Skip to content

පටුනට යන්න

නොරැවටෙන්න

නොරැවටෙන්න

නොරැවටෙන්න

“හිස් වූ රැවටිලිකාරකම් මාර්ගයෙන් කිසිවෙකු ඔබව කොල්ලයක් කර නොගන්නා හැටියට පරෙස්සම් වන්න.”—කොලොස්සි 2:8, NW.

1-3. (අ) රැවටීම එදිනෙදා ජීවිතයේ සෑම අංගයකම පාහේ පැතිර ඇති බව පෙන්වන්නේ කිනම් උදාහරණවලින්ද? (ආ) ලෝකයේ රැවටිලිකාරකම් ගැන අප පුදුම නොවිය යුත්තේ මන්ද?

කිසිම සේවාදායකයෙකු ඔබට බොරු කියා නැත්තේ ඔබ අතුරින් කී දෙනෙකුටද?” වසර කිහිපයකට පෙරාතුව, සමීක්ෂණයක් පවත්වමින් සිටි නීතිය පිළිබඳ එක්තරා මහාචාර්යවරයෙක් එම ප්‍රශ්නය ඇසීය. ඊට ලැබුණු ප්‍රතිචාරය? ඔහු මෙසේ පැහැදිලි කරයි. “නීතිඥයන් දහස් ගණනක් අතරින්, කිසිම සේවාදායකයෙකු තමාට බොරු කියා නැති බව පැවසුවේ එක් නීතිඥයෙක් පමණි.” ඊට හේතුව? “මෙම නීතිඥයා විශාල වෙළඳ සමාගමක තම රැකියාව ආරම්භ කොට තිබුණේ එම සමීක්ෂණය පැවැත්වීමට ටික කලකට පෙරාතුව වන අතර, ඔහු ඒ වන විට කිසිම සේවාදායකයෙකු සමඟ කතා කර තිබුණේ නැත.” මෙම අද්දැකීම, ඉතා කනගාටුදායක යථාර්ථයක් හුවා දක්වයි. එනම්, බොරු කීම සහ රැවටීම අද දින ලෝකයේ පොදු දෙයක් වී ඇති බවය.

2 රැවටීම බොහෝ ක්‍රමවලින් සිදු කෙරෙන අතර, එය නූතන ජීවිතයේ සෑම අංගයකටම පාහේ පැතිර ගොස් තිබේ. මාධ්‍ය පුවත් තුළ මේ සඳහා බොහෝ උදාහරණ දැකිය හැකියි. එනම්, දේශපාලකයන් තම ක්‍රියාවන් ගැන බොරු කීම, ගණකාධිකාරිවරයන් සහ නීතිඥයන් සංස්ථා ලාභ වැඩියෙන් සඳහන් කිරීම, දැන්වීම් ප්‍රචාරයන් මගින් පාරිභෝගිකයන්ව මුළා කිරීම, නඩු කියන්නන් රක්ෂණ සමාගම් මුළා කිරීම යනාදිය උදාහරණ කිහිපයක් පමණි. ආගමික වශයෙන් කෙරෙන රැවටීම්ද ඇත. අමරණීය ආත්මය, නිරාගින්න සහ ත්‍රිත්වය වැනි බොරු මූලධර්ම ඉගැන්වීමෙන් පූජක පක්ෂය මහජනයාව මුළා කරති.—2 තිමෝති 4:3, 4.

3 මේ ආකාර රැවටීම් ගැන අප පුදුම විය යුතුද? ඇත්තෙන්ම නැත. “අන්තිම දවස්” ගැන බයිබලය අනතුරු ඇඟවූයේ මෙසේයි. “දුෂ්ට මිනිස්සු හා ප්‍රෝඩාකාරයෝ අනුන්ව නොමඟ යවමින් හා තමන් නොමඟ යමින් වඩ වඩාත් නරක් වන්නෝය.” (2 තිමෝති 3:1, 13, NW) ක්‍රිස්තියානීන් වශයෙන්, අපව සත්‍යතාවයෙන් ඉවතට ගසාගෙන යෑමට සැලැස්විය හැකි මුළා කරවන අදහස් ගැන අප සුපරීක්ෂාකාරීව සිටිය යුතුයි. මෙහිදී ප්‍රශ්න දෙකක් පැනනැඟේ. අද දින රැවටීම මෙතරම් හාත්පස පැතිර ඇත්තේ මන්ද? එමෙන්ම අප නොරැවටෙන්නට වගබලා ගන්නේ කෙසේද?

අද දින මෙතරම් රැවටීම් ඇත්තේ මන්ද?

4. ලෝකය පුරා රැවටීම මෙතරම් පැතිර තිබීමට හේතුව ගැන බයිබලය පැහැදිලි කරන්නේ කෙසේද?

4 මේ ලෝකයේ රැවටීම් මෙතරම් හාත්පස පැතිර පැවතීමට හේතුව බයිබලයේ පැහැදිලිව කියයි. “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත් බව” ප්‍රේරිත යොහන් ලීවේය. (1 යොහන් 5:19, NW) එම “දුෂ්ටයා” සාතන් වන යක්ෂයාය. ඔහු සම්බන්ධව යේසුස් පැවසුවේ මෙසේයි. “ඔහු තුළ සත්‍යය නැති හෙයින් ඔහු සත්‍යය තුළ ස්ථිරව සිටියේ නැත. ඔහු බොරු කියද්දී තමාගේම අදහස්වලට අනුව කතා කරයි. මන්ද, ඔහු බොරුකාරයෙකි. බොරුවේ පියාය.” එසේනම්, මේ ලෝකය එහි පාලකයාගේ ස්වභාවය, උපක්‍රම සහ රැවටිලිකාර ගතිලක්ෂණ පිළිබිඹු කිරීම ගැන පුදුම විය යුතුද?—යොහන් 8:44; 14:30; එෆීස 2:1-3, NW.

5. මේ අන්තිම කාලයේදී සාතන් අපව රැවටීමට තමා දරන වෑයම තීව්‍ර කර ඇත්තේ කෙසේද? තවද විශේෂයෙන්ම ඔහු ඉලක්ක කරගෙන ඇත්තේ කාවද?

5 මේ අන්තිම කාලයේ, සාතන් තමාගේ ප්‍රයත්නයන් තීව්‍ර කර තිබේ. ඔහුව පොළොවට හෙළනු ලැබ තිබේ. තමන්ට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්නා ඔහු, සිටින්නේ ‘මහත් කෝපයෙනි.’ බොහෝ මිනිසුන්ව විනාශ කිරීමට අදිටන් කරගෙන සිටින ඔහු, ‘මුළු පොළොවම නොමඟ යවමින්’ සිටී. (එළිදරව් 12:9, 12, NW) සාතන් වනාහි ඉඳ හිට රවටන්නෙකු නොවේ. ඔහු මිනිස් වර්ගයාව මුළා කිරීමට දරන ප්‍රයත්නය කිසිම විටෙක නවත්වන්නේ නැත. * නොඅදහන අයගේ මනස් අන්ධ කර දෙවිගෙන් ඈත් කිරීම පිණිස ඔහු වංචාව හා රැවටීම ඇතුළු තම අවි ගබඩාවේ ඇති සෑම රැවටිලිකාර ක්‍රමයක්ම යොදාගනී. (2 කොරින්ති 4:4, NW) මේ මහා රැවටිලිකාරයා විශේෂයෙන්ම නැඹුරු වී සිටින්නේ “ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද” දෙවිට නමස්කාර කරමින් සිටින අයව ගිල දැමීමටය. (යොහන් 4:24, NW; 1 පේතෘස් 5:8) ‘මට පුළුවන් ඕනෑම කෙනෙක්ව දෙවිගෙන් ඉවත් කරන්න’ යන්න සාතන් පවසා තිබෙන බව කිසිදා අමතක නොකරන්න. (යෝබ් 1:9-12) සාතන්ගේ ‘රැවටිලිකාර උපායවල්’ කිහිපයක් හඳුනාගෙන ඒවායින් ආරක්ෂා වී සිටිය හැකි ආකාරය ගැන අපි දැන් සලකා බලමු.—එෆීස 6:11, ජුවිෂ් නිව් ටෙස්ටමන්ට්.

ඇදහිල්ලට එරෙහිව කැරලිගසන අයට නොරැවටීමට වගබලා ගන්න

6, 7. (අ) ඇදහිල්ලට එරෙහිව කැරලිගසන බොහෝදෙනෙකු කියා සිටින්නේ කුමක්ද? (ආ) ඇදහිල්ලට එරෙහිව කැරලිගසන අයට වුවමනා දෙය පිළිබඳව ශුද්ධ ලියවිලිවල පැහැදිලිව පෙන්වන්නේ කුමක්ද?

6 සාතන් දෙවිගේ සෙනඟව රැවටීමට ගන්නා උත්සාහයේදී ඇදහිල්ලට එරෙහිව කැරලිගසන අයව බොහෝ කලක් තිස්සේ යොදාගෙන ඇත. (මතෙව් 13:36-39) මේ අය තමන් යෙහෝවාට නමස්කාර කරන බවත් බයිබලය විශ්වාස කරන බවත් කියා සිටිනවා විය හැකියි. එහෙත් ඔවුහු ඔහුගේ සංවිධානයේ දෘශ්‍යමාන කොටස ප්‍රතික්ෂේප කරති. ඇතැම් අය බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන “මහා බබිලෝනියේ” දේවඅපහාසාත්මක මූලධර්මයන්ට පවා ආපසු හැරෙති. (එළිදරව් 17:5; 2 පේතෘස් 2:19-22) දිව්‍ය ආනුභාවය යටතේ, බයිබල් ලේඛකයෝ මෙම ඇදහිල්ලට එරෙහිව කැරලිගසන්නන්ගේ චේතනා සහ ක්‍රම හෙළි කරනු පිණිස ඉතා ප්‍රබල වචන යොදාගත්හ.

7 ඇදහිල්ලට එරෙහිව කැරලිගසන අයට වුවමනා වන්නේ මොනවාද? සත්‍යය බවට තමන් සිතා සිටි ආගම අත්හැර යෑමට ඉටා සිටින වැඩිදෙනෙකුට වුවමනා වන්නේ අනුන්වත් ඔවුන් සමඟම රැගෙන යෑමටය. තමන් ඉවත්ව ගොස් තමන්ටම ගෝලයන් සාදාගන්නවා වෙනුවට, ඇදහිල්ල අතහැර යන බොහෝදෙනෙකු සොයන්නේ, ‘තමන් අනුව යෑමට ගෝලයන් [එනම්, ක්‍රිස්තුස්ගේ ගෝලයන්] ඇදගැනීමටය.’ (ක්‍රියා 20:29, 30, NW) බොරු ගුරුවරුන් සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් මෙම හදිසි අනතුරු ඇඟවීම දුණි. “හිස් වූ රැවටිලිකාරකම් මාර්ගයෙන් කිසිවෙකු ඔබව කොල්ලයක් කර නොගන්නා හැටියට පරෙස්සම් වන්න.” (කොලොස්සි 2:8, NW) ඇදහිල්ලට එරෙහිව කැරලිගසන බොහෝදෙනෙකු කරන්නේ මෙය නොවේද? යම් පවුලක සිටින අහිංසක සාමාජිකයෙකුව එම පවුලේම කෙනෙකු විසින් පැහැරගන්නවා සේ, ඇදහිල්ලට එරෙහිව කැරලිගසන අය උත්සාහ කරන්නේ ඔවුන්ව සැක නොකර ඔවුන් කෙරෙහි විශ්වාසය තබන ඇදහිලිවන්තයන්ව රැළෙන් ඉවතට ඇදගෙන යෑමටයි.

8. තමන්ගේ ඉලක්ක ඉටු කරගැනීම පිණිස ඇදහිල්ලට එරෙහිව කැරලිගසන අය යොදාගන්නා ක්‍රම මොනවාද?

8 තම ඉලක්ක ඉටු කරගැනීමට ඇදහිල්ලට එරෙහිව කැරලිගසන අය යොදාගන්නා ක්‍රම මොනවාද? බොහෝවිට ඔවුන් කරන්නේ විකෘති වූද, අඩක් සත්‍යය වූද, සම්පූර්ණයෙන්ම බොරු වූද දේවල් පැතිරවීමයි. තම අනුගාමිකයන්ට විරුද්ධව ‘නානාවිධ අයුතු චෝදනා’ එල්ල වනු ඇති බව යේසුස් දැන සිටියේය. (මතෙව් 5:11, නව අනුවාදය) එවන් ද්වේෂසහගත විරුද්ධවාදීහු අනුන්ව රැවටීමේ අරමුණින් සත්‍යය නොවන දේ පවසති. ප්‍රේරිත පේතෘස් අනතුරු අඟවමින් පවසා සිටියේ මෙම ඇදහිල්ලට එරෙහිව කැරලිගසන අය, තමන්ගේම වාසි ප්‍රයෝජන සඳහා “වංචනික වචන” යොදාගෙන “රැවටිලිකාර ඉගැන්වීම්” පතුරා, ‘ශුද්ධ ලියවිලි විකෘති’ කරනු ඇති බවයි. (2 පේතෘස් 2:3, 13; 3:16, NW) කනගාටුදායක දේ නම්, මෙම කැරලිගසන්නන් “සමහරුන්ගේ ඇදහිල්ල අවුල්” කරලීමෙහි සාර්ථක වී සිටීමය.—2 තිමෝති 2:18, NW.

9, 10. (අ) ඇදහිල්ලට එරෙහිව කැරලිගසන අයට නොරැවටීමට අපට වගබලා ගත හැක්කේ කෙසේද? (ආ) දෙවිගේ අරමුණ පිළිබඳව අපගේ අවබෝධයේ යම් සකස් කිරීම් කිරීම අවශ්‍ය වූ විට අප කලබල නොවන්නේ මන්ද?

9 ඇදහිල්ලට එරෙහිව කැරලිගසන අයට නොරැවටීමට අපට වගබලා ගත හැක්කේ කෙසේද? දෙවිගේ වචනයේ සඳහන් අවවාදයට අවනත වීමෙනි. එහි මෙසේ කියයි. “ඔබ ඉගෙනගත් ඉගැන්වීමට පටහැනිව භේද උපදවා, බාධාවට හේතු වන දේවල් ඇති කරන අය ගැන සෝදිසියෙන් සිට, ඔවුන්ව ඇසුරු නොකර [සිටින්න].” (රෝම 16:17, NW) අප ‘ඔවුන්ව ඇසුරු නොකර සිටින්නේ’ ඔවුන් වාචිකව හෝ පොත් පත්වලින් හෝ අන්තර්ජාලයෙන් හෝ පවසන තර්ක මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමෙනි. අප එවන් ස්ථාවරයක් ගන්නේ මන්ද? පළමුව, දෙවිගේ වචනය එසේ කිරීමට අපට නියම කරන නිසාය. තවද යෙහෝවා අපගේ උපරිම යහපත ගැන තකන බව අපි විශ්වාස කරන්නෙමු.—යෙසායා 48:17, 18.

10 දෙවනුව, අපව මහා බබිලෝනියෙන් පැහැදිලිවම වෙන් කරන්නාවූ වටිනා සත්‍යතාවන් අපට ඉගැන්වූ සංවිධානයට අපි ඇලුම් කරන්නෙමු. ඒ අතරම, දෙවිගේ අරමුණ පිළිබඳ අපගේ දැනුම පරිපූර්ණ එකක් නොවන බවත්, පසුගිය වසර ගණනාව පුරා අපගේ අවබෝධයෙහි යම් සකස් කිරීම් සිදු කර තිබෙන බවත් අපි වටහාගන්නෙමු. එවන් සකස් කිරීම් සිදු කෙරෙන විට යෙහෝවා කෙරෙහි බලා සිටීමට පක්ෂපාත ක්‍රිස්තියානීහු සතුටු වෙති. (හිතෝපදේශ 4:18) මේ අතර, අපි දෙවි විසින් යොදාගනු ලබන්නාවූ සංවිධානය අතහැර නොයන්නෙමු. මන්ද, ඒ කෙරෙහි ඔහුගේ ආශීර්වාද තියෙන බව පැහැදිලිවම අප දකින නිසාය.—ක්‍රියා 6:7; 1 කොරින්ති 3:6.

තමාවම රවටා නොගැනීමට වගබලා ගන්න

11. අසම්පූර්ණ මිනිසුන් තුළ තමන්වම රවටාගැනීමේ ප්‍රවණතාවක් තිබෙන්නේ මන්ද?

11 අසම්පූර්ණ මිනිසුන්ට එක්තරා ප්‍රවණතාවක් තිබේ. සාතන් විසින් ඉතා විගසින්ම වැරදි ලෙස යොදාගන්නේ එයයි. එය නම් තමාවම රවටාගැනීමයි. “සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ” යයි යෙරෙමියා 17:9 පවසයි. තවද යාකොබ් මෙසේ ලීවේය. “එකිනෙකා තම තමාගේ ආශාවෙන් අදිනු ලැබ නොමඟට පොලඹවනු ලබන කල පරීක්ෂා කරනු ලබන්නේය.” (යාකොබ් 1:14, NW) අපගේ සිත අපව නොමඟට පොලඹවනු ලබන්නේ නම් එමගින් පාපය සිත්ගන්නාසුලු, හානිකර නොවන යමක් සේ අපට පෙනෙන්නට පුළුවනි. එය හරියට මාලුවෙකු හසු කරගැනීමට දමන ඇමක් මෙනි. එවන් දෘෂ්ටියක් රැවටිලිකාරය. මන්ද පාපයට තමාවම වහල් කරගැනීම අන්තිමේදී විනාශයට තුඩු දෙන නිසාය.—රෝම 8:6.

12. අප කිනම් ආකාරවලින් අපවම රවටාගන්නවා විය හැකිද?

12 අපවම රවටාගැනීමේ මලපතට අප පහසුවෙන් හසුවිය හැකියි. රැවටිලිකාර සිත පෞද්ගලිකත්වයේ බරපතළ දෝෂයක් නැතහොත් බරපතළ පාපයක් සාධාරණීකරණය කරනවා විය හැක. (1 සාමුවෙල් 15:13-15, 20, 21) දුෂ්ට දේට දැඩි සේ පෙලඹෙන අපගේ සිත නොහොබිනා හැසිරීමක යෙදී ඊට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට මං සොයනවාද විය හැකියි. නිදසුනක් වශයෙන්, විනෝදාස්වාදය යන කාරණය සලකා බලන්න. ඇතැම් විනෝදාස්වාදයන් සුවදායකය, සතුටක් භුක්ති විඳිය හැකිය. කෙසේවුවද, මේ ලෝකයෙන් ඉදිරිපත් කෙරෙන බොහෝ විනෝදාස්වාදයන්, එනම් චිත්‍රපටිවලින්, රූපවාහිනි වැඩසටහන්වලින් සහ අන්තර්ජාලයෙන් ඉදිරිපත් කෙරෙන විනෝදාස්වාදයන් ඉතා පිළිකුල්සහගත හා දුරාචාරමය දර්ශනවලින් ගහනය. කිසිම හානියක් නැතුව මෙවන් පහත් විනෝදාස්වාදයන් නැරඹිය හැකි බව අපටම ඒත්තුගන්වා ගැනීම පහසුය. “ඒකෙන් මට ප්‍රශ්නයක් නැත්නම්, ඒකෙ ඇති වරද මොකක්ද?” කියා ඇතමුන් තර්ක කරන්නට පවා පුළුවන. එහෙත්, එවන් පුද්ගලයෝ, ‘බොරු තර්ක විතර්කවලින් තමන්වම රවටාගනිමින්’ සිටිති.—යාකොබ් 1:22, NW.

13, 14. (අ) අපගේ හෘදය සාක්ෂිය සැමවිටම හරි මඟ පෙන්වීමක් ලබා නොදෙන බව පෙන්වන්නේ කිනම් ශුද්ධ ලියවිලිමය උදාහරණවලින්ද? (ආ) අපට අපවම රවටාගැනීමෙන් ආරක්ෂා විය හැක්කේ කෙසේද?

13 අපට අපවම රවටාගැනීමෙන් ආරක්ෂා විය හැක්කේ කෙසේද? සියල්ලටම පළමුවෙන් අප මතක තබාගත යුතු දෙයක් නම්, මිනිසුන්ගේ හෘදය සාක්ෂිය සැමවිටම විශ්වාස කටයුතු දෙයක් නොවන බවයි. ප්‍රේරිත පාවුල් සම්බන්ධ සිද්ධිය සැලකිල්ලට ගන්න. ක්‍රිස්තියානියෙකු වීමට පෙරාතුව, ඔහු ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට පීඩා කළේය. (ක්‍රියා 9:1, 2) ඔහුගේ හෘදය සාක්ෂිය ඒ කාලයේදී ඔහුගේ සිතට කරදර නොකළා විය හැකියි. එහෙත්, එය ඔහුට වැරදි ලෙස මඟ පෙන්වා තිබූ බව පැහැදිලියි. ‘මම නොදන්නාකමින් සහ ඇදහිල්ල නැතිකමින් ක්‍රියා කළෙමි’ යයි පාවුල් පැවසීය. (1 තිමෝති 1:13, NW) යම් විනෝදාස්වාදයක් රස විඳීම ගැන අපගේ හෘදය සාක්ෂිය අපට කරදර කරන්නේ නැතිය යන කාරණයෙන්ම අප කරන දෙය හරි දෙයක් වන්නේ නැත. හරි මඟ පෙන්වීමක් දිය හැක්කේ දේවවචනයෙන් නිසි ලෙස පුහුණු කරනු ලැබූ හෘදය සාක්ෂියකට පමණි.

14 අප අපවම රවටාගැනීමෙන් වැළකීමට නම්, අප විසින් මනසේ තබාගත යුතු ඇතැම් උපකාරවත් යෝජනා තිබේ. ඔබ ගැනම යාච්ඤා පූර්වකව සිතා බලන්න. (ගීතාවලිය 26:2; 2 කොරින්ති 13:5) ඔබ ඔබ ගැනම අවංක තක්සේරුවක් කරනවා නම්, ඔබගේ දෘෂ්ටිකෝණයේ සහ ඔබගේ මාර්ගවල යම් වෙනස්කම් කිරීමේ අවශ්‍යතාව ඔබට පෙනී යනු ඇත. අන්‍යයන්ට සවන් දෙන්න. (යාකොබ් 1:19) අප අප ගැනම කරන ආත්ම සෝදිසිය හුදෙක් අපගේම චිත්තවේගී හැඟීම් මත පදනම් වීමට ඉඩ තිබෙන හෙයින්, මේරූ සෙසු ක්‍රිස්තියානීන් විසින් ඉදිරිපත් කෙරෙන සැබෑ කරුණු මත පදනම් වූ සමබර අදහස්වලට සවන් දීම ඥානවන්තය. ඔබ ගන්නා තීරණ හෝ ඔබ ක්‍රියා කරන ආකාරය, සමබර වූ අද්දැකීම් ලත් සෙසු ඇදහිලිවන්තයන්ගේ ඇස් හමුවේ නුසුදුසු හැසිරීමක් වේ නම්, ඔබට ඔබගෙන්ම මෙසේ ඇසිය හැකියි. ‘සමහරවිට මගේ හෘදය සාක්ෂිය නිසි ලෙස පුහුණු කරලා නැතුවා විය හැකිද? නැත්නම් මගේ සිත මාවම රවටනවා විය හැකිද?’ නිතරම බයිබලය සහ බයිබලය මත පදනම් ප්‍රකාශනවල ඇතුළත් තොරතුරු ගැන මෙනෙහි කරන්න. (ගීතාවලිය 1:2) එසේ කිරීමෙන් ඔබගේ සිතිවිලි, ආකල්ප සහ හැඟීම් දේවප්‍රතිපත්තිවලට අනුකූලව තබාගැනීමට උපකාරවත් වේවි.

සාතන්ගේ බොරුවලින් ආරක්ෂා වීමට වගබලා ගන්න

15, 16. (අ) අපව රැවටීමට සාතන් යොදාගන්නේ කිනම් ආකාරයේ බොරුද? (ආ) එවන් බොරු මගින් නොරැවටී සිටීමට අපට හැක්කේ කෙසේද?

15 සාතන් අපව රැවටීමට විවිධාකාරයේ බොරු යොදාගනී. ද්‍රව්‍යමය සැප සම්පත්වලින් සන්තෝෂය සහ තෘප්තිය ලැබෙන බව අපට ඒත්තුගැන්වීමට ඔහු උත්සාහ කරන නමුත් බොහෝවිට සත්‍ය බවට ඔප්පු වන්නේ එහි විරුද්ධ පැත්තයි. (දේශනාකාරයා 5:10-12) අප “අන්තිම දවස්වල” ජීවත් වෙමින් සිටින බවට පැහැදිලි සාක්ෂි තිබුණද, මේ දුෂ්ට ලෝකය සදහටම පවතින බව අප විසින් විශ්වාස කරනු ලැබීමයි ඔහුට වුවමනා වන්නේ. (2 තිමෝති 3:1-5) අනාචාරයේ යෙදෙමින් කාමුක වින්දනය සොයන්නවුන් බොහෝවිට තික්ත විපාක නෙළාගත්තද, දුරාචාරමය ජීවන රටාවක් පවත්වාගැනීමෙන් කිසිදු හානියක් වන්නේ නැතිය යන අදහසට සාතන් උඩගෙඩි දෙයි. (ගලාති 6:7) එවන් බොරු මගින් නොරැවටී සිටීමට අපට හැක්කේ කෙසේද?

16 බයිබලීය ආදර්ශවලින් ප්‍රයෝජන ගන්න. සාතන්ගේ බොරුවලට රැවටුණු විවිධ පුද්ගලයන් පිළිබඳව අනතුරු අඟවන ආදර්ශ බයිබලයේ අඩංගුය. ඔවුන් ද්‍රව්‍යමය දේවලට ඇලුම් කළ, තමන් ජීවත් වෙමින් සිටින කාලය ගැන තමාට තිබූ නිසි දෘෂ්ටිය අහිමි කරගත්, නැතහොත් දුරාචාරයට වැටුණු අය වූ අතර ඔවුන්ට නරක ප්‍රතිඵල අත් විය. (මතෙව් 19:16-22; 24:36-42; ලූක් 16:14; 1 කොරින්ති 10:8-11) නවීන දින ආදර්ශවලින් ඉගෙනගන්න. ඇතැම් ක්‍රිස්තියානීන්ද තම හදිසිතාවයේ හැඟීම ඉඳ හිට අහිමි කරගෙන තිබෙන අතර, දෙවිට සේවය කිරීම නිසා තමන්ට යම් හොඳ දේවල් අහිමි වී ඇතැයි විශ්වාස කරන තත්වයටද පත්ව තිබීම ගැන කනගාටුවෙන් වුවද පැවසීමට සිදු වේ. සතුට ලැබිය හැකියි කියා ඔවුන්ට සිතෙන ජීවිතයක් ගත කිරීමට ඔවුන් සත්‍යය අතහරින්නට පුළුවන. කෙසේවෙතත්, එවන් පුද්ගලයන් සිටින්නේ, ‘ලිස්සන තැන්වලය.’ මන්ද ඉක්මනින්ම හෝ කල්ගත වී හෝ ඔවුන්ගේ අභක්තික හැසිරීමේ කටුක තික්ත පල නෙළාගැනීමට ඔවුන්ට සිදු වේ. (ගීතාවලිය 73:18, 19) එම නිසා අනුන්ගේ වැරදිවලින් ඉගෙනගැනීම අපට කළ හැකි ඥානවන්ත දෙයකි.—හිතෝපදේශ 22:3.

17. යෙහෝවා අපට ප්‍රේම කරන්නේවත් අපව වටිනා පුද්ගලයන් හැටියට සලකන්නේවත් නැතිය යන බොරුව සාතන් ප්‍රවර්ධනය කරන්නේ මන්ද?

17 සාතන් ඉතා ප්‍රබල ලෙස යොදාගෙන ඇති තවත් බොරුවක් තිබේ. එය නම්, යෙහෝවා අපට ප්‍රේම නොකරන බවත් ඔහු අපව වටිනා පුද්ගලයන් හැටියට ගණන් නොගන්නා බවත්ය. සාතන් අසම්පූර්ණ මිනිසුන්ව වසර දහස් ගණනක් තිස්සේ අධ්‍යයනය කර තිබේ. අධෛර්ය කිරීමෙන් අපව දුර්වල කළ හැකි බව ඔහු හොඳින් දනී. (හිතෝපදේශ 24:10) මෙබැවින්, අප දෙවිගේ ඇස් හමුවේ නොවටින්නේය යන බොරුව ඔහු ප්‍රවර්ධනය කරයි. අපව ‘බිම හෙළනු ලැබ’ යෙහෝවා අප කෙරෙහි සැලකිල්ල දක්වන්නේ නැති බවට ඒත්තු ගියහොත්, අප යන මාර්ගය අත්හැර දැමීමට අප පෙලඹෙන්නට පුළුවන. (2 කොරින්ති 4:9, NW) ඇත්තටම මේ මහා රැවටිලිකාරයාට වුවමනා වන්නෙත් හරියටම එයමයි! එසේනම්, සාතන්ගේ මේ බොරුවට නොරැවටී සිටීමට වගබලා ගන්නට අපට හැක්කේ කෙසේද?

18. යෙහෝවාගේ ප්‍රේමය පිළිබඳව බයිබලය අපට සහතික කරන්නේ කෙසේද?

18 අප කෙරෙහි දෙවිගේ ප්‍රේමය ගැන බයිබලය පවසන දේ පෞද්ගලිකව මෙනෙහි කරන්න. ඇත්තෙන්ම යෙහෝවා අපව සැලකිල්ලට ගන්නා බවත්, පුද්ගලයන් වශයෙන් අපට ප්‍රේම කරන්නේය යන කාරණය සහතික කිරීමටත් දේවවචනය හදවතට කතා කරන උපමා කිහිපයක් යොදාගනී. ඔහු ඔබේ කඳුළු ඔහුගේ “භාජනයේ” තබාගනී. ඉන් අදහස් වන්නේ විශ්වාසවන්තව සිටීමට ඔබ දරන්නාවූ වෙහෙස තුළ ඔබ වගුරුවන කඳුළු ඔහු දකින බවයි. තවද ඔහු ඔබේ කඳුළු මතක තබාගනී. (ගීතාවලිය 56:8) ඔබේ ‘සිත් බිඳී ඇති’ අවස්ථාවන් දන්නා ඔහු එවන් මොහොතේදී ඔබ ළඟම සිටී. (ගීතාවලිය 34:18) “ඔබේ සියලු හිසකේ” සංඛ්‍යාව ඇතුළු ඔබ ගැන සෑම තොරතුරක්ම ඔහු දනී. (මතෙව් 10:29-31, NW) මේ සියල්ලටම වඩා, දෙවි “තමාගේම ඒකජාතක පුත්‍රයාව” ඔබ වෙනුවෙන් “දුන්නේය.” (යොහන් 3:16, NW; ගලාති 2:20) ඇතැම් අවස්ථාවලදී, එවන් ශුද්ධ ලියවිලි පද ඔබහට පෞද්ගලිකව අදාළ වෙයි කියා විශ්වාස කිරීම ඔබට දුෂ්කර විය හැකියි. එහෙත්, අපි යෙහෝවාගේ වචනය එය ඇති සැටියෙන්ම විශ්වාස කළ යුතුය. ඔහුට වුවමනා කරන්නේ කණ්ඩායමක් හැටියට පමණක් නොව, පුද්ගලයන් හැටියටද ඔහු අපට ප්‍රේම කරන බව අප විසින් විශ්වාස කරනවා දැකීමටයි.

19, 20. (අ) යෙහෝවාට ඔබ ප්‍රේම කරන්නේ නැතිය යන සාතන්ගේ බොරුව හඳුනාගෙන එය ප්‍රතික්ෂේප කිරීම වැදගත් වන්නේ මන්ද? (ආ) එක් සංචාරක අවේක්ෂකයෙක් අධෛර්යයට පත් වී ඇති අයට උපකාර කොට තිබෙන්නේ කෙසේද?

19 බොරුව හඳුනාගෙන එය ප්‍රතික්ෂේප කරන්න. යම් කෙනෙක් බොරු කියන බව ඔබ දන්නේ නම්, එම තැනැත්තා විසින් ඔබව රවටනු ලැබීමට එරෙහිව ඔබට ආරක්ෂා විය හැකියි. එසේනම්, යෙහෝවා ඔබට ප්‍රේම කරන්නේ නැතිය යන බොරුව ඔබ විසින් විශ්වාස කරනු ලැබීම සාතන්ට වුවමනා බව දැන සිටීමම ප්‍රබල උපකාරයක් විය හැකියි. සාතන්ගේ උපායන් ගැන අනතුරු ඇඟවූ එක් මුරටැඹ ලිපියකට ප්‍රතිචාර දක්වමින් එක් ක්‍රිස්තියානියෙක් මෙසේ පැවසීය. “මාව අධෛර්යය කිරීමට සාතන් මගේම හැඟීම් යොදාගන්නවා කියා මම කිසිදාක වටහාගත්තේ නැහැ. මෙම හැඟීම්වලට එරෙහිව සටන් කිරීමට මේ දැනුම මට මහත් පෙලඹීමක් වුණා.”

20 එක් දකුණු අමෙරිකානු රටක සංචාරක අවේක්ෂකයෙකුගේ අද්දැකීම සලකා බලන්න. අධෛර්යයට පත් වී සිටි සෙසු ඇදහිලිවන්තයන්ව බැහැදැකීමට ගිය අවස්ථාවල ‘ඔබ ත්‍රිත්වය විශ්වාස කරනවාද?’ කියා ඔහු අසයි. අධෛර්යයට පත් වූ තැනැත්තා, ‘නැහැ කොහෙත්ම නැහැ’ යනුවෙන් සාමාන්‍යයෙන් පිළිතුරු දෙන්නේ මෙය සාතන්ගේ බොරුවක් බව වටහාගනිමිනි. ‘ඔබ නිරාගින්න ගැන විශ්වාස කරනවාද?’ කියා අනතුරුව සංචාරක වැඩිමහල්ලා අසයි. ‘ඇත්තවශයෙන්ම නැහැ’ යනු ඊළඟ පිළිතුරයි. සාමාන්‍යයෙන් බොරුවක් ලෙසට හඳුනා නොගත්තාවූ, සාතන්ගේ තවත් බොරුවක් තිබෙන බව සංචාරක වැඩිමහල්ලා ඊළඟට කියයි. යෙහෝවාට ළං වන්න * පොතේ 249 පිටුවේ 21වන ඡේදයට පෙරළන ඔහු, යෙහෝවා අපට පුද්ගලයන් වශයෙන් ප්‍රේම නොකරන්නේය යන සාතන්ගේ බොරුව පැහැදිලිව පෙන්වා දෙයි. මේ අන්දමින් සාතන්ගේ බොරුව හඳුනාගෙන එය ප්‍රතික්ෂේප කිරීමට බොහෝදෙනෙකුට උපකාර කිරීමට හැකි වී ඇතැයි සංචාරක අවේක්ෂකයා වාර්තා කරයි.

නොරැවටීමට වගබලා ගන්න

21, 22. සාතන්ගේ රැවටිලිකාර උපායන් සම්බන්ධයෙන් අප අඳුරේ නොසිටින්නේ මන්ද? තවද අපගේ අධිෂ්ඨානය කුමක් විය යුතුද?

21 මේ අන්තිම දවස්වලදී, සාතන් විසින් බොරු සහ රැවටීම් සම්භාරයක් දිගටම මුදාහැරීම ගැන පුදුම වෙන්නට දෙයක් නැත. සාතන්ගේ මෙම රැවටිලිකාර උපායන් ගැන අපට හෙළි කර තිබීම ගැන යෙහෝවාට ස්තුතිවන්ත විය යුතුය. බයිබලයද, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” සපයන බයිබලය මත පදනම් වූ ප්‍රකාශනද යක්ෂයාගේ නපුරු ක්‍රම පැහැදිලිව හෙළි කරයි. (මතෙව් 24:45) මේ ගැන අපව කලින් දැනුවත් කර තිබෙන බැවින්, අපි ඒවාට සූදානමින් සිටින්නෙමු.—2 කොරින්ති 2:10ආ, 11.

22 එසේනම්, ඇදහිල්ලට එරෙහිව කැරලිගසන අයගේ තර්කවලින් පරෙස්සම් වීමට වගබලා ගමු. එමෙන්ම, අපිවම රවටාගැනීම නමැති සූක්ෂ්ම මලපතෙන් වැළකීමට අදිටන් කරගමු. සාතන්ගේ සියලු බොරු හඳුනාගෙන ඒවා ප්‍රතික්ෂේප කරමු. එසේ කිරීමෙන්, රැවටීම පිළිකුල් කරන්නාවූ “සැබෑකමේ දෙවි” සමඟ තිබෙන අපගේ සම්බන්ධය අප ආරක්ෂා කරගන්නවා ඇත.—ගීතාවලිය 31:5; හිතෝපදේශ 3:32.

[පාදසටහන්වල]

^ 5 ඡේ. එළිදරව් 12:9හි සඳහන් “නොමඟ යවන” යන ක්‍රියා පදයේ ආකාරය ගැන එක් කෘතියක පවසන්නේ, එය “පුද්ගලයෙකු තුළ ගැඹුරින් කාවැදී ඇති චරිත ලක්ෂණයක් බවට පත් වී ඇති දිගටම කරන ක්‍රියාවක් යනුවෙනි.”

^ 20 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

ඔබට මතකද?

• අද දින ලෝකයේ මෙතරම් රැවටීම ඇත්තේ මන්ද?

• ඇදහිල්ලට එරෙහිව කැරලිගසන අයගෙන් නොරැවටීමට අප වගබලා ගත යුත්තේ මන්ද?

• අපවම රවටාගැනීමට එරෙහිව ඇති යම් නැඹුරුවාවකට නොවැටීමට වගබලා ගන්නට අපට හැක්කේ කෙසේද?

• සාතන්ගේ බොරුවලින් නොරැවටී සිටීමට අපට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ පින්තූරය]

විනෝදාස්වාදය සම්බන්ධයෙන් ඔබවම රවටා නොගන්න

[18වන පිටුවේ පින්තූර]

තමාවම රවටා නොගැනීමට වගබලා ගැනීමේදී, ඔබ ගැනම යාච්ඤාපූර්වකව සෝදිසි කරන්න, අනුන්ට සවන් දෙන්න, නිතිපතා දේවවචනයෙන් පෝෂණය වෙන්න