Skip to content

පටුනට යන්න

මෙක්සිකෝවේ ඉංග්‍රීසි කතා කරන අයට අවිධිමත්ව සාක්ෂි දැරීම

මෙක්සිකෝවේ ඉංග්‍රීසි කතා කරන අයට අවිධිමත්ව සාක්ෂි දැරීම

මෙක්සිකෝවේ ඉංග්‍රීසි කතා කරන අයට අවිධිමත්ව සාක්ෂි දැරීම

එක් අවස්ථාවකදී ප්‍රේරිත පාවුල්ට සිදු වුණා තමා සමඟ සංචාරයේ හවුල් වීමට සිටි මිත්‍රයන් පැමිණෙන තුරු ඇතන්ස් නුවරට වෙලා බලා සිටින්න. ඔහු අවිධිමත් ලෙස සාක්ෂි දැරීමෙන් එම කාලයෙන් ප්‍රයෝජන ගත්තා. ‘ඔහු . . . දිනපතාම වෙළඳපොළට පැමිණි අය සමඟ තර්කානුකූලව සාකච්ඡා කළේය’ කියා බයිබලය වාර්තා කරයි. (ක්‍රියා 17:17, NW) යුදයේ සිට ගලීලයට යන ගමන් ළිඳක් අසල හමු වූ සමරිතානු කාන්තාවකට යේසුස් අවිධිමත් ලෙස සාක්ෂි දැරුවා. (යොහන් 4:3-26) ඔබත් දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය පිළිබඳව කතා කිරීමට තිබෙන සෑම ප්‍රස්තාවකින්ම ප්‍රයෝජන ගන්නවාද?

මෙක්සිකෝවේ සිටින ඉංග්‍රීසි කතා කරන අය අතර අවිධිමත් ලෙස සාක්ෂි දැරීමට අවස්ථා සොයාගැනීම පහසුයි. සංචාරකයන් නිවාඩු නිකේතනවලට පැමිණෙනවා. විශ්වවිද්‍යාලයට අලුත් ශිෂ්‍යයන් නිතර එනවා යනවා. ඒ වගේම මෙක්සිකෝවේ පදිංචි වීමට පැමිණි විශ්‍රාම ලත් විදේශිකයන් උද්‍යානවලත් ආපන ශාලාවලත් නිතර දැකිය හැකියි. එවැනි අයත් එක්ක සාකච්ඡා පටන්ගැනීමට ඉංග්‍රීසි භාෂාව කතා කරන යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙකුට දැන් හොඳ හුරුවක් තිබෙනවා. ඇත්තෙන්ම කියනවා නම්, විදේශිකයෙකුයයි දක්නට ලැබෙන හෝ ඉංග්‍රීසි භාෂාව දන්නා ඕනෑම කෙනෙකු සමඟ කතා කිරීමට ඔවුන් උනන්දු වෙනවා. ඔවුන් එය කරන ආකාරය අපි දැන් බලමු.

බොහෝවිට ඉංග්‍රීසි කතා කරන ජනයා අතර සේවය කරන විදේශ සහෝදර සහෝදරියන් විදේශිකයෙකුයයි දක්නට ලැබෙන අයට තමන්ව හඳුන්වා දී, ඔවුන් පැමිණෙන රට කුමක්දැයි අසනවා. මේ නිසා, සාක්ෂිකරුවා මෙක්සිකෝවේ සිටීමට හේතුව විමසීමට විදේශිකයා පෙලඹෙන අතර ඔහුට හෝ ඇයට ක්‍රිස්තියානි විශ්වාසයන් ගැන කතා කිරීමට සාක්ෂිකරුවාට අවස්ථාවක් ලැබෙනවා. සාක්ෂිකරුවන් සඳහා වැඩි අවශ්‍යතාවක් තිබෙන වහාකා නගරයේ ඉංග්‍රීසි කතා කරන අය සිටින ප්‍රදේශයක සේවය කරන ග්ලෝරියාට ඒ විදිහට සාකච්ඡාවන් ආරම්භ කිරීම ඉතාම පහසු දෙයක්. නගරයේ අවිධිමත් ලෙස සාක්ෂි දැරීමෙන් පසුව නිවස බලා එමින් සිටි ග්ලෝරියාව එංගලන්තයෙන් පැමිණි යුවළක් නතර කළා. “වහාකාවල වීදියක කලු ජාතික කාන්තාවක් දකින්න ලැබෙන එක හරි පුදුම දෙයක්!” කියා පවසමින් එම කාන්තාව ඇගේ විමතිය පළ කළා. ඒ ගැන අමනාප වෙනවා වෙනුවට ග්ලෝරියා සිනාසුණා. ඉන් අනතුරුව තමා මෙක්සිකෝවේ සිටීමට හේතුව ගැන ඇය එම කාන්තාව සමඟ කතා කරන්න පටන්ගත්තා. කෝපි එකක් බීලා යන්න තම නිවසට එන්න කියා එම කාන්තාව ග්ලෝරියාට ආරාධනා කළා. නැවත හමුවීමට දිනයක් නියම කරගැනීමෙන් පසුව ග්ලෝරියා එම කාන්තාවට මුරටැඹ සහ පිබිදෙව්! සඟරා පෙන්නුවා. නමුත් තමා අදේවවාදියෙක්යයි පවසමින් ඇය ඒවා ප්‍රතික්ෂේප කළා. අදේවවාදීන් සමඟ කතා කිරීමට තමා කැමති බව පැවසූ ග්ලෝරියා, “ආගමික ස්ථාන අපට අවශ්‍යද?” යන ලිපිය ඇයට පෙන්වා, ඒ ගැන ඇගේ අදහස් දැනගන්න තමා කැමති බව කීවා. එය කියවා බැලීමට එම කාන්තාව එකඟ වුණත් ඇය මෙහෙම පැවසුවා. “ඔයාට පුළුවන් නම් දෙවි කෙනෙක්ව පිළිගන්න මාව පොලඹවන්න ඒක ලොකු ආශ්චර්යයක් වේවි.” ඉන්පසු අවස්ථා කිහිපයකම කෝපි බොන්න එකතු වූ ඔවුන් දෙදෙනා උනන්දුමත් සාකච්ඡාවල යෙදුණා. ඒ යුවළ ආපසු එංගලන්තයට හැරී ගියත්, ඊ මේල් ඔස්සේ දිගටම අදහස් හුවමාරු කරගත්තා.

තම ආචාර්ය උපාධිය ලබාගැනීම පිණිස වොෂිංටන් ඩී.සී. සිට වහාකාවලට පැමිණ, එහි සිටින දේශීය කාන්තාවන් අතර ස්වේච්ඡාවෙන් වැඩ කරමින් සිටි ශිෂ්‍යාවක් සමඟ සාකච්ඡාවක් ඇරඹීමට ග්ලෝරියා පෙලඹුණා. ඇගේ නම සරොන්. සරොන් දැරූ යහපත් ප්‍රයත්න ගැන ඇයට ප්‍රශංසා කළ ග්ලෝරියා, තමා මෙක්සිකෝවේ සිටීමට හේතුව ඇයට විස්තර කළා. මෙය බයිබලය පිළිබඳවත් දිලිඳුන්ට පමණක් නොව මුළු මිනිස් වර්ගයාටම දෙවි කරන්න යන්නාවූ යහපත් දේවල් පිළිබඳවත් හොඳ සාකච්ඡාවකට මඟ පෑදුවා. එක්සත් ජනපදයේ සිටිද්දී සාක්ෂිකරුවෙක් එක්ක කවදාවත් කතා කර නොතිබුණත්, මෙක්සිකෝවේදී තමාට හමු වූ පළමුවෙනි පුද්ගලයා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වීම හිතාගන්නවත් බැරි දෙයක් බව සරොන් පැවසුවා. සරොන් බයිබල් පාඩමකට කැමති වූ අතර එදා පටන් ක්‍රිස්තියානි රැස්වීම්වලටද ගියා.

පාරාදීසමය වටා පිටාවන්ට ආශා කරන විදේශිකයන් බොහෝදෙනෙක් මෙක්සිකෝවේ මුහුදුකරයේ පිහිටා තිබෙන නිවාඩු නිකේතනවල පදිංචි වෙනවා. ඇකපුල්කෝ නගරයේ වෙසෙන ලොරල් ඔවුන්ගේ මෙම ආශාව සාකච්ඡාවට මාතෘකාවක් කරගනියි. ඔවුන් සිටි රටට වඩා ඇකපුල්කෝ ලස්සනද කියාත් ඔවුන් ඇකපුල්කෝවල වැඩියෙන්ම කැමති මොනවටද කියාත් ඇය ඔවුන්ගෙන් අසනවා. ඉතා ඉක්මනින් මුළු පොළොවම සැබෑ පාරාදීසයක් වන බව ඇය ඉන්පසුව පැහැදිලි කරනවා. පශු වෛද්‍ය කාර්යාලයකදී හමු වූ කැනේඩියානු ජාතික කාන්තාවක් සමඟ ඒ ආකාරයට පටන්ගත් සාකච්ඡාවකින් බයිබල් පාඩමක් ඇරඹීමට ඇයට හැකි වුණා. ඔබ වෙසෙන ප්‍රදේශයේත් මීට සමාන එළඹීමක් භාවිත කළ හැකිද?

‘වීදි හා ප්‍රසිද්ධ ස්ථානවල’

බොහෝවිට වීදි හා ප්‍රසිද්ධ ස්ථානවල සාකච්ඡාවක් පටන්ගනු ලබන්නේ “ඔයා ඉංග්‍රීසි කතා කරනවාද?” කියා ඇසීමෙනුයි. තමන් කරන රැකියාව හේතුවෙන් හෝ තමන් එක්සත් ජනපදයේ ජීවත් වී තිබෙන නිසා හෝ මෙක්සිකානු ජාතිකයින් බොහෝදෙනෙකුට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන්.

හෙදියක් විසින් තල්ලු කරගෙන ආපු රෝද පුටුවක සිටි වැඩිහිටි කාන්තාවක් වෙතට සාක්ෂිකාර යුවළක් ළඟා වුණා. ඇයට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන්දැයි ඔවුන් ඇගෙන් විමසුවා. වසර ගණනාවක් පුරා එක්සත් ජනපදයේ විසූ බැවින් තමා ඉංග්‍රීසි දන්නා බව ඇය පැවසුවා. ඇය මීට කලින් මුරටැඹ සහ පිබිදෙව්! සඟරා කියවා තිබුණේ නැති නිසා ඇය කැමති වුණා ඒවා කියවා බලන්න. ඇගේ නම කොන්ස්වෙලෝ. ඇය තම ලිපිනයද ඔවුන්ට දුන්නා. දින හතරකට පසුව ඇය සිටි ස්ථානය සොයාගෙන ගිය ඔවුන්ට දැනගන්න ලැබුණා එය කතෝලික කන්‍යා සොහොයුරියන් විසින් නඩත්තු කරනු ලබන සාත්තු නිවාසයක් බව. මුලදී කොන්ස්වෙලෝව හමුවීම පහසු වුණේ නැහැ. මෙම යුවළ ගැන සැක කළ කන්‍යා සොහොයුරියන් ඔවුන්ට කොන්ස්වෙලෝව හමු වෙන්න නොහැකි බව කීවා. තමන්ගේ පැමිණීම ගැන කොන්ස්වෙලෝට දන්වා ඇයව හමුවීමට තමන් කැමති බව ඇයට පවසන මෙන් එම යුවළ කන්‍යා සොහොයුරියන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියා. කොන්ස්වෙලෝ එම යුවළ සාදරයෙන් පිළිගත්තා. එදා සිට කන්‍යා සොහොයුරියන්ගේ අහිතකර ප්‍රකාශයන් හමුවේ වුවත්, අවුරුදු 86ක් වයසැති මෙම මහලු ස්ත්‍රිය නිතිපතා බයිබල් පාඩමක් කිරීමෙන් සතුටක් ලබනවා. ඇය ක්‍රිස්තියානි රැස්වීම් කිහිපයකටද ගොස් තිබෙනවා.

“ප්‍රඥාව වීථියෙහි මොරගසයි; එළිමහන් ස්ථානවල ඇගේ හඬ පවත්වයි” කියා හිතෝපදේශ 1:20 පවසයි. සාන් මීගල් ඩේ ආයන්ඩේ නමැති ප්‍රදේශයේ ප්‍රධාන හන්දියක එය සිදු වූ ආකාරය සලකා බලන්න. හිමිදිරි පාන්දර බංකුවක් මත වාඩි වී සිටි මැදි වියේ මනුෂ්‍යයෙක් වෙතට රැල්ෆ් ළං වුණා. මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ඔහුට ඉදිරිපත් කිරීම ගැන ඔහු පුදුමයට පත් වී රැල්ෆ්ට තම ජීවිත කතාව කීවා.

ඔහු වියට්නාම් යුද්ධයේදී සටන් කළ සෙබළෙක්. මරණ රැසක් දැකීම හේතුවෙන් ඇති වූ මානසික පීඩනය නිසා හමුදාවේ සේවය කරන කාලයේදී ඔහුට මානසික රෝගයක් ඇති වෙලා තිබුණා. ඒ නිසා ඉදිරි පෙළේ සටන් කරමින් සිටි ඔහුව හමුදා කඳවුරකට යවා තිබෙනවා. එහිදී ඔහුට ලැබුණු පැවරුම නම් සෙබළුන්ගේ මළ සිරුරු එක්සත් ජනපදයට නැව්ගත කිරීම සඳහා සෝදා සූදානම් කිරීම. අවුරුදු 30ක් ගත වී තිබුණත්, බියකරු සිහිනවලින් හා බයකින් ඔහු තවමත් පීඩා විඳිනවා. එදින උදෑසන හන්දියේ වාඩි වී සිටිද්දී, ඔහු උපකාරය ඉල්ලා නිහඬව යාච්ඤා කර තිබුණා.

ඒ මිනිසා සඟරාද රාජ්‍ය ශාලාවට පැමිණීම සඳහා ලැබූ ආරාධනයද පිළිගත්තා. අවුරුදු 30කට පසුව පළමු වරට තමාට සන්සුන් බවක් දැනුණේ, රාජ්‍ය ශාලාවේ තමා ගත කළ එම පැය දෙක තුළ බව රැස්වීමෙන් පසුව ඔහු පැවසුවා. මින්පසු මොහු සාන් මීගල් ඩේ ආයන්ඩේහි රැඳී සිටියේ සති කිහිපයක් පමණි, හැබැයි ඔහු බයිබල් පාඩම් රැසකින් තෘප්තියක් ලැබූ අතර නැවත නිවසට යන තෙක් හැම රැස්වීමකටම ආවා. ඔහුගේ බයිබල් පාඩම දිගටම කරගෙන යෑම සඳහා සැලසුම් යොදා තිබෙනවා.

රැකියා ස්ථානයේදී හා පාසැලේදී අවිධිමත් ලෙස සාක්ෂි දැරීම

ඔබ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් කියා ඔබේ රැකියා ස්ථානයේ සිටින අයට ඔබ දන්වා තිබෙනවාද? කේප් සැන් ලූකාස්වල නිවාඩු නිකේතන ලබා දෙන ඒඩ්‍රියාන්, තමා සාක්ෂිකරුවෙක් බව හැමෝටම කියනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිදු වූ දේ ගැන ඔහු සමඟ වැඩ කරන ජූඩි මෙසේ පැවසුවා. “අවුරුදු තුනකට පමණ කලින් ඔබ මට කිව්වා නම් මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වෙයි කියා, ‘ඒක නම් කොහෙත්ම වෙන්නේ නැහැ’ කියා මම කියන්න ඉඩ තිබුණා. ඒත් මම බයිබලය කියවන්න තීරණය කළා. ‘මම කියවන්න කැමති කෙනෙක් නිසා ඒක එතරම් අමාරු දෙයක් වෙන්නේ නැහැ’ කියලා මම හිතුවා. හැබැයි පිටු හයක්වත් කියවලා ඉවර කරන්න ඉස්සෙල්ලා මට දැනුණා මට උපකාරය අවශ්‍ය බව. මාත් එක්ක වැඩ කරන ඒඩ්‍රියාන්ව මට මතක් වුණා. මට උපකාර කළ හැකි එකම පුද්ගලයා ඔහුයයි මට හිතුණා. මම ඔහුත් එක්ක කතා කරන්න කැමති වුණේ අපේ රැකියා ස්ථානයේ හිටපු අයගෙන් ඇත්තෙන්ම විනීත ලෙස කටයුතු කළ එකම තැනැත්තා ඔහු නිසා.” තමා සමඟ විවාහ වීමට සිටි කේටී සමඟ ඇවිත් ජූඩිගේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයීමට ඒඩ්‍රියාන් ඉදිරිපත් වුණා. කේටී ඇයත් සමඟ බයිබල් පාඩමක් පටන්ගත් අතර, වැඩි කල් යන්නට මත්තෙන් ජූඩි බව්තීස්ම ලත් සාක්ෂිකාරියක් වුණා.

ඔබට පුළුවන්ද පාසැලේදී අවිධිමත් ලෙස සාක්ෂි දරන්න? විශ්වවිද්‍යාලයක ස්පාඤ්ඤ භාෂා පන්තිවලට සහභාගි වූ සාක්ෂිකරුවන් දෙදෙනෙක් ක්‍රිස්තියානි එක්රැස්වීමකට සහභාගි වූ නිසා එක දවසක් පන්ති ගියේ නැහැ. ඔවුන් නැවත පන්තියට පැමිණියාම ඔවුන් කළ දේ ස්පාඤ්ඤ භාෂාවෙන් විස්තර කරන්නැයි ඔවුන්ට කියනු ලැබුවා. ස්පාඤ්ඤ භාෂාවෙන් තමන්ට හැකි විදිහකින් සාක්ෂි දැරීමට එම අවස්ථාවෙන් ඔවුන් ප්‍රයෝජන ගත්තා. සිල්වියා නම් වූ ගුරුවරිය බයිබල් අනාවැකි ගැන හුඟාක් උනන්දු වුණා. ඇය ඉංග්‍රීසි භාෂාවෙන් බයිබලය පාඩම් කිරීමට එකඟ වූ අතර, දැන් ශුභාරංචිය දේශනා කරන ප්‍රචාරිකාවක්. ඇගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකුත් දැන් පාඩම් කරනවා. “මගේ ජීවිත කාලය පුරාම මම සොයමින් සිටි දේ මට සම්බ වුණා” යයි සිල්වියා කියයි. ඇත්තෙන්ම අවිධිමත් ලෙස සාක්ෂි දැරීමෙන් හොඳ පල නෙළාගත හැකියි.

වෙනත් අවස්ථාවන් උපයෝගි කරගැනීම

ආගන්තුක සත්කාරය පෙන්වීමෙන්ද සාක්ෂි දැරීමට අවස්ථාවක් සැලසෙයි. සැන් කාර්ලෝස් සොනෝරාහි සේවය කරන ජිම් සහ ගේල් එය සැබෑවක් බව අද්දුටුවා. උදෑසන 6:00ට තමාගේ බල්ලන්ව ඇවිද්දවන්න ගෙන යමින් සිටි එක් කාන්තාවක් ඔවුන්ගේ මිදුලේ ලස්සන බලන්න නතර වුණා. කෝපි එකක් බීලා යන්නයයි කියමින් ජිම් සහ ගේල් ඇයව නිවසට ආරාධනා කළා. ඇය දැනට වසර 60ක් ජීවත් වී ඇතත් ප්‍රථම වතාවට යෙහෝවා ගැනත් සදාකාල ජීවනය සඳහා තිබෙන බලාපොරොත්තුව ගැනත් ඇයට දැනගන්නට ලැබුණ අතර බයිබල් පාඩමක් ආරම්භ කරනු ලැබුවා.

අමුත්තන්ට කරුණාවෙන් සැලකීම ඒඩ්‍රීන්ගෙත් පුරුද්දයි. කැන්කූන්හි ආපන ශාලාවක ඇය කමින් සිටිද්දී පිරිමි ළමයෙක් ඇය ළඟට ඇවිත් ඇය කැනඩාවෙන්දැයි ඇසුවා. ඔව් කියා ඇය පිළිතුරු දුන් විට, කැනේඩියානු ජාතිකයින් පිළිබඳව වාර්තාවක් සකස් කිරීමට තම මව සමඟ තම සහෝදරියට උපකාර කිරීමට ඔහු උත්සාහ කරමින් සිටින බව ඔහු පැවසුවා. ඉංග්‍රීසි කතා කළ ඔහුගේ මව එතැනට ආවා. කැනේඩියානු ජාතිකයින් පිළිබඳ ඇය ඇසූ ප්‍රශ්නවලට ඉවසිලිවන්තව පිළිතුරු දීමෙන් පසුව ඒඩ්‍රීන් මෙහෙම කිව්වා. “හැබැයි මම කැනඩාවේ ඉඳන් මෙහේ එන්න ඉතාමත්ම වැදගත් හේතුවක් තියෙනවා. ඒ තමයි බයිබලය ගැන ඉගෙනගැනීමට මිනිසුන්ට උපකාර කිරීම. ඔයා කැමතිද බයිබලය ගැන ඉගෙනගන්න?” තමා ඒකට කැමති බව එම කාන්තාව කීවා. ඇය වසර දහයකට කලින් පල්ලි යන එක අත්හැර තිබූ අතර, තනියෙන් බයිබලය අධ්‍යයනය කිරීමට උත්සාහ කර තිබුණා. ඇය තම ලිපිනය හා දූරකථන අංකය ඒඩ්‍රීන්ට දුන් අතර, ඇය සමඟ ඵලදායක බයිබල් පාඩමක් ආරම්භ කිරීමට හැකි වුණා.

‘ඔබේ ආහාර ජලය මතුපිට දමන්න’

ලැබෙන සෑම අවස්ථාවකදීම බයිබලයේ සත්‍යතාවන් ගැන කතා කිරීමෙන් බොහෝවිට සිදු වන්නේ රාජ්‍ය පණිවුඩයට කන් දීමට එතරම් අවස්ථාවක් හෝ කොහෙත්ම අවස්ථාවක් ලැබී නැති අයට සාක්ෂි දැරීමට හැකියාව ලැබීමයි. සිවාටානෙකෝ නමැති වරායක් සහිත නගරයක සෙනඟ පිරුණු ආපන ශාලාවක සිටි සහෝදරියක් විදේශිකයන් දෙදෙනෙකුට තමාගේ මේසයට එන මෙන් ආරාධනා කළා. මෙම යුවළ වසර හතක් පුරා නැවකින් තැනින් තැනට යාත්‍රා කළ අයයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් ඔවුන්ට තිබූ නිෂේධාත්මක හැඟීම් ගැන ඔවුන් කීවා. ආපන ශාලාවේදී මෙම යුවළ මුණගැසීමෙන් පසුව, ඔවුන්ගේ චූටි නැවේදී නැවත ඔවුන්ව හමුවීමට ගිය මෙම සාක්ෂිකාරිය ඇගේ නිවසට එන මෙන් ඔවුන්ට ආරාධනා කළා. එහිදී සඟරා 20ක් සහ පොත් 5ක් ලබාගත් ඔවුන් ඊළඟට නතර වන වරායේදී සාක්ෂිකරුවන්ව සොයාගන්න උත්සාහ කරන බවට පොරොන්දු වුණා.

කැන්කූන්හි සාප්පු මධ්‍යස්ථානයක පිහිටි අවන්හලකදී ජෙෆ් සහ ඩෙබ් දැක්කා ලස්සන පුංචි දැරියක් සමඟ සිටින පවුලක්. ඔවුන් දැරිය ගැන වර්ණනා කළ විට, ඇගේ දෙමාපියන් තමන් සමඟ පීට්සා කන්න එන මෙන් ඔවුන්ට ආරාධනා කළා. මෙම පවුල පැමිණ සිටියේ ඉන්දියාවෙන්. ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන කවදාවත් අහලවත් අපේ පොත් පත් දැකලවත් තිබුණේ නැහැ. ඔවුන් එතනින් පිට වී ගියේ ප්‍රකාශන ටිකකුත් අරගෙනයි.

යූකටාන් වෙරළබඩ තීරය අසල පිහිටි දූපතකද ඊට සමාන දෙයක් සිදු වුණා. අලුත විවාහ වූ චීන යුවළක් ඔවුන්ගේ ඡායාරූප කිහිපයක් ගන්නා ලෙස ජෙෆ්ගෙන් ඉල්ලා සිටියා. ජෙෆ් කැමැත්තෙන්ම එය කළා. පසුගිය වසර 12 පුරාම ඔවුන් එක්සත් ජනපදයේ ජීවත් වෙලා තිබුණත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ඔවුන් කවදාවත් දැකලා තිබුණේවත් ඔවුන් ගැන අහලා තිබුණේවත් නැති බව ජෙෆ් පසුව දැනගත්තා! හොඳ සාකච්ඡාවක් එතනින් ඇරඹුණා. ආපසු ගෙදර ගියාම සාක්ෂිකරුවන්ව හමුවීමට ජෙෆ් ඔවුන්ව දිරිගැන්නුවා.

අවිධිමත් ලෙස සාක්ෂි දැරීම සඳහා අවස්ථාවක් විවෘත කළ හැකි වැදගත් සිද්ධියක් ඔබේ ප්‍රදේශයේ සිදු විය හැකියි. එක්සත් ජනපදයේ ජනාධිපතිතුමා මෙක්සිකෝවේ ජනාධිපතිතුමාව ගුවානාඋවාටෝහි පිහිටි ඔහුගේ සත්ව ගොවිපොළේදී හමු වෙන්න ගිය විට, ලොව වටා සිටින වාර්තාකරුවන් එම සිද්ධිය ආවරණය කිරීමට පැමිණ සිටියා. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඉංග්‍රීසි භාෂාවෙන් දේශනා කිරීමට එක් සාක්ෂිකාර පවුලක් තීරණය කළා. ඊට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. නිදසුනකට, එක වාර්තාකරුවෙක් කොසොවෝ සහ කුවේට්හි යුද්ධ වැනි යුද්ධ බොහොමයක් ගැන වාර්තා කරලා තිබුණා. සැඟවී වෙඩි තබන අයෙකුගෙන් වෙඩි කෑ ඔහුගේ යාළුවෙක් ඔහුගේ දෑතේම මිය ගොස් තිබුණා. නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන දැනගත් විට, ජීවිතයට අරමුණක් තිබෙන බව දැනගැනීම සඳහා තමාට අවස්ථාව ලබා දීම ගැන එම වාර්තාකරු කඳුළු පිරුණු දෑසින් යුතුව දෙවිට ස්තුති කළා. එම සාක්ෂිකාර යුවළ තමාට නැවත දක්නට නොලැබුණත්, බයිබලයෙන් තමා දැනගත්තු ඒ ශුභාරංචිය තම හදවතේ කවදත් රැඳී තිබේවියයි ඔහු පැවසුවා.

මෙම අද්දැකීම්වලින් පැහැදිලි වන්නා සේ, මෙලෙස සාක්ෂි දැරීමෙන් ලැබෙන අවසාන ප්‍රතිඵලය කුමක්ද කියා අපට නිතරම දැනගන්න ලැබෙන්නේ නැහැ. කෙසේවුවත් ප්‍රඥාවන්ත සාලමොන් රජ මෙහෙම පැවසුවා. “ඔබේ ආහාර ජලය මතුපිට දමන්න. කුමක්හෙයින්ද බොහෝ දවසකට පසු ඒවා ඔබට සම්බ වෙයි.” ඔහු තවදුරටත් මෙසේ පැවසුවා. “උදයේ ඔබේ බීජ වපුරන්න, සවසත් ඔබේ අත නවත්වා නොගන්න. මක්නිසාද සපල වෙන්නේ ඒවාද නොහොත් මේවාද නොහොත් දෙවගේම ඒකාකාර හොඳ වේද කියා ඔබ නොදන්නෙහිය.” (දේශනාකාරයා 11:1, 6) එසේය “ඔබේ ආහාර” ජලධාරා බොහොමයක් මතුපිට ජ්වලිතව දමන්න. එමෙන්ම පාවුල් හා යේසුස් කළාක් මෙන්ද මෙක්සිකෝවේ ඉංග්‍රීසි කතා කරන ජනයා අතර සේවය කරන මෙම නවීන දින සාක්ෂිකරුවන් කරන්නාක් මෙන්ද, “ඔබේ බීජ” ත්‍යාගශීලී ලෙස වපුරන්න.