Skip to content

පටුනට යන්න

‘කඳුවලට වඩා ඔබ කොපමණ තේජාන්විතද?’

‘කඳුවලට වඩා ඔබ කොපමණ තේජාන්විතද?’

යෙහෝවාගේ මැවිල්ලේ අසිරිය

‘කඳුවලට වඩා ඔබ කොපමණ තේජාන්විතද?’

හිමිදිරියේ ෆූජි කඳු මුදුනින් හිරු නඟිනා ආකාරය නැරඹීම මතකයෙන් කිසිදා නොමැකෙන චමත්කාරජනක අද්දැකීමකි. ගිනි සිළුවක් මෙන් ක්ෂිතිජයෙන් එබිකම් කරන හිරු, සුදු හිම සහ අළු පැහැ ලාවාවලින් තැනුණු පර්වතය දිදුළවයි. කන්දේ සෙවණැල්ල සැතපුම් ගණනක් එහායින් පිහිටි හෙල් හා මිටියාවත් දක්වා විහිදෙන්නේ තවත් දිනක උදාව සනිටුහන් කරමිනුයි.

“අසමසමයි” යන අරුත් ඇති ෆූජි කන්ද වැනි තේජවත් කඳු අප තුළ ඇති කරවන්නේ විස්මයකි. ඒවායේ සද්දන්ත විශාලත්වය ඉදිරියෙහි අප කුහුඹුවන් නොවේද කියා අපට සිතෙයි! කඳුවල තේජවත් බව කොපමණද කිවහොත් මීදුමෙන් සහ වලාකුළුවලින් වැසී තිබෙන ඉතා උස් කඳු මුදුන් දෙවිවරුන්ගේ වාසස්ථාන කියා බොහෝදෙනෙක් විශ්වාස කර තිබේ.

ඇත්තෙන්ම මෙතරම් මනස්කාන්ත කඳුවලින් පැසසුම් ලබන එකම දෙවි වන්නේ ඒවා තැනූ අතිදක්ෂ මැවුම්කරු වන යෙහෝවායි. ‘කඳු සාදන්නාවූ [එකම] දෙවි’ වන්නේ ඔහුයි. (ආමොස් 4:13) පෘථිවි ගෝලයෙන් හතරෙන් එකක පමණ ඇත්තේ කඳුය. දෙවි අපගේ පෘථිවි ග්‍රහයා මවන විට චමත්කාරජනක කඳු සහ කඳු වැටි නිපදවිය හැකි බලයන් ඇති කළේය. (ගීතාවලිය 95:4) උදාහරණයකට පෘථිවි අභ්‍යන්තරයේ හටගත් අසාමාන්‍ය භූ චලන නිසා පෘථිවි පෘෂ්ඨයේ ඇතැම් කොටස් ඉලිප්පීමෙන් හිමාලයා සහ ඇන්ඩීස් කඳු වැටි ඇති වූ බවට විශ්වාසයක් තිබේ.

කඳු ඇති වුණේ කෙසේද කියාත් ඇති වුණේ ඇයිද කියාත් මනුෂ්‍යයන් වන අපට මුළුමනින්ම තේරුම්ගැනීමට නොහැක. ධර්මිෂ්ඨ යෝබ්ගෙන් ඇසූ මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමට අපටද හැකියාවක් නැත. “මා [යෙහෝවා] පොළොව පිහිටෙවු කළ ඔබ කොතැන සිටියෙහිද? . . . ඒකේ අත්තිවාරම් දැමුවේ මොකක් පිටද?”—යෝබ් 38:4-6.

අපගේ ජීවිතවල පැවැත්ම සඳහා කඳු දායක වන බව අප මනාකොට දන්නා කරුණකි. ඒවා හඳුන්වන්නේ ස්වභාවධර්මයේ ජලාගාර ලෙසයි. සියලුම ප්‍රධාන ගංගා පෝෂණය වන්නෙත් පොළොවේ ජනගහනයෙන් අඩකගේ ජල අවශ්‍යතා ඉටු කර දෙන්නෙත් කඳු මගිනුයි. (ගීතාවලිය 104:13) එක් සඟරාවකට (New Scientist) අනුව “ලෝකයේ ප්‍රධාන ආහාර බෝග 20න් 6ක නිජබිම වන්නේ කඳුකරයයි.” දෙවි පොරොන්දු කර තිබෙන නව ලොවේ සමතුලිත පරිසර තත්වයන් යටතේ “පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශස්‍ය වන්නේය.”—ගීතාවලිය 72:16; 2 පේතෘස් 3:13.

බොහෝදෙනෙකුට කඳු කියූ පමණින් මතකයට එන්නේ යුරෝපයේ ඇල්ප්ස් කඳු වැටියයි. මෙම කඳුද මෙහි පෙන්වා තිබෙන චිවේට්ටා කන්දද මැවුම්කරුවෙක් සිටින බවට කදිම සාක්ෂියකි. (ගීතාවලිය 98:8) ඒවා ‘තම ශක්තියෙන් කඳු ස්ථිර කොට පිහිටුවන’ යෙහෝවාට ප්‍රශංසා කරයි.—ගීතාවලිය 65:6. *

අයිස්වලින් වැසුණ කඳු මුදුන් සහ වැටි, හිමෙන් වැසුණ බෑවුම්, ඒවාට අයත් වැව් මිටියාවත් සහ තණ බිම් ආදිය ඇල්ප්ස් කඳු වැටියට ගෙන දෙන අසිරිය විස්මයජනකය. දාවිත් රජ යෙහෝවාව හඳුන්වා දුන්නේ “කඳුවල තෘණ හට ගන්වන්නා” ලෙසයි.—ගීතාවලිය 147:8.

චීනයේ ග්වේලින්හි කඳු වැටිය, ඇල්ප්ස් කඳු වැටිය තරම් මනස්කාන්ත නැති මෙන් පෙනෙන්නට තිබුණත් ඇත්තෙන්ම එයද සුන්දරත්වයෙන් නොඅඩු කඳු වැටියකි. ලී ගංගාව දිගේ පෙළින් පෙළට තිබෙන මෙම හුණු ගල් කඳුවල අලංකාරය නරඹන්නන්ගේ නෙත් සිත් සොරාගන්නට සමත්. මීදුමෙන් වැසී තිබෙන මෙම කඳු වැටි අතරින් පැහැදිලි ජල ධාරාවන් ගලා යන ආකාරය දකින විට කෙනෙකුට ගීතිකාකරුගේ වදන් සිහි විය හැකිය. “ඔහු [යෙහෝවා] මිටියාවත්වලට උල්පත් යවන්නේය. ඒවා කඳු අතරේ ගලායයි.”—ගීතාවලිය 104:10.

ඇත්තෙන්ම කඳු පිළිබඳ අපගේ සිත් ඇදී යෑමට විශේෂ හේතුව ඒවා මිනිසුන්ගේ යහපත හා ප්‍රීතිය සඳහා මැවුම්කරුගේ උදාර සැපයුමක් ලෙසට අප සලකන නිසාවෙනි. ඒවා අතිවිශාල විය හැකි වුවත් යෙහෝවාගේ මහානුභාවසම්පන්නකම සමඟ එය සැසඳිය නොහැක. ඇත්තටම ඔහු ‘කඳු වැටියට වඩා කොපමණ තේජාන්විතද?’—ගීතාවලිය 76:4.

[පාදසටහන]

^ 8 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 2004 දිනදර්ශනයේ මාර්තු/අප්‍රියෙල් මාස බලන්න.

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

පොළොවේ ජනගහනයෙන් සියයට දහයක් සිටින්නේ කඳුකර පළාත්වලයි. එනමුත් එය දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරන අයට ජයගත නොහැකි බාධාවක් නොවෙයි. බොහෝ කඳුකර පළාත්වල සිටින මෙම ක්‍රිස්තියානි දේවසේවකයන් ඉතා කාර්ය බහුලයි. එමෙන්ම “ශුභ ආරංචි ගෙනෙන්නාවූ, සමාදානය ප්‍රකාශ කරන්නාවූ, යහපත ගැන හොඳ ආරංචි ගෙනෙන්නාවූ, ගැලවීම ප්‍රකාශ කරන්නාවූ, . . . තැනැත්තන්ගේ පාද කඳු පිට කොපමණ අලංකාරද!—යෙසායා 52:7.

“උස් කඳු වල් එළුවන්ටය” කියා ගීතිකාකරු ගායනා කළේය. (ගීතාවලිය 104:18) සියලුම කඳුකර වාසීන් අතරින් කඳු එළුවා පය නොලිස්සා ගමන් කිරීමට හපනෙකි. ගම්භීර පෙනුමක් ලබා දෙන අං යුවළක් හිමි නූබියන් අයිබෙක්ස් එළුවා මෙයට එක් උදාහරණයකි. උන් යා නොහැකි ලෙස පෙනෙන ඉතා පටු කඳු ගැට්ටේ පවා යස අගේට ඇවිදියි. ඊට හේතුව යෑමට දුෂ්කර ස්ථානවල පවා ජීවත් වීමේ හැකියාව අයිබෙක්ස් එළුවන් සතුවීමයි. උගේ කුර සෑදී තිබෙන ආකාරය මෙයට එක් හේතුවකි. උන් පටු කඳු ගැට්ටක යන විට හෝ සිටගෙන සිටින විට තදින් අල්ලාගැනීමට හැකි වන ලෙස උගේ ඇඟේ බරට උගේ කුර අතරේ තිබෙන විවරය පළල් වෙයි. ඇත්තෙන්ම අයිබෙක්ස් එළුවන් විශිෂ්ට නිර්මාණයක්!

[9වන පිටුවේ පින්තූරය]

ජපානයේ හොන්ෂුහි ෆූජි කන්ද