Skip to content

පටුනට යන්න

“එවැන්ජලිස්තවරයෙකුගේ කාර්යය කරන්න”

“එවැන්ජලිස්තවරයෙකුගේ කාර්යය කරන්න”

“එවැන්ජලිස්තවරයෙකුගේ කාර්යය කරන්න”

“සිහිකල්පනාව ඇතිව සිටින්න. . . . එවැන්ජලිස්තවරයෙකුගේ කාර්යය කරන්න.”—2 තිමෝති 4:5, NW.

1. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට දුන් බලපැවරුම කුමක්ද?

යෙහෝවාග් නාමය හා අරමුණු ගැන පොළොවේ සතරදිග්භාගය පුරා ප්‍රකාශ කරනු ලැබේ. මෙවන් දෙයක් ලොව වටා සිදු කෙරෙන්නේ දෙවිගේ කැප වූ සෙනඟ යේසුස් ක්‍රිස්තුස් තම අනුගාමිකයන්ට දුන් බලපැවරුම හොඳින් සිතට ගෙන කටයුතු කරන නිසාය. යේසුස් එම බලපැවරුම ඔවුන්ට දෙමින් මෙසේ පැවසුවේය. “ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. පියාණන්ගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයෙන් ඔවුන්ව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න.”—මතෙව් 28:19, 20, NW.

2. අවේක්ෂකයෙකු වූ තිමෝතිට ලැබුණු උපදේශය කුමක්ද? ක්‍රිස්තියානි අවේක්ෂකයන්ට තමන්ගේ දේවසේවය ඉටු කළ හැකි එක් ආකාරයක් නම් කරන්න.

2 මුල් සියවසේ සිටි යේසුස්ගේ අනුගාමිකයෝ එම බලපැවරුම හොඳින් සිතට ගෙන කටයුතු කළහ. නිදසුනක් වශයෙන් ප්‍රේරිත පාවුල් ඔහු සමඟ සේවය කළ ක්‍රිස්තියානි අවේක්ෂකයෙකු වූ තිමෝතිගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියේය. “එවැන්ජලිස්තවරයෙකුගේ කාර්යය කරන්න. ඔබේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න.” (2 තිමෝති 4:5, NW) අද දින අවේක්ෂකයෙකුට ඔහුගේ දේවසේවය සම්පූර්ණයෙන් ඉටු කළ හැකි එක් මාර්ගයක් වන්නේ නිතිපතා ක්ෂේත්‍ර සේවයේ හවුල් වෙමින් රාජ්‍යය ගැන උද්‍යෝගයෙන් ප්‍රකාශ කිරීමයි. නිදසුනක් වශයෙන් දේශනා සේවයෙහි මූලිකත්වය ගැනීමෙන් හා අන් අයව පුහුණු කිරීමෙන් අත් වන ප්‍රීතිය භුක්ති විඳීමේ ප්‍රස්තාව සභා පොත් පාඩම් අවේක්ෂකට උදා වී තිබේ. පාවුල් ශුභාරංචිය දේශනා කිරීම සඳහා ඔහුට පෞද්ගලිකව පැවරී තිබූ වගකීම ඉටු කළ අතර අන් අයවද දේවසේවය සඳහා පුහුණු කළේය.—ක්‍රියා 20:20; 1 කොරින්ති 9:16, 17.

අතීතයේ විසූ උද්‍යෝගවත් එවැන්ජලිස්තවරු

3, 4. එවැන්ජලිස්තවරයෙකු හැටියට ෆිලිප් ලැබූ අද්දැකීම් මොනවාද?

3 මුල් ක්‍රිස්තියානීහු උද්‍යෝගිමත් එවැන්ජලිස්තවරුන් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියහ. එවැන්ජලිස්ත ෆිලිප් ගැන සිතා බලන්න. ඔහු යෙරුසලමෙහි සිටි ග්‍රීක් භාෂාව කතා කළ හා හෙබ්‍රෙව් භාෂාව කතා කළ ක්‍රිස්තියානි වැන්දඹුවන්ට දිනපතා අපක්ෂපාති ලෙස ආහාර බෙදා දීමේ කාර්යය සඳහා තෝරාගන්නා ලද “ආත්මයෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණ, හොඳ නමක් දිනාගෙන ඇති පුරුෂයන් [හත්දෙනාගෙන්]” එක් කෙනෙක් විය. (ක්‍රියා 6:1-6, NW) මෙම විශේෂ පැවරුම අවසන් වීමෙන් හා පීඩා හටගැනීමෙන් අනතුරුව ප්‍රේරිතයන් හැර අන් සියලුදෙනාම තැනින් තැනට විසිරී ගියහ. ෆිලිප් සමාරියට ගියේය. එහිදී ඔහු ශුභාරංචිය දේශනා කළ අතර භූතයන්ව පලවාහැරීමට මෙන්ම කොර හා අංශභාග අයව සුව කිරීමට ඔහුට ශුද්ධාත්මයෙන් බලය ලැබිණ. සමරිතානුවෝ බොහෝදෙනෙක් රාජ්‍යයේ පණිවිඩය පිළිගෙන බව්තීස්ම වූහ. මේ ගැන යෙරුසලමෙහි සිටි ප්‍රේරිතයන්ට දැනගන්න ලැබුණු අතර ඔවුහු ප්‍රේරිත පේතෘස්ව හා යොහන්ව සමාරියට පිටත් කර හැරියහ. මෙසේ කළේ අලුතින් බව්තීස්ම වූ ඇදහිලිවන්තයන්ට ශුද්ධාත්මය ලැබෙන පිණිසය.—ක්‍රියා 8:4-17.

4 ඊළඟට දෙවිගේ ආත්මය ෆිලිප්ට මඟ පෙන්වමින් ගාසාවට යන පාරේ ගමන් කරමින් සිටි ඉතියෝපියානු නිලධාරියාව හමුවීමට සැලැස්සුවේය. ෆිලිප් යෙසායාගේ අනාවැකිය පැහැදිලි කර දීමෙන් පසු, “ඉතියෝපියානු ජනතාවගේ රැජින වූ කන්දසී යටතේ සේවය කළ [ඒ මිනිසා]” යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල තබා බව්තීස්ම වූයේය. (ක්‍රියා 8:26-38, NW) ඉන්පසු ෆිලිප් “සෑම නුවරකම ශුභාරංචිය ප්‍රකාශ [කරමින්]” අෂ්දොද් නම් ප්‍රදේශයටද, ඉන් අනතුරුව සිසේරියටද ගියේය. (ක්‍රියා 8:39, 40, NW) එවැන්ජලිස්තවරයෙකුගේ කාර්යය කරමින් ඔහු කදිම ආදර්ශයක් තැබූ බවට සැකයක් නැත!

5. ෆිලිප්ගේ දූවරුන් සතරදෙනා ප්‍රසිද්ධියට පත්ව සිටියේ කුමක් සම්බන්ධයෙන්ද?

5 අවුරුදු 20ක පමණ කාලයකට පසුත් ෆිලිප් සිසේරියේ ක්‍රියාශීලීව දේවසේවයෙහි නිරත වෙමින් සිටියේය. පාවුල් සහ ලූක් ඔහුගේ නිවසේ නතර වී සිටි කාලයේදී ඔහුට “අනාවැකි කියන කන්‍යා දූවරු සතරදෙනෙක් . . . සිටියෝය.” (ක්‍රියා 21:8-10, NW) ඔවුන්ට ආත්මික කාරණා සම්බන්ධයෙන් හොඳ පුහුණුවක් දී තිබූ බවටත් දේවසේවය සඳහා ඔවුන් තුළ උද්‍යෝගයක් තිබූ බවටත් සැකයක් නැත. අනාවැකි කීමේ වරප්‍රසාදය පවා ඔවුන්ට තිබිණ. දේවසේවය සඳහා දෙමාපියන්ට තිබෙන උද්‍යෝගය අද සිටින දූ පුතුන් කෙරෙහි යහපත් බලපෑමක් ඇති කළ හැකි අතර තමන්ගේ ජීවිත කාලය පුරා උද්‍යෝගිමත්ව එවැන්ජලිස්ත සේවයේ නිරත වීමටද ඔවුන් තුළ පෙලඹීමක් ඇති කළ හැකියි.

වර්තමානයේ සිටින උද්‍යෝගිමත් එවැන්ජලිස්තවරු

6. මුල් සියවසේ සිටි එවැන්ජලිස්තවරුන් ලැබූ සාර්ථකත්වය කුමක්ද?

6 යේසුස් ක්‍රිස්තුස් අප ජීවත් වෙන කාලය හා අවසාන කාලය පිළිබඳව පැවසූ මහත් අනාවැකියේ මෙසේ සඳහන් වේ. “පළමුවෙන් සියලු ජාතීන්ට ශුභාරංචිය දේශනා කළ යුතුය.” (මාක් 13:10, NW) අවසානය පැමිණෙනු ඇත්තේ “මුළු ජනාවාස පොළොව පුරාම” ශුභාරංචිය දේශනා කිරීමෙන් පසුවයි. (මතෙව් 24:14, NW) පාවුල් සහ මුල් සියවසේ සිටි වෙනත් එවැන්ජලිස්තවරුන් ශුභාරංචිය ප්‍රකාශ කරද්දී බොහෝදෙනෙකු ඇදහිලිවන්තයන් බවට පත් වූ අතර රෝම අධිරාජ්‍යය පුරා ප්‍රදේශයක් ප්‍රදේශයක් පාසා සභා පිහිටුවන ලදි. මේ සභාවල සේවය කිරීමට පත් කරන ලද වැඩිමහල්ලෝ තමන්ගේ සෙසු සහෝදර සහෝදරියන් සමඟ එක්ව එවැන්ජලිස්ත සේවයේ හවුල් වෙමින් දේශනා කිරීමේ කර්තව්‍යය දස දෙස ව්‍යාප්ත කළහ. ඒ දවස්වල යෙහෝවාගේ වචනය දිගටම වර්ධනය වෙමින් බලවත් විය. මෙය වර්තමානයේද සිදු වන අතර, මීට හේතුව වන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් දශලක්ෂ ගණනක් එවැන්ජලිස්තවරුන්ගේ කාර්යයෙහි නිරත වීමයි. (ක්‍රියා 19:20) ඔබත් යෙහෝවාට සන්තෝෂයෙන් ප්‍රශංසා කරන අය අතර සිටින කෙනෙක්ද?

7. වර්තමානයේ රාජ්‍ය ප්‍රකාශකයන් කරමින් සිටින්නේ කුමක්ද?

7 වර්තමානයේ සිටින රාජ්‍ය ප්‍රකාශකයන් බොහෝදෙනෙක් එවැන්ජලිස්ත සේවයෙහි තමන්ගේ දායකත්වය පුළුල් කිරීමට ලැබෙන ප්‍රස්තාවලින් ප්‍රයෝජන ගනිමින් සිටිති. දහස්ගණනක් මිෂනාරි සේවයට ඇතුළත් වී ඇත. සියදහස් ගණනක් ස්ථාවර හා උපකාරික පුරෝගාමීන් ලෙස පූර්ණ කාලීනව එවැන්ජලිස්ත සේවයේ හවුල් වෙති. උද්‍යෝගිමත් රාජ්‍ය ප්‍රකාශකයන් වශයෙන් පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන් කරමින් සිටින්නේ මොන තරම් කදිම සේවයක්ද! ඇත්තෙන්ම යෙහෝවාගේ සියලුම සෙනඟ ක්‍රිස්තියානි එවැන්ජලිස්තවරුන් ලෙස උරෙන් උර ගැටී සේවය කරද්දී ඔහුගේ මහඟු ආශීර්වාද අද්දකිති.—ශෙපනියා 3:9, NW.

8. මේ කාලයේ සිදු වෙමින් පවතින ලකුණු කිරීමේ වැඩය කුමක්ද? මෙය කරනු ලබන්නේ කවුරුන් විසින්ද?

8 දෙවි පොළොව පුරා ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ වගකීම යේසුස්ගේ අභිෂේක ලත් අනුගාමිකයන්ට දී තිබේ. දවසින් දවස වැඩි වෙමින් සිටින ක්‍රිස්තුස්ගේ “වෙනත් බැටළුවෝ” ඔවුන් කරමින් සිටින එවැන්ජලිස්ත සේවයට සහයෝගය දෙති. (යොහන් 10:16) ජීවිත ගලවාගැනීමේ එම කාර්යය අනාවැකියක සමාන කර තිබෙන්නේ මේ කාලයේ සිදු වෙමින් පවතින පිළිකුල්කම් ගැන සුසුම්ලමින් කෙඳිරිගාන අයගේ නළල්වල ලකුණක් දැමීමේ කාර්යටයි. වැඩි කල් නොගොස් දුෂ්ටයන්ව විනාශ කර දමනු ඇත. මෙය සිදු වන තෙක් ලෝක වාසීන් වෙතට ජීවිත ගලවන සත්‍යයන් ගෙන යෑමට ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද!—එසකියෙල් 9:4-6, 11.

9. දේවසේවයේදී නවකයන්ට උපකාර කළ හැක්කේ කෙසේද?

9 අප යම් කාලයක් පුරා එවැන්ජලිස්ත සේවයේ හවුල් වෙමින් සිටින අය නම් සභාවේ සිටින නවකයන්ට උපකාර කිරීම සඳහා යමක් කරන්න අපට හැකියි. යම් අවස්ථාවලදී එම නවකයන් සමඟ දේවසේවයේ හවුල්වීමට අපට පුළුවනි. වැඩිමහල්ලන් ලෙස සේවය කරන අය තමන්ගේ සෙසු නමස්කාරකයන්ව ආත්මිකව ගොඩනැඟීමට තමන්ට කළ හැකි සෑම දෙයක්ම කිරීමට කැමති වනු ඇත. නිහතමානී අවේක්ෂකයන් දරන කදිම වෑයම් අන් අයට උද්‍යෝගිමත් මෙන්ම ඵලදායක එවැන්ජලිස්තවරුන් වීමට මහත් උපකාරයක් විය හැකියි.—2 පේතෘස් 1:5-8.

ගෙයින් ගෙට සාක්ෂි දැරීම

10. ක්‍රිස්තුස් හා ඔහුගේ මුල් අනුගාමිකයන් දේවසේවය සම්බන්ධයෙන් තැබූ ආදර්ශය කුමක්ද?

10 එවැන්ජලිස්තවරයෙකු ලෙස යේසුස් ඔහුගේ අනුගාමිකයන් සඳහා තැබුවේ විශිෂ්ට ආදර්ශයකි. ක්‍රිස්තුස් හා ඔහුගේ ප්‍රේරිතයන් කළ දේවසේවය ගැන දේවවචනයේ මෙසේ සඳහන් වේ. “ඔහු දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරමින්ද ප්‍රකාශ කරමින්ද නුවරින් නුවරටත් ගමින් ගමටත් ගමන් කළේය. දොළොස්දෙනාද ඔහු සමඟ ගියෝය.” (ලූක් 8:1, NW) ප්‍රේරිතයන්ගේ සේවය ගැන කුමක් කිව හැකිද? ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දිනයේදී ශුද්ධාත්මය වැගිරීමෙන් පසු “ඔවුහු දිනපතා දේවමාලිගාවේදීත් ගෙයින් ගෙටත් ගොස් අත් නෑර උගන්වමින්ද ක්‍රිස්තුස් වූ යේසුස් ගැන ශුභාරංචිය ප්‍රකාශ කරමින්ද සිටියෝය.”—ක්‍රියා 5:42, NW.

11. ක්‍රියා 20:20, 21ට අනුව ප්‍රේරිත පාවුල් දේවසේවයේදී කළේ කුමක්ද?

11 ප්‍රේරිත පාවුල් උද්‍යෝගයෙන් එවැන්ජලිස්ත සේවයේ යුදුණ නිසා එෆීසයේ ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට මෙසේ පැවසීමට ඔහුට හැකි විය. “ඔබට ප්‍රයෝජනවත් වන සියල්ල පැවසීමෙන්වත් ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට ගොස් ඔබට ඉගැන්වීමෙන්වත් මම වැළකී නොසිටියෙමි.” තමන් ‘ගෙයින් ගෙට උගන්වමින්’ සිටියා කියා පාවුල් පවසන විට ඔහු අදහස් කළේ එඬේර බැහැදැකීම් කරමින්, යෙහෝවාට නමස්කාර කරන සෙසු අයව හමුවීමට ඔවුන්ගේ ගෙවල්වලට යෑම ගැනද? නැත. මන්ද ඔහු තවදුරටත් මෙසේ පැහැදිලි කළේය. “මම දෙවි ඉදිරියෙහි පසුතැවිලි වීම ගැනත් අපේ ස්වාමීන් වන යේසුස් කෙරෙහි වූ ඇදහිල්ල ගැනත් යුදෙව්වරුන් සහ ග්‍රීකවරුන් යන දෙපිරිසටම සම්පූර්ණයෙන් සාක්ෂි දැරුවෙමි.” (ක්‍රියා 20:20, 21) ඒ වන විටත් යෙහෝවාට කැප වී සිටි අයට “පසුතැවිලි වීම ගැනත් අපේ ස්වාමීන් වන යේසුස් කෙරෙහි වූ ඇදහිල්ල ගැනත්” ඉගැන්වීම අවශ්‍ය වූයේ නැත. පාවුල් නොඇදහිලිවන්තයන්ට පසුතැවිලි වීම ගැන හා ඇදහිල්ල ගැන උගන්වමින් සිටි අතරේදී, එෆීසයේ වැඩිමහල්ලන්ටද ගෙයින් ගෙට සේවය ගැන පුහුණුවක් දුන්නේය. මෙහිදී පාවුල් කරමින් සිටියේ යේසුස් මුලින්ම ඇති කළ ක්‍රමය ක්‍රියාවට නැඟීමයි.

12, 13. පිලිප්පි 1:7ට එකඟව යෙහෝවාගේ සෙනඟ ඔවුන්ට දේශනා කිරීමට තිබෙන අයිතිය සම්බන්ධයෙන් කර තිබෙන්නේ කුමක්ද?

12 ගෙයින් ගෙට දේවසේවයේ හවුල් වීම පහසු දෙයක් නොවිය හැකියි. නිදසුනක් වශයෙන් අප බයිබලයේ සඳහන් පණිවිඩය රැගෙන නිවෙස්වලට යන විට සමහරු අප සමඟ අමනාපයේ හැඟීමක් ඇති කරගනිති. මිනිසුන් සමඟ අමනාප වීමට අප කැමති නැත. එහෙත් අප ගෙයින් ගෙට සේවයේ හවුල් වන්නේ එසේ කිරීමට ශුද්ධ ලියවිල්ලේ අපට පවසා තිබෙන නිසාත් දෙවි සහ සෙසු ජනයා කෙරෙහි අපට තිබෙන ප්‍රේමය එලෙස සාක්ෂි දැරීමට අප තුළ පෙලඹීමක් ඇති කරන නිසාත්ය. (මාක් 12:28-31) ගෙයින් ගෙට ගොස් දේශනා කිරීම සඳහා අප සතු අයිතිය ‘වෙනුවෙන් කතා කිරීමටත් එය නීත්‍යනුකූලව පිහිටුවීමටත්’ අප එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු විවිධ අධිකරණ හමුවට ගොස් ඇත. (පිලිප්පි 1:7) එම අධිකරණය සෑම අවස්ථාවකදීම පාහේ අපට හිතකර අන්දමින් තීන්දු ප්‍රකාශ කර ඇත. මේ අතර පහත සඳහන් නඩු තීන්දුව විශේෂ එකක් ලෙස සැලකිය හැකියි.

13 “ආගමික පත්‍රිකා අතින් අතට බෙදාහැරීම, ඈත අතීතයේ මිෂනාරිවරුන් කළ එවැන්ජලිස්ත සේවයේදී යොදාගත් ක්‍රමවලින් එකකි. මෙය මුද්‍රණ කර්මාන්තයේ ඉතිහාසය තරම් පැරණිය. මෙම ක්‍රමය එදා සිට අද දක්වා ගෙවී ගොස් තිබෙන කාලය පුරා විවිධ ආගමික ක්‍රියාකාරකම්වල ඉදිරි ගමනට බෙහෙවින් බලපා තිබේ. මේ ක්‍රමය වර්තමානයේදීද එවැන්ජලිස්ත සේවය සඳහා යොදාගනු ලැබේ. මෙය විශාල වශයෙන් යොදාගනු ලබන්නේ දසදහස් ගණන් නිවෙස්වලට ශුභාරංචිය ගෙන යමින් ජනයාව පෞද්ගලිකව හමු වී, තමන්ගේ ඇදහිල්ල වැලඳගැනීම සඳහා ඔවුන්ගේ සිත් දිනාගැනීමට වෑයම් කරන පුරෝගාමීන් සිටින විවිධ ආගමික නිකායන් විසිනි. . . . මෙලෙස කරන ආගමික කටයුතුවලට, දේවස්ථානවල කරන නමස්කාරය හා දේශනා කූඩුවල සිට කරන දේශනා කිරීම හා සමාන වැදගත්කමක් [එක්සත් ජනපද ව්‍යවස්ථාවේ] පළමු සංශෝධනය යටතේ හිමි වේ.”—මර්ඩොක්ට එදිරිව පෙන්සිල්වේනියා, 1943.

අත් නෑර දේශනා කළ යුත්තේ මන්ද?

14. අප කරන දේවසේවය මගින් ඇති කළ හැකි ප්‍රබල බලපෑම කුමක්ද?

14 ගෙයින් ගෙට ගොස් සාක්ෂි දැරීම සඳහා හේතු බොහොමයක් තිබේ. අප ගෙවැසියෙකුව බැහැදකින සෑම වතාවකදීම වෑයම් කරන්නේ ශුද්ධ ලියවිල්ලේ සඳහන් සත්‍යයේ බීජයක් පැළ කිරීමටයි. නැවත බැලීම් කිරීමෙන් එයට වතුර වත් කිරීමට අපි වෑයම් කරන්නෙමු. මෙය ගෙවැසියා කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළ හැකියි. මන්ද පාවුල් මෙසේ ලීවේය. “මම පැළ කළෙමි. අපොලොස් වතුර දැමීය. නමුත් එය වැඩීමට සැලැස්වූයේ දෙවිය.” (1 කොරින්ති 3:6, NW) එමනිසා යෙහෝවා ‘එය වැඩීමට සලස්වයි’ යන නිසැකකම ඇතුව ‘පැළ කිරීම හා වතුර දැමීම’ අත් නෑර කරගෙන යමු.

15, 16. අප ජනයාගේ නිවෙස්වලට නැවත නැවතත් යන්නේ මන්ද?

15 අප එවැන්ජලිස්ත සේවයේ හවුල් වන්නේ මිනිසුන්ගේ ජීවිත අනතුරේ තිබෙන නිසාය. දේශනා කිරීමෙන් අපගේ ජීවිත මෙන්ම අපට සවන් දෙන අයගේ ජීවිතද ගලවාගැනීමට අපට හැකි වේ. (1 තිමෝති 4:16) යමෙකුගේ ජීවිතය අනතුරේ තිබෙන බව අප දන්නවා නම්, අප ඔහුට උපකාර කිරීම සඳහා අප දරන්නේ එක් දුර්වල වෑයමක් පමණක්ද? කොහෙත්ම නැත. අප ගෙවැසියන්ව හමුවීමට යෑම ඔවුන්ගේ ගැලවීමට බලපාන නිසා අපි නැවත නැවතත් ජනයාව හමුවීමට යන්නෙමු. මිනිසුන් මුහුණ දෙන තත්වයන් සැමදා එක වගේ පවතින්නේ නැත. එක් වතාවකදී අපට සවන් දීමට නොහැකි තරම් කාර්යබහුලව සිටි කෙනෙක් තවත් වතාවකදී අප යන විට බයිබලයේ සඳහන් පණිවිඩයට සවන් දීමට ඉඩ තිබේ. අපට කලින් වතාවේදී හමු නොවූ පවුලේ වෙනත් සාමාජිකයෙකු මේ වතාවේදී හමු විය හැකි අතර ඒ තැනැත්තා සමඟ ශුද්ධ ලියවිල්ල පදනම් කරගත් සාකච්ඡාවක් පැවැත්වීමට මං උදා විය හැකියි.

16 ගෙවැසියන්ගේ තත්වයන් පමණක් නොව ඔවුන්ගේ ආකල්පද වෙනස් විය හැකියි. නිදසුනක් වශයෙන්, තමන් ප්‍රේම කළ කෙනෙකු මිය යෑම නිසා යමෙක් රාජ්‍ය පණිවිඩයට සවන් දීමට ඉඩ ඇත. අප බලාපොරොත්තු වන්නේ ඒ තැනැත්තාව සැනසීමටයි; ඔහුගේ හෝ ඇගේ ආත්මික අවශ්‍යතා ගැන සැලකිලිමත් වීමට උපකාර කර, එය සපුරාගත හැකි ආකාරය පෙන්වා දීමටයි.—මතෙව් 5:3, 4, NW.

17. දේශනා කිරීමේ කාර්යයෙහි හවුල් වීම සඳහා අපට තිබෙන ප්‍රධානතම හේතුව කුමක්ද?

17 අප ගෙයින් ගෙට ගොස් සාක්ෂි දැරීමට හෝ වෙනත් ආකාරයකින් දේවසේවයේ හවුල් වීමට අපට තිබෙන හේතු අතරින් ප්‍රධානතම හේතුව වන්නේ යෙහෝවාගේ නාමය ජනයාට දැනුම් දීමට අපට තිබෙන ආශාවයි. (නික්මයාම 9:16; ගීතාවලිය 83:17) සත්‍යයට හා ධර්මිෂ්ඨකමට ඇලුම් කරන අය අප කරන එවැන්ජලිස්ත සේවයෙන් ලැබෙන උපකාර නිසා යෙහෝවාට ප්‍රශංසා කරන්නන් බවට පත් වෙද්දී, අප ඉන් ලබන්නේ මොන තරම් තෘප්තියක්ද! “තරුණයන් හා තරුණියෙනි, මහල්ලන් හා බාලයෙනි, . . . මොව්හු යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කෙරෙත්වා. මක්නිසාද ඔහුගේ නාමය පමණක් උසස්ය. ඔහුගේ මහිමය ස්වර්ගය හා පොළොව මත්තෙහි පවත්නේය” කියා ගීතිකාකරු ගායනා කළේය.—ගීතාවලිය 148:12, 13.

එවැන්ජලිස්ත සේවය අපට පෞද්ගලිකව ප්‍රයෝජන ගෙන දෙයි

18. එවැන්ජලිස්ත සේවයෙන් අප ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

18 එවැන්ජලිස්තවරයෙකුගේ සේවය ඉටු කිරීමෙන් අප එක් එක් කෙනාට විවිධාකාරවලින් ප්‍රයෝජන අත් වේ. අප ශුභාරංචිය රැගෙන ගෙයින් ගෙට යන විට ඇතැම් ගෙවැසියන් අපව කාරුණික ලෙස පිළිනොගැනීමට ඉඩ තිබේ. විශේෂයෙන් එවන් අවස්ථාවලදී අවශ්‍ය වන යටහත් පහත්කම වර්ධනය කරගැනීමට ගෙයින් ගෙට සේවය අපට උපකාරවත් වේ. ඵලදායක එවැන්ජලිස්තවරුන් වීම සඳහා අප පාවුල්ව අනුකරණය කිරීම අවශ්‍යයි. ඔහු ‘කෙසේ හෝ ටිකදෙනෙකු වුවද ගලවාගන්නා පිණිස, සියලු ආකාරයේ පුද්ගලයන්ට සියල්ල වූයේය.’ (1 කොරින්ති 9:19-23, NW) තැනට ඔබින නුවණ පාවිච්චි කිරීමට දේවසේවයේදී ලබන අද්දැකීම් උපකාරවත් වේ. යෙහෝවා මත රඳා සිටීමෙන් හා හොඳින් සිතා බලා වචන පිට කිරීමෙන් පාවුල් දුන් මෙම උපදේශය ක්‍රියාත්මක කිරීමට අපට හැකියි. “ඔබේ කතාව සැමවිටම ප්‍රසන්නව, ලුණෙන් රසවත්ව තිබේවා! එවිට ඔබ එකිනෙකාට පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි දැනගන්නවා ඇත.”—කොලොස්සි 4:6, NW.

19. එවැන්ජලිස්තවරුන්ට ශුද්ධාත්මය මගින් උපකාර ලැබෙන්නේ කෙසේද?

19 එවැන්ජලිස්ත සේවය දෙවිගේ ශුද්ධාත්මය මත රඳා සිටීමටද අප තුළ පෙලඹීමක් ඇති කරවයි. (සෙකරියා 4:6) මෙහි ප්‍රතිඵලයක් හැටියට ශුද්ධාත්මයේ පල වන “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම, ආත්ම දමනය” අපේ දේවසේවය තුළින් දිස් වනු ඇත. (ගලාති 5:22, 23, NW) මිනිසුන් සමඟ කටයුතු කරන විට එය බලපායි. මන්ද අප ශුභාරංචිය ප්‍රකාශ කරද්දී ප්‍රේමය පෙන්වීමටද, ප්‍රීතිවීමටද, සමාදානයෙන් කටයුතු කිරීමටද, බොහෝ ඉවසිලිවන්ත මෙන්ම කරුණාවන්ත වීමටද, යහපත්කම හා ඇදහිල්ල විදහා පෑමටද, මෘදුකම හා ආත්ම දමනය පෙන්වීමටද දෙවිගේ ආත්මයේ මඟ පෙන්වීමට යටත් වීම අපට උපකාර කරන බැවිනි.

20, 21. එවැන්ජලිස්ත සේවයේ නිතරම නියැලී සිටීමෙන් අත් වන ප්‍රයෝජන සමහරක් මොනවාද?

20 එවැන්ජලිස්තවරුන් වශයෙන් අප ලබන තවත් ප්‍රයෝජනයක් වන්නේ මිනිසුන් ගැන වඩාත් සංවේදී වීමයි. අසනීප, රැකියාවක් නොමැතිකම හා ගෙවල්වල තිබෙන ගැටලු ප්‍රශ්න ගැන මිනිසුන් අපට පවසන විට, අප උපදේශකයන් ලෙස කටයුතු නොකළද, අපි ඔවුන්ව ශුද්ධ ලියවිල්ල යොදාගනිමින් දිරිගන්වන්නෙමු. සනසන්නෙමු. ආත්මිකව අන්ධව සිටියත් ධර්මිෂ්ඨකමට ඇලුම් කරන බවක් පෙනෙන්න තිබෙන අය කෙරෙහි අපි සැලකිල්ලක් දක්වන්නෙමු. (2 කොරින්ති 4:4) “සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක් [තිබෙන]” අයට ආත්මිකව උපකාර කිරීමෙන් ලැබෙන ප්‍රීතිය මොන තරම්ද!—ක්‍රියා 13:48, NW.

21 අපේ මනස ආත්මික කාරණා දෙස යොමු කර තබාගැනීමට නිතිපතා එවැන්ජලිස්ත සේවයේ හවුල් වීම අපට උපකාරවත් වේ. (ලූක් 11:34) අප මෙසේ කළේ නැත්නම්, අද ලෝකයේ බහුලව පැතිර පවතින ද්‍රව්‍යමය ආකර්ෂණයන්ට අප ඇදී යෑමට ඉඩ තිබේ. එනිසා නිතිපතා එවැන්ජලිස්ත සේවයෙහි හවුල් වීම ඇත්තෙන්ම ප්‍රයෝජනදායකය. ප්‍රේරිත යොහන් ක්‍රිස්තියානීන්ගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියේය. “ලෝකයටවත් ලෝකයේ තිබෙන දේවල්වලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේම කරන්නේ නම්, පියාණන් කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත. මන්ද, ලෝකයේ තිබෙන සියල්ල—එනම් මාංසයේ ආශාවත්, ඇස්වල ආශාවත්, තමන්ගේ දේපළ ප්‍රදර්ශනය කිරීමත්—පැමිණෙන්නේ පියාගෙන් නොව, ලෝකයෙන්ය. තවද, ලෝකයත් එහි ආශාවත් පහව යන්නේය. නමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය.” (1 යොහන් 2:15-17, NW) ස්වාමීන්ගේ වැඩයෙහි නිතරම නියැලී සිටීම, ලෝකයට ප්‍රේම නොකිරීමට අපට උපකාරවත් වේ.—1 කොරින්ති 15:58, NW.

ස්වර්ගික වස්තු රැස් කරන්න

22, 23. (අ) ක්‍රිස්තියානි එවැන්ජලිස්තවරුන් විසින් රැස් කරනු ලබන වස්තු මොනවාද? (ආ) ඊළඟ ලිපිය අපට උපකාරවත් වන්නේ කෙසේද?

22 උද්‍යෝගයෙන් රාජ්‍යය ගැන දේශනා කිරීමෙහි හවුල් වීමෙන් ලැබෙන්නේ කල්පවතින ප්‍රයෝජනයි. යේසුස් මෙම වදන් පැවසූ අවස්ථාවේදී එය පැහැදිලි කළේය. “මෙලොවෙහි ඔබට වස්තු රැස් කරගැනීම නතර කරන්න. මන්ද, කාවෝද මලකඩද ඒවා නාස්ති කරති. සොරුද කඩා වැද ඒවා සොරාගනිති. ඒ වෙනුවට, ස්වර්ගයෙහි ඔබට වස්තු රැස් කරගන්න. එහිදී කාවෝවත් මලකඩවත් ඒවා නාස්ති නොකරති. සොරුද කඩා වැද ඒවා සොරා නොගනිති. මන්ද ඔබේ වස්තුව කොතැනද, ඔබේ සිතත් එතැනම වන්නේය.”—මතෙව් 6:19-21, NW.

23 පරමාධිපති ස්වාමීන් වන යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස ඔහුව නියෝජනය කිරීම තරම් වෙනත් උතුම් වරප්‍රසාදයක් අපට තිබිය නොහැකි බව සිතෙහි තබාගනිමින් ස්වර්ගයෙහි වස්තු රැස් කිරීම දිගටම කරගෙන යමු. (යෙසායා 43:10-12) අප දෙවිගේ සේවකයන් වශයෙන් අපට ලැබී තිබෙන බලපැවරුම ඉටු කරන විට අපටත් හැඟෙනු ඇත්තේ මතු දැක්වෙන වදන් පැවසූ ක්‍රිස්තියානි සහෝදරියට හැඟුණා හා සමානවයි. වයස අවුරුදු 90 ගණන්වල පසු වන ඇය දෙවිට දිගු කාලයක් පුරා කර තිබෙන සේවය ගැන පැවසුවේ මෙසේය. “යෙහෝවා මේ අවුරුදු ගණනාව පුරා මගේ අඩු පාඩුකම් මැද පවා මම කරපු සේවය පිළිගැනීම ගැන ඔහුට මම ස්තුතිවන්ත වෙනවා. මම මහත් උනන්දුවෙන් යාච්ඤා කරන්නේ ඔහු සදාකාලයටම මගේ ප්‍රේමණීය පියාණන් වේවා කියායි.” අපත් ඇය හා සමානව දෙවි සමඟ තිබෙන අපේ සබඳතාව ඉමහත් සේ අගය කරනවා නම් එවැන්ජලිස්තවරයෙකුගේ සේවය සම්පූර්ණයෙන් ඉටු කිරීමට අප තුළ දැඩි ආශාවක් ඇති වනවාට සැකයක් නැත. අපේ සේවය සම්පූර්ණයෙන් ඉටු කිරීමට අපට හැකි ආකාරය ගැන ඊළඟ ලිපියේදී සලකා බලනු ඇත.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• අප එවැන්ජලිස්තවරයෙකුගේ කාර්යයේ නිරත විය යුත්තේ මන්ද?

• එවැන්ජලිස්තවරුන් අතීතයේදී කළ සහ වර්තමානයේදී කරන සේවය ගැන ඔබට කිව හැක්කේ කුමක්ද?

• අප ගෙයින් ගෙට සාක්ෂි දැරීමෙහි හවුල් වන්නේ මන්ද?

• එවැන්ජලිස්තවරයෙකුගේ කාර්යය කිරීමෙන් ඔබ පෞද්ගලිකව ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූර]

ෆිලිප් මෙන්ම ඔහුගේ දූවරුන් හා සමාන ප්‍රීතිමත් එවැන්ජලිස්තවරු අද දිනත් සිටිති

[14වන පිටුවේ පින්තූරය]

අන් අය සමඟ ශුභාරංචිය බෙදාගන්න විට, ඔබ ඉන් පෞද්ගලිකව ප්‍රයෝජන ලබන්නේ කෙසේද?