Skip to content

පටුනට යන්න

“ඔබේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න”

“ඔබේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න”

“ඔබේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න”

“ඔබේ සේවය කිසිම අඩුවක් නැතිව ඉටු කරන්න.”—2 තිමෝති 4:5, බයිංටන්.

1, 2. සියලුම ක්‍රිස්තියානීන් එවැන්ජලිස්තවරුන් වුවත් ශුද්ධ ලියවිල්ලෙහි වැඩිමහල්ලන්ගෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද?

ඔබ රාජ්‍ය ප්‍රකාශකයෙක්ද? එසේනම් මේ උතුම් වරප්‍රසාදය සඳහා යෙහෝවා දෙවිට ස්තුති කරන්න. ඔබ සභාවේ වැඩිමහල්ලෙක්ද? මෙය යෙහෝවාගෙන් ලැබෙන තවත් වරප්‍රසාදයකි. එහෙත් අප කිසිම විටකත් අමතක නොකළ යුතු දෙයක් තිබේ. එනම් දේවසේවය හෝ සභාවේ අවේක්ෂණ කටයුතු සඳහා හෝ අපව සුදුස්සන් බවට පත් කරවන්නේ ලෞකික අධ්‍යාපනයවත් චතුර ලෙස කතා කිරීමේ හැකියාවවත් නොවන බවයි. දේවසේවය සඳහා අපට ප්‍රමාණවත් සුදුසුකම් ලබා දෙන්නේ යෙහෝවාය. අප අතර සිටින සමහර පුරුෂයන් අවේක්ෂකයන් ලෙස සේවය කිරීමේ වරප්‍රසාදය ලබන්නේ ඔවුන් ඒ සඳහා ශුද්ධ ලියවිල්ලේ තිබෙන විශේෂිත සුදුසුකම් අත් කරගෙන තිබෙන නිසාය.—2 කොරින්ති 3:5, 6, NW; 1 තිමෝති 3:1-7.

2 කැප වී සිටින සියලුම ක්‍රිස්තියානීන් එවැන්ජලිස්තවරුන්ගේ කාර්යය ඉටු කළ යුතු වුවත්, විශේෂයෙන්ම වැඩිමහල්ලන් එය ඉටු කරමින් දේවසේවයෙහි හොඳ ආදර්ශයක් තැබීම අවශ්‍යයි. “කතා කිරීමෙහිත් ඉගැන්වීමෙහිත් වෙහෙස වී වැඩ කරන” වැඩිමහල්ලන් දෙවිගේ හා ක්‍රිස්තුස්ගේ මෙන්ම යෙහෝවාගේ සෙසු සාක්ෂිකරුවන්ගේ අවධානයට ලක් වේ. (1 තිමෝති 5:17, NW; එපීස 5:23; හෙබ්‍රෙව් 6:10-12) ඕනෑම තත්වයක් යටතේ වැඩිමහල්ලෙකු උගන්වන දේවල් සවන් දෙන්නන්ට ඇති කළ යුත්තේ සුවදායී බලපෑමකි. මන්ද ප්‍රේරිත පාවුල් අවේක්ෂකයෙකු වූ තිමෝතිට මෙසේ පැවසූ බැවිනි. “ඔවුන් සුවදායී ඉගැන්වීම පිළි නොගන්නා කාල පරිච්ඡේදයක් පැමිණෙන්නේය. ඔවුහු ඔවුන්ගේම ආශාවලට අනුව, තමුන් කැමති දේවල් අසාගන්නා පිණිස තමන්ටම ගුරුවරුන් රැස් කරගන්නෝය. ඔවුහු සත්‍යයට කන් නොදී, අසත්‍ය කතාවලට හැරී යන්නෝය. එහෙත් ඔබ, සියල්ලෙහිදී සිහිකල්පනාව ඇතිව සිටින්න. නපුර ඉවසන්න. එවැන්ජලිස්තවරයෙකුගේ කාර්යය කරන්න. ඔබේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න.”—2 තිමෝති 4:3-5, NW.

3. සභාවේ ආත්මිකත්වයට තර්ජනයක් එල්ල කිරීමට බොරු ඉගැන්වීම්වලට ඉඩ නොහැරීම සඳහා කළ යුත්තේ කුමක්ද?

3 බොරු ඉගැන්වීම් තුළින් සභාවේ ආත්මිකත්වයට තර්ජනයක් එල්ල නොවන බවට වගබලා ගැනීම සඳහා පාවුල් දුන් මෙම උපදේශයට එකඟව අවේක්ෂකයෙකු කටයුතු කළ යුතුය. “සියල්ලෙහිදී සිහිකල්පනාව ඇතිව සිටින්න. . . . ඔබේ සේවය කිසිම අඩුවක් නැතිව ඉටු කරන්න.” (2 තිමෝති 4:5, බයිංටන්) වැඩිමහල්ලෙක් ‘ඔහුගේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කිරීම’ අවශ්‍යයි. ඔහු එය අඩුවක් නැතිව මුළුමනින්ම ඉටු කළ යුතුය. තම දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන වැඩිමහල්ලෙකු ඔහුගේ සියලුම වගකීම් කෙරෙහි හොඳ අවධානයක් යොමු කරන අතර කිසිම දෙයක් අතපසු වීමට ඉඩ නොතබයි. එමෙන්ම බාගෙට වැඩ නොකරයි. මෙවැනි කෙනෙකු කුඩා දේවලදී පවා විශ්වාසවන්තව කටයුතු කරයි.—ලූක් 12:48; 16:10.

4. දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කිරීම සඳහා අපට උපකාරවත් වන්නේ කුමක්ද?

4 අපේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කිරීම සඳහා වැඩි කාලයක් යෙදවීම සැමවිටම අවශ්‍ය වන්නේ නැත. එහෙත් කාලය ඵලදායක ලෙස පාවිච්චි කිරීම ඊට අවශ්‍ය කෙරේ. දේවසේවයේදී කිරීමට තිබෙන දේවල් සම්පූර්ණයෙන්ම ඉටු කිරීම සඳහා සියලුම ක්‍රිස්තියානීන්ට උපකාරවත් විය හැකි දෙයක් වන්නේ දේවල් සමබරව නිතිපතා කිරීමයි. වැඩි කාලයක් ක්ෂේත්‍ර සේවය සඳහා යෙදවීමට හැකි වන පරිදි වැඩිමහල්ලෙකු සමබර කාලසටහනකට අනුව වැඩකටයුතු කිරීම අවශ්‍ය වන අතර, ඒ සඳහා පෞද්ගලිකව දේවල් හොඳින් සංවිධානය කිරීමද වැදගත්ය. එමෙන්ම පැවරිය යුතු දේවල් මොනවාද කියාත් පවරන්නේ කෙසේද කියාත් ඔහු දැන සිටිය යුතුයි. (හෙබ්‍රෙව් 13:17) නෙහෙමියා යෙරුසලමේ පවුරු නැවත ගොඩනැඟීමේ කාර්යයට පෞද්ගලිකව හවුල් වූවාක් මෙන් ගෞරවනීය වැඩිමහල්ලෙක් තමාගේ වැඩ කොටසද ඉටු කරයි. (නෙහෙමියා 5:16) එමෙන්ම, යෙහෝවාගේ සේවකයන් සියලුදෙනාම රාජ්‍යය ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයෙහි නිතිපතා හවුල් විය යුතුයි.—1 කොරින්ති 9:16-18.

5. දේවසේවය ගැන අපට හැඟී යා යුත්තේ කෙසේද?

5 ස්වර්ගයෙහි පිහිටුවා තිබෙන රාජ්‍යය ගැන අන් අයට ප්‍රකාශ කරන්නන් වශයෙන් අපට පවරා තිබෙන්නේ මොන තරම් ප්‍රීතියක් ලැබිය හැකි බලපැවරුමක්ද! අවසානය පැමිණීමට කලින් මුළු ජනාවාස පොළොව පුරාම ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයෙහි හවුල් වීමට අපට ලැබී තිබෙන වරප්‍රසාදය අප ඉමහත් සේ අගය කරනවාට සැකයක් නැත. (මතෙව් 24:14) අප අසම්පූර්ණ අය වුවත් පාවුල්ගේ මෙම වදන්වලින් අපව දිරිමත් වේ. “සාමාන්‍යය ඉක්මවූ බලය අපගෙන් නොව දෙවිගෙන් ලැබෙන බව පෙනෙන පිණිස අපි [දේවසේවය නමැති] මේ වස්තුව මැටි භාජනවල දරමු.” (2 කොරින්ති 4:7, NW) ඔව්, අපට පුළුවන් පිළිගත හැකි සේවයක් පිරිනමන්න. එහෙත් මෙය කළ හැක්කේ දෙවි දෙන ශක්තිය හා ප්‍රඥාව ඇතුව පමණයි.—1 කොරින්ති 1:26-31.

දෙවිගේ මහිමය පිළිබිඹු කිරීම

6. මාංසික ඊශ්‍රායෙල් හා ආත්මික ඊශ්‍රායෙල් අතර පැවති වෙනස කුමක්ද?

6 පාවුල් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ගැන සඳහන් කරමින් පවසන්නේ “අලුත් ගිවිසුමක දේවසේවකයන් වීමට ඔහු අපට ප්‍රමාණවත් ලෙස සුදුසුකම් දී ඇත” කියාය. මේ අවස්ථාවේදී ප්‍රේරිතවරයා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ආත්මික ඊශ්‍රායෙල් සමඟ කළ අලුත් ගිවිසුම හා මෝසෙස් මාර්ගයෙන් මාංසික ඊශ්‍රායෙල් සමඟ කළ පැරණි නීතික ගිවිසුම අතර ඇති වෙනස පැහැදිලි කරයි. මෝසෙස් දස පනත සඳහන් වූ ගල් ලෑලි රැගෙන සීනයි කන්දෙන් බැස එන විට ඔහුගේ මුහුණ කොතරම් දීප්තියකින් බැබළුණාද කියනවා නම් ඊශ්‍රායෙල්වරුන්ට එය දෙස බලා සිටීමට නොහැකි විය. කෙසේවෙතත් කාලයක් ගත වූවාට පසු ඊටත් වඩා අතිශය බැරෑරුම් දෙයක් සිදු වූ අතර, ඊට හේතු වූයේ “ඔවුන්ගේ කල්පනා ශක්තිය මොට වී [තිබීම]” හා ඔවුන්ගේ සිත් වැස්මකින් වැසී තිබීමයි. එනමුත් මුළු හදින් පිරි භක්තියකින් යෙහෝවා වෙත හැරෙන විට එම වැස්ම ඉවත් කරනු ලැබේ. ඊළඟට පාවුල් අලුත් ගිවිසුමට ඇතුළත්ව සිටි අයට පවරන ලද දේවසේවය ගැන මෙසේ පවසයි. “අපි සියල්ලෝද මුහුණු වැස්මක් නැතිව කැඩපත් මෙන් යෙහෝවාගේ තේජස පිළිබිඹු කරන්නෙමු.” (2 කොරින්ති 3:6-8, 14-18, NW; නික්මයාම 34:29-35) අද දින සිටින යේසුස්ගේ ‘වෙනත් බැටළුවෝද’ යෙහෝවාගේ තේජස පිළිබිඹු කිරීමේ වරප්‍රසාදය භුක්ති විඳිති.—යොහන් 10:16.

7. දෙවිගේ මහිමය පිළිබිඹු කිරීමට මිනිසුන්ට හැක්කේ කෙසේද?

7 කිසිම මිනිසෙකු දෙවිගේ මුහුණ දැක ජීවත් නොවේ නම්ඔහුගේ මහිමය පිළිබිඹු කිරීමට පව්කාර මිනිසුන්ට හැක්කේ කෙසේද? (නික්මයාම 33:20) යෙහෝවා මහිමාන්විත පෞද්ගලිකත්වයකින් යුත් තැනැත්තෙකු බව අප වටහාගත යුතුයි. එපමණක්ද නොව තමන්ගේ රාජ්‍යය යොදාගනිමින් තම පරමාධිපත්‍යයේ යුක්තිසහගතභාවය තහවුරු කිරීම හා බැඳි තේජාන්විත අරමුණක්ද ඔහුට තිබේ. රාජ්‍යය හා බැඳි සත්‍යයන් “දෙවිගේ මහිමාන්විත [දේවලට]” අයත් වේ. මේ දේවල් ප්‍රකාශ කරනු ලැබීමට පටන්ගත්තේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දිනයේදී ශුද්ධාත්මය ලැබූ අය විසිනි. (ක්‍රියා 2:11, NW) ඔවුන්ට විශ්වාසයෙන් යුතුව භාර දී තිබූ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට එම ආත්මයේ උපකාරය ඇතුව ඔවුන්ට හැකි විය.—ක්‍රියා 1:8.

8. දේවසේවය සම්බන්ධයෙන් පාවුල් අදිටන් කරගෙන සිටියේ කුමක් කරන්නද?

8 පාවුල් තම දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කිරීම වැළැක්වීමට කිසිම දෙයකට ඉඩ දුන්නේ නැත. මේ ගැන ඔහු ලීවේ මෙසේය. “අපට දක්වනු ලැබූ දයාව නිසා අපට මේ සේවය ලැබී ඇත. එහෙයින් අපි උත්සාහය අත් නොහරින්නෙමු. නමුත් ලජ්ජා විය යුතු හොර රහසේ කරන දේවල් අපි හෙළාදැක්කෙමු. අපි කපටිකමින් නොහැසිරෙන අතර, දෙවිගේ වචනය බාල නොකරන්නෙමු. නමුත් සත්‍යය ප්‍රකාශ කිරීමෙන් දෙවි ඉදිරියේ සෑම මිනිසෙකුගේම හෘදය සාක්ෂියට අපි හොඳ ආදර්ශයක් වී සිටින්නෙමු.” (2 කොරින්ති 4:1, 2, NW) සත්‍යය ප්‍රකාශයට පත් කරනු ලබන්නේද ආත්මික ආලෝකය දසත විදහනු ලබන්නේද “මේ සේවය” යනුවෙන් පාවුල් හැඳින්වූ දෙය මගිනි.

9, 10. යෙහෝවාගේ තේජස පරාවර්තනය කළ හැක්කේ කෙසේද?

9 භෞතික හා ආත්මික ආලෝකයේ උල්පත ගැන පාවුල් මෙසේ ලියයි. “‘අන්ධකාරයෙන් ආලෝකය බැබළේවා’ යයි කී දෙවිම ක්‍රිස්තුස්ගේ මුහුණ මාර්ගයෙන් දෙවි ගැන වූ තේජාන්විත දැනුමෙන් අපේ සිත් ආලෝකවත් කරන පිණිස එය අපේ සිත් තුළ බැබළෙව්වේය.” (2 කොරින්ති 4:6, NW; උත්පත්ති 1:2-5) දෙවිගේ සේවකයන් වීමේ අසමසම වරප්‍රසාදය අපට දී තිබෙන නිසා අපි කැඩපත් මෙන් යෙහෝවාගේ තේජස පිළිබිඹු කිරීමට හැකි වන පරිදි අපවම පවිත්‍රව තබාගනිමු.

10 ආත්මික අන්ධකාරයේ සිටින අයට යෙහෝවාගේ තේජස හෝ උතුම් මෝසෙස් වන යේසුස් ක්‍රිස්තුස් තුළින් පරාවර්තනය වන එම තේජස දැකිය නොහැකියි. එනමුත් යෙහෝවාගේ සේවකයන් වශයෙන් අපි ශුද්ධ ලියවිලි මාර්ගයෙන් එම තේජවත් ආලෝකය ලබාගෙන, අන් අයට දැකගැනීමට හැකි වන ලෙස එය පරාවර්තනය කරන්නෙමු. වර්තමානයේ ආත්මික අන්ධකාරයේ සිටින අය විනාශයෙන් ගැලවීමට නම් ඔවුන්ට දෙවිගෙන් ලැබෙන ආලෝකය අවශ්‍යයි. එසේනම් මහත් ප්‍රීතියෙන් හා උද්‍යෝගයෙන් දෙවිව මහිමයට පත් කිරීම සඳහා අන්ධකාරයෙන් ආලෝකය බැබළේවා කියා දෙවි දුන් අණට අපි කීකරු වෙමු.

නිවාස බයිබල් පාඩම්වලදී ඔබේ ආලෝකය බබළවන්න

11. අපේ ආලෝකය බැබළවීම ගැන යේසුස් පැවසුවේ කුමක්ද? අපේ දේවසේවයේදී මෙය කළ හැකි එක් ආකාරයක් නම් කරන්න.

11 යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙසේ පැවසුවේය. “ඔබ ලෝකයේ ආලෝකයය. කන්දක් මුදුනෙහි නුවරක් පිහිටා ඇති විට එය සැඟවිය නොහැක. මිනිසුන් පහනක් දල්වා පහන් රුක මත තබනවා මිස, බඳුනකින් වසා තබන්නේ නැත. එවිට එය ගෙයි සිටින සියල්ලන්ටම ආලෝකය විහිදුවයි. එලෙසම, ඔබේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි බබළවන්න. එවිට ඔවුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ව මහිමයට පත් කරනවා ඇත.” (මතෙව් 5:14-16, NW) දෙවිව මහිමයට පත් කිරීමට අපේ යහපත් හැසිරීම අන් අයට හේතුවක් විය හැකියි. (1 පේතෘස් 2:12) එමෙන්ම අපේ ආලෝකය බැබළවීමට අපේ එවැන්ජලිස්ත සේවයෙහි විවිධ අංග මගින්ද බොහෝ අවස්ථා අපට උදා වෙයි. අපේ එක් පරමාර්ථයක් වන්නේ ඵලදායක ලෙස නිවාස බයිබල් පාඩම් පැවැත්වීමෙන් දේවවචනයෙන් නිකුත් වන ආත්මික ආලෝකය පරාවර්තනය කිරීමයි. මෙය අපේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කළ හැකි ඉතා වැදගත් ක්‍රමයකි. සත්‍යය සොයන්නන් තුළ පෙලඹීමක් ඇති වන අයුරින් නිවාස බයිබල් පාඩම් පැවැත්වීමට අපට උපකාරවත් විය හැකි යෝජනා මොනවාද?

12. යාච්ඤාව නිවාස බයිබල් පාඩම් පැවැත්වීමේ කාර්යයට සම්බන්ධ වන්නේ කෙසේද?

12 බයිබල් පාඩම් පැවැත්වීම සම්බන්ධයෙන් අප යෙහෝවාට යාච්ඤා කිරීමෙන් පෙනී යන්නේ ඒ සඳහා අපට තිබෙන ඉමහත් ආශාවයි. දෙවි ගැන දැනුම ලබාගැනීමට අන් අයට උපකාර කිරීමේ වැදගත්කම අප තේරුම්ගෙන සිටින බවද ඉන් පෙනී යයි. (එසකියෙල් 33:7-9) යෙහෝවා අපේ යාච්ඤාවලට උත්තර දෙන බවත් දේවසේවයේදී අප දරන අවංක වෑයම්වලට ආශීර්වාද කරන බවත් නිසැකයි. (1 යොහන් 5:14, 15) එනමුත් අප යාච්ඤා කරන්නේ නිවාස බයිබල් පාඩමක් පැවැත්වීමට කැමති කෙනෙකුව සොයාගැනීමට පමණක් නොවේ. අප බයිබල් පාඩමක් පටන්ගැනීමෙන් පසුවද බයිබල් ශිෂ්‍යයාගේ විශේෂ අවශ්‍යතා සම්බන්ධයෙන් කරන යාච්ඤා හා ඒවා ගැන ගැඹුරින් සිතා බැලීම, සෑම වතාවකදීම පාඩම ඵලදායක ලෙස පැවැත්වීමට උපකාරවත් වේ.—රෝම 12:12.

13. ඵලදායක ලෙස නිවාස බයිබල් පාඩම් පැවැත්වීමට අපට උපකාරවත් විය හැකි දේවල් මොනවාද?

13 ඵලදායක අයුරින් නිවාස බයිබල් පාඩම් පැවැත්වීමට නම් පාඩම පවත්වන සෑම වතාවකදීම අප හොඳින් සූදානම් වී සිටිය යුතුයි. මේ සඳහා ප්‍රමාණවත් සුදුසුකම් මට නැතැයි කියා අපට හැඟෙනවා නම් සභා පොත් පාඩම් අවේක්ෂක සෑම සතියකම පොත් පාඩම පවත්වන ආකාරය නිරීක්ෂණය කිරීම උපකාරවත් විය හැකියි. එමෙන්ම නිවාස බයිබල් පාඩම් පැවැත්වීමේදී හොඳ ප්‍රතිඵල අත් කරගෙන තිබෙන රාජ්‍ය ප්‍රකාශකයන්ව ඇතැම් අවස්ථාවලදී පාඩමට රැගෙන යා හැකියි. යේසුස් ක්‍රිස්තුස්ට තිබූ ආකල්පය හා ඔහු යොදාගත් ඉගැන්වීම් ක්‍රම සලකා බැලීම ඉමහත් සේ උපකාරවත් වන බව අමුතුවෙන් කිව යුතු නැත.

14. බයිබල් ශිෂ්‍යයෙකුගේ හදවතට කතා කිරීමට අපට හැක්කේ කෙසේද?

14 යේසුස් ඔහුගේ ස්වර්ගික පියාගේ කැමැත්ත කිරීමෙන් හා දෙවි ගැන අන් අයට කතා කිරීමෙන් මහත් ප්‍රීතියක් ලැබුවේය. (ගීතාවලිය 40:8) ඔහු මෘදු කෙනෙකු වූ අතර ඔහුට සවන් දුන් අයගේ හදවතට කතා කිරීමේදී සාර්ථක වූයේය. (මතෙව් 11:28-30) එමනිසා අපිත් අපේ බයිබල් ශිෂ්‍යයන්ගේ හදවතට කතා කිරීමට මහත් වෑයමක් දරමු. මෙසේ කිරීමට නම් අප ශිෂ්‍යයාගේ විශේෂිත අවශ්‍යතාවන් මනසෙහි තබාගනිමින් සෑම පාඩමකටම සූදානම් වීම අවශ්‍යයි. නිදසුනක් වශයෙන් ඔහු අයත්ව සිටින සංස්කෘතිය තුළ සිටින අය බයිබලය පිළිගන්නේ නැත්නම්, බයිබලය සත්‍යය බව ඔහුට ඒත්තුගැන්වීමට අපට සිදු විය හැකියි. එවන් අවස්ථාවකදී අපට ශුද්ධ ලියවිලි පාඨ රාශියක් කියවා පැහැදිලි කර දීමට සිදු වනු ඇත.

උපමා තේරුම්ගැනීමට ශිෂ්‍යයන්ට උපකාර කරන්න

15, 16. (අ) බයිබලයේ සඳහන් උපමාවක් තේරුම්ගැනීමට නොහැකි ශිෂ්‍යයෙකුට උපකාර කිරීමට අපට හැක්කේ කෙසේද? (ආ) යම් බයිබල් ශිෂ්‍යයෙකුට තේරුම්ගැනීමට අමාරු උපමාවක් අපේ ප්‍රකාශනයක භාවිත කර තිබේ නම්, අපට කුමක් කළ හැකිද?

15 ශුද්ධ ලියවිලිවල සඳහන් උපමාවක් බයිබල් ශිෂ්‍යයෙකුට නුහුරු විය හැකියි. නිදසුනක් වශයෙන් පහනක් පහන් රුකක් මත තැබීම ගැන යේසුස් කතා කළ අවස්ථාවේදී ඔහු ඉන් අදහස් කළ දෙය බයිබල් ශිෂ්‍යයා තේරුම් නොගන්නවා විය හැකියි. (මාර්ක් 4:21, 22) මෙහිදී යේසුස් කතා කරමින් සිටියේ දැල්වෙන තිරයක් සහිත පැරණි පහනක් ගැනයි. මෙවැනි පහනක් තැබුවේ විශේෂ ආධාරකයක් නොහොත් රුකක් මතයි. මෙවැනි තැනක තැබූ විට ඉන් නිවසේ යම් ප්‍රදේශයකට ආලෝකය ලැබිණ. යේසුස්ගේ උපමාව වඩාත් පැහැදිලි කරගැනීම සඳහා “පහන” (“Lamp”) සහ “පහන්රුක” (“Lampstand”) ගැන ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (it, සිංහලෙන් නැත) වැනි ප්‍රකාශන ඇසුරෙන් පර්යේෂණ කිරීම අවශ්‍ය විය හැකියි. * බයිබල් ශිෂ්‍යයාට තේරුම්ගැනීමට පහසු මෙන්ම ඔහු බෙහෙවින් අගය කරන්නාවූ පැහැදිලි කිරීමක් සඳහා තොරතුරු සූදානම් කරගෙන බයිබල් පාඩමකට යෑමෙන් ලැබිය හැකි යහපත් ප්‍රතිඵල මොන තරම්ද!

16 යම් ශිෂ්‍යයෙකුට තේරුම්ගැනීමට අමාරු උපමාවක් බයිබල් පාඩම් පොතක තිබිය හැකියි. එය පැහැදිලි කර දීමට කාලය ගන්න. එසේත් නැත්නම් එම කරුණම පැහැදිලි කරන වෙනත් උපමාවක් යොදාගන්න. විවාහ ජීවිතයේදී හොඳ සහකාරියක් සිටීමේ හා දෙදෙනා එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරන උපමාවක් ප්‍රකාශනයක තිබිය හැකිය. මෙය උපමාවක් මගින් පැහැදිලි කිරීම සඳහා සර්කස් සංදර්ශනයකදී ඔන්චිල්ලාවක පැද්දෙමින් එය අතහැර කරණමක් ගසා, තමාව අල්ලාගැනීම සඳහා වෙනත් කෙනෙකු මත රඳා සිටින සර්කස්කරුවෙකු ගැන සඳහන් කර තිබිය හැකියි. හොඳ සහකාරියක් සිටීමේ හා දෙදෙනා එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කිරීමට වෙනත් උපමාවක්ද යොදාගැනීමට පුළුවනි. බෝට්ටුවක තිබෙන බඩු බෑමේදී සේවකයන් එක පෙළට සිටගනිමින් සහයෝගයෙන් අතින් අතට පෙට්ටි යැවීම ඒ සඳහා නිදසුනක් ලෙස යොදාගත හැකියි.

17. උපමා සම්බන්ධයෙන් අපට යේසුස්ගෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද?

17 වෙනත් උපමාවක් යොදාගන්නේ නම් කලින් එය සූදානම් කිරීම අවශ්‍යයි. එහෙත් මෙසේ කිරීම බයිබල් ශිෂ්‍යයෙකු කෙරෙහි අප පෞද්ගලිකව දක්වන සැලකිල්ල පෙන්විය හැකි එක් මාර්ගයකි. යේසුස් අමාරු කාරණා පැහැදිලි කර දීමට සරල උපමා භාවිත කළේය. මේ පිළිබඳව නිදසුන් ඔහුගේ කන්ද උඩ දේශනාවෙන් සොයාගත හැකි අතර, ඔහු ඉගැන්වූ දේවල් ඔහුට සවන් දුන් අය කෙරෙහි හොඳ බලපෑමක් ඇති කළ බව බයිබලයේ සඳහන් වේ. (මතෙව් 5:1–7:29) යේසුස් අනිත් අය කෙරෙහි ඉමහත් සැලකිල්ලක් දැක්වූ නිසා දේවල් පැහැදිලි කළේ ඉවසිලිවන්තවයි.—මතෙව් 16:5-12.

18. අපේ ප්‍රකාශනවල සඳහන් ශුද්ධ ලියවිලි පාඨ සම්බන්ධයෙන් කුමක් කිරීමටද දිරිමත් කරන්නේ?

18 ‘ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන තර්කානුකූලව පහදා දීමට’ අන් අය කෙරෙහි අප දක්වන සැලකිල්ල අප තුළ පෙලඹීමක් ඇති කරවයි. (ක්‍රියා 17:2, 3, NW) මේ සඳහා “විශ්වාසවන්ත සේවකයා” මාර්ගයෙන් අපට ලැබෙන ප්‍රකාශන යාච්ඤාපූර්වකව අධ්‍යයනය කිරීම හා නැණවත් ලෙස භාවිත කිරීම අවශ්‍යයි. (ලූක් 12:42-44, NW) නිදසුනක් වශයෙන් සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතේ ශුද්ධ ලියවිලි පාඨ රාශියක් උපුටා දක්වා ඇත. * පොතෙහි ඉඩ සීමා සහිත වීම නිසා ඇතැම් පාඨ පමණක් සඳහන් කර තිබේ. බයිබල් පාඩමක් පවත්වන කාලය අතරතුර සඳහන් කර තිබෙන මේ ශුද්ධ ලියවිලි පාඨවලින් අඩුම තරමින් කිහිපයක්වත් කියවා පැහැදිලි කිරීම වැදගත්. මන්ද අපේ ඉගැන්වීම පදනම් වී තිබෙන්නේ දේවවචනය මතයි. එමෙන්ම ඊට ප්‍රබල බලයක්ද තිබේ. (හෙබ්‍රෙව් 4:12) බයිබල් පාඩමක් පවත්වන විට සාකච්ඡා කරන කරුණු බයිබලයට සම්බන්ධ කරන්න. ඡේදවල සඳහන් ශුද්ධ ලියවිලි පාඨ නිතර පෙරළා බලන්න. යම් කරුණක් ගැන හෝ යම් ක්‍රියාමාර්ගයක් ගැන බයිබලයේ පවසන දෙය කුමක්ද කියා තේරුම්ගැනීමට ශිෂ්‍යයාට උපකාර කරන්න. දෙවිට කීකරු වීමෙන් ඔහු ප්‍රයෝජන ලබන්නේ කෙසේද කියා පැහැදිලි කර දීමට වෑයම් කරන්න.—යෙසායා 48:17, 18.

සිතා බැලීමට පොලඹවන ප්‍රශ්න අසන්න

19, 20. (අ) නිවාස බයිබල් පාඩමක් පවත්වද්දී අදහස් විමසන ප්‍රශ්න ඇසිය යුත්තේ මන්ද? (ආ) යම් කාරණයක් තවදුරටත් සාකච්ඡා කිරීම අවශ්‍ය නම් කුමක් කළ හැකිද?

19 ජනයාට තර්කානුකූලව සිතා බැලීමට යේසුස් උපකාර කළේ දක්ෂ ලෙස ප්‍රශ්න ඇසීමෙනි. (මතෙව් 17:24-27) අප බයිබල් ශිෂ්‍යයෙකුව අපහසුතාවට පත් නොකරන ආකාරයෙන් අදහස් විමසන ප්‍රශ්න අසනවා නම් යම් කාරණයක් ගැන ඔහු සිතන දෙය ඔහුගේ පිළිතුරුවලින් අනාවරණය විය හැකියි. මේ වන විටත් ඔහු ශුද්ධ ලියවිලිවලට එකඟ නොවන මත දරන බව අපට පෙනී යෑමට ඉඩ තිබේ. නිදසුනක් වශයෙන් ඔහු ත්‍රිත්වය විශ්වාස කළ හැකියි. දැනුම පොතේ 3වන පරිච්ඡේදයේ පෙන්වා දෙන්නේ “ත්‍රිත්වය” කියන වචනයවත් බයිබලයේ දැකිය නොහැකි බවයි. යෙහෝවා යේසුස්ට වඩා වෙනස් කෙනෙකු බවත් ශුද්ධාත්මය කියන්නේ දෙවිගේ ක්‍රියාකාරික බලය මිස පුද්ගලයෙකු නොවන බවත් පෙන්වා දෙමින් එම පොතෙහි ශුද්ධ ලියවිලි පාඨ උපුටා දක්වා හෝ සඳහන් කර ඇත. මෙම බයිබල් වගන්ති කියවා සාකච්ඡා කිරීම ප්‍රමාණවත් විය හැකියි. එනමුත් ඊටත් වඩා වැඩි දෙයක් අවශ්‍ය නම් කුමක් කිව හැකිද? ඇතැම්විට, ඊළඟ වතාවේදී සුපුරුදු පරිදි පාඩම පැවැත්වීමෙන් පසු, ඔබ ත්‍රිත්වය විශ්වාස කළ යුතුද? නමැති විවරණිකාව වැනි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වෙනත් ප්‍රකාශනයක මේ විෂය ගැන සඳහන් කරුණු යොදාගනිමින් ප්‍රයෝජනවත් සාකච්ඡාවක් කිරීමට ටික වේලාවක් වැය කිරීමට හැක. ඉන්පසු දැනුම පොත පාඩම් කිරීම නැවත පටන්ගත හැකියි.

20 අදහස් විමසන ප්‍රශ්නයකට ශිෂ්‍යයා දෙන පිළිතුර පුදුමයට පත් කරවන හෝ බලාපොරොත්තු කඩ කරවන එකක් කියා සිතමු. මෙය දුම්පානය හෝ වෙනත් සංවේදී කාරණයක් හා සම්බන්ධ නම් පාඩම දිගටම කරගෙන යෑමටත් පසු කාලයකදී එම කාරණය ගැන සාකච්ඡා කිරීමටත් අප කැමති බව පැවසිය හැකියි. ශිෂ්‍යයා දුම්පානය කරමින් සිටින බව දැනගැනීම, ආත්මික ප්‍රගතියක් ලැබීමට ඔහුට උපකාරවත් විය හැකි මුද්‍රිත තොරතුරු සෙවීමට අපට උපකාරයක් වේ. ශිෂ්‍යයාගේ හදවතට කතා කිරීමට අප වෑයම් කරද්දී, ආත්මිකව වර්ධනය වීමට ඔහුට උපකාර කරන්න කියා යෙහෝවාට යාච්ඤා කිරීමට අපට හැකියි.

21. අපේ ඉගැන්වීමේ ක්‍රම බයිබල් ශිෂ්‍යයෙකුගේ විශේෂ අවශ්‍යතාවලට ගැළපෙන ලෙස සකස් කරගන්නේ නම් කුමක් විය හැකිද?

21 හොඳින් සූදානම් වීමෙන් හා යෙහෝවාගේ උපකාරයෙන් බයිබල් ශිෂ්‍යයාගේ විශේෂිත අවශ්‍යතාවලට ගැළපෙන ඉගැන්වීමේ ක්‍රම සකස් කරගැනීමට අපට හැකි වන බව නිසැකයි. කාලය ගෙවී යද්දී දෙවි කෙරෙහි ගැඹුරු ගෞරවයක් ඇති කරගැනීම සඳහා ඔහුට උපකාර කිරීමට අපට හැකියි. යෙහෝවාගේ සංවිධානය කෙරෙහි ගෞරවයක් හා කෘතඥපූර්වක බවක් ශිෂ්‍යයා තුළ සාර්ථකව ගොඩනැඟීමටද අපට හැකි වනු ඇත. ‘ඇත්තෙන්ම දෙවි අප අතරේ සිටින’ බව බයිබල් ශිෂ්‍යයන් පිළිගන්නා විට, ඉන් දැනෙන ප්‍රීතිය මොන තරම්ද! (1 කොරින්ති 14:24, 25, NW) එම නිසා ඵලදායක බයිබල් පාඩම් පවත්වමු. යේසුස්ගේ ගෝලයන් වීමට අන් අයට උපකාර කිරීම සඳහා අපට කළ හැකි සෑම දෙයක්ම කරමු.

ඉමහත් සේ අගය කළ යුතු වස්තුවක්

22, 23. අපේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට අවශ්‍ය වන්නේ කුමක්ද?

22 අපේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට නම් අප යෙහෝවා දෙන ශක්තිය මත රඳා සිටිය යුතුයි. පාවුල් දේවසේවය ගැන සඳහන් කරමින් සෙසු අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට මෙසේ ලීවේය. “සාමාන්‍යය ඉක්මවූ බලය අපගෙන් නොව දෙවිගෙන් ලැබෙන බව පෙනෙන පිණිස අපි මේ වස්තුව මැටි භාජනවල දරමු.”—2 කොරින්ති 4:7, NW.

23 අප අභිෂේක ලත් අය හෝ වේවා ‘වෙනත් බැටළුවන්ට’ අයත් අය හෝ වේවා අප බිඳෙනසුලු මැටි භාජන හා සමානයි. (යොහන් 10:16) කෙසේවෙතත්, අප මත එල්ල කරනු ලබන පීඩන කුමක් වුවත් අපේ පැවරුම් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය අපට ලබා දීමට යෙහෝවාට පුළුවන. (යොහන් 16:13; පිලිප්පි 4:13) එනිසා අපි යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසය තබමු. සේවය නමැති අපේ අනර්ඝ වස්තුව ඉතා අගය කොට සලකමින් අපේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරමු.

[පාදසටහන්වල]

^ 15 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

^ 18 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• වැඩිමහල්ලන්ට ඔවුන්ගේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කිරීම සඳහා කළ හැක්කේ මොනවාද?

• අප පවත්වන නිවාස බයිබල් පාඩම්වල ඵලදායීතාව වැඩි කිරීමට හැක්කේ කෙසේද?

• බයිබල් ශිෂ්‍යයෙකු උපමාවක් තේරුම්ගත්තේ නැත්නම් හෝ ඔහුට යම් කාරණයක් ගැන වැඩි විස්තර අවශ්‍ය නම් ඔබ කරන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි වැඩිමහල්ලෝ සභාවේ උගන්වන අතර සෙසු ඇදහිලිවන්තයන්ව දේවසේවයෙහිද පුහුණු කරති

[18වන පිටුවේ පින්තූරය]

අපේ ආලෝකය බැබළිය හැකි එක් ආකාරයක් වන්නේ ඵලදායක නිවාස බයිබල් පාඩම් පැවැත්වීමයි