Skip to content

පටුනට යන්න

සුළු පරිත්‍යාගවලින් අපිට ලැබුණා ආශීර්වාද රැසක්

සුළු පරිත්‍යාගවලින් අපිට ලැබුණා ආශීර්වාද රැසක්

ජීවිත කතාව

සුළු පරිත්‍යාගවලින් අපිට ලැබුණා ආශීර්වාද රැසක්

පැවසුවේ ජෝර්ජ් සහ ඈන් ඇල්ජන්

මගේ බිරිඳයි මමයි හීනෙකින්වත් හිතුවේ නැහැ අපිට කවදාහරි දවසක “ගුරුවරිය” කියන වචනෙට “මීයා” කියලා කියන්න සිද්ධ වෙයි කියලා. පෙරදිග රටවලින් එන අයත් එක්ක කතා කරන්න අමුතු අකුරු වගයක් අපිට ඉගෙනගන්න වෙයි කියලා කොහොමටවත් හිතුවේ නැහැ. ඒත්, 1980 ගණන්වල අගභාගයේදී ඈන්ටයි, මටයි කරන්න සිද්ධ වුණෙත් ඒ දේමයි. වසර ගණනාවක් පුරා අපි කරපු සුළු පරිත්‍යාගවලින් අපිට ආශීර්වාද රැසක් ලැබුණ විදිහ අපි ඔබට කියන්නම්.

ආ මේනියානු ජාතිකයන්ගෙන් පැවතෙන්නෙක් වන මම කලින් අයිති වෙලා හිටියේ ආමේනියානු සභාවටයි. ඈන් කලින් රෝමානු කතෝලික කෙනෙක්. අපි දෙන්නා 1950දී විවාහ වෙනකොට අපේ ආගමික විශ්වාසයන්ට අනුව දේවල් කළේ නැහැ. මට එතකොට 27යි, ඈන්ට 24යි. විවාහයෙන් පස්සේ අපි පදිංචි වුණේ අ.එ.ජ., නිව් ජර්සිවල ජර්සි නගරයේ පිහිටි මගේ ලොන්ඩරියේ (ඩ්‍රයි ක්ලීනිං සාප්පුවේ) උඩ තට්ටුවේ සාදා තිබූ නිවසෙයි. ඒ වෙනකොට මම මේ ව්‍යාපාරය පටන්ගෙන අවුරුදු හතරක් විතර ඇති.

අපි 1955දී නිව් ජර්සිහි මිඩ්ල්ටවුන්වල පිහිටි, නිදන කාමර තුනක් තියෙන ලස්සන ගෙයක් සල්ලිවලට අරගත්තා. ඒ ගේ තිබුණේ මගේ සාප්පුවේ ඉඳලා කිලෝමීටර් 60ක විතර දුරකින්. මම සාප්පුවේ සතියකට දවස් හයක් වැඩ කළා. හැමදාම ගෙදර එනකොට රෑ බෝ වුණා. මට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මුණගැහුණේ ඔවුන් වරින් වර මගේ සාප්පුවට ඇවිත් මට බයිබල් පොත් පත් දීලා ගිය අවස්ථාවල විතරයි. මම ඒ පොත් පත් කියෙව්වේ හුඟක් ආසාවෙන්. මගේ ව්‍යාපාරයට වැඩි කාලයක් සහ වැඩි අවධානයක් යොදවන්න සිද්ධ වුණත් මා තුළ බයිබලය කෙරෙහි ගැඹුරු ගෞරවයක් වර්ධනය වුණා.

වොච්ටවර් ගුවන් විදුලි මධ්‍යස්ථානයෙන් (WBBR) බයිබල් දේශන විකාශනය කරන බව මම වාහනයෙන් සාප්පුවට යන එන කාලය අතරතුරේදී දැනගත්තා. ඒ දේශනවලට හොඳින් ඇහුම්කන් දෙද්දී මගේ උනන්දුව මොන තරම් වැඩි වුණාද කියනවා නම් මාව හම්බ වෙන්න එන්න පුළුවන්ද කියලා සාක්ෂිකරුවන්ගෙන් අහන්න මම පෙලඹුණා. වර්ෂ 1957 නොවැම්බර්වලදී ජෝර්ජ් බ්ලැන්ටන් මගේ ගෙදරට ඇවිල්ලා මාත් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා.

අපි පවුලක් වශයෙන් පවිත්‍ර නමස්කාරයේ එක්සත් වී

ඈන්ට මේ හැම දෙයක් ගැනම හැඟුණේ කොහොමද? ඇයට ඉඩ දෙමු ඒ ගැන පවසන්න.

“මුලදී මම තදින්ම විරුද්ධ වුණා. ජෝර්ජ්ගේ බයිබල් පාඩම වෙලාවේදී මම මොන තරම් බාධා කළාද කියනවා නම් වෙන තැනකට ගිහින් පාඩම කරන්න ඔහු තීරණය කළා. මාස අටක් ඒ විදිහට ගෙවිලා ගියා. ඒ අතරතුරේ ජෝර්ජ් ඉරිදාට රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට යන්නත් පටන්ගත්තා. තිබුණ එකම නිවාඩු දවස ඒ දවස විතරමයි. ඒකෙන් මම දැනගත්තා ඔහු ඔහුගේ බයිබල් පාඩම සුළු පටු දෙයක් හැටියට සලකන්නේ නැති බව. ඒත් ඔහු වෙන කවරදාටත් වඩා හොඳ ස්වාමිපුරුෂයෙක් හා පියෙක් හැටියට හිටිය නිසා මගේ ආකල්පය වෙනස් වෙන්න පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි, සමහර දවස්වල ටීපෝව උඩ දූවිලි පිහදානකොට කවුරුත් අහළ පහළ නැති වෙලාවක් බලලා මම ඒකෙ උඩ ජෝර්ජ් නිතරම තියලා තිබුණ පිබිදෙව්! සඟරාව අරගෙන කියෙව්වා. ජෝර්ජ් සමහර වෙලාවලදී මට ඇහෙන්න පිබිදෙව්! සඟරාවේ ලිපි කියෙව්වා. ඔහු කියවද්දී තෝරගත්තේ ආගමික මූලධර්මවලට කෙළින්ම සම්බන්ධ නැති, හැබැයි මැවුම්කරුව හැමවිටම ඉස්මතු කරලා පෙන්නපු ලිපියි.

“ජෝර්ජ් සහෝදර බ්ලැන්ටන් එක්ක බයිබල් පාඩම කරන්න ගිහින් තිබුණ හැන්දෑ වරුවක, අපේ දෙහැවිරිදි ජෝර්ජ් පුතා මගේ ඇඳ ළඟ මේසේ උඩ දාලා ගිහින් තිබුණ පොතක් මම අතට අරං බැලුවා. ඒකේ මළවුන්ට ඇති බලාපොරොත්තුව ගැන යමක් සඳහන් කරලා තිබුණා. ඒ වෙලාවේ මම මහන්සි වෙලා හිටියත් ඒක කියවන්න පටන්ගත්තේ මගේ ආච්චි මැරුණෙත් ඒ කාලේදීම නිසායි. මම හිටියේ හුඟක් දුකෙන්. මැරුණ අය කොහේ හරි දුක් විඳ විඳ ඉන්නේ නැති බවත්, අනාගතයේදී නැවත නැඟිටීමක් ලැබිලා ජීවත් වෙන බවත් තේරුම්ගත්ත මම මේ බයිබල් සත්‍යය අගේ කළා. ඊට පස්සේ මම ඇඳේ කෙළින් ඉඳගෙන උනන්දුවෙන් කියවන්න පටන්ගත්තා. බයිබල් පාඩම ඉවර වෙලා ජෝර්ජ් ගෙදර ආවහම පෙන්වන්න ඕන කරුණුවලට යටින් ඉරි ගැහැව්වා.

“මේ මමමද කියලා මගේ සැමියාට අදහාගන්න බැරුව ගියා. ඔහු ගෙයින් පිටත් වෙද්දී මම හිටියේ විරෝධය පාන්නෙක් හැටියටයි. ඒත් ඔහු එනකොට, මම දැනගත්ත පුදුමාකාර බයිබල් සත්‍යයන් ගැන කියව කියව හිටියේ හරිම ප්‍රීතියකින්! එදා පාන්දර ජාමේ වෙන තුරුම අපි බයිබලය ගැන කතා කරමින් හිටියා. පොළොව සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ මොකක්ද කියලා ජෝර්ජ් පැහැදිලි කළා. මම එදාම එයාගෙන් ඇහැව්වා මටත් බයිබල් පාඩමට හවුල් වෙන්න ඕන නිසා ඒක ගෙදරදීම කරන්න පුළුවන්ද කියලා.

“අපේ පාඩමට පුතාලා දෙන්නවත් තියාගන්නවා නම් හොඳයි කියලා සහෝදර බ්ලැන්ටන් කිව්වා. මේ දෙන්නාගෙන් එක් කෙනෙකුට වයස අවුරුදු දෙකයි, අනිත් එක් කෙනාට හතරයි නිසා අපි හිතුවේ ඔවුන් පොඩි වැඩියි කියලයි. ඒත්, සහෝදර බ්ලැන්ටන් අපිට ද්විතීය කථාව 31:12, 13 පෙන්නුවා. ‘පුරුෂයන්ද ස්ත්‍රීන්ද බාලයන්ද . . . අසා ඉගෙනගන්න පිණිස . . . සෙනඟ රැස් කරන්න.’ ඒ උපදෙසට අවනත වුණා විතරක් නෙවෙයි බයිබල් පාඩමේදී උත්තර දෙන්නත් අපි දරුවන්ව කලින්ම සූදානම් කළා. අපි ඔක්කොම එකතු වෙලා සූදානම් වුණත් දෙන්න ඕන උත්තර මොනවාද කියලා අපි ඔවුන්ට කියලා දුන්නේ නැහැ. සත්‍යය ඔවුන්ගේම කරගන්න ඒක උපකාර වුණා කියලයි අපිට හැඟෙන්නේ. අපේ පවුලට ආත්මිකව වැඩි වර්ධනය වෙන්න සහෝදර බ්ලැන්ටන් දුන්න මඟ පෙන්වීම අපි හැම තිස්සෙම අගය කරනවා.”

අභියෝග නිසා පරිත්‍යාගයන්

එකට බයිබලය පාඩම් කරන්න පටන්ගත්තාට පස්සේ අලුත් අභියෝගවලට මූණ දෙන්න අපිට සිද්ධ වුණා. මගේ සාප්පුව හුඟක් ඈතක තිබුණ නිසා අඩුම තරමේ රෑ නමය වෙනකොටවත් ගෙදර එන්න මට විදිහක් තිබුණේ නැහැ. මේ නිසා සතියේ දවස්වලදී මට රැස්වීම්වලට යන්න බැරි වුණා. ඒත් ඉරිදා දවස්වල නම් ගියා. මේ වෙනකොට ඈන් හැම රැස්වීමකටම යන්න පටන්ගෙන තිබුණ නිසා ඉක්මනින්ම දියුණුවක් ලැබුවා. මටත් ඕන වුණේ හැම රැස්වීමකටම යන්නයි. ඒ වගේම අර්ථවත් පවුල් පාඩමක් පවත්වන්නයි. මට පරිත්‍යාගයන් සිදු කරන්න වෙන බව මම දැනගෙන හිටියා. සාප්පුවට එන අය අඩු වුණත් කමක් නැහැ මම මගේ රැකියාවට යොදන කාලය අඩු කරනවා කියලා තීරණය කළා.

සැලැස්ම සාර්ථක වුණා. රාජ්‍ය ශාලාවේ සතිපතා පැවැත්වෙන රැස්වීම් පහ වගේම පවුලේ පාඩමත් වැදගත් කියලා අපි සැලකුවා. අපි ඒකට කිව්වේ අපේ හයවෙනි රැස්වීම කියලයි. ඒ නිසා ඒකට නිශ්චිත දවසක් සහ වෙලාවක් අපි යොදාගත්තා. අපි හැම බදාදාවකම රාත්‍රි 8ට ඒක පවත්වන්න තීරණය කළා. සමහර බදාදා දවස්වල රෑ කෑමෙන් පස්සේ කුස්සියේ අන්තිම භාජනය සෝදලා ඉවර වෙනකොටම වගේ “රැස්වීමට වෙලාව හරි” කියලා අපි කවුරුහරි කියන අවස්ථාත් තිබුණා. මම ගෙදර එන්න පරක්කු වුණ දවස්වල ඈන් පාඩම පටන් අරගෙන කරගෙන යනවා. මම ආවට පස්සේ ඉතුරු ටික මම කරගෙන යනවා.

අපව පවුලක් වශයෙන් ශක්තිමත්ව හා එකමුතුව තැබුව තවත් දෙයක් තමයි උදේට දිනපදය කියවීම. කොහොමවුණත්, මේක සැලසුම් කරගන්න ලේසි වුණේ නැහැ. හැමෝම උදේ නැඟිට්ටේ වෙන වෙන වෙලාවලයි. ඉතින් අපි මේ ගැන සාකච්ඡා කරලා හැමෝම එකම වෙලාවට නැඟිටින්නත්, උදේ 6:30ට උදේ කෑම ගන්නත්, දිනපදය එකට සාකච්ඡා කරන්නත් තීරණයක් ගත්තා. මේක හුඟාක් ප්‍රයෝජනවත් දෙයක් වුණා. අපේ පුතාලා ලොකු වුණහම බෙතෙල් සේවය තෝරගත්තා. අපිට හැඟුණේ දිනපතා කරපු මේ සාකච්ඡාවන් ඔවුන්ගේ ආත්මිකත්වයට දායක වුණා කියලයි.

බව්තීස්මයෙන් පසු ලැබූ වරප්‍රසාද නිසා විශාල පරිත්‍යාගයන් කිරීමට සිදු වී

මම බව්තීස්ම වුණේ 1962දීයි. මගේම ව්‍යාපාරය අවුරුදු 21ක් තිස්සේ කරගෙන ගියත් අන්තිමේදී මම ඒක විකුණලා දැම්මා. පවුලක් හැටියට එකතු වී යෙහෝවාට සේවය කරන්නත් හැකි වෙන නිසා මම ළඟ පාතක රැකියාවකට ගියා. මේ හින්දා ආශීර්වාද රැසක් ලැබෙන මාර්ගය විවෘත වුණා. අපි හැමෝම පූර්ණ-කාලීන දේවසේවයේ යෙදෙන්න ඉලක්ක තබාගත්තා. මේක ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේ, අපේ වැඩිමල් පුතා එඩ්වඩ් උසස් අධ්‍යාපනය අවසන් කළ ගමන්මයි. ඒ, 1970 ගණන්වල මුල් කාලයේදී ඔහු පූර්ණ-කාලීන දේවසේවකයෙක් නැත්නම් ස්ථාවර පුරෝගාමියෙක් බවට පත්වීමත් සමඟමයි. ටික කාලෙකට පස්සේ අපේ පුතා ජෝර්ජ්, පුරෝගාමි සේවය පටන්ගත්තා. ඊටපස්සේ ඈනුත් පටන්ගත්තා. මේ තුන්දෙනාම ක්ෂේත්‍ර සේවයේදී ලැබුණ අද්දැකීම් ගැන මට කිව්ව නිසා මට ඒක ලොකු දිරිගැන්වීමක් වුණා. අපි හැමෝටම පූර්ණ-කාලීන සේවයේ යෙදෙන්න පුළුවන් වෙන විදිහට අපේ ජීවිත සරල කරගන්නේ කොහොමද කියලා අපි පවුලක් වශයෙන් සාකච්ඡා කළා. අපි තීරණය කළා ගේ විකුණන්න. අපේ දරුවන්වත් ඇති දැඩි කරමින් අවුරුදු 18ක්ම අපි ඒ ගෙදරයි ජීවත් වුණේ. ඇත්තෙන්ම අපි අපේ ගෙදරට හුඟක් ආස කළත් ඒක විකුණන්න අපි ගත්ත තීරණයට යෙහෝවා ආශීර්වාද කළා.

වර්ෂ 1972දී එඩ්වඩ්ටත්, 1974දී ජෝර්ජ්ටත් බෙතෙල් සේවයට ආරාධනාවක් ලැබුණා. ඈන්ටත් මටත් ඔවුන් නැති පාළුව දැනුණත්, ඔවුන් විවාහ වෙලා දරුවනුත් හදාගෙන අපේ ළඟ පාතක හිටියා නම් කොච්චර හොඳයිද කියලා අපි හිත හිතා ලත වුණේ නැහැ. ඒ වෙනුවට, අපේ පුතාලා බෙතෙල්හි යෙහෝවාට සේවය කරමින් සිටීම ගැන අපි සතුටු වුණා. * හිතෝපදේශ 23:15හි වදන්වලට අපි එකඟ වෙනවා. “මාගේ පුත්‍රය, ඔබේ සිත ප්‍රඥාවන්ත නම් මාගේ සිතත් ප්‍රීතිමත් වන්නේය.”

අපි විශේෂ පුරෝගාමි සේවයට පා තැබීම

අපේ පුතාලා දෙන්නා බෙතෙල්හි සේවය කරද්දී අපි දෙන්නා පුරෝගාමි සේවයේ දිගටම යෙදුණා. වර්ෂ 1975දී, එක දවසක, ඉලිනෝයිහි ක්ලින්ටන් කවුන්ටිවල පවරා නැති බලප්‍රදේශයක විශේෂ පුරෝගාමි සේවයේ යෙදෙන්න ආරාධනා කළ ලිපියක් අපිට ලැබුණා. එතකොට අපිට පුදුම සන්තෝෂයක් දැනුණා! ඒත් ඒකෙන් අදහස් වුණේ අපේ යාළුවෝ සහ නෑදෑයෝ අත්හැරලා නිව් ජර්සිවලින් යන්න වෙනවා කියන එකයි. එතකොට නිව් යෝක්වල ඉන්න අපේ පුතාලාව නිතර දකින්නත් බැරි වෙනවා. කොහොමවුණත් අපි ඒ පැවරුම යෙහෝවාගෙන් ලැබුණ එකක් හැටියට සලකලා අලුත් ආශීර්වාදවලට මඟ පෑදූ පරිත්‍යාගය කළා.

පවරා නොතිබුණ බලප්‍රදේශයේ මාස කීපයක් සේවය කළාට පස්සේ අපි ඉලිනෝයිහි කාලයිල්හි පිහිටි ප්‍රජා ශාලාවක රැස්වීම් පවත්වන්න පටන්ගත්තා. ඒත් අපිට රැස් වෙන්න ස්ථිර තැනක් ඕන වුණා. ඒ පළාතේ සහෝදරයෙක් සහ ඔහුගේ භාර්යාව අපිට කුලියට ගන්න පුළුවන් පුංචි නිවසක් තියෙන ඉඩමක් සොයා දුන්නා. අපි මේ නිවස හා එළියේ තිබුණ වැසිකිළිය ඇතුළු හැම දෙයක්ම පිරිසිදු කරලා පුංචි රැස්වීම් ස්ථානයක් බවට පරිවර්තනය කළා. අපි ගැන කුතුහලයෙන් හිටිය අශ්වයෙක්ව අපි මතක් කරන්නේ ආදරයෙන්. රැස්වීමේදී සිද්ධ වුණේ මොකක්ද කියලා බලන්න ඌ හුඟක් වෙලාවට ජනේලෙන් එබිකම් කරලා බැලුවා!

කල් යද්දී කාලයිල් සභාව පිහිටුවනු ලැබුවා. ඒ සඳහා දායක වෙන්න ලැබුණ එක සතුටක්. පවරා නැති එම ප්‍රදේශයේ සේවය කරන්න ඇවිත් හිටිය ස්ටීව් සහ කැරල් තොම්සන් යන තරුණ පුරෝගාමි යුවළගේ උපකාරයත් අපිට ලැබුණා. තොම්සන් යුවළ අවුරුදු කීපයක් ඉඳලා ඊටපස්සේ ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට ගියා. එතැනින් ඔවුන් මිෂනාරි පැවරුමක් ලැබිලා නැඟෙනහිර අප්‍රිකාවට ගියා. දැන් ඔවුන් එහි සංචාරක සේවය කරනවා.

වැඩි කල් යන්න කලින් අපේ පුංචි රැස්වීම් ස්ථානයේ ඉඩ කඩ මදි වුණ නිසා අපිට ඊට වඩා ලොකු ශාලාවක් අවශ්‍ය වුණා. කලින් අපට උපකාර කළ සහෝදරයා සහ ඔහුගේ භාර්යාවම නැවතත් අපිට පිහිට වෙලා, රාජ්‍ය ශාලාවක් තනන්න වඩාත් යෝග්‍ය ඉඩමක් මිල දී ගත්තා. අවුරුදු කීපයකට පස්සේ කාලයිල්හි අලුත හැදුව රාජ්‍ය ශාලාවක කැප කිරීමේ උත්සවයට එන්න කියලා ආරාධනාවක් ලැබුණහම අපිට දැනුණේ පුදුම සතුටක්! මට කැප කිරීමේ කතාව දීමේ වරප්‍රසාදය ලැබුණා. එහි අපි ඉටු කරපු පැවරුම පුදුමාකාර අද්දැකීමක් මෙන්ම යෙහෝවාගෙන් ලැබුණ ආශීර්වාදයක්.

අපිට අලුත් ක්ෂේත්‍රයක් ලැබී

වර්ෂ 1979දී අපිට නිව් ජර්සිහි හැරිසන්වලට අලුත් පැවරුමක් ලැබුණා. අපි එහේ අවුරුදු 12ක් විතර සේවය කළා. ඒ කාලයේදී අපි චීන ජාතික ස්ත්‍රියක් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා. මේ නිසා තවත් චීන ජාතිකයන් හුඟදෙනෙක් එක්ක පාඩම් පටන්ගන්න මඟ සැලසුණා. අපේ පළාතේ චීන ශිෂ්‍යයන් සහ පවුල් දහස් ගණනක් ඉන්න බව ඒ අතරතුරේ අපි දැනගත්තා. මේ කාරණය නිසා චීන භාෂාව ඉගෙනගන්න අපිව දිරිගැන්වුණා. භාෂාව ඉගෙනගන්න හැම දවසකම යම් කාලයක් ගත කරන්න සිද්ධ වුණත් අපේ පළාතේ චීන ජාතිකයන් එක්ක ප්‍රීතිමත් බයිබල් පාඩම් හුඟක් පටන්ගන්න ඒක රුකුලක් වුණා.

ඒ අවුරුදු ගණනාව පුරාම විශේෂයෙන්ම අපි චීන භාෂාව කතා කරන්න උත්සාහ කරද්දී අපිට හොඳට හිනා වෙන්න අවස්ථාවල් ලැබුණා. දවසක් ඈන් එයාව හඳුන්වලා දෙද්දී, බයිබල් “ගුරුවරිය” කියනවා වෙනුවට බයිබල් “මීයා” කියලයි කිව්වේ. වචන ගොඩක් එක වගේ. නිවැසියා කට කොනකින් හිනා වෙලා කිව්වා, “කරුණාකරලා ඇතුළට එන්න. මම කවදාවත් බයිබල් මීයෙක් එක්ක කතා කරලා නැහැ” යි කියලා. අපි තාමත් භාෂා හරඹයක යෙදිලා ඉන්නවා.

ඊටපස්සේ අපිට නිව් ජර්සිවල තවත් තැනකට පැවරුමක් ලැබුණා. එහෙදීත් චීන ක්ෂේත්‍රයකම වැඩ කරන්න අපිට පුළුවන් වුණා. තවත් කාලෙකට පස්සේ, මැසචුසෙට්ස්හි බොස්ටන්වලට එන්න කියලා ආරාධනයක් ලැබුණා. එහේ අවුරුදු තුනක පමණ කාලයක් ඇතුළත චීන කණ්ඩායමක් බිහි වෙලා තිබුණා. පහුගිය අවුරුදු හතේදී මේ කණ්ඩායමට සහයෝගය දෙන්න ලැබීමත්, 2003 ජනවාරි 1වෙනි දා ඒක සභාවක් බවට පත් වෙනවා දකින්න ලැබීමත් වරප්‍රසාදයක්.

ආත්ම පරිත්‍යාගී ජීවිතයකින් ලද ආශීර්වාද

යෙහෝවා තම සෙනඟට කරන ආරාධනයක් අපිට මලාකී 3:10හි කියවන්න තියෙනවා. ඔහු පොරොන්දු වෙන්නේ, ඔවුන් ගෙනෙන ත්‍යාගයන් සහ කරන කැපවීම් වෙනුවෙන් දැන් ඇති කියන තුරුම ඔවුන්ට ආශීර්වාද කරන බවයි. මම හුඟක් උනන්දුවෙන් කරගෙන ගිය ව්‍යාපාරය අපි අත්හැරලා දැම්මා. අපි හුඟක් ආස කරපු අපේ නිවහන විකුණුවා. ඒ වගේම අපි තවත් දේවලුත් අත්හැරියා. ඒත් අපිට ලැබිලා තියෙන ආශීර්වාද එක්ක බලද්දී අපි කරලා තියෙන්නේ සුළු පරිත්‍යාගයන් කීපයක් විතරයි.

ඇත්තෙන්ම, යෙහෝවා අපි මත වගුරුවලා තියෙන්නේ මොන තරම් ආශීර්වාද රැසක්ද! අපේ දරුවන් සත්‍යයට හොඳින් ප්‍රතිචාරය දක්වනවා දැකීමෙන් සෑහීමට පත් වෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. දිවි ගලවන දේවසේවයක පූර්ණ-කාලීනව යෙදීමේ ප්‍රීතියත්, අපේ අවශ්‍යතා සපුරාලන්න යෙහෝවා අප ගැන සැලකිලිමත් වුණ ආකාරයත් අපි අද්දැකලා තියෙනවා. ඇත්තෙන්ම අපේ සුළු පරිත්‍යාගවලින් අපට ලැබුණා ආශීර්වාද රැසක්!

[පාදසටහන]

^ 20 ඡේ. එඩ්වඩ් සහ ඔහුගේ භාර්යාව වන කානී පැටසන් බෙතෙල්හිත් ජෝර්ජ් සහ ඔහුගේ භාර්යාව වන ග්‍රේස් බෘක්ලින් බෙතෙල්හිත් තවමත් විශ්වාසවන්තව සේවය කරමින් සිටිනවා.

[25වන පිටුවේ පින්තූරය]

ලොයිස් හා ජෝර්ජ් බ්ලැන්ටන් 1991දී ඈන් සමඟ

[26වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1983 ජූනි 4වෙනි දා කැප කළ කාලයිල්හි රාජ්‍ය ශාලාව

[27වන පිටුවේ පින්තූරය]

අලුතෙන් සෑදුණු බොස්ටන් චීන සභාව සමඟ

[28වන පිටුවේ පින්තූරය]

එඩ්වඩ්, කානී, ජෝර්ජ් හා ග්‍රේස් සමඟ