Skip to content

පටුනට යන්න

පීඩා කරන්නෙකුගේ බලය සිඳ දැමූ ඒහුද්

පීඩා කරන්නෙකුගේ බලය සිඳ දැමූ ඒහුද්

පීඩා කරන්නෙකුගේ බලය සිඳ දැමූ ඒහුද්

මෙය ධෛර්යය ගැන හා සූක්ෂ්ම ලෙස දියත් කළ ක්‍රියාවක ප්‍රතිඵලය ගැන කියාපාන සත්‍ය කතාවකි. මෙය සිදු වූයේ මීට වසර 3,000කට පමණ පෙරය. මේ සම්බන්ධයෙන් ලියැවුණු ශුද්ධ වූ ලියවිල්ලේ වදන් ආරම්භ වන්නේ මෙසේයි. “නැවත ඊශ්‍රායෙල් පුත්‍රයෝ යෙහෝවාගේ ඇස් හමුයෙහි නපුරුව තිබුණු දේ කළෝය. . . . යෙහෝවා ඔවුන්ට විරුද්ධව මෝවබ්හි රජ වූ එග්ලොන් බලවත් කළේය. ඔහු අම්මොන් හා අමලෙක් පුත්‍රයන් රැස් කරවාගෙන ගොස් ඊශ්‍රායෙල්ට පහර දුන්නේය. ඔවුහු ඉඳි ගස් නුවරද හිමි කරගත්තෝය. ඊශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ්හි රජ වූ එග්ලොන්ට දසඅට අවුරුද්දක් සේවය කළෝය.”—විනිශ්චයකාරයන් 3:12-14.

මෝවබ්වරුන්ගේ දේශය පිහිටා තිබුණේ යොර්දාන් ගඟට සහ මළ මුහුදට නැඟෙනහිරිනි. නමුත් ඔවුහු ගඟින් එගොඩ වී යෙරිකෝවට හෙවත් “ඉඳි ගස් නුවරට” පැමිණ ඊශ්‍රායෙලිතයන් කෙරෙහි අණසක පතුරුවන්න පටන්ගත්හ. (ද්විතීය කථාව 34:3) මෝවබීය රජ වන එග්ලොන් “ඉතා තර මනුෂ්‍යයෙකු” විය. ඔහු ඊශ්‍රායෙල් ජාතිය කෙරෙහි ඉසිලිය නොහැකි මෙන්ම ඔවුන්ට අවමන් වන විදියට දශක දෙකකට පමණ ආසන්න කාලයක් ඔවුන්ගෙන් බලෙන් කප්පම් ලබාගත්තේය. (විනිශ්චයකාරයන් 3:17) කෙසේවෙතත් මෙම ඒකාධිපතියා බලෙන් ලබාගත් එම කප්පම හේතුවෙන් ඔහුව සම්පූර්ණයෙන් තුරන් කිරීමට මඟ සැලසිණ.

එම වාර්තාවේ තවදුරටත් පවසන්නේ මෙසේයි. “ඊශ්‍රායෙල් පුත්‍රයන් යෙහෝවාට මොරගැසූ කල ඔහු ගැලවුම්කාරයෙකු ඔවුන්ට නැඟුටුවා දුන්නේය. ඔහු වනාහි බෙන්යමින් ගෝත්‍රයට අයිති ගේරාගේ පුත්‍ර වූ වමත හුරු මනුෂ්‍යයෙක් වූ ඒහුද්ය. ඊශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ්හි රජ වූ එග්ලොන්ට ඔහු අත තෑග්ගක් [හෙවත් කප්පමක්] යැවුවෝය.” (විනිශ්චයකාරයන් 3:15) කප්පම ඉදිරිපත් කළ යුතු තැනැත්තා ඒහුද් බව යෙහෝවා කලින්ම නිශ්චය කර තිබුණා විය හැකියි. ඒහුද් ඊට කලින් එම කාර්යයෙහි නිරත වූ බවට සඳහනක් නැත. ඒහුද් රජුව හමුවීම සඳහා ඉතා පරෙස්සමින් කළ සැලසුම් හා උපායන් ගැන සලකා බලද්දී පෙනී යන්නේ ඔහුට එග්ලොන්ගේ රජවාසල හොඳින් හුරු වූ තැනක් වූ බව හා එහිදී ඔහුට මුහුණපෑමට සිදු වෙන දේවල් කෙරෙහි ඔහුට යම් දැනුමක් තිබුණු බවයි. මේ සෑම දේටම වඩා මෙම සැලසුම් සාර්ථක වීමට හේතු වූයේ ඔහු වමත හුරු කෙනෙකු වීමයි.

ආබාධිත කෙනෙක්ද නැත්නම් රණශූරයෙක්ද?

හෙබ්‍රෙව් භාෂාවෙන් “වමත හුරු” යන්නෙහි පදගතාර්ථ තේරුම වන්නේ ‘දකුණු අත භාවිතයෙන් තොර වූ, කොර වූ හෝ බැඳ තබා තිබූ’ යන්නයි. මෙයින් අදහස් කරන්නේ ඒහුද් ආබාධිත හෝ එසේත් නැතිනම් අංගවිකල වූ දකුණු අතක් ඇති කෙනෙක් වූවා කියාද? වමත හුරු වූවන් ගැන බයිබලයේ විනිශ්චයකාරයන්ගේ පොතේ 20:16හි පවසා තිබෙන දේ සලකා බලන්න. බෙන්යමින් ගෝත්‍රයේ “වමත හුරු වූ තෝරාගත් මනුෂ්‍යයෝ සත්සියයක් වූවෝය. ඔවුන් සියල්ලෝම හිසකේ ගහක් පමණවත් නොවරද්දා ගල්පටියකින් ගල් විදින්ට පුළුවන් අයය.” ඔවුන්ව බොහෝවිට තෝරාගන්න ඇත්තේ යුද්ධවලදී ඔවුන් පාන දස්කම් නිසා විය හැකියි. සමහර බයිබල් විශාරදයන්ට අනුව වමත හුරු වූවන් ලෙස හැඳින්වූයේ වමත හා දකුණත යන අත් දෙකෙන්ම එක සේ දස්කම් පාන පුද්ගලයන්වයි.—විනිශ්චයකාරයන් 3:15.

වමත හුරු වූවන් සිටින ගෝත්‍රයක් ලෙස බෙන්යමින් ගෝත්‍රය ප්‍රසිද්ධව තිබිණ. පළමුවන ලේකම් 12:1, 2හි පවසන්නේ බෙන්යමින්වරුන් “යුද්ධයේදී . . . උපකාර වූ බලවන්තයන්ගේ ගණනයට අයිති වූ” බවය. ඔවුන්ව විස්තර කර ඇත්තේ “දකුණතින්ද වමතින්ද ගල් විසි කරන්ටත් දුන්නෙන් ඊගස් විදින්ටත් පුරුදු දුනුවායෝ” ලෙසයි. එක් යොමු දැක්වීමකට අනුව ඔවුන් මෙම හැකියාව ලබාගන්න ඇත්තේ “දරුවන්ට වමත හුරු කිරීම සඳහා ‘දකුණු අත පාවිච්චි කළ නොහැකි පරිදි’ එම අත ගැට ගසා තැබීමෙනි.” ඊශ්‍රායෙලිතයන්ගේ සතුරන් සාමාන්‍යයෙන් පුහුණු වූයේ දකුණත පාවිච්චි කරන සටන්කාමීන්ට මුහුණ දීමටයි. නමුත් සතුරා බලාපොරොත්තු නොවූ විදියට වමත පාවිච්චි කරන සොල්දාදුවෙකුට මුහුණ දීමට ඔහුට සිදු වුවහොත් ඔහුගේ යුධ පුහුණුවෙන් කිසිම වැඩක් වෙන්නේ නැත.

රජුට “රහස් වූ පණිවිඩයක්”

ඒහුද්ගේ පළමු පියවර වූයේ තමාගේ ඇඳුම් යට සඟවාගත හැකි කෙටි දෙමුවහත් ‘කඩුවක් තමාට’ සාදාගැනීමයි. ඔහු එසේ කළේ තමන්ව රජමාලිගාවේදී පරීක්ෂා කරයි කියා සිතූ නිසා විය හැකියි. සාමාන්‍යයෙන් කඩු පැළඳගත්තේ වම්පසෙනුයි. මෙයට හේතු වූයේ දකුණත හුරු කෙනෙකුට හදිසියකදී එක විගසම එය ඇදගැනීමේ පහසුව සඳහායි. නමුත් වමත හුරු ඒහුද්, ආයුධය සඟවා තබාගත්තේ ‘තමාගේ දකුණු කළවේ . . . ඇඳුම් යටයි.’ මේ පැත්ත රජගේ ආරක්ෂකයන් සෝදිසි කිරීමට තිබෙන ඉඩ කඩ අඩුය. මේ නිසා කිසිම බාධාවකින් තොරව ඒහුද් “මෝවබ්හි රජ වූ එග්ලොන්ට ඒ තෑග්ග [හෙවත් කප්පම] ඔප්පු කළේය.”—විනිශ්චයකාරයන් 3:16, 17.

එග්ලොන්ගේ රජවාසලේදී මුලින්ම සිදු වූ දේවල් කිසිවක් ගැන වාර්තා වී නැත. බයිබලයේ පවසන්නේ ‘ඒහුද් කප්පම ඔප්පු කර නිම වූ විට, කප්පම ගෙන ගිය මිනිසුන්ව වහාම පිටත් කර හැරිය’ බවයි. (විනිශ්චයකාරයන් 3:18) ඒහුද් කප්පම ඔප්පු කොට එග්ලොන් රජමාලිගාවෙන් පිටත් වී කප්පම ගෙන ගිය මිනිසුන් සමඟ යම් ආරක්ෂාකාරී ස්ථානයක් වෙතට පැමිණ, ඔවුන්ව පිටත් කර යවා නැවතත් රජු වෙත ගියේය. ඔහු එසේ කළේ ඇයි? ඔහු එම මනුෂ්‍යයන්ව කැඳවාගෙන ගියේ ඔහුගේ ආරක්ෂාව පිණිසද, රජමාලිගාවකදී ඉටු කළ යුතු චාරිත්‍ර ඉටු කිරීම පිණිසද, එසේත් නැතිනම් කප්පම උසුලාගෙන යෑම පිණිස පමණක්ද? ඔහුගේ සැලසුම දියත් කිරීමට පෙර ඔහු සමඟ ගිය මනුෂ්‍යයන්ව ඔහු ආපසු හරවා යැව්වේ ඔවුන්ගේ ආරක්ෂාව පිණිසද? ඔහුගේ සැලසුම කුමක් වුවත් ඒහුද් නිර්භීතව ආපසු ගියේය.

“[ඒහුද්] ගිල්ගාල් ළඟ තිබෙන ගල් කපන තැන සිට හැරී ගොස්: රජ්ජුරුවෙනි, ඔබට කියන්ට රහස් වූ පණිවිඩයක් මට තිබේයයි කීවේය.” ශුද්ධ ලියවිලිවල ඔහු නැවතත් එග්ලොන් රජ ඉදිරියේ පෙනී සිටීමට අවසර ලබාගත්තේ කෙසේද කියා සඳහන් කර නැත. ඔහු ගැන ආරක්ෂක භටයන් සැක නොකළාද? තනි ඊශ්‍රායෙලිතයෙකු නිසා ඔහු තමන්ගේ රජට තර්ජනයක් නොවෙයි කියා සිතුවාද? ඒහුද් තනිවම ආපසු පැමිණි නිසා ඔහු තම ජාතිය පාවා දීමට පැමිණෙනවා කියා සිතුවාද? තත්වය කුමක් වුවත් ඒහුද්ට වුවමනා වී තිබුණේ රජ සමඟ තනිව කතා කිරීමටයි. ඔහුට එම අවස්ථාව උදා විය.—විනිශ්චයකාරයන් 3:19.

මෙම දේවානුභාවය ලත් වාර්තාව තවදුරටත් පවසන්නේ “ඒහුද් ඔහු [එග්ලොන්] ළඟට පැමිණියේය. ඔහු තමාගේ සිසිල් උඩු මහල් තලයෙහි තනියම ඉඳගෙන උන්නේය. ඒහුද් තෙමේ: ඔබට දෙවිගෙන් පණිවිඩයක් දන්වන්ට මට ඇතැයි” කීය. ඒහුද් මෙහිදී දෙවි විසින් දන්වන ලද වාචික පණිවිඩයක් ගැන සඳහන් කරමින් සිටියා නොවෙයි. ඒහුද්ගේ මනසේ තිබුණේ ඔහුගේ කඩුව පාවිච්චි කිරීම ගැනයි. නමුත් එග්ලොන් තමාගේ දෙවි වන කෙමොෂ්ගෙන් පණිවිඩයක්යයි සිතා “හුනස්නෙන් නැඟිට්ටේය.” විදුලි වේගයෙන් ක්‍රියාත්මක වූ ඒහුද් කඩුව එළියට ඇද එග්ලොන්ගේ බඩට ඇන්නේය. පෙනෙන විදියට එම කඩුවේ හරස් මිටක් තිබුණේ නැත. එම නිසා “තලය සමඟ මිටත් ඇතුළට ගියේය. තලය මාංසයෙන් වැසී ගොස්, . . . [අසූචි, NW] එළියට ආයේය.” මෙය බඩ කැපීමෙන් ඇති වූ තුවාලවලින් හෝ ගුද මාර්ගයෙන් පිට වූවා විය හැකියි.—විනිශ්චයකාරයන් 3:20-22.

බාධාවකින් තොරව පලා යෑම

කඩුව නැවතත් ගැනීමට තැත් කිරීමෙන් කාලය අපතේ නොයවා “ඒහුද් සුළං කවුළුවකින් පිට වී ගොස් උඩු මහල් දොරවල් වසා අගුල් දමා ගියේය. ඔහු පිටත්ව ගිය කල රජුගේ මෙහෙකරුවෝ ඇවිත් බැලූහ. තවද ඔවුහු උඩු මහලේ දොරවල් අගුල් දමා තිබෙනවා දැක: ‘සැබවින් රජ සිසිල් උඩු මහල් තලයෙහි මලපහ කරමින් සිටිනවා විය යුතු’ යයි කීවෝය.”—විනිශ්චයකාරයන් 3:23, 24, NW.

ඒහුද් උඩු මහලෙන් පලා යෑම සඳහා යොදාගත් “සුළං කවුළුව” කුමක්ද? “[මේ සඳහා යොදාගෙන ඇති මුල් හෙබ්‍රෙව් වචනයේ] නියම අරුත සොයාගෙන නැත” යයි එක් මූලාශ්‍රයක කියැවේ. නමුත් මෙය “‘උඩු මහල් තලයට සුළං එන්න සාදා තිබූ කවුළුවක්’ හෝ ‘ජනේලයක්’ යයි යෝජනා කර තිබේ.” ඒහුද් දොරවල් ඇතුල් පැත්තෙන් අගුල් දමා වෙනත් ක්‍රමයකට පලා ගියාද? එසේත් නැතිනම් මියැදී සිටි රජුගෙන් ගත් යතුරක් යොදාගෙන ඔහු පිටතින් දොරවල් වැසුවාද? ඉන්පසු ඔහු කිසි දෙයක් සිදු නොවුණු විදියට එහි මුරකරුවන් පසු කරගෙන ගියාද? ශුද්ධ ලියවිලි මේ සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කර නැත. ඒහුද් භාවිත කළ ක්‍රමය කුමක් වුවත්, වසා දමා තිබූ දොරවල් දුටු සැණින්ම එග්ලොන්ගේ සේවකයන් තුළ කිසිම සැකයක් මතු වුණේ නැත. ඔවුහු රජු “මලපහ කරමින් සිටිනවා” යයි සිතූහ.

රජගේ සේවකයන් ප්‍රමාද වන විට ඒහුද් එතැනින් පැනගත්තේය. ඉන්පසු ඔහු තමන්ගේ රටවැසියන් එක් රැස් කර “මා පස්සේ එන්න. මක්නිසාද යෙහෝවා ඔබගේ සතුරන් වන මෝවබ්වරුන් ඔබ අතට පාවා දී තිබේයයි” පැවසුවේය. ඒහුද්ගේ පිරිස යොර්දාන් ගඟෙන් එගොඩ විය හැකි නොගැඹුරු තැන් අල්ලාගත්තෝය. එසේ එතැනින් තම මව්බිමට පලා යෑම සඳහා පැමිණි නායකයෙක් නොමැතිව අතරමං වී සිටි සියලුම මෝවබ්වරුන් එගොඩට යෑම වළක්වන ලදි. ඉන්පසු “[ඊශ්‍රායෙලිතයෝ] ඒ ප්‍රස්තාවේදී මෝවබ්වරුන් දසදහසක් පමණ මැරුවෝය. ඔවුන් සියල්ලෝම ශක්තිමත්ව සියල්ලෝම බලවන්තයෝව සිටියෝය. එක් කෙනෙක්වත් ගැලවුණේ නැත. ඒ දවසේදී මෝවබ්වරු ඊශ්‍රායෙල්වරුන්ට යටත් කරනු ලැබුවෝය. ඉක්බිති අසූ අවුරුද්දක් දේශය නිශ්චලව තිබුණාය.”—විනිශ්චයකාරයන් 3:25-30.

අපට උගත හැකි පාඩම්

ඒහුද්ගේ කාලයේ සිදු වූ දේවලින් අපට ඉගෙනගත හැක්කේ යෙහෝවා නරකයයි සලකන දේවල අප නියැලෙනවා නම් අපටත් භයානක පලවිපාකවලට මුහුණ දීමට සිදු වන බවයි. අනික් අතට පසුතැවිලි වී යෙහෝවා වෙතට හැරෙන්නන්ට ඔහු උපකාර කරයි.

ඒහුද්ට ජයග්‍රහණය අත් වුණේ ඔහු තුළ තිබූ විශේෂ දක්ෂතාවක් නිසා හෝ එසේත් නැතිනම් සතුරාට ඔහු සමඟ ගැටීමට තරම් දක්ෂකමක් නොතිබුණු නිසා නොවෙයි. දිව්‍ය අරමුණේ ඉදිරි ගමන රඳා පවතින්නේ මිනිස් හැකියාවන් මත නොවෙයි. ඒහුද්ගේ සාර්ථකත්වයට මූලික හේතුව වූයේ දෙවිට තම ජනයා මුදවාගැනීමට තිබුණු අපරාජිත කැමැත්තට එකඟව ඒහුද් ක්‍රියා කිරීම නිසා ඔහුට දේවඅනුග්‍රහය ලැබීමයි. මන්ද, ඒහුද්ව නැඟුටුවේ දෙවිය. ‘යෙහෝවා ඔහුගේ ජනයාට විනිශ්චයකාරයන් නැඟිටුවා දුන් කල ඔහු විනිශ්චයකාරයන් සමඟ සිටියේය.’—විනිශ්චයකාරයන් 2:18; 3:15.