Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ජල ගැල්මට පසු නෝවා පරෙවියෙකු නැවෙන් පිටත් කර හැරිය අතර ඌ නැවත පැමිණියේ “ඔලීව කොළයක්” සමඟිනි. පරෙවියා එම කොළය සොයාගත්තේ කොහෙන්ද?

බයිබලයේ අපට කියන්නේ “ජලය පොළොව පිට අතිශයින් බලවත් විය. මුළු අහස යට පිහිටි සියලු උස් කඳු වැසී ගියේය” යනුවෙනි. (උත්පත්ති 7:19) ජලය බැස යන විට නෝවා සතියකට වරක් බැගින් තුන් වතාවක් පරෙවියෙකු පිටත් කර යැවීය. දෙවන වතාවේදී පරෙවියා පැමිණෙන විට “අමු ඔලීව කොළයක් උගේ තුඩෙහි තිබුණේය. මෙසේ පොළොවෙන් ජලය බැස ගිය බව නෝවා දැනගත්තේය.”—උත්පත්ති 8:8-11.

පෘථිවියේ එක් එක් ප්‍රදේශ කොතරම් කාලයක් පුරා වතුරෙන් යට වී තිබුණාද කියා දැනගැනීමට කිසිදු ක්‍රමයක් නැත. මන්දයත් නියත වශයෙන්ම ජල කඳ මගින් පොළොවේ භූ ලක්ෂණ වෙනස් කර තිබූ බැවිනි. කෙසේවෙතත් බොහෝ ගස් මිය යෑමට තරම් දිගු කාලයක් පුරා ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී තිබෙන්නට ඇත. ඒත් තම ජීවය පවත්වාගත් ශාකද තිබුණි. ජලය හිඳී ගිය පසු ඒවා නැවතත් දළුලා වැඩුණ බව පෙනෙන්නට තිබේ.

ඔලීව ශාකය ගත් විට ඒ පිළිබඳව ද නිව් බයිබල් ඩික්ෂනරි සඳහන් කරන්නේ මෙවැන්නකි. “ගස කපා දැමුවත් නැවතත් මුලෙන් අලුත් අංකුර පැමිණෙන නිසා අලුතින් කඳන් පහක් පමණ ඇති විය හැක. මිය යන්න ඔන්න මෙන්න තිබෙන ඔලීව ගස් පවා සාමාන්‍යයෙන් මෙලෙස දළුලා වැඩෙයි.” එහි තිබෙන “ජීවය විනාශ කළ නොහැකි බව පෙනෙන්න තිබෙනවා” කියා ආගමික දැනුම පිළිබඳව එක් විශ්ව කෝෂයක (The New Schaff-Herzog Encyclopedia of Religious Knowledge) සඳහන් වෙයි. එම ජල කඳේ කොපමණ ලවණ ගතියක් හා උණුසුමක් තිබුණාද කියා අද සිටින කිසි මනුෂ්‍යයෙක් දන්නේ නැත. එබැවින් ජලය නිසා ඔලීව සහ අනෙකුත් ගස්වලට ඇති වූ බලපෑම ගැන අපට නිශ්චිතව යමක් කිව නොහැකියි.

කොහොම නමුත් වල් ඔලීව ගස්වලට උස් කඳු මත තිබෙන සීත දේශ ගුණයන්වල පැවතීමට නොහැකියි. එම ගස් වැවෙන්නේ අඩි 3,000කට වඩා පහත් බිම්වල පිහිටි ෆැරන්හයිට් අංශක 50ට අඩු උෂ්ණත්වයක් ඇති ප්‍රදේශයන්වලයි. “කොළය අමු නිසා පහළ මිටියාවතේ වතුර බැස යමින් තිබෙන බව නෝවා නිගමනය කරන්න ඇතැයි” කියා යළි සලකා බලන ජලගැල්ම (සිංහලෙන් නැත) නමැති පොත ප්‍රකාශ කරයි. සතියකට පසු නෝවා පරෙවියෙකුව නැවත පිටත් කර හැරිය විට ඌ නැවත නොපැමිණීමෙන් අදහස් වූයේ පරෙවියාට ඇති තරම් ගස් කොළන් හා නැවතීමට ස්ථාන තිබූ බවය.—උත්පත්ති 8:12.