Skip to content

පටුනට යන්න

666—නිකම්ම නිකම් ප්‍රහේලිකාවක් නොවේ

666—නිකම්ම නිකම් ප්‍රහේලිකාවක් නොවේ

666—නිකම්ම නිකම් ප්‍රහේලිකාවක් නොවේ

“ඒ සලකුණ, එනම් වනමෘගයාගේ නම හෝ උගේ නමෙහි අංකය හෝ ඇති යමෙකුට මිස වෙන කිසිවෙකුට මිල දී ගැනීමටවත් විකිණීමටවත් නොහැකි වන්නේය. ප්‍රඥාව අවශ්‍ය වන්නේ මෙහිදීය: බුද්ධිය ඇත්තා, වනමෘගයාගේ අංකය ගණන් බලා දැනගනීවා. මන්ද, එය මිනිස් අංකයකි. උගේ අංකය හයසිය හැටහයය.”—එළිදරව් 13:17, 18, NW.

සැඟවුණු අර්ථයකින් යුත් “වනමෘගයාගේ” සලකුණ නොහොත් නම පිළිබඳ අනාවැකිය තරම් මිනිසුන්ගේ අවධානයට ලක් වූ බයිබල් විෂයක් තවත් නොමැති තරම්ය. එම සලකුණ නම් 666 නමැති අංකයයි. රූපවාහිනියේ, අන්තර්ජාලයේ, චිත්‍රපටවල මෙන්ම සඟරා පොත් පත්වල වනමෘගයාගේ සලකුණ කේන්ද්‍රගත කරගෙන අනන්ත අප්‍රමාණ මතවාද ඉදිරිපත් කර තිබේ.

ඇතමෙකු විශ්වාස කරන්නේ 666 යනු බයිබලයේ සඳහන් කර ඇති අන්ත ක්‍රිස්තුස්ගේ සලකුණ කියාය. එය යමෙකු මෘගයාගේ සේවකයා බව පෙන්වීම සඳහා අනිවාර්යයෙන්ම ලබාගත යුතු හඳුනාගැනීමේ ලක්ෂණයක් බව තවත් සමහරෙකුගේ මතයයි. හමේ කොටන ලද පච්චයක් හෝ රහස් අංකයක් ඇතුළත් වූ සිරුරේ බද්ධ කරන ලද මයික්‍රොචිපයක් හෝ ඊට නිදසුන් වශයෙන් සඳහන් කළ හැක. කතෝලික සභාවේ නායකයා වන පාප්ගේ අධිකාරිය 666 මගින් සංකේතවත් කරන බව තවත් සමහරෙක් කියා සිටිති විකේරියස් ෆිලි ඩේයී (දෙව් පුත් නියෝජනය කරන්නා) යනු පාප්ගේ නිල ලත් පදවිය ප්‍රකාශ කරන එක් ආකාරයකි. ඉහත සඳහන් අය එම පදවියට අයත් අකුරු වෙනුවට රෝම ඉලක්කම් යොදාගන්නා අතර එම ඉලක්කම් තමාට අවශ්‍ය ආකාරයට සකස් කරගනිමින් 666 නමැති සංඛ්‍යාව ලබාගනිති. රෝම අධිරාජ්‍යයා වන ඩයක්ලීෂන්ගේ නම ලතින් බසින් දක්වන විටද නීරෝ සීසර් යන නම හෙබ්‍රෙව් බසින් දක්වන විටද එම අංකය ගණනය කළ හැකි බවටත් විශ්වාසයක් තිබේ. *

එහෙත් ඊළඟ ලිපියේ සඳහන් වන තොරතුරුවලින් හෙළි වනු ඇති පරිදි, මෙම මනඃකල්පිත මෙන්ම සැක සහිත මතවාද, වනමෘගයාගේ සලකුණ පිළිබඳව බයිබලයේ පවසා ඇති දෙයට හාත්පසින්ම වෙනස්ය. දැන් පවතින සමාජ ක්‍රමය දෙවි විසින් විනාශ කරනු ලබන විට එම සලකුණ ලබා ඇති අය කෙරෙහිත් ඔහුගේ කෝපය පැමිණෙන බව බයිබලයේ පැහැදිලිව සඳහන් කර තිබේ. (එළිදරව් 14:9-11; 19:20) එමනිසා, 666 නමැති අංකයෙහි අරුත තේරුම්ගැනීම අමාරු ප්‍රහේලිකාවකට විසඳුම සොයනවාට වඩා වැදගත් දෙයක් බව පැහැදිලිය. ප්‍රේමයේ ප්‍රතිමූර්තිය මෙන්ම ආත්මික ආලෝකයේ ප්‍රභවය වන යෙහෝවා දෙවි තම සේවකයන්ව මෙම වැදගත් කාරණය පිළිබඳව දැනුවත් කර තිබීම ගැන අපට සන්තෝෂ විය හැකියි.—2 තිමෝති 3:16ආ; 1 යොහන් 1:5; 4:8.

[පාදසටහන]

^ 4 ඡේ. සංඛ්‍යා ශාස්ත්‍රය පිළිබඳව වැඩිමනත් තොරතුරු දැනගැනීම සඳහා 2002 සැප්තැම්බර් 8 පිබිදෙව්! කලාපය බලන්න.