Skip to content

පටුනට යන්න

දෙවිගේ කැමැත්ත පොළොවෙහි සිදු වන විට

දෙවිගේ කැමැත්ත පොළොවෙහි සිදු වන විට

දෙවිගේ කැමැත්ත පොළොවෙහි සිදු වන විට

“ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියා යාච්ඤා කිරීමට යේසුස් සිය ගෝලයන්ට ඉගැන්නුවේය. එසේ පැවසීමට ඔහුට හැකි වූයේ ස්වර්ගයෙහි පියා සමඟ ජීවත් වූ කාලයේදී ඒ කැමැත්ත කුමක්ද යන්න ඔහු අද්දැක තිබුණ නිසාය. (මතෙව් 6:10, NW; යොහන් 1:18; 3:13; 8:42) යේසුස් මිනිසෙකු වීමට පෙර ජීවිතයේදී ස්වර්ගයෙහි හා පොළොවෙහි සිදු වූ සියල්ල දෙවිගේ කැමැත්තට එකඟව තිබූ බව අද්දුටුවේය. ඒ කාල වකවානුව සතුටෙන් හා තෘප්තියෙන් පිරුණු කාලයක් විය.—හිතෝපදේශ 8:27-31.

දෙවි මුලින්ම මැව්වේ ‘ඔහුගේ වචන ඉෂ්ට කරන්නාවූ ශක්තියෙන් බලවන්ත, ඔහුගේ දූතයන්’ වන ආත්ම මැවිලිය. ඔවුහු එදා මෙන්ම අදත් ‘ඔහුගේ කැමැත්ත ඉෂ්ට කරන්නාවූ ඔහුගේ මෙහෙකරුවෝ’ වෙති. (ගීතාවලිය 103:20, 21) ඔවුන් එක් එක් කෙනාට තම තමාගේ කැමැත්ත කියා දෙයක් තිබුණාද? ඔව්, පොළොව පිහිටුවන විට මෙම ‘දෙවිගේ පුත්‍රයෝ ප්‍රීති ඝෝෂා පැවැත්වූහ.’ (යෝබ් 38:7) ඔවුන්ගේ ප්‍රීති ඝෝෂාවෙන් ඇඟවූයේ දෙවිගේ කැමැත්ත ගැන ඔවුන් අතිශයෙන් ප්‍රීති වූ බව හා ඔහුගේ අරමුණට එකඟ වීමට ඔවුන් කැමැත්ත පළ කළ බවය.

දෙවි පොළොව පිහිටුවා එය මිනිස් වාසය පිණිස සූදානම් කළ පසු පළමු පුරුෂයාව සහ ස්ත්‍රියව මැව්වේය. (උත්පත්ති 1වන පරිච්ඡේදය) මෙයද ප්‍රීති ඝෝෂා පැවැත්වීමට වටිනා කාරණයක් වූවාද? ආනුභාව ලත් වාර්තාවේ මෙසේ පැවසේ. “දෙවි තමන් සෑදූ සියල්ලම දුටුවේය. බලව ඒ ඉතා යහපත්ව” දෝෂ රහිතව, පරිපූර්ණව තිබුණේය.—උත්පත්ති 1:31.

අපේ මුල් දෙමාපියන් හා ඔවුන්ගෙන් පැවතෙන්නන් සම්බන්ධයෙන් දෙවිගේ කැමැත්ත කුමක් වීද? උත්පත්ති 1:28ට අනුව එයද ඉතා යහපත්ව තිබිණ. “ඔබ බෝ වී වැඩි වෙමින් පොළොව පූර්ණ කොට ඒක යටත් කරගන්න. මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්න.” එම අපූරු අණ ඉටු කිරීමට නම් අපේ මුල් දෙමාපියන් හා ඔවුන්ගෙන් පැවතෙන්නන්ද දිගටම, එනම් සදහටම ජීවත් විය යුතුව තිබිණ. ඒ අවස්ථාවේදී ඛේදවාචකයන්, අයුක්තිසහගත දේවල්, හෘද වේදනාවන් හෝ මරණය දෙවි අරමුණු කළ බවට කිසිදු ඇඟවීමක් කර තිබුණේ නැත.

එය ස්වර්ගයේද, පොළොවේද දෙවිගේ කැමැත්ත සිදු වෙමින් තිබූ කාලයක් විය. ඔහුගේ කැමැත්ත ඉටු කළ අයට එසේ කිරීමෙන් මහත් සතුටක් ලබාගත හැකිව තිබිණ. එසේනම් වැරදුණේ කොතැනද?

දෙවිගේ කැමැත්තට එරෙහිව අනපේක්ෂිත අභියෝගයක් එල්ල විය. එයට විසඳුමක් නොතිබුණා නොවේ. කෙසේවෙතත්, එමගින් මිනිස් වර්ගයා සම්බන්ධයෙන් දෙවිගේ කැමැත්ත පිළිබඳව මහත් වියවුලක් ඇති වූ අතර හෘද වේදනාවෙන් හා ශෝකයෙන් පිරි දීර්ඝ කාල පරිච්ඡේදයක් ඇරඹුණි. අප සැවොම එම තත්වයට ගොදුරු වී සිටිති. එම අභියෝගය කුමක් වීද?

කැරැල්ලක් දියත් කර තිබියදීත් දෙවිගේ කැමැත්ත සිදු වෙමින්

තමාටම වාසි ප්‍රයෝජන ලබාගැනීමේ අරමුණින් ‘දෙවිගේ [ආත්ම] පුත්‍රයන්ගෙන්’ කෙනෙක් මිනිසා උදෙසා තිබූ දෙවිගේ කැමැත්තට බාධා කළ හැකි බව සිතුවේය. මෙම ආත්ම මැවිල්ල ඒ පිළිබඳව සිතන්න සිතන්න එය ඉටු කළ හැකි බවට විශ්වාසයක් ඇති කරගත් අතර එය වඩ වඩාත් සිත්ගන්නාසුලු දෙයක් මෙන්ද දිස් විය. (යාකොබ් 1:14, 15) දෙවිට සවන් දෙනවා වෙනුවට තමාට සවන් දීමට මුල් මිනිස් යුවළව නම්මාගත හැකි නම් දෙවිගේ පරමාධිපත්‍යයට එරෙහි වන පරමාධිපත්‍යයකට ඉඩ දීමට දෙවිට සිදු වනු ඇතැයි ඔහු තර්ක කරන්නට ඇත. එමෙන්ම දෙවි ඔවුන්ගේ දිවි කෙළවර නොකරනු ඇතැයි කියාද, ඔවුන්ව නැති කළහොත් ඔහුගේ අරමුණ අසාර්ථක වනු ඇත කියාද ඔහු කල්පනා කළා විය හැක. ඒ වෙනුවට, යෙහෝවා දෙවිට තම අරමුණ වෙනස් කිරීමටත්, දෙවි මැවූ මිනිසුන්ගේ කීකරුකම ලබාගැනීමට පටන්ගෙන සිටින මෙම ආත්ම පුත්‍රයාගේ තත්වය පිළිගැනීමටත් සිදු වනු ඇත කියාද ඔහු සිතන්නට ඇත. පසු කලෙක එම කැරලිකරුවාව “එදිරිවාදියා” යන අරුත ඇති සාතන් යන නමින් හැඳින්වීම යෝග්‍ය විය.—යෝබ් 1:6.

සාතන් තම ආශාව මුදුන් පමුණුවාගැනීම සඳහා ක්‍රියාත්මක වෙමින් ස්ත්‍රිය වෙත ළඟා විය. දෙවිගේ කැමැත්ත නොසලකා, හරි වැරැද්ද පිළිබඳ තීරණයක් ගන්න කියා ඔහු ඇයට උනන්දු කළේ මෙලෙසය. “ඔබ ඇත්තටම නසින්නේ නැත. . . . ඔබ යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.” (උත්පත්ති 3:1-5) මෙමගින් තමාට නිදහස අත් වේවි කියා ස්ත්‍රියට හැඟුණා විය හැක. එය වඩාත් හොඳ ජීවිත මාර්ගයක් සේද දිස් වූ බැවින් ඈ එය පිළිගත්තාය. පසුව ඈ තම ස්වාමිපුරුෂයාටද ඒත්තුගන්වා ඔහුවත් ඊට හවුල් කරවගත්තාය.—උත්පත්ති 3:6.

එම යුවළ උදෙසා දෙවිගේ කැමැත්ත එය නොවීය. එය ඔවුන්ගේ කැමැත්ත විය. එමෙන්ම එයින් විනාශකාරී ප්‍රතිඵල අත් විය යුතුව තිබිණ. එවැනි ක්‍රියාමාර්ගයකින් ඔවුන්ගේ දිවි කෙළවර වනු ඇති බව දෙවි කලින්ම ඔවුන්ට පවසා තිබිණ. (උත්පත්ති 3:3) ඔවුන්ව මවා තිබුණේ දෙවිගෙන් ස්වාධීනව කටයුතු කිරීමෙන් සාර්ථකත්වයක් ලැබීමට හැකි වන ආකාරයට නොවේ. (යෙරෙමියා 10:23) තවද, ඔවුන්ට සිදු වන්නේ අසම්පූර්ණත්වයට පත් වී, අනතුරුව ඔවුන්ගෙන් පැවතෙන්නන්ටද අසම්පූර්ණත්වය හා මරණය උරුම කර දීමටය. (රෝම 5:12) මෙම ප්‍රතිඵල වෙනස් කිරීමට සාතන්ට නොහැකි විය.

මේ සියල්ල නිසා මිනිස් වර්ගයා හා පොළොව සඳහා වූ දෙවිගේ අරමුණ හෝ කැමැත්ත සදහටම වෙනස් වූවාද? නැත. (යෙසායා 55:9-11) එහෙත් ඔවුහු උත්තර ලැබිය යුතු මෙවැනි ප්‍රශ්න මතු කළහ: සාතන් කියූ ලෙස, “යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන” වීමට මිනිස් වර්ගයාට හැකිද? වෙනත් ආකාරයකින් පවසනවා නම්, ප්‍රමාණවත් කාලයක් දෙතොත්, ජීවිතයේ සෑම පැත්තකදීම හරි දේ කුමක්ද වැරදි දේ කුමක්ද කියා නැතහොත් ප්‍රයෝජනවත් මෙන්ම හානිදායක වන්නේ කුමක්ද කියා අපටම තීරණය කළ හැකි වේද? දෙවිගේ පාලන ක්‍රමය හොඳම ක්‍රමය නිසා දෙවිට මුළුමනින්ම කීකරු විය යුතුද? ඔහුගේ කැමැත්තට මුළුමනින්ම යටත් වීම සුදුසුද? ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

මුළු බුද්ධිමත් මැවිල්ල ඉදිරියෙහි මතු කළ මෙම ප්‍රශ්න සියල්ලම විසඳීමට තිබුණේ එකම මාර්ගයකි. දෙවිගෙන් ස්වාධීන වීමට වෑයම් කළ අයට එසේ කිරීමෙන් සාර්ථකත්වයක් ලැබිය හැකිදැයි බැලීමට ඉඩහැරීම එම මාර්ගයයි. ඔවුන්ව මරණයට පත් කළා නම් පැනනැඟි එම ප්‍රශ්නවලට විසඳුමක් නොලැබී යනු ඇත. ප්‍රමාණවත් කාල පරිච්ඡේදයක් පුරා එලෙස කටයුතු කරගෙන යෑමට මිනිස් ජාතියට ඉඩහැරීමෙන් විසඳුමක් ලැබෙනු ඇත. එසේ වන්නේ, එහි ප්‍රතිඵලය පැහැදිලිව දකින්නට ලැබෙන බැවිනි. මෙයාකාරයෙන් දෙවි කාරණා හසුරුවන බව ඇඟවූයේ ඔහු ස්ත්‍රියට දරුවන් ලැබෙනු ඇතැයි පැවසූ අවස්ථාවේදීය. මිනිස් පවුල ඇරඹෙනු ඇත්තේ එලෙසිනි. මේ හේතුව නිසයි අප අද ජීවත් වන්නේ!—උත්පත්ති 3:16, 20.

කෙසේවුවද, මිනිසුන්ට හා කැරලිකාර ආත්ම පුත්‍රයාට සියල්ල රිසි පරිදි කිරීමට දෙවි ඉඩහරිනු ඇතැයි ඉන් අදහස් නොවීය. දෙවි තම පරමාධිපත්‍යය අත්හැරියේ හෝ තම අරමුණ පැත්තකට දැමුවේ හෝ නැත. (ගීතාවලිය 83:17) ඔහු මේ බව පැහැදිලි කළේ, කැරැල්ල ආරම්භ කළ තැනැත්තාව දිනෙක සම්පූර්ණයෙන්ම විනාශ කර දමන බවත්, එහි ආදීනව වශයෙන් ඇති වී තිබෙන නරක දේවල් සියල්ල ඉවත් කරන බවත් පුරෝකථනය කිරීමෙනි. (උත්පත්ති 3:15) එබැවින්, මිනිස් පවුලට නිදහස පොරොන්දු කර තිබුණේ මුල සිටමය.

මේ අතරතුර, අපේ මුල් දෙමාපියෝ හා ඔවුන්ගෙන් බිහි වූ පරම්පරාව දෙවිගේ පාලනයෙන් ඈත් වූහ. ඔවුන්ගේ තීරණය නිසා ඇති වන ශෝකජනක ප්‍රතිඵල සියල්ල දෙවි වැළැක්වූවා නම් ඔවුන්ගේ සෑම ක්‍රියාවක්ම තම කැමැත්තට අනුව පාලනය කිරීමට ඔහුට සිදු වේ. එය හරියට ඔවුන්ට ස්වාධීනව කටයුතු කිරීමට කොහොමටවත් ඉඩ නොහරින්නාක් මෙනි.

දෙවිගේ පාලනය තෝරාගැනීමට පුද්ගලයන්ට හැකිකම තිබුණ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එමෙන්ම මෙම කාල පරිච්ඡේදය තුළ ජනයා වෙනුවෙන් දෙවිගේ කැමැත්ත කුමක්ද කියා ඉගෙනගැනීමට හා හැකි තරම් දුරට ඒ අනුව ක්‍රියා කිරීමටද ඔවුන්ට හැකි විය. (ගීතාවලිය 143:10) කෙසේවුවත්, මිනිස් වර්ගයා මුළුමනින්ම ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය නොවී තිබෙන තාක් කල් ඔවුන්ට ගැටලුවලින් මිදීමට නොහැකි වනු ඇත.

පෞද්ගලිකව තීරණ ගැනීමේ ප්‍රතිඵල මුල් කාලයේදීම ප්‍රත්‍යක්ෂ විය. මිනිස් පවුලේ කුලුඳුලා වූ කායින් තම සහෝදරයා වූ ආබෙල්ව මරා දැම්මේ “තමාගේ ක්‍රියා දුෂ්ට නිසාත්, තම සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨව තිබුණු නිසාත්ය.” (1 යොහන් 3:12, NW) එය දෙවිගේ කැමැත්ත නොවීය. දෙවි කායින්ට කළ අනතුරු ඇඟවීමෙන් හා පසුව ඔහුට දුන් දඬුවමෙන් ඒ බව පැහැදිලි වේ. (උත්පත්ති 4:3-12) සාතන් විසින් හරි වැරැද්ද පිළිබඳව තනියෙන් තීරණ ගැනීමේ අයිතිය ඉදිරිපත් කළ විට කායින් දෝතින්ම එය පිළිගත් බැවින්, ඔහු “දුෂ්ටයාගෙන් වූ” තැනැත්තෙකු බවට පත් විය. අනික් අයද එලෙසම කළහ.

මිනිස් ඉතිහාසයේ පටන්ගැන්මේ සිට වසර 1500ක් ගෙවී යත්ම “පොළොව දෙවි ඉදිරියෙහි දූෂ්‍ය වූවාය. පොළොව බලාත්කාරයෙන් පිරී තිබුණාය.” (උත්පත්ති 6:11) පොළොව විනාශ නොවී රැකගැනීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ගයක් ගත යුතු විය. සමස්ත ලෝක ජලගැල්මක් ගෙන එමින්ද, එවකට සිටි එකම ධර්මිෂ්ඨ පවුල වූ නෝවා, ඔහුගේ භාර්යාව, ඔහුගේ පුතුන් සහ ඔවුන්ගේ භාර්යාවන් ආරක්ෂා කරමින්ද දෙවි එම ක්‍රියාමාර්ගය ගත්තේය. (උත්පත්ති 7:1) අපි සියලුදෙනාම ඔවුන්ගෙන් පැවතෙන්නන් වන්නෙමු.

එදා පටන් මිනිස් ඉතිහාසය පුරා දෙවිගේ කැමැත්ත දැනගැනීමට ආශාවෙන් සිටින අවංක අයට ඔහු මඟ පෙන්වීම සපයා ඇත. මඟ පෙන්වීම පතා ඔහු දෙසට හැරෙන ඕනෑම කෙනෙකු සඳහා ඔහුගේ පණිවුඩ වාර්තා කිරීමට ඔහු විශ්වසනීය මිනිසුන්ට ආනුභාවය දුන්නේය. මෙම පණිවුඩ බයිබලයෙහි වාර්තා කර ඇත. (2 තිමෝති 3:16) ඔහු තමා සමඟ සබඳතාවක් ඇති කරගැනීමට පමණක් නොව තමාගේ මිත්‍රයන් වීමට පවා ඇදහිලිවන්ත මිනිසුන්ට ප්‍රේමණීය ලෙස ඉඩහැරියේය. (යෙසායා 41:8) එමෙන්ම මිනිස් වර්ගයා ස්වාධීනව කටයුතු කළ මෙම සහස්‍ර ගණනාව පුරා ඔවුන් විඳ ඇති දුෂ්කර පීඩා මධ්‍යයෙහි විඳදරාගෙන සිටීමට අවශ්‍ය ශක්තිය ඔහු ඔවුන්ට සැපයුවේය. (ගීතාවලිය 46:1; පිලිප්පි 4:13) මේ සියල්ල සඳහා අපට මොන තරම් කෘතඥපූර්වක විය හැකිද!

සම්පූර්ණයෙන්ම ‘ඔබේ කැමැත්ත සිදු වේවා’

මේ දක්වා දෙවි මිනිස් වර්ගයා වෙනුවෙන් කර තිබෙන්නේ ඔහුගේ මුළු කැමැත්ත නොවේ. ක්‍රිස්තියානියෙකු වන ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවේය. “ඔහුගේ පොරොන්දුවට අනුව, ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ අලුත් අහසක් හා අලුත් පොළොවක් අපි බලා සිටින්නෙමු.” (2 පේතෘස් 3:13, NW) මෙම සංකේතමය භාෂාවෙන් පෙන්වන්නේ මිනිස් වර්ගයාව පාලනය කරන නව ආණ්ඩුවක් සහ එම ආණ්ඩුව යටතේ සිටින නව මිනිස් සමාජයකි.

විචිත්‍ර භාෂාවක් යොදාගනිමින් ප්‍රොපේත දානියෙල් මෙසේ ලීවේය. “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසි කලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවන්නේය. . . . ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කරන්නේය. එයද සදාකාලේටම පවතින්නේය.” (දානියෙල් 2:44, 45ආ) මෙම අනාවැකියෙන් පුරෝකථනය කරන්නේ දැන් පවතින හරිගැස්විය නොහැකි ක්‍රමය අවසාන වන බව සහ ඒ වෙනුවට දෙවිගේ රාජ්‍යය නැතහොත් ආණ්ඩුව පිහිටුවන බවය. මෙය කදිම ශුභාරංචියක් නොවේද! අද දින ලෝකය ප්‍රචණ්ඩත්වයෙන් පුරවන මෙන්ම පොළොව යළිත් විනාශය කරා ගෙන යන ගැටුම් හා ආත්මාර්ථය කෙදිනක හෝ මතකයට නොනැඟෙන සේ තුරන් වී යනු ඇත.

මේ දේවල් සිදු වනු ඇත්තේ කවදාද? යේසුස්ගේ ගෝලයෝ මෙසේ ඇසූහ. “ඒ දේ සිදු වන්නේ කවදාද කියාත්, ඔබේ පැමිණ සිටීමටද සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයටද ලකුණ කුමක්ද?” යේසුස් දුන් පිළිතුරේ කොටසක් මෙසේ දැක්විය හැක. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.”—මතෙව් 24:3, 14, NW.

මෙම දේශනා සේවය දැන් ලොව පුරා සිදු කෙරෙමින් තිබෙන බව සුප්‍රසිද්ධ කාරණයකි. ඔබේම ප්‍රදේශයෙහි මෙය සිදු වෙනවා ඔබ දැක ඇත. මහාචාර්ය චාල්ස් එස්. බ්‍රේඩන් මේ අයත් විශ්වාස කරති (සිංහලෙන් නැත) යන ඔහුගේ පොතෙහි මෙසේ ලියයි. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් වචනානුසාරයෙන්ම පොළොව සිසාරා තම සාක්ෂි දැරීම සිදු කර ඇත. . . . යෙහෝවාගේ සාක්ෂිකරුවන් තරම් ලෝකයෙහි සිටින වෙන එක ආගමික කණ්ඩායමක්වත් රාජ්‍ය පිළිබඳ ශුභාරංචිය පතුරුවාහැරීමට දරන වෑයමේදී ඉමහත් ජ්වලිතයක් හා නිරන්තර උත්සාහයක් විදහා පා නැත.” සාක්ෂිකරුවෝ භාෂා 400කට ආසන්න ප්‍රමාණයකින් රටවල් 230කට වඩා වැඩි ගණනක මෙම ශුභාරංචිය ක්‍රියාශීලීව ප්‍රකාශ කරමින් සිටිති. පුරෝකථනය කරන ලද මෙම සේවය මෙතරම් පුළුල් ලෙස සමස්ත ලෝක පරිමාණයෙන් මීට පෙර කිසි දිනක ඉටු කර නැත. මිනිස් ආණ්ඩු වෙනුවට එම රාජ්‍යය පිහිටුවීම සඳහා කාලය ළඟා වෙමින් තිබෙන බවට එය බොහෝ සාක්ෂිවලින් එකකි.

දේශනා කරනු ලබන බවට යේසුස් පැවසූ රාජ්‍යය ගැනමයි යාච්ඤා කිරීමට ඔහු අපට ඉගැන්වූ ආදර්ශ යාච්ඤාවේත් තිබෙන්නේ. “ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.” (මතෙව් 6:10, NW) ඇත්තෙන්ම, මිනිස් වර්ගයා සහ පොළොව වෙනුවෙන් තම අරමුණ, එනම් තම කැමැත්ත ඉටු කිරීමට දෙවි විසින් යොදාගනු ලබන මාධ්‍යය එම රාජ්‍යයයි.

ඉන් අදහස් කරන්නේ කුමක්ද? පිළිතුර සැපයීමට එළිදරව් 21:3, 4ට [NW] ඉඩහරිමු. “සිංහාසනය කෙරෙන් නික්මුණු මහත් හඬක් මෙසේ කියනවා මට ඇසුණේය: ‘බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරන්නේය; ඔවුහුද ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවිම ඔවුන් සමඟ සිටින්නේය. තවද, ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.’” එවිට ඇත්තෙන්ම දෙවිගේ කැමැත්ත පොළොවේ සහ ස්වර්ගයේ පූර්ණ ලෙස ඉටු වනු ඇත. * එහි පංගුකාරයෙකු වීමට ඔබ අකමැති වන්නෙහිද?

[පාදසටහන]

^ 26 ඡේ. දෙවිගේ රාජ්‍යය පිළිබඳව වැඩි යමක් ඉගෙනීමට ඔබ කැමති නම් ඔබේ ප්‍රදේශයෙහි සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වන්න. නැතහොත් මෙම සඟරාවේ 2වන පිටුවේ සඳහන් ලිපිනයකට ලියන්න.

[5වන පිටුවේ පින්තූරය]

දෙවිගේ කැමැත්තට පිටු පා ස්වාධීනව කටයුතු කිරීමෙන් ඛේදනීය ප්‍රතිඵල අත් විය