Skip to content

පටුනට යන්න

ලයිබීරියාවේ යුද්ධය මැද ආත්මික වර්ධනය

ලයිබීරියාවේ යුද්ධය මැද ආත්මික වර්ධනය

ලයිබීරියාවේ යුද්ධය මැද ආත්මික වර්ධනය

ලයිබීරියාවේ දශකයකට වඩා වැඩි කාලයක් පුරා දරුණු සිවිල් යුද්ධයක් පැවත තිබෙනවා. වර්ෂ 2003 මැදභාගය වන විට අගනුවර වන මොන්රෝවියා තුළටත් කැරලිකාරයෝ සටන් කරමින් ඇතුල් වී තිබුණා. මෙනිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් බොහෝදෙනෙකුට තම ගෙවල්වලින් පලා යන්න සිදු වුණා. සමහරුන්ට කීපවිටක්ම මෙසේ පැන යන්නට සිදු වුණා. හොරු ගෙවල් කඩලා බඩු සොරකම් කළා.

කනගාටුදායක ලෙස, අගනුවර තුළ සිදු වූ සටන්වලදී දහස් ගණන් ජනයා මරණයට පත් වුණා. ඔවුන් අතර සාක්ෂිකාර සහෝදරයෙක් හා සහෝදරියක්ද සිටියා. මෙම අමාරු තත්වයන්ට සහෝදරයන් මුහුණ දුන්නේ කොහොමද, ඔවුන්ට උපකාර කිරීම සඳහා කුමක්ද කරනු ලැබුවේ?

අග හිඟකම් තිබූ අයට ආධාර

ලයිබීරියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය මෙම අර්බුදකාරී කාලය පුරාම අග හිඟකම් තිබූ අයට සහනාධාර ලබා දීමට සැලසුම් යෙදුවා. ආහාර, අත්‍යවශ්‍ය ගෘහභාණ්ඩ සහ වෛද්‍ය පහසුකම් සපයනු ලැබුවා. කැරලිකරුවන් වරාය ප්‍රදේශය ආක්‍රමණය කළ කාලයේදී ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට අපහසු වුණා. මෙවන් තත්වයක් උද්ගත විය හැකි බව ශාඛාවේ සහෝදරයෝ දැන සිටි නිසා ඔවුන් කල්තියාම අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් රැස් කරගත්තා. මෙය නගරය පුරා තිබුණු රාජ්‍ය ශාලා වෙතට පලා ගිය සාක්ෂිකරුවන් දෙදහසට ප්‍රයෝජනවත් වුණා. වරාය නැවත විවෘත කරන තෙක් සහෝදරයන් එම ආහාර ද්‍රව්‍ය පරෙස්සමින් ප්‍රයෝජනයට ගත්තා. බෙල්ජියම් සහ සියරා ලියොන් ශාඛාවලින් බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් එවූ අතර, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ශාඛාවලින් ඇඳුම් තොගයක් නැව්වලින් එව්වා.

භයානක තත්වයක් තිබුණත් අපගේ සහෝදරයන් ශුභවාදීව හා ප්‍රීතිමත් ස්වභාවයකින් කටයුතු කළා. තම නිවසින් තුන් වතාවක්ම පලා යෑමට සිදු වූ කෙනෙකු කළ මෙම ප්‍රකාශය බොහෝදෙනෙකුගේ අදහසට සමානයි. ඔහු මෙසේ පැවසුවා. “අපි දේශනා කරන්නේ මෙවැනි තත්වයන් ගැනයි. අපි ජීවත් වෙන්නේ අන්තිම දවස්වල.”

ශුභාරංචියට ලැබූ ප්‍රතිචාරය

රට පුරාම කැලඹිලි සහිත තත්වයක් පැවතියද, සාක්ෂිකරුවන්ට ක්ෂේත්‍ර සේවයේදී හොඳ ප්‍රතිඵල නෙළාගැනීමට හැකි වී තිබෙනවා. වර්ෂ 2003 ජනවාරි මාසයේදී රාජ්‍ය ප්‍රචාරකයන්ගේ ඉහළම සංඛ්‍යාව වන 3,879 වාර්තා වූ අතර, පෙබරවාරි මාසයේදී ඔවුන් නිවාස බයිබල් පාඩම් 15,227ක් පැවැත්වුවා.

ශුභාරංචියට මිනිස්සු ඉක්මනින්ම හොඳ ප්‍රතිචාරයක් දක්වනවා. මෙයට උදාහරණයක් තමයි රටේ ගිනිකොන පැත්තට වෙන්න පිහිටි ගම්මානයකින් අපිට ලැබුණු මෙම වාර්තාව. බ්වාන් නම් වූ එක්තරා විශාල ගමක ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීම පැවැත්වීමට සභාවක සහෝදරයන් සැලසුම් කළා. ඔවුන් සාමාන්‍යයෙන් රැස්වීම් පවත්වන ස්ථානයේ සිට මෙතැනට පයින් යෑමට පැය පහක් පමණ ගත වෙනවා. සහෝදරයෝ එම ගම්මානයේ සිටින ජනයාට සිහි කිරීමට ආරාධනා කරන්න යෑමට පෙර, බ්වාන්වල නගරාධිපතිට ආරාධනා පත්‍රයක් ලැබෙන්ට සැලැස්සුවා. එය ලැබූ විගස ඔහු තම බයිබලයත් අරගෙන ගම්මුන් වෙතට ගොස්, ආරාධනා පත්‍රයේ සටහන් කර තිබූ බයිබල් පදයක් කියවා සිහි කිරීමට පැමිණෙන මෙන් ඔවුන්ට දිරිගැන්නුවා. ඉතින් ප්‍රචාරකයන් එතැනට ආවාම ඔවුන්ට කිසිම දෙයක් කරන්න ඉතිරිව තිබුණේ නැහැ කියා ඔවුන් දැක්කා. නගරාධිපති ඔහුගේ දරුවන්වද භාර්යාවන් දෙදෙනාවද එක්කගෙන සිහි කිරීමට ආවා. එදා සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව 27යි. එදායින් පස්සේ නගරාධිපති මෙතෝදිස්ත සභාවෙන් අස් වුණා. ඔහු සාක්ෂිකරුවන් සමඟ පාඩම් කරන්න පටන්ගත් අතර රාජ්‍ය ශාලාවක් ගොඩනැඟීම සඳහා ඉඩමක් දීමටද කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

ආකල්පයේ වෙනසක්

සමහර විරුද්ධවාදීන්ට සත්‍යය ගැන තිබූ ආකල්පය වෙනස් කරගන්න අපගේ සහෝදරයන්ගේ හොඳ හැසිරීමද ඉවහල් වී තිබෙනවා. ඔපෝකුගේ අද්දැකීම සලකා බලන්න. විශේෂ පුරෝගාමී දේවසේවකයෙකුට ක්ෂේත්‍ර සේවයේදී ඔහුව හමු වුණා. ඔහු ඔහුට මුරටැඹ සඟරාවක් ඉදිරිපත් කළා. සඟරාවේ තිබූ ලිපියකට ඔපෝකුගේ සිත ඇදී ගියත් ඔහු ගාව සල්ලි තිබුණේ නැහැ. අය කිරීමක් නොකරන බව පැහැදිලි කරමින් පුරෝගාමියා ඔහුට සඟරාව දී ඔහුව හමුවීමට සැලසුම් යොදාගත්තා. නැවත පැමිණි විට, “ඔයා මාව අඳුරනවාද?” කියා ඔපෝකු පුරෝගාමියාගෙන් ඇසුවා. “හාපර් නගරයේ ඉන්න ඔයාලාගේ ගොඩාක් අය නම් මාව අඳුරනවා. මම එයාලාගේ ළමයින්ව ඉස්කෝලෙන් අස් කරලා තියෙනවා!” තමා නගරයේ තිබූ මහ විද්‍යාලයක විදුහල්පතිව සිටි බවත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දරුවන් කොඩියට ආචාර නොකළ නිසා තමා ඔවුන්ට පීඩා කළ බවත් ඔහු පසුව පැහැදිලි කළා.

කෙසේවෙතත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ක්‍රිස්තියානි ප්‍රේමය පෙන්වූ ආකාර තුනක් නිසා තමා දැරූ ආකල්ප ගැන නැවත වරක් සිතා බලන්න ඔපෝකු පෙලඹුණා. මුලින්ම ඔහු දැක්කා බරපතළ ලෙස රෝගාතුරව සිටි ආත්මික සහෝදරයෙකුට සාක්ෂිකරුවන් සැලකූ ආකාරය. ඔහුට අසල්වැසි රටකට ගොස් ප්‍රතිකාර ලබාගැනීමට පවා ඔවුන් සැලසුම් කළා. ඔපෝකු සිතුවේ අසනීපයෙන් සිටි සහෝදරයා සාක්ෂිකරුවන්ගේ “ලොක්කෙක්” කියලා. නමුත් ඔහු සාමාන්‍ය කෙනෙක් බව ඔහුට දැනගන්න ලැබුණා. ඊළඟට, 1990 ගණන්වලදී ඔපෝකු සරණාගතයෙක් හැටියට අයිවරි කෝස්ට්වල ඉන්දැද්දී, දවසක් ඔහුට වතුර තිබහක් ඇති වෙලා තරුණයෙකුගෙන් වතුර ටිකක් මිල දී ගන්නට ගියා. ඔපෝකු ළඟ තිබුණේ ලොකු සල්ලි විතරයි. තරුණයා ගාව මාරු සල්ලි තිබුණේ නැහැ. ඉතිං තරුණයා ඔපෝකුට දුන්න වතුරවලට අය කළේ නැහැ. ඔපෝකුට වතුර දෙද්දී තරුණයා ඔහුගෙන් මෙහෙම ඇහැව්වා. “අපි වගේ සාමාන්‍ය මිනිස්සු සල්ලි ඉල්ලන්නේ නැතිව එකිනෙකාට බඩු දෙන කාලයක් කවදාහරි උදා වෙයි කියලා ඔයා හිතනවාද?” තරුණයා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වෙන්න ඇති කියා ඔපෝකුට හැඟුණා. ඔහුගෙන් ඇසූ විට තමා සාක්ෂිකරුවෙක් බව ඔහු කීවා. මෙම සහෝදරයාගේ ත්‍යාගශීලීභාවය හා කරුණාවන්තකම ඔහුගේ සිත්ගත්තා. අවසාන වශයෙන් අය කිරීමකින් තොරව සඟරාවක් දීමට විශේෂ පුරෝගාමියා කැමැත්ත පළ කළ විට සාක්ෂිකරුවන් පිළිබඳව තමාට තිබෙන්නේ වැරදි ආකල්පයක් බවත් තමා එය වෙනස් කළ යුතු බවත් ඔපෝකුට වැටහුණා. ඔහු ආත්මික ප්‍රගතියක් ලැබූ අතර දැන් බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් ලෙස කටයුතු කරනවා.

ලයිබීරියාවේ සිටින සහෝදරයෝ ඉතාමත් දරුණු තත්වයන්ට තවමත් මුහුණ දෙමින් සිටියත්, ඔවුන් දෙවි කෙරෙහි විශ්වාසය තබමින්, දෙවිගේ රාජ්‍යයේ ධර්මිෂ්ඨ පාලනය යටතේ ලැබෙන්නට යන වඩාත් යහපත් කාලයක් ගැන ඇදහිල්ලෙන් දේශනා කරමින් සිටිනවා. ඔවුන් වෙහෙස මහන්සි වෙලා කරන සේවයත්, තම නාමයට පෙන්වන ප්‍රේමයත් යෙහෝවාට කවදාවත් අමතක වෙන්නේ නැහැ.—හෙබ්‍රෙව් 6:10

[30වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

මොන්රෝවියා

[31වන පිටුවේ පින්තූර]

අර්බුදකාරී කාලවලදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන් අග හිඟකම් ඇති අයට ආත්මික මෙන්ම ශාරීරික උපකාර සපයනවා