Skip to content

පටුනට යන්න

ඔබේ සිත ආරක්ෂා කරගනිමින් නිර්මලකම පවත්වාගන්න

ඔබේ සිත ආරක්ෂා කරගනිමින් නිර්මලකම පවත්වාගන්න

ඔබේ සිත ආරක්ෂා කරගනිමින් නිර්මලකම පවත්වාගන්න

“සියල්ලටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න. මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.”—හිතෝපදේශ 4:23.

1-3. (අ) ජනයා බොහෝවිට තමන්ගේ නිර්මලකම අගය නොකරන බව පෙන්වා ඇත්තේ කෙසේද? නිදර්ශනය කරන්න. (ආ) නිර්මලකමේ වටිනාකම සලකා බැලීම වැදගත් වන්නේ මන්ද?

සිත්තම අතිපැරණි එකක් සේ පෙනුණා විය හැකියි. සමහරවිට එය නිවසේ අලංකාරයට නොගැළපුණාද විය හැකියි. කොහොමවුණත්, එහි හිමිකරුට එය එතරම් ප්‍රයෝජනවත් නොවූ බවක් පෙනෙන්ට තිබිණ. අන්තිමේදී සිදු වුණේ එම සිත්තම අමෙරිකානු ඩොලර් 29ක මිලකට තක්සේරු කර ලේබලයක් ගසා පාවිච්චි කරන ලද භාණ්ඩ අලෙවි කරන වෙළඳපොළක තැබීමයි! එහෙත් අවුරුදු කිහිපයකට පසුව, එය ඩොලර් මිලියනයක් වටිනා සිත්තමක් බව ඔහුට දැනගන්නට ලැබිණ. එසේය, එය ඉතා දුර්ලභ වූ අතිශ්‍රේෂ්ඨ කලා කෘතියක් විය. මෙම වටිනා සම්පත අඩුවෙන් තක්සේරු කළ ඒ සිත්තමේ මුල් හිමිකරුට ඒ අවස්ථාවේදී ඇති වූ හැඟීම ගැන සිතා බලන්න!

2 යම් පුද්ගලයෙකුගේ නිර්මලකම හෙවත් සදාචාර පිරිසිදුකම හෝ පවිත්‍රත්වය සම්බන්ධයෙන් බොහෝවිට සිදුවන්නේද මේ හා සමාන දෙයකි. අද දින බොහෝදෙනෙකුද තමන්ගේ නිර්මලකම එතරම් ඉහළින් අගය කරන්නේ නැත. එය පැරණි කාලයේ මතයක් බවත්, නවීන සමාජ රටාව සමඟ එය ගැළපෙන්නේ නැති බවත් ඇතැම්හු විශ්වාස කරති. මේ නිසා, සුළු වින්දනයකට හෝ ලාභයකට තමන්ගේ පිරිසිදු නිර්මලකම පාවා දෙති. ඇතැම් අය සුළු මොහොතක ලිංගික වින්දනයට තම නිර්මලකම විකුණති. ඇතැම් අය එය පූජා කරන්නේ තම සගයන්ගේ හෝ විරුද්ධ ලිංගයේ කෙනෙකුගේ ඇස් හමුවේ තමා ‘වීරයෙකු’ බව පෙන්වීමටය.—හිතෝපදේශ 13:20.

3 තමන්ගේ නිර්මලකම කොතරම් වටිනා සම්පතක් වූවාදැයි බොහෝදෙනෙකු සොයාගන්නේ බොහෝ සේ පමා වීය. ඔවුන්ට එය අහිමි වීම බොහෝවිට කටුක අද්දැකීමකි. බයිබලයේ පැහැදිලිව පෙන්වන්නාක් මෙන්, දුරාචාරයේ ප්‍රතිඵල වස මෙන් විය හැකියි. එය, ‘කොසඹ මෙන් තික්තය.’ (හිතෝපදේශ 5:3, 4) අද දින පවතින සදාචාරාත්මක වට පිටාව දෙස බලන කල, ඔබට ඔබේ නිර්මලකම රැකගැනීමටත් පවත්වාගැනීමටත් හැක්කේ කෙසේද? අපි දැන් අපට ගත හැකි පියවර තුනක් ගැන සලකා බලමු.

ඔබේ සිත ආරක්ෂා කරගන්න

4. සිත යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? අප එය ආරක්ෂා කරගත යුත්තේ මන්ද?

4 නිර්මලකම පවත්වාගැනීමට ප්‍රධාන මඟ වන්නේ සිත ආරක්ෂා කරගැනීමයි. බයිබලය මෙසේ කියයි. “සියල්ලටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න. මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.” (හිතෝපදේශ 4:23) මෙහි සඳහන් “ඔබේ සිත” යනු කුමක්ද? ඉන් අදහස් කරන්නේ ඔබ තුළ සිටින අභ්‍යන්තර පුද්ගලයායි. ඔබේ සිතුවිලි, හැඟීම් සහ පෙලඹවීම්ද එයට ඇතුළත්ය. බයිබලය මෙසේ කියයි. “ඔබේ දෙවි වූ යෙහෝවාට ඔබේ මුළු සිතෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න.” (ද්විතීය කථාව 6:5) යේසුස් සඳහන් කළේ මෙම ආඥාව සියලු ආඥාවලින් උසස්ම එක ලෙසටයි. (මාර්ක් 12:29, 30) පැහැදිලිවම, අපගේ මෙම සිතට සුවිශාල වටිනාකමක් තිබේ. එය රැකගැනීම වටී.

5. සිත වටිනා මෙන්ම අන්තරාදායක දෙයක් විය හැක්කේ කෙසේද?

5 කෙසේවෙතත්, “සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ටවම තිබේ” කියාද බයිබලය පවසයි. (යෙරෙමියා 17:9) එම හදවත රැවටිලිකාර හෝ අපට අනතුරුදායක දෙයක් වන්නේ කෙසේද? අපි මෝටර් රථයක් උදාහරණයකට ගනිමු. ඉතා වටිනාකමින් යුක්ත වන එය හදිසි තත්වයකදී ජීවිත ගලවන්නක්ද විය හැකියි. එහෙත් රියැදුරා කාර් රථය පාලනය කරගන්නේ නැත්නම්, නිරතුරුවම සුක්කානමෙන් කාර් රථය හසුරුවන්නේ නැත්නම්, එම කාර් රථයම ඉතා ලෙහෙසියෙන් මාරාන්තික ආයුධයක් බවටද පත් විය හැකියි. ඒ හා සමානව, ඔබ ඔබේ සිත ආරක්ෂා කරගන්නේ නැත්නම්, ඔබේ ඇතුළාන්ත ආශාවන් සහ පෙලඹීම්වලින් ඔබ පාලනය වන අතර, ඔබේ ජීවිත ගමන විපත්තියක් කරා ඇදී යා හැකියි. දේවවචනය මෙසේ කියයි. “තමාගේම සිත කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙක්ය. එහෙත් නුවණින් හැසිරෙන්නා ගැලවෙන්නේය.” (හිතෝපදේශ 28:26) එසේය, ඔබ ගමනක් යන්නට පෙරාතුව සිතියමකින් පාර හොඳින් දැනගන්නා සේම ඔබට මඟ පෙන්වන්නට දේවවචනයට ඉඩහරිනවා නම්, ප්‍රඥාවන්තව ගමන් කරමින් ඔබට විපත්තිය මඟහැරිය හැකියි.—ගීතාවලිය 119:105.

6, 7. (අ) ශුද්ධකම යනු කුමක්ද? එය යෙහෝවාගේ සේවකයන්ට වැදගත් වන්නේ මන්ද? (ආ) අසම්පූර්ණ මිනිසුන්ට යෙහෝවාගේ ශුද්ධකම පිළිබිඹු කළ හැකි බව අප දන්නේ කෙසේද?

6 අපේ සිත නිරායාසයෙන්ම නිර්මලකම දෙසට ඇදී යන්නේ නැත. කාර් රථයක් සුක්කානමකින් හරවන්නාක් සේ අප අපේ සිතද හරි අතට හැරවිය යුතුයි. මෙය කිරීමට තිබෙන එක් ක්‍රමයක් නම්, නිර්මලකමේ සැබෑ වටිනාකම ගැන හොඳින් සිතා බැලීමයි. මෙම ගුණාංගය ශුද්ධකම සමඟ ඉතා සමීපව බැඳී තිබේ. මින් අදහස් කරන්නේ පිරිසිදුව හා නිර්මලව සිටීම මෙන්ම පව්කාර ගතියෙන් වෙන්ව සිටීමය. ශුද්ධකම යනු අනර්ඝ ගුණාංගයකි. එය යෙහෝවා දෙවිගේ චරිතයේ ප්‍රධාන ගතිලක්ෂණයකි. බයිබල් පද රාශියකම එම ගුණාංගය යෙහෝවාට සම්බන්ධ කර ඇත. ඇත්තෙන්ම, බයිබලයේ පැවසෙන්නේ “ශුද්ධකම අයිති යෙහෝවාටය” කියායි. (නික්මයාම 28:36, NW) එහෙත්, එම උදාර ගුණාංගය හා අසම්පූර්ණ මිනිසුන් වන අප අතර ඇති සම්බන්ධය කුමක්ද?

7 යෙහෝවා සිය වචනය තුළ අපට මෙසේ කියයි. “මා ශුද්ධව සිටින නිසා, ඔබද ශුද්ධව සිටිය යුතුයි.” (1 පේතෘස් 1:16, NW) එසේය, අපට යෙහෝවාගේ ශුද්ධකම අනුකරණය කළ හැකියි. අපට අපගේ නිර්මලකම පවත්වාගෙන ඔහු ඉදිරියෙහි පිරිසිදුව සිටිය හැකියි. එම නිසා අපි, අපිරිසිදු, දූෂ්‍ය කරවන ක්‍රියාවලින් වැළකී සිටින විට, ඉතා උසස් වූද ප්‍රීතිමත් වූද වරප්‍රසාදයක් අත් කරගනිමින් සිටින්නෙමු. එය නම්, මහෝත්තම දෙවිගේ අලංකාර ගුණාංගයක් පිළිබිඹු කිරීමය. (එපීස 5:1) අපට එය අත් කරගැනීමට බැරිය කියා අප නොසිතිය යුතුයි. මන්ද යෙහෝවා ප්‍රඥාවන්ත මෙන්ම සාධාරණ ස්වාමියෙකි. අපට කළ හැකි තරමට වඩා වැඩියෙන් කිසිවක් කිසි විටෙකත් නොඉල්ලන ස්වාමියෙකි. (ගීතාවලිය 103:13, 14; යාකොබ් 3:17, NW) ආත්මික හා සදාචාරමය වශයෙන් පවිත්‍රව සිටීමට ප්‍රයත්නයක් දැරීමට සිදු වන බව ඇත්තයි. එහෙත්, ප්‍රේරිත පාවුල් පෙන්වූයේ ‘ක්‍රිස්තුස්ට අවංකකම හා නිර්මලකම පෙන්විය යුතු’ බවය. (2 කොරින්ති 11:3, NW) අප ක්‍රිස්තුස්ටත් ඔහුගේ පියාණන්ටත් ණයගැතිව සිටින නිසා සදාචාරමය වශයෙන් පවිත්‍රව සිටීමට හැකි සෑම උත්සාහයක්ම දැරීමට අපි බැඳී නොසිටින්නෙමුද? ඇත්තෙන්ම ඔවුන් අප වෙනුවෙන් දක්වා ඇති ප්‍රේමය උදෙසා ආපසු ගෙවීමක් කිරීමට අපට කිසිවිටෙකත් බැරිය. (යොහන් 3:16; 15:13) එසේනම්, නිර්මල සදාචාර ජීවිතයක් ගත කිරීම මගින් ඔවුන්ට අපගේ කෘතඥතාව පළ කිරීම ඉතා උතුම් වරප්‍රසාදයකි. මේ අන්දමින් අප අපගේ නිර්මලකම ගැන කල්පනා කිරීම මගින් අපට එය බොහෝ සෙයින් අගය කරමින් අපගේ සිත ආරක්ෂා කරගත හැකියි.

8. (අ) අපට අපේ සිත පෝෂණය කළ හැක්කේ කෙසේද? (ආ) අපගේ කතා බහ අප ගැන කුමක් හෙළි කරනවා විය හැකිද?

8 තවද අපි අපවම පෝෂණය කරගන්නා අන්දම මගින්ද අපගේ සිත් ආරක්ෂා කරගන්නෙමු. හොඳ ආත්මික ආහාර නිතිපතා ගනිමින් අපගේ මනස් හා හදවත් පෝෂණය කළ යුතු අතර, දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය කෙරෙහි අපේ අවධානය යොමු කළ යුතුය. (කොලොස්සි 3:2) අපේ අවධානය නිසි දේ කෙරෙහි යොමු කර ඇති බවට අපගේ කතා බහ තුළින්ද පිළිබිඹු විය යුතුයි. අප මාංසික, දුරාචාරමය විෂයන් ගැන කතා කරන අය බවට ප්‍රසිද්ධ වී ඇත්නම්, අපේ සිතේ තිබෙන දේ සම්බන්ධයෙන් එය යමක් කියාපායි. (ලූක් 6:45) ඒ වෙනුවට, අපි ආත්මික හා ගොඩනංවනසුලු දේවල් ගැන කතා කරන අය හැටියට ප්‍රසිද්ධ වෙමු. (එපීස 5:3) අපේ සිත් ආරක්ෂා කරගැනීමේදී, අප විසින් වැළකිය යුතු බරපතළ අන්තරායන් තිබේ. අපි දැන් එවන් දේවල් දෙකක් ගැන සාකච්ඡා කරමු.

වේශ්‍යාකම කෙරෙන් පලා දුවන්න

9-11. (අ) පළමුවෙනි කොරින්ති 6:18හි උපදෙස නොසලකාහරින අය බරපතළ ලිංගික වරදකට වැටෙන්නට බොහෝදුරට ඉඩ කඩ තිබෙන්නේ මන්ද? නිදර්ශනය කරන්න. (ආ) අප වේශ්‍යාකම කෙරෙන් පලා දුවනවා නම්, අප වළකින්නේ කුමකින්ද? (ඇ) ඇදහිලිවන්ත යෝබ් අපට තැබූ කැපීපෙනෙන ආදර්ශය කුමක්ද?

9 යෙහෝවාගේ ආනුභාවයෙන් ප්‍රේරිත පාවුල් ලියූ යම් උපදෙස් බොහෝදෙනෙකුට තම සිත ආරක්ෂා කරගැනීමට හා නිර්මලකම පවත්වාගැනීමට උපකාරවත් වී තිබේ. පාවුල් පැවසුවේ මෙයයි. “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න.” (1 කොරින්ති 6:18, NW) නිකම්ම “වේශ්‍යාකමෙන් වළකින්න” කියා කියනවාට වඩා වැඩි යමක් ඔහු මෙහිදී පැවසූ බව සැලකිල්ලට ගන්න. ක්‍රිස්තියානීන් ඊට වඩා වැඩි යමක් කළ යුතුයි. ජීවිතයට තර්ජනයක් එල්ල කරවන දෙයකින් ඉවතට පලා දුවන්නාක් මෙන් ඔවුන් එවන් දුරාචාරමය ක්‍රියාවලින් පලා දිව යා යුතුයි. අප එවන් උපදෙස් නොසලකාහරිනවා නම්, අප බරපතළ ලිංගික වරදකට හසුවීමට ඇති ඉඩ කඩ බොහෝ සෙයින් වැඩි කරගන්නා අතර, එනයින් අපට දේවඅනුමැතිය අහිමි වී යයි.

10 මෙය අපි මෙසේ උපහැරණය කරමු. එක් මවක් ඇගේ කුඩා පිරිමි දරුවාට ඇඳුම් අන්දවා වැදගත් උත්සවයකට යෑමට ඔහුව ලකලැහැස්ති කරන්නීය. එම පවුලේ අය නිවසින් පිටත්ව යෑමට පෙර, මිදුලේ සෙල්ලම් කරන්නදැයි දරුවා ඇගෙන් අසයි. ඈ ඊට එකඟ වෙයි. එහෙත් එක කොන්දේසියක් ඇතුවයි. ඈ මෙසේ කියන්නීය. “අර වත්තේ මඩ වළ තියෙන පැත්ත පළාතකටවත් යන්න නම් එපා. ඔයා ගිහින් ඇඳුම්වල මඩ ගා ගත්තොත්, මම ඔයාට දඬුවම් කරනවා.” නමුත්, ටික වේලාවකින් ඈ දකින්නේ කුමක්ද? පිරිමි ළමයා ටිකෙන් ටික මඩ වළේ අද්දරටම ගොස් එබිකම් කර බලමින් සිටින බවයි. තවමත් ඔහුගේ ඇඳුම්වල මඩ ගෑවී නැත. එහෙත්, මඩ වළ තියෙන පැත්ත පළාතකටවත් යන්න එපායයි ඇය දුන් අනතුරු ඇඟවීමයි ඔහු මෙහිදී නොසලකාහරිමින් සිටින්නේ. ඇරත් තව ටිකකින් ඔහු මඩ නාගන්නවා සිකුරුයි. (හිතෝපදේශ 22:15) ඒ පිරිමි ළමයාට වඩා සුපරීක්ෂාකාරී විය යුතු බොහෝ යෞවනයෝ සහ වැඩිහිටියෝ ඒ හා සමාන වරදක් කරති. ඒ කෙසේද?

11 අපමණදෙනෙකු “නින්දිත ලිංගික තෘෂ්ණාවලට” වහල් වී සිටින මේ කාලයේ, නීති විරෝධී ලිංගික සම්බන්ධතාවලට උල්පන්දම් දීමට එක්තරා කර්මාන්තයක් ඉහළට මතු වී තිබේ. (රෝම 1:26, 27, NW) කාමුක දර්ශන නමැති වසංගතය මගින් සඟරා, පොත් පත්, වීඩියෝ සහ අන්තර්ජාලය ගිලගෙන ඇත. එවන් රූප තමන්ගේ මනස්වලට ඔහේ ඇතුල් වීමට ඉඩ දෙන අය වේශ්‍යාකම කෙරෙන් පලා දුවනවායයි කීම උගහටය. ඔවුහු ඒ සමඟ සෙල්ලම් කරමින් සිටිති. ඔවුහු බයිබලයේ අනතුරු ඇඟවීම් තුට්ටුවකටවත් මායිම් නොකර ඒ අද්දරටම ගොස් එබිකම් කර බලමින් සිටිති. හදවත ආරක්ෂා කරගන්නවා වෙනුවට, ඔවුන් කරමින් සිටින්නේ ඒ විකාර රූපවලින් තමන්ගේ මනස විෂ කරගැනීමයි. ඒවා මතකයෙන් ඉවත් කිරීමට අවුරුදු ගණනාවක් පවා ගත විය හැකියි. (හිතෝපදේශ 6:27) ඇදහිලිවන්ත යෝබ් තමාගේම ඇස් සමඟ ගිවිසුමක්, හෙවත් නීතික කොන්දේසියක් ඇති කරගත්තේය. ඒ, වැරදි දේ කිරීමට ඔහුව පොලඹවන දේවල් නොබැලීමටය. එසේනම්, අපිත් ඔහුගෙන් ඉගෙනගමු. (යෝබ් 31:1) යෝබ්ගේ ආදර්ශය නම්, සහතිකවම අනුගමනය කළ යුතු ආදර්ශයකි!

12. තම පූර්ව විවාහ ඇසුරේදී ‘වේශ්‍යාකම වෙතින් පලා දිවීමට’ ක්‍රිස්තියානි යුවළයන්ට හැක්කේ කෙසේද?

12 විවාහයට පෙර ඇසුරේදී ‘වේශ්‍යාකම වෙතින් පලා දිවීම’ අතිශයින්ම වැදගත්ය. එම කාල පරිච්ඡේදය බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන්ගෙන් පිරි ප්‍රීතිමත් සමයක් විය යුතුය. එසේ වුවද ඇතැම් යෞවනයෝ දුරාචාරය සමඟ සෙල්ලම් කිරීමෙන් එම කාලය කෙලසා ගනිති. මෙනයින් ඔවුන් කරන්නේ යහපත් විවාහයකට දැමිය හැකි හොඳම අත්තිවාරම තමන්ටම අහිමි කරගැනීමයි. එමගින් අහිමි වී යන්නේ, පරාර්ථකාමී ප්‍රේමය, ආත්ම දමනය හා යෙහෝවා දෙවිට කීකරු වීම මත පදනම් වී ඇති සම්බන්ධයකි. එක් ක්‍රිස්තියානි යුවළක් විවාහයට පෙර කළ ඇසුරේදී දුරාචාරමය හැසිරීමෙහි නියැලුණාහ. ඔවුන් විවාහ වූ පසු, ඇගේ හෘදය සාක්ෂිය තමාට මහත් සේ වධ දුන් බවත්, ඇගේ විවාහ මංගල්‍යය දිනයේදී ඇගේ ප්‍රීතිය විනාශ වී ගිය බවත් භාර්යාව පිළිගත්තාය. “මම යෙහෝවාගෙන් බොහෝ වතාවක් සමාව අයැද සිටියා. නමුත් එතැන් පටන් අවුරුදු හතක් ගත වී තිබුණත්, මගේ හෘදය සාක්ෂිය තවමත් මට වධ දෙනවා” යයි ඈ කියා සිටියාය. එවන් වැරදි කරන අය ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගෙන් උපකාර පැතීම අතිශයින් වැදගත්ය. (යාකොබ් 5:14, 15) කෙසේවෙතත්, බොහෝ ක්‍රිස්තියානි යුවළයන් ඥානවන්තව ක්‍රියා කර තම පූර්ව විවාහ ඇසුර තුළදී මෙම අන්තරායන්ගෙන් වැළකී සිටිති. (හිතෝපදේශ 22:3) තමන් එකිනෙකාට ස්නේහය පෙන්වන විදිහ ගැන ඔවුහු තමන්ටම සීමා දමාගනිති. ඔවුහු එකට හමු වෙන විට, තවත් කෙනෙකු තමා අසල සිටින බවට වගබලා ගන්නා අතර තනි වූ ස්ථානවල එකට සිටීමෙන් වැළකෙති.

13. ක්‍රිස්තියානීන් යෙහෝවාට සේවය නොකරන අය සමඟ විවාහ වීමේ අදහසින් ඇසුරු නොකළ යුත්තේ ඇයි?

13 යෙහෝවාට සේවය නොකරන අය සමඟ විවාහ ඇසුරක් පටන්ගන්නා ක්‍රිස්තියානීහු ඉතා දරුණු ගැටලුවලට මුහුණ දීමට තිබෙන ඉඩ කඩ වැඩිය. නිදසුනක් වශයෙන්, යෙහෝවා දෙවිට ප්‍රේම නොකරන කෙනෙකු සමඟ ඔබට එවැනි ඇසුරක් පටන්ගැනීම ගැන හිතන්නවත් පුළුවන්ද? යෙහෝවාට ප්‍රේම කරන සහ නිර්මලකම පිළිබඳ ඔහුගේ ප්‍රමිතිවලට ගෞරව කරන අය සමඟ පමණක් ක්‍රිස්තියානීන් විවාහයෙන් එක්වීම අතිශයින් වැදගත්ය. දෙවිගේ වචනය අපට පවසන්නේ මෙයයි. “නොඇදහිලිකරුවන් සමඟ එක් නොවන්න. මන්ද, ධර්මිෂ්ඨකම සහ දුෂ්ටකම අතර ඇති සම්බන්ධය කුමක්ද? නැත්නම්, ආලෝකය සහ අන්ධකාරය අතර ඇති පංගුකාරකම කුමක්ද?”—2 කොරින්ති 6:14, NW.

14, 15. (අ) “වේශ්‍යාකම” යන වදනේ අර්ථය සම්බන්ධයෙන් ඇතමුන් දරන වැරදි මතය කුමක්ද? (ආ) “වේශ්‍යාකම” යන වචනයට කිනම් ආකාරයේ ක්‍රියා ඇතුළත් වේද? තවද ක්‍රිස්තියානීන්ට ‘වේශ්‍යාකම වෙතින් පලා යා’ හැක්කේ කෙසේද?

14 මෙහිදී කාරණා ගැන හරිහැටි දැනුම ලබාගෙන සිටීමද අතිශයින් වැදගත්ය. වේශ්‍යාකම යනු කුමක්දැයි කියා අපි හරියටම දන්නේ නැත්නම් අපට එයින් පලා දිවිය නොහැකියි. අද දින ලෝකයේ ඇතමුන්ට “වේශ්‍යාකම” යන්නෙහි නියම අරුත ගැන ඇත්තේ වැරදි මතයකි. විවාහ නොවී සිටියදී ලිංගික සංසර්ගයෙන් වැළකෙනවා නම් වෙනත් ක්‍රමවලින් තමන්ගේ ලිංගික ආශාවන් සන්තර්පණය කරගැනීමේ වරදක් නැති බව බොහෝදෙනෙක් සිතති. නහඹර වියේ අනවශ්‍ය ගැබ්ගැනීම් ගණනාවක් අඩු කිරීමට උත්සාහ කරන ඇතැම් පිළිගත් සෞඛ්‍යය ආයතන පවා යෞවනයන්ව දිරිගන්වා ඇත්තේ ගර්භිණීභාවයට තුඩු නොදෙන අස්වාභාවික ලිංගික චර්යාවන්හි යෙදෙන ලෙසය. එවන් අවවාද බොහෝ සෙයින් මුළාකරවනසුලු වීම කනගාටුදායකය. නිර්මලකම පවත්වාගැනීම යනු අවිවාහකව සිටින විට ගර්භිණීභාවයෙන් වැළකී සිටීම පමණක්ම නොවේ. තවද, “වේශ්‍යාකම” යන්නෙහි නියම තේරුම එවැනි සීමිත හෝ පටු එකක් හෝ නොවේ.

15 “වේශ්‍යාකම” ලෙසට පරිවර්තනය කර ඇති පොර්නියා යන ග්‍රීක් වචනයට ඉතා පුළුල් අර්ථයක් ඇත. ඉන් විස්තර කරන්නේ විවාහ වී නැති පුද්ගලයන් අතර පවතින ලිංගික සම්බන්ධතා ගැනය. එමෙන්ම ලිංගික ඉන්ද්‍රියයන් වැරදි ලෙස යොදාගැනීමද ඉන් අවධාරණය කෙරේ. ගණිකා නිවාසවල බහුල ලෙස සිදු කෙරෙන ක්‍රියාවන් වන මුඛ සංවාසය, ගුද සංවාසය සහ වෙනත් පුද්ගලයෙකුගේ ලිංගේන්ද්‍රය අතින් පිරිමැද ලිංගික උත්තේජනය දීම යන ක්‍රියා පොර්නියා යන වචනයට ඇතුළත්ය. එවන් ක්‍රියාවන් “වේශ්‍යාකම” නොවේ කියා සිතන පුද්ගලයෝ තමන්වම මෝඩයන් කරගෙන රවටාගනිමින් සිටින අතර, සාතන්ගේ මලපත්වල ගොදුරු බවට පත් වී සිටිති. (2 තිමෝති 2:25ආ, 26අ) එපමණක්ද නොව, නිර්මලකම පවත්වාගැනීම කීමෙන් අදහස් වන්නේ වේශ්‍යාකමට ඇතුළත් වන ඕනෑම ක්‍රියාවකින් වැළකී සිටීමට වඩා වැඩි යමකි. ‘වේශ්‍යාකම වෙතින් පලා දිවීමට’ නම්, පොර්නියා නමැති දරුණු පාපයට තුඩු දිය හැකි සියලුම ආකාරයේ ලිංගික අපවිත්‍රකම්වලින් සහ සල්ලාලකම් හෙවත් නින්දිත හැසිරීම්වලින් අප වැළකී සිටිය යුතුය. (එපීස 4:19) ඒ අයුරින් අපි නිර්මලකම පවත්වාගනිමු.

ආලවන්ත හැඟීම් පෑම නමැති අන්තරායෙන් වළකින්න

16. එකිනෙකාට ආදරය කිරීම සුදුසු වන්නේ කිනම් පසුතලයකද? මෙය දැකිය හැකි වන්නේ කිනම් ශුද්ධ ලියවිලිමය උදාහරණය තුළද?

16 අප අපගේ නිර්මලකම පවත්වාගැනීමට නම්, අප විසින් පරෙස්සම් විය යුතු තවත් අන්තරායක් වන්නේ, ආලවන්ත හැඟීම් පෑමයි. ආලවන්ත හැඟීම් පෑම විරුද්ධ ලිංගයේ දෙදෙනෙකු අතර තිබෙන කිසිම හානියක් නැති අහිංසක විනෝදයක් පමණක්ය කියා ඇතමුන් තදින් කියා සිටිනවා විය හැකියි. ප්‍රේමාතුර හැසිරීමකට වේලාවක් හා තැනක් තිබෙන බව පිළිගත යුතුය. ඊසාක් හා රෙබෙකා එකිනෙකාට ‘ආදරය කරනවා’ දකිනු ලැබූ අතර, ඔවුන් හුදෙක් සහෝදරයෙකු හා සහෝදරියකම වුණේ නැති බව ඒ දුටු අයට පෙනී ගියේය. (උත්පත්ති 26:7-9) කෙසේවුවද ඔවුහු ස්වාමිපුරුෂයා හා භාර්යාව වූහ. ඔවුන් අතර ස්නේහය පළ කිරීම් සුදුසු යමක් විණ. ආලවන්ත හැඟීම් පෑම යනු වෙනත් කාරණයකි.

17. ආලවන්ත හැඟීම් පෑම යනු කුමක්ද? ගැටලුව කෙසේ පාලනය කළ හැකිද?

17 ආලවන්ත හැඟීම් පෑම අපට මේ ආකාරයෙන් නිර්වචනය කළ හැකියි. එනම්, විවාහ වීමට කිසිම අදහසක් නැති විට ප්‍රේමාතුර හැඟීම් සහිත උනන්දුවක් දැක්වීමයි. මිනිසුන් යනු සංකීර්ණ ජීවීන්ය. එම නිසා ආලවන්ත හැඟීම් පෑමේ ක්‍රම ගණනාවක් තිබෙන බවට කිසිදු සැකයක් නැත. ඇරත් සමහරක් ක්‍රම ඉතා සියුම්ය. (හිතෝපදේශ 30:18, 19) එසේනම්, පුද්ගලයන්ගේ චර්යා හැසිරීම් පිළිබඳව තද නීති දැමීම ඊට විසඳුම නොවේ. ඒ වෙනුවට, ඊට වඩා ඉතා උදාර වූද උසස් වූද දෙයක් අවශ්‍ය කරයි. එනම්, අවංක ආත්ම සෝදිසියක් කිරීම සහ බයිබල් ප්‍රතිපත්ති හොඳ සිහිකල්පනාවෙන් යුතුව අදාළ කරගැනීමයි.

18. ඇතමුන් ආලවන්ත හැඟීම් පෑමට පෙලඹෙන්නේ මන්ද? ආලවන්ත හැඟීම් පෑම හානිකර වන්නේ මන්ද?

18 අවංක ආත්ම සෝදිසියක් කර බැලුවොත්, විරුද්ධ ලිංගයේ යම් කෙනෙකු අප ගැන ප්‍රේමාතුර හැඟීම් සහිත උනන්දුවක් දක්වන විට අපට යම් තරමක ආඩම්බරයක් දැනෙන බව අපෙන් බොහෝදෙනෙකුට පිළිගැනීමට සිදු වේ. එය ස්වභාවික දෙයකි. එහෙත්, අනුන් තුළ එවන් උනන්දුවක් ඇති කරලීම පිණිස අප ආලවන්ත හැඟීම් පානවාද? අප එසේ කරන්නේ අනුන් තුළත් එවැනිම ප්‍රතිචාරයක් අප කෙරෙහි ඇති කරලීමටද? නැතහොත් එවැනි ප්‍රතිචාරයකින් අප ගැන යම් දුරකට උසස් හැඟීමක් ඇති කරලීමටද? එසේනම්, අප විසින් සිදු කරනු ලැබිය හැකි වේදනාව ගැන අප සිතා බලා තිබෙනවාද? නිදසුනක් වශයෙන්, හිතෝපදේශ 13:12 මෙසේ කියයි. “පැතූ දේ ප්‍රමාද වීමෙන් සිත කලකිරෙන්නේය.” අප හිතාමතාම යම් කෙනෙකුට ආලවන්ත හැඟීම් පානවා නම්, එම පුද්ගලයාට එය කොතරම් බලපානවාද කියා සමහරවිට අප දන්නේ නැත. ඔහු හෝ ඇය පූර්ව විවාහ ඇසුරක් පැවැත්වීමට හෝ සමහරවිට විවාහ වීමට පවා හද තුළ බලාපොරොත්තු ඇති කරගන්නවා විය හැකියි. මේ මගින් ඇති වන බලාපොරොත්තු කඩවීම ඉතා වේදනාකාරී විය හැකියි. (හිතෝපදේශ 18:14) මේ අනුව, අනුන්ගේ හැඟීම් සමඟ හිතාමතාම සෙල්ලම් කිරීම කෲරය, නපුරුය.

19. ආලවන්ත හැඟීම් පෑමෙන් ක්‍රිස්තියානි විවාහවලට මහත් අන්තරාවක් විය හැක්කේ කෙසේද?

19 විවාහක පුද්ගලයන් කෙරෙහි ආලවන්ත හැඟීම් පෑමෙන් වැළකීම අතිශයින්ම වැදගත් කාරණයකි. විවාහක පුද්ගලයන් කෙරෙහි ප්‍රේමාතුර හැඟීම් සහිත උනන්දුවක් දැක්වීම හෝ විවාහක පුද්ගලයෙකු විවාහයෙන් පිටත කෙනෙකුට එවන් උනන්දුවක් දැක්වීම වැරදිය. තමාගේම කලත්‍රයාට අමතරව විරුද්ධ ලිංගයේ වෙනත් කෙනෙකු කෙරෙහිද එවන් හැඟීම් ඇති කරගැනීමේ වරදක් නැතැයි යන වැරදි මතය ඇතැම් ක්‍රිස්තියානීන් තබාගෙන සිටීම කනගාටුදායකය. ඇතැම්හු තම අභ්‍යන්තර හැඟීම් එවන් “මිතුරෙකුට හෝ මිතුරියකට” පවසන අතර, තමන්ගේ කලත්‍රයා සමඟවත් කියන්නේ නැති පෞද්ගලික දේවල් පවා හෙළි කරති. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, එම ආලවන්ත හැඟීම් උත්සන්න වී චිත්තවේගීය වශයෙන් එකිනෙකා කෙරෙහි රඳා පවතින තත්වයකට පවා පත් වන අතර, එය විවාහයක් දෙදරා ගොස් විනාශ වීමට පවා තුඩු දිය හැකියි. මේ නිසා, පරදාර සේවනය ගැන යේසුස් දුන් ප්‍රඥාවන්ත අනතුරු ඇඟවීම විවාහක ක්‍රිස්තියානීන් මතක තබාගැනීම යහපති. එනම්, පරදාර සේවනය ආරම්භ වන්නේ හදවතෙනි. (මතෙව් 5:28) එසේනම්, අපි සිත ආරක්ෂා කරගෙන, එවන් විනාශකාරී ප්‍රතිඵලවලට තුඩු දෙන තත්වයන්ගෙන් වළකිමු.

20. අප අපේ නිර්මලකම කෙසේ සැලකීමට අදිටන් කරගත යුතුද?

20 අද දින දුරාචාරමය ලෝකයේ නිර්මලකම පවත්වාගැනීම පහසු දෙයක් නොවන බව කිව යුතු නැත. එහෙත්, ඔබේ නිර්මලකම නැති වුණු පසු යළි ලබාගැනීමට වඩා එය පවත්වාගෙන යෑම වඩාත් පහසු බවද මතක තබාගන්න. යෙහෝවාට ‘අතිශයින් කමාවීමට’ හැකි අතර, තමන්ගේ පව් ගැන සැබවින්ම පසුතැවිලි වෙන අයව පවිත්‍ර කිරීමටද ඔහුට හැකි බව ඇත්තයි. (යෙසායා 55:7) කෙසේවෙතත්, යෙහෝවා දුරාචාර ක්‍රියා කරන අයව එම ක්‍රියාවල පලවිපාකවලින් ගලවන්නේ නැත. එහි කටුක විපාක වසර ගණනාවක් පුරා, සමහරවිට ජීවිත කාලය පුරාම තිබිය හැකියි. (2 සාමුවෙල් 2:9-12) ඒ නිසා හැම අතින්ම ඔබගේ සිත ආරක්ෂා කරගැනීමෙන් ඔබේ නිර්මලකම පවත්වාගන්න. යෙහෝවා දෙවි ඉදිරියේ ඔබේ පිරිසිදු නිර්මල ස්ථාවරය අනර්ඝ නිධානයක් ලෙස සලකන්න. එය කිසි විටෙකත් අහිමි කරගන්න නම් එපා!

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• නිර්මලකම යනු කුමක්ද? එය එතරම්ම වැදගත් වන්නේ මන්ද?

• අපට අපේ සිත ආරක්ෂා කරගත හැක්කේ කෙසේද?

• වේශ්‍යාකම වෙතින් පලා දිවීමට ඇතුළත් වන්නේ මොනවාද?

• අප ආලවන්ත හැඟීම් පෙන්වීමෙන් වැළකී සිටිය යුත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[11වන පිටුවේ පින්තූර]

කාර් රථයක් නිසි ලෙස පදවන්නේ නැත්නම් එය මාරාන්තික විය හැකියි

[12වන පිටුවේ පින්තූර]

අප අනතුරු ඇඟවීම් නොසලකාහරිනවා නම් කුමක් විය හැකිද?

[13වන පිටුවේ පින්තූරය]

පවිත්‍ර ලෙස කරන පූර්ව විවාහ ඇසුරක් ප්‍රීතිමත්ය, දෙවිට ගෞරවය ගෙන දෙයි