Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

නික්මයාම 4:24-26හි සඳහන් වාර්තාවේ ඇත්ත සිද්ධිය කුමක්ද? අනතුරේ තිබුණේ කාගේ ජීවිතයද?

මතු සඳහන් සිද්ධිය සිදු වුණේ, මෝසෙස් තම භාර්යාව වන ශිප්පොරා සහ පුතුන් දෙදෙනා වන ගේර්ෂොම් සහ එලියේසර් සමඟ ඊජිප්තුවට යමින් සිටියදීයි. “මාර්ගයෙහි නවාතැනේදී යෙහෝවා ඔහුට සම්බව ඔහු මරන්ට සෑදුවේය. එවිට ශිප්පොරා ගල් පිහියක් රැගෙන ඇගේ පුත්‍රයාගේ චර්මාග්‍රය කපා එයින් ඔහුගේ පාද ස්පර්ශ කොට: සැබවින් ඔබ මට ලෙයේ මනමාලයෙකැයි කීවාය. මෙසේ ඔහු, ඔහු කෙරෙන් අහක්ව ගියේය. චර්මඡේද්‍යය නිසා ඔබ ලෙයේ මනමාලයෙක්යයි ඈ කීවාය.” (නික්මයාම 4:20, 24-26) මෙම ඡේදයෙහි අපැහැදිලිකමක් හා තේරුම්ගැනීමට අපහසු බවක් තිබුණද එම පද තේරුම්ගැනීමට යම් උපකාරයක් බයිබලයේ සපයනවා.

අනතුරේ තිබුණේ කාගේ ජීවිතයද කියා එම වාර්තාවේ පැහැදිලිව සඳහන් කර නැහැ. එසේ වුණත් අනතුරේ තිබුණේ මෝසෙස්ගේ ජීවිතය නොවෙයි කියා සිතීම තර්කානුකූලයි. එසේ සිතීමට හේතුව ඊශ්‍රායෙල්වරුන්ට ඊජිප්තුවෙන් පිටතට යෑම සඳහා මඟ පෙන්වන්න ඒ වන විට මෝසෙස්ට දෙවිගෙන් පැවරුමක් ලැබී තිබීමයි. (නික්මයාම 3:10) ඔහු එම පැවරුම ඉටු කිරීමට යමින් සිටියදී දෙවිගේ දූතයෙක් ඔහුට තර්ජනය කිරීම විය නොහැකි දෙයක්. එබැවින් අනතුරේ තිබුණේ ඔහුගේ පුතුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ ජීවිතය විය හැකියි. මීට කලින් චර්මච්ඡේදනය පිළිබඳව ආබ්‍රහම්ට දුන් ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වුණා. “තමාගේ චර්මාග්‍ර මාංසය ඡේද්‍යය නොකරන ලද අචර්මච්ඡේදිත පිරිමියෙක් ඇද්ද ඒ තැනැත්තා තමාගේ සෙනඟ කෙරෙන් සිඳ දමනු ලබන්නේය. ඔහු මාගේ ගිවිසුම කඩ කළේය.” (උත්පත්ති 17:14) මෝසෙස් තම පුත්‍රයාව චර්මච්ඡේදනය කිරීමට අතපසු කර තිබෙන බවක් දකින්නට තිබෙනවා. යෙහෝවාගේ දූතයෙකුගෙන් පුත්‍රයාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වුණේ ඒ නිසයි.

තත්වය නිරාකරණය කරගැනීමට දැරූ උත්සාහයේදී ශිප්පොරා පුත්‍රයාගේ චර්මාග්‍රය කපා ස්පර්ශ කළේ කාගේ පාදවලද? චර්මච්ඡේදනය නොකරන ලද පුත්‍රයාව මරණයට පත් කිරීමේ බලය තිබූ යෙහෝවාගේ දේවදූතයාගේ පාදවලයි. ගිවිසුමට එකඟව ක්‍රියා කළ බව පෙන්වීමට ශිප්පොරා චර්මාග්‍රය දේවදූතයාගේ පාදවල ස්පර්ශ කරන්න ඇතැයි නිගමනය කිරීම තර්කානුකූලයි.

“ඔබ මට ලෙයේ මනමාලයෙකැයි” යන ශිප්පොරාගේ ප්‍රකාශය අසාමාන්‍ය ප්‍රකාශයක්. මෙම ප්‍රකාශයෙන් ඇය ගැන අඟවන්නේ මොනවාද? චර්මච්ඡේදනය පිළිබඳ ගිවිසුමට අනුකූලව ශිප්පොරා කටයුතු කිරීමෙන් පෙන්වන්නේ ගිවිසුමකින් යෙහෝවා සමඟ බැඳීම යන්නෙහි තේරුම කුමක්දැයි කියා ඇය දැන සිටි බවයි. පසු කාලයේ ඊශ්‍රායෙල් ජාතියට දුන් නීතික ගිවිසුමෙන්, ගිවිසුමකින් බැඳීමේදී යෙහෝවා ස්වාමිපුරුෂයෙකු හැටියටද අනෙක් පාර්ශ්වය භාර්යාව හැටියටද සැලකිය හැකි බව පෙන්නුම් කළා. (යෙරෙමියා 31:32) “ලෙයේ මනමාලයෙක්” ලෙස යෙහෝවාව (ඔහුගේ නියෝජිතයෙක් වූ දේවදූතයෙකු මාර්ගයෙන්) ඇමතීමෙන් එම ගිවිසුමේ නීතිවලට තමාට යටත් වීමට තිබුණු අවශ්‍යතාව ඇය පිළිගත් බවයි පෙනෙන්නේ. එය හරියට යෙහෝවා දෙවි ස්වාමිපුරුෂයෙකුව සිටින චර්මච්ඡේදනය පිළිබඳ ගිවිසුමේ, ඇය භාර්යාවක් බඳු තත්වයක් පිළිගත්තා හා සමානයි. කෙසේ හෝ ඇය වහාම තීරණයක් ගෙන දෙවිගේ නියමයන්ට කීකරු වූ නිසා ඇගේ පුත්‍රයාගේ ජීවිතයට සිදු වෙන්න ගිය අනතුරෙන් ඔහු බේරුණා.