Skip to content

පටුනට යන්න

ඔබ දෙනෙත් යොමු කරගෙන සිටින්නේ ත්‍යාගය වෙතටද?

ඔබ දෙනෙත් යොමු කරගෙන සිටින්නේ ත්‍යාගය වෙතටද?

ඔබ දෙනෙත් යොමු කරගෙන සිටින්නේ ත්‍යාගය වෙතටද?

මෙම රෝගී තත්වය වර්ධනය වන්නේ ඉතා සෙමින්. මුලදී පුද්ගලයෙකුගේ පෙනීමේ පරාසය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. එනම් යම්කිසි වස්තුවක් දෙස බලන විට වස්තුවේ මැද කොටස පමණයි පෙනෙන්නේ. එම වස්තුවේ අවට තිබෙන කිසිවක් පෙනෙන්නේ නැහැ. එම අවස්ථාවේදී ප්‍රතිකාරයක් නොකර සිටියොත් අවසානයේදී පෙනීම සම්පූර්ණයෙන්ම නැති වී යන්න පුළුවන්. මෙම රෝගය කුමක්දැයි ඔබ දන්නවාද? ඒ තමයි අන්ධභාවයට ප්‍රධාන හේතුවක් වන ග්ලෝකොමාව.

අපගේ පෙනීම අපටත් නොදැනීම ක්‍රමක්‍රමයෙන් නැත්තටම නැති වී යා හැකි ලෙසටම, අප සතු ඊටත් වඩා වටිනා ආකාරයක පෙනීමක් අපට නැති වී යා හැකියි. ඒ අපේ ආත්මික දෘෂ්ටියයි. එමනිසා අපගේ පෙනීමේ පරාසයේ නාභියේ ආත්මික දේවල් තබා ඒ කෙරෙහි අපගේ දෙනෙත් හොඳින් යොමු කරගෙන සිටීම ඉතා වැදගත්.

ත්‍යාගය වෙත දෙනෙත් යොමු කරගෙන සිටීම

අපගේ ඇස්වලට ‘නොපෙනෙන දේවල්’ අතර යෙහෝවා තම පක්ෂපාත අයට දීමට බලාපොරොත්තු වන අනර්ඝ සදාකාල ජීවනය නමැති ත්‍යාගය තිබෙනවා. (2 කොරින්ති 4:18) ක්‍රිස්තියානීන් දෙවිට සේවය කිරීමට මූලිකම හේතුව දෙවි කෙරෙහි ඔවුන් තුළ ඇති ප්‍රේමයයි. (මතෙව් 22:37) එහෙත් අප මහත් ඕනෑකමකින් අපගේ ත්‍යාගය ලැබෙන තෙක් බලා සිටිනවාට යෙහෝවා කැමතියි. එමෙන්ම තමන්ව ‘ඕනෑකමින් සොයන අයට විපාක දෙන’ ත්‍යාගශීලී පියෙකු ලෙසත් අප ඔහුව දකිනවාට ඔහු කැමතියි. (හෙබ්‍රෙව් 11:6, NW) එමනිසා දෙවිව හොඳින් දැන හඳුනන, ඔහුට ආදරය කරන අය ඔහු පොරොන්දු කර තිබෙන ආශීර්වාද මහත් සේ අගය කරන අතර ඒවා ඉටු වන තුරු බලා සිටින්නේ මහත් ආශාවකින්.—රෝම 8:19, 24, 25.

මෙම සඟරාව සහ එහි සහයක සඟරාව වන පිබිදෙව්! කියවන බොහෝදෙනෙක් එම සඟරා තුළ චිත්‍රයට නඟා තිබෙන අනාගත පාරාදීස පොළොව පිළිබඳ පිංතූර බැලීමෙන් සතුටක් ලබනවා. ඒත් ඇත්තටම පාරාදීස පොළොව කොයි ආකාරයේද කියා අපි හරියටම දන්නේ නැහැ. සඟරාවල පළ වෙන්නේ බයිබලයේ යෙසායා 11:6-9 වැනි පද මත පදනම් කරගත් චිත්‍ර ශිල්පීන්ගේ සිතුවිලි පමණයි. එසේ වුවත් එක් කාන්තාවක් මෙසේ පැවසුවා. “අනාගත පාරාදීසය ගැන මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල තිබෙන පිංතූර බලන විට මම ඒවා බලන්නේ සංචාරකයන් සඳහා තිබෙන අත්පොතක් පරීක්ෂා කරන ආකාරයටයි. මම එම ස්ථානයේ ඉන්නවා කියලා සිතින් මවාගන්න උත්සාහ කරනවා. මොකද දෙවිගේ නියමිත කාලයේදී මම ඉන්න කැමතිම ස්ථානය එතැනයි.”

ප්‍රේරිත පාවුල්ටත් තම “ස්වර්ගික කැඳවීම” ගැන හැඟුණේ එලෙසයි. අන්තිමය දක්වා විශ්වාසවන්තභාවය ඔප්පු කළ යුතුව තිබූ නිසා තමන් ඒ වන විටත් එය අත් කරගෙන තිබෙනවා කියා ඔහු සිතුවේ නැහැ. නමුත් ඔහු දිගටම ‘ඉදිරියේ තිබෙන දේවල් අල්ලාගැනීමට මහත් සේ වෙර දැරුවා.’ (ෆිලිප්පි 3:13, 14, NW) එයාකාරයෙන්ම යේසුස් ‘ඔහු ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා’ වධකණුවේ මරණය විඳදරාගත්තා.—හෙබ්‍රෙව් 12:2.

නව ලොවට ඇතුල් වීමට ඔබට අවස්ථාව ලැබෙයිද කියා කවදා හෝ ඔබට යම් සැකයන් ඇති වී තිබෙනවාද? ඇත්තෙන්ම ඕනෑවට වඩා ආත්ම විශ්වාසයකින් නොසිටීම හොඳයි. මන්දයත් ජීවනයේ ත්‍යාගය අපට ලැබීම රඳා පවතින්නේ අප අන්තිමය දක්වා විශ්වාසවන්තව සිටීම මතයි. (මතෙව් 24:13) කෙසේවුවත් දෙවි අපෙන් ඉල්ලන දේ දීමට අප උපරිම උත්සාහයක් දරනවා නම් ත්‍යාගය දිනාගැනීම සම්බන්ධයෙන් විශ්වාසයක් තබාගත හැකියි. යෙහෝවා සතුටු වන්නේ “සියලුදෙනාම පසුතැවිල්ල කරා පැමිණෙනවාට මිස කිසිවෙකුවත් විනාශ වනවාට” නොවෙයි කියන එක අමතක කරන්න එපා. (2 පේතෘස් 3:9, NW) අප යෙහෝවා කෙරෙහි විශ්වාසය තබනවා නම් අපගේ ඉලක්කය අත් කරගැනීමට ඔහු අපට උපකාර කරයි. තමන්ව සතුටු කිරීමට අවංකව වෑයම් කරන අයගේ වැරදි සොයමින් ඔවුන් ජීවනයේ ත්‍යාගය ලැබීමට සුදුසු අය නොවෙයි කියා සැලකීම යෙහෝවාගේ ගතිලක්ෂණයට මුළුමනින්ම පටහැනියි.—ගීතාවලිය 103:8-11; 130:3, 4; එසකියෙල් 18:32.

යෙහෝවාට තමන්ගේ සෙනඟ ගැන හැඟෙන ආකාරය දැනගැනීමෙන් අප තුළ බලාපොරොත්තුවක් ජනිත කරවයි. බලාපොරොත්තුවත් අපගේ ඇදහිල්ල වගේම වැදගත් ගුණාංගයක්. (1 කොරින්ති 13:13) බයිබලයේ “බලාපොරොත්තුව” යන වචනය පරිවර්තනය කිරීමට ග්‍රීක් භාෂාවෙන් ගත් වචනයේ, මහත් ඕනෑකමින් “යහපත අපේක්ෂා කිරීම” යන අර්ථය ගැබ් වී තිබෙනවා. එවන් බලාපොරොත්තුවක් මනසේ රඳවාගෙන ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා. “ඔබෙන් එකිනෙකා අවසානය දක්වා බලාපොරොත්තුව පිළිබඳව සම්පූර්ණ නිසැකකම ඇතිව සිටින පිණිස, එම උනන්දුවම පෙන්වනවාට අපි ආශා වන්නෙමු. අප එසේ කියන්නේ ඔබ කම්මැළි නොවී, ඇදහිල්ල සහ ඉවසිලිවන්තකම මාර්ගයෙන් පොරොන්දු උරුම කරගන්නාවූ අයව අනුකරණය කරන්නන් වන පිණිසය.” (හෙබ්‍රෙව් 6:11, 12, NW) අප යෙහෝවාට දිගටම විශ්වාසවන්තව සේවය කරනවා නම් අපේ බලාපොරොත්තුව අත් කරගැනීම ගැන අපට සහතික වීමට පුළුවන් බව සැලකිල්ලට ගන්න. ලෞකික ඉලක්ක වැඩි හරියක් සම්බන්ධයෙන් මෙන් නොව මෙම බලාපොරොත්තුව “කලකිරීමකට මඟ පාදන්නේ නැත.” (රෝම 5:5, NW) එසේනම් අප කොහොමද අපේ බලාපොරොත්තුව මනසේ දීප්තිමත්ව හා පැහැදිලිව තබාගන්නේ?

අපගේ ආත්මික දෘෂ්ටිය පැහැදිලිව තබාගන්නා අයුරු

අපගේ මිනිස් ඇසින් එකම අවස්ථාවේ දේවල් දෙකක් දෙස බලන්න බැහැ. අපගේ ආත්මික දෘෂ්ටිය සම්බන්ධයෙන්ද එය සැබෑවක්. වර්තමාන පිළිවෙළ තුළ තිබෙන දේවල්වලට දෙනෙත් යොමු කිරීමෙන් නියත වශයෙන්ම දෙවි පොරොන්දු කර තිබෙන නව ලොව අපගේ මනසින් බොඳ වී යා හැකියි. කාලයත් සමඟ මෙම බොඳ වූ රූපය දැකීමට තිබෙන ආශාව ක්‍රමක්‍රමයෙන් නැති වී, එය අපගේ දසුනෙන් මුළුමනින්ම මැකී යෑමට පුළුවන්. එය මොන තරම් ඛේදවාචකයක් වනු ඇද්ද! (ලූක් 21:34) දෙවිගේ රාජ්‍යය කෙරෙහිත් සදාකාල ජීවනය නමැති ත්‍යාගය කෙරෙහිත් යොමු වූ ‘පැහැදිලි ඇසක්’ අප තබාගැනීම කොතරම් වැදගත්ද!—මතෙව් 6:22.

හැමවිටම පැහැදිලි ඇසක් තබාගැනීම පහසු දෙයක් නොවෙයි. එදිනෙදා මුහුණ දීමට සිදු වෙන ප්‍රශ්නවලට අපගේ සිත යොමු කිරීමට සිදු වෙනවා. අපගේ අවධානය වෙනතකට යොමු කරන විවිධ දේවල් තිබිය හැකියි. සමහරවිට පරීක්ෂාවන්ට පවා මුහුණ දීමට සිදු වෙයි. මෙවැනි තත්වයන් යටතේ අනෙකුත් අත්‍යවශ්‍ය වැඩකටයුතු අතපසු නොකර දෙවිගේ රාජ්‍යය හා පොරොන්දු කර තිබෙන නව ලොව කෙරෙහි අප දෙනෙත් යොමු කරගෙන සිටින්නේ කොහොමද? අප ක්‍රම 3ක් සලකා බලමු.

දෙවිගේ වචනය දිනපතා පාඩම් කරන්න. නිතිපතා බයිබලය කියවීම සහ බයිබලය මත පදනම් ප්‍රකාශන පාඩම් කිරීම, අපගේ මනස් ආත්මික දේවල් කෙරෙහි යොමු කර තැබීමට උපකාරවත් වෙනවා. අපි දෙවිගේ වචනය අවුරුදු ගණන් පාඩම් කර තිබෙනවා විය හැකියි. ඒත් අපි දිගටම එය පාඩම් කළ යුතුයි. හරියට අපගේ ශරීරය පෝෂණය කිරීමට දිනපතා ආහාර ගන්නවා හා සමානව. අපි ඉපදුණ දා සිට ආහාර ගෙන තිබෙන නිසා අප ආහාර ගැනීම නතර කරන්නේ නැහැ. ඒ ආකාරයෙන්ම අප කොතරම් හොඳින් බයිබලයේ තොරතුරු දැන සිටියත් අපගේ බලාපොරොත්තුව දීප්තිමත්ව තබාගැනීමට සහ ඇදහිල්ල මෙන්ම ප්‍රේමය ශක්තිමත් කරගැනීමට නොකඩවා එයින් ආත්මික පෝෂණය ලබාගත යුතුයි.—ගීතාවලිය 1:1-3.

කෘතඥතාවේ හැඟීමකින් දෙවිගේ වචනය මෙනෙහි කරන්න. මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඇයි? හේතු දෙකක් නිසයි. පළවෙනි හේතුව, එය අප කියෙවූ දේ අවශෝෂණය කරගැනීමටත් ඒ ගැන ගැඹුරු කෘතඥතාවේ හැඟීමක් වර්ධනය කරගැනීමටත් හැකියාව ලබා දෙනවා. දෙවෙනි හේතුව, මෙනෙහි කිරීමෙන් යෙහෝවාව, ඔහුගේ ආශ්චර්යවත් වැඩ සහ අපට දී තිබෙන බලාපොරොත්තුව මතකයේ රඳවා තබනවා. මෙයට උදාහරණයක් සපයන්න පුළුවන්. මෝසෙස් සමඟ ඊජිප්තුවෙන් පිටතට පැමිණි ඊශ්‍රායෙල්වරු යෙහෝවාගේ මහත් බලය විදහාපෙන්වූ ආකාරය තම ඇස්වලින්ම දුටුවා. ඒ වගේම යෙහෝවා ඔවුන්ව ඔවුන්ට උරුම දේශයට ගෙන යද්දි ඔහුගේ ප්‍රේමණීය රැකවරණයත් ඔවුන් අද්දැක්කා. නමුත් ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයට යන මඟෙහි පිහිටි පාළුකරයට පිවිසි විගසම ඇදහිල්ලේ දැඩි ඌනතාවක් පෙන්වමින් පැමිණිලි කිරීමට පටන්ගත්තා. (ගීතාවලිය 78:11-17) ඇයි ඔවුන් එවැනි දෙයක් කළේ?

එම මනුෂ්‍යයන් ඔවුන්ගේ දෙනෙත් යෙහෝවාගෙන් සහ ඔහු දී තිබූ විශිෂ්ට බලාපොරොත්තුවලින් ඉවතට ගෙන තමන්ට ක්ෂණිකව ලබාගත හැකි සැප පහසුකම් හා මාංසික දේවල් වෙතට යොමු කළා. ඔවුන් ආශ්චර්යවත් ලකුණු තම ඇස්වලින්ම දැක තිබුණත් බොහෝ ඊශ්‍රායෙල්වරු නොඇදහිලිකාර පැමිණිලි කරන්නන් බවට පත් වුණා. “ඔවුහු [යෙහෝවාගේ] ක්‍රියා වහාම සිහි නැති” කළෝය කියා ගීතාවලිය 106:13හි සඳහන් වෙනවා. සමාව දිය නොහැකි එම නොසැලකිලිමත්කම නිසා එම පරම්පරාවට පොරොන්දු දේශයට ඇතුල් වීමට ලැබුණේ නැහැ.

එමනිසා ශුද්ධ ලියවිල්ල හෝ බයිබල් අධ්‍යයන ආධාරක පොත් පත් කියවන විට ඔබ කියෙවූ දෙය මෙනෙහි කිරීමට කාලය ගන්න. එවැනි ආවර්ජනය කිරීමක් ඔබේ ආත්මික තත්වය යහපත්ව තබාගැනීමට සහ එහි වර්ධනයට අත්‍යවශ්‍යයි. උදාහරණයකට කලින් කොටසක් උපුටා දක්වා තිබෙන ගීතාවලිය 106 කියවන විට යෙහෝවාගේ ගුණාංග මෙනෙහි කරන්න. ඔහු ඊශ්‍රායෙල් ජාතිය සමඟ කොතරම් ඉවසිලිවන්තව හා දයානුකම්පිතව කටයුතු කළාද කියා නිරීක්ෂණය කරන්න. ඔවුන්ට පොරොන්දු දේශයට යෑම සඳහා කළ හැකි සෑම දෙයක්ම ඔහු කළ ආකාරය වෙතට අවධානය යොමු කරන්න. දිගින් දිගටම ඔවුන් යෙහෝවාට විරුද්ධව කැරලිගැසූ ආකාරයත් සැලකිල්ලට ගන්න. සිත් පිත් නැති අගය නොකරන සෙනඟක් විසින් යෙහෝවාගේ දයාව හා ඉවසීම අන්තයටම පරීක්ෂා කරනු ලැබූ විට ඔහුට දැනුණ හිත් වේදනාව හා දුක ගැන සිතා බලන්න. තවදුරටත් යුක්තිය වෙනුවෙන් පීනෙහාස් ගත් ස්ථිර, අභීත ක්‍රියාමාර්ගය ගැන සඳහන් වන ගීතා 106:30වන හා 31වන පද මෙනෙහි කිරීමෙන් යෙහෝවා තම පක්ෂපාත අයව අමතක කරන්නේ නැති බවටත් ඔවුන්ට බොහෝ සෙයින් ආශීර්වාද කරන බවටත් අප තුළ නිසැකකමක් ඇති වෙනවා.

බයිබල් ප්‍රතිපත්ති ඔබේ ජීවිතයට අදාළ කරගන්න. අප බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කරන විට යෙහෝවාගේ උපදෙස් අපගේ ජීවිතයේ සාර්ථකත්වයට දායක වෙන බව අප දකිනවා. හිතෝපදේශ 3:5, 6හි සඳහන් වන්නේ මෙවැන්නක්. “ඔබේම නුවණෙහි නොපිහිටා, ඔබේ මුළු සිතින් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න. ඔබේ සියලු මාර්ගවලදී ඔහුව සලකන්න, එවිට ඔහු ඔබේ මාවත් සමතලා කරනවා ඇත.” බොහෝ පුද්ගලයන්ගේ දුරාචාර හැසිරීම නිසා මානසිකව, චිත්තවේගීයව සහ ශාරීරිකව ඔවුන්ට විඳින්න සිදු වන දුර්විපාක ගැන මොහොතකට සිතන්න. එවැනි පුද්ගලයන් සුළු මොහොතකට ලැබෙන වින්දනයක් නිසා අවුරුදු ගණන් නැතහොත් ජීවිතාන්තය දක්වා අයහපත් ප්‍රතිඵල විඳිනවා. ඊට හාත්පසින් වෙනස්ව ‘පටු පාර’ දිගේ යන අය නව ලොවේ ජීවිතය සම්බන්ධයෙන් ආස්වාදයක් දැන් අද්දකිනවා. මෙය ඔවුන්ට ජීවනයට යන මාර්ගයෙහි දිගටම ගමන් කිරීමට මහත් රුකුලක්.—මතෙව් 7:13, 14; ගීතාවලිය 34:8.

බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීම අභියෝගයක් විය හැකියි. සමහර දුෂ්කර තත්වයන්වලදී ශුද්ධ ලියවිල්ලට එකඟ නැති විසඳුම්වලින් ඉක්මන් සහනයක් ලබා දෙන බව පෙනෙන්න පුළුවන්. උදාහරණයකට, මුදල් ගැටලුවක් තිබෙන විට රාජ්‍ය කටයුතු කෙරෙහි දක්වන උනන්දුව දෙවන තැනට දැමීමට පෙලඹීමක් ඇති විය හැකියි. එසේ නමුත් ඇදහිල්ලෙන් කටයුතු කරන හා තමන්ගේ ආත්මික දෘෂ්ටිය නිවැරදිව නාභිගත කර තිබෙන අයට ඇති නිසැකකම නම්, අවසානයේදී “දෙවි ඉදිරියෙහි භය වෙන්නන්ට යහපත සිද්ධ වෙන” බවයි. (දේශනාකාරයා 8:12) යම් ක්‍රිස්තියානියෙකුට ඉඳ හිට අතිරේක කාලයක් වැඩ කිරීමට සිදු විය හැකියි. නමුත් ඔහු, ආත්මික දේවල් සුළු කරමින් ඒවා වැදගත්කමක් නැති ඒවා මෙන් පසෙක දැමූ ඒසව් මෙන් නොවිය යුතුයි.—උත්පත්ති 25:34; හෙබ්‍රෙව් 12:16.

ක්‍රිස්තියානීන් වශයෙන් අපට තිබෙන වගකීම් යේසුස් පැහැදිලිව පෙන්වා දුන්නා. අප ‘පළමුකොට රාජ්‍යයද දෙවිගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න’ අවශ්‍යයි. (මතෙව් 6:33, NW) අප එසේ කරනවා නම් යෙහෝවා අපට අවශ්‍ය ද්‍රව්‍යමය දේවල් ලබා දෙමින් පියෙකු බඳු තම ආදරය අපට පෙන්වයි. ඔහු සපයනවා කියා පොරොන්දු වන දේවල් ගැන අප අනවශ්‍ය ලෙස කරදර වෙනවාට ඔහු ඇත්තෙන්ම කැමති නැහැ. එවැනි අනවශ්‍ය කාන්සාවක් ආත්මික ග්ලෝකොමා රෝගය වගේ විය හැකියි. නොසලකාහැරියොත්, ද්‍රව්‍යමය දේ පමණක් දැකිය හැකි ලෙසින් ක්‍රමක්‍රමයෙන් අපගේ පෙනීමේ පරාසය අඩු වෙන්නට පුළුවන්. අවසානයේදී සිදු වන්නේ අප ආත්මික අන්ධභාවයට පත්වීමයි. අප එම තත්වයේම දිගටම සිටියොත් යෙහෝවාගේ දවස “උගුලක්” මෙන් අප පිට පැමිණෙයි. එය මොන තරම් දුක්ඛිත අවසානයක් වේවිද!—ලූක් 21:34-36, NW.

යෝෂුවා මෙන් දෙනෙත් යොමු කරන්න

අනෙකුත් වගකීම් නිසි ස්ථානවල තබා අපගේ අනගි රාජ්‍ය බලාපොරොත්තුව මත දෙනෙත් යොමු කරමු. අතපසු නොකර පුරුද්දක් වශයෙන් පාඩම් කිරීමෙන්, මෙනෙහි කිරීමෙන්, බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් යෝෂුවා කළාක් මෙන් අපගේ බලාපොරොත්තුව ගැන නිසැකකමක් තබාගත හැකියි. ඊශ්‍රායෙල්වරුන්ව පොරොන්දු දේශයට ගෙනා පසු ඔහු මෙසේ පැවසුවා. “ඔබේ දෙවි වූ යෙහෝවා ඔබ ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත් නෑරුණු බව ඔබගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් ඔබ දන්නහුය. එයින් එක දෙයක්වත් අත් නෑරී සියල්ලම ඔබට පැමුණුණේය.”—යෝෂුවා 23:14.

රාජ්‍ය බලාපොරොත්තුව ඔබට නව ජීවයක් ලබා දේවා! එය ඔබේ සිතුවිලි, හැඟීම්, තීරණ සහ ක්‍රියාකාරකම් තුළින් පිළිබිඹු වන විට ඔබ තුළ ප්‍රීතියක් ඇති වේවා!—හිතෝපදේශ 15:15; රෝම 12:12.

[21වන පිටුවේ පින්තූරය]

නව ලොවට ඇතුල් වීමට ඔබට අවස්ථාව ලැබෙයිද යන්න ගැන කවදා හෝ ඔබට යම් සැකයන් ඇති වී තිබෙනවාද?

[22වන පිටුවේ පින්තූරය]

බයිබලය පාඩම් කරන විට මෙනෙහි කිරීම ඉතා වැදගත්

[23වන පිටුවේ පින්තූර]

රාජ්‍ය වැඩකටයුතු කෙරෙහි ඔබේ දෙනෙත් යොමු කරගෙන සිටින්න