Skip to content

පටුනට යන්න

ජීවිතයේ වෙනස්කම් සිදු වන විට දෙවිගේ ආත්මය කෙරෙහි රඳා සිටින්න

ජීවිතයේ වෙනස්කම් සිදු වන විට දෙවිගේ ආත්මය කෙරෙහි රඳා සිටින්න

ජීවිතයේ වෙනස්කම් සිදු වන විට දෙවිගේ ආත්මය කෙරෙහි රඳා සිටින්න

“දෙවි ඉදිරියෙහි අනුමැතිය ලැබූ තැනැත්තෙකු මෙන් පෙනී සිටීමට හැකි උපරිමය කරන්න.”—2 තිමෝති 2:15, NW.

1. අපගේ ආත්මික ශුභසාධනයට අභියෝග ඇති විය හැක්කේ කිනම් වෙනස් වීම්වලින්ද?

අප අවට තිබෙන ලෝකය දිගින් දිගටම වෙනස් වෙයි. සුවිශේෂ ආකාරයකින් දක්නට ලැබෙන විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුවත් සමඟම සදාචාර සාරධර්ම ඉතා වේගයෙන් පිරිහෙන බව අපි දකින්නෙමු. මීට කලින් ලිපියේ අප සලකා බැලුවාක් මෙන්, ක්‍රිස්තියානීන්, දෙවිට විරෝධය පෑමේ ආකල්පයක් සතු මේ ලෝකයේ ආත්මයට එරෙහි විය යුතුයි. එනමුත් වෙනස් වන්නේ මේ ලෝකය පමණක් නොව, අපිද පුද්ගලයන් වශයෙන්, බොහෝ පැතිවලින් වෙනස් වන්නෙමු. අපි ළමා වියේ සිට වැඩිහිටිභාවයට පත් වන්නෙමු. අපට යම් කලකට ධනය හෝ හොඳ සෞඛ්‍ය තත්වයක් තිබී පසුව නැති වී යා හැකියි. එමෙන්ම අප ආදරය කරන අය කලකට අප සමඟ සිට පසුව ඔවුන්වද අපට අහිමි වී යා හැකියි. එවන් බොහෝ වෙනස් වීම් අපගේ පාලනයෙන් ඔබ්බට තිබෙන අතර, අපගේ ආත්මික ශුභසාධනය කෙරෙහි අලුත් මෙන්ම ඉතා ප්‍රබල අභියෝග ඇති කරලීමට ඒවා හේතුකාරක විය හැකියි.

2. දාවිත්ගේ ජීවිතයේ කිනම් වෙනස් වීම් සිදු වූයේද?

2 යෙස්සේගේ පුත් දාවිත් මෙන්, තම ජීවිතවල අතිවිශාල වෙනස්කම්වලට මුහුණ දෙන්නේ ස්වල්පදෙනෙක්ය. ගොපලු කොලුවෙකු ලෙස අප්‍රසිද්ධ ජීවිතයක් ගත කළ දාවිත්, ජාතික වීරයෙකු බවට විගස පත් වූයේය. පසුව, ඊර්ෂ්‍යාවන්ත රජෙකු විසින් සතෙකුව මරන්න ලුහුබඳින්නාක් මෙන් ඔහුව ලුහුබඳිනු ලැබූ හෙයින් ඔහුට පලා යන්න සිදු විය. ඉන්පසු දාවිත්, රජ කෙනෙකු හා ජයග්‍රාහකයෙකු බවට පත් විය. බරපතළ පාප සිදු කළ නිසා, වේදනාකාරී විපාක විඳගන්නටද ඔහුට සිදු විය. ඔහු මහත් විපත්තිවලට මුහුණ පෑ අතර ඔහුගේ පවුල බෙදී ගියේය. ඔහු මහත් ධනස්කන්ධයක් එක් රැස් කළේය. පසු කාලයේදී මහලු වියේ දුර්වලකම් අද්දැක්කේය. කෙසේවෙතත්, තම ජීවිතය තුළ බොහෝ වෙනස් වීම් සිදු වුවද, දාවිත් තම ජීවිත කාලය පුරාම යෙහෝවා සහ යෙහෝවාගේ ආත්මය කෙරෙහි නිසැකකමක් හා විශ්වාසයක් තැබුවේය. “දෙවි ඉදිරියෙහි අනුමැතිය ලැබූ” පුද්ගලයෙකු වීමට ඔහු තම උපරිමය කළ අතර, දෙවි ඔහුට ආශීර්වාද කළේය. (2 තිමෝති 2:15, NW) අපගේ තත්වයන් දාවිත්ගේ තත්වයන්ට වඩා වෙනස් වුවද, ඔහු තම ජීවිතයේ කාරණා හැසිරෙවූ ආකාරයෙන් අපට යමක් ඉගෙනගත හැකියි. අප අපගේ ජීවිතයේ වෙනස් වීම්වලට මුහුණ දෙන විට, දෙවිගේ ආත්මයේ උපකාරය දිගටම ලබාගන්නා ආකාරය වටහාගැනීමට ඔහුගේ ආදර්ශය අපට උපකාරවත් වෙයි.

දාවිත්ගේ යටහත් පහත්කම—කදිම ආදර්ශයකි

3, 4. දාවිත් ගොපලු කොලුවෙකුව ගත කළ අප්‍රසිද්ධ ජීවිතයේ සිට ජාතික වීරයෙකු බවට පත් වූයේ කෙසේද?

3 යොවුන් වියේදී දාවිත් තමාගේ පවුල තුළ පවා ප්‍රමුඛ කෙනෙක් නොවීය. අනාගතවක්තෘ සාමුවෙල් බෙත්ලෙහෙමට ආ කල, දාවිත්ගේ පියා ඔහුගේ පුතුන් අටදෙනාගෙන් ඔහු හමුවට කැඳෙව්වේ හත්දෙනෙකුවය. ඔහුගේ බාලම පුත් දාවිත්ව බැටළුවන් බලාගැනීමට යවා තිබුණු අතර, ඔහුව කැඳෙව්වේ නැත. එහෙත්, යෙහෝවා ඊශ්‍රායෙලයේ අනාගත රජු වීමට තෝරාගෙන තිබුණේ දාවිත්වය. දාවිත්ව කෙතේ සිට කැඳවනු ලැබිණි. ඊළඟට සිදු වූ දේ ගැන බයිබල් වාර්තාව මෙසේ කියයි. “සාමුවෙල් තෙල් කුළාව රැගෙන ඔහුගේ සහෝදරයන් මැදදී ඔහු [අභිෂේක] කළේය. එදින පටන් යෙහෝවාගේ ආත්මය ආනුභාසම්පන්නව දාවිත් කෙරෙහි පැමිණියේය.” (1 සාමුවෙල් 16:12, 13) දාවිත් තම ජීවිතය පුරාම රඳා සිටියේ එම ආත්මය කෙරෙහිය.

4 වැඩි කල් නොගොස් මේ ගොපලු කොලුවා ජාතික වීරයෙකු බවට පත් විණි. රජුට සේවය කරන්නත් ඔහු ඉදිරියේ සංගීතය වාදනය කරන්නත් ඔහුව කැඳවනු ලැබීය. ඊශ්‍රායෙල් හමුදාවේ පළපුරුදු සොල්දාදුවන් පවා මුහුණ දීමට භයව සිටි ගොලියත් නම් යෝධ සටන්කරුවාව ඔහු මරා දැම්මේය. යුද්ධකාරයන් කෙරෙහි ප්‍රධානියා ලෙස පත් කරනු ලැබූ දාවිත් පිලිස්තිවරුන්ට එරෙහිව සටන් කළේ ඉතා සාර්ථක ප්‍රතිඵල ලබමිනි. ජනයා ඔහුට මහත් ඇලුම්කමක් දක්වන්නට විය. ඔහුව ප්‍රශංසාවට ලක් කරමින් ඔවුහු ගීත රචනා කළහ. මේ සිද්ධීන්වලට පෙර අවස්ථාවක, සාවුල් රජුගේ උපදේශකයෙක් දාවිත්ව විස්තර කොට තිබුණේ, ‘දක්ෂ වීණා වාදකයෙකු’ ලෙස පමණක් නොව, “බලවත් වික්‍රමාන්විත පුරුෂයෙක්ව, යුද්ධකාරයෙක්ව, කතාවෙහි දක්ෂ වූ රූප සම්පන්න වූ කෙනෙක්” හැටියටය.—1 සාමුවෙල් 16:18; 17:23, 24, 45-51; 18:5-7.

5. කුමක් නිසා දාවිත්ට අහංකාර උද්ධච්ච පුද්ගලයෙකු වීමට ඉඩ කඩ තිබුණිද? ඔහු එසේ නොවූ බව අප දන්නේ කෙසේද?

5 දාවිත් හැම දෙයකින්ම වාගේ නොඅඩු වූ කෙනෙක් වූයේය. ඔහු කීර්තිමත්, සටනට දක්ෂ, කඩවසම්, තරුණ, චතුර, සංගීතයට දක්ෂ හා දිව්‍ය අනුමැතිය ඇති කෙනෙක් විය. දකින දකින කාටත් දාවිත් හැම අතින් ආශීර්වාද ලැබූ කෙනෙක් සේ පෙනිණි. මේ ඕනෑම දෙයක් තුළින් ඔහුට අහංකාර උද්ධච්ච කෙනෙකු වීමට ඉඩ කඩ තිබුණද, ඒ එකකින්වත් ඔහු එසේ වූයේ නැත. තම දියණියව විවාහ කරගන්නා ලෙස සාවුල් රජු දාවිත්ට පැවසූ විට දාවිත් දුන් පිළිතුර දෙස බලන්න. අව්‍යාජ වූ යටහත් පහත්කමකින් යුතුව දාවිත්, “රජ්ජුරුවන්ට බෑනා වෙන්ට මම කවුද? මාගේ ජීවිතයවත් ඊශ්‍රායෙල්හි මාගේ පිය වංශයවත් මොකක්දැයි” කීවේය. (1 සාමුවෙල් 18:18) මෙම පාඨය ගැන අදහස් දක්වමින් එක් විශාරදයෙක් කීවේ මෙයයි. “දාවිත් මෙහිදී අදහස් කළේ, ඔහුගේ පෞද්ගලික සුදුසුකම් නිසාවත්, ඔහුගේ සමාජීය පසුබිම නිසාවත්, ඔහුගේ පෙළපත නිසාවත් රජුගේ බෑනා වීමේ ගෞරවය ලබාගැනීමට තමාට යම් පදනමක් ඇතැයි ඔහු කිසි ලෙසකින්වත් නොසිතූ බවයි.”

6. අප යටහත් පහත්කම වගා කළ යුත්තේ මන්ද?

6 දාවිත් යටහත් පහත් පුද්ගලයෙකු වීමට ප්‍රධානතම හේතුව වූයේ, අසම්පූර්ණ මිනිසුන්ට වඩා සෑම අතකින්ම යෙහෝවා අතිශයින් උසස් බව ඔහු පිළිගත් නිසයි. දෙවි මිනිසා ගැන සැලකිල්ලක් දැක්වීම ගැන දාවිත් පුදුම වූයේය. (ගීතාවලිය 144:3) තවද, තමාට යම් උසස් තත්වයක් තිබේ නම්, එසේ තිබෙන්නේ තමාව පෝෂණය කිරීමට, ආරක්ෂා කිරීමට සහ තමාව බලාගැනීමට යෙහෝවා යටහත් පහත් ලෙස ඉදිරිපත් වීම නිසා බවද දාවිත් දැන සිටියේය. (ගීතාවලිය 18:35) අපට එය මොන තරම් කදිම පාඩමක් උගන්වනවාද! අපගේ දක්ෂතා, අප ඉටු කරගෙන තිබෙන දේවල් සහ අප භුක්ති විඳින වරප්‍රසාද නිසා කිසිම විටෙක අප අහංකාර උද්ධච්ච පුද්ගලයන් නොවිය යුතුයි. “ඔබට දෙන ලද දේ හැර ඔබට ඇත්තේ කුමක්ද? ඉතින් එය ඔබට දෙන ලද දෙයක් නම්, ඔබම ලබාගත් දෙයක් ලෙස සලකා පුරසාරම් කියන්නේ ඇයි?” යයි ප්‍රේරිත පාවුල් ලීවේය. (1 කොරින්ති 4:7, NW) දෙවිගේ ශුද්ධාත්මය ඇතුව සිටීම පිණිසත්, ඔහුගේ අනුමැතිය භුක්ති විඳීම පිණිසත් අප යටහත් පහත්කම වගා කොට එය පවත්වාගත යුතුයි.—යාකොබ් 4:6.

‘පළි නොගන්න’

7. සාවුල් රජුව මරා දැමීමට දාවිත්ට උදා වුණේ කිනම් අවස්ථාවක්ද?

7 තමාගේ කීර්තිය ගැන දාවිත්ගේ සිතේ කිසිම අහංකාරකමක් ඇති නොවුවද, එය දෙවිගේ ආත්මය අහිමි කරගෙන සිටි සාවුල් රජු තුළ මිනීමරු ඊර්ෂ්‍යාවක් දාවිත් කෙරෙහි ඇතිවීමට හේතු විය. දාවිත් කිසිදු වරදක් කර නොතිබුණද, තම ජීවිතය බේරාගැනීමට පලා ගිය ඔහු පාළුකරයේ ජීවත් වූයේය. එක් අවස්ථාවක, දාවිත් පිටුපස අත් නෑර ලුහුබැඳ ගිය සාවුල් රජු ගුහාවක් තුළට ඇතුල් වූයේ දාවිත් සහ ඔහුගේ සහචරයන් එහි සැඟවී සිටි බවක් නොදැනගෙනය. මෙය සාවුල්ව මරා දැමීමට දෙවි දුන් අවස්ථාවක් ලෙස ඔවුන්ට පෙනී ගිය බැවින්, මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා මෙන් දාවිත්ගේ මිනිස්සු ඔහුගෙන් උදක්ම ඉල්ලූහ. අඳුරු ගුහාව තුළ සිටිමින්, “මෙන්න, ඔබට හොඳව පෙනෙන ලෙස ඔබේ සතුරාට කරන පිණිස මම ඔබ අතට ඔහු පාවා දෙන්නෙමියි යෙහෝවා කීවේ අද දවස ගැන” යයි ඔවුන් දාවිත්ගේ කනට මුමුණා කියන සැටි අපට සිතින් මවාගන්නට පිළිවන.—1 සාමුවෙල් 24:2-6.

8. දාවිත් පළිගැනීමෙන් තමන්ව වළක්වාගත්තේ මන්ද?

8 සාවුල්ට කිසිදු හානියක් කිරීමට දාවිත් කැමති නොවීය. ඇදහිල්ලෙන් සහ ඉවසීමෙන් කටයුතු කළ හෙතෙම සියලු කාරණා යෙහෝවාට භාර දීමට සතුටු විය. රජු ගුහාවෙන් පිටව ගියායින් පසුව, ඔහුට හඬගැසූ දාවිත් කීවේ මෙයයි. “යෙහෝවා මා සහ ඔබ අතරේ විනිශ්චය කොට මා නිසා ඔබගෙන් පළිගනීවා. මාගේ අත නම් ඔබ පිටට නොපැමිණෙන්නේය.” (1 සාමුවෙල් 24:12) වරද තිබුණේ සාවුල්ගේ අත බව දැන සිටියද, දාවිත් ඔහුගෙන් පළිගත්තේ නැත. දාවිත් සාවුල් ඉදිරිපිටදී හෝ වෙන අය සමඟ සිටිද්දී හෝ සාවුල්ට අපහාසාත්මක වන අන්දමින් කතා කළේද නැත. වෙනත් අවස්ථා කිහිපයකදීම, දාවිත් බලය තමන්ගේම අතට ගැනීමෙන් වැළකී සිටියේය. ඒ වෙනුවට, ඔහු කාරණා නිවැරදි කිරීමට යෙහෝවාට භාර දී ඔහු කෙරෙහි රඳා සිටියේය.—1 සාමුවෙල් 25:32-34; 26:10, 11.

9. අප විරුද්ධවාදිකමක් හෝ පීඩාවක් අද්දකිනවා නම්, එකට එක නොකළ යුත්තේ මන්ද?

9 දාවිත් මෙන්, ඔබද යම් යම් අසීරු තත්වයන්ට මුහුණ දෙන අවස්ථා උද්ගත විය හැක. සමහරවිට ඔබට ඔබේ පාසැලේ ළමුන්ගෙන්, රැකියා ස්ථානයේ ඔබ සමඟ වැඩ කරන අයගෙන්, පවුලේ සාමාජිකයන්ගෙන් හෝ ඔබගේ ඇදහිල්ල නොදරන අයගෙන් විරුද්ධවාදිකම් හෝ පීඩා පැමිණිය හැකියි. එකට එක කරන්න එපා. යෙහෝවා කෙරෙහි රඳා සිටින්න. ඔහුගේ ශුද්ධාත්මයෙන් ඔබට උපකාර කරන ලෙස ඔහුගෙන් අයැදින්න. සමහරවිට ඔබගේ හොඳ හැසිරීම දැක, ඒ නොඇදහිලිවන්තයන් පැහැදී ඇදහිලිවන්තයන් බවට පත්වීමට ඉඩ තිබේ. (1 පේතෘස් 3:1, 2) කුමක් වුවත්, යෙහෝවා ඔබගේ තත්වය දකින බවත්, ඔහුගේ නියමිත කාලයේදී ඒ ගැන යමක් කරන බවටත් සහතික වෙන්න. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “ප්‍රේමණීය තැනැත්තෙනි, පළි නොගෙන දෙවිගේ උදහසට ඉඩහරින්න. මන්ද, ‘පළිගැනීම මාගේය. මම විපාක දෙන්නෙමි කියා යෙහෝවා කියන්නේය’ යි ලියා තිබේ.”—රෝම 12:19, NW.

හික්මවීම පිළිගන්න

10. දාවිත් පාපයට වැටුණේ කෙසේද? ඔහු එය සැඟවීමට උත්සාහ කළේ කෙසේද?

10 වසර ගණනාවක් ගත විණි. දාවිත් ජනතාවගේ හිතාදරය දිනාගත් උදාර රජෙකු බවට පත් විය. ඔහු කැපීපෙනෙන අයුරකින් විශ්වාසවන්ත ජීවිතයක් ගත කළ බව මනාව පැහැදිලිය. ඒත් සමඟම යෙහෝවාව ප්‍රශංසාවට ලක් කරමින් ඔහු ලියූ අලංකාර ගීතිකා දෙස බලන කෙනෙකුට, මේ නම් කිසිම විටෙකත් බරපතළ පාපයකට වැටෙන්නේ නැති මිනිසෙකුය යන හැඟීම පහසුවෙන් ඇති විය හැකියි. එහෙත්, ඔහු පාපයට වැටුණේය. එක් දවසක්, දාවිත් රජු තමාගේ රජවාසලේ පියස්සේ සිට, එක්තරා ශෝභමාන ස්ත්‍රියක් ස්නානය කරනවා දිටීය. ඔහු ඇය කවුද කියා විමසා බැලීය. ඇය බැත්-ෂෙබා නම් තැනැත්තියක් බවත්, ඇගේ ස්වාමිපුරුෂයා වූ උරියා යුද්ධයට ගොස් සිටි බවත් දැනගත් විට, දාවිත් ඇයව ගෙන්වාගෙන ඇය සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීය. පසුව, ඇය ගැබ්ගෙන සිටි බව ඔහුට සැල විණි. මෙම කාරණය හෙළි වුණොත් එය මොන තරම් ලජ්ජාවක්ද! මෝසෙස්ගේ නීතිය යටතේ, පරදාර සේවනය මරණ දණ්ඩනය හිමි වන බරපතළ පාපයක් විණි. සමහරවිට මේ පාපය සඟවාගන්නට හැකියයි රජු සිතුවා විය හැකියි. මේ නිසා, යුද්ධයට ගිය හමුදාව වෙතට පණිවුඩයක් යවා යෙරුසලමට නැවත පැමිණෙන මෙන් ඔහු උරියාට අණ කළේය. උරියා බැත්-ෂෙබා සමඟ රැයක් ගත කරනු ඇතැයි දාවිත් බලාපොරොත්තු වුවද, එය එසේ වුණේ නැත. දැන් මහත් සේ අපේක්ෂා භංගත්වයට පැමිණි දාවිත් නැවතත් උරියාව යුද්ධයට යැව්වේ හමුදා ප්‍රධානියා වන යෝවාබ්ට ලිපියක් ඔහු අත යවමිනි. මේ ලිපියේ සඳහන් වුණේ උරියාව මරණයට පත් වන පරිද්දෙන් ඔහුව සටන ඉතා දරුණුව තිබෙන තැන පෙරමුණට යැවීමට කළ නියෝගයකි. යෝවාබ් එම නියෝගය ක්‍රියාත්මක කළ අතර, උරියා මරණයට පත් විය. බැත්-ෂෙබා චාරිත්‍රානුකූලව තමාගේ වැලපීමේ කාලය අවසන් කළායින් පසුව, දාවිත් ඇයව භාර්යාව කොට පාවාගත්තේය.—2 සාමුවෙල් 11:1-27.

11. නාතාන් දාවිත්ට පැවසූ කතන්දරය කුමක්ද? දාවිත් ඊට ප්‍රතික්‍රියා කළේ කෙසේද?

11 මේ උපක්‍රමය සාර්ථක වූ බවක් පෙනෙන්නට තිබිණි. එහෙත්, මේ මුළු කාරණය යෙහෝවා ඉදිරියේ වැස්මක් නැතුව නිරාවරණය වී තිබූ බවක් දාවිත් දැනගත යුතුව තිබුණි. (හෙබ්‍රෙව් 4:13) මාස ගණනාවක් ගත විය. දරුවා ඉපදිණි. ඉන්පසුව, දෙවිගේ මඟ පෙන්වීම යටතේ නාතාන් නම් අනාගතවක්තෘවරයා දාවිත් වෙතට ගියේය. රජු ඉදිරියට ගිය අනාගතවක්තෘවරයා එක්තරා තත්වයක් හා සම්බන්ධ කතන්දරයක් කියන්නට විය. එය නම්, බොහෝ බැටළුවන් සිටිය එක්තරා ධනවතෙක්, දුප්පත් මිනිසෙකු විසින් ඉතා ආදරයෙන් හදා වඩා ගනු ලැබුවාවූ එකම බැටළු පැටවාව රැගෙන ඝාතනය කිරීම ගැනයි. මෙහි සිදු වූ අයුක්තිය ගැන දාවිත්ට වැටහුණත්, මේ කතන්දරයේ නියම අරුත, මතුපිටින් පෙනෙන්න තිබූ අරුතට වඩා වෙනස් එකක්යයි ඔහු කිසිසේත් සිතුවේ නැත. එම ධනවත් මිනිසාට විරුද්ධව දාවිත් ඉතා ක්ෂණික තීන්දුවක් දුන්නේය. කෝපයෙන් වියරු වැටුණු දාවිත්, නාතාන්ට මෙසේ කීවේය. “මේක කළ මිනිහා මැරුම් කෑ යුතුය.”—2 සාමුවෙල් 12:1-6.

12. යෙහෝවා දාවිත්ට විරුද්ධව දුන් විනිශ්චය කුමක්ද?

12 “ඒ මනුෂ්‍යයා ඔබය” යන්න අනාගතවක්තෘවරයාගේ පිළිතුර විය. දාවිත් තමාටම විරුද්ධව විනිශ්චයක් දී තිබිණි. දාවිත්ගේ කෝපය, විගස දැඩි ලජ්ජාවකටත් ගැඹුරු ශෝකයකටත් හැරුණු බවට නම් සැකයක් නැත. යෙහෝවා වෙතින් පැමිණෙන්නාවූ, ගැලවී යා නොහැකි විනිශ්චය නාතාන් විසින් ප්‍රකාශ කරනු ලබද්දී දාවිත් ඒ දෙස තුෂ්ණීම්භූතව බලා සිටියේ කිසිවක් කරකියාගත නොහැකිවයි. ඔහුට කිසි අස්වැසිල්ලක් නම් ලැබුණේ නැත. නපුරුව තිබුණු දේ කිරීමෙන් ඔහු යෙහෝවාගේ වචනය සුළු කොට තිබිණි. ඔහු සතුරාගේ කඩුවෙන් උරියාව මරණයට පත් කර තිබුණා නොවේද? එසේනම්, දාවිත්ගේ ගෘහයෙන් කඩුව පහ වී නොයනු ඇත. ඔහු උරියාගේ භාර්යාවව රහසින් රැගෙන තිබුණා නොවේද? දැන් ඒ හා සමානම විපතකට ඔහුට මුහුණ පෑමට සිදු වෙන්නේ රහසින් නොව, ප්‍රසිද්ධියේය.—2 සාමුවෙල් 12:7-12.

13. දාවිත් යෙහෝවා දුන් හික්මවීමට ප්‍රතික්‍රියා කළේ කෙසේද?

13 දාවිත් තම වරද පිළිගැනීම හොඳ ක්‍රියාවක් බව අප පිළිගත යුතුයි. ඔහු නාතාන් නම් අනාගතවක්තෘවරයා වෙතට කඩා පැන්නේ නැත. ඔහු වෙනත් අයට දොස් කිව්වේවත්, තමා කළ දේවලින් නිදහස් වීමට නිදහසට කරුණු ඉදිරිපත් කළේවත් නැත. ඔහුගේ පාප නාතාන් විසින් පැහැදිලිව පෙන්වා දුන්නායින් පසුව, තමා ඒ සඳහා වග කිව යුතු බව දාවිත් පිළිගත්තේය. “මම යෙහෝවාට විරුද්ධව පව් කළෙමි” යි ඔහු කීවේය. (2 සාමුවෙල් 12:13) ඔහුගේ වරද ගැන ඔහු දැඩි සේ ශෝක වූ ආකාරය හා ඔහුගේ පසුතැවිල්ලේ ගැඹුර ගැන ගීතාවලිය 51 පරිච්ඡේදයෙන් පැහැදිලි වෙයි. ඔහු යෙහෝවාගෙන් අයැද සිටියේ මෙසේය. “ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව. ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව.” යෙහෝවා දයාන්විත නිසා, පාපය හේතුවෙන් “බිඳුණාවූ තැළුණාවූ සිතක්” ඔහු සුළු කොට නොතකන බව දාවිත් විශ්වාස කළේය. (ගීතාවලිය 51:11, 17) දාවිත් දිගටම රඳා සිටියේ දෙවිගේ ආත්මය කෙරෙහිය. දාවිත්ගේ පාපයේ දරුණු ඵලවිපාකවලින් යෙහෝවා ඔහුව ආරක්ෂා නොකළද, ඔහුට සමාව දුන්නේය.

14. යෙහෝවා දෙන හික්මවීමට අප ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේද?

14 අප සියලුදෙනාම අසම්පූර්ණය. එබැවින් අපි සියල්ලෝම පව් කරන්නෙමු. (රෝම 3:23) ඇතැම් අවස්ථාවලදී අපද දාවිත් මෙන් බරපතළ පව්වලට ඇද වැටෙන්නට පිළිවන. ප්‍රේමණීය පියෙක් තම දරුවන්ව හික්මවන්නාක් මෙන්, යෙහෝවා තමන්ට සේවය කිරීමට උත්සාහ කරන අයගේ වැරදි හරිගස්වයි. හික්මවීම ප්‍රයෝජනදායක යමක් වුවද එය පිළිගැනීම පහසු දෙයක් නොවේ. ඇතැම් අවස්ථාවලදී, එය “ශෝකයට” හේතුවක් වන බව නොකිවමනාය. (හෙබ්‍රෙව් 12:6, 11) එහෙත්, අප “හික්මවීම පිළිගන්නවා” නම්, අපට යෙහෝවා සමඟ සමාදාන වීමට පිළිවන. (හිතෝපදේශ 8:33, NW) යෙහෝවාගේ ආත්මය අප වෙත නිරතුරුව ගලා ඒමේ ආශීර්වාදය භුක්ති විඳීමට නම්, අපට ලැබෙන හික්මවීම් පිළිගත යුතුය. දෙවිගේ අනුමැතිය දිනාගැනීමට ක්‍රියා කළ යුතුය.

අස්ථිර ධනය කෙරෙහි බලාපොරොත්තු නොතබන්න

15. (අ) ඇතැම් අය තමන්ගේ ධනයෙන් කරන්නේ මොනවාද? (ආ) දාවිත් තමාගේ ධනය පාවිච්චි කිරීමට ආශා කළේ කුමක් සඳහාද?

15 දාවිත් නම්බුකාර පවුල් පෙළපතකින් පැමිණි බවටවත් ඔහුගේ පවුලේ අය ධනවතුන් බවටවත් කිසිදු ඇඟවීමක් කර නැත. එහෙත්, ඔහුගේ රාජ්‍ය පාලන සමයේදී දාවිත් මහත් ධන සම්භාරයක් එක් රැස් කරගත්තේය. ධනවතුන් අතරින් බොහෝදෙනෙක් තමුන්ගේ ධනය රැස් කර තබාගනිති. එසේත් නැත්නම් එය තව තවත් වැඩි කරගැනීමට අර අදිති. ඒත් නැත්නම් තමා වෙනුවෙන් පමණක් ඒවා වියදම් කරන බවත් ඔබ දන්නෙහිය. තවත් අය තමන්ගේ මුදල් පාවිච්චි කරන්නේ තමන්ටම ප්‍රශංසාව ලබාගැනීමටයි. (මතෙව් 6:2) දාවිත් ඔහුගේ ධනය වැය කළේ වෙනස් ආකාරයකටයි. ඔහුගේ දැඩි ආශාව වූයේ යෙහෝවාට ගෞරව කිරීමයි. යෙරුසලමේ “තිර ඇතුළේ වාසය කරන” ගිවිසුම් පෙට්ටිය තැබීම සඳහා යෙහෝවාට මාලිගාවක් සෑදීමට වූ තම ආශාව දාවිත් නාතාන්ට ප්‍රකාශ කළේය. යෙහෝවා දාවිත්ගේ මේ අදහස ගැන සතුටු වුවද දේවමාලිගාව ඉදි කිරීම කරන්නේ දාවිත්ගේ පුත් සලමොන් බව යෙහෝවා නාතාන් මාර්ගයෙන් දාවිත්ට පැවසීය.—2 සාමුවෙල් 7:1, 2, 12, 13.

16. දේවමාලිගාව ඉදි කිරීම සඳහා දාවිත් සූදානම් කළේ මොනවාද?

16 දාවිත් මෙම මහත් ඉදි කිරීම් ව්‍යාපෘතියට යොදාගැනීම පිණිස අමුද්‍රව්‍ය එකතු කළේය. දාවිත් සලමොන්ට කීවේ මෙසේයි. “යෙහෝවාගේ ගෘහයට රන් තලෙන්ත ලක්ෂයකුත් රිදී තලෙන්ත දසලක්ෂයකුත් ගණන් නැති තරම් පිත්තලත් යකඩත් සූදානම් කළෙමි. ඒවා අතිශයින් බොහෝය. ඒ ඇර ලීද ගල්ද සූදානම් කළෙමි. ඒවාට තව එකතු කරන්ට ඔබට පුළුවන.” ඔහු තමාගේ පෞද්ගලික ධනයෙන්, රන් තලෙන්ත 3,000ක්ද, රිදී තලෙන්ත 7,000ක්ද සම්මාදම් කළේය. * (1 ලේකම් 22:14; 29:3, 4) දාවිත් නොමසුරු ලෙස දුන්නේ පෙනුමට නොවේ. එය යෙහෝවා දෙවි කෙරෙහි ඔහු තුළ වූ ඇදහිල්ල සහ කැපවීම පෙන්නුම් කිරීමක් විය. තමන්ට ධනය ලැබුණේ කාගෙන්ද කියා වටහාගනිමින් ඔහු යෙහෝවාට කීවේ මෙසේයි. “සියල්ලම පැමිණෙන්නේ ඔබගෙන්ය. ඔබගේම දෙයින් අපි ඔබට දුනිමු.” (1 ලේකම් 29:14) පවිත්‍ර නමස්කාරය මුදුන්පත් කිරීම සඳහා තමාට කළ හැකි සියල්ලම කිරීමට දාවිත්ව පෙලඹවූයේ ඔහුගේ ත්‍යාගශීලී සිතයි.

17. පළමුවෙනි තිමෝති 6:17-19හි සඳහන් උපදෙස ධනවතුන්ට මෙන්ම දිලිඳුන්ටද අදාළ වන්නේ කෙසේද?

17 ඒ හා සමානව අපිද අපගේ ද්‍රව්‍යමය වස්තූන් යහපත්කම් කිරීමට පාවිච්චි කරමු. ද්‍රව්‍යවාදී ජීවන රටාවක් ලුහුබඳිනවා වෙනුවට, දෙවිගේ අනුමැතිය දිනාගැනීමට උත්සාහ කිරීම වඩාත් යහපති. එයයි සැබෑ ප්‍රඥාවේ සහ සන්තෝෂයේ මාර්ගය. පාවුල් ලීවේ මෙසේයි. “උඩඟු නොවී, අස්ථිර ධනය කෙරෙහි නොව, භුක්ති විඳීම සඳහා අපට බහුල ලෙස සියල්ල ලබා දෙන දෙවි කෙරෙහි ඔවුන්ගේ බලාපොරොත්තුව තබන ලෙස, දැන් පවතින සමාජ ක්‍රමයෙහි සිටින ධනවතුන්ට අණ කරන්න. එමෙන්ම යහපත්කම් කිරීමටත්, යහපත් ක්‍රියාවලින් පොහොසත්ව සිටීමටත්, ත්‍යාගශීලී වීමටත්, බෙදාගැනීමට සූදානම්ව සිටීමටත් අණ කරන්න. එසේ කිරීමෙන් සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමට හැකි වන ලෙස අනාගතය සඳහා හොඳ අත්තිවාරමක් දමාගෙන, එය වස්තුවක් මෙන් සුරක්ෂිතව රැකගැනීමට ඔවුන්ට හැකි වනු ඇත.” (1 තිමෝති 6:17-19, NW) අපගේ ආර්ථික තත්වය කුමක් වුවත්, අපි දෙවිගේ ආත්මය කෙරෙහි රඳා සිට, ‘දෙවි ඉදිරියෙහි පොහොසතුන්’ බවට පත් කරවන ජීවන රටාවක් අනුගමනය කරමු. (ලූක් 12:21, NW) අපගේ ප්‍රේමණීය ස්වර්ගික පියාණන් සමඟ අනුමැතිය ලත් ස්ථාවරයක් පවත්වාගෙන යෑම තරම් වෙන කිසිම දෙයක් වටින්නේ නැත.

දෙවි ඉදිරියෙහි අනුමැතිය ලැබූ තැනැත්තෙකු මෙන් පෙනී සිටින්න

18. දාවිත් ක්‍රිස්තියානීන් උදෙසා කදිම ආදර්ශයක් තැබුවේ කිනම් ආකාරයෙන්ද?

18 සිය ජීවිතය පුරාම දාවිත් උත්සාහ කළේ යෙහෝවාගේ අනුමැතිය දිනාගැනීමටයි. එක් ගීතයකදී ඔහු පැවසුවේ මෙසේයි. “දෙවි, මට කරුණා කළ මැනව, මට කරුණා කළ මැනව, මක්නිසාද මාගේ ආත්මය ඔබ සරණ කොට ගනියි.” (ගීතාවලිය 57:1) යෙහෝවා කෙරෙහි ඔහු තැබූ විශ්වාසය නිෂ්ඵල වූයේ නැත. ඔහු මහලු වූ විට, ඔහු “වයසින් පූර්ණ” වී සිටියේය. (1 ලේකම් 23:1) දාවිත් බරපතළ වැරදි කළද, කැපීපෙනෙන ඇදහිල්ලක් විදහා පෑ, දෙවිගේ බොහෝ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු ලෙසට ඔහුව සිහි කෙරේ.—හෙබ්‍රෙව් 11:32.

19. අපට දෙවි ඉදිරියෙහි අනුමැතිය ලැබූ තැනැත්තෙකු මෙන් පෙනී සිටීමට හැකි වන්නේ කෙසේද?

19 ඔබේ ජීවිතයේ වෙනස් වීම්වලට මුහුණ දෙන විට, යෙහෝවා දාවිත්ව දරාගත් බවත්, ශක්තිමත් කළ බවත්, ඔහුව නිවැරදි කළ බවත්, ඔබ සම්බන්ධයෙන්ද එසේ කිරීමට ඔහුට හැකි බවත් මතක තබාගන්න. දාවිත් මෙන්, ප්‍රේරිත පාවුල්ද ජීවිතයේ බොහෝ වෙනස් වීම්වලට මුහුණ දුන්නේය. එහෙත්, ඔහුද ඇදහිලිවන්තව සිටියේ දෙවිගේ ආත්මය කෙරෙහි රඳා සිටිමිනි. ඔහු මෙසේ ලීවේය. “මට බලය දෙන තැනැත්තාගෙන් සියලු දේ සඳහා මට ශක්තිය ලැබේ.” (ෆිලිප්පි 4:12, 13, NW) අප යෙහෝවා කෙරෙහි රඳා සිටිනවා නම්, සාර්ථක වීමට ඔහු අපටත් උපකාර කරනවා ඇත. ඔහුට වුවමනා වන්නේද අප සාර්ථක වෙනවා දැකීමටය. අප ඔහු කියන දේ පිළිපදිනවා නම්, ඔහුට ළං වෙනවා නම්, ඔහුගේ කැමැත්ත කිරීමට ඔහු අපට ශක්තිය දානය කරනවා ඇත. තවද අපි දෙවිගේ ආත්මය කෙරෙහි දිගටම රඳා සිටිමු නම්, අපට දැනුත් සදහටමත් ‘දෙවි ඉදිරියෙහි අනුමැතිය ලැබූ තැනැත්තෙකු මෙන්’ පෙනී සිටීමට හැකි වේවි.—2 තිමෝති 2:15, NW.

[පාදසටහන]

^ 16 ඡේ. දාවිත් කළ සම්මාදම්වල වටිනාකම, මේ අමුද්‍රව්‍යවල වත්මන් වටිනාකමින් ගණන් බලද්දී, අමෙරිකානු ඩොලර් 1,20,00,00,000ක් පමණ වෙයි.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• අපට අහංකාරකමින් වැළකී සිටිය හැක්කේ කෙසේද?

• අප පළි නොගත යුත්තේ මන්ද?

• හික්මවීම ගැන අපට තිබිය යුතු දෘෂ්ටිය කුමක්ද?

• ධනය කෙරෙහි නොව දෙවි කෙරෙහි විශ්වාසය තැබිය යුත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16, 17වන පිටුවේ පින්තූරය]

දාවිත් දෙවිගේ ආත්මය කෙරෙහි රඳා සිට දිව්‍ය අනුමැතිය දිනාගන්න උත්සාහ කළේය. ඔබත් එසේ කරමින් සිටිනවාද?

[18වන පිටුවේ පින්තූරය]

“සියල්ලම පැමිණෙන්නේ ඔබගෙන්ය. ඔබගේම දෙයින් අපි ඔබට දුනිමු”