Skip to content

පටුනට යන්න

අන්ධව සිටියදී මගේ ඇස් අරිනු ලැබුවා

අන්ධව සිටියදී මගේ ඇස් අරිනු ලැබුවා

ජීවිත කතාව

අන්ධව සිටියදී මගේ ඇස් අරිනු ලැබුවා

පැවසුවේ ඒගොන් හවූසර්

මගේ ජීවිත කාලය පුරාම මම නොසැලකූ බයිබල් සත්‍යතාවන්ට මගේ අවධානය යොමු වුණේ, මගේ ඇස් පෙනීම නැති වී මාස දෙකක් ගතවීමෙන් පසුවයි.

ගෙවී ගිය දශක හතකටත් වඩා වැඩි කාලය දෙස ආපසු හැරී බලද්දී, මගේ ජීවිතය තුළ සිදු වූ බොහෝ දේවලින් මට ලොකු තෘප්තියක් දැනෙනවා. එහෙත් ඒ අතීතයෙන් එක දෙයක් වෙනස් කරන්න මට පුළුවන් නම් මම කරන්නේ ඊටත් කලින් යෙහෝවා ගැන දැනගන්න එක.

මම ඉපදුණේ 1927දී උරුග්වේ නමැති රටෙයි. මෙය ආර්ජන්ටිනාව සහ බ්‍රසීලය අතර පිහිටි පෙයාස් ගෙඩියක හැඩය ඇති කුඩා රටක්. එහි අත්ලාන්තික් සාගරය පැත්තට වෙන්න තිබෙන වෙරළබඩ ප්‍රදේශය කිලෝමීටර් ගණනාවක් දිගට විහිදෙන අතර එය සුන්දර දර්ශනවලින් පිරිලා. මෙහි මූලිකවම සිටින්නේ, ඉතාලි හා ස්පාඤ්ඤ ජාතික සංක්‍රමණිකයන්ගෙන් පැවතෙන්නන්. මගේ දෙමාපියන් නම් හංගේරියානු සංක්‍රමණිකයන්. සාමාන්‍ය ජීවිත ගත කළත් එකිනෙකා අතර හොඳ සම්බන්ධයක් තිබූ සමාජයකයි මගේ කුඩා කාලයේදී අපි ජීවත් වුණේ. අපේ දොරවල්වලට ඉබ්බෝ දාන්නවත් ජනෙල්වලට පොලු සවි කරන්නවත් අවශ්‍ය වුණේ නැහැ. අප අතර ජාතිවාදී හැඟීම් තිබුණේ නැහැ. දේශීය වුවත් විදේශීය වුවත්, කලු වුවත් සුදු වුවත්, අපි අතර හොඳ මිත්‍රත්වයක් පැවතුණා.

මගේ දෙමාපියන් හොඳ කතෝලිකයන් වූ අතර, අවුරුදු දහයේදී මට පූජාවට උදව් කරන ළමයෙක් වීමට හැකියාව ලැබුණා. වැඩිහිටියෙකු වූ විට මම හිටපු ප්‍රදේශයට අයිති මීසමේ මම වැඩ කළා. එමෙන්ම මීසම් කිහිපයක් අධීක්ෂණය කළ බිෂොප් තුමාට සේවය කරන උපදේශක කණ්ඩායමක සාමාජිකයෙකු ලෙසද මම කටයුතු කළා. වෛද්‍ය වෘත්තිය තෝරාගත් නිසා, වෙනිසුවේලාහි කතෝලික පල්ලිය මගින් සංවිධානය කරනු ලැබූ සම්මේලනයකට සහභාගි වීමට මට ආරාධනයක් ලැබුණා. අපි නාරිවේදී විශේෂඥයෝ වශයෙන් පුහුණුව ලබමින් සිටි නිසා ඒ කාලයේදී ලබාගත හැකි වූ උපත් පාලන පෙති ගැන අධ්‍යයනයක් කිරීමට අපගේ කණ්ඩායමට පවරා තිබුණා.

වෛද්‍ය ශිෂ්‍යයෙක් වශයෙන් මගේ මුල් හැඟීම්

වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස මිනිස් ශරීරය ගැන අධ්‍යයනය කරමින් සිටි කාලයේදී, ශරීරය කොතරම් ප්‍රඥාවන්ත නිර්මාණයක්දැයි දුටු විට මම පුදුමයෙන් පුදුමයට පත් වුණා. ඊට එක් නිදසුනක් තමයි ඉබේම සුවවීමට ශරීරයට තිබෙන හැකියාව. උදාහරණයකට, අක්මාවෙන් හෝ සමහර ඉලඇටවලින් කොටසක් ඉවත් කළොත් ආපසු නියම ප්‍රමාණය දක්වා වැඩීමට ඒවාට හැකියාවක් තිබෙනවා.

ඒත් එක්කම බරපතළ අනතුරුවලට ලක් වූවන්ව මම දැක්කා. රුධිරය ශරීරගත කිරීම නිසා ඔවුන් මරණයට පත් වූ විට මට හුඟාක් දුක හිතුණා. රුධිර ප්‍රවේශන හේතුවෙන් ඇති වූ ගැටලු නිසා මිය ගිය රෝගීන්ගේ නෑදෑයන්ට ඒ මරණ ගැන පවසන්නට සිදු වූ විට මම අපහසුතාවට පත් වූ ආකාරය මට තවමත් මතකයි. ඔවුන් ප්‍රේම කළ තැනැත්තාගේ වියෝවය සිදු වුණේ ලේ ගැනීම නිසා බව බොහෝවිට රෝගීන්ගේ නෑදෑයන්ට දැනගන්න ලැබුණේ නැහැ. ඔවුන්ට ඉදිරිපත් කළේ වෙනත් හේතු. වසර ගණනාවක් ගත වෙලා තිබුණත් රුධිර ප්‍රවේශන සම්බන්ධයෙන් තිබුණු සැකයන් මට තවමත් මතකයි. ඒ ප්‍රතිකාර ක්‍රමයේ යම් දෝෂයක් තිබුණා කියලා මම අන්තිමට නිගමනය කළා. රුධිරයේ පරිශුද්ධභාවය පිළිබඳ යෙහෝවාගේ නීතිය මම ඒ දවස්වලදීම දැනගෙන හිටියා නම් කොතරම් හොඳද! එහෙම වුණා නම්, රුධිර ප්‍රවේශන පිළිබඳව මට තිබූ සැකයන්ට හේතුව මට තේරුම්ගන්න තිබුණා.—ක්‍රියා 15:19, 20.

ජනයාට උපකාර කිරීමෙන් තෘප්තිය

කලක් ගත වුණාට පසුව මම ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට සුදුසුකම් ලැබුවා. සාන්ත ලූසියාවේ වෛද්‍ය සේවා මධ්‍යස්ථානයක අධ්‍යක්ෂ ධුරය මට ලැබුණු අතර ජීව විද්‍යාව පිළිබඳ ජාතික ආයතනයේද මට යම් වගකීම් තිබුණා. මම මේ දේවල්වලින් ලොකු තෘප්තියක් ලැබුවා. මම රෝගීන්ව සුව කළා. ඔවුන්ගේ කායික වේදනාව තුනී කළා. බොහෝ අවස්ථාවලදී ජීවිත බේරගත්තා. ඒත් එක්කම දරු ප්‍රසූතියේදී මව්වරුන්ට උපකාර කිරීම තුළින් ලෝකයට අලුත් ජීවිත හඳුන්වා දුන්නා. රුධිරය ශරීරගත කිරීමෙන් සිදු වූ අනතුරු මම දුටු නිසා, රුධිරය නොදී ශල්‍ය කර්ම දහස් ගණනක් මම සිදු කළා. මම මෙහෙම තර්ක කළා. රුධිරය වහනය වීම හරියට බැරලයක තිබෙන හිලකින් ඇති වන කාන්දු වීමකට සමානයි. කාන්දු වීම නතර කිරීමට තිබෙන එකම විසඳුම හිල වැසීම මිස බැරලය තවත් පිරවීම නොවේ.

සාක්ෂිකාර රෝගීන්ට ප්‍රතිකාර කිරීම

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මම ආශ්‍රය කරන්න පටන්ගත්තේ 1960 ගණන්වලදීයි. රුධිරය නොගෙන සැත්කම් කරගැනීම සඳහා ඔවුන් අපේ සායනයට එන්න යන්න පටන්ගත්තේ ඒ කාලයේදී. මර්සේතේස් ගොන්සාලෙස් නමැති එක්තරා රෝගියෙක් සම්බන්ධ සිද්ධිය මට අමතක කරන්න බැහැ. ඇය පුරෝගාමියෙක්. (පූර්ණ කාලීන සේවිකාවක්) ඇය අධික රක්තහීනතාවෙන් පෙළුණා. ඇගේ තත්වය කොතරම් බරපතළ වුණාද කිවහොත් ඇයව ශල්‍ය කර්මයකට භාජන කළොත් ඇය අනිවාර්යයෙන්ම මැරෙන බව විශ්වවිද්‍යාල රෝහලේ වෛද්‍යවරු සිතූ නිසා, එම අභියෝගය භාරගන්න ඔවුන් අකමැති වුණා. රුධිරය වහනය වීම දිගටම සිදු වුවත්, අපගේ සායනයේදී අපි ඇයව ශල්‍ය කර්මයට භාජන කළා. ශල්‍ය කර්මය සාර්ථක වූ අතර, මෑතකදී මිය යන තුරු ඇය පුරෝගාමි සේවයේ වසර 30ක් පුරා නිරත වෙලා සිටියා. මිය යද්දී ඇයට වයස අවුරුදු 86යි.

රෝහල්ගතව සිටි තම ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ට සාත්තු කිරීමේදී සාක්ෂිකරුවන් පෙන්වූ ප්‍රේමය හා සැලකිල්ල නිතරම මගේ සිත්ගත් දෙයක්. මම ලෙඩ්ඩු බලන්න ගිය විට, සාක්ෂිකරුවන් තම විශ්වාසයන් ගැන කියද්දී මම ආශාවෙන් ඇහුම්කන් දුන්නා. ඔවුන් දුන්න ප්‍රකාශන මම භාරගත්තා. වැඩි කල් යන්නට මත්තෙන් මම ඔවුන්ගේ වෛද්‍යවරයා පමණක් නොවේ, ඔවුන්ගේ ආත්මික සහෝදරයෙකුද වේවි කියා මම කවදාවත් හිතුවේ නැහැ.

රෝගියෙකුගේ දියණියක වූ බියාට්‍රීස් සමඟ මම විවාහ වූ නිසා සාක්ෂිකරුවන් එක්ක තිබුණු මගේ සම්බන්ධය වැඩි වුණා. ඇගේ පවුලේ සිටි වැඩිදෙනෙක් ඒ වන විටත් සාක්ෂිකරුවන් එක්ක ආශ්‍රය කරමින් සිටියා. අපි විවාහ වුණායින් පසුව ඇයත් ක්‍රියාශීලී සාක්ෂිකාරියක් වුණා. කෙසේවෙතත් මට වෛද්‍ය ක්ෂේත්‍රය තුළ තරමක ප්‍රසිද්ධියක් තිබූ නිසා, මම මගේ රැකියාවේ ඇලී ගැලී සිටියා. මගේ ජීවිතයේ කිසිම අඩුවක් තිබුණේ නැහැ. ඒත් මම දැනං හිටියේ නැහැ ඉතා ඉක්මනින් මගේ ලෝකය බිඳ වැටෙන්නට යන බව.

විපත්තියකට මුහුණ දීම

ශල්‍ය වෛද්‍යවරයෙකුට සිදු විය හැකි විශාලතම පාඩුව තමයි ඔහුගේ පෙනීම අහිමි වීම. මට එය සිදු වුණා. හිටි හැටියේම මගේ ඇස් දෙකේම දෘෂ්ටිවිතානවල ඇති වූ ආබාධිත තත්වයක් නිසා මම අන්ධ වුණා! මගේ පෙනීම යථා තත්වයට පත් වෙයිද නැද්ද යන්න දැනගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ශල්‍ය කර්මයෙන් පසුව මගේ ඇස් දෙකම වෙළුමකින් වසා තිබුණා. මෙහෙම ඇඳට වෙලා සිටියදී මම මානසිකව වැටුණා. මගෙන් ඇති වැඩක් නැහැ කියලා මට හැඟුණ නිසා, මට ලොකු හිස්බවක් දැනෙන්න පටන්ගත්තා. මේ නිසා මගේ ජීවිතය නැති කරගන්න මම තීරණය කළා. හතරවන මහලේ සිටි නිසා, මම ඇඳෙන් බැහැලා ජනේලයක් හම්බ වෙනකං බිත්තිය දිගේ අත ගගා ගියා. මම හිතාගෙන හිටියේ ජනේලයෙන් එළියට පැනලා මැරෙන්නයි. එහෙත් මම ගිහින් තියෙන්නේ රෝහලේ කොරිඩෝරයටයි. එතනින් හෙදියක් මාව නැවතත් මගේ ඇඳ ගාවට ගෙනත් හැරියා.

ඊට පස්සේ මම එහෙම දෙයක් කරන්න උත්සාහ කළේ නැහැ. නමුත් අන්ධකාර ලෝකයකින් වට වෙලා සිටි මා හැම වෙලේම මානසික පීඩනයෙන් හා වහා කිපෙන ස්වභාවයකින් පසු වුණා. මට නැවත කවදාහරි ඇස් පෙනීම ලැබුණොත් මම බයිබලය මුල සිට අග දක්වාම කියවනවා කියා අන්ධව සිටියදී මම දෙවිට පොරොන්දු වුණා. අවසානයේදී මගේ පෙනීම ටිකක් හොඳ වී කියවන්න පුළුවන්කම මට ලැබුණා. එහෙත් ශල්‍ය වෛද්‍යවරයෙක් හැටියට වැඩ කරන්න නම් මට හැකි වුණේ නැහැ. උරුග්වේහි මේ වගේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. “නෝ හයි මාල් කේ පෝ බ්යැන් නෝ වෙංගා.” එහි තේරුම “නරක දෙයින් වුවත් හොඳ ප්‍රතිඵල නෙළාගැනීමට ඉඩ කඩ තියෙනවා” කියන එකයි. මට කාලය ඇවිත් තිබුණා එම කියමනේ සත්‍යතාව අද්දකින්න.

වැරදි අඩිතාලමක් දැමීම

ද ජෙරූසලම් බයිබල් නමැති පරිවර්තනයේ ලොකු අකුරු සහිත මුද්‍රණයෙන් පිටපතක් ලබාගැනීමට මට ඕන වුණා. නමුත් මට දැනගන්න ලැබුණා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ළඟ ඊට වඩා මිලෙන් අඩු බයිබලයක් තිබුණු බව. ඉන් පිටපතක් මගේ නිවසට ගෙනත් දෙන්න තරුණ සාක්ෂිකරුවෙක් පොරොන්දු වුණා. පහුවෙනිදා උදෑසන ඔහු මගේ නිවස ඉස්සරහ දොර ගාව බයිබලයත් එක්ක හිටගෙන හිටියා. ඔහුට දොර විවෘත කළ මගේ භාර්යාව ඔහු සමඟ කතා කළා. බයිබලයට සල්ලි ගෙවලා ඉවර නම් තවදුරටත් මගේ නිවසේ රැඳී සිටීමට ඔහුට කිසිම හේතුවක් නැතැයි කියමින්, ඔහුට යන්න කියා මම ගෙයි ඉඳන් කේන්තියෙන් කෑගැසුවා. ඔහු එවෙලේම යන්න ගියා. පසු කාලයකදී මෙම පුද්ගලයාම මගේ ජීවිතයේ විශාල වෙනසක් කිරීමට දායක වේවි කියා මම කොහොමටවත් හිතුවේ නැහැ.

දිනක් මම මගේ භාර්යාවට පොරොන්දුවක් වෙලා ඒක ඉටු කරන්න අපොහොසත් වුණා. ඉතින් ඇයව සතුටු කිරීම සඳහා ඒ වෙනුවට යමක් කරන්න සිතූ මම, ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීම සඳහා වාර්ෂිකව පවත්වන රැස්වීමට ඇයත් එක්ක යන්න පොරොන්දු වුණා. නියමිත දිනය පැමිණි විට මගේ පොරොන්දුව පරිදි මම එම රැස්වීමට ඇය සමඟ ගියා. එහි පැවති මිත්‍රශීලී වාතාවරණයට මෙන්ම මට ලැබුණු කාරුණික පිළිගැනීම වෙතට මගේ සිත ඇදී ගියා. කථිකයා කතා කරන්න පටන්ගත් විට මම දුටුවා ඒ එදා මම කේන්තියෙන් මගේ නිවසින් පන්නා දැමූ තරුණයා බව. එවිට මම පුදුම වුණා. ඔහුගේ කතාව මට ලොකු බලපෑමක් ඇති කළා. ඔහුට අකාරුණික ලෙස සැලකීම ගැන මට හරි ලැජ්ජා හිතුණා. මම දැන් තත්වය හරිගස්වාගන්නේ කොහොමද?

මම මගේ භාර්යාවට කිව්වා රෑ කෑමකට ඔහුට ආරාධනා කරන්න කියලා. නමුත් ඇය මෙහෙම යෝජනා කළා. “ඔයාම එයාට ආරාධනා කළොත් හොඳයි නේද? අපි මෙතනම හිටගෙන හිටියොත් එයා අපි ළඟට එයි.” ඇය කියූ විදිහටම ඔහු අපි ගාවට ඇවිල්ලා අපව සාදරයෙන් පිළිගත් අතර අපේ ආරාධනාවද සතුටින් පිළිගත්තා.

ඔහු අපේ නිවසට පැමිණි සන්ධ්‍යාවේදී අපි අතර ඇති වූ සාකච්ඡාවෙන් පසුව, මා බොහෝ වෙනස්කම් කිරීමට පටන්ගත්තා. සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය * නමැති පොත ඔහු මට පෙන්නුවා. එම පොතේම පිටපත් හයක්, මම ඔහුට පෙන්නුවා. සාක්ෂිකාරයන්ව සිටි රෝගීන්ගෙන් මට ඒවා ලැබිලා තිබුණත්, මම කවදාවත් ඒවා කියවලා තිබුණේ නැහැ. කෑම කන වෙලාවේත් පසුව රෑ වන තුරුත් මම ගොඩාක් ප්‍රශ්න ඇහැව්වා. ඒ හැම එකකටම ඔහු බයිබලය පාවිච්චි කරමින් මට පිළිතුරු දුන්නා. ඊළඟ දවස හිමිදිරි පාන්දර වෙනකල් අපි සාකච්ඡා කළා. යන්න ඉස්සෙල්ලා තරුණයා සත්‍යය පොතෙන් මාත් එක්ක පාඩමක් කරන්න ඉදිරිපත් වුණා. මාස තුනකින් අපි ඒ පොත පාඩම් කරලා ඉවර කළා. ඊළඟට අපි “මහා බබිලෝනිය වැටුණාය! දෙවිගේ රාජ්‍යය පාලනය කරයි!”  * (සිංහලෙන් නොමැත) නමැති පොත පාඩම් කළා. ඊට පස්සේ මම මගේ ජීවිතය යෙහෝවා දෙවිට කැප කර බව්තීස්ම වුණා.

නොවටිනාකමේ හැඟීම්වලින් මිදීම

ඇස් පෙනීම අහිමි වීම හේතුවෙන්, මම එදා වන තුරු නොසලකාහැරියාවූ බයිබල් සත්‍යයන්ට මගේ ‘සිතේ ඇස්’ විවෘත කරනු ලැබුවා! (එෆීස 1:18, NW) යෙහෝවා ගැනත් ඔහුගේ ප්‍රේමණීය අරමුණු ගැනත් දැනගන්නට ලැබීමෙන් පසුව මගේ මුළු ජීවිතයම වෙනස් වුණා. දැන් මට සතුටක් මෙන්ම වටිනාකමේ හැඟීමක්ද තියෙනවා. මම ජනයාට ශාරීරිකව හා ආත්මිකව උපකාර කරන අතර මෙම සමාජ පිළිවෙළේ තව ස්වල්ප වසර ගණනකටත් නව ලොවේදී සදාකාලයටත් ඔවුන්ගේ ජීවිත පවත්වාගත හැකි ආකාරය ගැන මම ඔවුන්ට පෙන්වා දෙනවා.

වෛද්‍ය ක්ෂේත්‍රයේ අලුත්ම තොරතුරු ගැන මම නිතරම විමසිල්ලෙන් ඉන්නවා. ඒ වගේම රුධිර ප්‍රවේශන නිසා ඇති වන අවදානම, විකල්ප ප්‍රතිකාර ක්‍රම, රෝගීන්ගේ අයිතිවාසිකම් හා ජීව විද්‍යාත්මක ආචාර ධර්මය ආදි දේවල් ගැන මම ගවේෂණය කරලා තියෙනවා. වෛද්‍ය සම්මේලනවලදී මෙම කාරණා පිළිබඳව කතා කිරීමට මට ආරාධනා කර තිබෙන අවස්ථාවලදී අපේ ප්‍රදේශයේ වෛද්‍ය වෘත්තියේ නියැලී සිටින්නන් සමඟ මෙම තොරතුරු බෙදාගැනීමට මට අවස්ථා ලැබී තියෙනවා. බ්‍රසීලයේ රියෝ ඩි ජැනීරෝහි රුධිරය රහිත ප්‍රතිකාර සම්බන්ධයෙන් පවත්වනු ලැබූ ප්‍රථම සම්මේලනයට මම සහභාගි වූ අතර, ලේ ගැලීම පාලනය කරන ආකාරය පිළිබඳව මම කතාවක් ඉදිරිපත් කළා. එම තොරතුරුවලින් කොටසක්, “ඌනා ප්‍රොපෙස්ටා එස්ත්‍රාටෙක්යාස් පාරා එල් ට්‍රාටාම්යැන්ටෝ ඩ ලාස් ඒමොරාගියාස්” (“ලේ වහනය වැළැක්වීමේ ප්‍රතිකාර සඳහා යෝජනාවක්”) යන නමින් මම ලියූ ලිපියකට ඇතුළත් කරනු ලැබුවා. මෙය හීමොටෙරෆියා නම් වූ වෛද්‍ය සඟරාවක පළ වුණා.

වෛද්‍යවරුන්ගේ බලපෑම් හමුවේ අඛණ්ඩව

මුලදී රුධිර ප්‍රවේශන පිළිබඳව මට තිබූ සැකයන් පදනම් වූයේ බොහෝදුරට විද්‍යාත්මක දැනුම මතයි. කෙසේවෙතත් මමම අසනීප වෙලා රෝහල්ගත වූ විට, වෛද්‍යවරුන්ගේ ප්‍රබල බලපෑම් හමුවේ මගේ ඇදහිල්ල පවත්වාගැනීම සඳහා රුධිරය ප්‍රතික්ෂේප කිරීම මට පහසු දෙයක් නොවූ බව මම වටහාගත්තා. බරපතළ හෘදයාබාධයකින් පසුව පැය දෙකකටත් අධික කාලයක් පුරා මගේ ස්ථාවරය ගැන ශල්‍ය වෛද්‍යවරයෙකුට විස්තර කිරීමට මට සිදු වුණා. ඔහුගේ දෙමාපියන් මගේ හොඳ යාළුවන්. මට ලේ දීලා මගේ ජීවිතය බේරගන්න පුළුවන් වෙයි කියලා ඔහුට හිතුණොත් මට මැරෙන්න දෙන්නේ නැහැ කියලා ඔහු කිව්වා. මම යෙහෝවාට නිහඬව යාච්ඤා කළා. මෙම වෛද්‍යවරයා මගේ ස්ථාවරයට එකඟ නොවූවත්, එම ස්ථාවරය තේරුම්ගැනීමටත් එයට ගරු කිරීමටත් ඔහුට උපකාර කරන ලෙස මම යෙහෝවාගෙන් ඉල්ලා සිටියා. අන්තිමේදී මගේ කැමැත්තට ගරු කරන බවට වෛද්‍යවරයා පොරොන්දු වුණා.

තවත් අවස්ථාවකදී මගේ පුරස්ථි ග්‍රන්ථියෙන් ලොකු ගෙඩියක් අරන් දාන්න සිදු වුණා. රුධිරය වහනය වෙන්න පටන්ගත්තා. නැවත වතාවක් ලේ නොගැනීමට හේතුව පහදා දෙන්න මට සිදු වුණා. මේ අවස්ථාවේදී මගේ ශරීරයේ තිබූ රුධිර ප්‍රමාණයෙන් තුනෙන් දෙකක්ම අහිමි වුණත් වෛද්‍ය මණ්ඩලය මගේ ස්ථාවරයට ගරු කළා.

ආකල්පයේ වෙනසක්

ජීව විද්‍යාත්මක ආචාර ධර්ම පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කරන අතරතුරේදී, රෝගීන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වෛද්‍ය කණ්ඩායම් සහ නීතිමය බලධාරීන්ගේ ආකල්පවල වෙනසක් සිදු වෙනවා දැකීමෙන් මම සෑහීමට පත් වෙනවා. රෝගියාව ආරක්ෂා කිරීම සඳහා තනි තීරණ ගැනීමේ ස්වභාවයක් තිබූ වෛද්‍යවරුන් දැන් ඒ වෙනුවට රෝගියාගේ අනුදැනුම හා අනුමැතිය ඇතුව ප්‍රතිකාර කිරීමට කැමැත්තක් දක්වනවා. කුමන ප්‍රතිකාර ක්‍රමයක් භාවිත කරනවාද යන්න තීරණය කිරීමේදී රෝගියාටත් ඊට හවුල් වීමට ඔවුන් දැන් අවසර දෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව තවදුරටත් වෛද්‍යවරුන්ගේ අවධානය ලබන්ට වටින්නේ නැති අන්තවාදීන් ලෙස සලකන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ව දැන් සලකන්නේ හොඳින් දැනුවත් වී සිටින රෝගීන් හැටියටයි. ඔවුන්ගේ අයිතිවාසිකම්වලටද දැන් ගරු කරනවා. වෛද්‍ය සම්මේලනවලදීත් රූපවාහිනි වැඩසටහන්වලදීත් ප්‍රසිද්ධ මහාචාර්යවරු මෙහෙම පවසලා තියෙනවා. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් දැරූ වෑයම නිසා දැන් අපිට තේරෙනවා . . . ” “සාක්ෂිකරුවන්ගෙන් අපි ඉගෙනගෙන තිබෙනවා . . . ” සහ “දියුණු වෙන්න ඔවුන් අපට උගන්වලා තියෙනවා.”

සාමාන්‍යයෙන් සැලකෙන්නේ සියල්ලටම වඩා ජීවිතය වැදගත් බවයි. මොකද ජීවිතය නැත්නම් නිදහසෙන්, ස්වාධීනත්වයෙන් සහ ගරුත්වයෙන් කිසි වැඩක් නැහැ. පෙරට වඩා උසස් නීතික සංකල්පයක් දැන් බොහෝදෙනෙක් පිළිගන්නවා. එනම් එක් එක් පුද්ගලයා තම තමාගේම පුද්ගලික අයිතිවාසිකම්වල අයිතිකරු බවටත්, යම්කිසි විශේෂිත තත්වයකදී තමාගේ අයිතිවාසිකම්වලින් ප්‍රමුඛත්වය ලැබිය යුත්තේ කුමන අයිතිවාසිකමටද යන්න තීරණය කළ හැකි එකම තැනැත්තා එම පුද්ගලයාම බවටත් වූ කාරණයයි. මේ නිසා ගරුත්වයට, තීරණ ගැනීමට තිබෙන නිදහසට සහ ආගමික විශ්වාසයන්ට ප්‍රමුඛස්ථානය ලැබෙයි. තමාගේ සෞඛ්‍යය ගැන තීරණයක් ගැනීමේ අයිතිය රෝගියා සතු දෙයක්. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රෝහල් තොරතුරු සේවා විධිවිධානය මගින් බොහෝ වෛද්‍යවරුන්ට මෙම කාරණා වැඩි වැඩියෙන් තේරුම්ගැනීමට උපකාර ලැබී තිබෙනවා.

මගේ පවුලේ සාමාජිකයන්ගේ නිරන්තර උපකාරය නිසා මට හැකි වෙලා තියෙනවා යෙහෝවාගේ සේවයේ ප්‍රයෝජනවත් ආකාරයකින් කටයුතු කිරීමටත්, ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලෙකු ලෙස සේවය කිරීමටත්. මම මුලදී පැවසුවාක් මෙන් මං ගොඩාක්ම කනගාටු වන්නේ මට ජීවිතයේ මුල් කාලයේදීම යෙහෝවා ගැන දැනගන්න නොලැබුණු එක ගැන. එනමුත් ‘තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන’ දෙවිගේ රාජ්‍ය විධිවිධානය යටතේ ජීවත් වීමේ පුදුමාකාර බලාපොරොත්තුව සම්බන්ධයෙන් ඔහු මගේ දෙනෙත් විවෘත කිරීම ගැන මම ඉතාමත්ම කෘතඥපූර්වක වෙනවා.—යෙසායා 33:24. *

[පාදසටහන්වල]

^ 24 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

^ 24 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

^ 34 ඡේ. මෙම ලිපිය සූදානම් කරන අතරතුරේදී සහෝදර ඒගොන් හවූසර් මියැදුණා. ඔහු ඇදහිලිවන්තව සිට මිය ගිය නිසා ඔහුගේ බලාපොරොත්තුව ස්ථිරයි. ඒ ගැන අපට ප්‍රීති විය හැකියි.

[24වන පිටුවේ පින්තූරය]

වයස 30 ගණන්වලදී සාන්ත ලූසියාවේ පිහිටි රෝහලේ සේවය කරමින් සිටියදී

[26වන පිටුවේ පින්තූරය]

මගේ බිරිඳ බියාට්‍රීස් සමඟ 1995දී