Skip to content

පටුනට යන්න

එකිනෙකාව ශක්තිමත් කරන්න

එකිනෙකාව ශක්තිමත් කරන්න

එකිනෙකාව ශක්තිමත් කරන්න

“ඔවුහු මට ශක්තිය සපයන උපකාරකයෝ වූහ.”—කොලොස්සි 4:11, NW.

1, 2. (අ) යම් අනතුරක් තිබුණත් පාවුල්ගේ මිතුරන් ඔහුව සිරගෙදරදී බැහැදැකීමට ගියේ මන්ද?

සිරභාරයේ දුක් විඳිමින් සිටින අයෙකුගේ මිතුරෙකු වීම අවදානම් සහිත දෙයක් විය හැක. ඒ පුද්ගලයා බොරු චෝදනා මත සිරභාරයේ සිටියත් එම අවදානම එසේම පවතී. සිරගෙයි නිලධාරීන් ඇතැම්විට ඔබ දෙසත් බලන්නේ සැකයෙනි. ඔබ යම් අපරාධයක් කරයිදෝයයි සැක සිතමින් ඔබේ සෑම ඉරියව්වක්ම ඔවුන්ගේ දැඩි අවධානයට ලක් වන්නට ඉඩ ඇත. එබැවින් ඔබේ මිතුරා සමඟ ඔබේ සබඳතාව දිගටම පවත්වාගන්නට නම් සිරගෙදරට ගොස් ඔහුව බැහැදැකීම සඳහා ධෛර්යය අවශ්‍ය වේ.

2 එහෙත් මීට වසර 1,900කට පමණ පෙර ප්‍රේරිත පාවුල්ගේ මිතුරන් කිහිපදෙනෙකු කළේ එවැනිම දෙයකි. සිරබැඳුම්වලින් සිටි පාවුල්ව බැහැදැක ඔහුට අවශ්‍ය සැනසිල්ල හා දිරිගැන්වීම ලබා දීමටත්, ඔහුව ආත්මිකව ශක්තිමත් කිරීමටත් ඔවුහු පසුබට නොවූහ. මෙම පක්ෂපාත මිතුරන් කවුරුන්ද? ඔවුන්ගේ ධෛර්යය, පක්ෂපාතිත්වය සහ ඔවුන් පෙන්වූ මිත්‍රත්වය තුළින් අපට උගත හැක්කේ මොනවාද?—හිතෝපදේශ 17:17.

“ශක්තිය සපයන උපකාරකයෝ”

3, 4. (අ) පාවුල්ගේ මිතුරන් පස්දෙනා නම් කරන්න. පාවුල් ඔවුන්ව සැලකුවේ කෙලෙසද? (ආ) ‘ශක්තිය සපයන උපකාරකයෙක්’ යන්න විස්තර කරන්න.

3 අපි දැන් ක්‍රි.ව. 60වන වසරට ආපසු යමු. ප්‍රේරිත පාවුල් සිටින්නේ රෝමයේ සිරගෙදරකයි. ඊට හේතුව ජනයා අතරේ කැරලි ඇති කරන්නෙකු බවට වූ බොරු චෝදනාව ඔහුට විරුද්ධව එල්ල වී තිබීමය. (ක්‍රියා 24:5; 25:11, 12) පාවුල් ඔහුගේ උපකාරයට පැමිණි ක්‍රිස්තියානීන් පස්දෙනෙකු ගැන විශේෂයෙන්ම සඳහන් කරයි. එනම් ආසියා ප්‍රදේශයෙන් වූ, පාවුල්ගේ පෞද්ගලික නියෝජිතයෙකු වූද “ස්වාමීන් තුළ . . . සෙසු දාසයෙකු” වූද තිකිකස්; කොලොස්සියෙන් වූ “විශ්වාසවන්ත, ප්‍රේමණීය සහෝදර” ඔනෙසිමස්; තෙසලෝනිකයේ මැසිඩෝනියානු ජාතිකයෙකු වූද, කලකට පාවුල්ගේ “හවුල් සිරකරු” වූද අරිස්තාකස්; පාවුල් සමඟ මිෂනාරි සේවයේ නියැලුණු බානබස්ගේ ඥාති සහෝදර වූද, තම නමින් සඳහන් සුවිශේෂ වාර්තාව ලිව්වාවූ මාක් සහ “දෙවිගේ රාජ්‍යය උදෙසා” වූ, ප්‍රේරිත පාවුල්ගේ හවුල් වැඩකරුවන්ගෙන් එක් කෙනෙකු වූ ජස්ටස් යන පස්දෙනාය. මෙම පස්දෙනා ගැන පාවුල් පවසන්නේ මෙලෙසය. “ඔවුහු මට ශක්තිය සපයන උපකාරකයෝ වූහ.”—කොලොස්සි 4:7-11, NW.

4 තම පක්ෂපාත මිතුරන් තමන්හට පිරිනැමූ උපකාරය ගැන පාවුල් කළේ බලගතු ප්‍රකාශයක්ය. “ශක්තිය සපයන උපකාරකයෝ” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක වචනය (පාරෙගොරියා) ඔහු භාවිත කළේය. ඇත්තෙන්ම බයිබලයේ මෙම වචනය තිබෙන්නේ මෙම පදයෙහි පමණි. මෙම වචනයට අර්ථ කිහිපයක්ම තිබෙන අතර, එය විශේෂයෙන් භාවිත කළේ ඖෂධ සම්බන්ධවයි. * එය ‘අස්වැසිල්ල, නිවාරණය, සැනසිල්ල හෝ සහනය’ ලෙස පරිවර්තනය කළ හැක. පාවුල්ට අවශ්‍ය වූයේ එවන් ආකාරයේ ශක්තිමත් කිරීමක්ය. එමෙන්ම එම පුරුෂයෝ පස්දෙනා ඔහුට එය සැපයූහ.

පාවුල්ට “ශක්තිය සපයන උපකාරකයෝ” අවශ්‍ය වීමට හේතු

5. පාවුල් ප්‍රේරිතවරයෙකු වුවත් ඔහුට කුමක් අවශ්‍ය වීද? එමෙන්ම අප සැමදෙනාටමත් විටින් විට අවශ්‍ය වන්නේ මොනවාද?

5 පාවුල් ප්‍රේරිතවරයෙක් විය. ඔහුට අන් අයගෙන් ශක්තිය ලබන්නට අවශ්‍ය වූ බව කියවෙන විට සමහරෙකු පුදුම වන්නට පුළුවන. එහෙත් ඔහුට එසේ අවශ්‍ය විය. පාවුල්ට ශක්තිමත් ඇදහිල්ලක් තිබුණු බව ඇත්තයි. තවද, ඔහු ශාරීරික වධ හිංසා වින්දත්, “සීමා ඉක්මවා පහර” කෑවත්, “නිතර මරුමුවට ළං” වුවත්, වෙනත් නොයෙකුත් වේදනා වින්දත් ඒවායින් ගොඩ ආ බවද ඇත්තයි. (2 කොරින්ති 11:23-27, NW) එනමුත් ඔහුද හැඟීම් දැනීම් ඇති මනුෂ්‍යයෙක් විය. සෑම මනුෂ්‍යයෙකුටම යම් අවස්ථාවකදී හෝ සැනසිල්ලක් ලබන්නටත් අන් අයගේ උපකාරයෙන් තමන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරගනු ලබන්නටත් අවශ්‍යය. මෙය යේසුස් සම්බන්ධයෙන් පවා සැබෑවක් විය. මිහිපිට ගත කළ අවසාන රාත්‍රියේදී දේවදූතයෙකු ඔහුට ගෙත්සෙමන උයනෙහි පෙනී “ඔහුව ශක්තිමත් කළේය.”—ලූක් 22:43, NW.

6, 7. (අ) රෝමයේදී පාවුල්ව ශෝකයට පත් කළේ කවුරුන්ද? ඔහුව දිරිගැන්වූයේ කවුරුන්ද? (ආ) පාවුල්ගේ ක්‍රිස්තියානි සහෝදරයන් ‘ශක්තිය සපයන උපකාරකයෝ’ වූයේ, ඔහු වෙනුවෙන් රෝමයේදී ඉටු කළ කුමන කාර්යයන් නිසාද?

6 පාවුල්ටද අන් අයගෙන් ශක්තිය ලබන්නට අවශ්‍ය විය. සිරකරුවෙකු ලෙස රෝමයට පැමිණි විට තම ජාතියේ මිනිසුන් ඔහුව උණුසුම්ව පිළිගත්තේ නැත. සමස්තයක් හැටියට මෙම යුදෙව්වරු රාජ්‍ය පණිවිඩය පිළි නොගත්හ. පාවුල්ව සිර කර තිබූ ස්ථානයට යුදෙව්වන්ගේ ප්‍රධානීන් පැමිණියායින් පසු, ක්‍රියා පොතේ වාර්තාවේ මෙසේ සඳහන් වේ. ‘ඔහු කී දේවල් සමහරු විශ්වාස කළෝය. සමහරු විශ්වාස නොකළෝය. ඔවුන් අතරේ මතභේදයක් ඇති වූ හෙයින්, ඔවුහු පිටත්ව යන්න පටන්ගත්තෝය.’ (ක්‍රියා 28:17, 24, 25, NW) යෙහෝවාගේ මහත් කරුණාව සඳහා අගය දක්වන්නට ඔවුන් අපොහොසත් වූ බැවින්, පාවුල්ට කොතරම් වේදනාවක් දැනෙන්නට ඇද්ද! මෙම කාරණය සම්බන්ධයෙන් ඔහුට ප්‍රබලව හැඟුණු අයුරු රෝමයේ පිහිටි සභාවට වසර කිහිපයකට කලින් ඔහු විසින් ලියන ලද ලිපියෙහි මෙලෙස පළ විය. “මගේ සිත තුළ බලවත් ශෝකයද නොනැවතී පවතින වේදනාවද තිබේ. මාංසික ලෙස මාගේ නෑදෑයන් වන මගේ සහෝදරයන් [යුදෙව්වන්] වෙනුවෙන්, ශාප ලද්දා ලෙස මාව ක්‍රිස්තුස්ගෙන් වෙන් කරනු ලැබුවා නම්, ඊට මම කැමති වෙමි.” (රෝම 9:2, 3, NW) කෙසේනමුත් පක්ෂපාත, සැබෑ මිතුරන් පාවුල්ට රෝමයේදී සම්බ විය. ඒ ඔහුගේ සැබෑ ආත්මික සහෝදරයෝය. ඔවුන්ගේ ධෛර්යයෙන් හා සෙනෙහසින් ඔහුගේ සිතට සහනයක් ලැබිණ.

7 එම සහෝදරයෝ පස්දෙනා “ශක්තිය සපයන උපකාරකයෝ” වූයේ කෙලෙසද? පාවුල් සිරගත වී සිටියද, ඔහුව හමු නොවී සිටීමට ඔවුන් එය හේතුවක් කරගත්තේ නැත. ඒ වෙනුවට, පාවුල්ව සිරගත කර තිබුණු නිසා ඔහුට පෞද්ගලිකව කළ නොහැකි වූ කාර්යයන් රාශියක්ම ඔවුහු ඔහු වෙනුවෙන් කැමැත්තෙන් සහ ආදරයෙන් ඉටු කළෝය. නිදසුනකට ඔවුහු පාවුල්ගේ පණිවිඩකරුවන් හැටියට ක්‍රියා කරමින් ඔහු ලියූ ලිපි හා විවිධ සභාවන්ට වාචිකව දුන් උපදෙස් ඒ ඒ සභාවන්ට ගොස් ලබා දුන්නෝය. එමෙන්ම රෝමයේ හා වෙනත් ප්‍රදේශවල විසූ සහෝදරයන්ගේ සුව දුක් ගැන දිරිගන්වනසුලු වාර්තාද පාවුල්ට සැපයූහ. ශීත කාලයට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, අකුළන ලියවිලි සහ ලිවීමට අවශ්‍ය උපකරණද ඔවුන් ලබා දෙන්නට ඇත. (එපීස 6:21, 22; 2 තිමෝති 4:11-13, NW) සිරභාරයේ සිටි මෙම ප්‍රේරිතවරයාට කළ උපකාරවලින් ඔහු ශක්තියක් සහ ධෛර්යයක් ලැබුවේය. ප්‍රතිඵලයක් ලෙස, අන් අයහට, එසේය මුළු සභාවන්හට ‘ශක්තිය සපයන උපකාරකයෙකු’ වන්නට ඔහුට පුළුවන් විය.—රෝම 1:11, 12.

‘ශක්තිය සපයන උපකාරකයෙකු’ වන අයුරු

8. පාවුල් තමාට ‘ශක්තිය සපයන උපකාරකයෙකු’ අවශ්‍ය බව යටහත් පහත්ව පිළිගැනීමෙන් අපට උගත හැකි පාඩම කුමක්ද?

8 පාවුල් සහ ඔහුගේ හවුල් සේවකයන් පස්දෙනා පිළිබඳ වාර්තාවෙන් අපට කුමක් උගත හැකිද? අපට උගත හැකි එක පාඩමක් විශේෂයෙන්ම සලකා බලමු. අසීරු තත්වයකට මුහුණ දෙන අයගේ උපකාරයට පැමිණීම සඳහා ධෛර්යය හා ආත්ම-පරිත්‍යාගී ස්වභාවයක් අවශ්‍යය. මීට අමතරව පෞද්ගලිකව අප යම් විපතකට මුහුණ දෙමින් සිටින විට අපට උපකාර අවශ්‍ය විය හැකියයි පිළිගැනීමට යටහත් පහත්කමද අවශ්‍යය. තමාට උපකාර අවශ්‍ය බව පාවුල් පිළිගත්තා පමණක් නොව, ඔහු එය කෘතඥතාවකින් යුතුව පිළිගෙන, උපකාරය ලබා දුන් අයව පැසසුමට ලක් කළේය. අන් අයගෙන් උපකාර පිළිගැනීම දුර්වලකමක් ලෙස හෝ තමාට සිදු වන නින්දාවක් ලෙස හෝ ඔහු සැලකුවේ නැත. අපද එලෙස නොසිතිය යුතුයි. අපට කිසිදාක ශක්තිය ලැබීම සඳහා උපකාරයක් අවශ්‍ය නැතැයි පවසනවා නම් ඉන් අදහස් වන්නේ අප සුපිරි මිනිසුන් බවයි. යේසුස්ගේ ආදර්ශයෙන් පෙනී යන්නේ පරිපූර්ණ මිනිසෙකුට පවා ඇතැම් අවස්ථාවලදී උපකාරය පතමින්, හඬමින් කන්නලව් කරන්නට සිදු විය හැකි බවය. මෙය කිසිදාක අමතක නොකරමු.—හෙබ්‍රෙව් 5:7.

9, 10. පුද්ගලයෙකු තමාට උපකාර අවශ්‍ය බව පිළිගන්නා විට ඉන් සිදු විය හැකි යහපත කුමක්ද? පවුලේ හා සභාවේ අන් අය කෙරෙහි මෙය කවර අන්දමින් බලපෑ හැකිද?

9 පෙරමුණ ගෙන ක්‍රියා කරන පුද්ගලයන් තමන්ට දුර්වලකම් ඇති බවත්, අන් අයගේ උපකාර ඔවුන්ට අත්‍යවශ්‍ය බවත් පිළිගන්නා විට හොඳ ප්‍රතිඵල නෙළාගත හැක. (යාකොබ් 3:2) මෙලෙස පිළිගන්නා විට, අධිකාරයක් හොබවන අය හා එම අධිකාරය යටතේ සිටින අය අතර තිබෙන බැඳීම ශක්තිමත් වේ. තවද සුහද මෙන්ම අවංක අදහස් හුවමාරුවට මඟ පෑදෙයි. උපකාර පිළිගැනීමට කැමති අය එසේ කිරීමෙන් දක්වන යටහත් පහත්කම එවැනි තත්වයකට මුහුණ දෙන වෙනත් අයටද හොඳ ආදර්ශයක් වේ. තවද, පෙරමුණ ගන්නා අය අසම්පූර්ණ මනුෂ්‍යයන් බවත්, ළං වන්නට ලෙහෙසි පුද්ගලයන් බවත් ඉන් පැහැදිලි වේ.—දේශනාකාරයා 7:20.

10 නිදසුනකට තම දෙමාපියන් දරුවන්ව සිටි කාලයේදී තමන් මුහුණ දෙන අභියෝගවලට සමාන අභියෝගවලට මුහුණ දුන් බව දරුවන් දැනගෙන සිටියහොත්, ගැටලු හා පරීක්ෂාවලට මුහුණ දීම සඳහා තම දෙමාපියන් දෙන උපකාර භාරගැනීමට ඔවුන්ට ඇතැම්විට වඩාත් පහසු වේ. (කොලොස්සි 3:21) මේ අයුරින් දෙමාපියා සහ දරුවා අතර හොඳ අදහස් හුවමාරුවක් ඇරඹීමට හොඳ පදනමක් දමනු ලැබේ. ප්‍රතිඵලයක් ලෙස ශුද්ධ ලියවිල්ලෙන් දෙන විසඳුම් වඩාත් සාර්ථක ලෙස ලබා දිය හැකි අතර, දරුවෝ ඒවා භාරගැනීමටද වැඩි කැමැත්තක් දක්වති. (එපීස 6:4) ඒ හා සමානව, සභාවේ සාමාජිකයන් වැඩිමහල්ලන්ගෙන් උපකාර පිළිගැනීමට වඩාත් හොඳ මනසකින් සිටින්නේ වැඩිමහල්ලන්ද ප්‍රශ්න ගැටලු, අසහනකාරී අදහස්වලට හා සිත්තැවුල්වලට මුහුණ දෙන බව තේරුම්ගන්නා විටය. (රෝම 12:3; 1 පේතෘස් 5:3) මෙහිදීත් ප්‍රතිඵලයක් වශයෙන් හොඳ අදහස් හුවමාරුවක් ඇති විය හැකි අතර, ශුද්ධ ලියවිලිමය උපදෙස් බෙදාගන්නට පුළුවන් වේ. එමගින් ඇදහිල්ලේ ශක්තිමත් වීමක්ද සිදු විය හැක. වෙන කිසිදාකටත් වඩා අද දින අපගේ සහෝදර සහෝදරියන්ව ශක්තිමත් කිරීමට අවශ්‍ය බව මතක තබාගන්න.—2 තිමෝති 3:1.

11. අද දින බොහෝදෙනෙකුට ‘ශක්තිය සපයන උපකාරකයෙකු’ අවශ්‍ය වන්නේ මන්ද?

11 අප කවුරුන් වුවත්, කොතැනක ජීවත් වුවත්, අපගේ වයස කොපමණ වුවත්, අප සැමෝම ඇතැම් අවස්ථාවලදී ජීවිතයෙහි යම් පීඩාකාරී අවස්ථාවලට මුහුණ දෙනු ඇත. මෙය වත්මන් ලෝකයේදී අනිවාර්යයෙන්ම අද්දකින දෙයකි. (එළිදරව් 12:12) අපව ශාරීරිකව හෝ චිත්තවේගීය ලෙස අපහසුතාවකට පත් කරන මෙවැනි අවස්ථාවන් අපගේ ඇදහිල්ලේ ගුණය පරීක්ෂා කරයි. යම් පීඩාකාරී අවස්ථා රැකියාවේදී, පාසැලේදී, පවුල තුළ හෝ සභාව තුළ හටගත හැක. සමහරවිට බරපතළ අසනීපයක් හෝ අතීතයේ යම් කටුක අද්දැකීමක් එම මානසික පීඩනයට හේතු විය හැක. එවැනි අවස්ථාවක ඔබේ විවාහක කලත්‍රයා, වැඩිමහල්ලෙක් හෝ මිතුරෙක් සැලකිලිමත් ලෙස කතා කරමින් යම් උපකාරයක් දී කාරුණික ලෙස යම් දිරිගැන්වීමක් සපයයි නම්, එයින් මොන තරම් සහනයක් දැනේද! ඇත්තටම එය වේදනාවකට යමක් ආලේප කිරීම නිසා දැනෙන සහනය බඳුය. එබැවින්, ඔබේ සහෝදරයෙක් එවැනි තත්වයක සිටිනවා ඔබේ අවධානයට ලක් වේ නම්, ඔහුට ශක්තිය සපයන උපකාරකයෙකු වන්න. එසේ නැත්නම්, ඔබට පෞද්ගලිකව දරාගැනීමට අමාරු යම් ගැටලුසහගත තත්වයක් උද්ගත වී ඇත්නම්, ආත්මික වශයෙන් සුදුසුකම් ලත් අයගේ උපකාරය පතන්න.—යාකොබ් 5:14, 15.

සභාවක් වශයෙන් උපකාර පිරිනැමිය හැකි අයුරු

12. තම සහෝදරයන්ව ශක්තිමත් කිරීමට සභාවේ සිටින සෑම කෙනෙකුටම කුමක් කළ හැකිද?

12 අන් අයව ශක්තිමත් කිරීම සඳහා දරුවන් ඇතුළුව සභාවේ සියලුදෙනාටම යම් අයුරකින් දායක විය හැක. නිදසුනකට, ඔබ රැස්වීම්වලට හා ක්ෂේත්‍ර සේවය සඳහා නිතිපතා පැමිණීමෙන් අන් අයගේ ඇදහිල්ල බෙහෙවින් ශක්තිමත් වේ. (හෙබ්‍රෙව් 10:24, 25) ඔබ අඛණ්ඩව පරිශුද්ධ සේවයෙහි නිරත වීමෙන් පැහැදිලි වන්නේ ඔබ යෙහෝවාට පක්ෂපාතව සිටින බවයි. එමෙන්ම දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටියද ඔබ ආත්මික වශයෙන් අවදිව සිටින බවයි. (එපීස 6:18) එම අඛණ්ඩතාව අන් අයව ශක්තිමත් කිරීමට ඉවහල් විය හැක.—යාකොබ් 2:18.

13. සමහරුන් අක්‍රියාශීලී විය හැක්කේ මන්ද? ඔවුන්ට උපකාර කිරීම සඳහා කුමක් කළ හැකිද?

13 ඇතැම් අවස්ථාවලදී ජීවිතයේ යම් පීඩනවලට හෝ වෙනයම් අසීරුතාවලට මුහුණ දීම හේතුවෙන් සමහරුන්ගේ සේවය අඩාළ විය හැක. එසේත් නැතහොත් ක්ෂේත්‍ර සේවයෙහි අක්‍රියාශීලී විය හැක. (මාර්ක් 4:18, 19) අක්‍රියාශීලී අය සභා රැස්වීම්වලදී අපට ඇතැම්විට සම්බ වන්නේද නැත. එහෙත් දෙවි කෙරෙහි ප්‍රේමයක් ඔවුන්ගේ සිතේ තවමත් තිබෙන්නට ඉඩ කඩ ඇත. ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට කුමක් කළ හැකිද? ඔවුන්ව බැහැදැකීමෙන් ඔවුන්ට කාරුණිකව යම් උපකාරයක් පිරිනැමීමට වැඩිමහල්ලන්ට පුළුවන. (ක්‍රියා 20:35) එසේ උපකාර කිරීමට සභාවේ වෙනත් සාමාජිකයන්ගේ සහායද වැඩිමහල්ලන්ට පැතිය හැක. ඇදහිල්ලෙන් දුර්වලව සිටින මෙවැනි අයව ප්‍රකෘතිමත් තත්වයට ගෙන ඒම සඳහා කරන මෙවන් බැහැදැකීම් ඔවුන් සඳහා තිබෙන හොඳම පිළියම විය හැක.

14, 15. අන් අයව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පාවුල් දුන්නේ කවර උපදෙස්ද? ඔහුගේ උපදෙස් ක්‍රියාත්මක කළ එක් සභාවක් ගැන විස්තර සපයන්න.

14 “අධෛර්යයට පත්ව සිටින අයට සැනසීම ගෙන දෙන ආකාරයෙන් කතා කරන මෙන්ද, දුර්වලයන්ට උපකාර කරන මෙන්ද” බයිබලය අපට උනන්දු කරයි. (1 තෙසලෝනික 5:14, NW) “අධෛර්යයට පත්ව සිටින” ඒ අයට තමුන්ගේ ධෛර්යය හීන වී යන බවක් හැඟෙනවා විය හැක. එමෙන්ම යම් උපකාරයක් නොමැතිව, තමුන් මුහුණ දෙන බාධකවලින් ජයගැනීමට නුපුළුවන් බවක්ද හැඟෙනවා විය හැක. ඔවුන්ට අවශ්‍ය ඒ උපකාරය දීමට ඔබට පුළුවන්ද? ‘දුර්වලයන්ට උපකාර කිරීම’ යන යෙදුම දුර්වලයන්ව “තදින් අල්ලාගෙන සිටීම” හෝ ඔවුන්ට “ඇලී සිටීම” ලෙසද පරිවර්තනය කර ඇත. යෙහෝවා තම බැටළුවන් සියලුදෙනාවම සලකන්නේ මහත් අගයකින් හා ප්‍රේමයකිනි. ඔවුන්ට වැඩි වටිනාකමක් නැතැයි ඔහු නොසිතන අතර, ඔවුන්ගෙන් කිසිවෙකු ගසාගෙන යනවාටද කැමති නැත. එසේනම් ආත්මිකව දුර්වලව සිටින අය වඩාත් ශක්තිමත් වන තෙක් ඔවුන්ව “තදින් අල්ලාගෙන සිටීම” සඳහා සභාවට යම් උපකාරයක් දීමට ඔබට හැකිද?—හෙබ්‍රෙව් 2:1, NW.

15 එක් වැඩිමහල්ලෙක් වර්ෂ හයක් පුරා අක්‍රියාශීලීව සිටි විවාහක යුවළක් බැහැදකින්නට ගියේය. එම වැඩිමහල්ලා මෙසේ ලීවේය. “මුළු සභාවම ඔවුන්ට පෙන්වූ කාරුණික මෙන්ම ප්‍රේමණීය සැලකිල්ල කොතරම් ප්‍රබලව බලපෑවාද කියනවා නම්, රැළට ආපසු එකතු වෙන්නට ඔවුන් පෙලඹුණා.” සභාවේ සාමාජිකයන් කළ බැහැදැකීම් ගැන කලකට අක්‍රියාශීලීව සිටි එම සහෝදරියට හැඟුණේ කෙසේද? ඇය දැන් මෙසේ පවසයි. “අපිව බැහැදකින්නට ආපු එක සහෝදරයෙක්වත් ඔවුන් සමඟ පැමිණි එක සහෝදරියක්වත් අපිව විනිශ්චය කරන්න හැදුවේ නැහැ. එහෙම නැත්නම් අපිව විවේචනය කළේ නැහැ. අන්න ඒක තමයි ආපහු ක්‍රියාශීලී වෙන්න අපට උපකාර වුණේ. ඒගොල්ලන් අපිට අනුකම්පා කළා. ශුද්ධ ලියවිල්ලෙන් හොඳ දිරිගැන්වීම් ලබා දුන්නා.”

16. ශක්තිමත් කිරීම අවශ්‍යව සිටින අයට උපකාර කිරීමට සෑමවිටකම සූදානමින් සිටින්නේ කවුද?

16 අවංක ක්‍රිස්තියානියෙකු අන් අයට ශක්තිය සපයන උපකාරකයෙකු වීම සලකන්නේ ඉමහත් ප්‍රීතියක් ලෙසයි. තවද, අපගේ ජීවිතයේ අප නොයෙකුත් තත්වයන්ට මුහුණ දෙන විට අපගේ සහෝදරයන් අපට ශක්තියක් ලැබෙන ආකාරයෙන් ක්‍රියා කළ හැක. කෙසේවෙතත් අපට උපකාරය අවශ්‍ය සෑම අවස්ථාවකදීම අපගේ සහෝදරයන් අපට සමීපව සිටීවියයි සිතීම යථාර්ථවාදී නොවේ. එහෙත්, සෑමවිටම අපට නුදුරින් සිටින, උපකාර කිරීමට සෑමවිටකම කැමැත්තෙන් සිටින ශක්තිය සපයන එක තැනැත්තෙක් සිටියි. එම තැනැත්තා නම් යෙහෝවා දෙවිය.—ගීතාවලිය 27:10.

යෙහෝවා —ශක්තිය සපයන ශ්‍රේෂ්ඨතම තැනැත්තා

17, 18. යෙහෝවා තම පුත් යේසුස් ක්‍රිස්තුස්ව ශක්තිමත් කළේ කවර ආකාරවලින්ද?

17 යේසුස් වධකණුවේ ඇණ ගසා සිටි අවස්ථාවේදී ඔහු මහත් හඬකින් පැවසුවේ මෙලෙසය. “පියාණෙනි, ඔබේ අතට මාගේ ආත්මය භාර දෙමි.” (ලූක් 23:46, NW) ඉන් අනතුරුව ඔහු මිය ගියේය. ඊට පැය කිහිපයකට කලින් ඔහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුගේ කිට්ටුම මිතුරෝ බියෙන් ඔහුව අත්හැර පලා ගියෝය. (මතෙව් 26:56) ශක්තිය ලබාගැනීම සඳහා යේසුස්ට තවත් සිටියේ එකම තැනැත්තෙකු පමණි. ඒ තම ස්වර්ගික පියාණෝය. එනමුත් යෙහෝවා කෙරෙහි ඔහු තැබූ විශ්වාසය නිෂ්ඵල යමක් නොවීය. යේසුස් තම පියාණන්ට පක්ෂව සිටි නිසා, ඊට විපාක වශයෙන් යෙහෝවා ඔහුට පක්ෂපාතව අනුග්‍රහය දැක්වීය.—ගීතාවලිය 18:25, නව අනුවාදය; හෙබ්‍රෙව් 7:26.

18 යේසුස් මිහිපිට දේවසේවය කළ කාලය පුරාම, එනම් තම අන්තිම හුස්ම හෙළූ අවස්ථාව දක්වාම තම විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීමට අවශ්‍ය සියල්ල යෙහෝවා ඔහුට ලබා දුන්නේය. නිදසුනකට යේසුස් තම දේවසේවය ආරම්භ කරන බව පෙන්වීමට බව්තීස්ම වූ අවස්ථාව සලකා බලන්න. ඔහු බව්තීස්ම වූ කෙණෙහිම තම පියාණන් සිය අනුමැතිය පළ කළේය. තමා ඔහුට ප්‍රේම කරන බවත් සනාථ කළේය. මේ සියල්ල යේසුස්ට ඇසිණ. යේසුස්ට උපකාරයක් අවශ්‍ය අවස්ථාවක් ඉස්මතු වූ විට ඔහුව ශක්තිමත් කිරීම සඳහා යෙහෝවා තම දේවදූතයන්ව යැවීය. තම භූමික ජීවිතයේ අවසානයේදී දරුණුම පරීක්ෂාවට මුහුණ දුන් විටද, යෙහෝවා යේසුස්ගේ කන්නලව් සහ ඉල්ලීම්වලට ඉත සිතින් සවන් දුන්නේය. මේ සියල්ල යේසුස්ට ශක්තිය සැපයීම සඳහා උපකාරවත් වූ බවට සැකයක් නැත.—මාර්ක් 1:11, 13; ලූක් 22:43.

19, 20. අපට අවශ්‍ය වූ මොහොතකදී යෙහෝවා අපව ශක්තිමත් කරන බවට අපට නිසැක විය හැක්කේ මන්ද?

19 යෙහෝවා ආශා කරන්නේ අපට බලය හෙවත් ශක්තිය සපයන ප්‍රධාන තැනැත්තා බවට පත්වීමටයි. (2 ලේකම් 16:9) සියලුම ශක්තිය හා බලය ලබා දෙන එකම තැනැත්තා වන දෙවි අපට උපකාර අවශ්‍ය වන ඕනෑම මොහොතක ශක්තිය සපයන උපකාරකයෙකු විය හැක. (යෙසායා 40:26) යුද්ධ, දුගීකම, අසනීප, මරණය හෝ අපගේම දුර්වලකම් නිසා අපට ඉමහත් පීඩනයක් දැනෙන්නට පුළුවන. ජීවිතයේදී මුහුණ දීමට සිදු වන කරදර ‘බලවත් සතුරෙකු’ මෙන් අපව ගිලගැනීමට බලන විට අපගේ ශක්තිය හා බලය වීමට යෙහෝවාට පුළුවන. (ගීතාවලිය 18:17; නික්මයාම 15:2, NW) අපට උපකාර කිරීම සඳහා ඔහු සතු බලගතු දෙයක් තිබේ. එනම් ඔහුගේ ශුද්ධාත්මයයි. ඔහුගේ ආත්මයෙන් යෙහෝවා “ක්ලාන්ත වූ අයට ශක්තිය” දෙන්නේ ඔවුන්ට ‘රාජාලීන් මෙන් පියාඹා නැඟ’ යෑමට හැකි වන පරිද්දෙනි.—යෙසායා 40:29, 31.

20 විශ්වයේ තිබෙන ප්‍රබලතම බලය දෙවිගේ ආත්මයයි. පාවුල් කියා සිටියේ “මට බලය දෙන තැනැත්තාගෙන් සියලු දේ සඳහා මට ශක්තිය” ලැබෙන බවය. එසේය, ඉතා අත ළඟ තිබෙන, පොරොන්දු කරන ලද පාරාදීසයේදී ‘සියල්ල අලුතෙන් සාදන’ තෙක් සියලුම අසීරුතා ගැටලු විඳදරාගැනීමට අවශ්‍ය “සාමාන්‍යය ඉක්මවූ බලය” අපහට ලබා දීමට අපගේ ප්‍රේමණීය ස්වර්ගික පියාණන්ට පුළුවන.—ෆිලිප්පි 4:13; එළිදරව් 21:4, 5; 2 කොරින්ති 4:7; NW.

[පාදසටහන]

^ 4 ඡේ. Vine’s Complete Expository Dictionary of Old and New Testament Words යනුවෙන් ඩබ්. ඊ. වයින් විසින් රචිත ශබ්දකෝෂයේ මෙසේ සඳහන් වේ. “[පාරෙගොරියා] යන වචනය ක්‍රියා පදයක් ලෙස ගත් කල, සිරුරේ යම් වේදනාවක් සමනය කරන ඖෂධවලට යොමු දක්වයි.

ඔබට මතකද?

• රෝමයේදී සහෝදරයෝ පාවුල්හට “ශක්තිය සපයන උපකාරකයෝ” වූයේ කෙලෙසද?

• අපට සභාව තුළ, “ශක්තිය සපයන උපකාරකයෝ” විය හැක්කේ කවර ආකාරවලින්ද?

• යෙහෝවා අපහට ශක්තිය ලබා දෙන ශ්‍රේෂ්ඨතම තැනැත්තා වන්නේ කෙලෙසද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

සහෝදරයෝ පාවුල්ට “ශක්තිය සපයන උපකාරකයෝ” වූහ. එසේ වූයේ ඔහුට පක්ෂපාතව අත හිත දීමෙන්, දිරිගැන්වීමෙන් හා ඔහුට පෞද්ගලිකව කළ නොහැකි වූ කාර්යයන් ඔහු වෙනුවෙන් කිරීමෙනි

[21වන පිටුවේ පින්තූරය]

රැළ ශක්තිමත් කිරීමේ කාර්යයෙහි පෙරමුණ ගන්නෝ වැඩිමහල්ලෝය