Skip to content

පටුනට යන්න

රැකියා ස්ථානවලට ගොස් මිනිසුන්ව හමුවීම

රැකියා ස්ථානවලට ගොස් මිනිසුන්ව හමුවීම

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

රැකියා ස්ථානවලට ගොස් මිනිසුන්ව හමුවීම

මතෙව්, පේතෘස්, අන්දෘ, යාකොබ් සහ යොහන් යන ප්‍රේරිතයන් සම්බන්ධයෙන් පොදු වූ දෙයක් ඔබ දන්නවාද? ඔවුන් සියලුදෙනාම යේසුස් විසින් කැඳවනු ලැබුවේ තම රැකියා ස්ථානවල සිටිද්දීයි. “මා අනුව එන්න” කියා යේසුස් ඔවුන්ට ආරාධනා කරද්දී, පේතෘස්, අන්දෘ, යාකොබ් සහ යොහන් සිටියේ තම ධීවර කර්මාන්තයේ යෙදෙමිනුයි. යේසුස්ගේ ගෝලයෙකු වීමට ආරාධනා ලැබූ විට මතෙව් හිටියේ බදු එකතු කිරීමේ කාර්යාලයේයි.—මතෙව් 4:18-21, NW; 9:9.

තම රැකියා ස්ථානවල සිටින මිනිසුන්ට සාක්ෂි දැරීමෙන් හොඳ ප්‍රතිඵල නෙළාගත හැකියි. මෙය තේරුම්ගත් ජපානයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේවසේවයේ මෙම අංගයේ හවුල් වීම සඳහා මෑතකදී සාමූහික ප්‍රයත්නයක් දරනු ලැබුවා. ප්‍රතිඵල කුමක් වූවාද? මාස කිහිපයකින් නැවත බැලීම් දහස් ගණන් කරනු ලැබූ අතර, බයිබල් පාඩම් 250ක් පමණ පටන්ගැනීමට හැකි වුණා. මතු දැක්වෙන අද්දැකීම් සලකා බලන්න.

ටෝකියෝවේ සිටින පූර්ණ කාලීන දේවසේවකයෙකුට අවන්හලක කළමනාකරුවෙකුව මුණගැහුණා. මොහු වසර 30කට පමණ පෙර පාසැල් යන කාලයේදී සාක්ෂිකරුවෙක් සමඟ කතා කර තිබුණා. ඒ කාලයේදී ඔහු සවන් දුන් හැම දෙයක්ම ඔහුට නොවැටහුණත්, බයිබලය ගැන ඔහුට උනන්දුවක් ඇති වෙලා තිබුණා. දැන් ඔහුගේ උනන්දුව යළි පුබුදුවාලනු ලැබූ නිසා සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම * නමැති පොතෙන් බයිබල් පාඩමක් කරන්න ඔහු කැමැත්තෙන්ම එකඟ වුණා. ඊට අමතරව, හැමදාම නිදාගැනීමට පෙර බයිබලය කියවීමේ වැඩසටහනක්ද ඔහු ඇරඹුවා.

විශේෂ පුරෝගාමී දේවසේවිකාවක් කාර්යාලයකට ගියා. කළමනාකරුගේ කාර්යාලයට දූරකථනයෙන් ඇමතූ විට ඔහුගේ දූරකථන ඇමතුම්වලට ප්‍රතිචාරය දක්වන තරුණිය කියා සිටියේ ඒ අවස්ථාවේදී ඔහුට ඇය සමඟ කතා කිරීමට නොහැකි බවයි. ඒත් ඇය මෙහෙම ඇහැව්වා. “ඔයා කැමතිද මාත් එක්ක කතා කරන්න?” දූරකථනයෙන් කෙටි වේලාවක් කතා කිරීමෙන් පසුව, එම ස්ත්‍රිය ඇගේ කාර්යාලයෙන් එළියට ඇවිත්, තමා බයිබලය කියවීමට කැමති බව පැවසුවා. විශේෂ පුරෝගාමී සහෝදරිය බයිබලයක් රැගෙන නැවත ඒමට සැලසුම් යොදාගත්තා. බයිබල් පාඩමක් ආරම්භ කරනු ලැබූ අතර, එය පවත්වනු ලැබුවේ කාර්යාලය ළඟ පිහිටි උද්‍යානයක උදේ වැඩ පටන්ගැනීමට පෙරයි.

තවත් කාර්යාලයකදී සාක්ෂිකරුවෙක්ගෙන් කාන්තාවක් මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ලබාගත්තා. නමුත් සාක්ෂිකරුවා එතනින් පිටත්ව ගිය ගමන්ම ඇය ඒවා විසි කළා. එම සිද්ධිය දුටු, ඇය සමඟ වැඩ කරන සෙසු සේවකයෙක් තම නිවසට ගොස් සාක්ෂිකාරියක වූ තම භාර්යාවට ඒ ගැන පැවසුවා. සාක්ෂිකරුවා ඔහු සමඟ කතා කළා නම්, ඔහු අඩුම තරමින් පොඩ්ඩක්වත් සවන් දෙනවා කියාද ඔහු කීවා. ඔහු පැවසූ දේ අසාගෙන සිටි ඔහුගේ දියණිය, එම ව්‍යාපාරික බලප්‍රදේශයේ වැඩ කරන සාක්ෂිකාරයෙකුට මේ ගැන දන්වා සිටියා. එම සාක්ෂිකරුවා නොපමාව ඒ සහෝදරියගේ ස්වාමිපුරුෂයාව හමුවීමට ඔහුගේ කාර්යාලයට ගොස් ඔහු සමඟ බයිබල් පාඩමක් පටන්ගත්තා. ඔහු ඉක්මනින් සෑම ඉරිදා රැස්වීමකටම යන්න පටන්ගත්තා.

රැකියා ස්ථානයේදී ජනයාට සාක්ෂි දැරීමෙන් වෙනත් ප්‍රයෝජනද ලැබී තිබෙනවා. ජපානයේ සිටින ප්‍රචාරකයන් බොහෝදෙනෙක්, සාප්පු සංකීර්ණවල, කර්මාන්ත ශාලාවල සහ කාර්යාලවල නැවත බැලීම් කිරීමේ දක්ෂයන් බවට පත් වී තිබෙනවා. ඊට අමතරව, සාක්ෂි දැරීමේ මේ ක්‍රමය නිසා අක්‍රියාශීලී තත්වයකට පත් වී සිටි බොහෝදෙනෙකුව හමු වී ඔවුන් සමඟ පාඩම් පටන්ගැනීමට හැකි වී තිබෙනවා. ලැබූ ප්‍රතිඵල විශිෂ්ටයි. මධ්‍යම ටෝකියෝවල එක් සභාවක් මෑතකදී නිවාස බයිබල් පාඩම් 108ක් වාර්තා කළා. මෙය වසරකට ඉහතදී වාර්තා කළ සංඛ්‍යාවට වඩා දෙගුණයක්.

[පාදසටහන]

^ 5 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.