැනැත්තා ඒ ගැන නොදැන සිටීම බව මතක තබාගන්න. ප්‍රේරිත පාවුල් මතු දැක්වෙන වදන් ලියන විට ඒ ගැන නිදසුනක් සැපයුවේය. “අන්‍යජාතීන් පූජා කරන දේවල් ඔවුන් පූජා කරන්නේ දෙවිට නොව, භූතයන්ටය.” (1 කොරින්ති 10:20, NW) තමන් නමස්කාර කරමින් සිටින්නේ භූතයන්ටය යන අදහස ඒ ජනයා තුළ මහත් කම්පනයක් ඇති කළා විය හැකියි. ඔවුන් සිතුවේ තමන් නමස්කාර කරමින් සිටියේ යහපත් දෙවි කෙනෙකුට හෝ යම් ආකාරයේ දෙවිවරුන්ට කියාය. එහෙත් සැබවින්ම සිදු වී තිබුණේ ජනයාව නොමඟ යැවීමට සාතන් දරන වෑයම්වලට සහයෝගය දුන් “ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ට ආත්ම [සමූහයන්ගේ]” රැවටීමට ඔවුන් ගොදුරු වී සිටීමයි.—එෆීස 6:12, NW.

ප්‍රේරිත යොහන් භූතයන්ගේ නපුරු බලපෑම් සම්බන්ධයෙන් දුන් අනතුරු ඇඟවීම නොසලකාහැරීමට තීරණය කළ ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ බොහෝදෙනෙකුව රවටා නොමඟ යැවීමට සාතන්ට හැකි වූ ආකාරය දැන් අපි සලකා බලමු.—1 කොරින්ති 10:12.

යේසුස් ඉගැන්වූ දේවල උල්පත දෙවිය

“මා උගන්වන දේ මාගේ නොව, මාව එවූ තැනැත්තාට අයිතිය” කියා යේසුස් ක්‍රිස්තුස් පැවසුවේය. (යොහන් 7:16, NW) ඔව්, ඔහු ඉගැන්වූ දේවල් ඔහුට ලැබුණේ සර්වබලධාරී දෙවිගෙනි. එමනිසා යේසුස් ඉගැන්වූ දේවල් ඔහුට සවන් දුන් අය කෙරෙහි ඇති කළේ ඉතා යහපත් බලපෑමකි. යේසුස් ඉගැන්වූ දේවල් ‘මිනිසුන්ගේ හෘදය සාක්ෂිය අසංවේදී තත්වයකට පත් කළේවත්, ජීවිතයේ කටුක යථාර්ථය බැහැර කර සර්වශුභවාදී මායාවන්ගෙන් මිනිස් මොළය පිරෙව්වේවත්’ නැත. ඊට හාත්පසින්ම වෙනස්ව ආගමික වැරදිවලින් හා මිනිස් දර්ශනවලින් නිදහස් වීමට යේසුස්ගේ ඉගැන්වීම් ජනයාට උපකාරවත් විය. එවැනි දේවල් ජනිත කරන්නේ සාතන්ගේ රැවටීමට ලක් වී ඇති “මානසික වශයෙන් අන්ධකාරයෙහි” තිබෙන ලෝකය මගිනි.—එෆීස 4:18, NW; මතෙව් 15:14; යොහන් 8:31, 32.

සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගනු ලැබුවේ තමන් භක්තිවන්තයයි කියා ඔවුන් පැවසීම නිසා නොව, ඇදහිල්ල නිසාය. දෙවිගේ ශුද්ධාත්මයේ උපකාරයෙන් නිපදවනු ලබන ප්‍රියමනාප ගුණාංගවලින් එම ඇදහිල්ල දැකගත හැකි විය. (ගලාති 5:22, 23; යාකොබ් 1:22; 2:26) මෙම ගුණාංගවලින් කැපීපෙනෙන ගුණාංගය මෙන්ම සැබෑ ක්‍රිස්තියානි ධර්මය හඳුනාගැනීමේ ලක්ෂණය වන්නේ ප්‍රේමය නමැති අතිඋතුම් ගුණාංගයයි.—යොහන් 13:34, 35.

කෙසේවෙතත් මේ අතිශය වැදගත් කාරණය සැලකිල්ලට ගන්න. ක්‍රිස්තියානි සභාව මුලින්ම පිහිටුවනු ලැබූ අවස්ථාවේදී තිබූ තත්වයෙන්ම එය දිගටම පැවතෙනවා දැකීම යේසුස්වත් ඔහුගේ ප්‍රේරිතයන්වත් අපේක්ෂා කළේ නැත. සැබෑ ඇදහිල්ලට විරුද්ධව කැරලිගැසීමක් ක්‍රමානුකූලව වර්ධනය වන බවත් සැබෑ ආගම කලකට යටපත් වී යන බවත් ඔවුහු දැන සිටියහ.

සැබෑ ආගම කලකට යටපත් වී යයි

සැබෑ ආගම කලකට සම්පූර්ණයෙන්ම යටපත් වී යන බව තිරිඟු සහ කිරිඳි උපමාව යොදාගනිමින් යේසුස් පුරෝකථනය කළේය. මේ සම්බන්ධයෙන් මතෙව් 13:24-30, 36-43 යන වගන්තිවල තිබෙන වාර්තාව කියවා බලන්න. යේසුස් “හොඳ බීජ” වන තිරිඟු කෙතක වැපුරුවේය. මේවායින් නියෝජනය කළේ මුල් ක්‍රිස්තියානි සභාව සැදුම් ලත් යේසුස්ගේ විශ්වාසවන්ත ගෝලයන්ය. කාලයක් ගිය පසු, තිරිඟු වපුරන ලද කෙතෙහි “සතුරෙක්,” එනම් සාතන් නමැති යක්ෂයා “කිරිඳි” වපුරන බවට යේසුස් අනතුරු ඇඟෙව්වේය. ‘කිරිඳිවලින්’ නියෝජනය කරන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්යයි කියා සිටියත් ඔහුගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන ජනයාවයි.

යේසුස්ගේ ප්‍රේරිතයන් මිය ගොස් වැඩි කලක් යන්න කලින් “කිරිඳි” බව ඔප්පු වූ පුද්ගලයන්ව දැකගත හැකි විය. ඔවුහු ‘යෙහෝවාගේ වචනය’ වෙනුවට මිනිසුන් උගන්වන විකෘති වූ දේවලට වැඩි කැමැත්තක් දැක්වීමට පටන්ගත්හ. (යෙරෙමියා 8:8, 9; ක්‍රියා 20:29, 30) මෙහි ප්‍රතිඵලයක් හැටියට දූෂිත වූ ව්‍යාජ ක්‍රිස්තියානි ධර්මයක් ලෝකයේ කල එළි බසින්නට විය. මෙහි ආධිපත්‍යය මෙහෙයවනු ලැබුවේ “නීතිය නොතකන තැනැත්තා” කියා බයිබලයේ හඳුන්වනු ලබන දූෂිත පූජක පන්තියක් විසිනි. මොවුහු ‘සියලු අධර්මිෂ්ඨ රැවටිලිකාරකම්වල’ ගිලී සිටියහ. (2 තෙසලෝනික 2:6-10, NW) මේ තත්වය ‘සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයේදී’ වෙනස් වන බවට යේසුස් පුරෝකථනය කළේය. තිරිඟු බඳු ක්‍රිස්තියානීන්ව එක්සත්කමින් එකට එකතු කරනු ලබන අතර “කිරිඳි” අවසානයේදී විනාශ කර දමනු ඇත.

“සියවස් ගණනාවක් පුරා සිදු කර තිබෙන අතිශය ම්ලේච්ඡ ක්‍රියාවලටද” ක්‍රිස්තියානි ලෝකය පුරා පැතිර පවතින ආත්මික අන්ධකාරයටද වගකිව යුත්තේ මේ ව්‍යාජ ක්‍රිස්තියානි ධර්මයයි. මේ තත්වයත් ඉන් අනතුරුව ආගමේ නාමයෙන් සිදු කර තිබෙන සියලුම දූෂිත ක්‍රියාවන් හා අපරාධ කල් ඇතිව තේරුම්ගත් ප්‍රේරිත පේතෘස් මෙසේ නිවැරදිව ඒ ගැන පුරෝකථනය කළේය. “ඔවුන් [ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ අය] නිසා සත්‍යයේ මාර්ගය ගැන නිග්‍රහාත්මක ලෙස කතා කරනවා ඇත.”—2 පේතෘස් 2:1, 2, NW.

‘වෛරය හා සතුරුකම් පිරි ධර්මයක්’

ආගම්වලට අපකීර්තියක් ඇති කිරීමට හේතු වී තිබෙන්නේ ක්‍රිස්තියානි ආගම් පමණක් නොවේ. නිදසුනක් වශයෙන් “සටන්කාමී භක්තිය” විදහාපාන මූලධර්මවාදී ආගම් සලකා බලන්න. “සෑම ප්‍රධාන ආගමික විශ්වාසයන්” මගින් එවැනි ආගම් බිහි කර තිබෙන බව කලින් කන්‍යා සොහොයුරියක්ව සිටිය කැරෙන් ආම්ස්ට්‍රොං පවසන්නීය. ආම්ස්ට්‍රොං පවසන ආකාරයට ඕනෑම ආගමක් පරීක්ෂණයකට ලක් කිරීමේදී ප්‍රධාන වශයෙන් බැලිය යුත්තේ එය “දයාව ක්‍රියාවට නැඟීමට” මඟ සලසනවාද යන්නයි. මේ කාරණය සම්බන්ධයෙන් මූලධර්මවාදී ආගම් සතු වාර්තාව කුමක්ද? “මූලධර්මවාදීන්ගේ ඇදහිල්ල යුදෙව් හෝ ක්‍රිස්තියානි හෝ මුස්ලිම් හෝ වේවා, ඒවා වෛරය හා සතුරුකම් පිරි ධර්මයන් නම් එම තීරණාත්මක පරීක්ෂණයෙන් ඒවා අසමත් වේ” කියා ඇය සඳහන් කරන්නීය. (The Battle for God—Fundamentalism in Judaism, Christianity and Islam) එහෙත් මේ පරීක්ෂණයෙන් අසමත් වී “වෛරය හා සතුරුකම් පිරි ධර්මයක්” බවට පත් වී තිබෙන්නේ “මූලධර්මවාදී” ආගම් පමණක්ද? සෙසු ආගම්ද ඒ තත්වයට පත් වී තිබෙන බවට ඉතිහාසය සාක්ෂි දරයි.

ඇත්තවශයෙන්ම සාතන් බොරු ආගම්වලින් සමන්විත ලෝක අධිරාජ්‍යයක් ගොඩනඟා ඇත. සතුරුවාදීකම්, වෛරය හා බොහෝදුරට නිමක් නැති ලේ වැගිරීම් යනාදියෙන් එය හඳුනාගත හැකියි. බයිබලයෙහි මෙම අධිරාජ්‍යය හඳුන්වනු ලබන්නේ “පොළොවෙහි පිළිකුල් දේවල්වලද මව වන මහ බැබිලෝනිය” කියාය. එමෙන්ම බයිබලයෙහි මෙම අධිරාජ්‍යය විස්තර කර තිබෙන්නේ මෘගයෙකු බඳු දේශපාලනික ක්‍රමයක් මත නැඟී ගමන් කරන ගණිකාවක් ලෙසය. සැලකිල්ලට ගත යුතු තවත් කරුණක් වන්නේ “පොළොවේදී මරනු ලැබූ සියල්ලන්ගේත් ලේ” සඳහා ඇය වගකිව යුතු වීමයි.—එළිදරව් 17:4-6; 18:24, NW.

සෑම කෙනෙක්ම රැවටී නැත

කෙසේවෙතත් ඉතිහාසය පරීක්ෂා කර බැලීමෙන් තහවුරු වන්නේ සෑම කෙනෙක්ම රැවටී නැති බවයි. ඉතිහාසයේ අඳුරුම කාලවලදී පවා “තමන් අවට සිටිය වැඩිදෙනෙක් නපුරු දේවල් කළත් හොඳ පුද්ගලයන් බොහෝදෙනෙක් යහපත්කම් කළහ” කියා මෙල්වන් බ්‍රැග් පවසයි. සැබෑ ක්‍රිස්තියානීහු අඛණ්ඩව “[දෙවිට] ආත්මයෙන්ද සත්‍යතාවයෙන්ද නමස්කාර” කළහ. (යොහන් 4:21-24) “යුද්ධ බලයට ශක්තියක් වීම” නිසා දූෂිත වී තිබූ ආගම්වලින් ඔවුහු වෙන්ව සිටියහ. පල්ලිය සහ රජය අතර පැවති ක්‍රියාකාරී සබඳතාවකට ඇතුළත් වීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ. ඉතිහාසයෙන් හෙළි වන්නේ එවන් සබඳතාවන් “නාසරෙත්හි විසූ යේසුස් කෙනෙකු විසින් නොව සාතන් විසින් ඇති කරන ලද ගිවිසුමකට” සමාන වූ බවයි.—Two Thousand Years—The Second Millennium: From Medieval Christendom to Global Christianity.

යහපත උදෙසා ඇති කරන බලපෑම සම්බන්ධයෙන් මෑත කාලයේ සිට යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රසිද්ධියට පත්ව ඇත. බොරු ආගම් මත ඇති වී තිබෙන අපකීර්තියට කිසිම ආකාරයකින් හවුල් නොවීම සඳහා ඔවුන්ගේ විශ්වාසයන් හා ඔවුන් කරන දේවල් මුළුමනින්ම පදනම් කරගෙන තිබෙන්නේ දෙවිගේ ආනුභාවය ලත් වචනය වන බයිබලය මතයි. (2 තිමෝති 3:16) ‘ලෝකයේ කොටසක් නොවන්න’ කියා යේසුස් දුන් ආඥාවට මුල් සියවසේ විසූ ක්‍රිස්තියානීන් මෙන් ඔවුහුද කීකරු වී ඇත්තාහ. (යොහන් 15:17-19; 17:14-16) නිදසුනක් වශයෙන් ඔවුහු ජර්මනියේ නාට්සි පාලන සමයේදී ක්‍රිස්තියානී ප්‍රතිපත්ති පාවා දීම ප්‍රතික්ෂේප කළහ. මේ නිසා නාට්සි දර්ශනයට අනුව ඔවුන්ව පිළිගත නොහැකි විය. එනිසා හිට්ලර් ඔවුන්ට වෛර කළේය. එක් පාසැල් පාඩම් පොතක මෙසේ සඳහන් වේ. “කිසිම හේතුවක් නිසා අවි අතට නොගන්න කියා බයිබලයේ උගන්වන දෙය යෙහෝවාගේ සාක්ෂිකරුවෝ . . . අනුගමනය කළහ. එමනිසා හමුදාවේ සේවය කිරීම හෝ නාට්සිවරු සමග කිසිම සම්බන්ධයක් පැවැත්වීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ. මෙයට පළිගැනීමක් හැටියට හිට්ලර්ගේ ප්‍රධාන ආරක්ෂක බලකාය විසින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව පවුල් පිටින් සිරගත කරන ලදි. [ජර්මනියේ සිටි] යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් තුනෙන් එකක් පමණ ගාල් කඳවුරුවලදී ඝාතනය කරන ලදි.”—Germany—1918-45.

විවිධ ආගම්වලට අයත්ව සිටි වෙනත් එඩිතර පුද්ගලයන්ද ඔවුන්ගේ ආගමික විශ්වාසයන් රැකගැනීම නිසා දුක් වේදනා වින්ද බව සැබෑවකි. එහෙත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් එසේ කළේ එක්සත් ආගමික කණ්ඩායමක් ලෙසය. ඇත්තෙන්ම මොවුන්ගෙන් බහුතරයක් “කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය” කියා පවසන ශුද්ධ ලියවිල්ලේ සඳහන් මූලික ප්‍රතිපත්තිය ස්ථිරව රැක ගත්හ.—ක්‍රියා 5:29, NW; මාර්ක් 12:17.

ගැටලුවේ මුල

අප මෙතෙක් සලකා බැලූ කරුණුවලින් පෙනී යන්නේ මිනිසාගේ සියලුම ගැටලුවලට මුල ආගම් කියා පැවසීම සත්‍ය වන්නේ අඩක් වශයෙන් පමණක් බවයි. එය සත්‍ය වන්නේ බොරු ආගම් සම්බන්ධයෙනි. කෙසේවෙතත් ළඟදීම සියලුම බොරු ආගම් නැති කර දැමීමට දෙවි අරමුණු කරගෙන සිටියි. (එළිදරව් 17:16, 17; 18:21) යුක්තියට හා ධර්මිෂ්ඨකමට ප්‍රිය කරන ඕනෑම කෙනෙකුට ඔහු කරන නියෝගය මෙයයි. “මාගේ සෙනඟෙනි, ඇගෙන් [එනම් බොරු ආගම්වලින් සමන්විත ලෝක අධිරාජ්‍ය වන මහා බැබිලෝනියෙන්] ඉවත්ව යන්න. ඇගේ පාපවලට ඇයත් සමඟ හවුල් වන්නවත්, ඇයට ලැබෙන පීඩාවලින් කොටසක් ලබන්නවත් ඔබ කැමති නැත්නම් ඇගෙන් ඉවත්ව යන්න. මන්ද ඇගේ පාප ස්වර්ගය දක්වාම ගොඩගැසී ඇත. දෙවිද ඇගේ අයුතු ක්‍රියා සිහි කළේය.” (එළිදරව් 18:4, 5, NW) ‘ගැටුම්වලට අනුබල දෙන, මිනිසුන්ගේ හෘදය සාක්ෂිය අසංවේදී කරවන, ජීවිතයේ කටුක යථාර්ථය බැහැර කර සර්වශුභවාදී මායාවන්ගෙන් මිනිස් මොළය පුරවන, මිනිසුන්ට පටු ලෙස සිතීමටද, මිථ්‍යා මත විශ්වාස කිරීමටද, වෛරයෙන් හා බියෙන් වෙළී සිටීමටද බලපෑම් කරන’ ආගම් නිසා දෙවිටත් මහත් නින්දාවක් ඇති වී තිබේ.

දෙවි සත්‍යයට ඇලුම් කරන අයව නිර්මල ආගමට එක්රැස් කරමින් සිටියි. ප්‍රේමණීය, යුක්තිසහගත මෙන්ම දයානුකම්පාවෙන් පිරි මැවුම්කරුවෙකුගේ ප්‍රතිපත්තිවලට හා ඉගැන්වීම්වලට මුළුමනින්ම එකඟව ක්‍රියාත්මක වන්නේ එම නිර්මල ආගමයි. (මීකා 4:1, 2; ශෙපනියා 3:8, 9, NW; මතෙව් 13:30) ඔබටත් එම ආගමට පංගුකරුවෙකු විය හැකියි. නිර්මල ආගම හඳුනාගන්න ආකාරය ගැන වැඩි විස්තර දැනගැනීමට ඔබ කැමති නම්, මේ සඟරාව ප්‍රකාශයට පත් කරන්නන්ගේ ලිපිනයකට ලිවීමට හෝ යෙහෝවාගේ සාක්ෂිකරුවෙකුගෙන් ඒ ගැන විමසීමට පසුබට නොවන්න.

[7වන පිටුවේ පින්තූරය]

සෑම පසුබිමකම සිටින ජනයා නිර්මල ආගම තුළ සිටීමෙන් ප්‍රීතිය ලබමින් සිටී