Skip to content

පටුනට යන්න

යුරෝපය වෙනස් කළ—වෙස්ට්ෆේලියාහි සාම ගිවිසුම

යුරෝපය වෙනස් කළ—වෙස්ට්ෆේලියාහි සාම ගිවිසුම

යුරෝපය වෙනස් කළ—වෙස්ට්ෆේලියාහි සාම ගිවිසුම

“යුරෝපයේ රාජ්‍ය නායකයන් මෙතරම් පිරිසක් අද මෙන් එකට එකතු වී සිටීම ඇත්තටම බොහෝ කලාතුරකින් සිදු වන්නක්.” වර්ෂ 1998 ඔක්තෝබර් මාසයේදී එවන් ප්‍රකාශයක් කරනු ලැබුවේ ජර්මානු ෆෙඩරල් සමූහාණ්ඩුවේ හිටපු ජනාධිපති වූ රෝමන් හර්සොග්ය. ඔහු එම ප්‍රකාශය කළ අවස්ථාවේදී, ඔහු ඇමතූ සබයේ, රජවරුන් හතරදෙනෙක්ද, රැජිනියන් හතරදෙනෙක්ද, කුමාරවරුන් දෙදෙනෙක්ද, ආදිපාදවරයෙක් හා ජනාධිපතිවරු කිහිපදෙනෙක්ද වූහ. යුරෝපීය කවුන්සලය මගින් සංවිධානය කරනු ලැබූ මෙම අවස්ථාව වත්මන් ජර්මානු රාජ්‍ය ඉතිහාසයේ 50වන සංවත්සරයේ ඉතා වැදගත් අවස්ථාවක් විණි. එම අවස්ථාව වූයේ කුමක්ද?

වෙස්ට්ෆේලියාහි සාම ගිවිසුමේ 350වෙනි සංවත්සර උත්සවය සැමරුවේ 1998 ඔක්තෝබර් මාසයේදීය. සාමාන්‍යයෙන් සාම ගිවිසුම් ඇති කරගන්නා අවස්ථාවන් ඉතිහාසය සුවිශේෂාකාරයකින් වෙනස් කරයි. මේ නයින් ගත් කල වෙස්ට්ෆේලියාහි ගිවිසුම සුවිශේෂී එකක් විණි. වර්ෂ 1648දී කළ මෙම ගිවිසුම හේතුවෙන් වසර තිහක් මුළුල්ලේ පැවති යුද්ධය නිම වූ අතර, ස්වාධීන රාජ්‍යයන්ගෙන් හෙබි මහාද්වීපයක් වන නවීන දින යුරෝපය බිහි විය.

පැරණි සමාජ ක්‍රමයක් දෙදරුම් කයි

මධ්‍යතන යුගයේදී යුරෝපයේ ප්‍රබලතම බලවේග වූයේ රෝමානු කතෝලික සභාව සහ ශුද්ධ වූ රෝම අධිරාජ්‍යයයි. මෙම අධිරාජ්‍යය විවිධ ප්‍රමාණවලින් යුත් ප්‍රාන්ත සිය ගණනාවකින් සමන්විත විය. එම ප්‍රාන්ත වර්තමානයේ ඔස්ට්‍රියාව, චෙක් සමූහාණ්ඩුව, නැඟෙනහිර ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, උතුරු මුහුදට යාබදව පිහිටි නවීන බෙල්ජියම, ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තය සහ ඉතාලියට අයත් ඇතැම් ප්‍රදේශ පුරාම විහිදී තිබිණ. මෙම අධිරාජ්‍යයේ ප්‍රධාන කොටස ජර්මානු ප්‍රාන්ත මගින් සෑදී තිබුණ බැවින්, එය ජර්මානු ජාතියේ ශුද්ධ රෝමානු අධිරාජ්‍යය ලෙසට හැඳින්වීමට පටන්ගැනිණි. මේ සෑම ප්‍රාන්තයක්ම පාලනය කරනු ලැබුවේ ආණ්ඩුකාර කුමාරයෙකු විසිනි. අධිරාජ්‍යයා වූයේ ඔස්ට්‍රියානු හැප්ස්බර්ග් පවුලේ රෝමානු කතෝලිකයෙක්ය. එබැවින්, යුරෝපය පාප්වරයාගේ හා අධිරාජ්‍යයාගේ අණසක යටතේ පැවති බැවින්, එය තුළ රෝමානු කතෝලික හස්තය රජයන්නට විය.

එහෙත්, 16 සහ 17වන සියවස්වලදී එතෙක් පැවති සම්මත සමාජ ක්‍රමය දෙදරා යන්නට විය. මෙහි ප්‍රතිඵලය වූයේ, රෝමානු කතෝලික සභාවේ නොහික්මුණු චර්යා රටාව පිළිබඳව ජනයා අතර නුරුස්සන ස්වභාවයක් යුරෝපය පුරාම පැතිර යෑමයි. ඒ සමඟම, ආගමික ප්‍රතිසංස්කරණයකට දිරි දුන් මාටින් ලූතර් සහ ජෝන් කැල්වින් වැනි අය, යළිත් බයිබලීය සාරධර්මවලට හැරී යා යුතුයයි කියා සිටියහ. ලූතර්ට සහ කැල්වින්ට මේ සඳහා විශාල සහයෝගයක් ලැබුණු අතර, ආගමික ප්‍රතිසංස්කරණය සහ රෙපරමාදු ආගම් බිහි වූයේ මේ ව්‍යාපාරයෙනුයි. මේ අනුව ආගමික ප්‍රතිසංස්කරණය මගින් එම අධිරාජ්‍යය ආගම් තුනකට වෙන් කරනු ලැබිණි. ඒවා නම් කතෝලික, ලූතරන් සහ කැල්වින් ආගම්ය.

කතෝලිකයන් රෙපරමාදුවන් දෙස බැලුවේ අවිශ්වාසයකිනි. එමෙන්ම රෙපරමාදු ලබ්ධිකයෝද කතෝලිකයන්ව පිළිකුල් කළහ. මෙලෙස පැවති වාතාවරණය මගින් 17වන සියවසේ මුල්භාගයේදී රෙපරමාදු සංගමය සහ කතෝලික සංගමය බිහිවීමට පසුබිම සකස් විණි. අධිරාජ්‍යයේ ඇතැම් කුමාරයෝ රෙපරමාදු සංගමය සමඟද අනෙක් අය කතෝලික සංගමය සමඟද හවුල් වූහ. මෙසේ යුරෝපය තුළ, විශේෂයෙන්ම අධිරාජ්‍යයේ වැසියන් තුළ සැකයේ බීජ රෝපණය වෙන්නට පටන්ගත්තේය. මුළු යුරෝපයටම ගිනි ඇවිළිය හැකි එක් ගිනි පුපුරක් සඳහා අවශ්‍ය වූයේ අවිශ්වාසයේ එක් බීජයක් පමණි. ඇත්තටම එවන් ගිනි පුපුරක් ඇවිළිණි. අවසානයේ එය ගින්නක් බවට පත් වූයේ ඊළඟ වසර 30 පුරාම යුරෝපයේ ගැටුමක් ඇතිවීමට සලස්වමිනි.

මාරාන්තික ගිනි පුපුරක් යුරෝපයට ගිනි අවුළවයි

රෙපරමාදු නායකයෝ තමන්ට වැඩි ආගමික නිදහසක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් කතෝලික හබ්ස්බර්ග්වරුන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරූහ. නමුත් ඔවුන්ට එම ආගමික නිදහස ලැබුණේ ඉතා සෙමිනි. තවද 1617-18 දක්වා කාලය තුළ, බොහීමියාවේ (චෙක් ජනරජයේ) පිහිටි ලූතරන් පල්ලි දෙකක් බලෙන්ම වසා දමන ලදි. මේ මගින් කුපිතයට පත් වූ රෙපරමාදු නායකයෝ ප්‍රාග්හි පිහිටි මාලිගාවකට කඩා වැද කතෝලික නිලධාරීන් තුන්දෙනෙකුව අල්ලාගෙන, ඔවුන්ව උඩු මහලක පිහිටි ජනේලයකින් බිමට තල්ලු කළෝය. මේ ක්‍රියාවෙන් සිදු වූයේ යුරෝපයටම ගිනි ඇවිළෙවූ ගිනි පුපුරක් පත්තු වීමයි.

තමන් සාමයේ කුමාරයා වන යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්යයි සිතා සිටියද, මෙම ප්‍රතිවිරුද්ධ ආගම් දෙකේ සාමාජිකයෝ එකිනෙකාට එරෙහිව සටන් කරන්නට වූහ. (යෙසායා 9:6) වයිට් කන්දෙහිදී පැවති සටනේදී කතෝලික සංගමය රෙපරමාදු සංගමය අන්ත පරාජයකට පත් කළෙන් එය කැඩී කොටස්වලට වෙන් විණි. ප්‍රාග්හි වෙළඳපොළේදී රෙපරමාදු නායකයන්ව ප්‍රසිද්ධියේ ඝාතනය කෙරිණි. බොහීමියා රාජ්‍යය පුරාම, තම ආගම අත් නොහරින රෙපරමාදුවන්ගේ දේපොළ රාජසන්තක කෙරුණු අතර, ඒවා කතෝලිකයන් අතර බෙදාගන්නා ලදි. මෙසේ දේපොළ රාජසන්තක කිරීම නිසා “මධ්‍යම යුරෝපයේ දේපොළවල අයිතියෙහි ප්‍රබල වෙනසක් සිදු වූවා” යයි 1648—යුරෝපයේ යුද්ධය හා සාමය (සිංහලෙන් නොමැත) යන පොතේ සඳහන් වේ.

බොහීමියාහි ආගමික ගැටුමක් ලෙස පටන්ගත් දෙය අන්තර්ජාතික බල අරගලයක් දක්වා තීව්‍ර විණි. ඊළඟ වසර 30 පුරාම, ඩෙන්මාර්කය, ප්‍රංශය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය සහ ස්වීඩනයද මේ අරගලයට ඈඳාගැනිණි. බොහෝවිට තණ්හාවෙන් සහ බලයට කෑදරකමින් උමතු වූ කතෝලික හා රෙපරමාදු නායකයෝ දේශපාලන බල තණ්හාව හා වාණිජ වාසි ප්‍රයෝජන තකා එකිනෙකාට එරෙහිව තරඟ කරන්නට වූහ. වසර තිහක් තිස්සේ පැවති එම යුද්ධය අදියර කිහිපයකට වෙන් කර තිබේ. ඒ සෑම අදියරක්ම නම් කරනු ලැබුවේ අධිරාජ්‍යයේ ප්‍රධාන සතුරාගේ නමිනුයි. අදියර හතරක් තිබෙන බව මූලාශ්‍ර ග්‍රන්ථ කිහිපයකම සඳහන් කරයි. බොහීමියානු සහ පලටීන් යුද්ධය, ඩෙන්මාර්ක් පහළ සැක්සනි යුද්ධය, ස්වීඩන යුද්ධය, ප්‍රංශ-ස්වීඩන යුද්ධය යන අදියර හතරයි. මෙම යුද්ධවලින් වැඩි ප්‍රමාණයක් සිදු වූයේ ශුද්ධ අධිරාජ්‍යයට අයත් බල ප්‍රදේශවලය.

ඒ කාලයේ අවි ආයුධ ලෙස භාවිත කෙරුණේ, පිස්තෝල, තුවක්කු, මෝටාර් සහ කාලතුවක්කු වූ අතර, ප්‍රධාන අවි සපයන්නා වූයේ ස්වීඩනයයි. කතෝලිකයෝ සහ රෙපරමාදුවෝ ගැටුම්වල නියැලී සිටියාහ. සොල්දාදුවන් යුද්ධ පිටියට ගියේ, “සන්ටා මරියා” හෝ “දෙවියන්වහන්සේ අප සමඟයි” කියමිනි. හමුදාවන් ජර්මානු ඉඩ කඩම්වලට කඩා වැදී ඒවා පැහැරගත් අතර, තමන්ගේ සතුරන්ට සහ සාමාන්‍ය ජනයාට සැලකුවේ සතුන්ට මෙනි. මේ නයින් යුද්ධය ම්ලේච්ඡත්වය දක්වා පිරිහිණි. “ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් ඔවුන් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත” යන බයිබල් අනාවැකියට වඩා එය කොතරම් වෙනස් වීද!—මීකා 4:3.

ජර්මානු පරම්පරාවක් හැදී වැඩුණේ යුද්ධය මිසක වෙනත් කිසිම දෙයක් දැනගෙන නොවේ. අසරණව සිටි ජනතාව සාමය එන තෙක් දෑස් අයාගෙන බලාගෙන සිටියහ. පාලකයන් එකිනෙකට පටහැනි වූ දේශපාලනික අරමුණු පෙරදැරි කරගෙන කටයුතු නොකළා නම් ජනතාවට සාමය උදා කරගැනීමේ හැකියාව තිබුණු බවක් පැවසිය හැකියි. දේශපාලනික හේතු වැඩි වැඩියෙන් මතු වූ හෙයින් යුද්ධයේ ආගමික ස්වරූපය කෙමෙන් කෙමෙන් වෙනස් වී එය ලෞකික ස්වරූපයක් ගන්නා ලදි. මෙහිදී දක්නට තිබෙන හාස්‍යජනක පැත්ත නම්, මෙම වෙනස ඇති කිරීමට මූලික වශයෙන් දායක වූයේ කතෝලික සභාවේ ඉහළ තනතුරු දරන්නන් වීමය.

කාදිනල් රිෂලූ තම බලය පායි

අර්මෙන්-ජොන් ඩු ප්ලෙසිගේ නිල නාමය වූයේ කාදිනල් ඩ රිෂලූය. ඔහු 1624 සිට 1642 දක්වා කාලය තුළ ප්‍රංශයේ අගමැතිවරයාද වූයේය. රිෂලූ උත්සාහ කළේ ප්‍රංශය යුරෝපයේ ප්‍රධාන බලවේගය බවට පත් කිරීමටයි. එම අරමුණ ඉටු කරගනු වස්, ඔහු සෙසු කතෝලිකයන් වන හබ්ස්බර්ග්වරුන්ගේ බලය හීන කිරීමට උත්සාහ කළේය. ඔහු මෙය කළේ කෙසේද? හබ්ස්බර්ග්වරුන්ට එරෙහිව සටන් කරමින් සිටි ජර්මන් ප්‍රාන්තවල, ඩෙන්මාර්කයේ, නෙදර්ලන්තයේ සහ ස්වීඩනයේ රෙපරමාදු හමුදාවන්ට මූල්‍යමය ආධාර සැපයීමෙනි.

වර්ෂ 1635දී, රිෂලූ පළමු වතාවට ප්‍රංශ හමුදාවන් යුද්ධයට යැවීය. “‘තිස් වසරක’ යුද්ධයේ අවසාන අදියර තවදුරටත් ආගමික පාර්ශ්වයන් අතර ගැටුමක් නොවීය. . . . යුද්ධය වනාහි යුරෝපයේ දේශපාලනික බලය තහවුරු කරගැනීම සඳහා කරන ලද අරගලයක් බවට පත් විණි.” මෙසේ පැහැදිලි කරන්නේ සාමයට ජය වේවා! (vivat pax—Es lebe der Friede!) යන පොතේය. කතෝලිකයන් සහ රෙපරමාදුවන් අතර ගැටුමක් ලෙස පටන්ගත් යුද්ධය අවසානයේදී සිදු වුණේ කතෝලිකයන් හා රෙපරමාදුවන් එකතු වී වෙනත් කතෝලිකයන්ට විරුද්ධව සටන් වැදීමයි. එක්දහස් හයසිය තිස් ගණන්වල මුල් භාගය වන විටත් දුර්වලව තිබූ කතෝලික සංගමය, 1635දී විසුරුවාහරින ලදි.

වෙස්ට්ෆේලියාහි සාම සම්මේලනය

කොල්ලකෑම්, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ සහ රෝග මගින් යුරෝපය දරුණු ලෙස විනාශ විය. යුද්ධයෙන් කිසිවෙකුට ජය ලබාගැනීමට බැරි බව වඩ වඩාත් අවබෝධ වීමත් සමඟම සාමය උදා කරගැනීමට තිබූ වුවමනාව වඩාත් තීව්‍ර විණි. “එක්දහස් හයසිය තිස් ගණන්වල අවසානභාගය වන විට, හමුදා බලයෙන් තමන්ගේ ඉලක්ක සපුරාගත නොහැකි බව පාලක පක්ෂයට හොඳින් වැටහිණි” යයි සාමයට ජය වේවා! යන පොත සඳහන් කරයි. එහෙත්, සෑම කෙනෙකුටම අවශ්‍ය වූයේ සාමය නම්, එය අත් කරගත යුතුව තිබුණේ කෙසේද?

යුද්ධයට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් එකට රැස් වී සාමය උදා කරගනු වස් සාකච්ඡා කළ යුතුයයි ශුද්ධ රෝම අධිරාජ්‍යයේ තුන්වන ෆර්ඩිනන්ඩ් අධිරාජ්‍යයා, ප්‍රංශයේ දහතුන්වන ලුවී රජ සහ ස්වීඩනයේ ක්‍රිස්ටිනා රැජින යන තිදෙනා ඒකමතිකව තීරණය කළහ. මෙම සාකච්ඡා සඳහා ස්ථාන දෙකක් තෝරාගන්නා ලදි. ඔස්නාබෲක්හි නගරය සහ වෙස්ට්ෆේලියාහි ජර්මානු ප්‍රාන්තයේ පිහිටි මුන්ස්ටර් නගරය එම ස්ථාන දෙකය. ඒවා තෝරාගනු ලැබුවේ ඒවා ස්වීඩනයේ සහ ප්‍රංශයේ අගනුවරවල් අතරමැද පාරක පිහිටා තිබීම නිසාය. වර්ෂ 1643 ආරම්භයේ පටන්, නියෝජිත පිරිස් 150ක් පමණ තමන්ගේ උපදේශකවරුන්ද සමඟ සාකච්ඡා සඳහා පැමිණියහ. කතෝලික නියෝජිතයෝ මුන්ස්ටර් නගරය කරාද රෙපරමාදුවෝ ඔස්නාබෲක් නගරය කරාද පැමිණියහ.

පළමුව, සාකච්ඡා සඳහා පැමිණෙන නියෝජිතයන්ගේ පදවි හා නිලයන්, අසුන්ගන්නා පිළිවෙළ හා වෙනත් ක්‍රියා පිළිවෙත් ගැන යම් රීති මාලාවක් ඇති කරන ලදි. ඉන් අනතුරුව සාම සාකච්ඡා ආරම්භ වූ අතර, එක් පාර්ශ්වයක් අතරමැදියන් තුළින් තවත් පාර්ශ්වයකට යෝජනා ඉදිරිපත් කළේය. වසර පහකට පමණ පසුව, සාම කොන්දේසි සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීය. මෙය සිදු වූයේ යුද්ධය පවතින අතරතුරෙහිය. වෙස්ට්ෆේලියාහි සාම ගිවිසුමට ගිවිසුම් එකකට වඩා ඇතුළත් විණි. එක් ගිවිසුමක් තුන්වන ෆර්ඩිනන්ඩ් අධිරාජ්‍යයා සහ ස්වීඩනය අතර ඔස්නාබෲක්හිදීද, තවත් ගිවිසුමක් එම අධිරාජ්‍යයා සහ ප්‍රංශය අතර මුන්ස්ටර් නගරයේදීද අත්සන් තබන ලදි.

ගිවිසුම පිළිබඳ පුවත් පැතිර යෑමත් සමඟ, ඒ පිළිබඳ ප්‍රීති උත්සව ආරම්භ විණි. මාරාන්තික යුධ ගිනි අවසන් වූයේ ගිනිකෙළි උත්සවයකිනි. විවිධ නගරවල ඔවුහු ගිනිකෙළි සංදර්ශන පවත්වන්නට වූහ. පල්ලිවල සීනු නාද වූ අතර, කාලතුවක්කු සමාචාර වෙඩි මුර පවත්වන ලදි. ප්‍රීතියෙන් උද්දාමයට පත් ජනයා වීදිවල ගී ගැයූහ. යුරෝපයට සදාකාලික සාමය උදා වන ලකුණු පහළ වීද?

සදාකාලික සාමයක් අත් කරගත හැකිද?

වෙස්ට්ෆේලියාහි ගිවිසුම මගින් ජනයාගේ ස්වෛරීභාවය පිළිබඳ ප්‍රතිපත්ති ස්ථාපිත කෙරිණි. මින් අදහස් කළේ මේ එක් එක් පාර්ශ්වයක් අනෙක් සියලු පාර්ශ්වයන්වල භෞමික අඛණ්ඩතාවට ගරු කිරීමටත් ඔවුන්ගේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගැසීමටත් එකඟ වීමයි. වත්මන් යුරෝපය ස්වෛරී රාජ්‍යයන් බවට පත් වූයේ එම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙසය. ඇතැම් රාජ්‍යයන් වෙනත් රාජ්‍යයන්ට වඩා ගිවිසුමෙන් වැඩි වාසි ප්‍රයෝජන ලබාගත්තෝය.

ප්‍රංශය ප්‍රධාන බලවේගයක් ලෙසට පිළිගනු ලැබූ අතර, නෙදර්ලන්තය සහ ස්විට්සර්ලන්තයද ස්වාධීන රාජ්‍යයන් බවට පත් විණි. ජර්මානු ප්‍රාන්තයන් සම්බන්ධයෙන් ගත් කල, ඒවායින් වැඩිහරියක් යුද්ධයෙන් විනාශ වූ අතර, ගිවිසුම නිසා බොහෝ අවාසි සිදු විණි. ජර්මනියේ ඉරණම යම් ප්‍රමාණයකට තීරණය කරනු ලැබුවේ වෙනත් ජාතීන් විසිනි. ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා මෙසේ වාර්තා කරයි. “ජර්මානු අධිරාජ්‍යයන්ගේ වාසි සහ අවාසි තීරණය කරනු ලැබුවේ ප්‍රංශය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාව යන ප්‍රධාන බලවේගවල ඕනෑ එපාකම්වලට අනුවය.” එක් ජාතියක් හැටියට එකට එක්සත් වෙනවා වෙනුවට, ජර්මානු ප්‍රාන්තයන් කලින් තිබුණාක් මෙන් බෙදී ගියේය. ඊටත් වඩා, ඇතැම් ප්‍රදේශ පාලනය කිරීමට විදේශීය පාලකයන්ට භාර දෙනු ලැබූ අතර, ජර්මනියේ ප්‍රධාන ගංගා තුන හෙවත් රයින්, එල්බ් සහ ඕඩ යන ගංගා අයත් ප්‍රදේශවලට සිදු වූයේද මෙයයි.

කතෝලික, ලූතරන් සහ කැල්වින් ආගම්වලට සමාන අයිතිවාසිකම් දානය කෙරිණි. මේ ගැන සෑම කෙනෙක්ම සතුටු වූයේ නැත. මෙම ගිවිසුම දැඩි ලෙස හෙළා දුටු දසවන ඉනසන්ට් පාප්, එය නිෂ්ඵල අවලංගු එකක් බවට කියා සිටියේය. කෙසේවෙතත්, ගිවිසුමෙන් ඇති කරගත් ආගමික දේශ සීමා බොහෝ සෙයින් නොවෙනස්ව ශතවර්ෂ තුනක් තිස්සේ පැවතිණි. පෞද්ගලික මට්ටමෙන් ආගමික නිදහස භුක්ති විඳීමට අවස්ථාව තවමත් එළඹ නොතිබුණද, ඒ සඳහා යම් පියවරක් ඉදිරියට තබා තිබිණි.

ගිවිසුම මගින් තිස් අවුරුදු යුද්ධය නිමාවකට පත් වූ අතර තිබූ සතුරුවාදීකම් බොහොමයක්ම අවසන් විණි. යුරෝපයේ පැවති විශාලතම ආගමික යුද්ධය වූයේ මෙයයි. යුද්ධ නොනැවතුණු බව ඇත්තය. නමුත් එම යුද්ධවලට හේතු පාදක වූයේ දේශපාලනය හෝ වාණිජ්‍යය මිසක ආගම නොවේ. මින් අදහස් කරන්නේ යුරෝපීය රටවල් අතර සතුරුවාදීකම් ඇති කිරීම සඳහා වූ ආගමේ බලපෑම අවසන් වූවා යන්න නොවේ. පළමු හා දෙවන ලෝක යුද්ධවලදී ජර්මානු සොල්දාදුවෝ තමන්ගේ බඳපටිවල “දෙවියන්වහන්සේ අප සමඟය” යනුවෙන් සඳහන් කොට ඇති ඒ හුරු පුරුදු වූ පළඳනාව පැළඳගත්හ. ඒ මහා දරුණු යුද්ධවලදී, කතෝලිකයෝ සහ රෙපරමාදු ලබ්ධිකයෝ යළිත් වරක් එකිනෙකාට විරුද්ධව සටන් කිරීමට පෙළගැසුණාහ.

මේ අනුව, වෙස්ට්ෆේලියාහි සාම ගිවිසුම කල් පවතින සාමයක් ගෙන ආවේ නැති බව පැහැදිලිය. කෙසේවෙතත්, එවන් සාමයක් කීකරු මිනිස් වර්ගයා විසින් ළඟදීම අද්දකිනු ලබනවා ඇත. යෙහෝවා දෙවි සිය පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් මගින් මෙසියානු රාජ්‍යය තුළින් මිනිස් වර්ගයාට සදාකාලික සාමය උදා කර දෙනු ලබනවා ඇත. එම ආණ්ඩුව යටතේ එකම සැබෑ ආගම ජනයාව භේද කරන බලවේගයක් බවට නොව ජනයාව එක්සත් කරන බලවේගයක් බවට පත් වනු ඇත. එකල කිසිම කෙනෙකු ආගමික හෝ වෙනත් කිසිම හේතුවක් නිසා යුද්ධ නොකරනු ඇත. මෙම රාජ්‍යය මුළු පොළොවේම පාලනය තම අණසකට ගෙන ‘කෙළවරක් නැති සමාදානයක්’ ගෙනෙන විට එය මොන තරම් සහනයක් වේවිද!—යෙසායා 9:6, 7.

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කතෝලිකයන් සහ රෙපරමාදුවන් අතර ගැටුමක් ලෙස පටන්ගත් යුද්ධය අවසානයේදී සිදු වුණේ කතෝලිකයන් හා රෙපරමාදුවන් එකතු වී වෙනත් කතෝලිකයන්ට විරුද්ධව සටන් වැදීමයි

[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සොල්දාදුවන් යුද්ධයට ගියේ “සන්ටා මරියා” හෝ “දෙවියන්වහන්සේ අප සමඟය” යයි කියමිනි

[21වන පිටුවේ පින්තූරය]

කාදිනල් රිෂලූ

[23වන පිටුවේ පින්තූරය]

ලූතර්, කැල්වින් සහ පාප් අතර පැවති අරගලයක් ගැන විස්තර කරන දහසයවන සියවසට අයත් සිත්තමක්

[20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Spamers Illustrierte Weltgeschichte VI යන පොතෙනි

[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ආගමික නායකයන් අතර පැවති අරගලය: Wider die Pfaffenherrschaft යන පොතෙනි; සිතියම: The Complete Encyclopedia of Illustration/J. G. Heck