Skip to content

පටුනට යන්න

අකරුණාවන්ත ලොවක කරුණාව පෙන්වීමට මහත් පරිශ්‍රමයක් දැරීම

අකරුණාවන්ත ලොවක කරුණාව පෙන්වීමට මහත් පරිශ්‍රමයක් දැරීම

අකරුණාවන්ත ලොවක කරුණාව පෙන්වීමට මහත් පරිශ්‍රමයක් දැරීම

“මනුෂ්‍යයෙකුගේ ප්‍රිය ගතිය ඔහුගේ කරුණාවන්තකමය [ප්‍රේමණීය කරුණාවය, NW].”—හිතෝපදේශ 19:22.

1. කරුණාව පෙන්වීම අමාරු දෙයක් විය හැක්කේ මන්ද?

ඔබ කරුණාවන්ත කෙනෙක් කියා ඔබ සිතනවාද? එසේනම්, අද මේ ලෝකයේ ජීවත් වීම මොන තරම් අමාරු දෙයක්ද කියා ඔබ දනී. කරුණාවන්තකම ‘ආත්මයේ පලවලට’ අයත් ගුණාංගයක් ලෙස බයිබලයේ හඳුන්වා දී තිබෙන බව සැබෑවකි. (ගලාති 5:22) එහෙත් නමට ක්‍රිස්තියානියයි කියාගන්නාවූ රටවල පවා අන් අයට කරුණාව පෙන්වීම අභියෝගයක් වී ඇත. මීට හේතුව කුමක්ද? කලින් ලිපියේ අපි සලකා බැලූ ලෙස මෙම ප්‍රශ්නයට යම් ප්‍රමාණයක පිළිතුරක් ප්‍රේරිත යොහන් ලියූ වදන්වලින් සොයාගත හැකියි. ඔහු ලීවේ මුළු ලෝකයම අකරුණාවන්ත අදෘශ්‍යමාන පුද්ගලයෙකු වන සාතන් නමැති යක්ෂයාගේ පාලනය යටතේ තිබෙන බවයි. (1 යොහන් 5:19) යේසුස් ක්‍රිස්තුස් සාතන්ව හැඳින්වූයේ “ලෝකයේ පාලකයා” ලෙසයි. (යොහන් 14:30, NW) මෙසේ, මේ ලෝකය එහි කැරලිකාර පාලකයාගේ ගතිලක්ෂණ විදහාපෑමට නැඹුරුවාවක් දක්වයි. මේ පාලකයාගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් රටාවෙන් ඔහුගේ ආකල්පය හෙළි වේ.—එපීස 2:2.

2. අප කරුණාව පෙන්වීමේදී ඊට හරස් විය හැකි බාධක මොනවාද?

2 මිනිසුන් අපට අකරුණාවන්ත ලෙස සලකන විට එය අපේ ජීවිතවලට අහිතකර ලෙස බලපායි. ඊර්ෂ්‍යාවෙන් පෙළෙන අසල්වැසියන්, මිත්‍රශීලී නොවන අමුත්තන් අකරුණාවන්ත ලෙස හැසිරිය හැකියි. එමෙන්ම මිතුරන් හා පවුලේ සාමාජිකයන් පවා ඇතැම් අවස්ථාවලදී කිසිම සැලකිල්ලක් නොදක්වමින් කටයුතු කිරීමට ඉඩ තිබේ. නපුරු, කෑගසන, එකිනෙකාට බැණවදින මිනිසුන් සමඟ කටයුතු කරද්දී ඇති වන මානසික පීඩනය නිසා බොහෝවිට සිතට දැනෙන්නේ මහත් වේදනාවකි; කනගාටුවකි. අන් අය මෙලෙස අකරුණාවන්ත ලෙස අපට සලකන අවස්ථාවලදී අප තුළත් අකරුණාවන්ත හැඟීම් පහළ විය හැකියි. එවන් අවස්ථාවලදී අකරුණාවන්තකමින් ප්‍රතිචාරය දැක්වීමටද අප කල්පනා කළ හැකියි. මෙවන් හැඟීම් නිසා ආත්මික හා ශාරීරික හානි සිදුවීමට ඉඩ ඇත.—රෝම 12:17.

3. කරුණාව පෙන්වීමට ජනයා තුළ තිබෙන කැමැත්ත පරීක්ෂණයට ලක් කෙරෙන්නේ කුමන බරපතළ ගැටලු නිසාද?

3 මානසික පීඩනය ඇති කරවන තත්වයන්ගෙන් පිරුණු ලෝකයක කරුණාව පෙන්වීම අපට දුෂ්කර දෙයක් විය හැකියි. නිදසුනක් වශයෙන් ත්‍රස්තවාදය මගින් ඇති කරවන තර්ජන හා ත්‍රස්තවාදී ක්‍රියා මෙන්ම විවිධ ජාතීන් විසින් ජීව විද්‍යාත්මක අවි හා න්‍යෂ්ටික අවි භාවිත කිරීමට තිබෙන ඉඩ කඩ නිසා පොදුවේ ගත් කල මුළු මනුෂ්‍ය වර්ගයාම මානසික පීඩනවලින් පෙළෙයි. මීට අමතරව දශලක්ෂ ගණනක් දිලිඳුකමින් පෙළෙන අතර ඔවුන්ට ආහාර පාන, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම් හා බේත් හේත් තිබෙන්නේ යන්තමින් දිවි රැකගැනීම සඳහා පමණයි. මෙම තත්වයෙහි දියුණුවක් ඇති වන බව පේන තෙක් මානයක නොමැති විට කරුණාව පෙන්වීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීම දුෂ්කර විය හැකියි.—දේශනාකාරයා 7:7.

4. අන් අයට කරුණාව පෙන්වීම ගැන සිතන විට ඇතමුන් එළඹිය හැකි වැරදි නිගමනය කුමක්ද?

4 කරුණාව පෙන්වීම එතරම් වැදගත් දෙයක් නොවන බවත් එය මිනිසෙකුගේ දුර්වල ගතිලක්ෂණයක් බවත් පුද්ගලයෙකුට පහසුවෙන් හැඟී යා හැකියි. අන් අය තමන්ව පාගා දමන බව දැනෙන විට තමන්ට මහත් අයුක්තියක් සිදු වනවා කියා ඔහු සිතිය හැකියි. (ගීතාවලිය 73:2-9) කෙසේවෙතත් බයිබලය අපට නිසි මඟ පෙන්වීම සපයන බව එහි සඳහන් මෙම වදන්වලින් පෙනී යයි. “මෘදු උත්තරයකින් කෝපය පහ වෙයි. එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.” (හිතෝපදේශ 15:1) මෘදුකම සහ කරුණාවන්තකම කියන්නේ එකිනෙකට ඉතා සමීප ලෙස බැඳී පවතින ආත්මයේ පලවලින් දෙකකි. අභියෝගාත්මක හා දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන විට එම පල දෙකෙන් බොහෝ ප්‍රයෝජන ලැබේ.

5. අපේ ජීවිතයේදී කරුණාව පෙන්වීම අවශ්‍ය කරන සමහර පැති මොනවාද?

5 දෙවිගේ ආත්මයේ පල විදහාපෙන්වීම ක්‍රිස්තියානීන් වශයෙන් අපට අතිශයින් වැදගත් දෙයක් වන නිසා එම පලවලින් එකක් වන කරුණාවන්තකම පෙන්විය හැකි ආකාර ගැන අප සලකා බැලිය යුතුයි. ඇත්තටම අකරුණාවන්ත ලෝකයක කරුණාව පෙන්වීමට පරිශ්‍රමයක් දැරිය හැකිද? විශේෂයෙන්ම දුෂ්කර තත්වයන්වලදී, අප කරුණාව පෙන්වීමට දරන වෑයම් මැඩපැවැත්වීමට සාතන්ගේ බලපෑම්වලට අප ඉඩ නොදෙන බව පෙන්විය හැකි සමහර පැති මොනවාද? පවුල තුළ, රැකියා ස්ථානයේදී, පාසැලේදී, දේවසේවයේදී, අසල්වැසියන්ට හා සෙසු නමස්කාරකයන්ට කරුණාව පෙන්වීමට මහත් පරිශ්‍රමයක් දැරීම ගැන අපි දැන් සලකා බලමු.

පවුල තුළ කරුණාව පෙන්වීම

6. පවුල තුළ කරුණාව පෙන්වීම එතරම්ම වැදගත් වන්නේ මන්ද? පවුල තුළ කරුණාව පෙන්විය හැක්කේ කෙසේද?

6 යෙහෝවාගේ ආශීර්වාද හා මඟ පෙන්වීම ලබාගැනීමට නම් ආත්මයේ පල තිබීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම එම පල පූර්ණ අයුරින් වර්ධනය කරගැනීමද අවශ්‍යයි. (එපීස 4:32) පවුලේ සාමාජිකයන් එකිනෙකාට කරුණාව පෙන්වීමේ අවශ්‍යතාව ගැන අපි දැන් සලකා බලමු. ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් එදිනෙදා ජීවිතයේදී එකිනෙකාටද තමන්ගේ දූදරුවන්ටද සැලකිල්ල දක්වමින් කරුණාව පෙන්විය යුතුයි. (එපීස 5:28-33; 6:1, 2) පවුලේ සාමාජිකයන් එකිනෙකාට කතා කරන ආකාරයෙන්ද දරුවන් දෙමාපියන්ට ගරු කිරීමෙන්ද දෙමාපියන් දරුවන්ට නිසි ලෙස සැලකීමෙන්ද එවන් කරුණාවක් පවුල තුළ දිස් විය යුතුයි. ප්‍රශංසා කිරීමට ඉක්මන් වන්න. දොස් නඟන්න ප්‍රමාද වන්න.

7, 8. (අ) පවුල් තුළ අව්‍යාජ කරුණාවක් පෙන්වීමට නම් අප වැළකී සිටිය යුත්තේ කුමන ආකාරයේ හැසිරීම් රටාවකින්ද? (ආ) යහපත් අදහස් හුවමාරුව පවුලක බැඳීම් ශක්තිමත් කිරීමට දායක වන්නේ කෙසේද? (ඇ) ඔබේ පවුල තුළ කරුණාව පෙන්වීමට ඔබට හැක්කේ කෙසේද?

7 අපේ පවුලේ සාමාජිකයන්ට කරුණාව පෙන්වීමේදී ප්‍රේරිත පාවුල් දුන් මෙම අවවාදය පිළිපැදීමද අවශ්‍ය වේ. “උදහස, කෝපය, අයහපත, නිග්‍රහ කිරීම සහ කටින් පිට වන අසභ්‍ය කතා මුළුමනින්ම ඉවත දමන්න.” සෑම දවසකම ක්‍රිස්තියානි පවුල්වල අය එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගත යුත්තේ ගෞරවාන්විත ආකාරයකටයි. මෙසේ කළ යුත්තේ මන්ද? මීට හේතුව ශක්තිමත් යහපත් පවුල්වල ජීවනාලිය වන්නේ හොඳ අදහස් හුවමාරුව වන නිසයි. එකඟ නොවීම් ඇති වන අවස්ථාවලදී අඬ දබරවලින් වළකින්න. වාද විවාද ජයගැනීමට වඩා අදාළ ගැටලුව විසඳීමට වෑයම් කරන්න. එකිනෙකාට කරුණාව පෙන්වීමේ හා සැලකිල්ල දැක්වීමේ ගුණය වඩවාගැනීමට ප්‍රීතිමත් පවුල්වල සාමාජිකයෝ අවංක වෑයමක් දරති.—කොලොස්සි 3:8, 12-14.

8 කරුණාවන්තකම ධනාත්මක ගුණාංගයක් වන අතර අන් අයට යහපත කිරීමට එය අපව පොලඹවයි. මේ ගුණාංගය තිබෙන නිසා අප වෑයම් කරන්නේ ඔවුන්ට ප්‍රයෝජනවත් වන දේ කිරීමටය, ඔවුන් කෙරෙහි සැලකිල්ල දැක්වීමටය. පවුලේ සෙසු සාමාජිකයන් සමඟ එකඟතාවකින් කටයුතු කිරීමටය. පවුලක් ගැන හොඳ හැඟීමක් ඇති කරවන මෙවන් කරුණාවක් පවුල් තුළ තිබීමට නම් තනි තනිව මෙන්ම සාමූහිකව වෑයම කිරීම අවශ්‍යයි. මෙහි ප්‍රතිඵලයක් හැටියට එවන් පවුල්වල අයට දෙවිගේ ආශීර්වාදය ලැබෙනවා පමණක් නොව, ඔවුන් සභාව තුළ මෙන්ම සමාජය තුළද කරුණාවන්ත දෙවි වන යෙහෝවාව ගෞරවයට පත් කරනු ඇත.—1 පේතෘස් 2:12.

රැකියා ස්ථානයේදී කරුණාව පෙන්වීම

9, 10. රැකියා ස්ථානයේ ඇති විය හැකි සමහරක් ගැටලු විස්තර කර, ඒවා කාරුණිකව හැසිරවිය හැකි ආකාරය ගැන අදහස් දක්වන්න.

9 රැකියාවක් කරන ක්‍රිස්තියානියෙකුට දෛනික කාර්යයන්වලදී සෙසු සේවකයන්ට කරුණාව පෙන්වීම අභියෝගයක් විය හැකියි. සේවකයන් අතර පවතින එදිරිවාදිකම් නිසා යම් සේවකයෙක් තවත් සේවකයෙකුගේ රැකියාව අහිමි වන අයුරින් ඔහුගේ හොඳ නමට කැළලක් ඇති කිරීමට කූට ලෙස කටයුතු කළ හැකියි. (දේශනාකාරයා 4:4) මෙවැනි අවස්ථාවලදී කරුණාව පෙන්වීම පහසු දෙයක් නොවේ. කෙසේවෙතත් බොහෝවිට කළ හැකි හොඳම දෙය වන්නේ අන් අයට කරුණාව පෙන්වීම බව මතක තබාගනිමින්, යෙහෝවාගේ සේවකයෙක් හැකි තරම් මහත් පරිශ්‍රමයක් දැරිය යුත්තේ කටයුතු කිරීමට අමාරු තැනැත්තන්ව දිනාගැනීමටයි. මේ සඳහා ඔවුන් ගැන සැලකිලිමත් වීම උපකාරවත් විය හැකියි. එම සේවකයා අසනීප වී සිටී නම් හෝ ඔහුගේ පවුලේ සාමාජිකයෙක් අසනීපයකින් පෙළෙයි නම් ඔබට හැකියි, ඒ ගැන ඔබද සැලකිල්ලෙන් සිටින බව පෙන්වන්න. ඔහුගේ හෝ පවුලේ සාමාජිකයන්ගේ සුව දුක් විමසීමෙන් පවා හොඳ බලපෑමක් ඇති විය හැක. පුළුවන් නම් තමන්ට හැකි පමණින් එවැනි අය සමඟ සහයෝගයෙන් හා සාමයෙන් වැඩ කිරීමට ක්‍රිස්තියානීන් වෑයම් කළ යුතුයි. සමහර අවස්ථාවලදී සැලකිල්ල පෙන්වන කාරුණික වචනයක් පැවසීමෙන් තත්වය හොඳ අතට හැරිය හැකියි.

10 තවත් අවස්ථාවලදී ස්වාමියෙක් ඔහු පවසන දෙය කිරීමට සේවකයන් මත බලපෑමක් ඇති කළ හැකියි. යම් ජාතික අනුරාගී හෝ ශුද්ධ ලියවිල්ලට පටහැනි වෙනත් උත්සවයකට සෑම කෙනෙකුම සහභාගි වීම ඔහු අපේක්ෂා කළ හැකියි. එවැනි උත්සවයකට සහභාගි වීමට ක්‍රිස්තියානියෙකුගේ හෘදය සාක්ෂිය ඔහුට ඉඩ නොදෙන විට, ස්වාමියා සමඟ යම් මතභේදයක් ඇතිවීමට ඉඩ තිබේ. ස්වාමියාගේ කැමැත්තට එකඟ වීම වැරදි වීමට හේතු විස්තර කිරීමට යෑම, එවන් අවස්ථාවකදී නැණවත් නොවිය හැක. මන්දයත් එම ක්‍රිස්තියානියාගේ විශ්වාසයන් පිළි නොගන්න අය එවන් උත්සවයකට සහභාගි වීම වැරදි දෙයක් නොවේ කියා සිතිය හැකි නිසාය. (1 පේතෘස් 2:21-23) ඔබ එයට සහභාගි නොවීමට හේතු කාරුණිකව පහදා දීමට ඔබට හැකියි. ඔවුන් පවසන උපහාසාත්මක වචනවලට උපහාසාත්මක වචනවලින් පහර නොදෙන්න. රෝම 12:18හි [NW] සඳහන් මෙම කදිම උපදේශය ක්‍රිස්තියානියෙකු පිළිපැදිය යුතුයි. “පුළුවන් නම්, ඔබට හැකි පමණින් සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න.”

පාසැලේදී කරුණාව පෙන්වීම

11. පාසැලේ සිසුන්ට කරුණාව පෙන්වීමේදී දරුවන් මුහුණ දෙන අභියෝගයන් මොනවාද?

11 තමන් සමඟ ඉගෙනගන්න සිසුන්ට කරුණාව පෙන්වීම පාසැල් ළමුන්ට සැබෑ අභියෝගයක් විය හැකියි. අනික් ළමුන් තමන්ව ඉහළින් පිළිගන්නවා දැකීමට යෞවනයෝ බොහෝවිට ආශා කරති. අනික් සිසුන්ගේ පැසසුමට ලක්වීමේ අරමුණින් පිරිමි ළමුන් සමහරදෙනෙක් චණ්ඩිකම් පාති. සමහරවිට පාසැලේ සිටින අනික් ළමයින්ට හිරිහැර කිරීමට තරම් දුරදිග යති. (මතෙව් 20:25) තවත් යෞවනයන් ඉගෙනීමේ කටයුතුවල, ක්‍රීඩාවල හා වෙනත් ක්‍රියාකාරකම්වල දක්ෂකම් පාමින් අනික් අය ඉදිරියෙහි කැපීපෙනෙන්න කැමතියි. ඔවුන්ගේ දස්කම් විස්කම් පාමින් ඔවුන් බොහෝවිට අනික් සිසුන්ට සලකන්නේ අකරුණාවන්ත ලෙසයි. අනික් අයට වඩා තමන්ට විශේෂ හැකියාවන් තිබෙන බවට වැරදි ආකල්පයක් ඔවුහු දරති. එවැනි අයව අනුකරණය නොකිරීමට ක්‍රිස්තියානි යෞවනයන් කල්පනාකාරී විය යුතුයි. (මතෙව් 20:26, 27) “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය. කරුණාවන්තය.” ප්‍රේමය “පුරසාරම් දොඩන්නේ නැත. අහංකාර වන්නේ නැත” කියා ප්‍රේරිත පාවුල් පැවසුවේය. මේ නිසා අකරුණාවන්ත ලෙස ක්‍රියා කරන අයගේ නරක ආදර්ශ අනුගමනය නොකර, පාසැලේ සිසුන් සමඟ කටයුතු කිරීමේදී ශුද්ධ ලියවිල්ලේ සඳහන් ඉහත උපදේශය පිළිපැදීම ක්‍රිස්තියානියෙකුගේ වගකීමයි.—1 කොරින්ති 13:4.

12. (අ) තමන්ගේ ගුරුවරුන්ට කරුණාව පෙන්වීම ළමුන්ට දුෂ්කර දෙයක් විය හැක්කේ මන්ද? (ආ) අකාරුණික වීම සඳහා දැඩි බලපෑම් එල්ල වන විට ළමුන්ට උපකාර පැතිය හැක්කේ කාගෙන්ද?

12 පාසැල් ළමුන් ඔවුන්ගේ ගුරුවරුන්ටද කරුණාවෙන් සැලකිය යුතුයි. බොහෝ ශිෂ්‍යයෝ විනෝදයක් හැටියට ගුරුවරුන්ව කේන්ති ගස්වති. තමන් දක්ෂයන් වන්නේ ගුරුවරුන්ට දක්වන ගෞරවය හීන වන ආකාරයෙන් පාසැලේ නීති රීති කඩ කරන විටයි කියා ඔවුහු සිතති. ඔවුන් අන් අයව බියගන්වා තමන් කරන දේවලට ඔවුන්වද හවුල් කරවාගත හැකියි. ක්‍රිස්තියානි ළමයෙක් ඔවුන් සමඟ එකතු වීම ප්‍රතික්ෂේප කරන විට ඒ ළමයා සමච්චලයට ලක් විය හැකියි. වාචික ප්‍රහාරවලින් හෝ වෙනත් දේවලට ලක්වීමෙන් ඒ ළමයාට ඇතැම්විට හිරිහැර විඳින්නට සිදු වේ. පාසැලේ ඉගෙනුම ලබන කාලයේදී එවැනි තත්වයන්ට මුහුණ දීමට සිදුවීම නිසා කරුණාව පෙන්වීමට වූ ක්‍රිස්තියානියෙකුගේ අධිෂ්ඨානය පරීක්ෂණයට ලක් වේ. කෙසේවෙතත් යෙහෝවාගේ පක්ෂපාත සේවකයෙකු වීම කොතරම් වැදගත් දෙයක්ද කියා මතක තබාගන්න. ජීවිතයේ එවැනි දුෂ්කර අවස්ථාවලදී යෙහෝවා ඔහුගේ ආත්මය මගින් ඔබට උපකාර කරන බවට නිසැක වන්න.—ගීතාවලිය 37:28.

අසල්වැසියන්ට කරුණාව පෙන්වීම

13-15. අසල්වැසියන්ට කරුණාව පෙන්වීමේදී ඊට බාධා විය හැක්කේ කුමන දේවල්ද? මේ බාධා ජයගත හැක්කේ කෙසේද?

13 ඔබ ජීවත් වන්නේ නිවසක හෝ නිවාස සංකීර්ණයක විය හැකියි. ඔබ ජීවත් වන තැන කුමක් වුවත් අසල්වැසියන්ට කරුණාව පෙන්වීමටත් ඔවුන්ගේ යහපත ගැන සැලකිලිමත් වීමටත් හැකි මාර්ග ගැන ඔබට සිතා බැලිය හැකියි. මෙයද සැමවිටම පහසු දෙයක් නොවේ.

14 ඔබ අයත් ජනවර්ගය හෝ ජාතිය හෝ ආගම නිසා ඔබේ අසල්වැසියන් ඔබට අසාධාරණ ලෙස සලකයි නම් කුමක් කිව හැකිද? ඇතැම් අවස්ථාවලදී ඔවුන් නපුරු නම් හෝ ඔබ ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැත්නම් කුමක් කිව හැකිද? යෙහෝවාගේ සේවකයෙකු වශයෙන් හැකි තරම් කරුණාව පෙන්වීම ඔබට ප්‍රයෝජනදායක වනු ඇත. මෙසේ කිරීමෙන් අන් අය තුළ ප්‍රබෝධවත් හැඟීමක් ඇති කරවන ආකාරයේ වෙනසක් දැකිය හැකි නිසා ඔබ කැපීපෙනෙනු ඇත. එමගින් ඔබ කරුණාවේ විශිෂ්ටතම ආදර්ශය වන යෙහෝවාව පැසසුමට ලක් කරයි. ඔබේ කරුණාව නිසා ඔබේ අසල්වැසියාගේ ආකල්පය කවදා වෙනස් වෙයිද කියා ඔබ දන්නේ නැත. සමහරවිට ඔහු යෙහෝවාට ප්‍රශංසා කරන්නෙකු බවට පවා පත් විය හැකියි.—1 පේතෘස් 2:12.

15 අපේ අසල්වැසියන්ට කරුණාව පෙන්විය හැක්කේ කෙසේද? පවුලේ සියලුදෙනාම ආත්මයේ පල විදහාපෙන්වීමෙන් තබන කදිම ආදර්ශයෙන් එය පෙන්විය හැකියි. අසල්වාසීන් මෙය නිරීක්ෂණය කරන්නට පුළුවනි. ඇතැම් අවස්ථාවලදී ඔබේ අසල්වැසියන් වෙනුවෙන් කාරුණික දේවල් ඔබට කළ හැකියි. කරුණාවන්තකම කියන්නේ අන් අයගේ යහපත ගැන සැලකිලිමත් වෙමින් ඒ සඳහා නිශ්චිත පියවර ගැනීම බව මතක තබාගන්න.—1 පේතෘස් 3:8-12.

අපේ දේවසේවයේදී කරුණාව පෙන්වීම

16, 17. (අ) අප මහජනයා සිටින ස්ථානවල සේවය කරන විට කරුණාව පෙන්වීම වැදගත් වන්නේ මන්ද? (ආ) ක්ෂේත්‍ර සේවයේ විවිධ අංගවල නියැලෙන විට කරුණාව පෙන්විය හැක්කේ කෙසේද?

16 අප ජනයාව ඔවුන්ගේ නිවෙස්වලදී, ව්‍යාපාරික ස්ථානවලදී හා පොදු ස්ථානවලදී හමුවීමට සාමූහික වෑයමක් දරමින් කරගෙන යන අපේ දේවසේවයේ මූලික ලක්ෂණයක් විය යුත්තේ කරුණාවන්තකමයි. සැමවිටම කරුණාව පෙන්වන යෙහෝවාව අප නියෝජනය කරන බව අප අමතක නොකළ යුතුයි.—නික්මයාම 34:6.

17 ඔබ දේවසේවයේ නිරත වන විට කරුණාව පෙන්වීම සඳහා ඔබට කෙසේ වෑයම් කළ හැකිද? උදාහරණයක් හැටියට, වීදිවල සාක්ෂි දැරීමේ හවුල් වන විට, කෙටියෙන් කතා කිරීමෙන් හා ජනයා වෙතට ඔබ එළඹෙන විට ඔවුන් ගැන සැලකිලිමත් වීමෙන් කරුණාව පෙන්වීමට ඔබට හැකියි. සාමාන්‍යයෙන් පදික වේදිකාවල බොහෝදෙනෙකු ගමන් කරන නිසා ඒවා අවහිර නොකිරීමට වගබලා ගන්න. එමෙන්ම ඔබ ව්‍යාපාරික ස්ථානවල සාක්ෂි දරන විට, කඩ සාප්පුවල වැඩ කරන අය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට අවධානය දිය යුතු බව මතක තබාගෙන, කෙටියෙන් සාක්ෂි දැරීමෙන් කරුණාව පෙන්වන්න.

18. අපේ සේවයේදී කරුණාව පෙන්වීම සඳහා විචාර බුද්ධිය උපකාරවත් වන්නේ කෙසේද?

18 ගෙයින් ගෙට සේවයේදී නැණවත් වන්න. වැඩි වේලාවක් නිවසක කාලය ගත නොකරන්න. විශේෂයෙන්ම අයහපත් කාලගුණයක් පවතින විට එසේ නොකරන්න. යම් පුද්ගලයෙක් ඔබේ පැමිණීම නිසා නොසන්සුන් තත්වයකට හෝ කෝපයට පත් වන බවක් පෙනෙන්න තිබේ නම්, එය මුලදීම හඳුනාගැනීමට ඔබට හැකිද? ඇතැම්විට ඔබ ජීවත් වන ප්‍රදේශය, යෙහෝවාගේ සාක්ෂිකරුවන් නිතර නිතර සාක්ෂි දරන ප්‍රදේශයක් විය හැකියි. එසේනම් ගෙවැසියන් ගැන විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්න. නිතරම කරුණාවන්ත වන්න. ප්‍රියමනාප අයුරින් කතා කරන්න. (හිතෝපදේශ 17:14) කලින් දවසක ගෙවැසියෙක් සවන් දුන්නේ නැත්නම් ඊට හේතුව තේරුම්ගැනීමට වෑයම් කරන්න. ඔබේ ක්‍රිස්තියානි සහෝදරයන්ගෙන් හෝ සහෝදරියන්ගෙන් කෙනෙකු වැඩි කාලයක් නොගොස් එම නිවසට පැමිණීමට බොහෝදුරට ඉඩ තිබෙන බව මතක තබාගන්න. ටිකක් සැර පරුෂ කෙනෙක්ව ඔබට හමු වුණොත් කරුණාව පෙන්වීමට විශේෂ වෑයමක් දරන්න. උස් හඬින් කතා නොකරන්න. ඔහු හෝ ඇය දෙස රවා නොබලන්න. සන්සුන් විලසින් කතා කරන්න. කරුණාවන්ත ක්‍රිස්තියානියෙක් ගෙවැසියෙකුව වාදයකට පටලවාගැනීමට උත්සාහ කරන්නේ නැත. (මතෙව් 10:11-14) සමහරවිට යම් දවසකදී ඒ තැනැත්තා ශුභාරංචියට සවන් දීමට ඉඩ ඇත.

සභා රැස්වීම්වලදී කරුණාව පෙන්වීම

19, 20. සභාව තුළ කරුණාව පෙන්වීම අවශ්‍ය වන්නේ මන්ද? එය පෙන්විය හැක්කේ කෙසේද?

19 සෙසු ඇදහිලිවන්තයන්ට කරුණාව පෙන්වීමේ වැදගත්කම සුළු කොට සැලකිය නොහැකියි. (හෙබ්‍රෙව් 13:1) අප ලෝක ව්‍යාප්ත සහෝදර සංගමයක සාමාජිකයන් වන බැවින් එකිනෙකා සමඟ කටයුතු කරන විට කරුණාව පෙන්වීම අත්‍යවශ්‍ය දෙයකි.

20 යම් සභාවක් තවත් සභාවක් හෝ සභා දෙකක් හෝ ඊට වැඩි ගණනක් සමඟ රාජ්‍ය ශාලාවක් හවුලේ පාවිච්චි කරනවා නම් එම සභාවල අය සමඟ කටයුතු කරන විට ඔවුන්ට ගෞරවයෙන් සලකමින් කරුණාව පෙන්වීම වැදගත්ය. රැස්වීම් පවත්වනු ලබන වේලාවන් වෙනස් කරන විට සහ පිරිසිදු කිරීම හා අලුත්වැඩියා කිරීම වැනි රාජ්‍ය ශාලාවේ වෙනත් අවශ්‍යතා ඉටු කිරීමට සැලසුම් කරන විට ගැටීම්වලට තුඩු දෙන ස්වභාවයක් විදහාපෑම, සහයෝගිතාව පවත්වාගැනීමට බාධාවක් වේ. එකිනෙකට වෙනස් අදහස් දැරිය හැකි වුවද කරුණාව පෙන්වන්න. අන් අය ගැන සැලකිලිමත් වන්න. මෙසේ කිරීමෙන් කරුණාවට ජය හිමි වන අතර අන් අයගේ යහපත ගැන ඔබ සැලකිලිමත් වීම ගැන යෙහෝවා සැබවින්ම ආශීර්වාද කරනු ඇත.

කරුණාව දිගටම පෙන්වන්න

21, 22. කොලොස්සි 3:12හි පවසන වදන් අනුව අපේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

21 කරුණාවන්තකම අපේ ජීවිතයේ සෑම පැත්තකටම බලපාන ගුණාංගයකි. මේ නිසා මේ ගුණාංගය අපේ ක්‍රිස්තියානි පෞද්ගලිකත්වයට අත්‍යවශ්‍ය අංගයක් ලෙස සලකා වර්ධනය කරගත යුතුයි. එමෙන්ම අන් අයට කරුණාව පෙන්වීම පුරුද්දක් කරගත යුතුයි.

22 අපි සියලුදෙනාම සෑම දවසකම අන් අයට කරුණාව පෙන්වමු. මෙසේ කිරීමෙන් ප්‍රේරිත පාවුල්ගේ මෙම වදන් පෞද්ගලිකව අදාළ කරගනිමු. “දෙවිගේ තෝරාගත්, ශුද්ධ, ප්‍රේමණීය අය මෙන්, දයානුකම්පාවෙන් යුත් ගැඹුරු සෙනෙහසද, කරුණාවන්තකමද, යටහත් පහත් මනසක්ද, මෘදුකමද, බොහෝ ඉවසිලිවන්තකමද පැළඳගන්න.”—කොලොස්සි 3:12, NW.

ඔබට මතකද?

• කරුණාව පෙන්වීම ක්‍රිස්තියානියෙකුට දුෂ්කර දෙයක් වන්නේ කුමක් නිසාද?

• පවුලේ අය එකිනෙකාට කරුණාව පෙන්වීම වැදගත් වන්නේ මන්ද?

• පාසැලේදී, රැකියා ස්ථානයේදී හා අසල්වැසියන්ට කරුණාව පෙන්වීමේදී මුහුණ දෙන දුෂ්කරතා සමහරක් විස්තර කරන්න.

• ක්‍රිස්තියානීන් මහජනයා සිටින ස්ථානවල දේවසේවයේ හවුල් වන විට කරුණාව පෙන්විය හැකි ආකාරය පැහැදිලි කරන්න.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

පවුලේ සෑම කෙනෙක්ම කරුණාව පෙන්වන විට පවුලේ සමඟිය හා සහයෝගය වැඩි වේ

[19වන පිටුවේ පින්තූරය]

ඔබ සමඟ රැකියාව කරන කෙනෙකු හෝ ඔහුගේ පවුලේ කෙනෙකු අසනීප වූ විට ඔබට හැකියි කරුණාව පෙන්වන්න

[20වන පිටුවේ පින්තූරය]

සරදම් මැද පක්ෂපාතව කරුණාව පෙන්වන අයට යෙහෝවා උපකාර කරයි

[21වන පිටුවේ පින්තූරය]

අවශ්‍යතාවක් පවතින විට අසල්වැසියෙකුට උපකාරයක් කිරීම කරුණාව පෙන්වීමකි