Skip to content

පටුනට යන්න

නික්මයාම පොතෙන් විශේෂාංග

නික්මයාම පොතෙන් විශේෂාංග

යෙහෝවාගේ වචනය ජීවමානය

නික්මයාම පොතෙන් විශේෂාංග

එය වනාහි “කෲර ඒකාධිපති පාලනයක් යටතේ වහල්කම්” කළ අයගේ ගැලවීම පිළිබඳ සැබෑ කතන්දරයකි. (නික්මයාම 1:13, NW) එය ජාතියක උපත පිළිබඳ කුතුහලය දනවන කතාවක්ද වෙයි. එහි උනන්දුව දනවන තොරතුරු රැසක්ද අඩංගුය. ඒවා අතර අරුම පුදුම ආශ්චර්යයන්, විශිෂ්ට ගණයේ නීති සම්පාදනය කිරීම මෙන්ම මණ්ඩපය සෑදීම පිළිබඳ විස්තරද වේ. නික්මයාම නමැති බයිබල් පොතේ සමස්ත අදහස එසේ දැක්විය හැකියි.

හෙබ්‍රෙව් අනාගතවක්තෘ මෝසෙස් විසින් ලියන ලද මෙම නික්මයාම පොතේ සඳහන් වන්නේ, ක්‍රි.පූ. 1657දී යෝසෙප්ගේ උපතේ සිට ක්‍රි.පූ. 1512දී මණ්ඩපය සාදා නිම කිරීම දක්වා ගෙවී ගිය වසර 145ක කාල පරිච්ඡේදය තුළ ඊශ්‍රායෙල්වරුන් ලැබූ අද්දැකීම්ය. එහෙත්, මෙය නිකම්ම ඓතිහාසික වටිනාකමකින් යුත් වාර්තාවක් පමණක්ම නොවේ. එය මිනිස් වර්ගයා උදෙසා ලියන ලද දෙවිගේ වචනයේ හෙවත් පණිවුඩයේ කොටසකි. ඒ නිසා, එය “ජීවමානය, බලවත්ය.” (හෙබ්‍රෙව් 4:12, NW) එසේනම්, නික්මයාම පොත අපටද ඉතා අර්ථවත්ය.

‘දෙවිට ඔවුන්ගේ කෙඳිරිගෑම ඇසුණේය’

(නික්මයාම 1:1–4:31)

ඊජිප්තුවේ ජීවත්ව සිටි යාකොබ්ගෙන් පැවතෙන්නන් ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වූ බැවින්, ඔවුන් වහලුන් ලෙස දුක් විඳිමින් වැඩ කළ යුතු බවට රාජ නියෝගයක් නිකුත් කෙරේ. තවද සියලු ඊශ්‍රායෙල් පිරිමි ළදරුවන් මරා දැමිය යුතු බවටද පාරාවෝ නියෝග කරයි. ඉන් බේරුණු මාස තුනක් වයසැති මෝසෙස්ව පාරාවෝගේ දියණිය විසින් හදා වඩා ගනු ලබයි. මෝසෙස්ව රජ මාලිගාවේ හදා වඩා ගනු ලැබුවද, වයස අවුරුදු 40දී ඔහු තම සෙනඟගේ පැත්ත ගෙන ඊජිප්තු වැසියෙකුව මරා දමයි. (ක්‍රියා 7:23, 24) ඉන් අනතුරුව මිදියන් දේශයට පලා යෑමට ඔහුට සිදු වේ. එහිදී ඔහු විවාහ වී එඬේරෙකු ලෙස දිවි ගෙවයි. ආශ්චර්යවත් ලෙස ඇවිළෙන පඳුරක සිට යෙහෝවා මෝසෙස්ට අණ කරන්නේ නැවතත් ඊජිප්තුවට ගොස් ඊශ්‍රායෙල්වරුන්ව වහල්භාවයෙන් ගලවාගෙන එන ලෙසටයි. ඔහුගේ සහෝදරයා වන ආරොන්ව ඔහු වෙනුවෙන් කතා කිරීමට පත් කරනු ලබයි.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර

3:1ජෙත්රෝ මොන වාගේ පූජකයෙක්ද? ආදිපිතෘවරුන්ගේ කාලවලදී, පවුලේ පූජකයා ලෙස ක්‍රියා කළේ පවුලේ හිසයි. ජෙත්රෝ මිදියන්වරුන්ගේ ගෝත්‍රයක ප්‍රධානියා වූ බවක් පෙනෙන්ට තිබේ. මිදියන්වරුන් වනාහි ආබ්‍රහම්ට දාව කෙතුරා බිහි කළ පුත්‍රයෙකුගෙන් පැවතෙන්නන් වූ බැවින් සමහරවිට ඔවුන් යෙහෝවාගේ නමස්කාරය ගැන දැන සිටියා විය හැකියි.—උත්පත්ති 25:1, 2.

4:11යෙහෝවා ‘මනුෂ්‍යයෙකු ගොළුවෙක් හෝ බිහිරෙක් හෝ අන්ධයෙක් හෝ වෙන්ට සලස්වන්නේ’ කුමන අර්ථයෙන්ද? යෙහෝවා ඇතැම් අවස්ථාවලදී අන්ධ වීමට සහ ගොළුවීමට සැලැස්වුවද, එවන් ආබාධ ඇති සියලුදෙනාම සම්බන්ධයෙන් වගකීම ඔහු පිට පැවරිය නොහැක. (උත්පත්ති 19:11; ලූක් 1:20-22, 62-64) එවන් ආබාධවලට හේතුව උරුම කරගත් පාපයයි. (යෝබ් 14:4; රෝම 5:12) කෙසේවෙතත්, මෙම තත්වය පැවතීමට දෙවි ඉඩහැර තිබෙන බැවින්, ඔහු ගොළුවෙක්, බිහිරෙක් සහ අන්ධයෙක් වීමට ‘සලස්වන’ බව කිව හැකියි.

4:16මෝසෙස් ආරොන්ට “දෙවි මෙන්” වූයේ කෙසේද? මෝසෙස් දෙවිගේ නියෝජිතයෙකු විය. මෙබැවින් මෝසෙස් වෙනුවෙන් කතා කළ ආරොන්ට මෝසෙස් දෙවි මෙන්” වූයේය.

අපට ගත හැකි පාඩම්:

1:7, 14. යෙහෝවා සිය ජනයා ඊජිප්තුවේ පීඩා විඳිමින් සිටි කාලයේදී ඔවුන්ට උපකාර කළේය. ඒ හා සමානව ඔහු අද දිනද තම සාක්ෂිකරුවන්ව තදබල පීඩා හමුවේ පවා රැකබලා ගනී.

1:17-21. යෙහෝවා ‘අපව යහපත පිණිස’ සිහි කරයි.—නෙහෙමියා 13:31.

3:7-10. යෙහෝවා සිය ජනයාගේ මොරගැසීම්වලට සංවේදීව සිටී.

3:14. යෙහෝවා කිසිවිටෙක තම අරමුණු ඉටු කිරීමට අසමත් නොවේ. එමනිසා, බයිබලය මත පදනම් වූ අපේ බලාපොරොත්තු ඔහු ළඟදීම ඉටු කරන බවට අපට නිසැක විය හැකිය.

4:10, 13. තමාට කතා කිරීමට තිබූ හැකියාව ගැන මෝසෙස් කොතරම් ආත්ම විශ්වාසයෙන් හීනව සිටියාද කියනවා නම්, දිව්‍ය අනුබලය ලැබෙන බවට සහතික කරනු ලැබුවායින් පසුව පවා, ඔහු දෙවිගෙන් අයැද සිටියේ පාරාවෝට කතා කිරීමට තවත් කෙනෙකුව එවන ලෙසටයි. එහෙත්, යෙහෝවා මෝසෙස්ව යොදාගත් අතර, ඔහුගේ පැවරුම ඉෂ්ට කිරීම පිණිස ඔහුට ප්‍රඥාව සහ ශක්තිය දානය කළේය. මේ අනුව, අපගේ දුර්වලකම් අඩු පාඩුකම් ගැන ළත වෙනවාට වඩා, දේශනා කිරීමට හා ඉගැන්වීමට යෙහෝවා අපට දී තිබෙන පැවරුම විශ්වාසවන්තව ඉටු කිරීමට අපි ඔහු කෙරෙහි රඳා සිටිමු.—මතෙව් 24:14; 28:19, 20.

විස්මය දනවන ආශ්චර්යයන් මගින් ගැලවීම

(නික්මයාම 5:115:21)

මෝසෙස් සහ ආරොන් පාරාවෝ ඉදිරියෙහි පෙනී සිට, යෙහෝවාට පාළුකරයේදී මංගල්‍යයක් පැවැත්වීම සඳහා ඊශ්‍රායෙලිතයන්ට යන්න හරින ලෙස පාරාවෝගෙන් ඉල්ලීමක් කරති. ඊජිප්තු පාලකයා ඉතා අහංකාර ලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. ඊජිප්තුව පිට පීඩා කන්දරාවක් ගෙන ඒමට යෙහෝවා මෝසෙස්ව යොදාගනී. පාරාවෝ ඊශ්‍රායෙලිතයන්ට යෑමට ඉඩහරින්නේ දසවෙනි පීඩාවෙනුත් පසුවය. එහෙත්, වැඩි වේලාවක් යන්න කලින් ඔහු සහ ඔහුගේ හමුදා සේනාවෝ ඔවුන් පසුපස වේගයෙන් හඹා යති. එහෙත්, යෙහෝවා රතු මුහුද මැදින් පාරක් සාදා තමාගේ සෙනඟට ගැලවී යෑමට සලස්වයි. ලුහුබඳිමින් ගිය ඊජිප්තුවරු රතු මුහුදේ ගිලී මිය යති.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර

6:3ආබ්‍රහම්ට, ඊසාක්ට හා යාකොබ්ට දෙවිගේ නම දැනුම් දී නොතිබුණේ කිනම් ආකාරයෙන්ද? මෙම ආදිපිතෘවරු දෙවිගේ නාමය භාවිත කළ අතර, යෙහෝවාගෙන් පොරොන්දු ලැබූහ. එහෙත්, යෙහෝවා විසින් මෙම පොරොන්දු ඉෂ්ට වීමට සැලැස්වීම ඔවුන් දැනගත්තේවත් අද්දැක්කේවත් නැත.—උත්පත්ති 12:1, 2; 15:7, 13-16; 26:24; 28:10-15.

7:1මෝසෙස් ‘පාරාවෝට දෙවි කෙනෙකු කොට තබනු’ ලැබුවේ කෙසේද? දෙවිගේ බලය ලැබුණු මෝසෙස්ට පාරාවෝ කෙරෙහි බලය පෑමට හැකි විය. මෙබැවින්, එම රජුට භයවීමට කිසිදු අවශ්‍යතාවක් තිබුණේ නැත.

7:22ඊජිප්තු පූජකයන්, රුධිරය බවට පත් වී නොතිබූ ජලය ලබාගත්තේ කොහෙන්ද? පීඩාව පැමිණීමට පෙරාතුව නයිල් ගඟෙන් ලබාගත් ජලය යම් ප්‍රමාණයක් ඔවුන් පාවිච්චි කළා විය හැකියි. තවද නයිල් ගං ඉවුරේ හාරාගත් ළිං මගින්ද පානීය ජලය එකතු කරගත්තා විය හැකියි.—නික්මයාම 7:24.

8:26, 27ඊශ්‍රායෙල්වරුන් ඔප්පු කරන පූජා ‘ඊජිප්තුවරුන්ට පිළිකුලක්’ වනු ඇතැයි මෝසෙස් පැවසුවේ මන්ද? ඊජිප්තුවේ විවිධ සත්වයන්ට දේවත්වයෙන් සලකනු ලැබිණි. එමනිසා පූජා ඔප්පු කිරීම පිළිබඳව සඳහන් කිරීම, යෙහෝවාට පූජා ඔප්පු කරන පිණිස ඊශ්‍රායෙලිතයන්ට යන්ට හරින මෙන් කළ ඉල්ලීම සාධාරණ එකක් කියා තහවුරු කිරීමට ඉවහල් විය.

12:29කුලුඳුලා ලෙසට සලකනු ලැබුවේ කවුරුන්වද? කුලුඳුලන්ට ඇතුළත් වූයේ පිරිමි දරුවන් පමණි. (ගණන් කථාව 3:40-51) කුලුඳුලෙකුව සිටි පාරාවෝව මරනු ලැබුවේ නැත. ඔහුටද පවුලක් තිබිණි. දසවෙනි පීඩාවේ ප්‍රතිඵලයක් ලෙස, පවුලේ මූලිකයා වූ ඔහු නොව ඔහුගේ පවුලේ කුලුඳුල් දරුවා මිය ගියේය.

12:40ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තු දේශයේ කොපමණ කාලයක් වාසය කළාද? මෙහි සඳහන් වන වසර 430ට ඊශ්‍රායෙල් පුත්‍රයන් “ඊජිප්තු දේශයේ සහ කානාන් දේශයේ” ගත කළ කාලය ඇතුළත් වේ. (නව ලෝක පරිවර්තනයේ රෙෆරන්ස් බයිබලයේ පාද සටහන බලන්න.) වයස අවුරුදු 75ක් වූ ආබ්‍රහම් කානාන් දේශයට යන විට, යුප්‍රටීස් ගඟෙන් එගොඩ වූයේ ක්‍රි.පූ. 1943දීය. (උත්පත්ති 12:4) එතැන් පටන්, 130 හැවිරිදි යාකොබ් ඊජිප්තුවට ඇතුල් වීම දක්වා කාලය අවුරුදු 215ක් විණි. (උත්පත්ති 21:5; 25:26; 47:9) මින් අදහස් කරන්නේ ඉන්පසුව ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ ගත කළාවූ මුළු කාලය වසර 215ක් බවයි.

15:8රතු මුහුදේ ජලස්කන්ධයෝ “මිදුණෝය” යනුවෙන් අදහස් කරන්නේ ඇත්තෙන්ම මිදුණු ජලයද? මෙහිදී ජලස්කන්ධයෝ “මිදුණෝය” ලෙසට පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනයෙන් අදහස් කරන්නේ හැකිළීම හෝ ඝන තත්වයකට පත්වීමයි. යෝබ් 10:10හි මෙම යෙදුම කිරි මිදීම හා සම්බන්ධව භාවිත කර ඇත. මෙබැවින්, ජලය මිදුණේය කීමෙන් අදහස් කරන්නේ අනිවාර්යයෙන්ම එය අයිස් බවට පත්වීම නොවේ. නික්මයාම 14:21හි සඳහන් වන “බලවත් වූ නැඟෙනහිර සුළඟ” ජලය මිදීමට තරම් සීතල වූවා නම්, අධික සීතලක් ඇති වූ බව වාර්තාවේ සඳහන් වනවාට කිසිම සැකයක් නැත. ජලය එක තැන රඳවා තිබූ යමක් පෙනෙන්නට නොතිබූ හෙයින්, එය මිදුණු හෝ ඝන වූ යමක් ලෙස පෙනෙන්නට ඇත.

අපට ගත හැකි පාඩම්:

7:14–12:30. මෙහි සඳහන් පීඩා දසය අහම්බෙන් සිදු වූ සිද්ධීන් නොවීය. ඒවා කලින්ම පුරෝකථනය කරනු ලැබූ අතර, කියූ ලෙසම හරියටම ඉෂ්ට වූයේය. ජලය, හිරු එළිය, කෘමීන්, සතුන් සහ මිනිසුන්ව පාලනය කිරීමට මැවුම්කරු සතු හැකියාව සම්බන්ධයෙන් ඒවා මොන තරම් චමත්කාරජනක චිත්‍රයක් මවයිද! තවද, තමන්ට නමස්කාර කරන්නන්ව ආරක්ෂා කරන ගමන්ම, තම සතුරන් මතට විපත් ගෙන ඒමේදී දෙවි තෝරා බේරාගෙන කටයුතු කරන බවද පීඩාවලින් පෙන්වා දෙයි.

11:2; 12:36. යෙහෝවා සිය ජනයාට ආශීර්වාද කරයි. පෙනෙන හැටියට, ඊජිප්තුවේ කළ වහල් වැඩවලට ඊශ්‍රායෙලිතයන්ට වන්දියක් ලැබීමට යෙහෝවා සැලැස්වීය. මක්නිසාද යත් ඔවුන් ඊජිප්තුවට ඇතුල් වුණේ නිදහස් ජනතාවක් හැටියට මිස වහලුන් මෙන් වැඩ ගත හැකි යුධ සිරකරුවන් ලෙස නොවේ.

14:30 යෙහෝවා තමන්ට නමස්කාර කරන අයව පැමිණෙන ‘මහත් පීඩාවේදී’ ගලවනු ඇති බවට අපට සහතික විය හැකියි.—මතෙව් 24:20-22; එළිදරව් 7:9, 14.

යෙහෝවා දිව්‍යාණ්ඩුමය ජාතියක් සංවිධානය කරයි

(නික්මයාම 15:22–40:38)

ඊජිප්තුවෙන් ගැලවී ඇවිත් මාස තුනක් ගත වූ පසු, ඊශ්‍රායෙල්වරු සීනයි කන්ද පාමුල කඳවුරු ගසා ගනිති. එහිදී ඔවුහු දස පනත සහ වෙනත් නීති ලැබුණු අතර යෙහෝවා සමඟ ගිවිසුමකට ඇතුල් වෙමින් දිව්‍යාණ්ඩුමය ජාතියක් බවට පත් වෙති. මෝසෙස් දින 40ක් කන්දේ ගත කරන අතර, සැබෑ නමස්කාරය සහ තැනින් තැන ගෙන යා හැකි දේවමාලිගාවක් ලෙසයෙහෝවාගේ මණ්ඩපය ඉදි කිරීම පිළිබඳව උපදෙස් ලබාගනී. මේ අතර, ඊශ්‍රායෙල්වරු නමස්කාරය සඳහා රන් වස්සෙකුව සාදති. කන්දේ සිට බැස ආ මෝසෙස් මෙය දැක ඉතා කෝප වී දෙවි විසින් තමාට දෙන ලද ගල්ලෑලි දෙක පොළොවේ ගසයි. වැරදිකරුවන්ට නිසි දඬුවම් ලැබීමෙන් පසු, නැවතත් කන්දට නඟින ඔහුට තවත් ගල්ලෑලි දෙකක් ලැබේ. මෝසෙස් යළි පැමිණීමත් සමඟම, මණ්ඩපයේ ඉදි කිරීම ආරම්භ වේ. ඊශ්‍රායෙල් ජනයා නිදහස් වී ආ පළමු වසර අවසානයේදී, මෙම ආශ්චර්යවත් කඳවුර සහ එහි සියලු අංගෝපාංගයන් නිමවා නිසි තැන තැබූ විට, යෙහෝවා සිය තේජසින් එය පුරවයි.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර

20:5යෙහෝවා ‘පියවරුන්ගේ අධර්මිෂ්ඨකම්’ නිසා මතු පරම්පරාවන්ට ප්‍රතිඵල දෙන්නේ කෙසේද? යමෙක් වැඩිහිටිභාවයට පත් වන විට, ඒ එක් එක් පුද්ගලයාව විනිශ්චය කරනු ලබන්නේ ඔහුගේම හැසිරීම හා ආකල්පය මතය. එහෙත්, ඊශ්‍රායෙල් ජාතිය රූප වන්දනාවට වැටුණු විට, ඊට පසු පරම්පරා ගණනාවක් තිස්සේ එහි දරුණු විපාක වින්දාහ. ඇදහිලිවන්ත ඊශ්‍රායෙලිත ජනයා පවා ඒවායේ බලපෑමට ලක් වූහ. මන්ද ජනයා බොරු නමස්කාරයේ යෙදීම හේතුවෙන් දෙවිට අඛණ්ඩව සේවය කිරීම ඔවුන්ට දුෂ්කර විය.

23:19; 34:26.—පැටවෙකු උගේ මවුගේ කිරෙන් නොපිසින්නැයි දුන් ආඥාවේ ඇති විශේෂත්වය කුමක්ද? පැටවෙකුව (එළු නාම්බෙකුගේ හෝ වෙනත් සතෙකුගේ පැටවෙකුව) උගේ මවුගේ කිරෙන් පිසීම, වර්ෂාව ලැබීමේ අටියෙන් මිථ්‍යා දෘෂ්ටිකයන් විසින් පවත්වන ලද චාරිත්‍රයක් බව වාර්තා වෙයි. ඇරත්, මවුගේ කිර ඇගේ පැටවාට පෝෂණය ලබා දෙන හෙයින්, ඇගේ පැටවුන්ව ඇගේ කිරෙන්ම පිසීම ඉතා කෲර ක්‍රියාවකි. මෙම නීතිය මගින් දෙවිගේ ජනයා දයානුකම්පිත විය යුතු බව පෙන්වා දුණි.

23:20-23මෙහි සඳහන් දූතයා කවරෙක්ද? යෙහෝවාගේ නාමය “ඔහු තුළ ඇත්තේ” කෙසේද? පෙනෙන ලෙස, මෙම දූතයා මිනිසෙකු ලෙසට පැමිණීමට පෙරාතුව සිටින යේසුස්ය. පොරොන්දු දේශයට යන ගමනේදී ඊශ්‍රායෙලිතයන්ට මඟ පෙන්වීමට ඔහුව යොදාගන්නා ලදි. (1 කොරින්ති 10:1-4) යේසුස් සිය පියාණන්ගේ නාමයට පක්ෂව ක්‍රියා කරන ප්‍රධාන තැනැත්තා වන නිසා යෙහෝවාගේ නාමය ‘ඔහු තුළ ඇත්තේය’ කියා පැවසිය හැකියි

32:1-8, 25-35—රන් වස්සෙකුව සෑදීම සම්බන්ධයෙන් ආරොන්ට දඬුවම් නොලැබුණේ මන්ද? ආරොන් රූප වන්දනාවට සම්පූර්ණ සිතකින් එකඟ වූයේ නැත. පසුව, ඔහු සෙසු ලෙවීවරුන් සමඟ එකතු වී දෙවිගේ පැත්ත ගත් අතර මෝසෙස්ට විරුද්ධ වූ අයට එරෙහිව සිටියේය. වරදකරුවන්ව ඝාතනය කරනු ලැබුවායින් පසුව, මෝසෙස් ජනයාට මතක් කර දුන්නේ තමන්ද ඉතා බරපතළ ලෙස පව් කළ බවය. ආරොන්ට අමතරව තවත් අය යෙහෝවාගේ දයාව ලැබූ බව මින් පැහැදිලි වේ.

33:11, 20—දෙවි මෝසෙස් සමඟ ‘මුහුණට මුහුණලා කතා කළේ’ කෙසේද? මෙම ප්‍රකාශයෙන් අඟවන්නේ දෙදෙනෙකු අතර ඇති වන ඉතා සමීප සංවාදයකි. මෝසෙස් දෙවිගේ නියෝජිතයා සමඟ කතා කළ අතර, ඔහු මාර්ගයෙන් යෙහෝවාගෙන් වාචිකව උපදෙස් ලැබීය. එහෙත්, මෝසෙස් යෙහෝවාව දුටුවේ නැත. මන්ද ‘කිසිම මිනිසෙක් දෙවිව දැක ජීවත් නොවන’ නිසාය. ඇත්තෙන්ම, යෙහෝවා මෝසෙස් සමඟ පෞද්ගලිකව කතා කළේ නැත. නීතිය ‘දේවදූතයන් මාර්ගයෙන් මැදිහත්කරුවෙකුගේ අතින් ලැබෙන්ට සලස්වන ලදි’ යයි ගලාති 3:19 [NW] පවසයි.

අපට ගත හැකි පාඩම්:

15:25, 16:12. යෙහෝවා සිය ජනයාව හොඳින් රැකබලා ගනී.

18:21. ක්‍රිස්තියානි සභාවේ වගකීම් දැරීමට තෝරාගනු ලබන අයද සමර්ථ, දේවභයැති, විශ්වාසය තැබිය හැකි සහ පරාර්ථකාමී අය විය යුතුයි.

20:1–23:33. උතුම්ම නීති දායකයා යෙහෝවායි. ඔහුගේ නීතිවලට කීකරු වීම තුළින්, පිළිවෙළකට හා ප්‍රීතියෙන් යුතුව ඔහුට නමස්කාර කිරීමට ඊශ්‍රායෙල්වරුන්ට හැකි විණි. අද දිනත් යෙහෝවාට දිව්‍යාණ්ඩු සංවිධානයක් තිබේ. ඒ සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම අපේ සන්තෝෂයට හා ආරක්ෂාවට තුඩු දෙයි.

අප සඳහා ඇති සැබෑ අරුත

නික්මයාම පොතෙන් අපට යෙහෝවා ගැන හෙළි කරන්නේ කුමක්ද? ඔහු වනාහි ප්‍රේමණීය සැපයුම්කරුවෙකු, අසමසම ගැලවුම්කරුවෙකු, තමාගේ අරමුණු ඉෂ්ට කරන්නෙකු බව එහි විස්තර කරයි. ඔහු වනාහි දිව්‍යාණ්ඩුමය ලෙස දේවල් සංවිධානය කරන්නාවූ එකම දෙවිය.

දිව්‍යාණ්ඩු සේවා පාසැලට සූදානම් වෙමින් ඔබ සතියේ බයිබල් කියවීම කරන විට, නික්මයාම පොතෙන් ඉගෙනගන්නා දේවලින් ඔබ අතිශයින් ක්‍රියාවට පෙලඹෙනවා නොඅනුමානය. “ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර” යන කොටස තුළ දක්වා ඇති දේවල් ගැන ඔබ සලකා බලන විට, යම් ශුද්ධ ලියවිලිමය ඡේද ගැන වඩාත් තියුණු අවබෝධයක් ලබාගන්නවා ඇත. “අපට ගත හැකි පාඩම්” යන කොටස යටතේ ඔබට පෙන්වා ඇත්තේ සතියේ බයිබල් කියවීමෙන් ඔබට ප්‍රයෝජන ගත හැකි ආකාරයයි.

[24, 25වන පිටුවේ පින්තූරය]

ඊශ්‍රායෙලිතයන්ව වහල්භාවයෙන් පිටතට ගෙන ඒමට යෙහෝවා මෝසෙස් නම් වූ මෘදු මිනිසාව යොදාගත්තේය

[25වන පිටුවේ පින්තූරය]

පීඩා දසයෙන් නිරූපණය කළේ ජලය, හිරු එළිය, කෘමීන්, සතුන් සහ මිනිසුන්ව පාලනය කිරීමට මැවුම්කරු සතු හැකියාවයි

[26, 27වන පිටුවේ පින්තූරය]

යෙහෝවා මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ව දිව්‍යාණ්ඩුමය ජාතියක් ලෙසට සංවිධානය කළේය