Skip to content

පටුනට යන්න

‘විශ්වාසවන්ත දාසයා’ පරීක්ෂණයෙන් සමත් වෙයි!

‘විශ්වාසවන්ත දාසයා’ පරීක්ෂණයෙන් සමත් වෙයි!

‘විශ්වාසවන්ත දාසයා’ පරීක්ෂණයෙන් සමත් වෙයි!

“විනිශ්චය පටන්ගැනීමට නියම කරන ලද කාලය පැමිණ තිබේ. පළමුකොට විනිශ්චය කරනු ලබන්නේ දෙවිගේ ගෘහයයි.”—1 පේතෘස් 4:17, NW.

1. යේසුස් ‘දාසයාව’ පරීක්ෂණයට ලක් කළ කාලයේදී ඔහුට සොයාගත හැකි වූයේ කුමක්ද?

යේසුස් ඔහුගේ “ගෙයි වැසියන්ට” නියම වේලාවට ආහාර සැපයීම සඳහා ‘දාසයෙකුව’ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී පත් කළේය. වර්ෂ 1914දී යේසුස්ව රජෙකු ලෙස පත් කරනු ලැබූ අතර, ඉන් වැඩි කල් යන්න කලින් ‘දාසයාව’ පරීක්ෂා කිරීමට කාලය පැමිණියේය. මේ “දාසයා” සමන්විත වන කණ්ඩායමේ වැඩිදෙනෙක් “විශ්වාසවන්ත නුවණ ඇති” අය බව ඔහුට සොයාගත හැකි විය. මේ නිසා ඔහු එම ‘දාසයාව’ “තමන් සන්තක සියල්ල කෙරෙහි” පත් කළේය. (මතෙව් 24:45-47) කෙසේවෙතත් විශ්වාසවන්ත නොවූ, නුවණ නැති දුෂ්ට දාසයෙක්ද සිටියේය.

“ඒ දුෂ්ට දාසයා”

2, 3. “ඒ දුෂ්ට දාසයා” පැමිණියේ කොහෙන්ද? දුෂ්ට දාසයා වර්ධනය වූයේ කෙසේද?

2 යේසුස් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ගැන සාකච්ඡා කිරීමෙන් පසු කතා කළේ දුෂ්ට දාසයා ගැනයි. මේ දාසයා ගැන ඔහු මෙසේ පැවසුවේය. “යම් විටක ඒ දුෂ්ට දාසයා, ‘මාගේ ස්වාමියා ප්‍රමාද වන්නේය’ යි සිතින් කියාගෙන, තමන් සමඟ සිටින සෙසු දාසයන්ට තළන්න පටන්ගෙන, බේබද්දන් සමඟ කමින් බොමින් සිටියොත්, ඒ දාසයාගේ ස්වාමියා ඔහු බලාපොරොත්තු නොවන දවසක, ඔහු නොදන්නා පැයකදී ඇවිත්, ඔහුට ඉතා තදින් දඬුවම් කර කුහකයන් සමඟ සිටීමට නියම කරන්නේය. එහිදී හැඬීමද දත්මිටි කෑමද වන්නේය.” (මතෙව් 24:48-51, NW) “ඒ දුෂ්ට දාසයා” යන ප්‍රකාශය මගින් අපේ අවධානය යොමු කරවන්නේ යේසුස් ඊට කලින් විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ගැන පැවසූ වදන් කෙරෙහියි. ඇත්තෙන්ම, “දුෂ්ට දාසයා” කලින් සිටියේ විශ්වාසවන්ත දාස පන්තියේ සාමාජිකයන් ලෙසය. * මෙවැනි දෙයක් සිදු වූයේ කෙසේද?

3 වර්ෂ 1914ට කලින් විශ්වාසවන්ත දාස පන්තියේ සාමාජිකයන් බොහෝදෙනෙකු එම වසරේදී මනාලයාව ස්වර්ගයෙහි හමුවීම සඳහා මහත් බලාපොරොත්තු තබාගෙන සිටියද, එය ඉටු වූයේ නැත. මේ තත්වයත් ඒ කාලයේ වර්ධනය වූ තවත් දේවල් නිසාත් බොහෝදෙනෙකු බලාපොරොත්තු සුන්භාවයට පත් වූහ. ටිකදෙනෙක් කෝපයට පවා පත් වූහ. මේ අයගෙන් සමහරදෙනෙක් කලින් ඔවුන්ගේ සහෝදරයන්ව සිටි අයට වචනවලින් ‘තළන්නත්’ “බේබද්දන්” වන ක්‍රිස්තියානි ලෝකයේ ආගමික කණ්ඩායම් සමඟ මිත්‍රකම් ඇති කරගන්නත් පටන්ගත්හ.—යෙසායා 28:1-3; 32:6.

4. යේසුස් ‘දුෂ්ට දාසයාටත්’ ඔහුගේ ස්වභාවය පෙන්වා තිබෙන සියලුදෙනාටත් කළේ කුමක්ද?

4 කලින් ක්‍රිස්තියානීන්ව සිටි මේ අය පසු කාලයකදී ඒ “දුෂ්ට දාසයා” බවට පත් වූ අතර, යේසුස් ඔවුන්ට ‘ඉතා තදින් දඬුවම් කළේය.’ ඒ කෙසේද? ඔහු ඔවුන්ව ප්‍රතික්ෂේප කළ අතර, එනිසා ඔවුන්ට තිබූ ස්වර්ගික ජීවිතයේ බලාපොරොත්තුව අහිමි විය. කෙසේවෙතත් ඔවුන්ව විගස විනාශ කර දමනු ලැබුවේ නැත. ඔවුන්ට යම් කාලයක් ක්‍රිස්තියානි සභාවෙන් “පිටත අන්ධකාරයෙහි” හඬමින් දත්මිටි කෑමට සිදු විය. (මතෙව් 8:12, NW) ඒ මුල් දවස්වල සිට තවත් අභිෂේක ලත් පුද්ගලයන් ස්වල්පදෙනෙක් ‘දුෂ්ට දාසයාගේ’ අඩිපාරේ යමින් නපුරු ස්වභාවයක් පෙන්වා ඇත. ‘වෙනත් බැටළුවන්ගෙන්’ සමහරදෙනෙකුද ඔවුන්ගේ අවිශ්වාසවන්ත ක්‍රියාකලාපය අනුගමනය කර තිබේ. (යොහන් 10:16) ක්‍රිස්තුස්ගේ සතුරන් වන ඒ සියලුදෙනාම සිටින්නේද “පිටත” ආත්මික “අන්ධකාරයෙහිය.”

5. විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ‘දුෂ්ට දාසයාට’ වෙනස්ව ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

5 විශ්වාසවන්ත නුවණ ඇති දාසයාද “ඒ දුෂ්ට දාසයා” මුහුණ දුන් පරීක්ෂණවලටම මුහුණ දුන්නේය. කෙසේවෙතත් ‘විශ්වාසවන්ත දාසයා’ කෝපයට පත් නොවී, යළි සකස් කිරීම්වලට යටත් විය. (2 කොරින්ති 13:11, NW) යෙහෝවා කෙරෙහිද තමන්ගේ සහෝදරයන් කෙරෙහිද ඔවුන්ට තිබූ ප්‍රේමය ශක්තිමත් විය. ඔවුන් කැළඹිලි සහිත මේ “අන්තිම දවස්වල” “සත්‍යයේ කණුවක්ද ආධාරකයක්ද” වී සිටින්නේ එහි ප්‍රතිඵලයක් හැටියටයි.—1 තිමෝති 3:15, NW; 2 තිමෝති 3:1.

නුවණ ඇති සහ නුවණ නැති කන්‍යාවෝ

6. (අ) යේසුස් ඔහුගේ විශ්වාසවන්ත දාස පන්තියේ නුවණ නිදර්ශනය කළේ කෙසේද? (ආ) වර්ෂ 1914ට කලින් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ප්‍රකාශ කළ පණිවිඩය කුමක්ද?

6 යේසුස් “ඒ දුෂ්ට දාසයා” ගැන කතා කිරීමෙන් පසු උපමා දෙකක් දුන්නේය. මේවායේ අරමුණ වූයේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සමහරදෙනෙක් විශ්වාසවන්ත නුවණ ඇති අය බවට තහවුරු වන අතරේදී තවත් අය එසේ නොවීමට හේතු පෙන්වා දීමයි. * නුවණ ඇති බව පැහැදිලි කිරීමට ඔහු මෙම උපමාව යොදාගත්තේය. “පහන් රැගෙන මනාලයා හමු වන්න පිටත්ව ගිය කන්‍යාවන් දසදෙනෙකුට ස්වර්ග රාජ්‍යය සමාන වන්නේය. ඔවුන් අතරෙන් පස්දෙනෙක් නුවණ නැති අයය, පස්දෙනෙක් නුවණ ඇති අයය. මන්ද නුවණ නැති අය තම පහන් ගෙන ගියත්, තෙල් ගෙන ගියේ නැත. නමුත් නුවණ ඇති අය තමන්ගේ පහන් සමඟ බඳුන්වලද තෙල් ගෙන ගියහ.” (මතෙව් 25:1-4, NW) කන්‍යාවෝ දසදෙනා අපේ මතකයට නංවන්නේ 1914ට කලින් සිටිය අභිෂේක ලත් ක්‍රිස්තියානීන්වයි. මනාලයා වන යේසුස් ක්‍රිස්තුස් පෙනී සිටීමට ආසන්නව සිටි බවට ඔවුහු ගණන් බලා තිබිණ. මේ නිසා ඔවුන් ඔහුව හමුවීමට ‘පිටත්ව ගියේ’ “ජාතීන් සඳහා නියම කරන ලද කාලවල්” 1914දී අවසන් වන බව නිර්භීතව දේශනා කරමිනි.—ලූක් 21:24, NW.

7. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හරියට ‘නින්දට’ වැටුණු හා සමාන තත්වයකට පත් වූයේ කවදාද? මෙවැනි තත්වයකට පත් වූයේ මන්ද?

7 ඔවුහු නිවැරදි වූහ. ජාතීන් සඳහා නියම කරන ලද කාලවල් 1914දී අවසන් වූ අතර යේසුස් ක්‍රිස්තුස් යටතේ දේවරාජ්‍යයේ පාලන කටයුතු ආරම්භ විය. එහෙත් මෙය සිදු වූයේ අදෘශ්‍යමාන ස්වර්ගයෙහිය. පොළොවෙහි විසූ මනුෂ්‍යවර්ගයා පුරෝකථනය කර තිබූ පරිදි “දුක්” විඳීමට පටන්ගත්තේය. (එළිදරව් 12:10, 12) එයත් සමඟම පරීක්ෂණාත්මක කාලයක් උදා විය. දේවල් පැහැදිලිව තේරුම් නොගත් නිසා අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සිතුවේ “මනමාලයා එන්න ප්‍රමාද” වන බවයි. ව්‍යාකූලත්වයට පත්වීම නිසාත් ලෝකයෙන් පැමිණි සතුරුවාදීකම් නිසාත් සමූහයක් හැටියට ඔවුහු මන්දගාමී වූ අතර සංවිධානාත්මක ලෙස කරගෙන ගිය ප්‍රසිද්ධ දේශනා සේවයද මුළුමනින්ම පාහේ නතර කර දැමූහ. උපමාවේ සඳහන් කන්‍යාවන් මෙන් ආත්මික අර්ථයකින් ඔවුහු “නිදිබර වී නිදාගත්හ.” යේසුස්ගේ ප්‍රේරිතයන්ගේ මරණින් පසු, ක්‍රිස්තියානීන්යයි කියාගත් අවිශ්වාසවන්ත අය කළෙත් ඒ හා සමාන දෙයකි.—මතෙව් 25:5, NW; එළිදරව් 11:7, 8; 12:16ආ.

8. “මෙන්න මනාලයා!” කියන හඬ නිකුත් කිරීමට හේතු වූයේ කුමක්ද? එය අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට කුමක් කිරීමට කාලය වූවාද?

8 පසුව 1919දී බලාපොරොත්තු නොවූ දෙයක් සිදු විය. උපමාවෙහි අපට මෙසේ කියවීමට තිබේ. “‘මෙන්න මනාලයා! ඔහුව හමු වන්න පිටත්ව යන්න’ යයි කියන හඬක් මධ්‍යම රාත්‍රියේ විය. එවිට ඒ සියලු කන්‍යාවෝ නැඟිට තමුන්ගේ පහන් සකස් කළහ.” (මතෙව් 25:6, 7, NW) සූදානම් වන්න කියා හඬක් පැමිණියේ බලාපොරොත්තු නොවූ අවස්ථාවකදීයි. වර්ෂ 1918දී “ගිවිසුමේ දූතයා” වන යේසුස් දෙවිගේ සභාව පරීක්ෂා කිරීමටත් එය පිරිසිදු කිරීමටත් යෙහෝවාගේ ආත්මික දේවමාලිගාවට පැමිණ තිබිණ. (මලාකි 3:1) අභිෂේක ලත් ක්‍රිස්තියානීන් පිටතට ගොස්, එම දේවමාලිගාවේ භූමික මළුවේදී යේසුස්ව හමු විය යුතු වූයේ ඒ කාලයේදීයි. ඔවුන්ට “ආලෝකය විහිදුවාලන්න” කාලය උදා වි තිබිණ.—යෙසායා 60:1, NW; පිලිප්පි 2:14, 15.

9, 10. වර්ෂ 1919දී ක්‍රිස්තියානීන්ගෙන් සමහරදෙනෙක් “නුවණ ඇති” සහ “නුවණ නැති” අය වූයේ මන්ද?

9 එහෙත් මේ ගැනත් සිතා බලන්න! මේ උපමාවේ සමහර තරුණියන්ට ගැටලුවක් තිබිණ. යේසුස් තවදුරටත් මෙසේ පැවසුවේය. “නුවණ නැති අය, නුවණ ඇති අයට කතා කොට, ‘අපේ පහන් නිවීගෙන යන නිසා ඔබේ තෙල්වලින් ටිකක් අපට දෙන්න’ යයි කීවෝය.” (මතෙව් 25:8, NW) තෙල් නැති විට පහන්වලින් ආලෝකය නිකුත් නොවේ. මේ අනුව පහන්වල තෙල්වලින් අපේ මතකයට නඟන්නේ සැබෑ නමස්කාරකයන්ට ආලෝකය දරන්නන් වීමට හැකියාව ලබා දෙන සත්‍යය අඩංගු දෙවිගේ වචනය හා ඔහුගේ ශුද්ධාත්මයයි. (ගීතාවලිය 119:130; දානියෙල් 5:14) වර්ෂ 1919ට කලින්, තාවකාලිකව දුර්වල තත්වයක සිටියද නුවණ ඇති අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ඔවුන් සඳහා වූ දෙවිගේ කැමැත්ත තේරුම්ගැනීමට මහත් වෑයමක් දරා තිබිණ. මේ නිසා ආලෝකය විහිදුවාලන්න කියා හඬ ඇසුණු විට ඔවුහු ඒ සඳහා සූදානම්ව සිටියහ.—2 තිමෝති 4:2; හෙබ්‍රෙව් 10:24, 25.

10 ඇතැම් අභිෂේක ලත් අයට මනමාලයා සමඟ සිටීමට මහත් ආශාවක් තිබුණද යම් කැප කිරීම් කරමින් පෞද්ගලිකව මහත් වෑයමක් දැරීමට ඔවුන් සූදානමින් සිටියේ නැත. එනිසා ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයෙහි ක්‍රියාශීලීව හවුල් වීමට කාලය පැමිණි විට ඔවුන් ඒ සඳහා සූදානමින් සිටියේ නැත. (මතෙව් 24:14) ඔවුන් තමන්ගේ ජ්වලිතවත් සගයන්ව දුර්වල කිරීමට පවා තැත් කරන්නට විය. මෙය හරියට ඔවුන්ගේ සගයන් සතුව තිබූ තෙල්වලින් ටිකක් ඉල්ලා සිටියා හා සමානය. යේසුස් පැවසූ උපමාවෙහි නුවණ ඇති කන්‍යාවෝ ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඔවුහු මෙසේ පැවසූහ. “සමහරවිට අප දෙගොල්ලන්ටම ප්‍රමාණවත් තෙල් මෙහි නැති වන්න පුළුවන. ඒ නිසා, තෙල් විකුණන්නන් ළඟට ගොස් ඔබටම තෙල් මිලේට ගන්න.” (මතෙව් 25:9, NW) ඒ හා සමානව 1919දී පක්ෂපාත අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ද ආලෝකය විහිදුවාලීමට ඔවුන්ට තිබූ හැකියාව අඩු කිරීමට කිසිම දෙයකට ඉඩ දුන්නේ නැත. මෙසේ ඔවුහු පරීක්ෂණයෙන් සමත් වූහ.

11. නුවණ නැති කන්‍යාවන්ට සිදු වූයේ කුමක්ද?

11 යේසුස් මෙම වදන් සමඟින් උපමාව අවසන් කරයි. “ඔවුන් [නුවණ නැති කන්‍යාවෝ] මිලේට ගන්නා පිණිස පිටත්ව යන අතරේ, මනාලයා ආවේය. එවිට, සූදානම්ව සිටි කන්‍යාවෝ ඔහු සමඟ විවාහ මංගල්‍යයට ඇතුල් වූහ. ඉන්පසු දොර වසා දමන ලදි. අනික් කන්‍යාවෝද පසුව ඇවිත්, ‘මහත්මයාණෙනි, මහත්මයාණෙනි, දොර අරින්න!’ යයි කීවෝය. ඔහු පිළිතුරු දෙමින්, ‘සැබවක් මම ඔබට කියමි, මම ඔබව නොහඳුනමි’ යි කීවේය.” (මතෙව් 25:10-12, NW) මනමාලයා එන විට සමහරුන් සූදානම්ව සිටියේ නැත. මේ නිසා ඔවුන් පරීක්ෂණයෙන් අසමත් වූ අතර විවාහ මංගල්‍යයට හවුල් වීමේ ප්‍රස්තාවද ඔවුන්ට අහිමි විය. මොන තරම් කනගාටුදායකද!

තලෙන්ත උපමාව

12. (අ) විශ්වාසවන්තකම නිදර්ශනය කිරීමට යේසුස් යොදාගත්තේ කුමන උපමාවක්ද? (ආ) ‘පිටරට ගිය’ මිනිසා වූයේ කවුද?

12 නුවණ ඇතිව සිටීම නිදර්ශනය කිරීමෙන් අනතුරුව, විශ්වාසවන්තකම ගැනද යේසුස් නිදර්ශනය කළේය. ඔහු මෙසේ පැවසුවේය. “එය, මිනිසෙකු පිටරට යන්න සූදානම්ව සිටියදී, තම දාසයන් කැඳවා තමා සන්තක දේ ඔවුන්ට භාර දුන්නාක් මෙනි. ඔහු එකිනෙකාගේ හැකියාව අනුව, එක් කෙනෙකුට තලෙන්ත පහක්ද තව කෙනෙකුට දෙකක්ද තවත් කෙනෙකුට එකක්ද බැගින් දී පිටරට ගියේය.” (මතෙව් 25:14, 15, NW) මේ උපමාවෙහි සඳහන් මිනිසා වන්නේ යේසුස්ය. ඔහු ‘පිටරට ගියේ’ ක්‍රි.ව. 33දී ස්වර්ගයට ගිය අවස්ථාවේදීයි. එහෙත් ඔහු ස්වර්ගයට යෑමට කලින් ‘තමා සන්තක දේවල්’ ඔහුගේ විශ්වාසවන්ත ගෝලයන්ට බාර දුන්නේය. ඒ කෙසේද?

13. යේසුස් ක්‍රියාකාරකම්වලින් පිරි විශාල කෙතක් සූදානම් කර, ඔහුගේ ‘දාසයන්ට’ වෙළදාම් කිරීමට බලතල ලබා දුන්නේ කෙසේද?

13 යේසුස් ඔහුගේ භූමික සේවා කාලය තුළදී ඊශ්‍රායෙල් දේශය පුරා රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමෙන් ක්‍රියාකාරකම්වලින් පිරි විශාල කෙතක් සූදානම් කිරීමට පටන්ගත්තේය. (මතෙව් 9:35-38) ඔහු ‘පිටරට යන්න’ කලින් ඔහුගේ විශ්වාසවන්ත ගෝලයන්ට ඒ කෙත බාර දෙමින් මෙසේ පැවසුවේය. “එබැවින් ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. පියාණන්ගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයෙන් ඔවුන්ව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න.” (මතෙව් 28:18-20, NW) තමන් ආපසු පැමිණෙන තෙක් “එකිනෙකාගේ හැකියාව අනුව” වෙළඳාම් කිරීමට යේසුස් ඔහුගේ ‘දාසයන්ට’ බලතල ලබා දුන්නේය.

14. එක හා සමාන ලෙස වෙළඳාමෙහි හවුල් වීම සියලුදෙනාගෙන්ම අපේක්ෂා නොකළේ මන්ද?

14 “එකිනෙකාගේ හැකියාව අනුව” යන ප්‍රකාශයෙන් අදහස් කෙරෙන්නේ මුල් සියවසේ සිටි සියලුම ක්‍රිස්තියානීන් විවිධ තත්වයන්වල පසු වූ බව හා සියලුදෙනාටම එක හා සමාන හැකිකම් නොතිබූ බවයි. පාවුල් හා තිමෝති වැනි අයට දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යයේ වැඩියෙන් හවුල් වීමට හැකි විය. අනිත් අයගේ තත්වයන් නිසා එම කාර්යයන්වල නිරත වීමට ඔවුන්ට තිබූ නිදහස ඉතාමත් සීමිත වූවා විය හැකියි. නිදසුනක් වශයෙන් සමහර ක්‍රිස්තියානීන් වහලුන් වූහ. තවත් අය අසනීපවලින් පෙළුණාහ. මහලු වියේ පසු වූහ. ඔවුන්ට පවුල් වගකීම් තිබිණ. සභාවේ ඇතැම් සේවා ප්‍රස්තාවන් සියලුම ගෝලයන්ට විවෘත වූයේ නැත. අභිෂේක ලත් ස්ත්‍රීන් හා ඇතැම් අභිෂේක ලත් පුරුෂයන්ද සභාවේ ඉගැන්වූයේ නැත. (1 කොරින්ති 14:34; 1 තිමෝති 3:1; යාකොබ් 3:1) කෙසේවෙතත් ඔවුන්ගේ පෞද්ගලික තත්වය කුමක් වුවත් පුරුෂයන් හා ස්ත්‍රීන් ඇතුළු ක්‍රිස්තුස්ගේ අභිෂේක ලත් ගෝලයන් සියලුදෙනාටම වෙළඳාම් කිරීම පවරන ලදි. මින් අදහස් කරන්නේ තමන්ට උදා වන ප්‍රස්තාවලින් හා තමන්ගේ තත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ක්‍රිස්තියානි දේවසේවයෙහි නිරත වීමයි. වර්තමානයේ සිටින යේසුස්ගේ ගෝලයෝද එලෙසම කරති.

පරීක්ෂා කිරීමේ කාලය පටන්ගනී

15, 16. (අ) ගණන් හිලව් බැලීමට කාලය උදා වූයේ කවදාද? (ආ) ‘වෙළඳාම කිරීමට’ විශ්වාසවන්ත අයට ලබා දුන් අලුත් ප්‍රස්තා මොනවාද?

15 උපමාවෙහි තවදුරටත් මෙසේ පැවසේ. “බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා ඇවිත් ඔවුන් සමඟ ගණන් හිලව් බැලුවේය.” (මතෙව් 25:19, NW) වර්ෂ 1914දී ක්‍රිස්තුස් යේසුස් සිංහාසනාරූඪ කරන ලද රජ ලෙස පැමිණ සිටීමේ කාලය ආරම්භ විය. ක්‍රිස්තු වර්ෂ 33 සිට බලන කල බොහෝ කාලයක් ගත වී තිබිණ. ඉන් වසර තුනහාමාරකට පසු, එනම් 1918දී ඔහු දෙවිගේ ආත්මික දේවමාලිගාවට ඇවිත්, පේතෘස් පැවසූ මෙම වදන් ඉටු කළේය. “විනිශ්චය පටන්ගැනීමට නියම කරන ලද කාලය පැමිණ තිබේ. පළමුකොට විනිශ්චය කරනු ලබන්නේ දෙවිගේ ගෘහයයි.” (1 පේතෘස් 4:17, NW; මලාකී 3:1) ගණන් හිලව් බැලීමට කාලය එය විය.

16 දාසයන් වන යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන් රජු දුන් ‘තලෙන්තවලට’ කළේ කුමක්ද? ක්‍රිස්තු වර්ෂ 33 පටන් බොහෝදෙනෙක් යේසුස්ගේ ‘වෙළඳාමෙහි’ වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටියහ. මීට 1914ට කලින් වසර කිහිපයද ඇතුළත් විය. (මතෙව් 25:16) පළමුවන ලෝක මහ යුද්ධය පැවති කාලයේදී පවා තම ස්වාමියාට සේවය කිරීමට තමන්ට මහත් ආශාවක් තිබූ බව ඔවුහු පෙන්වූහ. විශ්වාසවන්ත අයට ‘වෙළඳාම කරගෙන’ යෑමට අලුත් ප්‍රස්තා විවෘත කර දීම යෝග්‍ය විය. සමාජ ක්‍රමයේ අවසාන කාලය පැමිණ තිබිණ. ශුභාරංචිය ලොව පුරා දේශනා කිරීම කළ යුතු විය. “පොළොවේ අස්වැන්න” කැපීමට කාලය එළඹ තිබිණ. (එළිදරව් 14:6, 7, 14-16, NW) තිරිඟු පන්තියට අයත් අවසාන සාමාජිකයන්ව සොයාගැනීමටත් වෙනත් බැටළුවන්ගෙන් යුත් “මහත් සමූහයක්” එක් රැස් කිරීමටත් අවශ්‍ය විය.—එළිදරව් 7:9; මතෙව් 13:24-30.

17. විශ්වාසවන්ත අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ‘ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්’ වූයේ කෙසේද?

17 අස්වනු නෙළන කාලය ප්‍රීතිමත් කාලයකි. (ගීතාවලිය 126:6) එසේනම් යේසුස් 1919දී ඔහුගේ විශ්වාසවන්ත අභිෂේක ලත් සහෝදරයන්ට වැඩිමනත් වගකීම් බාර දුන් විට මතු දැක්වෙන වදන් පැවසීම ඉතා යෝග්‍ය විය. “ඔබ ස්වල්පයක් ගැන විශ්වාසවන්තව කටයුතු කළේය. බොහෝ දේවල් භාරව සිටීමට මම ඔබව පත් කරමි. ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල් වෙන්න.” (මතෙව් 25:21, 23, NW) එමෙන්ම දේවරාජ්‍යයේ අභිනව රජ ලෙස සිංහාසනාරුඪ වී සිටින ස්වාමියාගේ ප්‍රීතිය අපට සිතාගත නොහැකි තරම්ය. (ගීතාවලිය 45:1, 2, 6, 7) රජුව නියෝජනය කිරීමෙන් හා පොළොව මත ඔහු සතු දේවල වර්ධනයට හවුල් වීමෙන් විශ්වාසවන්ත නුවණ ඇති දාසයාද ප්‍රීති වෙයි. (2 කොරින්ති 5:20) ඔවුන්ට දැනෙන ප්‍රීතිය යෙසායා 61:10හි සඳහන් මෙම අනාවැකිමය වදන්වලින් පෙනී යයි. “මම යෙහෝවා තුළ බොහෝ සේ ප්‍රීති වන්නෙමි. මාගේ ආත්මය මාගේ දෙවි තුළ සන්තෝෂ වන්නේය. මක්නිසාද . . . ඔහුගේ ගැලවීම නමැති වස්ත්‍ර මට පැළඳෙවූවේය.”

18. සමහරුන් පරීක්ෂණයෙන් සමත් නොවූයේ මන්ද? එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද?

18 කනගාටුවට කරුණක් නම් සමහරුන් පරීක්ෂණයෙන් සමත් නොවීමයි. මේ ගැන අපට මෙසේ කියවීමට තිබේ. “එක් තලෙන්තයක් ලැබූ තැනැත්තා ඉදිරියට ඇවිත්, ‘ස්වාමිනි, ඔබ නොවපුළ තැනින් කපාගන්නා, පොළා නොගත් තැනින් රැස් කරගන්නා තද හිතක් ඇති මිනිසෙකු බව මම දැනගතිමි. එබැවින් මම භය වී, ගොස් ඔබේ තලෙන්තය පොළොවේ සඟවා තැබුවෙමි. මෙන්න, ඔබ සතු දේ’ යයි කීවේය.” (මතෙව් 25:24, 25) මේ හා සමානව ඇතැම් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ‘වෙළඳාමෙහි’ නිරත වී තිබුණේ නැත. ඔවුන් 1914ට කලින් ඔවුන්ගේ බලාපොරොත්තුව ගැන ජ්වලිතව අනිත් අයට ප්‍රකාශ කිරීමෙහි හවුල් වූයේ නැත. එමෙන්ම 1919දී එය පටන්ගැනීමටද ඔවුන්ට වුවමනාවක් තිබුණේ නැත. ඔවුන්ගේ මේ උද්ධච්චකම යේසුස් සැලකුවේ කෙසේද? ඔවුන්ගේ සියලුම වරප්‍රසාද ඔහු ඉවත් කළේය. ඔවුන්ව ‘පිටත අන්ධකාරයට වීසි කරන ලදි. එහිදී හැඬීමද දත්මිටි කෑමද වන්නේය.’—මතෙව් 25:28, 30, NW.

පරීක්ෂණය දිගටම සිදු කෙරේ

19. පරීක්ෂණ ක්‍රියාවලිය දිගටම ක්‍රියාත්මක වන්නේ කෙසේද? අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සියලුදෙනාම අදිටන් කරගෙන සිටින්නේ කුමක් කිරීමටද?

19 අන්තිම කාලයේදී ක්‍රිස්තුස්ගේ අභිෂේක ලත් දාසයන් ලෙස කටයුතු කළ යුතුව තිබූ බොහෝදෙනෙක් 1918දී යේසුස් පරීක්ෂණය මෙහෙයවීමට පටන්ගත් කාලය වන විටත් යෙහෝවාට සේවය කරමින් සිටියේ නැත. පරීක්ෂණයට පෙනී සිටීමට ඔවුන්ට නොහැකි වූවාද? කොහෙත්ම නැත. පරීක්ෂණ ක්‍රියාවලිය පටන්ගත්තේ 1918/19 කාලයේදීයි. කණ්ඩායමක් හැටියට විශ්වාසවන්ත නුවණ ඇති දාසයා එම පරීක්ෂණයෙන් සමත් වූයේ එම කාලයේදීයි. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් එක් එක් කෙනා ඔවුන්ගේ මුද්‍රා කිරීම ස්ථිර කරන තුරු සිටින්නේ පරීක්ෂණය යටතේය. (එළිදරව් 7:1-3) මෙය වටහාගෙන සිටින ක්‍රිස්තුස්ගේ අභිෂේක ලත් සහෝදරයෝ දිගටම විශ්වාසවන්තව ‘වෙළඳාම’ කරගෙන යෑමට අදිටන් කරගෙන සිටිති. එමෙන්ම, ආලෝකය දීප්තිමත්ව විහිදුවාලීම සඳහා අවශ්‍ය තෙල් බහුලව ළඟ තබාගැනීමෙන් නුවණ ඇතිව ක්‍රියා කිරීම ඔවුන්ගේ අධිෂ්ඨානය වී තිබේ. තමන් එක් එක් කෙනා විශ්වාසවන්තව තමන්ගේ භූමික ජීවිතය අවසන් කළ පසු, යේසුස් තමන්ව ස්වර්ගික වාසස්ථානයට පිළිගන්නා බව ඔවුහු දනිති.—මතෙව් 24:13; යොහන් 14:2-4; 1 කොරින්ති 15:50, 51.

20. (අ) අද දින සිටින වෙනත් බැටළුවන් අදිටන් කරගෙන සිටින්නේ කුමක් කිරීමටද? (ආ) අභිෂේක ලත් ක්‍රිස්තියානීන් අවබෝධ කරගෙන සිටින්නේ කුමක්ද?

20 වෙනත් බැටළුවන්ගෙන් යුත් මහත් සමූහයද ඔවුන්ගේ අභිෂේක ලත් සහෝදරයන්ගේ ආදර්ශය අනුකරණය කර ඇත. දෙවිගේ අරමුණු පිළිබඳව තමන් සතු දැනුම නිසා තමන් පිට මහත් වගකීමක් පැවරී තිබෙන බව ඔවුහු දනිති. (එසකියෙල් 3:17-21) මේ නිසා යෙහෝවාගේ වචනයේ හා ශුද්ධාත්මයේ උපකාරය ඇතුව ඔවුන්ද තමන් ළඟ තෙල් බහුලව තබාගනී. ඔවුන් මෙම තෙල් ලබාගන්නේ අධ්‍යයනය කිරීමෙන් හා ක්‍රිස්තියානී රැස්වීම් මාර්ගයෙනි. එමෙන්ම දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යයේ නිරත වෙමින් ඔවුහු තමන්ගේ ආලෝකය විහිදුවාලති. මෙසේ ඔවුහු තමන්ගේ අභිෂේක ලත් සහෝදරයන් සමඟ එක්ව ‘වෙළඳාම් කරති.’ කෙසේවෙතත්, තලෙන්ත බාර දී තිබෙන්නේ තමන්ගේ අතට බව අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හොඳින් මනසේ තබාගනී. පොළොව මත ස්වාමීන් සන්තක දේවල් බලාගන්න ආකාරය සම්බන්ධයෙන් ඔවුන් ගණන් දිය යුතුයි. ඔවුන් ගණනින් කුඩා පිරිසක් වුවත් තමන්ගේ වගකීම් මහත් සමූහය පිට පවරා ඒවායින් නිදහස් වෙන්න ඔවුන්ට නොහැකියි. මෙය මනසේ තබාගෙන සිටින විශ්වාසවන්ත නුවණ ඇති දාසයා රජුගේ වෙළඳාම බලාගැනීමේ කාර්යයෙහි දිගටම මූලිකත්වය ගෙන කටයුතු කරයි. මෙහිදී දැඩි කැපවීමකින් සේවය කරන මහත් සමූහයේ සාමාජිකයන්ගෙන් ලැබෙන සහයෝගය ඔවුහු අගය කරති. මෙම මහත් සමූහයේ සාමාජිකයන් තමන්ගේ අභිෂේක ලත් සහෝදරයන් පිට පැවරී තිබෙන වගකීම තේරුම්ගෙන සිටින අතර ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සේවය කරන්න ලැබීම සලකන්නේ වරප්‍රසාදයක් ලෙසයි.

21. වර්ෂ 1919ට කලින් සිට අපගේ කාලය දක්වා සිටින සියලුම ක්‍රිස්තියානීන්ට එක සේ අදාළ වන උපදේශය කුමක්ද?

21 අප සලකා බැලූ උපමා දෙක මගින් 1919 හා ඊට ආසන්න කාලයේදී සිදු වූ සිද්ධීන් පිළිබඳව අපව දැනුවත් කළද, ඒවායින් උකහාගත හැකි ප්‍රතිපත්ති මේ අන්තිම දවස්වල වෙසෙන සියලුම සැබෑ ක්‍රිස්තියානීන්ට අදාළ වේ. මේ හා සමානව, කන්‍යාවෝ දසදෙනා පිළිබඳ උපමාව අවසානයේදී යේසුස් දුන් උපදේශය මුලින්ම අදාළ වන්නේ 1919ට කලින් සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට වුවද, ප්‍රතිපත්තියක් වශයෙන් එය අදටත් සියලුම ක්‍රිස්තියානීන්ට එක සේ අදාළ වේ. එමනිසා අපි සියලුදෙනාම යේසුස්ගේ මෙම වදන් හොඳින් සිතට ගනිමු. “එබැවින් සෝදිසියෙන් සිටින්න. මන්ද, ඔබ දවසවත් පැයවත් දන්නේ නැත.”—මතෙව් 25:13, NW.

[පාදසටහන්වල]

^ 2 ඡේ. මේ හා සමානව, ප්‍රේරිතවරුන්ගේ මරණින් පසු “රෞද්‍ර වූ වෘකයන්” බවට පත් වූයේද අභිෂේක ලත් ක්‍රිස්තියානි වැඩිමහල්ලන් ලෙස කාලයක් සේවය කළ අයයි.—ක්‍රියා 20:29, 30.

^ 6 ඡේ. යේසුස්ගේ මේ උපමාව ගැන තවත් තොරතුරු දැනගැනීම සඳහා “සමාදානයේ කුමාරයා” යටතේ ලෝක ව්‍යාප්ත සුරක්ෂිතභාවය (සිංහලෙන් නැත) නමැති පොතේ 5වන හා 6වන පරිච්ඡේද බලන්න. මෙය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසිනි.

ඔබට පැහැදිලි කළ හැකිද?

• යේසුස් ඔහුගේ අනුගාමිකයන්ව පරීක්ෂා කළේ කවදාද? ඔහුට සොයාගත හැකි වූයේ කුමක්ද?

• ඇතැම් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් “ඒ දුෂ්ට දාසයා” තුළ තිබූ ස්වභාවය තමන් තුළ වර්ධනය වීමට ඉඩහැරියේ මන්ද?

• අප ආත්මිකව නුවණ ඇති අය බව පෙන්විය හැක්කේ කෙසේද?

• යේසුස්ගේ විශ්වාසවන්ත සහෝදරයන්ව අනුකරණය කරමින් දිගටම ‘වෙළඳාමෙහි’ නිරත වීමට අපට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ කොටුව]

යේසුස් එන්නේ කවදාද?

මතෙව් 24වන සහ 25වන පරිච්ඡේදවල යේසුස් “එන” බව සඳහන් කර ඇත. මේවායෙහි විවිධ අරුත් ගැබ් වී තිබේ. එසේ ‘ඒම’ සඳහා ඔහු සිටින ස්ථානය වෙනස් කිරීමට අවශ්‍ය නැත. මනුෂ්‍ය වර්ගයා හා ඔහුගේ අනුගාමිකයන් කෙරෙහි අවධානය යොමු කිරීම යන අදහස ඔහු “එන්නේය” නමැති වදනෙහි ගැබ්ව තිබේ. බොහෝ අවස්ථාවලදී එවන් අවධානයක් යොමු කරන්නේ විනිශ්චය කිරීම සඳහාය. මේ අනුව, 1914දී ඔහු ‘ආවේ’ සිංහාසනාරූඪ කරන ලද රජු වශයෙන් ඔහුගේ පැමිණ සිටීම ආරම්භ කිරීමටයි. (මතෙව් 16:28; 17:1; ක්‍රියා 1:11) ඔහු ගිවිසුමේ දූතයා වශයෙන් 1918දී ‘ඇවිත්’ යෙහෝවාට සේවය කරනවායයි පවසමින් සිටි අයව විනිශ්චය කිරීමට පටන්ගත්තේය. (මලාකි 3:1-3; 1 පේතෘස් 4:17) ඔහු හර්මගෙදොන්හිදී ‘එන්නේ’ යෙහෝවාගේ සතුරන්ට එරෙහිව විනිශ්චය ක්‍රියාත්මක කිරීමටයි.—එළිදරව් 19:11-16.

මතෙව් 24:29-44 සහ 25:31-46 දක්වා වගන්තිවල අවස්ථා කිහිපයක සඳහන් ඒම සිදු වන්නේ “මහත් පීඩාව” ක්‍රියාත්මක වන කාලයේදීයි. (එළිදරව් 7:14, NW) අනිත් අතට මතෙව් 24:45 සිට 25:30 දක්වා වගන්තිවල සඳහන් ඒම සම්බන්ධ වන්නේ ඔහුගේ ගෝලයන්යයි කියාගන්න අයව 1918 සිට ඉන් ඉදිරියට ඔහු විසින් විනිශ්චය කිරීමටයි. නිදසුනක් වශයෙන් විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට වරප්‍රසාද ලබා දීම, නුවණ නැති කන්‍යාවන්ව විනිශ්චය කිරීම හා ස්වාමියා දුන් තලෙන්තුව සඟවා තැබූ අලස දාසයාව විනිශ්චය කිරීම යනාදිය සිදු වනු ඇත්තේ මහත් පීඩාවේදී යේසුස් ‘එන’ විටයි කියා පැවසීම තර්කානුකූල නැත. ඉහත සඳහන් දේවල් සිදු වනු ඇත්තේ මහත් පීඩාවේදී නම්, ඒ කාලයේදී අභිෂේක ලත් අය බොහෝදෙනෙකු අවිශ්වාසවන්ත බව පෙනී යන බවත්, ඒ හේතුවෙන් තවත් අභිෂේක ලත් අයව එක් රැස් කිරීමට සිදු වනු ඇති බවත් එයින් අදහස් වේ. කෙසේවෙතත් එළිදරව් 7:3හි සඳහන් දෙයින් පෙනී යන්නේ මහත් පීඩාව සිදු වන කාලය වන විට ක්‍රිස්තුස්ගේ අභිෂේක ලත් දාසයන් සියලුදෙනාවම ස්ථිර ලෙස ‘මුද්‍රා කර’ තිබෙනු ඇති බවයි.

[14වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1919දී ‘දුෂ්ට දාසයාට’ කිසි ආශීර්වාදයක් ලැබුණේ නැත

[15වන පිටුවේ පින්තූරය]

මනමාලයා පැමිණි කල නුවණ ඇති කන්‍යාවෝ සූදානම්ව සිටියහ

[17වන පිටුවේ පින්තූරය]

විශ්වාසවන්ත දාසයා ‘වෙළඳාමෙහි’ නිරත වී තිබිණ

අලස දාසයා එසේ කර තිබුණේ නැත

[18වන පිටුවේ පින්තූර]

අභිෂේක ලත් අය සහ “මහත් සමූහය” දිගටම ඔවුන්ගේ ආලෝකය බැබළීමට සලස්වති