Skip to content

පටුනට යන්න

අප දෙවිට ප්‍රේම කරන බව පෙන්වන අයුරු

අප දෙවිට ප්‍රේම කරන බව පෙන්වන අයුරු

අප දෙවිට ප්‍රේම කරන බව පෙන්වන අයුරු

දෙවි කෙරෙහි තිබෙන ප්‍රේමය වර්ධනය කරගැනීම යනු ඔහු පිළිබඳව දැනුම ලැබීම පමණක්ම නොවේ. කෙනෙකු දෙවිගේ පෞද්ගලිකත්වය ගැන හොඳින් දැනගන්නා විට ඔහු කෙරෙහි තිබෙන ප්‍රේමය වැඩි වර්ධනය වන බව ලොව වටා සිටින දෙවිගේ සේවකයන්ට සහතික කිරීමට හැකි වී තිබේ. එමෙන්ම ඔහු ප්‍රිය කරන දේ, ඔහු පිළිකුල් කරන දේ හා ඔහු වඩාත් කැමති දේ මෙන්ම ඔහුට අවශ්‍ය කරන දේ හොඳින් තේරුම්ගත් විට එය ඊටත් වඩා වැඩි වේ.

යෙහෝවා ප්‍රේමණීයව ඔහුගේ වචනය වන බයිබලය අපට දී තිබෙන අතර තමා කවුදැයි යන්න එහි හෙළි කරයි. විවිධ අවස්ථාවලදී යෙහෝවා ක්‍රියා කළ ආකාරය එමගින් අපි ඉගෙනගන්නෙමු. ප්‍රේමණීයයෙකුගෙන් ලැබෙන ලිපියකින් අපට මහත් සතුටක් ලැබෙන්නා සේම යෙහෝවාගේ පෞද්ගලිකත්වයේ අලුත් පැති හෙළි කිරීමෙන් බයිබලය අපට ඉමහත් ප්‍රීතියක් ලබා දෙයි.

කෙසේවෙතත්, ඇතැම් අවස්ථාවල අපේ ප්‍රසිද්ධ දේශනා සේවයේදී අප දැක ඇති පරිදි, කෙනෙකු දෙවි පිළිබඳ ඉගෙනගැනීමෙන් දෙවිට ප්‍රේම කිරීමට සැමවිටම ඔහු නැඹුරු වන්නේ නැත. තමාගේ කාලයේ සිටි අගේ නොකළ යුදෙව්වන්ට යේසුස් මෙසේ පැවසුවේය. “ඔබ ශුද්ධ ලියවිල්ල සොයා බලන්නේ ඒවා මාර්ගයෙන් ඔබට සදාකාල ජීවනය ලැබේයයි ඔබ සිතන හෙයිනි. . . . [එහෙත්] දෙවි කෙරෙහි ප්‍රේමය ඔබ තුළ නැති බව මම හොඳින් දනිමි.” (යොහන් 5:39, 42, NW) සමහරුන් යෙහෝවාගේ ප්‍රේමණීය ක්‍රියා ගැන ඉගෙනගැනීමට වසර ගණනාවක් ගත කළත් ඔහුට ප්‍රේම කරන්නේ ඉතා සුළු වශයෙනි. මන්ද? ඔවුන් ඉගෙනගන්නා දේවල වැදගත්කම ගැඹුරින් කල්පනා කර බැලීමට ඔවුන් අසමත් වන බැවිනි. ඊට පටහැනිව, අප සමඟ බයිබලය අධ්‍යයනය කරන මිලියන සංඛ්‍යාත අවංක ජනකායකගේ අද්දැකීම වී තිබෙන්නේ දෙවි කෙරෙහි ඔවුන්ගේ ප්‍රේමය දිගටම වැඩි වර්ධනය වන බවය. හේතුව? අප කළ ලෙසම ඔවුන්ද ආසාප්ගේ ආදර්ශය අනුගමනය කරන නිසාය. කුමනාකාරයෙන්ද?

අගය පෙන්වමින් මෙනෙහි කරන්න

තමාගේ සිත තුළ යෙහෝවා කෙරෙහි ප්‍රේමය වර්ධනය කරගැනීමට ආසාප් අදිටන් කරගත්තේය. ඔහු මෙසේ ලිවීය. “මම මෙනෙහි කරමින් . . . [යෙහෝවා], ඔබේ තේජාන්විත ක්‍රියා මම සිහි කරන්නෙමි. ඔබ පෙර කළ අරුම පුදුම දේ මම කියාපාන්නෙමි. ඔබේ ක්‍රියා සියල්ල මම සිහි කරන්නෙමි. ඔබේ ප්‍රබල ක්‍රියා ගැන මම භාවනා කරන්නෙමි.” (ගීතාවලිය 77:6, 11, 12, නව අනුවාදය) ගීතිකාකරු කළාක් මෙන් යෙහෝවාගේ මාර්ග ගැන ගැඹුරින් කල්පනා කරන තැනැත්තාගේ සිත තුළ දෙවි කෙරෙහි ප්‍රේමය වැඩි වර්ධනය වනු ඇත.

ඊට අමතරව, යෙහෝවාට සේවය කරන අතරතුරේ අප ලැබූ අද්දැකීම් මතකයට නඟාගැනීමෙන්ද ඔහු සමඟ ඇති අපේ සබඳතාව ශක්තිමත් වෙයි. අපි දෙවිගේ “හවුල් වැඩකරුවෝ වන්නෙමු” කියා ප්‍රේරිත පාවුල් පැවසුවේය. හවුල් වැඩකරුවන් අතරෙහි වැඩි වර්ධනය විය හැකි මිත්‍රත්වය ඉතා විශේෂ එකකි. (1 කොරින්ති 3:9, NW) අපේ ප්‍රේමය අප යෙහෝවාට පෙන්වන විට ඔහු එය අගේ කරයි. එයින් ඔහුගේ සිතද සතුටු වේ. (හිතෝපදේශ 27:11) අප යෙහෝවාගෙන් උපකාර ඉල්ලීමෙන් අනතුරුව යම් දුෂ්කරතාවකින් ගොඩ ඒමට ඔහු අපට මඟ පෙන්වන විට, ඔහු අප සමඟ සිටින බව අපට දැනෙයි. එවිට ඔහු කෙරෙහි වූ අපේ ප්‍රේමය තව තවත් වැඩි වේ.

පුද්ගලයන් දෙදෙනෙකු තම හැඟීම් එකිනෙකාට පළ කරන විට ඔවුන් අතර මිත්‍රත්වයන් ගොඩ නැඟේ. එලෙසම, අප යෙහෝවාට කැප වී සිටීමට හේතුව අප ඔහුට පවසන විට ඔහු කෙරෙහි වූ අපේ ප්‍රේමය ශක්තිමත් වේ. එවිට අප යේසුස්ගේ මෙම වදන් නැවත කල්පනා කිරීමට පෙලඹෙනු ඇත. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ඔබේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න.” (මාක් 12:30, NW) අපේ මුළු හදවතින්, අපේ මුළු ජීවිතයෙන්, අපේ මුළු මනසින් සහ අපේ මුළු ශක්තියෙන් යෙහෝවාට අප දිගටම ප්‍රේම කරන බව සහතික කරගැනීම සඳහා අපට කුමක් කළ හැකිද?

අපේ මුළු හදවතින් යෙහෝවාට ප්‍රේම කිරීම

ශුද්ධ ලියවිල්ලේ සංකේතාත්මක හදවත හෙවත් සිත පිළිබඳව කතා කෙරේ. එය අපේ ඇතුළාන්තයයි. එනම් අපේ ආශාවන්, ආකල්ප සහ හැඟීම්ය. එබැවින්, අපේ මුළු හදවතින් යෙහෝවාට ප්‍රේම කිරීම යනු අන් සෑම දෙයකටම වඩා දෙවිව සතුටු කිරීමට අප ආශාවීමය. (ගීතාවලිය 86:11) අපේ පෞද්ගලිකත්වය ඔහුට පිළිගත හැකි අයුරින් සකස් කිරීම මගින් අපට එවැනි ප්‍රේමයක් තිබෙන බව අපි පෙන්වන්නෙමු. ‘දුෂ්ට දේට ද්වේෂ කිරීමෙන් හා යහපත් දේට ඇලුම් වීමෙන්’ අපි දෙවිව අනුකරණය කිරීමට වෑයම් කරන්නෙමු.—රෝම 12:9, NW.

දෙවි කෙරෙහි වූ අපේ ප්‍රේමය ඕනෑම දෙයක් පිළිබඳව අප තුළ තිබෙන හැඟීම්වලට බලපායි. උදාහරණයකට අපේ රැකියාව අභියෝගාත්මක එකක් හෝ සෑහෙන අවධානයක් දිය යුතු එකක් විය හැකි නමුත් අපි අපේ සිත තබා තිබෙන්නේ එහිද? නැත. අපේ මුළු හදින් අප යෙහෝවාට ප්‍රේම කරන නිසා මුලින්ම අපි දෙවිගේ සේවකයෝ වන්නෙමු. එමෙන්ම, අපේ දෙමාපියන්ව, අපේ විවාහ කලත්‍රයන්ව සහ අපේ ස්වාමිවරුන්ව සතුටු කිරීමට අපට වුවමනා වුවත් සියල්ලටම වඩා යෙහෝවාව සතුටු කිරීමට මං සෙවීමෙන් අපේ මුළු හදවතින් අපි ඔහුට ප්‍රේම කරන බව ඔප්පු කරන්නෙමු. ඇත්තවශයෙන්ම, අපේ හදවතේ මුල් ස්ථානය හිමි විය යුත්තේ ඔහුටය.—මතෙව් 6:24; 10:37.

අපේ මුළු ජීවිතයෙන් යෙහෝවාට ප්‍රේම කිරීම

ශුද්ධ ලියවිල්ලේ “ජීවිතය” යන වචනය ප්‍රධාන වශයෙන් පුද්ගලයෙකු ලෙස අපේ මුළු පෞද්ගලිකත්වයටම යොමු දක්වයි. එබැවින් අපේ මුළු ජීවිතයෙන් යෙහෝවාට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුට ප්‍රශංසා කිරීමට හා ඔහුට අප ප්‍රේම කරන බව ඔප්පු කිරීමට අපේ ජීවිතය අප යොදාගන්නා බවය.

වෘත්තියක් ඉගෙනගැනීම, ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම හෝ දරු පවුලක් හදාගැනීම වැනි වෙනත් වැඩකටයුතු අපට තිබිය හැකි බව සැබෑවකි. එහෙත් ඒ අතරම යෙහෝවාගේ ක්‍රමයට අනුව දේවල් කිරීමෙන් හා වෙනත් දේවල් නිසි ස්ථානයේ තැබීමෙන් අපි ඔහුට අපේ මුළු ජීවිතයෙන් ප්‍රේම කරන බව ඔප්පු කරන්නෙමු. මෙසේ අපි ‘පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද සොයන්නෙමු.’ (මතෙව් 6:33) මුළු ජීවිතයෙන් නමස්කාර කිරීම කීමෙන් ජ්වලිතව සිටීමද අදහස් කරයි. ජ්වලිතව රාජ්‍ය පණිවිඩය දේශනා කිරීමෙන්, රැස්වීම්වලදී ගොඩනංවනසුලු අදහස් ප්‍රකාශ කිරීමෙන් හෝ අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ට උදව් උපකාර කිරීමෙන් අපි යෙහෝවාට ප්‍රේම කරන බව පෙන්වන්නෙමු. සෑම දෙයකදීම අපි “මුළු හදවතින්ම දෙවිගේ කැමැත්ත” කරන්නෙමු.—එෆීස 6:6, NW.

තමාවම නොසලකාහැරීම මගින් යේසුස් දෙවිට මුළු හදවතින්ම ප්‍රේම කරන බව පෙන්නුම් කළේය. ඔහු දෙවිගේ කැමැත්තට මුල් තැන දී තමාගේ පෞද්ගලික අවශ්‍යතාවලට දෙවන තැන දුන්නේය. තම ආදර්ශය අනුගමනය කරන්නයයි යේසුස් අපෙන් ඉල්ලා සිටියේය. ඔහු පැවසුවේ මෙයයි. “යමෙකුට මා අනුව එන්න ඕනෑ නම්, ඔහු තමාවම නොසලකා තම වධකණුව ගෙන, දිගටම මා අනුව ඒවා!” (මතෙව් 16:24, 25, NW) අපවම නොසලකාහැරීම යන්නෙන් අදහස් කරන්නේ කැපවීමකි. ඉන් ඇඟවෙන්නේ, අප දෙවිට දක්වන ඉමහත් ප්‍රේමය නිසා අප කෙරෙහි අපට තිබෙන අයිතිය ඔහුට භාර දීමය. බයිබල් කාලවල සිටි ඊශ්‍රායෙලිතයෙකු සිය ස්වාමියාට බොහෝ සෙයින් ප්‍රේම කළ නිසා දාසයෙකු වශයෙන් ඔහුට දිගටම සේවය කිරීමට තමාවම කැප කළා හා සමාන දෙයකි එය. (ද්විතීය කථාව 15:16, 17) යෙහෝවාට අපේ ජීවිතය කැප කිරීම අප ඔහුට ප්‍රේම කරන බව ඒත්තුගන්වන සාක්ෂියකි.

අපේ මුළු මනසින් යෙහෝවාට ප්‍රේම කිරීම

අපේ මුළු මනසින් යෙහෝවාට ප්‍රේම කිරීම යනු යෙහෝවාගේ පෞද්ගලිකත්වය, අරමුණු හා අවශ්‍යතා තේරුම්ගැනීමට අවශ්‍ය සෑම වෑයමක්ම අප විසින් දැරීමය. (යොහන් 17:3; ක්‍රියා 17:11) යෙහෝවාට අපේ ප්‍රේමය අප පෙන්වන්නේ අන්‍යයන්ටත් යෙහෝවාට ප්‍රේම කිරීමට උපකාර කිරීම සඳහා අපේ මානසික හැකියාවන් හොඳින් යොදාගැනීමෙන් හා අපේ ඉගැන්වීමේ කලාව වැඩි වර්ධනය කරගැනීමෙනි. “ක්‍රියාකාරකම් සඳහා මනසින් ශක්තිමත් වන්න” කියා ප්‍රේරිත පේතෘස් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියේය. (1 පේතෘස් 1:13, NW) එමෙන්ම, අන්‍යයන් කෙරෙහි, විශේෂයෙන්ම සෙසු දේවසේවකයන් කෙරෙහි උනන්දුවක් දැක්වීමට අපි පරිශ්‍රමයක් දරන්නෙමු. ඔවුන්ගේ තත්වයන් ගැන අවබෝධයෙන් සිටින අපි ප්‍රශංසා කිරීමට යෝග්‍ය අවස්ථාව හෝ සැනසීමට අවශ්‍ය අවස්ථාව වටහාගන්නෙමු.

සිතුවිලිවලින් යෙහෝවාට යටහත් වීම මගින් අපි ඔහුට මුළු මනසින් ප්‍රේම කරන බව පෙන්වන්නෙමු. අපි ඔහු බලන කෝණයෙන් දේවල් දෙස බැලීමට, අප තීරණ ගන්නා විට ඔහුව සලකා බැලීමට හා ඔහුගේ ක්‍රමය හොඳම ක්‍රමය බව විශ්වාස කිරීමට උත්සාහ කරන්නෙමු. (හිතෝපදේශ 3:5, 6; යෙසායා 55:9; පිලිප්පි 2:3-7) එහෙත් දෙවිට අපේ ප්‍රේමය දිගටම පෙන්වන ගමන් අපේ ශක්තිය යොදාගැනීමට අපට හැක්කේ කෙසේද?

අපේ මුළු ශක්තියෙන් යෙහෝවාට ප්‍රේම කිරීම

ක්‍රිස්තියානි සභාවේ යෞවනයෝ බොහෝදෙනෙක් යෙහෝවාට ප්‍රශංසා කිරීමට තම ශක්තිය යොදාගනිති. (හිතෝපදේශ 20:29; දේශනාකාරයා 12:1) තම මුළු ශක්තියෙන් යෙහෝවාට ප්‍රේම කරන බව යෞවන ක්‍රිස්තියානීන් ගණනාවක්ම පෙන්වන එක් ක්‍රමයක් වන්නේ පුරෝගාමී සේවය හෙවත් පූර්ණ කාලීන දේවසේවයෙහි නියැලීමයි. තම දරුවන් පාසැලේ සිටින අතරතුරේ බොහෝ මව්වරු මෙම සේවයෙහි නියැලෙති. තමන්ගේම පවුල්වල ශුභසිද්ධිය ගැන බලනවාට අමතරව එඬේර බැහැදැකීම් කරන ඇදහිලිවන්ත වැඩිමහල්ලෝ තමන්ගේ මුළු ශක්තියෙන් යෙහෝවාට ප්‍රේම කරන බව පෙන්වති. (2 කොරින්ති 12:15) තමා කෙරෙහි බලාපොරොත්තු තබා තිබෙන අයට යෙහෝවා බලය දෙන අතර එම නිසා තමන්ට ඇති කුමන හෝ ශක්තියක් යොදාගෙන ඔහුට ප්‍රශංසා කිරීමෙන් තම ප්‍රේමය පෙන්වීමට ඔවුන්ට හැකිය.—යෙසායා 40:29; හෙබ්‍රෙව් 6:11, 12.

නිසි සැලකිල්ලක් දැක්වුවහොත් අපේ ප්‍රේමය වැඩි වෙනු ඇත. එබැවින්, අපි මෙනෙහි කිරීමට දිගටම කාලය ගන්නෙමු. යෙහෝවා අපට කර තිබෙන දේවල් මොනවාදැයි කියාත්, අපේ භක්තිය ලබන්න ඔහු සුදුසු වීමට හේතුව කුමක්දැයි කියාත් අපේ මතකයේ ඇත. ආදම්ගෙන් පැවතෙන අසම්පූර්ණ මනුෂ්‍යයන් හැටියට අපට කවදාවත් “තමාට ප්‍රේම කරන්නන් උදෙසා දෙවි සූදානම් කර තිබෙන දේ” ලැබීමට සුදුස්සන් විය නොහැකියි. එහෙත් අපේ පණටත් වඩා අප යෙහෝවාට ප්‍රේම කරන බව පෙන්වීමට අපට හැකියි. අපි දිගටම එසේ කරමු!—1 කොරින්ති 2:9, NW.

[20වන පිටුවේ පින්තූරය]

අපි දෙවිට ප්‍රේම කරන බව පෙන්වන්නේ ක්‍රියා මගිනි