Skip to content

පටුනට යන්න

නාමික ක්‍රිස්තියානි සභා බේරාගත හැකිද?

නාමික ක්‍රිස්තියානි සභා බේරාගත හැකිද?

නාමික ක්‍රිස්තියානි සභා බේරාගත හැකිද?

“බ්‍රිතාන්‍යයේ වෙසෙන මිනිසුන් තවමත් දෙවියන් කෙරෙහි විශ්වාස කරන නමුත් ක්‍රිස්තුස් කෙරෙහි බැඳීමක් ඇති කරගැනීමට කැමති නැත” යනුවෙන් ස්ටීවන් ටිරොම්වි නමැති උගන්ඩා ජාතික පූජකවරයා පවසයි. වසර 20කට පමණ පෙර, ඔහු උගන්ඩාවේ සිය සභාවට එරෙහිව ගෙනෙන ලද ප්‍රචණ්ඩකාරී ප්‍රහාරවලින් දිවි ගලවාගත්තේ අනූනවයෙනි. අද ඔහු එංගලන්තයේ ලීඩ්ස්හි පිහිටි පිරිමින්ගේ සමාජ ශාලාවන් තුළ දේශනා කරන අතර, විනාඩි දහයක ඔහුගේ දේශනයෙන් පසුව ඔහුගේ සබය බිංගෝ සෙල්ලම කිරීමට පටන්ගනී.

බ්‍රිතාන්‍යයට ඔබ්බෙන් අත්ලාන්තික් සාගරයේ පිහිටි අමෙරිකාවේ අංග්ලිකානු සභාව මගින් මෑතකදී සංවිධානය කරන ලද ධර්මදූත මෙහෙවර බරපතළ අධ්‍යාත්මික අර්බුදයකට මුහුණ දෙමින් සිටී. “පල්ලි නොයන, කිසිම අධ්‍යාත්මික සම්බන්ධයක් නැත්තාවූ, ඉංග්‍රීසි කතා කරන විශාලතම ජන සංඛ්‍යාව දැන් සිටින්නේ එක්සත් ජනපදයෙයි,” යනුවෙන් එම සභාවේ නිල වෙබ් අඩවිය පවසයි. “අපේ රටට දැන් මිෂනාරිවරුන් අවශ්‍ය වී ඇත.” තම සභා තුළම යම් වෙනස්කම් කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වී ඒ ගැන කලකිරුණු එම අලුත් ආගමික කණ්ඩායම, සභාවල සම්ප්‍රදායන්ගෙන් බැහැරව ආසියාවේ සහ අප්‍රිකාවේ ආගමික නායකයන්ට එකතු වූයේ, “එක්සත් ජනපදයේ මිෂනාරි ක්‍රියාකාරකම්” පටන්ගැනීමටය.

එහෙත්, අප්‍රිකානු, ආසියානු සහ ලතින් අමෙරිකානු මිෂනාරීන් ක්‍රිස්තියානියයි කියාගන්නා උතුරු අමෙරිකාව හා යුරෝපය වැනි රටවල ‘ජීවිත ගැලවීමක’ නිරත වෙමින් සිටින්නේ මන්ද?

ගලවන්නේ කවුද? කාවද?

වසර හාරසියයකට වඩා වැඩි ගණනක් පුරා, යුරෝපීය ජාතික භක්තිමත් මිෂනාරිවරු අප්‍රිකාවේ, ආසියාවේ, පැසිෆික් දූපත්වල සහ දකුණු අමෙරිකාවේ යුරෝපීය ආක්‍රමණවලට හසු වූ ජනාවාසවල තම ධර්මදූත කටයුතුවල යෙදුණාහ. එම රටවල මිථ්‍යාදෘෂ්ටිකයන්යයි ඔවුන් විසින් හඳුන්වනු ලබන ජනයා කරා ඔවුහු තමන්ගේ ආගම ගෙන ගියහ. කල් යත්ම සිදු වූයේ, ක්‍රිස්තියානි ප්‍රතිපත්ති මත පිහිටා ඇතැයි කියැවෙන අමෙරිකානු ජනාවාසවල වැසියන් තම යුරෝපීය ජාතික මිෂනාරි සගයන් සමඟ එක්කාසු වී තමන්ගේම එවැන්ජලිස්ත සභා ලෝකය පුරා පිහිටුවීමය. දැන් එම රැල්ල අනෙක් අතට හැරී ඇත.

“[නාමික ක්‍රිස්තියානි ලෝකයේ] කේන්ද්‍රස්ථානය වෙනස් වී ඇතැයි” යුරෝපීය නොවන රටවල ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ අධ්‍යයනය කරන මධ්‍යස්ථානයේ ප්‍රධාන අධ්‍යක්ෂක ඇන්ඩෲ වේල්ස් පවසයි. වර්ෂ 1900දී, ක්‍රිස්තියානියයි කියාගත් අයගෙන් සියයට 80ක්ම යුරෝපීය හෝ උතුරු අමෙරිකානු ජාතිකයෝ වූහ. කෙසේවෙතත්, අද දින ක්‍රිස්තියානියයි කියාගන්නාවූ අයගෙන් සියයට 60ක්ම වෙසෙන්නේ අප්‍රිකාවේ, ආසියාවේ සහ ලතින් අමෙරිකාවේය. මෑතක පළ වූ පුවත් වාර්තාවක මෙසේ සඳහන් වේ. “යුරෝපයේ කතෝලික සභා, ෆිලිපීනයේ සහ ඉන්දියාවේ පූජකයන් මත රඳා සිටී.” තවද “අමෙරිකානු කතෝලික මීසම්වල සේවය කරන පූජකයන් හයදෙනෙකුගෙන් එක්කෙනෙක්ව දැන් පිටරටින් ගෙන්වා ගත් අයයි.” නෙදර්ලන්තයේ වෙසෙන අප්‍රිකානු එවැන්ජලිස්තවරුන්ගෙන් වැඩි ගණනක් ඝානාවෙන් පැමිණ සිටින අතර ඔවුන් තමන්වම සලකන්නේ “වෙනත් මහාද්වීපයක තිබෙන මිෂනාරි සභාවක්” ලෙසටය. බ්‍රසීලයෙන් පැමිණි එවැන්ජලිස්තවරු දැන් බ්‍රිතාන්‍යයේ විවිධ පළාත්වල ආගමික ව්‍යාපෘති පවත්වති. එක් ලේඛකයෙක් නිරීක්ෂණය කළේ මෙලෙසයි. “ක්‍රිස්තියානි මිෂනාරි සේවය නමැති වාහනයේ ගියරය පිටුපස්සට වැටී තිබේ.”

ගැටුමක පෙර නිමිති

එන්න එන්නම ලෞකිකත්වයට බර වූ යුරෝපීය සහ උතුරු අමෙරිකානු මහද්වීපවලට මිෂනාරීන් බොහෝ සෙයින් අවශ්‍ය වීමට ඉඩ ඇත. “ස්කොට්ලන්තයේ වෙසෙන ක්‍රිස්තියානීන්ගෙන් නිතිපතා පල්ලි යන්නේ සියයට 10කට වඩා අඩු සංඛ්‍යාවක්” යයි එක් පුවත් සඟරාවක් සටහන් කරයි. ප්‍රංශයේ සහ ජර්මනියේ වෙසෙන අයගෙන් පල්ලි යන්නේ ඊටත් වඩා අඩු සංඛ්‍යාවකි. කරන ලද සමීක්ෂණයකදී “තමන් නිතිපතා පල්ලි යන බව කියා සිටින්නේ අමෙරිකානුවන්ගෙන් සියයට 40ක් සහ කැනේඩියානුවන් සියයට 20ක් පමණ” යයි තවත් පුවත් වාර්තාවක් කියයි. ෆිලිපීනයේ තත්වය මීට වෙනස්ය. එහි සියයට 70ක් පමණ පල්ලි යන අතර, දියුණු වෙමින් පවතින රටවල තිබෙන්නේද මෙවන් තත්වයකි.

මීටත් වඩා විශේෂ දෙයක් නම්, දකුණු අර්ධ ගෝලයේ වෙසෙන පල්ලි යන්නන්, උතුරු අර්ධ ගෝලයේ වෙසෙන පල්ලි යන්නන්ට වඩා බොහෝ සෙයින් පාරම්පරික සම්ප්‍රදායන්ට බරවීමයි. නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදවල සහ යුරෝපයේ කතෝලික අයගෙන් ඡන්ද විමසීමක් කරන විට, ඔවුන් නිතරම පූජක පක්ෂය හොබවන අධිකාරය කෙරෙහි ඔවුන් තුළ වර්ධනය වෙමින් තිබෙන දැඩි අවිශ්වාසය පළ කරන අතර, ගිහියන්ගේ වැඩි දායකත්වය ගැනද ස්ත්‍රීන්ගේ සමාන අයිතිවාසිකම් ගැනද කතා කරති. අනෙක් අතට, දකුණු අර්ධ ගෝලයේ වෙසෙන කතෝලිකයෝ මෙම කාරණා සම්බන්ධව පල්ලිය දරන සාම්ප්‍රදායික ස්ථාවරයන් තව තවත් වැලඳගනිති. පල්ලියට සහයෝගය දක්වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව උතුරු අර්ධ ගෝලයේ සිට දකුණු අර්ධ ගෝලය දක්වා වෙනස් වන විට, අනාගත ගැටුමකට යම් අත්තිවාරමක් දැනටමත් දමනු ලබමින් තිබේ. ඉතිහාසය සහ ආගම පිළිබඳ විශාරදයෙකු වන ෆිලිප් ජෙන්කින්ස් මෙසේ පුරෝකථනය කරයි. “තව දශකයක් හෝ දෙකක් හෝ ගත වන විට, ක්‍රිස්තියානි ලෝකයේ මේ කොටස් දෙකින් එකක්වත් සම්පූර්ණ ක්‍රිස්තියානි ධර්මය හෝ නියම ක්‍රිස්තියානි ධර්මය වශයෙන් එකිනෙකාව පිළිනොගන්නාවූ තත්වයකට පත් විය හැකියි.”

මේ ප්‍රවණතාවන් ගැන සලකා බලන කල, වේල්ස් පවසන්නේ පැනනඟින අතිවැදගත් ප්‍රශ්නය නම්, “අප්‍රිකානුවන්, ආසියාතිකයන්, ලතින් අමෙරිකානුවන් සහ යුරෝපීයයන් එකම සභාවක එක විශ්වාසයකින් යුතුව එකම ඇදහිල්ල බෙදාගන්නේ කෙසේද යන්නයි.” ඔබ සිතන්නේ කුමක්ද? බෙදී පවතින ලෝකයක බේරී පැවතීමට සභාවලට හැකිද? සැබෑ ක්‍රිස්තියානි ධර්මයට පදනම කුමක්ද? ඊළඟ ලිපිය මේවාට ශුද්ධ ලියවිලිමය පිළිතුරු සපයන අතර, එක්සත් ක්‍රිස්තියානි ප්‍රජාවක් දැනටමත් ලොව පුරා සමෘද්ධිමත් වෙමින් පවතින බවට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කෙරෙනු ඇත.

[4වන පිටුවේ පින්තූරය]

කලින් පල්ලියක්ව තිබූ මෙය දැන් සංගීතය රස විඳිය හැකි ආපන ශාලාවකි

[හිමිකම් විස්තර]

AP Photo/Nancy Palmieri