Skip to content

පටුනට යන්න

වනමෘගයාවත් උගේ සලකුණත් හඳුනාගනිමු

වනමෘගයාවත් උගේ සලකුණත් හඳුනාගනිමු

වනමෘගයාවත් උගේ සලකුණත් හඳුනාගනිමු

තේරවිලිවලට හෝ ප්‍රහේලිකාවලට හෝ විසඳුම් සොයන්න ඔබ කැමතිද? එසේ කරද්දී උත්තරය පිළිබඳව යම් හෝඩුවාවක් සපයන තොරතුරු සෙවීමට ඔබ වෑයම් කරන බවට නිසැකයි. එළිදරව් 13වන පරිච්ඡේදයෙහි දක්වා ඇති 666 නමැති වනමෘගයාගේ සලකුණ නොහොත් නම පිළිබඳව හෝඩුවාවක් සපයන තොරතුරු දේවානුභාවයෙන් ලියූ තම වචනයෙහි දෙවි හෙළි කර තිබේ.

මෘගයාගේ සලකුණ පිළිබඳව හෝඩුවාවක් සපයන තොරතුරු, එනම් එහි අර්ථය තේරුම්ගැනීමට උපකාරවත් වන ප්‍රධාන කාරණා සතරක් පිළිබඳව අප මෙම ලිපියේ සාකච්ඡා කරනු ඇත. (1) බයිබලයේ සඳහන් සමහර නම් තෝරාගනු ලබන අන්දම, (2) වනමෘගයාගෙන් සංකේතවත් කරන දේ, (3) 666 ‘මිනිස් අංකයක්’ යයි කීමෙන් අදහස් වන දේ සහ (4) අංක 6න් සංකේතවත් කරන දේ මෙන්ම 666 වශයෙන් 6 එකවර තුන් වතාවක් අවධාරණය කර තිබීමට හේතු යන කාරණා මෙහි සලකා බැලීමට බලාපොරොත්තු වෙමු.—එළිදරව් 13:18, NW.

අරුත්බර බයිබල් නම්

බොහෝවිට බයිබලයේ සඳහන් වන නම්වල ගැඹුරු අර්ථයන් ගැබ් වී තිබේ. විශේෂයෙන් දෙවිගෙන් ලද නම් සම්බන්ධයෙන් මෙය සැබෑවකි. නිදසුනකට, ආබ්‍රම් බොහෝ ජාතීන්ගේ පියා බවට පත්වීමට සිටි බැවින් දෙවි එම කුලදෙටුවාගේ නම “සමූහයක පියාණෝ” යන අරුත් ඇති ආබ්‍රහම් ලෙසට වෙනස් කළේය. (උත්පත්ති 17:5, පාදසටහන) දෙවි යෝසෙප්ට හා මරියාට කියා සිටියේ ඉපදෙන්න සිටින දරුවාට යේසුස් යන නාමය තබන්න කියාය. එම නමෙහි අරුත වන්නේ “ගැලවීම දෙන්නේ යෙහෝවාය” යන්නයි. (මතෙව් 1:21; ලූක් 1:31) යේසුස්ගේ දේවසේවය හා පූජනීය මරණය මගින් යෙහෝවා අපට ගැලවීමට ප්‍රස්තාව විවෘත කර දුන්නේ එම සුවිශේෂ නමෙහි අර්ථයට එකඟවය.—යොහන් 3:16.

එසේනම්, දෙවි මෘගයාට 666 නමැති නම නොහොත් අංකය දී ඇත්තේද උගේ සුවිශේෂී ගතිලක්ෂණ එතුළින් සංකේතවත් කරන නිසා විය යුතුයි. එහෙත් මෘගයාගේ ගතිලක්ෂණ මොනවාදැයි තේරුම්ගැනීමට පෙර ඌව හඳුනාගෙන උගේ ක්‍රියාකාරකම් පිළිබඳවද යමක් ඉගෙනගත යුතුයි.

මෘගයාගේ අනන්‍යතාව එළිදරව් කරයි

සංකේතවත් මෘගයන් පිළිබඳව බයිබලයේ දානියෙල් නම් පොතෙහි බොහෝ තොරතුරු හෙළිදරව් කර ඇත. සිංහයෙකුගේද වලසෙකුගේද කොටියෙකුගේද මහත් යකඩ දත් ඇති භයානක මෘගයෙකුගේද හැඩරුව ඇති ‘මහා මෘගයන් සතරදෙනෙකු’ ගැන එම පොතේ 7වන පරිච්ඡේදයෙහි සවිස්තරාත්මක තොරතුරු සපයා දී තිබේ. (දානියෙල් 7:2-7) එම මෘගයන් මහත් අධිරාජ්‍යයන් කෙරෙහි අනුපිළිවෙළින් පාලනය කරන ‘රජවරුන්’ නොහොත් දේශපාලනික රාජ්‍යවල් නියෝජනය කරන බව දානියෙල් පැහැදිලි කරයි.—දානියෙල් 7:17, 23.

බයිබලය පිළිබඳව අර්ථකථනයන් දෙන එක්තරා ශබ්දකෝෂයක (The Interpreter’s Dictionary of the Bible) පෙන්වන පරිදි එළිදරව් 13:1, 2හි විස්තර කර ඇති මෘගයා “දානියෙල් තම දර්ශනයේ දුටු මෘගයන් සතරදෙනාටම තිබූ ගතිලක්ෂණ විදහාපෙන්වයි. . . . මේ අනුව, [එළිදරව් පොතෙහි සඳහන් වන] මේ පළමුවන මෘගයා මගින් නියෝජනය කරන්නේ දෙවිට විරුද්ධ වන, මේ ලෝකයේ පවතින සියලුම දේශපාලනික ආණ්ඩු ක්‍රමයි.” එළිදරව් 13:7හි [NW] කියන දේ මගින් ඉහත සඳහන් වූ ප්‍රකාශය සනාථ වේ. එහි මෘගයා පිළිබඳව පවසා ඇත්තේ මෙයයි. “සියලු ගෝත්‍රයන්ද ජනයන්ද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි අධිකාරියත් ඌට දෙන ලදි.” *

මිනිස් පාලනය සංකේතවත් කිරීම සඳහා බයිබලයේ මෘගයන් යොදාගෙන තිබෙන්නේ මන්ද? ඊට අඩුම තරමින් හේතු දෙකක් පෙන්විය හැකියි. ආණ්ඩු විසින් සියවස් ගණනාවක් පුරාම වනමෘගයන් මෙන් ලේ වැගිරීම් සිදු කරනු ලැබීම පළමුවන හේතුව වශයෙන් දැක්විය හැක. “ඉතිහාසය පුරාම අඛණ්ඩව පැවති එක් දෙයක් වන්නේ යුද්ධයයි. ශිෂ්ට සම්පන්න සමාජයන් පිහිටුවීම මගින් හෝ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම මගින් හෝ යුද්ධය මැඩපැවැත්වීමට සමත් වී නැත.” එසේ ලීවේ විල් හා ඒරියල් ඩූරන්ට් නමැති ඉතිහාසඥයන්ය. ‘මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයන් ආණ්ඩු කරන’ බවට වූ කියමන කොයි තරම් නිවැරදිද! (දේශනාකාරයා 8:9) දෙවෙනි හේතුව වශයෙන් සඳහන් කළ හැක්කේ මෙයයි. “මකරා [සාතන්] ඒ මෘගයාට තමාගේ බලයත් තමාගේ සිංහාසනයත් මහත් අධිකාරියත් දුන්නේය.” (එළිදරව් 12:9; 13:2; NW) එම පදයට අනුව, මිනිස් පාලනය යනු යක්ෂයා විසින් නිර්මාණය කරන ලද්දකි. එමනිසා කෲර මකරෙකු නැතහොත් මෘගයෙකු හා සමාන වන ඔහුගේ ගතිලක්ෂණ එම පාලනය මගින්ද පිළිබිඹු වේ.—යොහන් 8:44; එපීස 6:12.

සාතන් සෑම මිනිස් පාලකයෙකුවම ඍජුවම තම ඉත්තෙකු කරගන්නවා කියා මින් අදහස් නොකරයි. එක් පැත්තකින් බැලූ විට, මිනිස් ආණ්ඩු මනුෂ්‍ය සමාජයට යම් ස්ථාවරත්වයක් ගෙන දෙමින් “දෙවිගේ සේවකයා” වශයෙන්ද කටයුතු කරනවායයි පැවසිය හැක. ඇත්තටම, එම ආණ්ඩු නොපැවතුණා නම් ලෝකය ඉතා අවුල්සහගත තත්වයක පවතිනු ඇත. තවද සමහර පාලකයන් මිනිසාගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති අතර සැබෑ නමස්කාරයේ යෙදීමට ඇති අයිතිය පවා තහවුරු කර තිබේ. සාතන් නම් එවැනි දෙයක් සිදු වෙනවා දැකීමට කොහෙත්ම කැමති නැත. (රෝම 13:3, 4, NW; එස්රා 7:11-27; ක්‍රියා 13:7) එහෙත් යක්ෂයාගේ බලපෑම යටතේ පවතින නිසා සැබෑ සාමය හා සුරක්ෂිතභාවය ගෙන ඒමට කිසි මිනිසෙකු හෝ මිනිස් ආයතනයක් හෝ සමත් වී නැත. *යොහන් 12:31.

“මනුෂ්‍යයෙකුගේ අංකයක්”

අංක 666හි අර්ථය තේරුම්ගැනීමට උපකාරවත් වන තවත් දෙයක් වන්නේ එය ‘මිනිස් අංකයක්’ හෝ දි ඇම්ප්ලිෆයිඩ් බයිබල්හි පවසන පරිදි එය “මනුෂ්‍යයෙකුගේ අංකයක්” වන බවට වූ ප්‍රකාශයයි. මෘගයා කෙරෙහි අධිකාරය හොබවන්නේ මිනිසෙකු නොව සාතන්ය. එමනිසා, මෙය යම් නිශ්චිත මනුෂ්‍යයෙකු පිළිබඳව කරන සඳහනක් නොවිය හැකියි. (ලූක් 4:5, 6; 1 යොහන් 5:19; එළිදරව් 13:2, 18) ඒ වෙනුවට, මෘගයාට “මනුෂ්‍යයෙකුගේ අංකයක්” හෝ සලකුණක් තිබීමෙන් අදහස් කරන්නේ එයට මනුෂ්‍යයන්ට ආවේණික වූ ගතිලක්ෂණ ඇති බවයි. එනම්, එය සතුව තිබෙන්නේ ආත්මික හෝ භූතමය ගතිලක්ෂණ නොව මිනිස් ගතිලක්ෂණය. ඒවා කුමනාකාරයේ ගතිලක්ෂණද? බයිබලය මෙසේ පිළිතුරු දෙයි. මනුෂ්‍යයන් “සියල්ලෝම පව් කර, දෙවිගේ තේජසින් ඈත්ව සිටිති.” (රෝම 3:23, NW) එසේනම්, මෘගයාට “මනුෂ්‍යයෙකුගේ අංකයක්” තිබෙනවා කීමෙන් අදහස් කරන්නේ දෙවිගේ මහිමයෙන් පහත වැටුණු මිනිසාට උරුම වී ඇති පාපය හා අසම්පූර්ණත්වය එම ආණ්ඩු මගින්ද පිළිබිඹු කරන බවයි.

එය සත්‍යයක් වන බවට ඉතිහාස වාර්තාවලින් සනාථ වේ. “මීට පෙර පැවති සෑම ශිෂ්ටාචාරයක්ම කාලයාගේ ඇවෑමෙන් බිඳ වැටුණි.” එසේ පැවසුවේ එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් වන හෙන්රි කිසිංගර්. “ඉතිහාසය යනු අසමත් වූ වෑයම් නැතහොත් ඉටු නොවූ අපේක්ෂාවන් පිළිබඳව කතා පුවතකි. . . . එමනිසා යමෙකු ඉතිහාසඥයෙකු වූ විට ඛේදවාචකයන් සිදු වේවිය යන්න අපේක්ෂා කළ යුතුයි.” ඉතිහාසය පිළිබඳව කිසිංගර් කළ එම අවංක විවරණය බයිබලයේ පවසා ඇති මෙම මූලික සත්‍යය සනාථ කරයි. ‘මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැත. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීමට අයිතියක් නැත.’—යෙරෙමියා 10:23.

අපි දැන් මෘගයාව හඳුනාගෙන සිටින්නෙමු. ඌ පිළිබඳව දෙවි දරන ආකල්පය කුමක්ද කියාත් වටහාගෙන ඇත්තෙමු. එමනිසා, දැන් ප්‍රහේලිකාවේ අවසාන කොටස වන අංක හයෙන් සංකේතවත් කරන දේ හා 666 වශයෙන් 6 එකවර තුන් වතාවක් අවධාරණය කර තිබෙන්නේ මන්දැයි යන්න පිළිබඳව විස්තර සොයා බැලීමට අපට පුළුවන.

හය එකවර තුන් වතාවක් අවධාරණය කර තිබෙන්නේ මන්ද?

ශුද්ධ ලියවිල්ලෙහි ඇතැම් අංකවලට විශේෂ අර්ථයක් දී තිබේ. නිදසුනකට, අංක හත බොහෝවිට යොදාගන්නේ දෙවිගේ ඇස් ඉදිරියේ අංග සම්පූර්ණ හෝ පරිපූර්ණ වන යමක් සංකේතවත් කිරීමටය. උදාහරණයකට, දෙවි මැවිල්ල සිදු කළ සතියට ‘දවස්’ හෝ කාල පරිච්ඡේදයන් හතක් ඇතුළත් විය. එම කාලය තුළදී දෙවි පොළොවේ මැවීමට අරමුණු කළ දේ සම්පූර්ණයෙන්ම මවා නිම කළේය. (උත්පත්ති 1:3–2:3) දෙවිගේ “වචන” “සත් වරක් පවිත්‍ර කළ” එනම්, සම්පූර්ණයෙන්ම පවිත්‍ර කළ රිදී මෙනි. (ගීතාවලිය 12:6; හිතෝපදේශ 30:5, 6) ලාදුරු රෝගියෙකු වූ නාමන්ට යොර්දාන් ගඟේ සත් වරක් නෑමට පැවසූ අතර එසේ කළ පසු ඔහුට සම්පූර්ණ සුවයක් ලැබුණි.—2 රාජාවලිය 5:10, 14.

හය යනු හතෙන් එකක් අඩු කළ විට ලැබෙන ඉලක්කමකි. එසේනම්, දෙවිගේ ඇස් හමුවේ අසම්පූර්ණ හෝ දෝෂසහගත වූ යමක් සංකේතවත් කිරීමට එය සුදුසු අංකයක් කියා ඔබ සිතන්නේ නැද්ද? එය සුදුසු අංකයක් බව නිසැකයි! (2 ලේකම් 20:6, 7) තවද 666 වශයෙන් හය එකවර තුන් වරක් ලිවීම මගින් එම අසම්පූර්ණත්වය නැත්නම් දෝෂසහගතභාවය ඉතා ප්‍රබල ලෙස අවධාරණය කෙරේ. අංක 666 “මනුෂ්‍යයෙකුගේ අංකයක්” යනුවෙන් අප කලින් සාකච්ඡා කළ ප්‍රකාශය මගින් එය නිවැරදි නිගමනයක් බව සනාථ වේ. මෙසේ, අතීතයේ සිට මෘගයා ක්‍රියා කර ඇති ආකාරය, ඌට “මනුෂ්‍යයෙකුගේ අංකයක්” තිබීම හා 666 නමැති අංකය යන කාරණා පවා සැලකිල්ලට ගනිද්දී අප එළඹෙන්නේ එකම එක පැහැදිලි නිගමනයකටයි. එනම් යෙහෝවාගේ ඇස් හමුවේ මෘගයා මුළුමනින්ම අසම්පූර්ණ නැත්නම් දෝෂසහගතය යන්නයි.

මෘගයාගේ අඩු පාඩුකම් නිරූපණය කර ඇති ආකාරයෙන් මතකයට නැඟෙන්නේ පුරාණ බැබිලෝනියේ රජු වන බේල්ෂශර් පිළිබඳව පැවසූ යමකි. “ඔබ තරාදියේ කිරනු ලැබ, අඩු බව පෙනුණේය” කියා දානියෙල් මාර්ගයෙන් යෙහෝවා එම පාලකයාට පැවසීය. එම රාත්‍රියේදීම බේල්ෂශර්ව මරණයට පත් කරනු ලැබූ අතර ඉතා බලවත් වූ බැබිලෝනීය අධිරාජ්‍යය බිඳ වැටුණි. (දානියෙල් 5:27, 30) ඒ හා සමානව, දේශපාලනමය මෘගයා හා උගේ සලකුණ ලබා ඇති අය කෙරෙහි දෙවිගේ විනිශ්චය පැමිණෙන කාලයේදී එම ආයතනයද ඊට අනුබල දෙන සියලුදෙනාවමද විනාශ කරනු ඇත. ඒ අවස්ථාවේදී නම් දෙවි විසින් එක් දේශපාලනික සංවිධානයක් පමණක් නොව මිනිස් පාලනය මුළුමනින්ම විනාශ කරනු ලබයි. (දානියෙල් 2:44, 45ආ; එළිදරව් 19:19, 20) එසේනම්, මෘගයාගේ මෙම මාරාන්තික සලකුණ ලැබීමෙන් අප වැළකී සිටීම කොයි තරම් වැදගත්ද කියා පැහැදිලියි.

සලකුණ හඳුනාගනු ලැබේ

එළිදරව් පොතේ 666 නමැති අංකය අනාවරණය කිරීමෙන් අනතුරුව බැටළු පැටවා වන යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් 1,44,000ක් ගැන සඳහන් කරයි. යේසුස්ගේ නාමයද ඔහුගේ පියා වන යෙහෝවාගේ නාමයද එම අනුගාමිකයන්ගේ නළල් මත ලියා තිබේ. ඔවුන්ගේ නළල් මත එම නාම තිබීමෙන් සංකේතවත් කරන්නේ ඔවුන් යෙහෝවාටත් ඔහුගේ පුත්‍රයාටත් අයිති වන බවයි. තවද ඔවුහු ඒ දෙදෙනා පිළිබඳව ඉතා ආඩම්බරයෙන් සාක්ෂි දරති. ඒ හා සමානව, මෘගයාගේ සලකුණ ඇති අයද ප්‍රසිද්ධියේ කියා සිටින්නේ තමන් මෘගයාට යටත් වී මෙහෙකාරකම් කරන බවයි. එසේනම්, යමෙකු එම සලකුණ ලබා ඇත්තේ දකුණතේ හෝ නළලේ හෝ වේවා, එයින් සංකේතවත් කරන්නේ ඔහු මෙම ලෝකයේ මෘගාකාර දේශපාලනික ආයතනවලට නමස්කාරය හා සමාන අනුබලයක් දෙන බවයි. එම සලකුණ දරන අය දෙවිට අයිති වන දේ “සීසර්ට” ලබා දෙති. (ලූක් 20:25, NW; එළිදරව් 13:4, 8; 14:1) ඒ කෙසේද? ගැලවීම රැඳී තිබෙන්නේ ආණ්ඩු, ඒවායේ සංකේත හා ඒවා සතු හමුදාමය බලය මතයයි විශ්වාස කරමින් හා ඒවා කෙරෙහි බලාපොරොත්තු තබමින් ඒවාට නමස්කාරය බඳු ගෞරවයක් ලබා දීමෙනි. ඔවුන් සැබෑ දෙවිට නමස්කාර කරනවායයි පවසන්නේ නම් එය ඔවුන්ගේ ක්‍රියාවලින් බොරුවක් බව පැහැදිලි වී තිබේ.

එහෙත් බයිබලය අපට අවවාද කරන්නේ මෙසේයි. “අධිපතීන් කෙරෙහිවත් පිහිට විය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්. ඔහුගේ හුස්ම නික්ම යයි, ඔහු ස්වකීය භූමියට හැරී යයි. එදාම ඔහුගේ කල්පනා නැති වේ.” (ගීතාවලිය 146:3, 4) එම ප්‍රඥාගෝචර උපදෙස් අනුගමනය කරන අය ආණ්ඩු තමන් විසින් පොරොන්දු කරන ලද දේවල් ඉටු කිරීමට අසමත් වූ විට හෝ ජනයාගේ සිත්ගත් පාලකයෙකුට තම බලතල අහිමි වූ විට හෝ බලාපොරොත්තු සුන් කරගන්නේ නැත.—හිතෝපදේශ 1:33.

සැබෑ ක්‍රිස්තියානීන් මිනිසාගේ දුක්ඛිත තත්වය ගැන නොතකා නිකම්ම පැත්තකට වී බලා සිටිනවා කියා මින් අදහස් නොකෙරේ. ඒ වෙනුවට, දේවරාජ්‍යයේ නියෝජිතයන් වන ඔවුහු මිනිසාගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන එකම ආණ්ඩුව දේවරාජ්‍යය වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති.—මතෙව් 24:14.

දේවරාජ්‍යය මිනිසාගේ එකම බලාපොරොත්තුවයි

යේසුස් මිහිපිට ජනයාට දේශනා කළ ප්‍රධාන පණිවිඩය වූයේ දෙවිගේ රාජ්‍යයයි. (ලූක් 4:43) ස්වාමීන්ගේ යාච්ඤාව හෙවත් ආදර්ශ යාච්ඤාව මගින් යේසුස් තම අනුගාමිකයන්ට යමක් ඉගැන්වීය. එනම්, දෙවිගේ රාජ්‍යය පැමිණෙන මෙන් හා ඔහුගේ කැමැත්ත පොළොවේ ඉටු වන මෙන් යාච්ඤාවෙන් ඉල්ලා සිටීමටයි. (මතෙව් 6:9, 10) රාජ්‍යය යනු මුළු පොළොවම පාලනය කිරීමට නියමිත ආණ්ඩුවකි. එය පාලනය කරනු ඇත්තේ යම් භූමික අගනුවරක සිට නොව ස්වර්ගයේ සිටය. යේසුස් එය “ස්වර්ග රාජ්‍යය” ලෙස හැඳින්වූයේ එනිසාය.—මතෙව් 11:12.

එම රාජ්‍යයේ රජු වශයෙන් පාලනය කිරීමට යේසුස් ක්‍රිස්තුස් තරම් සුදුසුකම් ඇති වෙන කිසිවෙකු නැත. මන්ද ඔහු තම අනාගත යටත්වැසියන් උදෙසා තම දිවි පිදුවේය. (යෙසායා 9:6, 7; යොහන් 3:16) දැන් බලවත් අදෘශ්‍යමාන පුද්ගලයෙකු වන මෙම පරිපූර්ණ පාලකයා ළඟදීම මෘගයාව මෙන්ම උගේ රජවරුන්ව හා සේනාවන් සදාකාලික විනාශය සංකේතවත් කරන ‘ගෙන්දගමින් දැවෙන ගිනිවිලට හෙළනු ඇත.’ එහෙත් ඔහු එතැනින් නතර වන්නේ නැත. යේසුස් කිසි මිනිසෙකුට කළ නොහැකි යමක්ද කරනු ඇත. ඔහු සාතන්වද සදහටම විනාශ කරයි.—එළිදරව් 11:15; 19:16, 19-21, NW; 20:2, 10.

දෙවිගේ රාජ්‍යය එහි සියලුම කීකරු යටත්වැසියන් උදෙසා සමාදානය උදා කරනු ඇත. (ගීතාවලිය 37:11, 29; 46:8, 9) ශෝකයද වේදනාවද මරණයද සදහටම නැති වනු ඇත. මෘගයාගේ සලකුණ නොලබන සියලුදෙනාටම එය මොන තරම් ප්‍රීතිමත් බලාපොරොත්තුවක්ද!—එළිදරව් 21:3, 4.

[පාදසටහන්වල]

^ 9 ඡේ. මෙම බයිබල් පද පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ලබාගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟය! යන පොතෙහි 28වන පරිච්ඡේදය බලන්න.

^ 11 ඡේ. මිනිස් පාලනය බොහෝවිට මෘගාකාර ගතිලක්ෂණ විදහාපෙන්වන බව සැබෑ ක්‍රිස්තියානීන් වටහාගන්නා නමුත් ඔවුහු බයිබලයේ උපදෙස්වලට කීකරු වෙමින් ආණ්ඩුවල “උසස් බලධාරීන්ට” යටත් වෙති. (රෝම 13:1, NW) එහෙත් දෙවිගේ නීතියට පටහැනිව ක්‍රියා කිරීමට එම ආණ්ඩු බලධාරීන් අණ කරන අවස්ථාවලදී ඔවුන් ‘කීකරු වන්නේ මිනිසුන්ට නොව දෙවිටය.’—ක්‍රියා 5:29, NW.

[5වන පිටුවේ කොටුව]

666හි අර්ථය තේරුම්ගැනීමට උපකාර

1. බොහෝවිට බයිබලයේ දී තිබෙන නම්වලින් එම නම් දරන පුද්ගලයන්ගේ ගතිලක්ෂණ ගැන හෝ ජීවිතය ගැන හෝ යමක් කියා පායි. ආබ්‍රහම්, යේසුස් හා තවත් බොහෝදෙනෙකුගේ නම් මීට නිදසුන් වශයෙන් දැක්විය හැක. මෘගයාගේ නම නොහොත් අංකය මගින්ද ඌටම ආවේණික වන ගතිලක්ෂණ සංකේතවත් කරයි.

2. බයිබලයේ දානියෙල් නම් පොතේ සඳහන් විවිධ මෘගයන්ගෙන් නියෝජනය වන්නේ අනුපිළිවෙළින් පාලනයට පැමිණෙන මිනිස් රාජ්‍යයන් හෝ අධිරාජ්‍යයන්ය. එළිදරව් 13:1, 2හි සඳහන් වන විවිධ අංග ලක්ෂණවලින් යුත් මෘගයා නියෝජනය කරන්නේ සාතන්ගෙන් බලය ලබා ඇති හා ඔහුගේ බලය යටතේ පවතින්නාවූ ලෝක ව්‍යාප්ත දේශපාලන ක්‍රමයයි.

3. මෘගයාට ‘මිනිස් අංකයක්’ හෝ “මනුෂ්‍යයෙකුගේ අංකයක්” තිබෙනවා කීමෙන් අදහස් කරන්නේ එය භූතයෙකු නොව මනුෂ්‍ය ආයතනයක් වන බවයි. එබැවින් මිනිසා පාපය හා අසම්පූර්ණත්වය හේතුවෙන් උරුම කරගෙන තිබෙන දෝෂසහගතභාවය එමගින් පිළිබිඹු වේ.

4. බයිබලයේ සම්පූර්ණත්වය හෝ පරිපූර්ණත්වය නියෝජනය කරන අංකය වන හතට වඩා හය එක ඉලක්කමකින් අඩු වන නිසා එය දෙවිගේ ඇස් හමුවේ අසම්පූර්ණත්වය සංකේතවත් කරයි. අංක 666න් එම දෝෂසහගතභාවය තුන් වරක් අවධාරණය කෙරේ.

[6වන පිටුවේ පින්තූර]

මිනිස් පාලනය මුළුමනින්ම අසමත් වී ඇති බවට සාක්ෂි ඇත. එය 666 නමැති අංකයෙන් හොඳින් පිළිබිඹු වේ

[හිමිකම් විස්තර]

හාමතෙන් පෙළෙන දරුවා: UNITED NATIONS/Photo by F. GRIFFING

[7වන පිටුවේ පින්තූර]

යේසුස් ක්‍රිස්තුස් පොළොවට පරිපූර්ණ පාලනයක් ගෙන එනු ඇත