Skip to content

පටුනට යන්න

දෙවිගේ සේවකයන් ගස් මෙන් වන්නේ කෙසේද?

දෙවිගේ සේවකයන් ගස් මෙන් වන්නේ කෙසේද?

දෙවිගේ සේවකයන් ගස් මෙන් වන්නේ කෙසේද?

බයිබල් ප්‍රතිපත්තිවලට ඉමහත් ආශාවක් දක්වන්නාවූ, ඒවා තම ජීවිතයට අදාළ කරගන්නාවූ පුද්ගලයෙක් ගැන ගීතිකාකරු පවසන්නේ “ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට පල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සපල වෙයි” යනුවෙනි. (ගීතාවලිය 1:1-3) මෙම සැසඳීම යෝග්‍ය වනුයේ මන්ද?

වෘක්ෂයෝ බොහෝ කල් පවතී. උදාහරණයක් ලෙස මධ්‍යධරණී ප්‍රදේශයේ සමහර ඔලීව ගස් අවුරුදු දාහක් දෙදහක් වැනි දීර්ඝ කාලයක් පුරා පැවතෙන බව කියැවේ. ඒ වගේම මධ්‍යම අප්‍රිකාවේ බෙයෝබැබ් නම් ගස් වර්ගය බොහෝ වසර ගණනාවක් පවතින අතර කැලිෆෝනියාවේ බ්‍රිස්ල්කෝන් නම් එක්තරා පයින් ගසක් අවුරුදු 4,600ක් පමණ පැරණි බව විශ්වාස කෙරේ. වනාන්තරයක වැඩුණු වෘක්ෂවලින් ඒ අවට පරිසරයට මහත් ප්‍රයෝජන ලැබේ. උදාහරණයක් ලෙස, වැඩුණු වෘක්ෂ අනෙකුත් කුඩා ගස්වලට සෙවණ ලබා දෙන අතර එම වෘක්ෂවලින් වැටෙන කොළ පස සාරවත් කිරීමට මහෝපකාරී වේ.

ලෝකයේ ඇති උසම ගස් බොහෝවිට එක ළඟ වැඩෙන ආකාරය වනාන්තරවල දැකිය හැකියි. එහිදී ගසක් ගසකට ආධාරකයක් වෙයි. මෙලෙස එකට වැඩෙන ගස්වල මුල් එකිනෙකට තදින් වෙළී තිබෙන නිසා චණ්ඩ මාරුතයකදී පිට්ටනියක තනිව වැඩෙන ගසකට වඩා මේ ගස්වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩියි. ඒ වගේම විශාල මුල් පද්ධතියක් තිබෙන විටත් ගසට අවශ්‍ය තරම් පොහොර හා වතුර පසෙන් උරාගැනීමට පහසු වේ. සමහර ගස්වල මුල් පොළොව යටට කොතෙක් දුරට කිඳාබැස තිබෙනවාද යත් එම දුර ප්‍රමාණය ගසේ උසට වඩා වැඩියි. එසේත් නැත්නම් ගසේ අතු විහිදී තිබෙන පරාසයට වඩා වැඩි පරාසයකට ගසේ මුල් තිරස් අතට විහිදී තිබෙන්න පුළුවන්.

ප්‍රේරිත පාවුල් “ඔහු [යේසුස්] සමඟ එක්සත්ව දිගටම ගමන් කරමින්, ඔබට ඉගැන්වූ ලෙස ඔහු තුළ මුල් ඇද වර්ධනය වෙමින් ඇදහිල්ලේ ස්ථිරව සිටින්න” කියා පැවසූ විට ක්‍රිස්තියානීන්ව වක්‍රාකාරයෙන් ගසක් හා සන්සන්දනය කළා විය හැකියි. (කොලොස්සි 2:6, 7, NW) ඇත්තවශයෙන්ම, ක්‍රිස්තියානීන්ට නොසැලෙන ඇදහිල්ලකින් යුතුව සිටිය හැක්කේ ඔවුන්ද යේසුස් තුළ මුල් ඇද ස්ථිරව සිටියොත් පමණි.—1 පේතෘස් 2:21.

දෙවිගේ සේවකයන් ගස්වලට සමාන කළ හැක්කේ වෙනත් කුමන පැතිවලින්ද? වනළැහැබක ගස්, අවට ඇති ගස්වල ආධාරයෙන් ශක්තිමත් වනවා හා සමානව ක්‍රිස්තියානි සභාවට ඇලී සිටින්නන් සෙසු ඇදහිලිවන්තයන්ගේ ආධාරයෙන් ශක්තිමත් වෙයි. (ගලාති 6:2) ඇදහිලිවන්ත මේරූ ක්‍රිස්තියානීන් තම ආත්මික මුල් දසත විහිදුවාහැර තිබීම නිසා නවකයන්ට ඇදහිල්ලේ ස්ථිරව සිටීමටත් චණ්ඩ මාරුත වැනි විරුද්ධවාදිකම් හමුවේ නොසැලී සිටීමටත් උපකාරවත් වෙයි. (රෝම 1:11, 12) වඩාත් අද්දැකීම් ලත් දේවසේවකයන්ගේ ආරක්ෂක “සෙවණැල්ල” යටතේ නවක ක්‍රිස්තියානීන්ට සශ්‍රීක විය හැකියි. (රෝම 15:1) ලොව පුරාම පවතින ක්‍රිස්තියානි සභාවල සාමාජිකයන් “ධර්මිෂ්ඨකමේ අලෝන [විශාල NW] ගස්” වන අභිෂේක ලත් ඉතිරි කොටස සපයන ශක්තිය වඩවන ආත්මික ආහාරවලින් පෝෂණය ලබාගනියි.—යෙසායා 61:3.

දෙවිගේ සියලුම සෙනඟට යෙසායා 65:22හි පවසා ඇති පරිදි “මාගේ සෙනඟගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේය” යන පොරොන්දුව ඉෂ්ට වීමේ අපේක්ෂාව මොන තරම් භාග්‍යයක්ද!

[28වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Godo-Foto