Skip to content

පටුනට යන්න

වෙනස් වන ලෝකයේ ආත්මයට එරෙහි වන්න

වෙනස් වන ලෝකයේ ආත්මයට එරෙහි වන්න

වෙනස් වන ලෝකයේ ආත්මයට එරෙහි වන්න

“අපට ලැබී තිබෙන්නේ ලෝකයේ ආත්මය නොව, දෙවිගෙන් වූ ආත්මයය.”—1 කොරින්ති 2:12, NW.

1. ඒවව රවටනු ලැබුවේ කවර ආකාරවලින්ද?

“සර්පයා මා රැවටුවේය.” (උත්පත්ති 3:13) ඒ වචන පළමු ස්ත්‍රිය වූ ඒවගේය. යෙහෝවා දෙවිට එරෙහිව තමා කැරලිගැසීමට පටන්ගත් හේතුව පැහැදිලි කිරීම සඳහා ඇය උත්සාහ දැරුවේ එලෙසයි. ඇය කළ වරද සම්බන්ධයෙන් නිදහසට ඉදිරිපත් කළ කරුණු කිසිදු අන්දමකින් පිළිගත නොහැකි වුවත්, ඇය කී දේ සැබෑය. පසු කලෙක ප්‍රේරිත පාවුල් දේවානුභාවයෙන් තම ලිපියක ලීවේ, ‘ඒව සම්පූර්ණයෙන්ම රැවටුණාය’ කියායි. (1 තිමෝති 2:14, NW) අකීකරුව ක්‍රියා කළහොත්, එනම් තහනම් පලය කෑවොත් දෙවිට සමාන වීමේ ප්‍රයෝජනය ඇයට අත් වන බව විශ්වාස කිරීමට තරම් ඇය රැවටුණාය. එලෙසම තමාව මුළා කළ පුද්ගලයා කවුද යන්න සම්බන්ධයෙන්ද ඇයව රවටනු ලැබුවාය. ඒ සර්පයා වනාහි සාතන් වන යක්ෂයාගේ රූකඩයක් බව ඇය දැනගෙන සිටියේ නැත.—උත්පත්ති 3:1-6.

2. (අ) සාතන් අද දින මිනිසුන්ව නොමඟ යවන්නේ කෙසේද? (ආ) “ලෝකයේ ආත්මය” යනු කුමක්ද? අප දැන් සලකා බලනු ලබන ප්‍රශ්න මොනවාද?

2 ආදම් සහ ඒව විසූ කාලයේ පටන්, සාතන් ජනයාව නොකඩවා රවටා ඇත. ඇත්තවශයෙන්ම, ඔහු ‘මුළු පොළොවම නොමඟ යවමින් සිටී.’ (එළිදරව් 12:9, NW) ඔහුගේ උපක්‍රම වෙනස් වී නැත. ඔහු දැන් සර්පයෙකු යොදාගන්නේ නැති වුණත්, තමා කවුද කියා සැඟවීමට තවමත් උත්සාහ කරයි. විනෝදාස්වාදය ගෙන දෙන ඇතැම් දේවල්, මාධ්‍යය සහ වෙනත් ක්‍රම තුළින් සාතන් කරන්නේ මිනිසුන්ව නොමඟ යැවීමයි. එමඟින්, තමන්ට දෙවිගේ ප්‍රේමණීය මඟ පෙන්වීමක් අවශ්‍ය නැති බවත්, ඉන් කිසිම ප්‍රයෝජනයක් නැති බවත් විශ්වාස කිරීමට මිනිසුන්ව පොලඹවයි. සාතන් මේ ගෙන යන රැවටීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලය නම්, සෑම තැනකම වෙසෙන මිනිසුන් තුළ, බයිබල් නීති සහ ප්‍රතිපත්තිවලට එරෙහිව කැරලිගසන්නාවූ නැඹුරුවාවක් ඇති වී තිබීමය. බයිබලය මෙය හඳුන්වන්නේ, “ලෝකයේ ආත්මය” යනුවෙන්ය. (1 කොරින්ති 2:12, NW) මෙම ආත්මය දෙවිව නොදන්නාවූ අයගේ විශ්වාසයන්, ආකල්ප සහ හැසිරීමට ඉතා ප්‍රබල ලෙස බලපෑම් කරයි. මෙම ආත්මය විදහාපානු ලබන්නේ කෙලෙසද? එහි දූෂිත බලපෑමට එරෙහි වීමට අපට හැක්කේ කෙසේද? අපි දැන් බලමු.

සදාචාර සාරධර්මවල පිරිහීම

3. නූතන කාලවලදී “මේ ලෝකයේ ආත්මය” එන්ට එන්ටම පැහැදිලිව දක්නට තිබෙන්නේ මන්ද?

3 නූතන කාලවලදී, “මේ ලෝකයේ ආත්මය” එන්ට එන්ටම පැහැදිලිවම දක්නට තිබේ. (2 තිමෝති 3:1-5) සදාචාර සාරධර්ම පිරිහෙනවා ඔබ දැක ඇති බවට කිසිම සැකයක් නැත. මෙය මෙසේ පිරිහීමට හේතුව ශුද්ධ ලියවිල්ලේ පැහැදිලි කර ඇත. වර්ෂ 1914දී දෙවිගේ රාජ්‍යය පිහිටුවනු ලැබීමෙන් පසුව, ස්වර්ගයේ යුද්ධයක් ආරම්භ විය. සාතන් සහ ඔහුගේ භූතයන්ව පරාජය කරනු ලැබූ අතර, ඔවුන්ව පොළොවට හෙළන ලදි. මේ නිසා මහත් සේ වියරු වැටී සිටින සාතන්, ලොව පුරා ජනයාව රැවටීමේ තම ක්‍රියාවලිය වේගවත් කර තිබේ. (එළිදරව් 12:1-9, 12, 16ආ) තමාට හැකි සෑම අන්දමකින්ම ඔහු උත්සාහ කරන්නේ, “හැකි නම් තෝරාගත් අයව පවා නොමඟ” යැවීමටයි. (මතෙව් 24:24, NW) ඔහුගේ ප්‍රධාන ඉලක්කය වන්නේ දෙවිගේ ජනයා වන අපයි. ඔහු දැඩි ලෙස උත්සාහ කරන්නේ අපට යෙහෝවාගේ අනුමැතිය නැති වී සදාකාල ජීවනය නමැති අපේක්ෂාව අහිමි වී යන අයුරින් අපගේ ආත්මිකත්වය විනාශ කිරීමටයි.

4. යෙහෝවාගේ සේවකයන් බයිබලය සලකන්නේ කෙසේද? ලෝකය ඒ දෙස බලන්නේ කෙසේද?

4 සාතන් උත්සාහ කරන්නේ අපගේ ප්‍රේමණීය මැවුම්කරු පිළිබඳව අපට උගන්වන වටිනා ග්‍රන්ථය වන බයිබලයට අවමන් කිරීමටය. යෙහෝවාගේ සේවකයෝ බයිබලයට ඉමහත් සේ ඇලුම් කරන අතර එය නිධානයක් කොට සලකති. එය මිනිසුන්ගේ වචනය නොව, දේවානුභාවය ලත් දෙවිගේම වචනය බව අපි දනිමු. (1 තෙසලෝනික 2:13; 2 තිමෝති 3:16, NW) කෙසේවෙතත්, සාතන්ගේ ලෝකයට ඕනෑ වන්නේ අප ඒ ගැන ඊට පටහැනි විදිහකට සිතනවා දැකීමටයි. නිදසුනක් වශයෙන්, බයිබලයට ප්‍රහාර එල්ල කරන එක්තරා පොතක පෙර වදනේ මෙසේ සඳහන් වේ. “බයිබලය ‘ශුද්ධ පොතක්’ නොවේ. එය ‘දෙවිගේ වචනය’ නොවේ. එය ලියනු ලැබුවේ දේවානුභාවය ලත් සාන්තුවරයන් විසින් නොව, බලයට කෑදර පූජකයන් විසිනි.” එවන් ප්‍රකාශයන් විශ්වාස කරන තරමට රැවටී සිටින අය, තමන් කැමති ඕනෑම ආකාරයකින් දෙවිට නමස්කාර කිරීමට හැකිය හෝ ඔහුට නමස්කාර කිරීමට අවශ්‍ය නැත යන මුළා කරවන අදහසට කොටු වෙති.—හිතෝපදේශ 14:12.

5. (අ) බයිබලයට සම්බන්ධ ආගම් ගැන එක් කර්තෘවරයෙක් පැවසුවේ කුමක්ද? (ආ) ඇතැම් ලෞකික අදහස්, බයිබලය පවසන දේ සමඟ සැසඳෙන්නේ කෙසේද? (ඊළඟ පිටුවේ ඇති කොටුවේ සඳහන් දේද ඇතුළත් කරන්න.)

5 බයිබලය පිළිපදිනවායයි කියා සිටින ආගමික නායකයන්ගේ කුහකකමට අමතරව බයිබලය කෙරෙහි එල්ල වන්නාවූ ඍජු සහ වක්‍ර ප්‍රහාරවල ප්‍රතිඵලය නම් බයිබලයට සම්බන්ධ ආගම් ඇතුළුව පොදුවේ ආගම් කෙරෙහි ඇති අප්‍රසාදය එන්ට එන්ටම වැඩිවීමයි. ආගම් ජනමාධ්‍යයේ හා විද්වතුන්ගේ විවේචනවලට ලක්ව තිබේ. එක් කර්තෘවරයෙක් මෙසේ අදහස් දක්වයි. “පොදුවේ සමාජයේ සෑම කෙනෙකුටම පාහේ යුදෙව් ආගම සහ ක්‍රිස්තියානි ධර්මය ගැන ඇත්තේ නිෂේධාත්මක දෘෂ්ටියකි. පූජනීයත්වයෙන් සලකනු ලබන්නේ එහි පෞරාණික වටිනාකම පමණය. එසේ නැතහොත් එම ආගම් සලකනු ලබන්නේ මිනිස් බුද්ධියේ ඉදිරි ගමනට හා විද්‍යාත්මක ප්‍රගතියට බාධාවක් වන යල් පැන ගිය ඒවා ලෙසටයි. මෑත වර්ෂවලදී, ඒ කෙරෙහි තිබූ පිළිකුල, සරදමටද ප්‍රසිද්ධියේ කෙරෙන සතුරුවාදිකම්වලටද පෙරළී තිබේ.” මෙම සතුරුවාදිකම් බොහෝවිට උපදින්නේ දෙවිගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන, ‘නිරර්ථක තර්ක විතර්ක ගෙනෙන’ අය තුළය.—රෝම 1:20-22, NW.

6. දෙවි විසින් හෙළාදකිනු ලබන ලිංගික ක්‍රියා ගැන ලෝකය දරන්නේ කෙබඳු දෘෂ්ටියක්ද?

6 එමනිසා, ජනයාගේ හැසිරීම් රටා දෙවිගේ ප්‍රමිතිවලින් එන්ට එන්ටම ඈතට ගසාගෙන යෑම පුදුමයක් නොවේ. නිදසුනක් වශයෙන්, බයිබලය සමලිංගික සම්බන්ධකම් විස්තර කරන්නේ “අශික්ෂිත” දෙයක් හැටියටයි. (රෝම 1:26, 27, NW) තවද, වේශ්‍යාකමේ සහ පරදාර සේවනයේ යෙදෙන අයට දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති බවද එහි පවසයි. (1 කොරින්ති 6:9) එහෙත්, බොහෝ රටවල, එම ලිංගික ක්‍රියාවල යෙදෙන අයව පිළිගන්නවා පමණක් නොව, ඔවුහු පොත්වල, සඟරාවල, ගීතවල, චිත්‍රපටිවල සහ රූපවාහිනි වැඩසටහන්වල “වීරයෝ” වී සිටිති. එවන් ක්‍රියාවලට එරෙහිව කතා කරන අයව සලකනු ලබන්නේ පටු අදහස් ඇති, හැම දේම විනිශ්චය කරන, නවීන පන්නයේ අදහස්වලට නොගැළපෙන ‘හණමිටි අදහස් ඇත්තවුන්’ ලෙසය. දෙවි ඔහුගේ ප්‍රමිති දී තිබෙන්නේ අප කෙරෙහි ඇති ප්‍රේමණීය සැලකිල්ල නිසාය යන කාරණය වටහාගන්නවා වෙනුවට, ලෝකය එම ප්‍රමිති දෙස බලන්නේ තමන්ගේ නිදහසට හා තෘප්තියට දමා ඇති වැට කඩුලු ලෙසටයි.—හිතෝපදේශ 17:15; යූද් 4.

7. අප අපෙන්ම අසාගත යුතු ප්‍රශ්න මොනවාද?

7 එන්ට එන්ටම දෙවිට විරුද්ධ වන ලෝකයක සිටින අප අපගේම ආකල්ප හා සාරධර්ම දෙස සමීප බැල්මක් හෙළීම ඥානවන්තය. අප විටින් විට අප ගැනම යාච්ඤාපූර්වකව හා අවංකව සෝදිසි කර බැලිය යුතු අතර, අප යෙහෝවා සිතන ආකාරයෙන් නොසිතන තත්වයකට පත් වෙමින් ඔහුගේ ප්‍රමිතිවලින් කෙමෙන් කෙමෙන් ඉවතට ගසාගෙන නොයන බවට වගබලා ගත යුතුය. නිදසුනක් වශයෙන්, අපට අපෙන්ම මෙසේ අසාගත හැකියි. ‘මීට වසර කිහිපයකට කලින් මා එක හෙළාම ප්‍රතික්ෂේප කළ දේවලින් මා දැන් රසාස්වාදයක් ලබනවාද? දැන් මම ඒවා නරඹමින් හෝ අසමින් එහි යම් හාස්‍ය රසයක් විඳිනවාද? දෙවි හෙළාදකින්නාවූ ක්‍රියා ගැන දැන් මට තිබෙන්නේ වඩාත් ලිහිල් ආකල්පයක්ද? ඒවාට මම ඇහුම්කන් දෙනවාද? ඒවාට ඉඩ දෙනවාද? ඉස්සරට වඩා මම දැන් ආත්මික කාරණාවලට අඩු සැලකිල්ලක් දැක්වීමට නැඹුරු වෙලාද? මම මගේ ජීවිතය තුළ රාජ්‍ය කාරණාවලට මුල් තැන දෙනවා කියා මා ජීවත් වන විදිහෙන් පෙන්වනවාද?’ (මතෙව් 6:33) ඒ විදිහට කල්පනා කරනවා නම්, අපට ලෝකයේ ආත්මයට එරෙහි වන්නට එය මහෝපකාරී වේ.

‘කිසි කලක ගසාගෙන නොයන්න’

8. කෙනෙක් යෙහෝවා වෙතින් ඉවතට ගසාගෙන යනවා විය හැක්කේ කෙසේද?

8 ප්‍රේරිත පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට මෙසේ ලීවේය. “අප කිසි කලක ගසාගෙන නොයන පිණිස, අප ඇසූ දේවල් කෙරෙහි සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් දීම අවශ්‍යය.” (හෙබ්‍රෙව් 2:1, NW) ගසාගෙන යන නැවක් එහි නියමිත ගමනාන්තයට පැමිණෙන්නේ නැත. නැවේ කපිතාන්වරයා මුහුදු සුළං හමන දිශාව හා මුහුදු රැළි ගසන දිශාව ගැන සාවධානව සිටින්නේ නැත්නම්, ඔහුගේ නැව නවතා තිබිය හැකි සුරක්ෂිත වරායක් තිබියදීත් එය පසු කර යමින් පහසුවෙන්ම ඉවතට ගසාගෙන ගොස් ගල්පර සහිත වෙරළක ගැටී හිර වී යා හැකියි. ඒ හා සමානව, අප දෙවිගේ වචනයේ තිබෙන වටිනා සත්‍යතාවන් ගැන කිට්ටු අවධානයක් දෙන්නේ නැත්නම්, අප ඉතා පහසුවෙන් යෙහෝවා වෙතින් ඉවතට ගසාගෙන ගොස්, ආත්මික මුහුදුබත් වීමක් අද්දකින්නට පුළුවන. එසේම අපත් සම්පූර්ණයෙන්ම සත්‍යය අත්හැරියේ නැතත් එවන් විපතකට ගොදුරු වීමට පුළුවන. ඇත්තෙන්ම, බොහෝදෙනෙකු යෙහෝවාව ප්‍රතික්ෂේප කරන්නේ එකපාරටම හෝ හිතා මතාම නොවේ. බොහෝවිට සිදු වෙන්නේ දෙවිගේ වචනයට ඔවුන් දෙන අවධානය ඔවුන්ගෙන් ගිලිහී යන යම් දෙයකට ඔවුන්ව කෙමෙන් කෙමෙන් යොමුවීමයි. ඔවුන්ට නොදැනීම හීන් සැරේ ඔවුහු පාපයට ඇදී යති. මේ හේතුවෙන්, නිදා සිටින කපිතාන්වරයෙකුට සිදු වෙනවාක් මෙන් එවන් පුද්ගලයන් තම අලසකමින් අවදි වන විට ප්‍රමාද වැඩිය.

9. යෙහෝවා සලමොන්ට ආශීර්වාද කළේ කිනම් ආකාරවලින්ද?

9 සලමොන්ගේ ජීවිතය ගෙවී ගිය සැටි සලකා බලන්න. යෙහෝවා ඔහුට ඊශ්‍රායෙලයේ රජකම පැවරුවේය. දෙවි සලමොන්ට දේවමාලිගාව සෑදීමට ඉඩහළ අතර, බයිබලයේ යම් කොටස් ලිවීමටද විධිවිධාන යෙදීය. යෙහෝවා ඔහු සමඟ අවස්ථා දෙකකදී කතා කළ අතර, ඔහුට වස්තුව සහ කීර්තිය සමඟින් සාමයෙන් පිරි පාලනයකින්ද ආශීර්වාද කළේය. ප්‍රධාන වශයෙන්, යෙහෝවා සලමොන්ට ආශීර්වාද කළේ මහත් ප්‍රඥාවක් දානය කිරීමෙනි. බයිබලය මෙසේ කියයි. ‘දෙවි ඉතා මහත් ප්‍රඥාවකුත් ඥානයකුත් මුහුදු වෙරළේ වැල්ල මෙන් විශාල වූ සිහියකුත් සලමොන්ට දුන්නේය. සලමොන්ගේ ප්‍රඥාව පූර්වදිග රටවල සියලු ජනයාගේ ප්‍රඥාවටත් ඊජිප්තුවරුන්ගේ මුළු ප්‍රඥාවටත් වඩා මහත්ව තිබුණේය.’ (1 රාජාවලිය 4:21, 29, 30; 11:9) දෙවිට දිගටම විශ්වාසවන්තව සිටිනු ඇති යමෙකු වූවා නම්, ඒ සලමොන්යයි යමෙකුට සිතුණ බවට කිසිදු සැකයක් නැත. එහෙත්, සලමොන් ඇදහිල්ලට එරෙහිව කැරලිගැසීමේ අනතුරට කෙමෙන් කෙමෙන් හසු විය. එය සිදු වූයේ කෙසේද?

10. සලමොන් අකීකරු වූයේ කිනම් උපදෙසටද? එහි විපාකය වූයේ කුමක්ද?

10 සලමොන් දෙවිගේ නීතිය හොඳින් දැනගෙනත් අවබෝධ කරගෙනත් සිටියේය. දෙවි ඊශ්‍රායෙලයේ රජවරුන්ට දී තිබූ උපදෙස් කෙරෙහි ඔහු විශේෂ උනන්දුවක් දැක්වූ බවට කිසිම සැකයක් නැත. මේ උපදෙස් අතර, දුන් එක් උපදෙසක් වූයේ මෙයයි. “තමාගේ [රජුගේ] සිත ඉවත නොහැරෙන පිණිස ඔහු විසින් භාර්යාවන් වැඩි කර නොගත යුතුය.” (ද්විතීය කථාව 17:14, 17) ඒ පැහැදිලි උපදෙස දී තිබියදීත්, සලමොන් භාර්යාවන් හත්සියදෙනෙකුවද උපභාර්යාවන් තුන්සියදෙනෙකුවද පාවාගත්තේය. මෙම ස්ත්‍රීන්ගෙන් බොහෝදෙනෙක් අන් දෙවිවරුන්ට නමස්කාර කළ අය වූහ. සලමොන් මෙතරම් බොහෝ භාර්යාවන් පාවාගත්තේ ඇයි කියා අපි නොදනිමු. එසේ කිරීම ඔහු විසින් සාධාරණීකරණය කළේ කෙසේද කියාත් අපි නොදනිමු. නමුත් අප දන්නා දෙයක් නම්, ඔහු දෙවිගෙන් ලැබුණු පැහැදිලි උපදෙසට අකීකරු වූ බවයි. මින් ඇති වූ විපාකය වූයේ, සිදු වෙයි කියා යෙහෝවා අනතුරු අඟවා තිබූ ආකාරයටම සිදුවීමයි. අපට මෙසේ කියවන්නට තිබේ. “[සලමොන්ගේ] භාර්යාවෝ ඔහුගේ සිත [ක්‍රමානුකූලව, NW] අන් දෙවිවරුන් වෙතට හැරෙවුවෝය.” (1 රාජාවලිය 11:3, 4) එය “ක්‍රමානුකූලව” සිදු වූ නමුත් ස්ථිර වශයෙන්ම ඔහුගෙන් දිව්‍ය ප්‍රඥාව පහ වී ගියේය. ඔහුව හෙමින් හෙමින් ගසාගෙන යන්නට විය. දෙවිට කීකරු වී ඔහුව සතුටු කරනවා වෙනුවට කල් යත්ම සලමොන්ගේ ආශාව වූයේ ඔහුගේ මිථ්‍යාදෘෂ්ටික භාර්යාවන්ව සතුටු කිරීමයි. එය කොතරම් කණගාටුදායකද! මන්දයත් “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට උත්තර දෙන පිණිස ඔබ ප්‍රඥාවත්ව සිට මාගේ සිත ප්‍රීතිමත් කරන්න” යන වචන ලිව්වේ සලමොන්මය.—හිතෝපදේශ 27:11.

ලෝකයේ ආත්මය බලවත්ය

11. අප අපගේ මනසට ඇතුල් කරන දෙය අප සිතන ආකාරයට බලපාන්නේ කෙසේද?

11 සලමොන්ගේ ආදර්ශයෙන් අපට යමක් උගන්වයි. එය නම්, අප සත්‍යය දන්නා බැවින් ලෝකයෙන් එල්ල වන පීඩනවලින් අප සිතන ආකාරයට කිසිදු බලපෑමක් සිදු වන්නේ නැතැයි කියා කල්පනා කිරීම භයානක බවයි. ආහාර අපගේ ශරීරයට බලපානවාක් මෙන්ම, මානසික ආහාරද අපගේ මනසට බලපායි. අප සිතන ආකාරය සහ අපගේ ආකල්ප සකස් කෙරෙන්නේ මනසට ඇතුල් වන දෙයිනි. මේ බව තේරුම්ගෙන, වාණිජමය ව්‍යාපාරයන් වසරකට ඩොලර් බිලියන ගණනක් වියදම් කරමින් වෙළඳ දැන්වීම් පළ කරයි. පාරිභෝගිකයාව ආකර්ෂණය කරගැනීමේ අටියෙන් ඉතා සාර්ථක වෙළඳ දැන්වීම්වල දක්ෂ ලෙස නෙත් සිත් ඇදගන්නා වචන සහ පින්තූරු යොදාගනු ලබයි. වෙළඳ දැන්වීමක් වරක් දෙවරක් පමණක් දැකීමෙන් ජනයා එවෙලෙහිම ඒ භාණ්ඩය මිල දී ගැනීමට පෙලඹෙන්නේ නැති බවද වෙළඳ දැන්වීම්කරුවෝ දනිති. කෙසේවෙතත්, කාලයක් තිස්සේ පාරිභෝගිකයා වෙළඳ දැන්වීම්වලට නිරාවරණය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් එම භාණ්ඩය දෙස ප්‍රසන්න ඇසකින් බැලීමට පාරිභෝගිකයා පුරුදු වෙයි. වෙළඳ දැන්වීම් ඉතා සාර්ථකය. එසේ නොවේ නම්, කිසිම කෙනෙක් දැන්වීම් පළ කිරීම සඳහා එතරම් විශාල මුදලක් වැය කරන්නේ නැත. ඒවා ජනයා සිතන ආකාරය සහ ඔවුන්ගේ ආකල්ප කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරයි.

12. (අ) සාතන්, ජනයා සිතන ආකාරයට බලපෑම් කරන්නේ කෙසේද? (ආ) ක්‍රිස්තියානීන් ඒ බලපෑමට ලක් විය හැකි බව කුමකින් පෙනේද?

12 දැන්වීම්කරුවෙකු මෙන්, සාතන් තමාගේ අදහස් ජනයාගේ සිත් ආකර්ෂණය වන දේවල් සමඟ මුසු කර ඔවුන් වෙත ඉදිරිපත් කරන්නේ කල් යත්ම තමා සිතන ආකාරයට ඔවුන්ව නම්මාගත හැකි බව හොඳින් දැනගෙනය. විනෝදය සඳහා කරන දේවලින් සහ වෙනත් ක්‍රමවලින් සාතන් ජනයාව රවටන්නේ හොඳ දේ නරකය කියාත් නරක දේ හොඳය කියාත් විශ්වාස කිරීමට සැලැස්වීමෙනි. (යෙසායා 5:20) සැබෑ ක්‍රිස්තියානීහු පවා සාතන්ගේ මෙම බොරු ප්‍රචාර ව්‍යාපාරයේ ගොදුරු බවට පත් වී සිටිති. බයිබලය මෙසේ අනතුරු අඟවයි. “පසු කාල පරිච්ඡේදවලදී සමහරුන් ඇදහිල්ලෙන් වැටී යනවා ඇතැයි ආනුභාව ලත් ප්‍රකාශය ස්ථිර ලෙස කියන්නේය. මුළා කරවන ආත්මයන්ගේ ප්‍රකාශවලට හා භූතයන්ගේ ඉගැන්වීම්වලට අවධානය යොමු කිරීම නිසාද, හංවඩු ගසන ලද හෘදය සාක්ෂි ඇති බොරු කියන්නාවූ මිනිසුන්ගේ කුහකකම නිසාද එසේ වැටී යන්නේය.”—1 තිමෝති 4:1, 2, NW; යෙරෙමියා 6:15.

13. නරක ආශ්‍රයන් මොනවාද? ඇසුර අපට බලපෑම් කරන්නේ කෙසේද?

13 ලෝකයේ ආත්මයේ බලපෑමට හසුවීමේ අනතුරින් නිදහස් විය හැකි කිසිම කෙනෙක් අප අතර නැත. සාතන්ගේ සමාජ ක්‍රමයේ ඍජු ප්‍රහාර හා වක්‍රාකාර ප්‍රහාර ප්‍රබලය. “මුළා නොවන්න. නරක ආශ්‍රයෙන් හොඳ පුරුදු නැති වන්නේය” යනුවෙන් බයිබලය අපට ඥානවන්ත ලෙස අවවාද කරයි. (1 කොරින්ති 15:33, NW) ලෝකයේ ආත්මය පිළිබිඹු කරන ඕනෑම දෙයක් හෝ ඕනෑම කෙනෙක් නරක ආශ්‍රයක් විය හැකි අතර, සමහරවිට සභාව තුළ සිටින එවන් ආත්මයක් පිළිබිඹු කරන ඕනෑම කෙනෙකුගේ ඇසුර පවා නරක ආශ්‍රයක් විය හැකියි. නරක ආශ්‍රයෙන් අපට කිසිදු හානියක් වෙන්නේ නැතැයි කියා අප සිතනවා නම්, ඉන් අප නිගමනය කර ඇත්තේ හොඳ ආශ්‍රයෙන් අපට කිසිදු පලක් නැහැ යන්න නොවේද? ඒ විදිහට කල්පනා කිරීම කොතරම් වැරදිසහගතද! බයිබලය මෙම කාරණය අපට මෙසේ පැහැදිලිව පෙන්වයි. “ඥානවන්තයන් කැටුව යන්න. එවිට ඔබ ඥානවන්ත වන්නේය. එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදු වන්නේය.”—හිතෝපදේශ 13:20.

14. ලෝකයේ ආත්මයට එරෙහිව සිටීමට අපට හැක්කේ කිනම් මාර්ගවලින්ද?

14 ලෝකයේ ආත්මයට එරෙහිව සිටීමට නම්, අප ඥානවන්ත පුද්ගලයන් සමඟ, එනම් යෙහෝවාට සේවය කරන අය සමඟ ඇසුරු කළ යුතුයි. තවද, අප අපගේ මනස අපගේ ඇදහිල්ල ගොඩනංවන දේවලින් පිරවිය යුතුයි. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “සැබෑ වූ, ගෞරවනීය වූ, ධර්මිෂ්ඨ වූ, නිර්මල වූ, ප්‍රේමය ඇති කරන්නාවූ, යහපත් කීර්තියක් ඇත්තාවූ, ගුණවත් වූ, ප්‍රශංසනීය වූ දේවල්වලට දිගටම මනස යොමු කරන්න.” (ෆිලිප්පි 4:8, NW) තම අභිමතය පරිදි තීරණ ගත හැකි පුද්ගලයන් වශයෙන්, අප කැමති දෙයක් තෝරාගැනීමට අපට හැකියාවක් තිබේ. එසේනම්, අපව යෙහෝවා වෙතට ළං කරවන්නාවූ දේවලට නිතරම අපේ මනස යොමු කිරීමට අපි අධිෂ්ඨාන කරගමු.

දෙවිගේ ආත්මය ඊට වඩා බලවත්ය

15. ඉපැරණි කොරින්ති නගරයේ විසූ ක්‍රිස්තියානීන් එහි විසූ වෙනත් වැසියන්ට වඩා වෙනස් වූයේ කෙසේද?

15 ලෝකයේ ආත්මයෙන් මුළා වන අය මෙන් නොව, සැබෑ ක්‍රිස්තියානීන් මඟ පෙන්වීම් ලබන්නේ දෙවිගේ ශුද්ධාත්මය මගිනි. පාවුල් කොරින්තියේ තිබූ සභාවට ලීවේ මෙසේයි. “දෙවි සිය කරුණාවෙන් අපට දී තිබෙන දේවල් දැනගන්නා පිණිස දැන් අපට ලැබී තිබෙන්නේ ලෝකයේ ආත්මය නොව, දෙවිගෙන් වූ ආත්මයය.” (1 කොරින්ති 2:12, NW) ඉපැරණි කොරින්ති නගරය සම්පූර්ණයෙන්ම ලෝකයේ ආත්මයේ ග්‍රහණයට හසුව තිබූ නගරයක් විණි. එහි වැසියන්ගෙන් වැඩිදෙනෙකු කොතරම් සල්ලාල අපචාර ජීවිතයක් ගත කළාද යත්, “කොරින්තියෙක්” යන යෙදුමෙන් පසු කාලවල අදහස් වූයේ “දුරාචාරයේ නියැලෙන කෙනෙකුවය.” සාතන් ඒ ජනයාගේ සිත් අන්ධ කර තිබිණි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් සැබෑ දෙවි ගැන දැන සිටියේ ඉතා අල්ප වශයෙනි. නැතහොත් කිසිම දෙයක් දැන සිටියේ නැත. (2 කොරින්ති 4:4) එහෙත්, තම ශුද්ධාත්මය මාර්ගයෙන්, යෙහෝවා ඇතැම් කොරින්තිවරුන්ගේ ඇස් පහදා, සත්‍යය පිළිබඳ දැනුමක් ලබාගැනීමට අවස්ථාව ලබා දුන්නේය. ඔවුන්ගේ ජීවිතවල විශාල වෙනස්කම් කිරීමට ඔහුගේ ආත්මය ඔවුන් පොලඹවා ඔවුන්ට මඟ පෙන්වූයෙන්, ඔවුන්ට දෙවිගේ අනුමැතිය හා ආශීර්වාද ලැබිණි. (1 කොරින්ති 6:9-11) ලෝකයේ ආත්මය බලවත් එකක් වුවද, යෙහෝවාගේ ආත්මය ඊට වඩා බලවත්ය.

16. දෙවිගේ ආත්මය ලබාගෙන එය රඳවාගැනීමට අපට හැක්කේ කෙසේද?

16 අද දිනත් එය සැබෑය. යෙහෝවාගේ ශුද්ධාත්මය යනු විශ්වයේ තිබෙන වඩාත් ප්‍රබලතම බලවේගයයි. තවද ඔහු එය ඇදහිල්ලෙන් යුතුව තමාගෙන් ඉල්ලන අයට මුළු හදවතින්ම සහ නොමසුරු ලෙස එය දානය කරයි. (ලූක් 11:13) එහෙත්, දෙවිගේ ආත්මය ලබාගැනීම පිණිස, අප මේ ලෝකයේ ආත්මයට එරෙහි වෙනවාට වඩා වැඩි යමක් කළ යුතුය. අප දෙවිගේ වචනය නිතිපතා අධ්‍යයනය කළ යුතු අතර, අප එය පිළිපැදීමද අවශ්‍යය. එවිට අපගේ ආත්මය, හෙවත් අපගේ ආකල්පය ඔහු සිතන ආකාරයට එකඟ වන්නේය. අප එසේ කරනවා නම්, අපගේ ආත්මිකත්වය විනාශ කිරීමට සාතන් යොදාගන්නාවූ ඕනෑම උපක්‍රමයක් හමුවේ ස්ථිරව සිටීමට යෙහෝවා අපව ශක්තිමත් කරනවා ඇත.

17. ලොත්ගේ අද්දැකීම අපට දිරිගැන්වීමක් වන්නේ කිනම් ආකාරවලින්ද?

17 ක්‍රිස්තියානීන් ලෝකයේ කොටසක් නොවුණත්, ඔවුන් ජීවත් වන්නේ ලෝකයේය. (යොහන් 17:11, 16) අපගෙන් කිසිවෙකුට ලෝකයේ ආත්මයෙන් සියයට සියයක්ම වැළකී සිටින්නට බැරිය. මන්ද, දෙවි කෙරෙහි හෝ දෙවිගේ මාර්ග කෙරෙහි කිසිම ඇල්මක් නැති අය සමඟ අපට අපේ රැකියාව කිරීමට හෝ ජීවත් වීමට සිදු වන නිසාය. තමා ජීවත් වූ සොදොම් නගරයේ වැසියන් නීතිය නොතකා කළ ක්‍රියා හේතුවෙන් “බොහෝ සෙයින් කම්පිතව සිටි” නැතහොත් වේදනාවෙන් පෙළුණාවූ ලොත්ට මෙන් අපටත් හැඟෙනවාද? (2 පේතෘස් 2:7, 8, NW) එසේ හැඟෙනවා නම්, අපට දිරිගැන්වීමක් ලැබිය හැකියි. යෙහෝවා ලොත්ව ආරක්ෂා කර ඔහුව ගැලවීය. එසේම අපව ගැලවීමටද ඔහුට පුළුවන. අපගේ ප්‍රේමණීය පියාණන් අපගේ තත්වයන් ගැන දන්නා අතර, අපගේ ආත්මිකත්වය පවත්වාගැනීම සඳහා අවශ්‍ය කරන්නාවූ උපකාරය හා ශක්තිය අපට දීමට ඔහුට හැකියි. (ගීතාවලිය 33:18, 19) අප ඔහු කෙරෙහි රඳා සිටිනවා නම්, ඔහු කෙරෙහි විශ්වාසය තබනවා නම් හා ඔහුගෙන් අයැදිනවා නම්, අපගේ තත්වයන් කොතරම් අසීරු වුණත්, මේ ලෝකයේ ආත්මයට එරෙහිව සිටීමට ඔහු අපට උපකාර කරනු ඇත.—යෙසායා 41:10.

18. යෙහෝවා සමඟ ඇති අපගේ සම්බන්ධතාව අප නිධානයක් මෙන් සැලකිය යුත්තේ මන්ද?

18 සාතන් විසින් රවටනු ලැබුවාවූ, දෙවිගෙන් ඈත්ව තිබෙන ලෝකයක වුවද, අපි යෙහෝවාගේ ජනයා හැටියට සත්‍යය පිළිබඳ දැනුම සමඟින් ආශීර්වාද ලැබ සිටිමු. මෙසේ, ලෝකයේ ජනයා අද්නොදකින ප්‍රීතියක් හා සාමයක් අපි අද්දකින්නෙමු. (යෙසායා 57:20, 21; ගලාති 5:22) මිය යමින් තිබෙන මේ ලෝකයේ ආත්මය තවත් නොතිබෙන්නාවූ පාරාදීසයේ සදාකාල ජීවිතය පිළිබඳ පුදුමාකාර බලාපොරොත්තුව අපි ආදරයෙන් රැකගනිමු. එමනිසා, අපි දෙවි සමඟ තිබෙන වටිනා සම්බන්ධතාව නිධානයක් මෙන් සලකා, ආත්මිකව අපව ගසාගෙන යෑමේ මොනයම් ප්‍රවණතාවක් හෝ වේ නම්, එයට ඉඩ නොදී සිටීම සඳහා පියවර ගනිමු. අපි යෙහෝවාට වඩ වඩාත් ළං වෙමු. එවිට ලෝකයේ ආත්මයට එරෙහිව සිටීමට ඔහු අපට උපකාර කරනවා නියතය.—යාකොබ් 4:7, 8.

ඔබට පැහැදිලි කළ හැකිද?

• සාතන් ජනයාව රවටා තිබෙන්නෙත් නොමඟ යවා තිබෙන්නෙත් කවර ආකාරවලින්ද?

• යෙහෝවාගෙන් ඉවතට ගසාගෙන යෑමෙන් වැළකීමට අපට හැක්කේ කෙසේද?

• මේ ලෝකයේ ආත්මය බලවත් එකක් බව පෙනී යන්නේ කුමකින්ද?

• දෙවිගෙන් ආත්මය ලබාගැනීමටත් එය රඳවාගැනීමටත් අපට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[11වන පිටුවේ වගුව]

ලෞකික ප්‍රඥාවට එරෙහි වූ දිව්‍ය ප්‍රඥාව

සත්‍යය යනු සාපේක්ෂ දෙයකි.—සත්‍යය කුමක්ද කියා තීරණය කරන්නේ මිනිසුන්ය.

“[දෙවිගේ] වචනය සත්‍යතාවය.”—යොහන් 17:17.

හරි වැරැද්ද අතර වෙනස තීරණය කරගැනීමට, ඔබේ සිතට හැඟෙන දේ කරන්න.

“සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ, ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද?”—යෙරෙමියා 17:9.

ඔබට කැමති දේ කරන්න.

“ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.”—යෙරෙමියා 10:23.

සන්තෝෂය ලබාගැනීමේ රහස ධනය ඉපයීමයි.

“මුදලට ප්‍රේම කිරීම සියලු ආකාර හානිකර දේවල්වල මුලක්ය.”—1 තිමෝති 6:10, NW.

[10වන පිටුවේ පින්තූරය]

සලමොන් සැබෑ නමස්කාරයෙන් ඉවතට ඇදී ගිය අතර, බොරු දෙවිවරුන් වෙතට හැරුණි

[12වන පිටුවේ පින්තූරය]

දැන්වීම්කරුවෙකු මෙන්, සාතන් ලෝකයේ ආත්මය ප්‍රචාරය කරයි. ඔබ එයට එරෙහි වෙනවාද?