Skip to content

පටුනට යන්න

“ලෝක ගෝලයේ නැබෙහි” එකට රැස් වූ දා

“ලෝක ගෝලයේ නැබෙහි” එකට රැස් වූ දා

“ලෝක ගෝලයේ නැබෙහි” එකට රැස් වූ දා

ඔබ කවදා හෝ “ටයි පිටෝ ඕ ටි හෙනුආ” යන වචන අසා තියෙනවාද? ඊස්ටර් දිවයිනේ කතා කළ මුල් බස වන රාපා න්‍යුයි භාෂාවෙන් එහි අර්ථය වන්නේ “ලෝක ගෝලයේ නැබ හෙවත් බුරිය” යන්නයි. මෙහි පැවැත්වූ එක්රැස්වීම සුවිශේෂී එකක් වූයේ මන්ද?

ඊස්ටර් දූපත එසේත් නැත්නම් රාපා න්‍යුයි දිවයින එහි වැසියන් හඳුන්වන්නේ හුදෙකලා වූ, පුදුම දනවන හා අසාමාන්‍ය දූපතක් හැටියටයි. එය පිහිටා තිබෙන්නේ චිලි රටේ සන්තියාගෝ නගරයේ සිට කිලෝමීටර් 3,790ක් එපිටින් දකුණු පැසිෆික් සාගරයේයි. එය වචනයේ පරිසමාප්තියෙන්ම හුදෙකලා වූ තැනක්. මෙම දූපත චිලි රටේ ප්‍රාන්තයක් බවට පත් වූයේ 1888 සැප්තැම්බර් 9වෙනිදායි.

වර්ග කිලෝමීටර් 166 භූමි ප්‍රමාණයකින් යුත් මෙම ත්‍රිකෝණාකාර දූපත ප්‍රධාන වශයෙන්ම සෑදී තිබෙන්නේ අක්‍රිය වූ ගිනිකඳු තුනකින්. වෙනත් බොහෝ පැසිෆික් දූපත් මෙන්ම මෙම දූපතද සෑදී තිබෙන්නේ සාගර ජලයෙන් වැසී තිබෙන සුවිශාල කඳු මුදුන්වලයි. මෙම සම්පූර්ණ දූපතම ස්මාරකයක් ලෙස නම් කර තිබෙනවා. එම දූපත වැඩියෙන්ම ප්‍රසිද්ධ වී තිබෙන්නේ එහි ඇති අද්භූත ගල් පිළිම නිසා බවට නම් කිසිම සැකයක් නැහැ. මෙම පිළිම මොයි ලෙස හඳුන්වනු ලබයි. *

එහි මනස්කාන්ත භූ දර්ශන හා ඓතිහාසික ස්ථාන දක්නට තිබෙනවා. ඊට අමතරව අන්නාසි අලිගැටපේර, ගස්ලබු හා කෙසෙල් වර්ග නවයක් වැනි රස නහර පිනවන පල දරන ගස් මේ දූපතේ වැඩෙනවා. ඒ වගේම බොහෝ මාළු ජාතිද ඊට අමතරව ඉස්සෝ, කකුළුවෝ වැනි මුහුදු ආහාරද එමටයි.

ඊස්ටර් දූපතේ පවතින්නේ සෞම්‍ය දේශගුණයක්. වැසි වැහැලා ඉන් අනතුරුව අහසේ වර්ණවත් ලෙස දිස් වෙන දේදුනු එහි සංචාරකයන්ට පිරිසිදු වාතය මෙන්ම මනබන්ධනීය දර්ශනයක් ලබා දෙයි. දැනට එහි පදිංචිකරුවන් 3,800දෙනෙක් පමණ ජීවත් වෙයි. අද එහි වාසය කරන්නේ මුල් පදිංචිකරුවන්ගෙන් පැවතෙන අය මෙන්ම යුරෝපීයයන්, චිලි වැසියන් හා වෙනත් ජාතීන්ගෙන් පැවත එන අයයි. සිය ගණන් සංචාරකයන් මෙම දූපතේ සිරි නැරඹීමට යුරෝපයෙන් හා ආසියාතික රටවලින් පැමිණෙයි. මේ නිසා සංචාරක ව්‍යාපාරය රටේ ආර්ථිකයේ ප්‍රධාන තැනක් ගනියි.

මුලින්ම රාජ්‍ය බීජ වැපුරූ දා

වර්ෂ 1982 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ (සිංහලෙන් නොමැත) වාර්තා වුණේ මෙසේයි. “කාලයක් අපිට ඊස්ටර් දූපතේ හිටියේ එක් ප්‍රචාරක සහෝදරියක් පමණයි. ඇයට [චිලි රටේ] ශාඛා කාර්යාලයේ සිටි එක් මිෂනාරි සහෝදරියක් ලිපි මාර්ගයෙන් ආත්මික උපකාර සැපයුවා. පසුව ඇයද චිලි රටට පැමිණියද මුරටැඹ දායක ලබාගත් එම දූපතේ අයගේ ලැයිස්තුවක් අප ළඟ තියෙනවා. අපව පුදුමයට පත් කරමින් 1980 අප්‍රියෙල් මාසයේදී ඊස්ටර් දූපතේ සත්‍යය කෙරෙහි උනන්දුවක් දැක්වූ කෙනෙක් අපිට දුරකථනයෙන් කතා කර ඇසුවා සිහි කිරීමේ උත්සවය පැවැත්විය යුත්තේ කවදාද කියා. පසුව එම අවුරුද්දේම චිලි රටේ වැල්පරෙයිසෝ නගරයෙන් යුවළක් එම දූපතට ගිය අතර ඔවුන් සත්‍ය කෙරෙහි උනන්දුවක් දැක්වූ අය සමඟ බයිබල් පාඩම් පැවැත්වුවා. වර්ෂ 1981 අප්‍රියෙල් මාසයේදී පළමුවරට මෙම දූපතේ සිහි කිරීමේ උත්සවයක් පැවැත්වූ අතර 13දෙනෙකු මෙයට සහභාගි වුණා. මෙම හුදෙකලාවේ පිහිටි දූපත සිසාරා ‘ශුභාරංචිය’ පැතිරෙනවා දැකීම අපට මොන තරම් සතුටක්ද!”

පසු කාලයකදී, එනම් 1991 ජනවාරි 30වෙනිදා ශාඛා කාර්යාලයෙන් විශේෂ පුරෝගාමීන් යුවළක් වන ඩේරියෝ සහ විනි ෆනෑන්ඩස්ව මේ දූපතට යැව්වා. සහෝදර ෆනෑන්ඩස් දූපතට ගිය ගමන ගැන සිහි කරන්නේ මෙසේයි. “පැය පහක ගුවන් ගමනකින් පස්සේ අපි පෘථිවි ගෝලයේ වඩාත් හුදෙකලා ස්ථානයකට මෙන්ම පුදුම දනවන සංස්කෘතියකින් වට වී ඇති තැනකට පැමිණියා.” එහි සිටි සහෝදරයෙකුගේ හා තම දරුවන් දෙදෙනා සමඟ එම දූපතේ පදිංචියට පැමිණ සිටි සහෝදරියකගේ උපකාරය ඇතුව වහාම රැස්වීම් හා ක්ෂේත්‍ර සේවය සැලසුම් කිරීමට හැකි වුණා. පවුල්වලින් ඇති වන පීඩන, දැඩි ආගමික විශ්වාසයන් හා සමහර ජීවන රටා වැනි පොලිනීසියානු සංස්කෘතියේ පොදුවේ දක්නට තිබෙන දේවල් මැදින් වුවත් ඔවුන් දරන වෑයමට යෙහෝවාගේ ආශීර්වාද ලැබෙන සැටි ඔවුන් අද්දැක්කා. සහෝදර හා සහෝදරි ෆනෑන්ඩස් තවදුරටත් විශේෂ පුරෝගාමීන් ලෙස සේවය කරන්නේ නැහැ. නමුත් ඔවුන් එහිදී උපත ලැබූ ඔවුන්ගේ පුතාව ඇති දැඩි කරමින් තවමත් එම දූපතේම ජීවත් වෙනවා. අද වන විට එහි ප්‍රීතිමත් රාජ්‍ය ප්‍රචාරකයන් 32ක් ඉන්නවා. මේ අය අතර රාපා න්‍යුයි ජාතිකයන්, එම දූපතට පැමිණ පදිංචි වූවන් හා රාජ්‍ය ප්‍රචාරය කිරීමේ වැඩි අවශ්‍යතාවක් ඇති නිසා එහි පදිංචියට ගිය අයද සිටිනවා.

චාරිකා එක්රැස්වීමක් සඳහා සැලසුම්

මෙම දූපත හා ප්‍රධාන නගරය වන චිලි රට අතර විශාල දුර ප්‍රමාණයක් තිබෙන නිසා විශේෂ එක්දින එක්රැස්වීම, චාරිකා එක්රැස්වීම හා දිස්ත්‍රික් සමුළුව පැවැත්වුණේ නැහැ. ඒ වෙනුවට අවුරුද්දකට තුන් වතාවක් එම වැඩසටහන් පටිගත කරන ලද වීඩියෝ පට මේ සභාවට ලැබුණා. නමුත් 2000 වසරේ අවසානයේදී ඔවුන් වෙනුවෙන්ම එක්රැස්වීමක් පළමුවෙනි වතාවට මෙම දූපතේම පැවැත්වීමට ඇති හැකියාව ගැන චිලි රටේ ශාඛා කාර්යාලය සලකා බැලුවා. අවසානයේදී 2001 වසරේ නොවැම්බර් මාසයේදී මෙහි චාරිකා එක්රැස්වීමක් පැවැත්වීමට තීරණය කළා. මෙම විශේෂ අවස්ථාවට සහභාගි වීම සඳහා චිලි රටේ විවිධ ප්‍රදේශවලින් සහෝදර සහෝදරියන් සීමිත සංඛ්‍යාවකට ඇරයුම් කරනු ලැබුවා. ගුවන් ගමන් වේලාවන් නිසා එක්රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ ඉරිදා සහ සඳුදායි.

මෙම ඈත එපිට ප්‍රදේශයේ පැවැත්වීමට යන පළමුවෙනි එක්රැස්වීමට සහභාගි වීමට ආරාධනා ලැබූ සහෝදර සහෝදරියන් 33දෙනාට එම ගමන ගැන දැනුණු සතුට හා කුතුහලය මෙතෙකැයි කියා විස්තර කරන්න බැහැ. පැසිෆික් සාගරය හරහා ගුවනින් ගිය දීර්ඝ ගමනේ විඩාව, ගුවන් තොටුපොළේ බලා සිටි දූපතේ සහෝදරයන්ගේ උණුසුම් පිළිගැනීමෙන් තුනී වුණා. එම දූපතට එන අයව පිළිගැනීම සඳහා සාමාන්‍යයෙන් දෙන තෑග්ගක් වන මල් පෙතිවලින් සාදන ලද මල් මාලා පැළඳවීමෙන් ඔවුන් ආගන්තුකයන්ව පිළිගත්තා. ඉන්පසු ඔවුන්ගේ නවාතැන්වලට ගෙන ගියා. දූපතේ සිරි නැරඹීමට ටික වේලාවක් ගත කිරීමෙන් අනතුරුව එක්රැස්වීමේ වැඩසටහනේ පැවරුම් ලබා සිටි සියලුදෙනා රාජ්‍ය ශාලාවට එකතු වුණා.

බලාපොරොත්තු නොවූ ප්‍රසිද්ධියක්

චිලි රටෙන් පැමිණි නියෝජිතයන් එක්රැස්වීමට යන විට ඒ දූපතේ පූජකයා ගුවන් විදුලියෙන් ඔවුන්ගේ පැමිණීම ගැන කතා කරනවා අසා ඔවුන් පුදුමයට පත් වුණා. ඔහු පැවසුවා මහාද්වීපයෙන් පැමිණ සිටින සමහර සංචාරකයන් පැමිණෙන්නාවූ ලෝක අවසානය ගැන කතා කිරීමට ගෙවල්වලට පැමිණෙයි කියා. ඔහුගේ මීසමට අයිති අයට මේ අමුත්තන්ට ඇහුම්කන් නොදෙන්න කියා ඔහු දැඩි වුවමනාවෙන් ඉල්ලීමක් කළද, ඔහු කළ එම ප්‍රචාරය නිසා හැමෝටම දැනගන්න ලැබුණා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විශාල සංඛ්‍යාවක් දූපතට පැමිණ සිටිනවා කියා. දූපතේ වැසියන් සහෝදරයන්ගේ පැමිණීම කුතුහලයෙන් බලා සිටීමට මෙය හේතුවක් වුණා. ඉන්පසු දිනවල මේ නියෝජිතයන් ඉතා නැණවත් ලෙස උනන්දුව දනවන පණිවිඩයක් වන ශුභාරංචිය ඔවුන් සමඟ බෙදාගත්තා.

එක්රැස්වීම ආරම්භ වේ

පළමු දිනය වූ ඉරිදා එක්රැස්වීමට පැමිණෙන නියෝජිතයන්ව පිළිගැනීමට එම දූපතේ සහෝදරයන් රාජ්‍ය ශාලාවේ දොරටුව අසල සිටගෙන සිටියා. ඔවුන් සහෝදරයන්ව පිළිගත්තේ “ඊඔරානා කෝඉ! ඊඔරානා කෝඉ! කියායි. එහි අර්ථය වූයේ “සාදරයෙන් පිළිගනිමු!” යන්නයි. සමහර සහෝදරියන් ජාතික ඇඳුමෙන් සැරසී පොලිනීසියානු ක්‍රමයට ලස්සන මල්වලින් කොණ්ඩේ සරසා තිබුණා.

මිහිරි සංගීතයෙන් අනතුරුව “නොසැලී ස්ථිරව සිටින්න” යන ගීතිකාව ගැයීමට සියයකගේ කටහඬ එක් වුණා. මේ දූපතේ මෙතරම් සාක්ෂිකාර පිරිසක් එකට එකතු වී ගැයූ පළමුවෙනි අවස්ථාව මෙයයි. සභාපති විසින් රාපා න්‍යුයි භාෂාවෙන්, පැමිණ සිටි සියලුදෙනාව උණුසුම්ව පිළිගනු ලැබූ විට එම දූපතේ සහෝදරයන්ගේ දෑස් කඳුළින් තෙත් වුණා. දහවල් සැසිවාරයේදී අලුත් සාක්ෂිකරුවන් තුන්දෙනෙක් දෙවිට කළ කැපවීම වතුර බව්තීස්මයෙන් සංකේතවත් කළා. පළමුවෙනි දවසේ වැඩසටහන අවසානයේදී සියලුදෙනාට තමන් යෙහෝවා දෙවිටත් ඒ වගේම මුළු සහෝදර සංගමයටත් සමීප වී ඇති බවක් දැනුණා.—1 පේතෘස් 5:9.

උදෑසන දේවසේවය

එම දූපතේ පැවති විශේෂිත තත්වයන් නිසා චාරිකා එක්රැස්වීමේ දෙවෙනි දවසේ වැඩසටහන ආරම්භ වුණේ දවල් ආහාරයෙන් පසුවයි. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් නියෝජිතයන් උදේ වරුවේ ක්ෂේත්‍ර සේවයේ හවුල් වුණා. ඔවුන්ට මොන වගේ අද්දැකීම් ලබන්න හැකි වුණාද?

දූදරුවන් අටදෙනෙක් සිටි එක් වැඩිහිටි කාන්තාවක් තමා කතෝලික නිසා ඔවුන් එක්ක කතා කිරීමට අකමැති බව පැවසුවා. පොදුවේ හැම කෙනෙක්ම මුහුණපාන ප්‍රශ්න සමහරක් වන අනිසි මත්ද්‍රව්‍ය භාවිතය හා පවුල් ප්‍රශ්න වැනි විෂයන් ගැන කතා කරන බව ඔවුන් ඇයට පැවසූ විට ඇය ඇහුම්කන් දීමට කැමති වුණා.

තවත් වැඩිහිටි කාන්තාවක් සාක්ෂිකරුවන්ට හොඳ ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. අන්‍යයන්ට නපුරුකම් කරන මිනිස්සු වෙසෙන මහාද්වීපයකට ගිහින් ඔවුන්ගේ පණිවිඩය කියන්න කියා ඇය පැවසුවා. මේ යුවළ පිළිතුරු දෙමින් කියා සිටියේ ‘රාජ්‍යයේ ශුභාරංචිය’ සියලුදෙනා සඳහා බවයි. ඒ වගේම ඔවුන් දූපතට පැමිණියේ එක්රැස්වීමකට සහභාගි වීමට බවත් එය දෙවිට ඇති ප්‍රේමය වැඩි කරගැනීමට සියලුදෙනාට උපකාර කරන බවත් ඔවුන් පවසා සිටියා. (මතෙව් 24:14) ඔවුන් මේ කාන්තාවගෙන් ඇසුවා මේ දූපතේ තියෙනවා හා සමාන පාරාදීසමය තත්වයක ලෙඩ රෝග හා මරණය නැතිව දිගු කාලයක් ජීවත් වෙන්න කැමතිද කියලා. ඉන්පසු ඔවුන් එම දූපතේ තියෙන ගිනිකඳු කුහරවල පැවැත්මේ කාල පරිච්ඡේදය සමඟ මිනිස් ජීවිතයේ කාල පරිච්ඡේදය සන්සන්දනය කරමින් මිනිස් ජීවිතය කොතරම් කෙටිද කියා පහදා දුන්නා. මේ ගැන මෙනෙහි කළ ඇය ඇසුවා “ඇයි අපේ ජීවිත මෙතරම් කෙටි?” කියා. ගීතාවලිය 90:10 කියෙව්වහම ඇයට පුදුම හිතුණා.

ඒ අවස්ථාවේදීම සාක්ෂිකරුවන්ට අල්ලපු ගෙදරින් මහ ඝෝෂාවක් ඇහුණා. ඔවුන් යටි ගිරියෙන් කෑගහලා කියපු දේවල් සාක්ෂිකරුවන්ට තේරුණේ නැති වුණත් එම කාන්තාව කිව්වා අසල්වැසියන් ඔවුන්ට නින්දා කරන බවත් ඒ වගේම තමන්ගේ නිවෙස්වලට එන්න එපා කියනවා කියාත්. නමුත් මේ කාන්තාව පවුලේ වැඩිමල් දියණියයි. ඔවුන්ගේ භාෂාවෙන් වැඩිමල් දියණිය හඳුන්වන්නේ ‘නූආ’ ලෙසයි. ඇගේ පියා ජීවතුන් අතරේ නැති නිසා පවුලේ අයගේ ශුභසිද්ධිය තකා කළ යුත්තේ කුමක්ද කියා තීරණය කිරීම ඇය සතු වගකීමක් වුණා. ඇය තම නෑදෑයන් ඉදිරියේ තම භාෂාවෙන් සාක්ෂිකරුවන් වෙනුවෙන් කතා කරමින් ඔවුන් ඉදිරිපත් කළ සඟරා සතුටින් බාරගත්තා. ඒ සතියේ තවත් දවසක ඇය මල්ලි සමඟ වාහනයෙන් සාක්ෂිකරුවන්ව පසු කරගෙන යනවිට ඇය මල්ලිට කිව්වා වාහනය නවත්තන්න කියා. මල්ලි අකමැති බව පෙනෙන්න තිබුණද මේ කාන්තාව සාක්ෂිකරුවන්ට ඔවුන්ගේ සේවය සාර්ථක විය යුතු බවට ප්‍රාර්ථනා කර, ඔවුන්ගෙන් සමුගත්තා.

සමහර දූපත් වැසියන් මහාද්වීපයෙන් පැමිණි සාක්ෂිකරුවන්ගේ පණිවිඩය ප්‍රතික්ෂේප කළද රාපා න්‍යුයි වැසියන් ස්වභාවයෙන්ම ඉතා කාරුණික හා මිත්‍රශීලී අය බව අමුත්තන් තේරුම්ගත්තා. ඉන් බොහෝදෙනෙක් ශුභාරංචියට සතුටින් කන් දුන්නා. එම දූපතේ බව්තීස්ම වූ සාක්ෂිකරුවන් 20දෙනාගෙන් 6දෙනෙක්ම එම දූපතේම අයයි. මේ හයදෙනාගෙන් එක් කෙනෙකුට සත්‍යය ලැබුණේ ඔහුගේ භාර්යාව සමඟ බයිබල් පාඩමක් පැවැත්වෙන විට ඒ අසල වූ කාමරයක සිට ඔහු එයට ඇහුම්කන් දීමෙන්. ඔහු සහ ඔහුගේ භාර්යාව දැන් බව්තීස්ම වූ සාක්ෂිකරුවන්. ඒ වගේම ඔහු සභා සේවකයෙක්.

නැවතත් ආත්මික වැඩසටහන ඇරඹේ

දෙවෙනි දවසේ වැඩසටහන දිවා ආහාරයෙන් පසු පටන්ගත්තා. නැවතත් එම දූපතේ සහෝදර සහෝදරියන් 32ත්, නියෝජිතයන් 33ත් සමඟ උනන්දුව දැක්වූ තවත් අය එක්රැස් වුණා. “ප්‍රේමයෙන් සහ ඇදහිල්ලෙන් ලෝකය ජයගැනීම” යන ප්‍රසිද්ධ කථාව ඇතුළු වැඩසටහනට සියයකට ආසන්න සංඛ්‍යාවක් ඇහුම්කන් දුන්නා. විවිධ සංස්කෘතීන්වලට අයත් වූවද එතැන රැස් වී සිටි යෙහෝවාගේ සෙනඟ අතර තිබූ ප්‍රේමය ඇස් පනාපිටම දකින්න පැමිණ සිටි අයට හැකි වුණා.—යොහන් 13:35.

මෙම එක්රැස්වීම් දවස්වලදී චාරිකා අවේක්ෂක හා දිස්ත්‍රික්ක අවේක්ෂක පුරෝගාමි දේවසේවකයන් සමඟ විශේෂ රැස්වීමක් පැවැත්තුවා. දූපතේ ස්ථාවර පුරෝගාමි සේවය කරන තුන්දෙනා සමඟ පැමිණ සිටි නියෝජිතයන්ගෙන් ස්ථාවර හා විශේෂ පුරෝගාමීන්ද එකතු වුණා. සියලුදෙනාම මහත් දිරිගැන්වීමක් ලැබුවා.

ඊට පහුවෙනිදා දූපතේ සංචාරක මඟ පෙන්වන්නන් ලෙස වැඩ කරන සහෝදරයන් මේ නියෝජිතයන්ව දූපතේ සිරි නරඹන්න එක්කගෙන ගියා. ඔවුන් මෝයි පිළිම කොටා තිබුණු ගල්වළකුත්, පුරාණ කාලයේ තරඟ පැවැත්වූ ස්ථානයක් අසල පිහිටි ගිනිකඳුත් ඒ වගේම මෙම දූපතට පැමිණි මුල් පදිංචිකරුවන් ගොඩබැස්ස අති මනරමණීය ආනාකෙනා මුහුදත් නැරඹීමට ගියා. *

මේ සහෝදරයන් සමඟ ගත කිරීමට ලැබුණු අවසාන අවස්ථාව නම් සභා පොත් පාඩම් දවසයි. රැස්වීමෙන් පස්සේ දූපතේ විසූ සාක්ෂිකරුවන් අමුත්තන්ව පුදුමයට පත් කළේ දූපතටම ආවේණික වූ කෑම වේලකින් සංග්‍රහ කිරීමෙන්. ඉන්පසු සහෝදර සහෝදරියන් ගැමි නැටුම් ඇඳුමින් සැරසී ලස්සන ගැමි නැටුමක් ඉදිරිපත් කළා. මෙම එක්රැස්වීම සූදානම් කිරීමට දැරූ ප්‍රයත්නය ඇත්තෙන්ම වටිනා යමක් බවට රාපා න්‍යුයි සහෝදර සහෝදරියන්ට සහ පැමිණ සිටි නියෝජිතයන්ට හැඟුණා.

හුදෙකලාවේ වෙසෙන තම සහෝදර සහෝදරියන් සමඟ ප්‍රීතිමත් සතියක් ගත කිරීමෙන් පසු මහාද්වීපයේ නියෝජිතයන්ට ඔවුන් කෙරෙහි ලොකු බැඳීමක් ඇති වුණා. ඔවුන්ව හැර යෑම දුෂ්කර කාර්යයක් වුණා. ඔවුන් දැනහඳුනා ගත් අලුත් යහළු මිත්‍රයන් හා ඒ වගේම ඔවුන් ලබාගත් ආත්මික දිරිගැන්වීම් පිළිබඳ මිහිරි මතකය ඔවුන්ගේ හදවත්වල හැමදාම පවතීවි. ගුවන්තොටුපොළේදී දූපතේ සහෝදරයන් තමන් විසින්ම සෑදූ සිප්පිකටු මාලවලින් අමුත්තන්ගේ ගෙල සැරසුවා.

පැමිණි නියෝජිතයන් ආපසු යනවිට ඔවුන්ට පොරොන්දු වූයේ “ඊඕරානා අයු හි හෝකී මාඊඑ රාපා න්‍යුයි ඊ” කියායි. එහි තේරුම “මම ගිහින් නැවත දවසක ඔබව හමු වෙන්න රාපා න්‍යුයිවලට එන්නම්!” යන්නයි. ඇත්තවශයෙන්ම ඔවුන් බලා සිටින්නේ තමන්ගේ අලුත් යහළුවන්ව මෙන්ම ආත්මික පවුලේ සමාජිකයන්ව නැවතත් එම ආසාමාන්‍ය, හුදෙකලා වූ, පුදුමාකාර ඊස්ටර් දූපතට ගොස් හමුවීමටයි.

[පාදසටහන්වල]

^ 4 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද වර්ෂ 2000 ජූනි මාසයේ 22වෙනිදා පළ වූ පිබිදෙව්! (සිංහලෙන් නොමැත) සඟරාව බලන්න.

^ 27 ඡේ. රානො රාරාකු ගිනිකන්දේ කුහරයේ බිත්තිවල රූප නෙළා තිබුණු අතර අකුරුද කොටා තිබුණා. මෙම දූපත පාලනය කිරීමට කැමති පුද්ගලයන් අතරින් සුදුස්සා තෝරාගැනීම සඳහා තරඟ ආරම්භ කරනු ලැබුවේ මේ ස්ථානයේදීයි. එම තරඟයට ගැඹුරු ප්‍රපාතයක් දිගේ පහළට බැස ගොස් කුඩා දූපත්වලින් එකකට පීනා යෑමත් එහි වාසය කරන කුරුල්ලෙකුගේ බිත්තරයක් රැගෙන ප්‍රධාන දූපත වෙත පිහිනා ඇවිත් එම බිත්තරය නොබිඳෙන සේ නැවතත් පර්වත ප්‍රපාතය උඩටම නැඟීමත් එම තරඟයට ඇතුළත් වුණා.

[24වන පිටුවේ කොටුව]

ඊස්ටර් දූපතේ සාක්ෂි දැරීම

මෙම අමතක නොවන චාරිකා එක්රැස්වීම පැවැත්වීමට අවුරුදු දෙකකට විතර කලින් චාරිකා අවේක්ෂයෙක් සහ ඔහුගේ භාර්යාව මෙම දූපතට ගිය අතර ඔවුන් ප්‍රසන්න අද්දැකීම් බොහොමයක් ලැබුවා. උදාහරණයක් ලෙස මෙය ඇසූ විට ඔවුන්ට දැනුණු පුදුමය ගැන සිතා බලන්න. ඔවුන්ව නවාතැනට කැඳවාගෙන ගිය සහෝදරිය ඔවුන්ට මතක් කර දුන්නා ඊට අවුරුදු 16කට පෙර ඇය යෞවනියක්ව චිලි රටේ දකුණු ප්‍රදේශයේ ජීවත් වන විට ඔවුන් ඇයට බයිබලය අධ්‍යයනය කිරීමට උපකාර කර තිබෙනවා කියා. එදා වැපුරූ එම සත්‍ය බීජය පසු කාලයේදී රාපා න්‍යුයි දූපතේ පල දැරුවා.

ඒ වගේම ඔවුන් තවත් හාස්‍යජනක අද්දැකීමකට මුහුණ දුන්නා. එනම් සිහිවටන විකුණන කඩයක අයිතිකාරයෙක් ඔවුන්ගෙන් ශුද්ධ ලියවිල්ලෙහි නව ලෝක පරිවර්තනය හා බයිබලය ඉගෙනගැනීම සඳහා ආධාරක පොතක් වන සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොත ලබාගත්තා. මේවා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන දෙකක්. ඔවුන් නැවත ඔහුව මුණගැසෙන්න ගියාම ඔහු කිව්වේ ඔහුට ඒ බයිබලය කියවන්න බැරි බවයි. ඔවුන් ඔහුට ස්පාඤඤ භාෂාවෙන් බයිබලයක් දෙනවා වෙනුට දී තිබුණේ ප්‍රංශ භාෂාවෙන්. ප්‍රශ්නය ඉක්මණින්ම නිරාකරණය කරනු ලැබුවේ ඔහු කතා කරන බසින් බයිබලයක් ලබා දීමෙන් සහ දූපතේ සිටි සාක්ෂිකරුවන්ව ඔහු වෙතට යොමු කිරීමෙන්. බයිබලයක් කියවා තේරුම්ගැනීම ඇත්තෙන්ම අපහසු දෙයක් නොවන බව ඔහු තේරුම්ගත්තා.

[22වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ඊස්ටර් දූපත

චිලි

[23වන පිටුවේ පින්තූර]

චාරිකා එක්රැස්වීමේදී බව්තීස්ම වූ දෙදෙනෙක්

[25වන පිටුවේ පින්තූර]

රානො රාරාකු ගිනිකන්දේ බෑවුම; ඇතුලේ පින්තූරය: දූපතේ කැලෑවල වැවෙන පලතුරක් වන ගුවායාබා