Skip to content

පටුනට යන්න

“ඇදහිල්ලේ යහපත් සටනෙහි සටන් කරන්න”

“ඇදහිල්ලේ යහපත් සටනෙහි සටන් කරන්න”

“ඇදහිල්ලේ යහපත් සටනෙහි සටන් කරන්න”

“ගෙදර ගිහින් ටික කාලයක් බිරිඳ එක්කයි ළමයි එක්කයි ඉන්න” කියා යුධ සමයේදී සොල්දාදුවෙකුට අණ කරනු ලැබුවොත් ඔහු අසතුටට පත් වේයයි ඔබ සිතනවාද?

දාවිත් රජු ඊශ්‍රායෙලය පාලනය කරමින් සිටි කාලයේදී හිත්තීය උරියා නම් වූ එක්තරා සොල්දාදුවෙකුට එවැනි අණක් ලැබුණා. උරියාව යුධ පිටියට කැඳවනු ලැබුවේද ඉන්පසු නිවසට යන මෙන් දිරිගන්වනු ලැබුවේද රජු විසින්මයි. නමුත් උරියා තම නිවසට යෑම ප්‍රතික්ෂේප කළා. එම බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරය ගැන උරියාගෙන් ප්‍රශ්න කළ විට, යෙහෝවා ඔවුන් අතරෙහි සිටින බව සංකේතවත් කරන ගිවිසුම් පෙට්ටිය තවමත් යුධ පිටියේ තිබෙන බවත් ඊශ්‍රායෙල් හමුදාව තවමත් එහි සටන් වදිමින් සිටින බවත් පවසමින් ඔහු මෙසේද ප්‍රශ්න නැඟුවා. “එසේනම් මම කන්ටත් බොන්ටත් මාගේ භාර්යාව සමඟ සයනය කරන්ටත් මාගේ ගෙදරට යම්ද?” එතරම් තීරණාත්මක අවදියකදී ගෙදර යෑම පිළිබඳව උරියාට සිතාගන්නවත් බැරි දෙයක් වුණා.—2 සාමුවෙල් 11:8-11.

අපත් ජීවත් වෙන්නේ යුධ සමයකයි. ඒ නිසා උරියාගේ හැසිරීම පිළිබඳව අපට සලකා බැලීමට වටින වැදගත් ප්‍රශ්න කිහිපයක් ඉස්මතු වෙනවා. මේ දක්වා ලෝකයේ ජාතීන් අතර පැවත ඇති සෑම යුද්ධයකටම වඩා වෙනස් වූ බිහිසුණු යුද්ධයක් දැන් පවතිනවා. ලෝක යුද්ධ දෙකවත් මෙම යුද්ධයට සම කළ නොහැකි අතර ඔබද එයට සම්බන්ධයි. තත්වය ඉතා අවදානම් සහිතයි. සතුරාද ඉතා භයානකයි. මෙම යුද්ධයේදී වෙඩි ප්‍රහාර එල්ල කරනු ලබන්නේ නැහැ. බෝම්බ හෙළනු ලබන්නේද නැහැ. නමුත් භාවිත කරන යුද්ධෝපක්‍රම නම් අතිප්‍රබලයි.

අවි අතට ගැනීමට පෙර ඔබ සටන් වදින්නේ කුමනාකාරයේ අරමුණක් උදෙසාද සහ එය යහපත් අරමුණක්ද යන්න ඔබ දැනගත යුතුයි. මෙම සටනෙහි නිරත වීම ඇත්තෙන්ම වටිනවාද? ප්‍රේරිත පාවුල් තිමෝතිට ලියූ තම ලිපියේදී මෙම සුවිශේෂී යුද්ධයෙහි අරමුණ පැහැදිලි කරමින් මෙසේ ලීවා. “ඇදහිල්ලේ යහපත් සටනෙහි සටන් කරන්න.” එසේනම්, මෙම යුද්ධයේදී ඔබ සටන් වදින්නේ යම් බලකොටුවක් ආරක්ෂා කිරීමට නොව, ‘ඇදහිල්ල’ රැකගැනීමට බව පැහැදිලියි. මෙහිදී ‘ඇදහිල්ල’ යනුවෙන් අදහස් වන්නේ බයිබලයේ හෙළිදරව් කර තිබෙන සත්‍ය ක්‍රිස්තියානි ඉගැන්වීම්වල එකතුවයි. එසේනම්, එම ‘ඇදහිල්ල’ වෙනුවෙන් සටන් වැද එම සටනෙන් ජයගන්නට නම් ඔබට ඒ පිළිබඳව ස්ථිර විශ්වාසයක් තිබිය යුතු බව නොකිවමනායි.—1 තිමෝති 6:12, NW.

ඥානවන්ත සොල්දාදුවෙක් තම සතුරාව හොඳින් දැනහඳුනා ගැනීමට උත්සාහ කරනවා. මෙම යුද්ධයේදී, යුද්ධෝපායන් යෙදීම පිළිබඳව සතුරාට අවුරුදු ගණනාවක පළපුරුද්දක් තිබෙනවා. ඔහු සතුව යුධ සම්පත් සම්භාරයක්ද යුධ අවි රැසක්ද තිබෙනවා. එපමණක්ද නොව, ඔහුට තිබෙන්නේ අධිමානුෂික බලයක්! ඔහු කිසිම ප්‍රතිපත්තියක් නොමැති කෲර, සැහැසික පුද්ගලයෙක්. ඔහුගේ නම සාතන්. (1 පේතෘස් 5:8) භෞතික අවිවලින්, මිනිසාගේ බුද්ධියෙන් හා කපටි උපායන්වලින් මෙම සතුරාව පරද්දන්න බැහැ. (2 කොරින්ති 10:4) මෙම යුද්ධයේදී ඔබට භාවිත කළ හැකි ආයුධ මොනවාද?

ප්‍රධානතම ආයුධය නම් “ආත්මයේ කඩුව වන දෙවිගේ [වචනයයි].” (එෆීස 6:17, NW) එම ආයුධය කොයි තරම් ප්‍රබලද කියා පෙන්වමින් පාවුල් මෙසේ පැවසුවා. “දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය, ඕනෑම දෙමුවහත් කඩුවකට වඩා තියුණුය. බාහිර පුද්ගලයාගෙන් ඔහුගේ සැබෑ ඇතුළාන්ත ස්වභාවයද, සන්ධිවලින් ඒවායේ ඇටමිදුළුද වෙන් කරන තරමටම පසාරු කරගෙන යන්නේය. සිතේ සිතුවිලිද චේතනාද ඊට වටහාගත හැක.” (හෙබ්‍රෙව් 4:11, 12, NW) පුද්ගලයෙකුගේ අභ්‍යන්තර සිතුවිලි හා චේතනා වෙන් කර දක්වන තරමටම පසාරු කරගෙන යන මෙතරම් තියුණු, ඉලක්කයටම පහර දිය හැකි ආයුධයක් ඉතා දක්ෂව හා සුපරීක්ෂාකාරීව භාවිත කළ යුතු බව නොකිවමනායි.

යුධ හමුදාවකට නවීන පන්නයේ ආයුධ තිබෙන්න පුළුවන්. නමුත් එහි භටයන්ට එම ආයුධ භාවිත කිරීමට අවශ්‍ය දස්කම් නොමැති නම් එම ආයුධවලින් කිසිම පලක් නැති බව ඔබට වැටහේවි. ඒ හා සමානව, ඔබේ කඩුව පලදායක අන්දමින් භාවිත කිරීමට නම් ඔබටද පුහුණුවක් අවශ්‍යයි. ඉතා හොඳ පළපුරුද්දක් තිබෙන සටන්කරුවන් කිහිපදෙනෙකුගෙන් ඔබට එවැනි උපදෙස් ලබාගත හැකිවීම ඇත්තෙන්ම සතුටට කාරණයක්. පුහුණුව ලබා දෙන එම සටන්කරුවන්ව යේසුස් හැඳින්වූයේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” යනුවෙනුයි. යේසුස්ගේ අනුගාමිකයන්ට තත්කාලීන ආත්මික ආහාර නොහොත් උපදෙස් සපයා දීමේ වගකීම ඔවුන්ට විශ්වාසයෙන් යුතුව භාර දී තිබෙනවා. (මතෙව් 24:45, NW) එම දාස පංතිය ඔබට හඳුනාගත හැකි වන්නේ වෙහෙස නොබලා ඔවුන් ඉදිරිපත් කරන ඉගැන්වීම් හා කාලෝචිත අනතුරු ඇඟවීම් පිළිබඳව අධ්‍යයනය කිරීමෙනුයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාවට අයත් අභිෂේක ලත් සාමාජිකයන්ගෙන් මෙම දාස පංතිය සෑදී ඇති බවට තිබෙන සාක්ෂිවලින් සනාථ වෙනවා.—එළිදරව් 14:1.

උපදෙස් ලබා දීමට අමතරව මෙම දාස පංතිය ප්‍රේරිත පාවුල් විදහාපෙන්වූ ස්වභාවයද පිළිබිඹු කර තිබෙනවා. තෙසලෝනිකයේ තිබූ සභාවට පාවුල් ලීවේ මෙසේයි. “කිරි දෙන මවක් ඇගේ දරුවන්ව ආදරයෙන් රැකබලා ගන්නාක් මෙන්, අපි ඔබ අතරේ සිටියදී ඔබව මෘදු ලෙස බලාගත්තෙමු. මෙසේ ඔබ අපට ඉතා හිතවත් වූ හෙයින් ගැඹුරු සෙනෙහසකින් යුතුව, දෙවිගේ ශුභාරංචිය පමණක් නොව, අපේ ජීවිත පවා ඔබට දීමට අපි බොහෝ සේ සතුටු වුණෙමු.” (1 තෙසලෝනික 2:7, 8, NW) ප්‍රේමණීය ලෙස සපයන එම පුහුණුවෙන් ප්‍රයෝජන ගැනීමට සෑම ක්‍රිස්තියානි සොල්දාදුවෙකුම බැඳී සිටිනවා.

මුළු යුද්ධායුධ කට්ටලයම

ඔබේ ආරක්ෂාව පිණිස අංග සම්පූර්ණ යුද්ධායුධ කට්ටලයක් සපයා දී තිබෙනවා. එෆීස 6:13-18හි එම යුද්ධායුධ කට්ටලයේ ලැයිස්තුවක් සපයා තිබෙනවා. ඔබට එය කියවා බලන්න පුළුවන්. සුපරීක්ෂාකාරී සොල්දාදුවෙක් තම යුද්ධායුධ කට්ටලයේ ඇතැම් කොටස් නැති වී ගොස් ඇත්නම් හෝ ඒවා කැඩී බිඳී ගොස් ඇත්නම් සටන් බිමට පා තබන්නේ නැහැ.

ක්‍රිස්තියානියෙකුට තම යුද්ධායුධ කට්ටලයේ සෑම අංගයක්ම අවශ්‍යයයි. නමුත් විශේෂයෙන්ම වැදගත් වන්නේ ඇදහිල්ල නමැති විශාල පලිහයි. ඒ නිසයි ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේ. “සියල්ලට පළමුවෙන් ඇදහිල්ල නමැති විශාල පලිහ ගන්න. මෙයින් ඔබට දුෂ්ටයාගේ සියලු ගිනිමය ඊතල නිවා දමන්න හැකි වන්නේය.”—එෆීස 6:16, NW.

මුළු ශරීරයම ආරක්ෂා කරගත හැකි විශාල පලිහෙන් නියෝජනය කෙරෙන්නේ ඇදහිල්ල නමැති ගුණාංගයයි. ඔබ යෙහෝවාගේ මඟ පෙන්වීම කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් තබමින් කිසිදු සැකයකින් තොරව ඔහුගේ සෑම පොරොන්දුවක්ම විශ්වාස කළ යුතුයි. එම පොරොන්දු දැනටමත් ඉටු වී ඇතිවාක් මෙන් ඔබට හැඟී යා යුතුයි. සාතන්ගේ මුළු සමාජ ක්‍රමයම විනාශ වනු ඇති බවටත් පොළොව පාරාදීසයක් බවට පත් කරනු ඇති බවටත් දෙවිගේ පක්ෂපාත සෙනඟ පරිපූර්ණත්වයට ගෙන යනු ඇති බවටත් වන පොරොන්දු ගැන මොහොතකටවත් සැක කරන්න එපා.—යෙසායා 33:24; 35:1, 2; එළිදරව් 19:17-21.

මෙම වත්මන් දින සුවිශේෂී සටනෙහි නිරත වෙද්දී ඔබට අවශ්‍ය තවත් දෙයක් තිබෙනවා. ඔබට මිතුරෙක් අවශ්‍යයයි. යුධ සමයේදී සෙසු සටන්කරුවන් එකිනෙකාව දිරිගන්වද්දී, ආරක්ෂා කරද්දී සහ ඇතැම් අවස්ථාවලදී එකිනෙකාගේ ජීවිත පවා බේරාගනිද්දී ඔවුන් අතර ශක්තිමත් බැඳීම් ඇති වෙනවා. එවැනි ආශ්‍රිතයන් සිටීම ඉතා අගේ කොට සලකන නමුත් මෙම සටනෙන් ජයගැනීමට නම් අපට වෙන කිසිදු මිත්‍රත්වයකට වඩා අවශ්‍ය වන්නේ යෙහෝවා සමඟ ඇති මිත්‍රත්වයයි. ඒ නිසයි ප්‍රේරිත පාවුල්, යුද්ධායුධ කට්ටලය පිළිබඳව තමා සැපයූ ලැයිස්තුවේ අවසානයට මෙසේ සඳහන් කරන්නේ. “සැම අවස්ථාවකදීම සියලු ආකාරයේ යාච්ඤා සහ අයැදීම් ඔප්පු කරමින් ආත්මය මාර්ගයෙන් නොකඩවා යාච්ඤා කරන්න.”—එෆීස 6:18, NW.

අපි කුලුපග මිතුරන් ඇසුරු කිරීම බොහෝ සෙයින් ප්‍රිය කරනවා. අපි ඔවුන් සමඟ කල් ගෙවීම සඳහා යම් සැලසුම් යොදනවා. ඒ හා සමානව, අපි යාච්ඤාව මගින් යෙහෝවා සමඟ නිතරම කතා කරන විට ඔහුව සැබෑ පුද්ගලයෙකු ලෙසත් විශ්වාසවන්ත මිතුරෙකු ලෙසත් දකින්න පටන්ගන්නවා. ශ්‍රාවක යාකොබ් දිරිගන්වන්නේ, “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය” කියායි.—යාකොබ් 4:8, NW.

සතුරු උපක්‍රම

ඇතැම් අවස්ථාවලදී මෙම ලෝකයට එරෙහිව සටන් වදින විට එය හරියට බිම්බෝම්බ වළලා තිබෙන භූමියක් හරහා ඇවිදීම හා සමානයි. ඕනෑම දිශාවකින් ප්‍රහාර එල්ල විය හැකියි. සතුරා ප්‍රහාර එල්ල කරන්නේ ඔබ නොසිතන මොහොතකදීයි. නමුත් යෙහෝවා ඔබට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන බවට නිසැක වන්න.—1 කොරින්ති 10:13.

ඔබේ ඇදහිල්ලට පදනම සපයන මූලික බයිබල් සත්‍යයන්ට විරුද්ධව සතුරා විවේචනාත්මක ප්‍රහාර එල්ල කළ හැකියි. ඇදහිල්ලට විරුද්ධව කැරලිගසන අය ප්‍රියජනක වචන, චාටු බස් හා සත්‍යය විකෘති කරවන ආකාරයේ තර්ක විතර්ක යොදාගනිමින් ඔබව රවටන්න වෑයම් කරන්න පුළුවන්. නමුත් එවැනි අයට ඔබගේ ආත්මික සුභසාධනය ගැන කිසිම තැකීමක් නැති බව මතක තබාගන්න. හිතෝපදේශ 11:9හි මෙසේ සඳහන් වෙනවා. ඇදහිල්ලට විරුද්ධව කැරලිගසන්නා හෙවත් “අභක්තිකයා තමාගේ මුඛයෙන් තමාගේ අසල්වාසියා විනාශ කරයි. එහෙත් දැනගැන්ම කරණකොටගෙන ධර්මිෂ්ඨයෝ ගැලවෙන්නෝය.”

ඇදහිල්ලට විරුද්ධව කැරලිගසන අයගේ තර්ක බිඳ හෙළීම සඳහා ඔවුන්ට සවන් දිය යුතුයි කියාවත් ඔවුන්ගේ ලියවිලි කියවිය යුතුයි කියාවත් සිතීම මලපතක්. ඔවුන්ගේ විකෘති වූ, විෂකුරු තර්කයන්ට සවන් දීම ආත්මික වශයෙන් හානිකර විය හැකි අතර පිළිකාවක් වැනි රෝගයක් මාංසය කා දමන්නාක් මෙන් ඒවා ඔබේ ඇදහිල්ල කා දමන්නත් පුළුවන්. (2 තිමෝති 2:16, 17) ඒ නිසා, එවැනි අය සම්බන්ධයෙන් යෙහෝවා ක්‍රියා කරන ආකාරය අනුගමනය කරන්න. යෝබ් යෙහෝවා පිළිබඳව පැවසුවේ, ඇදහිල්ලට විරුද්ධව කැරලිගසන්නෙක් හෙවත් “අභක්තිකයෙක් ඔහු ඉදිරියට නොඑන්නේය” කියායි.—යෝබ් 13:16.

සතුරා විවිධ උපක්‍රම යොදාගන්න වෑයම් කරාවි. ඉන් එක් උපක්‍රමයක් යම් තාක් දුරට සාර්ථක වී තිබෙනවා. යුධ පෙරමුණට ගමන් කරමින් සිටින භට පිරිසකට විරුද්ධව උගුලක් අටවා ඔවුන්ව නින්දිත, දුරාචාරමය හැසිරීමට පෙලඹවිය හැකි නම් ව්‍යාකූල තත්වයක් ඇති කරන්න පුළුවන්.

දුරාචාරමය චිත්‍රපට හා රූපවාහිනි වැඩසටහන් සහ නොහික්මුණු සංගීතය වැනි ලෝකය විසින් ඉදිරිපත් කරනු ලබන විනෝදාස්වාදය සාර්ථක ඇමක් බවට පත් වී තිබෙනවා. දුරාචාරය හුවා දක්වන දර්ශන නැරඹීම හෝ එවැනි පොත් පත් කියවීම තමන්ට කිසිසේත් බලපාන්නේ නැති බව ඇතමෙකු පවසනවා. නමුත් ලිංගික හැසිරීම නිරූපණය කරන චිත්‍රපට නිතරම නැරඹූ එක් පුද්ගලයෙක් මෙසේ පිළිගත්තා. “ඒ වගේ දර්ශන බැලුවොත් ඒවා කවමදාකවත් අමතක වෙන්නේ නැහැ. ඒ දැකපු දේ ගැන හිතන්න හිතන්න අපිත් ඒක ක්‍රියාවට නංවන්න ඕනේ කියන හැඟීම එන්න එන්නම වැඩි වෙනවා. . . . ඒ චිත්‍රපට බලද්දී හැඟෙන්නේ ‘මටත් ඒ වගේ දෙයක් කරන්න ඇත්නම්’ කියලයි.” මෙම සූක්ෂ්ම ප්‍රහාරයෙන් තුවාල වීමේ අවදානමට අපවම ඇද දමා ගැනීම ඥානවන්තයි කියා ඔබ සිතනවාද?

ද්‍රව්‍යවාදය නමැති උගුල සතුරාගේ ආයුධ ගබඩාවේ තිබෙන තවත් මිසයිලයක්. මෙම අන්තරාව හඳුනාගැනීම පහසු නැහැ. මන්ද අපි සියලුදෙනාටම ද්‍රව්‍යමය අවශ්‍යතා තිබෙන නිසයි. අපිට නිවසක්, ආහාර පාන, ඇඳුම් පැළඳුම් අවශ්‍යයයි. ඒ වගේම, සිත්ගන්නාසුලු භාණ්ඩ අප සතුව තිබේ නම් එහි වරදක් නැහැ. අන්තරාවක් ඇති වන්නේ ද්‍රව්‍යමය දේවල් පිළිබඳව අප දරන දෘෂ්ටිය අනුවයි. ආත්මික කාරණාවලට වඩා මුදල් වටිනවාය යන ආකල්පය ඇතිවීමට ඉඩ තිබෙන අතර අප මුදලට ප්‍රේම කරන්නන් බවටත් පත් විය හැකියි. ධනයෙන් ලැබෙන ප්‍රයෝජන සීමිත බව අප මතක තබාගත යුතුයි. එය අද තිබී හෙට නැති වී යන්න පුළුවන්. නමුත් ආත්මික වස්තු සදහටම පවතිනවා.—මතෙව් 6:19, 20.

සොල්දාදුවන් අධෛර්යයට පත් වී සිටින්නේ නම්, ජය අත් කරගැනීම දුෂ්කරයි. “ඔබ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් ඔබේ ශක්තිය අල්පය.” (හිතෝපදේශ 24:10) අධෛර්යයට පත් වී සිටීම සාතන් ඉතා සාර්ථකව භාවිතයට ගන්නා තවත් ආයුධයක්. “බලාපොරොත්තුව නමැති ආරක්ෂක හිස්වැස්ම” පැළඳගැනීමෙන් අධෛර්යය වීම්වලට එරෙහිව සාර්ථකව සටන් කරන්න පුළුවන්. (1 තෙසලෝනික 5:8, NW) ආබ්‍රහම් හා සමානව, ස්ථිර බලාපොරොත්තුවක් ඇතුව සිටීමට වෑයම් කරන්න. ඔහුගේ එකම පුත් ඊසාක්ව පූජාවක් වශයෙන් ඔප්පු කරන මෙන් ආබ්‍රහම්ගෙන් ඉල්ලා සිටි විට ඔහු ඒ ගැන පසුබට වුණේ නැහැ. මන්ද ඔහුගේ වංශය මාර්ගයෙන් සියලු ජාතීන්ට ආශීර්වාද කරන බවට වූ පොරොන්දුව දෙවි ඉටු කරන බවත් එම පොරොන්දුව ඉටු කිරීම සඳහා දෙවිට අවශ්‍ය නම් ඊසාක්ව නැවත නැඟිටුවීමට පවා පුළුවන් බවත් ඔහු විශ්වාස කළා.—හෙබ්‍රෙව් 11:17-19.

සටන අත්හරින්න එපා

දීර්ඝ කාලයක් පුරා නිර්භීතව මෙම සටනෙහි නිරත වී ඇති සමහරදෙනෙක් දැන් වෙහෙසට පත් වී සිටින නිසා පෙර දා තරම් සුපරීක්ෂාකාරීව සටන් නොකරනවා විය හැකියි. මෙම ලිපිය මුලදී සඳහන් කළ උරියාගේ ආදර්ශය, සටනෙහි නිරත වී සිටින සියලුදෙනාටම නිවැරදි දෘෂ්ටිකෝණයක් ඇතුව සිටීමට උපකාරවත් විය හැකියි. අපේ සෙසු ක්‍රිස්තියානි සටන්කරුවන් බොහෝදෙනෙක් දුෂ්කරතාවලට, අනාරක්ෂිත තත්වයන්ට මුහුණ දීම නිසා හෝ අධික ශීතල හා කුසගින්නෙන් සිටීම නිසා හෝ දුක් විඳිමින් සිටිනවා. අපිත් උරියා හා සමාන දෘෂ්ටියක් තබාගත යුතුයි. දැන් භුක්ති විඳිය හැකි සැප පහසු ජීවිතයක් ගැන සිහින මැවීම හෝ එවැනි ජීවිතයක් පසුපස හඹා යෑම සුදුසු දෙයක් නොවෙයි. අපට අවශ්‍ය වන්නේ පක්ෂපාත සටන්කරුවන්ගෙන් සමන්විත යෙහෝවාගේ ජාත්‍යන්තර සේනාව අතර රැඳී සිට පොරොන්දු වූ මහිමාන්විත ආශීර්වාද අප කරා වගුරුවන තෙක් අත් නෑර සටන් වැදීමයි.—හෙබ්‍රෙව් 10:32-34.

අප අපරීක්ෂාකාරී වී, සමහරවිට අවසාන ප්‍රහාරයට තව බොහෝ කල් තිබෙන බව සිතීමට පටන්ගන්නවා නම් එය ඉතා භයානකයි. දාවිත් රජුගේ අවාදර්ශයෙන් මෙය පැහැදිලි වෙනවා. මොනයම් හේතුවක් නිසා හෝ ඔහු තම සොල්දාදුවන් සමඟ සටන් වදිමින් සිටියේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු බරපතළ පාපයකට වැටුණු අතර ජීවිත කාලය පුරාම ඔහුට දුක් කරදරවලට මුහුණ දීමට සිදු වුණා.—2 සාමුවෙල් 12: 10-14.

දුෂ්කරතාවලට මුහුණ දෙමින්, නින්දා අපහාස විඳදරාගනිමින් හා හානිකර වූ ලෞකික ආශාවන්ගෙන් වැළකී සිටිමින් මෙම සටනෙහි නිරත වීම ඇත්තෙන්ම වටිනවාද? මෙම සටනෙහි සාර්ථකව සටන් වදින අය පිළිගන්නවා ලෝකය ඉදිරිපත් කරන දේවල් ආකර්ෂණීය බව. නමුත් ඒවා සරුව පිත්තල හා සමානයි. ළඟට ගිහින් බලද්දී ඒවායේ කිසිම වටිනාකමක් නැහැ. (පිලිප්පි 3:8) තවද, ලෞකික ආශාවන් පිනවාගන්නට යෑමෙන් බොහෝවිට සිදු වන්නේ දුක් වේදනා හා බලාපොරොත්තු සුන්වීම්වලට මුහුණ දීමයි.

මෙම ආත්මික සටනෙහි නිරත වන ක්‍රිස්තියානීන් සැබෑ මිතුරන් සමඟ කුලුපග ඇසුරක්ද පිරිසිදු හෘදය සාක්ෂියක්ද මවිතකර බලාපොරොත්තුවක්ද ඇතුව සිටිනවා. ආත්මයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ බලාපොරොත්තුව වන්නේ යේසුස් ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ අමරණීය ජීවිතයක් ගත කිරීමයි. (1 කොරින්ති 15:54) ක්‍රිස්තියානි සටන්කරුවන්ගෙන් බහුතරයක්ම බලාපොරොත්තු වන්නේ පාරාදීස පොළොවක පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ගත කිරීමටයි. එවැනි ත්‍යාග ලබාගැනීම වෙනුවෙන් සටන් වැදීම සැබවින්ම වටිනවා කියා ඔබ සිතන්නේ නැද්ද? එපමණක්ද නොව, ලෞකික යුද්ධවලදී මෙන් නොව අප නොසැලෙන ඇදහිල්ලක් ඇතිව සිටියොත් මෙම සටන අවසානයේදී අපට අත් වන ප්‍රතිඵල ගැන ස්ථිර විය හැකියි. (හෙබ්‍රෙව් 11:1) සාතන්ගේ බලය යටතේ පවතින මෙම සමාජ ක්‍රමයට සම්පූර්ණ විනාශයක් අත් වන බව නම් ස්ථිරයි.—2 පේතෘස් 3:10.

සටනෙහි නිරත වන අතරතුරේදී යේසුස්ගේ මෙම වදන් මතකයේ රඳවාගන්න. “ධෛර්යවත් වන්න! මම ලෝකයෙන් ජයගත්තෙමි.” (යොහන් 16:33, NW) ඔහු ජයගත්තේ සුපරීක්ෂාකාරීව සිටීමෙන් හා පරීක්ෂාවන් යටතේ අඛණ්ඩතාව පවත්වාගැනීමෙනුයි. අපටත් එලෙසම කළ හැකියි.

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

වෙඩි ප්‍රහාර එල්ල කරනු ලබන්නේ නැහැ. බෝම්බ හෙළනු ලබන්නේද නැහැ. නමුත් භාවිත කරන යුද්ධෝපක්‍රම නම් අතිප්‍රබලයි

[30වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අප නොසැලෙන ඇදහිල්ලක් ඇතිව සිටියොත් මෙම සටන අවසානයේදී අපට අත් වන ප්‍රතිඵල ගැන ස්ථිර විය හැකියි

[26වන පිටුවේ පින්තූරය]

බලාපොරොත්තුව නමැති ආරක්ෂක හිස්වැස්ම පැළඳගැනීමෙන් අධෛර්යය වීම්වලට එරෙහිව සටන් කරන්න අපට පුළුවන්

සාතන්ගේ “ගිනිමය ඊතල” මඟහැරීමට ඇදහිල්ල නමැති විශාල පලිහ යොදාගන්න

[28වන පිටුවේ පින්තූරය]

“දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය”

[29වන පිටුවේ පින්තූරය]

දෙවිගේ පොරොන්දු ඉටු වන බවට අපට ඇදහිල්ල තිබිය යුතුයි