Skip to content

පටුනට යන්න

මාව ඉසිලුවේ දේවභක්තිය නිසා ලද සෑහීමයි

මාව ඉසිලුවේ දේවභක්තිය නිසා ලද සෑහීමයි

ජීවිත කතාව

මාව ඉසිලුවේ දේවභක්තිය නිසා ලද සෑහීමයි

පැවසුවේ බෙන්ජමින් ඊකේචුකු ඔසූකේ

මම පූර්ණ කාලීනව දේශනා සේවයේ නියැලෙන්න පටන්ගත් කාලයේම වගේ මගේ දෙමාපියන්ව බලන්න ගියා. මාව දැක්ක ගමන්ම තාත්තා මගේ කමිසයෙන් අල්ලලා “හොරා” කියලා කෑ ගහලා, ඔහු ගාව තිබූ කොට කඩුවක් අරගෙන පැතලි පැත්තෙන් මට ගැහැව්වා. සද්දේ ඇහිලා ගමේ මිනිස්සුත් අපේ ගෙදරට ආවා. ඇත්තටම මම හොරකම් කරලා තිබුණේ මොනවාද? මම පැහැදිලි කරන්නම්.

මම ඉපදුණේ 1930, දකුණු නයිජීරියාවේ ඌමාරීම් කියන ගමේ. දූ දරුවන් හත්දෙනෙකුගෙන් යුත් පවුලක මම තමයි වැඩිමලා. මගේ ලොකු නංගි අවුරුදු 13දී මිය ගියා. මගේ දෙමාපියන් එංගලන්ත සභාවට අයිති අයයි. තාත්තා ගොවියෙක්. අම්මා කළේ සුළු වෙළඳාම්. ඇය අපේ ගමේ ඉඳන් කිලෝමීටර 30ක් එහායින් තිබුණ වෙළඳපොළවල්වලට පයින් ගොස් පාම් තෙල් ටින් එකක් මිල දී ගෙන එදිනම හවස ගෙදර එනවා. ඊට පස්සේ ඒ තෙල් විකුණන්න පසුදා හිමිදිරි පාන්දර කිලෝමීටර 40ක දුරකින් පිහිටි දුම්රියපොළක් ළඟ පිහිටි කුඩා ටවුමකට පයින්ම යනවා. ඇයට යම් ලාභයක් උපයාගන්න පුළුවන් වුණොත් පවුලට අවශ්‍ය කෑම බීම අරගෙන ඒ දවසේම නැවතත් ගෙදර එනවා. සාමාන්‍යයෙන් ඇය අමෙරිකානු ඩොලර් 0.15ක් පමණ තමයි ඉපයුවේ. ඇය 1950දී මිය යන තුරු අවුරුදු 15ක් පුරා ඇගේ ජීවිකාව වුණේ එයයි.

ගමේ එංගලන්ත සභාව මගින් පවත්වාගෙන ගිය පාසැලක තමයි මම මගේ ඉගෙනුම ආරම්භ කළේ. ඒත් මගේ මූලික අධ්‍යාපනය අවසන් කිරීමට කිලෝමීටර 35ක් එහායින් පිහිටි නිවසක නැවතිලා ඉන්න මට සිදු වුණා. වැඩි දුර අධ්‍යාපනයක් ලබා දෙන්න මගේ දෙමාපියන්ට සල්ලි තිබුණේ නැති නිසා මම රස්සාවක් හොයන්න පටන්ගත්තා. මුලින්ම මම බටහිර නයිජීරියාවේ ලාගොස්වල දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක සේවයේ නියුතු අයෙකුගේ නිවසෙත්, පසුව උතුරු නයිජීරියාවේ කඩූනාවල රජයේ සේවකයෙකුගේ නිවසෙත් වැඩ කළා. බටහිර නයිජීරියාවේ මැදට වෙන්නට පිහිටි බෙනින් නගරයේ නීතිඥවරයෙකු ළඟ ලිපිකරුවෙකු ලෙස මට රැකියාවක් ලැබුණා. පස්සේ මම ලී මෝලක කම්කරුවෙක් හැටියටත් වැඩ කළා. එහේ ඉඳන් මම 1953දී කැමරූන්වල හිටිය මගේ ඥාති සහෝදරයෙක් ළඟට ගියා. ඔහු මට රබර් වත්තක රැකියාවක් සොයාගැනීමට උදව් කළා. මට ලැබුණේ ඩොලර් 9ක පමණ මාසික පඩියක්. මම කළේ මෙහෙකාර රැකියාවල් විතරයි. ඒත් මගේ කෑම ටික ගන්න මට සල්ලි තිබුණා නම් මම එයින් සෑහීමට පත් වුණා.

දුප්පතෙකුගෙන් ධනය

මාත් සමඟ වැඩ කළ සිල්වානූස් ඕකෙමිරි යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්. අපි තණකොළ කපද්දී, රබර් ගස් මුල්වලට ආවරණ යොදද්දී වැනි සෑම අවස්ථාවකම ඔහු තමා සතු බයිබල් දැනුම මට දෙන්න වෑයම් කළා. මම ඔහු කියූ දේවල්වලට ඇහුම්කන් දුන්නත්, ඒ කාලයේදී ඊට එහායින් කිසිවක් කළේ නැහැ. එහෙත් මම සාක්ෂිකරුවන් සමඟ ආශ්‍රය කරනවා කියලා මගේ ඥාති සහෝදරයා දැනගත් විට මාව අධෛර්යය කරන්න ඔහුට කළ හැකි සෑම දෙයක්ම ඔහු කළා. ඔහු මට මෙහෙම අනතුරු ඇඟෙව්වා. “බෙන්ජි, ඔයා ඕකෝමීරි මහතාව හම්බ වෙන්න යන්න එපා. එයා යෙහෝවාගේ කෙනෙක්. ඒ මදිවට දුප්පතෙක්. එයාව ආශ්‍රය කරන ඕනෑම කෙනෙක් එයා වගේම වෙනවා.”

සමාගම අපිව මරවලා වැඩගත්තු නිසා 1954 මුලදී එයින් මම අස් වෙලා ගෙදර ගියා. ඒ කාලයේ එංගලන්ත සභාව තුළ සදාචාරය සම්බන්ධයෙන් තද ප්‍රතිපත්ති තිබුණා. ඒ නිසා මම පහත් දුරාචාරමය දේවල් පිළිකුල් කරන්න පුරුදු වුණා. නමුත් පල්ලියට ගිය අය අතර තිබූ වංචනික ක්‍රියා දැක්කාම මම කලකිරුණා. ඒ අය බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙනවා කියලා කිව්වත්, ඔවුන් කරන්නේ බොරු මවාපෑමක් බව ඔවුන් ජීවත් වන ආකාරයෙන් ඔප්පු වුණා. (මතෙව් 15:8) මගේ තාත්තා සමඟ නිතර නිතර ඒ ගැන තර්ක කරන්න මට සිදු වූ අතර මෙය අපේ සම්බන්ධයට බාධාවක් වුණා. එක දවසක් රෑ මම ගෙදරින් පිට වෙලා ගියා.

මම දුම්රියපොළක් අසල පිහිටි කුඩා නගරයක් වූ ඔමොබාවලට ගියා. එහිදී මට නැවතත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණා. ගමේ ඉන්න කාලයේ ඉඳන්ම අඳුනන ප්‍රිසිලා ඊසියෝචා මට දුන්නා,“රාජ්‍යයේ මේ ශුභාරංචිය” සහ “අර්මගෙදොනයට පසු දෙවිගේ නව ලොව” * නමැති පොත් පිංච. මට සත්‍යය ලැබුණා කියන ස්ථිර විශ්වාසයෙන් යුතුව මම ඒවා එක හුස්මට කියෙව්වා. මම ගිය පල්ලියේ බයිබලය අධ්‍යයනය කළේ නැහැ. එතැන මුල් තැනක් දුන්නේ මිනිස් සම්ප්‍රදායන්ටයි. ඒත් සාක්ෂිකරුවන්ගේ පොත් පත්වල බයිබල් පද උපුටා දැක්වීම් ගොඩාක් තිබුණා.

මාසයක් ගත වෙන්න ඉස්සෙල්ලා මම සහෝදරි සහ සහෝදර ඊසියෝකාගෙන් ඇහැව්වා කවද්ද එයාලා පල්ලි යන්නේ කියලා. මම පළමුවතාවට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ගිය විට මට කිසි දෙයක් තේරුණේ නැහැ. එදා පාඩම් කළ මුරටැඹ ලිපියේ එසකියෙල් නමැති අනාවැකි පොතේ සඳහන් ‘මාගොග්හි ගොග්ගේ’ ප්‍රහාරය ගැන තමයි සාකච්ඡා කරලා තිබුණේ. (එසකියෙල් 38:1, 2) මට නුහුරු යෙදුම් ගොඩාක් පාවිච්චි කරලා තිබුණා. ඒත් මට ලැබුණු උණුසුම් පිළිගැනීම නිසා ඊළඟ ඉරිදාත් යන්න මම තීරණය කළා. දෙවන රැස්වීමේදී දේශනා කිරීම ගැන කියනවා මට ඇහුණා. මම ප්‍රිසිලාගෙන් ඇහැව්වා කවදාද එයාලා දේශනා කරන්න යන්නේ කියලා. තුන්වෙනි ඉරිදා පුංචි බයිබලයකුත් අරගෙන එයාලත් එක්ක මම සේවයේ හවුල් වුණා. මට බෑග් එකක්වත්, බයිබල් ප්‍රකාශනවත් තිබුණේ නැහැ. එසේ වුවත්, මම රාජ්‍ය ප්‍රකාශකයෙක් වෙලා එම මාසය අවසානයේදී ක්ෂේත්‍ර සේවය පිළිබඳ වාර්තාවකුත් දැම්මා!

කවුරුත් මාත් එක්ක බයිබල් පාඩමක් පැවැත්වුවේ නැහැ. ඒත් ඊසියෝකා යුවළ මුණගැහෙන්න ගිය අවස්ථාවලදී මම ශුද්ධ ලියවිලිවල ඇති ඇදහිල්ල වර්ධනය කරවන හා දිරිගැන්වීමක් ලබා දෙන වචන එහෙන් මෙහෙන් ඉගෙනගත්තා. ඒ වගේම බයිබල් ප්‍රකාශනත් මට ලැබුණා. වර්ෂ 1954 දෙසැම්බර් 11වෙනි දා ඒබාවල පැවැත්වූ දිස්ත්‍රික් සමුළුවකදී යෙහෝවාට වුණ මගේ කැපවීම වතුර බව්තීස්මයෙන් මම සංකේතවත් කළා. මේ නිසා මම නවාතැන් ගෙන සිටි හා වැඩ පුහුණු වෙමින් සිටි මගේ ඥාති සහෝදරයාගේ ගෙදරින් මට කෑම දීමත්, පුහුණුව ලබා දීමත් නතර කළා. මම ඔහුට කළ සේවාවට සතයක්වත් ඔහු මට ගෙව්වේ නැහැ. ඒත් මම ඔහු සමඟ කිසි අමනාපයක් තබාගත්තේ නැහැ. දෙවිත් සමඟ හොඳ සබඳතාවක් තිබීම ගැන මම ගොඩක් සන්තෝෂ වුණා. එමගින් මට සැනසීමක් හා හිතට සහනයක් ලබා දුන්නා. අවට හිටිය සාක්ෂිකාරයන් මට උපකාර කළා. ඊසියෝකා යුවළ මට කෑම දුන්නා. අනිත් අය මට සුළු වෙළඳාමක් පටන්ගන්න ණයට මුදල් දුන්නා. වර්ෂ 1955 මැදභාගයේදී මම පරණ බයිසිකලයක් මිල දී ගත්තා. වර්ෂ 1956 මාර්තුවලදී මම ස්ථාවර පුරෝගාමි සේවයට පා තැබුවා. ඉන් ටික කාලයකට පස්සේ මම ගත්තු ණය මුදල පියෙව්වා. මට වෙළඳාමෙන් තිබුණේ සුළු ලාභයක්. ඒත් මගේ වියදම් පිරිමසාගන්න ඒ මුදල ප්‍රමාණවත් වුණා. යෙහෝවා සැපයූ දේවල් මට හොඳටම ප්‍රමාණවත් වුණා.

මගේ සහෝදර සහෝදරියන්ව “හොරකම් කිරීම”

මටම කියලා නවාතැනක් සොයාගත්තට පස්සේ මගේ අවධානය මුලින්ම යොමු වුණේ මගේ සහෝදර සහෝදරියන්ට ආත්මිකව උපකාර කිරීමටයි. තාත්තට තිබුණ අගතිසහගත හැඟීම සහ සැකය නිසා මම සාක්ෂිකරුවෙක් වෙනවාට ඔහු විරුද්ධ වුණා. ඉතින් මම දැන් කොහොමද මගේ සහෝදර සහෝදරියන්ට බයිබල් සත්‍යය ඉගෙනගන්න උපකාර කරන්නේ? මම මගේ මල්ලි වන අර්නස්ට්ව බලා කියා ගැනීමට ඉදිරිපත් වුණා. ඒ නිසා මල්ලි මා එක්ක නතර වෙනවාට තාත්තා කැමති වුණා. අර්නස්ට් ඉක්මනින්ම සත්‍යය පිළිගත් අතර 1956දී බව්තීස්ම වුණා. මල්ලිගේ වෙනස් වීම තාත්තගේ විරුද්ධත්වය තවත් වැඩිවීමට හේතු වුණා. ඒ මොනවා වුණත් විවාහ වී සිටි මගේ ලොකු නංගි ඇගේ ස්වාමිපුරුෂයාත් සමඟ සත්‍යය පිළිගත්තා. ඉන්පස්සේ මම මගේ දෙවෙනි නංගි වන ෆිලිෂියාට ඇගේ පාසැල් නිවාඩුව මාත් සමඟ ගත කරන්න සැලසුම් කළාම තාත්තා අකමැත්තෙන් තමයි ඊට ඉඩ දුන්නේ. වැඩි කාලයක් යන්න කලින් ෆිලිෂියාත් යෙහෝවාගේ සාක්ෂිකාරියක් ලෙස බව්තීස්ම වුණා.

මම වර්ෂ 1959දී මගේ තුන්වෙනි නංගි වන බර්නිස්ව, අර්නස්ට් සමඟ නතර කරවීම සඳහා රැගෙන එන්න ගියා. එතකොට තමයි තාත්තා මම ඔහුගේ දරුවන්ව හොරකම් කරනවා කියලා මට චෝදනා කරමින් පහරක් එල්ල කළේ. ඔවුන් තමන්ගේ කැමැත්තෙන්ම තමයි යෙහෝවාට සේවය කරන්න තෝරගත්තේ කියන එක තේරුම්ගන්න ඔහුට බැරි වුණා. බර්නිස්ව කොහෙත්ම ගෙනියන්න දෙන්නේ නැහැ කියලා තාත්තා තදින්ම කියා සිටියා. ඒ වුණත් යෙහෝවා ඊට වඩා බලවත් බව ඔප්පු වුණා. මොකද ඊළඟ අවුරුද්දේ බර්නිස් පාසැල් නිවාඩුව අර්නස්ට් සමඟ ගත කිරීමට ආවා. ඇයත් ඇගේ අක්කලා වගේ කැමැත්තෙන්ම සත්‍යය පිළිගෙන බව්තීස්ම වුණා.

‘රහස ඉගෙනීම’

වර්ෂ 1957 සැප්තැම්බර් මාසයේ සිට මසකට පැය 150ක් දේශනා සේවය සඳහා කැප කරමින් මම විශේෂ පුරෝගාමියෙක් ලෙස සේවය ආරම්භ කළා. මම මගේ පුරෝගාමි සහයක සන්ඩේ ඊරෝබාලාකි සමඟ ඒචා නගරයේ ආක්පු-නා-ආබුවා යන ගම් පළාතේ සේවය කළා. එය ඉතා විශාල ක්ෂේත්‍රයක්. අප එම ප්‍රදේශයේ සිටියදී සහභාගි වූ පළමු චාරිකා එක්රැස්වීමේදී අපේ කණ්ඩායමේ සිටි 13දෙනෙක් බව්තීස්ම වුණා. අද දින එම ප්‍රදේශයේ සභා 20ක් තිබෙනවා දකින්න ලැබීම කොයි තරම් සතුටක්ද!

වර්ෂ 1958දී ඒබා නැඟෙනහිර සභාවේ ස්ථාවර පුරෝගාමි සහෝදරියක් වූ ක්‍රිස්ටියානා ආස්වකේව මම දැන හඳුනා ගත්තා. ඇයට තිබූ ජ්වලිතකමට මගේ හිත ඇදී ගිය අතර එම වසරේ දෙසැම්බරයේ අප යුග දිවි ගමන් ඇරඹුවා. වර්ෂ 1959 මුල් භාගයේදී අපගේ ආත්මික සහෝදරයන් සිටින සභාවන් බැහැදැකීමට සහ ශක්තිමත් කිරීමට මාව සංචාරක අවේක්ෂකයෙක් ලෙස පත් කළා. එදා සිට 1972 දක්වා මමයි මගේ භාර්යාවයි නයිජීරියාවේ නැඟෙනහිර සහ බටහිර දිසාවේ මැද දක්වා තිබෙන යෙහෝවාගේ සෙනඟගේ සෑම සභාවක්ම වගේ බැහැදැකීමට ගියා.

එක් සභාවක සිට තවත් සභාවකට සෑහෙන දුර ප්‍රමාණයක් ගමන් කරන්න තිබුණා. ගමනාගමනය සඳහා අපට තිබුණේ බයිසිකලය විතරයි. විශාල නගරවල සේවය කරන විට එක් සභාවකින් තවත් සභාවකට යෑමට සහෝදරයෝ අපට ටැක්සියක් සූදානම් කර දුන්නා. සමහර අවස්ථාවල අපි නවාතැන් ගත් කාමරවල තිබුණේ මැටි පොළොවක්. වහලට සිවිලිමක් තිබුණේ නැහැ. අපි නිදාගත්තේ රැෆියා පාම් ගස්වල පතුරුවලින් තැනූ ඇඳවල්වල. සමහර ඇඳවල්වලට පිදුරු මෙට්ට දමා පැදුරක් එළා තිබුණා. සමහර ඇඳවල්වලට මෙට්ට දමා තිබුණෙත් නැහැ. ලැබුණ කෑම ප්‍රමාණය සහ එහි තත්වය අපට ප්‍රශ්නයක් වුණේ නැහැ. සුළු දෙයකින් පවා සෑහීමට පත් වෙන්න ඉගෙනගෙන තිබුණ නිසා අපට දුන් ඕනෑම කෑමක් අපි සතුටෙන් පිළිගත්තා. අපිට ආගන්තුක සත්කාරය පිරිනැමූ අය එය හුඟාක් අගය කළා. ඒ දවස්වල සමහර නගරවල විදුලි බලය තිබුණේ නැහැ. ඒ නිසා අපි යනකොට අපේ භූමිතෙල් ලන්තෑරුමත් අරගෙන ගියා. දුෂ්කර තත්වයන් තිබුණත් සභාවන්වල අය සමඟ ගත කළ කාලය හරිම ප්‍රීතිමත්.

ප්‍රේරිත පාවුල් දුන්න අවවාදය වන “කන්න අඳින්න සහ ඉන්න හිටින්න තැනක් ඇත්නම්, අපි මේවායින් සෑහීමට පත් වෙමු” යන්නෙහි තිබෙන වටිනාකම එම අවුරුදුවලදී අපිට හොඳ හැටි තේරුණා. (1 තිමෝති 6:8, NW) දුෂ්කරතාවලට මුහුණ දීම තුළින් පාවුල් රහසක් ඉගෙනගත්තා. එමගින් සෑහීමට පත්ව සිටින්න ඔහුට හැකි වුණා. මොකක්ද එම රහස? ඔහු එය මෙසේ පැහැදිලි කරනවා. “හිඟව සිටින්න මම දනිමි. බොහෝ දේවල් ඇතිව සිටින්නත් මම දනිමි. සෑම දෙයකදීම හා සෑම තත්වයකදීම තෘප්තිමත්ව සිටින්නත්, කුසගින්නෙන් සිටින්නත්, බොහෝ දේවල් ඇතිව සිටින්නත්, අග හිඟකම් ඇතිව සිටින්නත් හැකි රහස ඉගෙනගෙන සිටිමි.” අපත් එම රහසම ඉගෙනගත්තා. පාවුල් මෙලෙසත් පැවසුවා. “මට බලය දෙන තැනැත්තාගෙන් [දෙවිගෙන්] සියලු දේ සඳහා මට ශක්තිය ලැබේ.” (ෆිලිප්පි 4:12, 13, NW) එය අපි සම්බන්ධයෙන් කොතරම් සැබෑවක් වුණාද? අපි සෑහීම, ගොඩනංවනසුලු ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් සහ මානසික සැනසීම වැනි දේවලින් ආශීර්වාද ලැබුවා.

පවුලක් ලෙස සභාවන්ට සේවය කිරීම

වර්ෂ 1959 අගභාගයේදී අපේ ලොකු පුතා වන ජොයෙලුත් 1962දී දෙවෙනි පුතා වන සැමුවෙලුත් ඉපදුණා. ක්‍රිස්ටියානායි මායි දරුවන් සමඟ දිගටම සභාවන්ට යමින් සංචාරක සේවයේ නිරත වුණා. හදිසියේම වගේ නයිජීරියාවේ සිවිල් යුද්ධයක් ඇති වුණා, 1967දී. එක දිගටම ගුවනින් එල්ල වුණ ප්‍රහාර නිසා පාසැල් වසා දැමුවා. මා සමඟ සංචාරක සේවයේ හවුල් වීමට කලින් මගේ භාර්යාව ගුරුවරියක්. යුද්ධ කාලයේදී ඇය දරුවන්ට ගෙදරදීම ඉගැන්වුවා. සැමුවෙල්ට අවුරුදු හයක් වෙනකොට ලියන්නත් කියවන්නත් පුළුවන් වුණා. යුද්ධය අවසන් වූ පසු ඔහුව පාසැලට ඇතුල් කළාම ඔහුගේ වයසේ සිටි අනෙක් ළමයින්ට වඩා ඔහු පංති දෙකක් ඉදිරියෙන් සිටියා.

සංචාරක සේවයේ නිරත වෙමින් දරුවන් හදා වඩා ගැනීම කොතරම් දුෂ්කර දෙයක්ද කියන එක ඒ කාලයේ අපි තේරුම් අරගෙන තිබුණේ නැහැ. ඒත් අපව 1972දී විශේෂ පුරෝගාමීන් හැටියට පත් කළාම එය ප්‍රයෝජනවත් වුණා. ඒ නිසා අපට එක ස්ථානයක ඉන්න පුළුවන් වුණා වගේම අපේ පවුලේ ආත්මිකත්වයට වැඩි අවධානයක් දෙන්නත් පුළුවන් වුණා. භක්තිවන්ත ජීවිතයකින් ලැබෙන සෑහීම පිළිබඳව අපි අපේ පුතාලට ඉගැන්වුවේ එයාලා පුංචි කාලේදීමයි. වර්ෂ 1973දී සැමුවෙල් බව්තීස්ම වුණ අතර ජොයෙල් ස්ථාවර පුරෝගාමි සේවය ආරම්භ කළා. අපේ පුතාලා දෙන්නම ගුණ යහපත් ක්‍රිස්තියානි ස්ත්‍රීන්ව විවාහ කරගත් අතර දැන් සත්‍යය තුළ තමන්ගේම පවුල් හදා වඩා ගනිමින් සිටිනවා.

සිවිල් ගැටුම් නිසා ඇති වූ දුක්ඛිත තත්වය

මගේ පවුලත් සමඟ ඔනිචා නගරයේ සභාවක චාරිකා අවේක්ෂකයෙක් ලෙස සේවය කරන කාලයේ තමයි සිවිල් යුද්ධය ආරම්භ වුණේ. ඒ යුද්ධය නිසා ද්‍රව්‍යමය දේවල් එකතු කිරීමේ සහ ඒ කෙරෙහි විශ්වාසය තැබීමේ නිෂ්ඵලකම තවත් තහවුරු වුණා. මිනිස්සු තමන්ගේ ජීවිතය ගලවාගන්න තමන්ගේ වටිනා දේපළ විදීවල දමා දුවන හැටි මම දැක්කා.

යුද්ධය ක්‍රමක්‍රමයෙන් උග්‍ර වනවාත් සමඟම සියලුම ශක්තිමත් පුරුෂයන්ව අනිවාර්යය හමුදා සේවයට බඳවාගත්තා. බැඳෙන්න අකමැති වුණු අපේ සහෝදරයන් හුඟදෙනෙකු වඳ හිංසාවන්ට ලක් වුණා. අපට නිදහසේ ගමන් බිමන් යන්න බැරිව ගියා. ආහාර හිඟකම නිසා රට පුරාම නොසන්සුන් තත්වයක් ඇති වුණා. ඩොලර් 0.07ට තිබුණු මඤ්ඤොක්කා කිලෝ භාගයක් ඩොලර් 14කට නැග්ගා. ඩොලර් 8ක ලුණු කෝප්පයක් ඩොලර් 42ක් දක්වා වැඩි වුණා. කිරි, බටර් සහ සීනි ඇහැටවත් දකින්න ලැබුණේ නැහැ. අපි අමු ගස්ලබු කොටලා එයට මඤ්ඤොක්කා පිටි ටිකක් මිශ්‍ර කර කාලා තමයි ජීවත් වුණේ. අපි තණකොළ පෙත්තෝ, මඤ්ඤොක්කා පොතු, වදමල් කොළ, තණකොළ වර්ගයක් වැනි සොයාගත හැකි හැම කොළයක්ම කෑමට ගත්තා. මස්වල මිල අධික වුණා. ඒ නිසා මම දරුවන්ට කන්න දෙන්න තළගොයි ඇල්ලුවා. කොතරම් දරුණු තත්වයක් තිබුණත් යෙහෝවා හැම විටම අපව රැකබලා ගත්තා.

ඒ හැම එකකටම වඩා භයානක වුණේ යුද්ධය නිසා ඇති වුණ ආත්මික අඟ හිඟකම්. සහෝදරයන් හුඟදෙනෙක් යුධ කලාපවල සිට වනාන්තරවලට හෝ වෙනත් ගම්වලට පලා ගියා. ඒ යන අතරතුරේ ඔවුන්ගේ බයිබල් පොත් පත් වැඩි හරියක් නැති වුණා. සමහර අයගේ පොත් පත් සේරම වගේ නැති වුණා. ඊට අමතරව රජයේ හමුදා මාර්ග බාධක දමා තිබූ නිසා බියාෆ්‍රා ප්‍රදේශය තුළට බයිබල් පොත් ගෙන ඒම වැළැක්වුණා. හැම සභාවක්ම වගේ රැස්වීම් පැවැත්වීමට උත්සාහ කළත්, ශාඛා කාර්යාලයෙන් නිසි මඟ පෙන්වීම් ලබාගැනීමට හැකියාවක් නොතිබුණු නිසා සහෝදරයන්ගේ ආත්මිකත්වය තිබුණේ හොඳ තත්වයක නොවෙයි.

ආත්මික කුසගින්න නිවීම

සංචාරක අවේක්ෂකයන් නොකඩවා හැම සභාවකටම යෑම සඳහා උපරිම උත්සාහයක් ගත්තා. බොහෝ සහෝදරයන් නගරයෙන් පලා ගොස් තිබුණ නිසා මම ඔවුන් ඉඳීවි කියා සිතූ සෑම තැනකටම ගියා ඔවුන්ව සොයාගෙන. එක් අවස්ථාවක මම මගේ භාර්යාව සහ දරුවන්ව ආරක්ෂිත ස්ථානයක තබා විවිධ ගම්වල සහ වනාන්තරවල සති 6ක් පුරා සහෝදරයන්ව සොයමින් තනියම ගමන් කළා.

මම ඔබූන්කා සභාවේ සේවය කරමින් සිටින විට ඕකීග්වේ දිස්ත්‍රික්කයේ ඉසූඕචි ප්‍රදේශයේ සාක්ෂිකාරයන් විශාල පිරිසක් ඉන්නවා කියා මට දැනගන්න ලැබුණා. මම එම සහෝදරයන්ට උමුආකු ප්‍රදේශයේ තිබෙන එක්තරා කජු වත්තක රැස් වෙන්න කියා පණිවිඩයක් අරින මෙන් සහෝදරයන්ගෙන් ඉල්ලා සිටියා. වයසක සහෝදරයෙකුයි මායි අපේ බයිසිකල්වලින් කිලෝමීටර් 15ක් දුර පැදගෙන එම වත්තට ගියා. ස්ත්‍රීන් සහ දරුවන් ඇතුළු සාක්ෂිකරුවන් 200ක් පමණ එහි රැස් වී සිටියා. පුරෝගාමි සහෝදරියකගේ උපකාරය ඇතිව ලොමාරා වනලැහැබේ සිටි සාක්ෂිකරුවන් 100දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් සොයාගැනීමටත් මට හැකි වුණා.

යුද්ධයෙන් අලාභහානි වූ ඕවාරි නගරයේ සිටි ධෛර්යයවත් සහෝදරයන්ගෙන් එක් සහෝදරයෙක් තමයි ලොරන්ස් උග්වූ-ආග්බූ. ඔහු මට දැනුම් දුන්නා ඔහාජී නගරයේ සාක්ෂිකාරයන් සෑහෙන සංඛ්‍යාවක් සිටිනවා කියලා. හමුදා භටයන් එම ප්‍රදේශය අල්ලාගෙන සිටි නිසා ඔවුන්ට නිදහසේ ගමන් බිමන් යෑමට නොහැකි වුණා. අපි දෙදෙනා රාත්‍රියේදී රහසින් එම ප්‍රදේශයට බයිසිකල්වල ගොස් සහෝදරයෙකුගේ ගෙමිදුලේ රැස් වී සිටි සාක්ෂිකරුවන් 120දෙනෙක් පමණ මුණගැහුණා. වෙනත් ස්ථානවල සැඟවී සිටි සාක්ෂිකරුවන් බැලීමටත් අපි එම අවස්ථාව යොදාගත්තා.

අවතැන් වී සිටි අනෙකුත් සහෝදරයන් සොයාගැනීම සඳහා සහෝදර අයිසෙක් වාග්වූ තම ජීවිතය පරදුවට තබා මට උදව් කළා. ආග්බූ ආචා ප්‍රදේශයේ රැස් වී සිටි සාක්ෂිකරුවන් 150දෙනෙකුට වඩා වැඩි පිරිසක් මුණගැසීමට ඔහු ඔරුවකින් මාව ඔටාමිරි ගඟෙන් එගොඩට අරන් ගියා. එහි සිටි එක් සහෝදරයෙක් මෙහෙම කිව්වා. “මගේ ජීවිතයේ හොඳම දවස අද! මම මැරෙන්න කලින් චාරිකා ආවේක්ෂකයෙක්ව දකින්න ලැබෙයි කියලා මම හිතුවේ නැහැ. මේ දරුණු යුද්ධයේදී මැරුණත් දැන් මගේ හිතට දුකක් නැහැ.”

අනිවාර්යය හමුදා සේවයට බඳවාගැනීමේ තර්ජනයට මම මුහුණ දුන්නත් දිගටම යෙහෝවාගේ ආරක්ෂාව මට ලැබුණා. දිනක් සහෝදරයන් 250දෙනෙකු පමණ මුණගැසී හවස් යාමයේ මගේ නිවහන දෙසට යන විට කොමාන්ඩෝ මාර්ග බාධකයක් අසල මාව නැවැත්තුවා. “ඇයි හමුදාවට නොබැඳුණේ?” කියා ඔවුන් මගෙන් ප්‍රශ්න කළා. මම දේවරාජ්‍යය ගැන දේශනා කරන මිෂනාරිවරයෙක් කියා ඔවුන්ට පැවසුවා. මට තේරුණා ඔවුන් මාව අත්අඩංගුවට ගන්න තීරණය කරගෙන ඉන්නේ කියලා. මම නිහඬව කෙටි යාච්ඤාවක් කර හමුදාපතිට මෙහෙම කිව්වා. “කරුණාකර මාව නිදහස් කරන්න.” බලාපොරොත්තු නොවුණු විදිහට ඔහු මගෙන් මෙහෙම ඇහැව්වා. “ඔයා කියන්නේ අපිට ඔයාව යන්න අරින්න කියලද?” “ඔව්, මාව නිදහස් කරන්න” කියලා එවිට මම පිළිතුරු දුන්නා. “ඔබට යන්න පුළුවන්” කියලා ඔහු කිව්වා. එක සෙබළෙක්වත් වචනයක්වත් කිව්වේ නැහැ.—ගීතාවලිය 65:1, 2.

සෑහීමට පත්වීම නිසා තවත් ආශීර්වාද

වර්ෂ 1970දී යුද්ධය අවසන් වූ අතර මම දිගටම චාරිකා සේවයේ නියැලුණා. සභාවන් නැවත සංවිධානය කිරීමට උපකාර කිරීමට ලැබීම භාග්‍යයක්. ඉන්පස්සේ 1976දී නැවත වරක් චාරිකා ආවේක්ෂකයෙක් ලෙස පත් කරන තුරු ක්‍රිස්ටිනායි මමයි විශේෂ පුරෝගාමින් ලෙස සේවය කළා. එම අවුරුද්දේ මැදභාගයේදී විතර දිස්ත්‍රික් අවේක්ෂකයෙක් ලෙස කටයුතු කිරීම සඳහා මට පැවරුමක් ලැබුණා. අවුරුදු හතකට පසු මටත්, මගේ භාර්යාවටත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නයිජීරියාවේ ශාඛා කාර්යාලයේ සේවය කිරීමට ආරාධනා කළා. අපගේ වර්තමාන නිවහන වී ඇත්තේ එයයි. සිවිල් යුධ සමයේ සහ වෙනත් අවස්ථාවලදී අපට මුණගැසී තිබුණු, තවමත් යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරමින් සිටින අපගේ සහෝදර සහෝදරියන්ව නැවතත් ශාඛා කාර්යාලයේදී හමු වෙන්න ලැබීම විශාල සතුටක්.

ගෙවී ගිය කාලය පුරා ක්‍රිස්ටියානා මට පුදුමාකාර සහයක් දී තිබෙනවා වගේම ඇය මට පක්ෂපාත සහකාරියක්ද වී තිබෙනවා. වර්ෂ 1978 සිට ඇයට දිගින් දිගටම සෞඛ්‍ය ගැටලු තිබුණත් ඇගේ ශුභවාදී හැඟීමත් ස්ථිරකමත් නිසා මට මගේ වගකීම් දිගටම කරගෙන යන්න පුළුවන් වුණා. අප ගීතිකාකරුගේ මෙම වචනවල සත්‍යතාව අද්දැක්කා. “යෙහෝවා ඔහු ගිලන්ව ඔත් යහනේදී උසුලන්නේය.”—ගීතාවලිය 41:3.

දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම්වලින් පිරුණු එම අවුරුදු ගණනාව දිහා ආපසු හැරී බලන විට ඇත්තටම මම යෙහෝවාට ස්තුති කරනවා ඔහු දුන් මහඟු ආශීර්වාදවලට. ඔහු දුන් දේවලින් සැහීමට පත්වීමෙන් මම විශාල සතුටක් අද්දැක්කා කියා කිසි සැකයක් නැතුව කියන්න පුළුවන්. මාත්, මගේ භාර්යාවත් සමඟ මගේ සහෝදර සහෝදරියන්, මගේ දරුවෝ සහ ඔවුන්ගේ පවුල් එකට එකතු වී යෙහෝවාට සේවය කරන ආකාරය දකින්න ලැබීම වෙන කිසි දෙයක් සමඟ සැසඳිය නොහැකි තරම් ආශීර්වාදයක්. අර්ථවත් පූර්ණ ජීවිතයක් දීමෙන් යෙහෝවා මට තෘප්තිය ලබා දී තිබෙනවා. මගේ හැම ආශාවක්ම ඉටු වුණා.

[පාදසටහන]

^ 10 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් මුද්‍රණය කෙරෙන මෙම ප්‍රකාශන දැන් මුද්‍රණය කෙරෙන්නේ නැත.

[27වන පිටුවේ කොටුව]

කාලෝචිත විධිවිධානයක් තුළින් සහෝදරත්වය රැකේ

වර්ෂ 1960දී උතුරු සහ නැඟෙනහිර නයිජීරියාවේ ජනවාර්ගික කාණ්ඩායම් අතර ඇති වූ එදිරිවාදීකම් හේතුවෙන් කලබල, විප්ලව, නීති විරෝධි ක්‍රියා හා ජනවාර්ගික ගැටුම් ඇති වුණා. මෙම ගැටුම්වලදී සම්පූර්ණ මධ්‍යස්ථභාවය රැකීමට අධිෂ්ඨානයක් අරගෙන සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට මුහුණ දෙන්න සිදු වුණේ විශාල පීඩනයකට. ඔවුන්ගෙන් 20දෙනෙක් පමණ මරණු ලැබුවා. වැඩිදෙනෙකුට තමන්ගේ දේපළ අහිමි වුණා.

වර්ෂ 1967 මැයි 30වෙනි දා නයිජීරියාවේ නැඟෙනහිර ප්‍රාන්ත ඒකාබද්ධ ආණ්ඩුවෙන් වෙන් වී බයෆ්‍රා සමූහාණ්ඩුව ලෙස ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා. ඒකාබද්ධ ආණ්ඩුවේ හමුදා සංවිධානය වී බයෆ්‍රා ප්‍රදේශය සම්පූර්ණයෙන්ම කොටු කළා. මේ හේතුවෙන් ලේ වැගිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පිරුණු සිවිල් යුද්ධයක් හටගත්තා.

බයෆ්‍රා ප්‍රදේශයේ හිටිය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මධ්‍යස්ථභාවය නිසා ඔවුන්ට විරුද්ධව ප්‍රහාර එල්ල වුණා. මහජනයා තුළ තිබූ යහපත් හැඟීම බිඳ දමමින් පුවත්පත්වල ඔවුන් ගැන දරුණු විදිහට වැරදි තොරතුරු පළ කළා. කුමන තත්වයක් තිබුණත් තම සේවකයන්ට ආත්මික ආහාර ලබා දීමට යෙහෝවා වගබලා ගත්තා. ඒ කොහොමද?

වර්ෂ 1968 මුල් කාලයේදී සිවිල් සේවකයෙකුට යුරෝපයට පත්වීමක් ලැබුණා. තව කෙනෙකුට බයෆ්‍රා ගුවන් ධාවන පථය පිහිටි තැනක සේවය කිරීමට ලැබුණා. මේ දෙදෙනාම සාක්ෂිකරුවන්. ඔවුන්ගේ රැකියාවන් නිසා බයෆ්‍රා ප්‍රදේශයයි බාහිර ලෝකයයි අතර සම්බන්ධකම් පැවැත්වීමට තිබුණු එකම ක්‍රමයෙන් ප්‍රයෝජන ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා. මෙම සාක්ෂිකරුවන් දෙදෙනා බයෆ්‍රා ප්‍රදේශයට ආත්මික ආහාර යැවීමේ භයානක කාර්යයට අතපෙව්වේ ඔවුන්ගේම කැමැත්තෙන්. එමෙන්ම ඔවුන් විපත් මැද සිටින අපගේ සහෝදරයන්ට සහනාධාර සැපයීමටද උපකාර කළා. වර්ෂ 1970දී යුද්ධය අවසන් වෙන තුරුම මෙම අත්‍යවශ්‍ය කාර්යය කරගෙන යෑමට මෙම සහෝදරයන් දෙදෙනාට හැකි වුණා. “මෙම විධිවිධානය මනුෂ්‍යයන්ට සැලසුම් කළ හැකි දෙයක් නෙමෙයි” කියා පසු කාලයකදී මෙම දෙදෙනාගෙන් එක් අයෙකු පැවසුවා.

[23වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1956දී

[25වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1965දී අපේ පුතුන් වන ජොයෙල් සහ සැමුවෙල් සමඟ

[26වන පිටුවේ පින්තූරය]

පවුලක් හැටියට යෙහෝවාට සේවය කිරීම කොයි තරම් ලොකු ආශීර්වාදයක්ද!

[27වන පිටුවේ පින්තූරය]

අද ක්‍රිස්ටියානායි මමයි, නයිජීරියා ශාඛා කාර්යාලයේ සේවය කරනවා