Skip to content

පටුනට යන්න

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය—පවත්වනු ලබන්නේ කෙසේද?

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය—පවත්වනු ලබන්නේ කෙසේද?

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය—පවත්වනු ලබන්නේ කෙසේද?

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පිළිබඳ පුළුල් විස්තරයක් දෙමින් ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් මෙසේ ලියනවා. “මා ඔබට භාර දුන් දේ ස්වාමීන්ගෙන් මම ලැබුවෙමි. එනම්, ස්වාමීන් වන යේසුස්, තමාව පාවා දෙනු ලැබූ රාත්‍රියේදී රොටියක් ගෙන, ස්තුති දීමෙන් පසු, එය කඩා, ‘ඔබ උදෙසා වූ මාගේ ශරීරය මෙයින් නියෝජනය කරන්නේය. මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න’ යයි කීවේය. එසේම, ඔහු සන්ධ්‍යා භෝජනය ගත් පසු කුසලානයත් රැගෙන, ‘මේ කුසලානය, මාගේ රුධිරයෙන් ඇති වන අලුත් ගිවිසුම නියෝජනය කරන්නේය. ඔබ මෙයින් පානය කරන සෑම අවස්ථාවකදීම මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න’ යයි කීවේය. මන්ද, මේ රොටිය කන, මේ කුසලානෙන් බොන සෑම වතාවකදීම, ඔබ ස්වාමීන් එන තුරු ඔහුගේ මරණය ප්‍රකාශ කරන්නහුය.”—1 කොරින්ති 11:23-26, NW.

පාවුල් පවසන ආකාරයට, යේසුස් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පිහිටෙව්වේ, යූදස් ඉස්කාරියොත් විසින් ‘[යේසුස්ව] පාවා දෙනු ලැබූ රාත්‍රියේදීයි.’ ඔහු එසේ පාවා දුන්නේ ක්‍රිස්තුස්ව ඇණ ගසන්න කියා රෝමවරුන්ට බල කර සිටි යුදෙව් ආගමික නායකයන් අතටයි. එම භෝජනය පැවැත්වූයේ ක්‍රිස්තු වර්ෂ 33 මාර්තු 31වන බ්‍රහස්පතින්දා රාත්‍රියේදීයි. අප්‍රියෙල් 1වන සිකුරාදා දවාලෙහි යේසුස් වධකණුවේදී මිය ගියා. යුදෙව් දිනදර්ශනයට අනුව දින ගෙවී ගියේ එක් දිනක සන්ධ්‍යාවේ සිට තවත් දිනක සන්ධ්‍යාව දක්වා බැවින්, ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සහ යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සිද්ධ වුණේ එකම දිනයේදීයි.—ක්‍රි.ව. 33, නීසාන් 14.

රොටි සහ වයින්වලට පංගුකාරයන් වන අය යේසුස්ව සිහිපත් කරගැනීම සඳහා ‘මෙය නොකඩවා කළ යුතු වුණා.’ තවත් අනුවාදයක යේසුස් පැවසූ දේ මෙසේ සඳහන් වී තිබෙනවා. “මාව සිහි කිරීමක් වශයෙන් මෙය කරන්න.” (1 කොරින්ති 11:24, ද ජෙරුසලෙම් බයිබල්) ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීම ලෙසද හඳුන්වනු ලබනවා.

යේසුස්ගේ මරණය සමරන්නේ ඇයි?

මෙම මරණයට සම්බන්ධ හේතු මතයි ඊට පිළිතුර රැඳී තිබෙන්නේ. යේසුස් මිය ගියේ තම ස්ථාවරයෙන් යෙහෝවාගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගත බව ඔප්පු කළ ප්‍රධාන තැනැත්තා ලෙසටයි. මිනිසුන් දෙවිට සේවය කරන්නේ ආත්මාර්ථකාමී අභිලාෂයන් නිසාය යන සාතන්ගේ අභියෝගය ඔහු නිෂ්ප්‍රභ කරමින් සාතන් බොරුකාරයෙකු බව ඔප්පු කළා. (යෝබ් 2:1-5; හිතෝපදේශ 27:11) යේසුස් පරිපූර්ණ මිනිසෙකු ලෙස මිය යෑම මගින් ‘බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය මිදීමේ මිලයක් ලෙසද දුන්නා.’ (මතෙව් 20:28, NW) ආදම් දෙවිට එරෙහිව පව් කළ අවස්ථාවේ තම පරිපූර්ණ මිනිස් ජීවිතය සහ සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව අහිමි කරගත්තා. එහෙත් “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16, NW) ඇත්තෙන්ම, “පාපය සඳහා ගෙවන කුලිය නම් මරණයය. නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි දෙන තෑග්ග නම් සදාකාල ජීවනයය.”—රෝම 6:23, NW.

මෙලෙස යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය ශ්‍රේෂ්ඨතම ආකාර දෙකකින් ප්‍රේමයේ විදහා පෑමක් වුණා. එනම් තම පුත්‍රයාව මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් දීමෙන් යෙහෝවා පෙන්වූ උතුම් ප්‍රේමය සහ තමන්ගේ මිනිස් ජීවිතය මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් කැමැත්තෙන්ම දීමෙන් යේසුස් පෙන්වූ ආත්ම පරිත්‍යාගී ප්‍රේමයයි. යේසුස්ගේ මරණය සිහි කිරීම මගින් මෙම ප්‍රේමයේ පැති දෙකේම ශ්‍රේෂ්ඨත්වය කියාපානවා. අප මෙම ප්‍රේමය ලබන්නන් බැවින් ඒ සඳහා අපේ කෘතඥතාව පළ කළ යුතු නැද්ද? එසේ කළ හැකි එක් මාර්ගයක් වන්නේ ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පැවැත්වීමේදී එතැන සිටීමයි.

රොටි සහ වයින්වල ඇති වැදගත්කම

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පිහිටුවන විට යේසුස් රොටියක් සහ රතු වයින් සහිත කුසලානක් සංකේත වශයෙන් භාවිත කළා. යේසුස් රොටිය රැගෙන “ස්තුති දීමෙන් පසු, එය කඩා, ‘ඔබ උදෙසා වූ මාගේ ශරීරය මෙයින් නියෝජනය කරන්නේය. මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න’” යයි පැවසුවා. (1 කොරින්ති 11:24, NW) පිටිවලට මුහුන් හෝ යීස්ට් නොදමා වතුර පමණක් එක් කර රොටිය තුනීයට සාදා තිබූ බැවින් එය කරස් ගා කැඩෙනසුලු වුණා. මෙම රොටිය කෑමට හා බෙදා දීමට පෙර කැඩිය යුතු වුණේ ඒ නිසයි. ශුද්ධ ලියවිල්ලේ මුහුන්වලින් සංකේතවත් කරන්නේ පාපයයි. (මතෙව් 16:11, 12; 1 කොරින්ති 5:6, 7) යේසුස් පව්කාරයෙකු නොවෙයි. එමනිසා ඔහුගේ පරිපූර්ණ මිනිස් ශරීරය මනුෂ්‍ය වර්ගයා උදෙසා සුදුසු මිදීමේ මිල පූජාවක් වශයෙන් ක්‍රියා කළා. (1 යොහන් 2:1, 2) ක්‍රිස්තුස්ගේ පව් රහිත මාංසික ශරීරය නියෝජනය කිරීමට මුහුන් නොදැමූ රොටි යොදාගැනීම මොන තරම් යෝග්‍යයිද!

තනිකර රතු වයින් අඩංගු කුසලාන වෙනුවෙන්ද යේසුස් ස්තුති කොට මෙසේ පැවසුවා. “මේ කුසලානය, මාගේ රුධිරයෙන් ඇති වන අලුත් ගිවිසුම නියෝජනය කරන්නේය.” (1 කොරින්ති 11:25, NW) කුසලානෙහි වූ රතු වයින්වලින් නියෝජනය වන්නේ යේසුස්ගේ රුධිරයයි. පූජා කරන ලද ගොනුන්ගේ සහ එළුවන්ගේ රුධිරය මගින් ක්‍රි.පූ. 1513දී දෙවි සහ ඊශ්‍රායෙල් ජාතිය අතර මෝසෙස්ගේ ව්‍යවස්ථාව වලංගු කළා සේම, මරණයේදී වැගිරෙවූ යේසුස්ගේ රුධිරය මගින් අලුත් ගිවිසුම වලංගු කළා.

පංගුකාරයන් විය යුත්තේ කවරෙක්ද?

සිහි කිරීමේ සංකේතවලට යෝග්‍ය පංගුකාරයන් කවරෙකුදැයි හඳුනාගැනීමට අලුත් ගිවිසුම කුමක්දැයි කියාත්, ඊට සහභාගි වන්නේ කවරෙක්දැයි කියාත් අපි අවබෝධ කරගත යුතුයි. බයිබලයේ මෙසේ පවසනවා. “බලව, මා විසින් ඊශ්‍රායෙල් වංශය සහ යූදා වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේයයි යෙහෝවා කියන්නේය. . . . මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි; මම ඔවුන්ගේ දෙවි වන්නෙමි, ඔවුහුද මාගේ සෙනඟ වන්නෝය. . . . මම ඔවුන්ගේ අපරාධය ක්ෂමා කරන්නෙමි, ඔවුන්ගේ පාපයද තවත් සිහි නොකරන්නෙමි.”—යෙරෙමියා 31:31-34.

අලුත් ගිවිසුම යෙහෝවා දෙවි සමඟ විශේෂාකාර සබඳතාවක් ඇති කරගැනීමට සලස්වනවා. මෙම ගිවිසුම මගින් එක්තරා කණ්ඩායමක් ඔහුගේ සෙනඟ බවට පත් වන අතර ඔහු ඔවුන්ගේ දෙවි වෙනවා. යෙහෝවාගේ නීතිය ඔවුන්ගේ සිත් තුළ ලියා තිබෙන අතර මාංසිකව චර්මච්ඡේදනය කරනු ලැබූ යුදෙව්වන්ගේ කණ්ඩායමෙන් පිටත සිටින්නන්ට පවා දෙවි සමඟ නව ගිවිසුම් සබඳතාවකට පැමිණිය හැකියි. (රෝම 2:29) ‘තම නාමය උදෙසා අන්‍යජාතිකයන් අතරෙන් සෙනඟක් ගන්නා පිණිස ඔවුන් වෙත අවධානය යොමු කිරීම’ සඳහා වූ දෙවිගේ අරමුණ ගැන බයිබල් ලේඛක ලූක් ලියනවා. (ක්‍රියා 15:14, NW) පළමුවන පේතෘස් 2:10ට අනුව ඔවුහු, ‘වරක් සෙනඟව සිටියේ නැත. නමුත් දැන් දෙවිගේ සෙනඟව සිටින්නහුය.’ ශුද්ධ ලියවිල්ලේ ඔවුන්ව යොමු දක්වන්නේ “දෙවිගේ ඊශ්‍රායෙල්” එනම් ආත්මික ඊශ්‍රායෙල් ලෙසයි. (ගලාති 6:16; 2 කොරින්ති 1:21) එසේනම් අලුත් ගිවිසුම යනු යෙහෝවා දෙවි සහ ආත්මික ඊශ්‍රායෙල් අතර පවතින ගිවිසුමක්.

තම ගෝලයන් සමඟ සිටි අන්තිම රාත්‍රියේදී යේසුස් ඔවුන් සමඟ තවත් වෙනස් ගිවිසුමකුත් පිහිටුවාගත්තා. “මාගේ පියාණන් මා සමඟ ගිවිසුමක් කර තිබෙන්නාක් මෙන්, මම ඔබ සමඟ රාජ්‍යයක් සඳහා ගිවිසුමක් ඇති කරමි” කියා ඔහු ඔවුන්ට පැවසුවා. (ලූක් 22:29, NW) මෙය රාජ්‍ය ගිවිසුමයි. රාජ්‍ය ගිවිසුමට ඇතුළත් කර තිබෙන අසම්පූර්ණ මිනිසුන්ගේ සංඛ්‍යාව 1,44,000යි. නැවත නැඟිටවනු ලැබ ස්වර්ගයට ගියායින් පසුව ඔවුන් රජුන් හා පූජකයන් වශයෙන් පාලනය කරනවා. (එළිදරව් 5:9, 10; 14:1-4) මෙලෙස යෙහෝවා දෙවි සමඟ අලුත් ගිවිසුමට බැඳී සිටින්නන් යේසුස් ක්‍රිස්තුස් සමඟ රාජ්‍ය ගිවිසුමටද ඇතුළත්ව සිටිනවා. ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයේ සංකේතවලට පංගුකාරයන් වීමට සුදුස්සන් වන්නේ ඔවුන් පමණයි.

තමන් දෙවි සමඟ අද්විතීය සබඳතාවක සිටින බවත්, ක්‍රිස්තුස් සමඟ හවුල් උරුමක්කාරයන්ව සිටින බවත් සිහි කිරීමේ සංකේතවලට පංගුකාරයන් වන්නාවූ අය දන්නේ කොහොමද? පාවුල් මෙසේ පැහැදිලි කරනවා. “[ශුද්ධ] ආත්මයම අපේ ආත්මය [අපේ මානසික ස්වභාවය] හා එක්ව, අප දෙවිගේ දරුවෝයයි සාක්ෂි දරන්නේය. ඉතින්, අපි දරුවෝ නම්, උරුමක්කාරයෝද වන්නෙමු. එනම්, දෙවිගේ උරුමක්කාරයෝය. ක්‍රිස්තුස් හා සමඟ හවුල් උරුමක්කාරයෝය. නමුත් එසේ වන්නේ, අප ඔහු සමඟ මහිමයට පත් වන පිණිස, ඔහු සමඟ දුක් විඳිනවා නම් පමණි.”—රෝම 8:16, 17, NW.

දෙවි තම ශුද්ධාත්මය හෝ ක්‍රියාකාරී බලය මාර්ගයෙන් ක්‍රිස්තුස්ගේ හවුල් උරුමක්කාරයන්ව අභිෂේක කරනවා. මෙමගින් ඔවුන්ට තමන් රාජ්‍ය උරුමක්කාරයන් බවට ස්ථිරත්වයක් ලැබෙනවා. එය අභිෂේක ලත් ක්‍රිස්තියානීන් තුළ ඇති කරන්නේ ස්වර්ගික බලාපොරොත්තුවක්. ඔවුන් සලකන්නේ ස්වර්ගික ජීවිතය ගැන බයිබලයේ පවසන සියල්ලම තමන්ටම අදාළ වන බවයි. එපමණක්ද නොව, පොළොවේ ජීවිතය සහ සියලු මිනිස් සබඳතා ඇතුළු අනෙකුත් භූමික බැඳීම් සියල්ල පරිත්‍යාග කිරීමට ඔවුන් සූදානමින් සිටිනවා. භූමික පාරාදීසයේ ජීවිතය චමත්කාර එකක් වනු ඇතැයි ආත්මයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් තේරුම්ගන්නා නමුත් ඔවුන්ගේ බලාපොරොත්තුව එය නොවෙයි. (ලූක් 23:43, NW) ඔවුන්ට වෙනස් නොවනසුලු ස්වර්ගික බලාපොරොත්තුවක් තිබෙන්නේ අසත්‍ය ආගමික අදහස් නිසා නොව දෙවිගේ ආත්මයේ ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් නිසා වන බැවින් සිහි කිරීමේ සංකේතවලට යෝග්‍ය ලෙස පංගුකාරයන් වෙනවා.

තමන් අලුත් ගිවිසුමට හා රාජ්‍ය ගිවිසුමට බැඳී සිටිනවාද යන්න කෙනෙකුට හරියටම ස්ථිරත්වයක් නැතැයි සිතමු. තමන් ක්‍රිස්තුස් සමඟ හවුල් උරුමක්කාරයෙක්ද යන්න සම්බන්ධයෙන් දෙවිගේ ආත්මය සාක්ෂි දීමේ අඩුවක් තිබෙනවා නම් කුමක් කිව හැකිද? එසේනම් සිහි කිරීමේ සංකේතවලට ඔහු පංගුකාරයෙක් වීම වැරදියි. ඇත්තෙන්ම, තමන්ට ස්වර්ගික රජෙක් හා පූජකයෙක් වීමට කැඳවීමක් නොලැබී තිබියදීත් එවැනි කැඳවීමක් ලැබූවෙකු සේ දැන දැනම තමාව නියෝජනය කරන්නෙහි නම් දෙවි ඊට අප්‍රසන්න වෙනවා.—රෝම 9:16; එළිදරව් 22:5.

පැවැත්විය යුත්තේ කොපමණ කලකට වරක්ද?

යේසුස්ගේ මරණය සතිපතා හෝ සමහරවිට දිනපතා පවා සැමරිය යුතුද? ඇත්තෙන්ම ක්‍රිස්තුස් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පිහිටෙව්වේද ඔහුව අසාධාරණ ලෙස මරණයට පත් කළේද පාස්කු දිනයේදීයි. ඊශ්‍රායෙලිතයන් ඊජිප්තුවේ වහල්භාවයෙන් මිදීම සැමරූ දිනය වන පාස්කුව පැවැත්වුවේ නීසාන් 14වෙනිදා, එනම් අවුරුද්දකට එක වතාවක් පමණයි. (නික්මයාම 12:6, 14; ලෙවී කථාව 23:5) එබැවින් ‘අපේ පාස්කු යාගය වන ක්‍රිස්තුස්ගේ’ මරණය සිහි කළ යුත්තේ සතිපතා හෝ දිනපතා නොව සෑම වසරකම එක වතාවක් පමණයි. (1 කොරින්ති 5:7) ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය යේසුස් ආරම්භ කළ අවස්ථාවේදී ක්‍රියාත්මක කළ පිළිවෙතම ක්‍රිස්තියානීන්ද අනුගමනය කරනවා.

එසේනම් පාවුල්ගේ මෙම වදන්වලින් අදහස් කළේ කුමක්ද? “මේ රොටිය කන, මේ කුසලානෙන් බොන සෑම වතාවකදීම, ඔබ ස්වාමීන් එන තුරු ඔහුගේ මරණය ප්‍රකාශ කරන්නහුය.” (1 කොරින්ති 11:26, NW) මෙහිදී පාවුල් පවසා සිටියේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සංකේතවලට පංගුකාරයන් වන සෑම වතාවකදීම යේසුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඔවුන් ඔවුන්ගේ ඇදහිල්ල ප්‍රකාශ කරනු ඇති බවයි.

අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ‘ඔහු එන තුරු’ ක්‍රිස්තුස්ගේ මරණය සමරමින් සිටීවි. තම අභිෂේක ලත් අනුගාමිකයන්ව ආත්ම ජීවිතයක් සඳහා නැවත නැඟිටුවා ස්වර්ගයට ගැනීමට යේසුස් එන තුරු මෙම සිහි කිරීම දිගටම සිදු කරනු ලැබේවි. ඔහු එලෙස ස්වර්ගයට ගන්නේ ඔහුගේ “පැමිණ සිටීම” තුළදීයි. (1 තෙසලෝනික 4:14-17, NW) මෙය පක්ෂපාත ප්‍රේරිතයන් 11දෙනාට පැවසූ ක්‍රිස්තුස්ගේ මෙම වදන්වලට එකඟයි. “මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කර, මා සිටින තැන ඔබත් සිටින පිණිස, මම නැවත ඇවිත් ඔබව මාගේ ගෙට පිළිගන්නෙමි.”—යොහන් 14:3, NW.

ඉන් ඔබට ප්‍රයෝජනයක් තිබේද?

යේසුස්ගේ පූජාවෙන් ප්‍රයෝජන ගැනීමට හා පොළොවෙහි සදාකාල ජීවනය ලැබීමට සිහි කිරීමේ සංකේතවලට පංගුකාරයන් වීම අවශ්‍යද? නැහැ. නෝවා, ආබ්‍රහම්, සාරා, ඊසාක්, රෙබෙකා, යෝසෙප්, මෝසෙස් සහ දාවිත් වැනි දේවබියැති අය පොළොවෙහි ජීවනය සඳහා නැවත නැඟිටුණු පසුව මෙම සංකේත භාවිත කරනු ඇතැයි කියා බයිබලයේ කොතැනකවත් සඳහන් වෙන්නේ නැහැ. එහෙත්, පොළොවේ නිම නොවන ජීවිතයක් ගත කිරීමට ආශාවෙන් සිටින සියලුදෙනාටම මෙන්ම ඔවුන්ටද දෙවි හා යේසුස් කෙරෙහි වාගේම යෙහෝවා සැපයූ යේසුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහිද ඇදහිල්ල තබාගන්න සිදු වේවි. (යොහන් 3:36; 14:1) සදාකාල ජීවනය ලබාගැනීමට නම් ඔබද එවැනි ඇදහිල්ලක් තබාගත යුතුයි. ක්‍රිස්තුස්ගේ මරණයේ වාර්ෂික සිහි කිරීමට ඔබ පැමිණ සිටීමෙන් එම උතුම් පූජාව සිහිපත් කරගැනීමට සැලැස්වෙන අතර ඒ සඳහා ඔබේ කෘතඥපූර්වකභාවයද වැඩි විය යුතුයි.

ප්‍රේරිත යොහන් යේසුස්ගේ පූජාවේ වැදගත්කම අවධාරණය කළේ මෙලෙස පවසමින්. “මා මේ දේවල් ඔබට [සෙසු අභිෂේක ලත් අයට] ලියන්නේ ඔබ පාපයක් නොකරන පිණිසය. එහෙත් යමෙකු පාපයක් කළොත්, පියාණන් සමඟ සිටින උපකාරකයෙක් අපට සිටින්නේය. ඒ, ධර්මිෂ්ඨ තැනැත්තෙක් වන යේසුස් ක්‍රිස්තුස්ය. ඔහු අපේ පාප උදෙසා සමඟි කිරීමේ පූජාවකි. එහෙත් අපේ පාප උදෙසා පමණක් නොව, මුළු ලෝකයේද පාප උදෙසාය.” (1 යොහන් 2:1, 2, NW) යේසුස්ගේ පූජාව තමන්ගේ පාප වසාලන සමඟි කිරීමේ ආවරණයක් කියා පැවසීමට අභිෂේක ලත් අයට හැකියි. එහෙත් කීකරු මනුෂ්‍ය වර්ගයාට සදාකාල ජීවනය ලැබීමට හැකියාවක් ලබා දෙන එය මුළු ලෝකයේම පව් උදෙසාද අගනා පූජාවක්.

යේසුස්ගේ මරණය සැමරීමට 2004 අප්‍රියෙල් 4වෙනි දාට ඔබ පැමිණෙනු ඇද්ද? මෙම සැමරීම ලෝක ව්‍යාප්තව පවත්වනු ලබන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් රැස්වීම් පවත්වන ස්ථානවලදීයි. ඔබ පැමිණෙනවා නම් ඉතා වැදගත් බයිබල් කතාවකට සවන් දීමෙන් ඔබට ප්‍රයෝජන ලැබේවි. යෙහෝවා දෙවි හා යේසුස් ක්‍රිස්තුස් අප වෙනුවෙන් කොපමණ දෙයක් කර තිබෙනවාද කියා ඔබට මතක් කරනු ලැබෙයි. දෙවි කෙරෙහි, ක්‍රිස්තුස් කෙරෙහි මෙන්ම යේසුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ගැඹුරු ගෞරවයක් තිබෙන අය සමඟ එකට රැස්වීමට ලැබීමත් ආත්මිකාකාරයෙන් ආශීර්වාදයක් වෙනවා ඇති. සදාකාල ජීවනයට මඟ පාදන දෙවිගේ මහත් කරුණාව ලබන්නෙකු බවට පත්වීම සඳහා ඔබ තුළ ඇති ආශාව එම අවස්ථාවේදී තව තවත් ශක්තිමත් විය හැකියි. මේ අවස්ථාව ඔබෙන් ගිලිහී යෑමට කිසිවකට ඉඩ නොහරින්න. අපේ ස්වර්ගික පියා වන යෙහෝවා දෙවිට ගෞරවය ගෙනෙන, ඔහුගේ සතුටට දායක වන මෙම හද උණුසුම් කරවන සිහි කිරීමට නොවරදවාම පැමිණෙන්න.

[5වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ මරණය ශ්‍රේෂ්ඨතම ආකාර දෙකකින් ප්‍රේමය විදහා පෑම හා බැඳී පවතිනවා

[6වන පිටුවේ පින්තූරය]

මුහුන් නොදැමූ රොටි හා වයින්, යේසුස්ගේ පව් රහිත ශරීරය හා ඔහු වැගිරෙවූ රුධිරය හොඳින් නියෝජනය කරන සංකේතයන්