Skip to content

පටුනට යන්න

සත්‍ය ක්‍රිස්තියානි ධර්මය සමෘද්ධිමත් වෙයි

සත්‍ය ක්‍රිස්තියානි ධර්මය සමෘද්ධිමත් වෙයි

සත්‍ය ක්‍රිස්තියානි ධර්මය සමෘද්ධිමත් වෙයි

යේසුස් ක්‍රිස්තුස් මහත් විපර්යාසයක් ඇති කරමින් තම දේවසේවය ආරම්භ කළේ පළමු සියවසේදීය. ඔහුගේ පණිවුඩය ජීවිතවලට පණක් දුන්නාවූද, ආත්මික ඥානාලෝකය ලබා දුන්නාවූද, එක්තරා අන්දමකින් මිනිසුන්ව විශ්මයට පත් කළාවූද පණිවුඩයකි. ඔහුට සවන් දුන් බොහෝදෙනෙකුට ඔහුගේ වචන මහත් ගැඹුරින් කාවැදිණ.—මතෙව් 7:28, 29.

යේසුස් ඉතා නිර්භීතව තම දවස්වල පැවති පීඩාකාරී ආගමික හා දේශපාලනික ක්‍රමවලට සම්බන්ධ වීමෙන් වැළකී සිටි නමුත් සාමාන්‍ය පොදු ජනයා සමඟ කටයුතු කළේ ඔවුන්ට තමා වෙතට ඒමට පහසු වන ආකාරයකිනි. (මතෙව් 11:25-30) පොළොවේ සිටින දුෂ්ටාත්මවල විනාශකාරී බලපෑම විවෘතව පිළිගත් හේ, ඔවුන් දුරු කිරීමට තමාට දෙවි දී තිබෙන බලය යොදාගත්තේය. (මතෙව් 4:2-11, 24; යොහන් 14:30) දුක් විඳීම සහ පාපය අතර තිබෙන මූලික සම්බන්ධය ඉතා දක්ෂ අන්දමින් පැහැදිලි කර දුන් යේසුස්, එයට තිබෙන සදාකාලික විසඳුම දෙවිගේ රාජ්‍යය බව ප්‍රේමණීය ලෙස පෙන්වා දුණි. (මාර්ක් 2:1-12; ලූක් 11:2, 17-23) බොහෝ කලක් තිස්සේ විකෘති කර තිබූ තම පියාණන්ගේ සැබෑ පෞද්ගලිකත්වය පිළිබඳ අඳුරු වලාවන් සදහටම ඉවත් කර දැමූ හෙතෙම, තම පියාණන් සමඟ පෞද්ගලික සම්බන්ධයක් ඇති කරගැනීමට උනන්දුවෙන් සිටින සියල්ලන්ටම දෙවිගේ නාමය දැන්නුවේය.—යොහන් 17:6, 26.

එසේනම්, කොතරම් දරුණු ආගමික හා දේශපාලනික පීඩා මැද වුණත්, යේසුස්ගේ ගෝලයන් ඔහුගේ මේ ප්‍රබල වූද ජීවමාන වූද පණිවුඩය ඉතා වේගයෙන් පතුරුවාලීම පුදුමයක් නොවේ. වසර 30ක් හෝ ඊට ආසන්න කාලයක් තුළ, අප්‍රිකාවේ, ආසියාවේ සහ යුරෝපයේ ක්‍රිස්තියානි සභාවන් වර්ධනය වෙමින් තිබිණි. (කොලොස්සි 1:23) යේසුස් උගන්වා තිබූ සරල සත්‍යයන් මගින් රෝම අධිරාජ්‍යය පුරා විසූ යටහත් පහත්, හරි හෘදයක් ඇති ජනයාගේ සිත් එළිය කළේය.—එපීස 1:17, 18, 19ආ.

එහෙත්, ආර්ථික, සංස්කෘතික, භාෂාමය හා ආගමික වශයෙන් වෙනස් වූ පසුබිම්වලින් පැමිණි මේ සියලුම නව ගෝලයන්, ප්‍රේරිත පාවුල් පැවසුවාක් මෙන්, “එක ඇදහිල්ලක්” තුළ සැබවින්ම එක්සත් වනු ඇත්තේ කෙසේද? (එෆීස 4:5, NW) ඉවතට ගසාගෙන නොයන ලෙසට ‘එකඟතාවෙන් යුතුව කතා කිරීමට’ ඔවුන්ට හැකි වනු ඇත්තේ කෙසේද? (1 කොරින්ති 1:10, NW) අද දින ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ අය අතර පවතින දැඩි බෙදීම ගැන සලකන කල, යේසුස්ම ඉගැන්වූ දේ ගැන අප විමසා බැලීම යහපති.

ක්‍රිස්තියානි එක්සත්කම සඳහා පදනම

පොන්තියුස් පිලාත් ඉදිරිපිට අසනු ලැබූ නඩු විභාගයේදී, ක්‍රිස්තියානි එක්සත්කම සඳහා පදනම යේසුස් පැහැදිලිව ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ මෙයයි. “මා ඉපදුණෙත් ලෝකයට පැමිණියේත් සත්‍යය ගැන සාක්ෂි දැරීමටය. සත්‍යයට පක්ෂව සිටින සියල්ලෝ මාගේ හඬට සවන් දෙන්නෝය.” (යොහන් 18:37, NW) එබැවින්, දෙවිගේ ආනුභාවය ලත් වචනය වන බයිබලයේ අනෙකුත් කොටස් සමඟින් යේසුස්ගේ ඉගැන්වීම් පිළිගැනීම මගින් ක්‍රිස්තුස්ගේ සැබෑ ගෝලයන්ව එක්සත් කරවන ප්‍රබල බලපෑමක් ඇති කරනු ලබයි.—1 කොරින්ති 4:6; 2 තිමෝති 3:16.

යේසුස්ගේ ගෝලයන් අතර යම් අවස්ථාවල, යම් යම් අවංක ප්‍රශ්න මතු වන බව හෝ යම් එකඟ නොවීම් තිබෙන බව නොකිවමනාය. එවන් තත්වයන්හිදී උපකාර ලැබෙන්නේ කෙසේද? යේසුස් පැහැදිලි කළේ මෙසේයි. “ඒ තැනැත්තා, එනම් සත්‍යතාවේ ආත්මය පැමිණි කල සම්පූර්ණ සත්‍යය තුළට ඔබට මඟ පෙන්වන්නේය. මන්ද ඔහු, තමාගේම අදහසට අනුව කතා නොකරන අතර, ඔහු අසන දේම පවසා, පැමිණෙන්නට තිබෙන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත.” (යොහන් 16:12, 13, NW) මෙසේ, දෙවි විසින් ප්‍රගතිශීලී ලෙස හෙළි කරනු ලබන සත්‍යය වටහාගැනීමට යේසුස්ගේ සැබෑ ගෝලයන්හට උපකාරවත් වනු ඇත්තේ දෙවිගේ ශුද්ධාත්මයයි. තවද එම ආත්මය ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය වැනි පල බිහි කරනු ඇති අතර, ඒ මගින් ඔවුන් අතර එක්සත්කම ප්‍රවර්ධනය කරනු ඇත.—ක්‍රියා 15:28ආ; ගලාති 5:22, 23.

යේසුස් තම ගෝලයන් අතර බෙදීම් ඇතිවීමට හෝ කල්ලි ඇතිවීමට කිසිම ඉඩක් තැබුවේ නැත. තමන්ට හමු වන අයගේ සංස්කෘතික හෝ ආගමික සම්ප්‍රදායන්ට ගැලපෙන පරිද්දෙන් දිව්‍ය සත්‍යයන් තමන්ට කැමති විදිහට විග්‍රහ කිරීමට ඔවුන්ට කිසිම බලයක් දුන්නේද නැත. ඒ වෙනුවට, ඔවුන් සමඟ ගත කළ අන්තිම රාත්‍රියේදී ඔහු ඉතා ඕනෑකමින් යාච්ඤා කළේ මෙසේයි. “මම ඔවුන් ගැන පමණක් නොව, ඔවුන්ගේ වචනය මාර්ගයෙන් මා කෙරෙහි ඇදහිල්ල තබන අය ගැනත් අයැදිමි. එසේ කරන්නේ, ඔවුන් සියලුදෙනාම එකඟත්වයෙන් සිටින පිණිසය. එනම් පියාණෙනි, ඔබ මාව එවූ බව ලෝකය විශ්වාස කරන පිණිස ඔබ මා සමඟ එක්සත්ව හා මා ඔබ සමඟ එක්සත්ව සිටින්නා සේම, ඔවුන්ද අප සමඟ එක්සත්ව සිටීම සඳහා අයැදිමි.” (යොහන් 17:20, 21, NW) එසේනම්, ආත්මය හා සැබෑකම තුළ වූ නියම එක්සත්කම, ආරම්භයේ සිට අද දක්වාම ක්‍රිස්තුස්ගේ ගෝලයන්ව හඳුන්වන ලකුණක් වීමට නියමිතව තිබුණි. (යොහන් 4:23, 24) එහෙත්, අද දින තිබෙන සභාවල එක්සත්කම නැත. ඒවා බෙදී ඇත. එය එසේ වී ඇත්තේ මන්ද?

සභා බෙදී තිබීමට හේතුව

අද දින ක්‍රිස්තියානියයි කියාගන්නාවූ අය අතර පවතින විශ්වාසයන් සහ චාරිත්‍ර වාරිත්‍රවල නොයෙක් වෙනස්කම්වලට හේතුව පැහැදිලි කරනවා නම්, එය එසේ වී ඇත්තේ ඔවුන් යේසුස්ගේ ඉගැන්වීම් පිළිනොපැදීමයි. එක් ලේඛකයෙක් මෙසේ නිරීක්ෂණය කළේය. “අතීතයේදී මෙන්, අද දින වෙසෙන නව ක්‍රිස්තියානීහුද තමන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන මොනයම් දෙයක් හෝ බයිබලයෙන් උපුටා ගනිති. එහෙත් තමන්ගේ ගතානුගතික ආගමික සම්ප්‍රදායන්ට පටහැනි ශුද්ධ ලියවිලි පද නොසලකාහරිති.” මෙයම සිදු වන බව යේසුස් සහ ඔහුගේ ප්‍රේරිතවරු පුරෝකථනය කළෝය.

නිදසුනක් වශයෙන්, ප්‍රේරිත පාවුල් දේවානුභාවයෙන් තම සෙසු අවේක්ෂක තිමෝතිට ලීවේ මෙසේයි. “ඔවුන් සුවදායී ඉගැන්වීම පිළිනොගන්නා කාල පරිච්ඡේදයක් පැමිණෙන්නේය. ඔවුහු ඔවුන්ගේම ආශාවලට අනුව, තමුන් කැමති දේවල් අසාගන්නා පිණිස තමන්ටම ගුරුවරුන් රැස් කරගන්නෝය. ඔවුහු සත්‍යයට කන් නොදී, අසත්‍ය කතාවලට හැරී යන්නෝය.” සියලු ක්‍රිස්තියානින් මුළා වනු ඇත්ද? නැත. පාවුල් තවදුරටත් කීවේ මෙසේයි. “එහෙත් ඔබ, සියල්ලෙහිදී සිහිකල්පනාව ඇතිව සිටින්න. නපුර ඉවසන්න. එවැන්ජලිස්තවරයෙකුගේ කාර්යය කරන්න. ඔබේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න.” (2 තිමෝති 4:3-5, NW; ලූක් 21:8; ක්‍රියා 20:29, 30; 2 පේතෘස් 2:1-3) තිමෝති සහ වෙනත් ඇදහිලිවන්ත ක්‍රිස්තියානීහු එම ආනුභාව ලත් උපදෙසට අනුකූලව ජීවත් වූහ.

සැබෑ ක්‍රිස්තියානීහු තවමත් එක්සත්ය

තිමෝති මෙන් අද දින සැබෑ ක්‍රිස්තියානීහුද මිනිස් තර්කයන් ප්‍රතික්ෂේප කරමින් සහ ශුද්ධ ලියවිල්ල පමණක් තමන් විශ්වාස කරන මූලධර්මවල පදනම හැටියට සලකමින් තමන්ගේ සිහිකල්පනාව තබාගනිති. (කොලොස්සි 2:8; 1 යොහන් 4:1) පළමු සියවසේ ක්‍රිස්තියානීන්ව අනුකරණය කරන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, යේසුස්ගේ මුල් පණිවුඩය වූ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය සෑම තැනකම වෙසෙන ජනයා කරා ගෙන යමින් රටවල් 230කට වඩා වැඩියෙන් තම දේවසේවය ඉෂ්ට කරමින් සිටිති. ඔවුන් කොහේ සිටියත් එක්සත්ව යේසුස්ව අනුකරණය කරමින් සැබෑ ක්‍රිස්තියානි ධර්මය පිළිපදින වැදගත් මාර්ග හතරක් සලකා බලන්න.

ඔවුන්ගේ විශ්වාසයන් පදනම්ව ඇත්තේ දෙවිගේ වචනය මතයි. (යොහන් 17:17, 18අ) බෙල්ජියමේ පූජකයෙක් ඔවුන් ගැන මෙසේ සඳහන් කළේය. “අපට ඔවුන්ගෙන් [යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන්] ඉගෙනගත හැකි දෙයක් තමයි, දේවවචනයට සවන් දීමට තිබෙන ඔවුන්ගේ කැමැත්ත හා ඒ ගැන සාක්ෂි දරන්න ඔවුන්ට තිබෙන ධෛර්යය.”

ලෝක ගැටලුවලට එකම සහනය ලෙස ඔවුන් බලන්නේ දෙවිගේ රාජ්‍යය දෙසයි. (ලූක් 8:1) කොලොම්බියාවේ බරැන්කීයා නගරයේ එක් සාක්ෂිකරුවෙක් දේශපාලනික ව්‍යාපාරයක ප්‍රබල සාමාජිකයෙකු වන ඇන්ටෝනියෝට කතා කළේය. සාක්ෂිකරුවා ඔහුගේ පැත්ත ගත්තේවත්, වෙනත් ආකාරයක යම් දේශපාලනික දර්ශනයක් ගැන කතා කළේවත් නැත. ඒ වෙනුවට, ඇන්ටෝනියෝ සහ ඔහුගේ බාල සහෝදරියන් සමඟ නොමිලේ බයිබල් පාඩමක් පැවැත්වීමට කැමතියයි ප්‍රකාශ කළේය. කොලොම්බියාවේ මෙන්ම මුළු ලොවේම සිටින දිලිඳු ජනයාගේ එකම බලාපොරොත්තුව සැබවින්ම දෙවිගේ රාජ්‍යය බව වටහාගැනීමට ඇන්ටෝනියෝට වැඩි කලක් ගත වුණේ නැත.

ඔවුහු දෙවිගේ නාමයට ගෞරව කරති. (මතෙව් 6:9) ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන අවංක කතෝලිකයෙකු වන මරියාව පළමු වරට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට මුණගැසුණු විට, දෙවිගේ නාමය බයිබලයෙන් පෙන්වීමට ඇය සාක්ෂිකරුවන්ට ඉඩහැරියාය. ඇය ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? “මම පළමු වතාවට දෙවිගේ නාමය බයිබලයේ තියෙනවා දැක්කාම මට ඇඬුණා. දෙවිගේ පෞද්ගලික නාමය දැනගෙන ඒ ගැන කතාකරන්නටත් ඒ නමින් යාච්ඤා කරන්නටත් පුළුවන් බව දැනගත්තහම ඒක මගේ සිතට හුඟාක් තදින් කා වැදුණා.” මරියා දිගටම බයිබලය පාඩම් කළ අතර, ඇගේ ජීවිතයේ පළමු වතාවට, යෙහෝවා වනාහි පුද්ගලයෙකු බව දැනගෙන ඔහු සමඟ සදාකාලික සම්බන්ධයක් ගොඩනඟා ගැනීමට ඇයට හැකි විය.

ඔවුහු ප්‍රේමයෙන් එක්සත්ව සිටිති. (යොහන් 13:34, 35) කැනඩාවේ පළ වන ද ලේඩිස්මිත්-ෂමේනස් ක්‍රොනිකල් යන පුවත්පතේ මෙසේ පළ විය. “ඔබගේ ආගමික විශ්වාසයන් කුමක් වුවත්, ඔබට එවැන්නක් නැති වුණත් ඔබ කැසිඩි නගරයේ වර්ග අඩි 25,000කින් යුත් ඔවුන්ගේ එක්රැස්වීම් ශාලාව ඉදි කිරීමට සති එකහමාරක් දිවා රෑ වෙහෙස නොබලා වැඩ කළ යෙහෝවාගේ සාක්ෂිකරුවන් 4,500දෙනාට ප්‍රශංසා කළ යුතුය. . . . මෙසේ වැඩ කරද්දී කිසිම වාද විවාදයක් හෝ බෙදීමක් හෝ පෞද්ගලික ගෞරවය සෙවීමක් හෝ නොවීය. මෙය නම් සැබෑ ක්‍රිස්තියානි ධර්මයේ ලකුණකි.”

එසේනම්, තිබෙන සාක්ෂි ගැන සලකා බලන්න. ක්‍රිස්තියානි ලෝකයේ දේවධර්මාචාර්යවරුන්, මිෂනාරිවරුන් සහ පල්ලි යන්නන් තමන්ගේම පල්ලි තුළ නොයෙක් ආකාරයේ මත භේදවල පැටලී සිටින අතරේදී, සැබෑ ක්‍රිස්තියානි ධර්මය ලොව පුරා සමෘද්ධිමත් වෙමින් තිබේ. ඇත්තෙන්ම, සැබෑ ක්‍රිස්තියානීහු දේවවචනය දේශනා කිරීමට හා ඉගැන්වීමට තමන්ට පවරා ඇති වගකීම දිගටම ඉෂ්ට කරමින් සිටිති. (මතෙව් 24:14; 28:19, 20) ඔබ වර්තමානයේ සිදු වෙමින් තිබෙන පිළිකුල් දේවල් ගැන “සුසුම්ලා කෙඳිරිගාන” කෙනෙක් නම්, එමෙන්ම ක්‍රිස්තියානි ලෝකයේ ආගම් අතර පවතින බෙදීම නිසා කලකිරීමට පත් වී සිටින කෙනෙක් නම්, එකම දෙවි වන යෙහෝවාට පමණක් කරන ක්‍රිස්තියානි එක්සත් නමස්කාරයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ හවුල් වන ලෙස අපි ඔබට ඇරයුම් කරන්නෙමු.—එසකියෙල් 9:4; යෙසායා 2:2-4.