Skip to content

පටුනට යන්න

තරුණයෙනි, ඔබ අනාගතය සඳහා හොඳ අඩිතාලමක් දමමින් සිටිනවාද?

තරුණයෙනි, ඔබ අනාගතය සඳහා හොඳ අඩිතාලමක් දමමින් සිටිනවාද?

තරුණයෙනි, ඔබ අනාගතය සඳහා හොඳ අඩිතාලමක් දමමින් සිටිනවාද?

“මා විසින් ඔබ ගැන කරන යෝජනා මමම දනිමි. ඔබට මතු කාලයේදී [අනාගතයක් හා, NW] බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාදානයේ යෝජනාය.”—යෙරෙමියා 29:11.

1, 2. තරුණ කාලය ගැන තිබිය හැක්කේ කවර වෙනස් ආකල්පද?

තරුණ කාලය ජීවිතයේ ඉතා කදිම අවදියක්ය යන්න බොහෝ වැඩිහිටියන්ගේ මතය වේ. ඔවුන් තරුණ වියේ සිටිද්දී කඩිසරව හා උද්‍යෝගයෙන් කල් ගෙවූ අයුරු ඔවුන්ට මතකය. වගකීම් අඩු, විනෝදයෙන් පිරි, ප්‍රස්තා නමැති දොරටු විවෘතව තිබුණු ඒ අවදිය ගැන ඔවුන්ට ඇත්තේ ඉතා සොඳුරු මතකයන්ය.

2 කෙසේවෙතත් දැන් තරුණ වියේ සිටින ඔබ බොහෝදුරට ඊට වෙනස් ආකල්පයක් දරනවා විය හැක. තරුණ කාලයට ආවේණික වූ චිත්තවේගීය හා ශාරීරික වෙනස්කම්වලට මුහුණ දීම ඔබට අභියෝගයක් වන්නට පුළුවන. පාසැලේදී සම වයසේ මිතුරු මිතුරියන්ගෙන් ඔබට සෑහෙන පීඩනයක් එල්ල වනවා විය හැක. මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය මෙන්ම දුරාචාරයේ යෙදීම වැනි දේවලට එරෙහිව සිටීම සඳහා ඔබ දැඩි සටනක් කරනවා වන්නට පුළුවන. ඔබෙන් බොහෝදෙනෙක් දේශපාලනමය මධ්‍යස්ථභාවය සම්බන්ධයෙන් හෝ ඔබේ ඇදහිල්ලට සම්බන්ධ වෙනත් ප්‍රශ්නවලටද මුහුණ දෙති. ඔව්, තරුණ විය අමාරු කාලයක් වන්නට පුළුවන. කෙසේවෙතත්, එය ප්‍රස්තා නමැති දොරටු විවෘතව තිබෙන කාලයක් බව නම් අනිවාර්යයෙන්ම පැවසිය යුතුය. ප්‍රශ්නය මෙයයි: ඔබ ඒ ප්‍රස්තා ප්‍රයෝජනයට ගන්නේ කෙසේද?

ඔබේ තරුණ විය සතුටින් භුක්ති විඳින්න

3. සලමොන් තරුණ අයට දුන් දැනමුතුකම හා අවවාදය සඳහන් කරන්න.

3 වැඩිහිටි අය නිසැකව කියන දෙයක් නම් තරුණ කාලය වැඩි කලක් නොපවතින බවයි. ඔවුන් දරන ඒ අදහස නිවැරදිය. ස්වල්ප වසරක් ගෙවී ගියායින් පසුව තරුණ වියෙන් සමුගන්නට ඔබට සිදු වේ. එමනිසා, තරුණව සිටින තාක් කල් එය සතුටින් භුක්ති විඳින්න. සලමොන් රජු දැනමුතුකම් දුන්නේ එයාකාරයටයි. ඔහු මෙසේ ලීවේය. “තරුණය, ඔබේ යෞවන වයසේදී ප්‍රීති වෙන්න. ඔබේ යෞවන දවස්වල ඔබේ සිත ඔබ සන්තෝෂ කෙරේවා. ඔබේ සිතේ මාර්ගවලත් ඔබේ ඇස්වලට පෙනෙන හැටියටත් හැසිරෙන්න.” එහෙත්, සලමොන් තරුණයන්ට මෙම අවවාදය සපයයි. “ඔබේ සිතෙන් ශෝකය පහ කර ඔබේ මාංසයෙන් දුක දුරු කරන්න.” ඔහු තවදුරටත් පැවසුවේ “යෞවන කාලයත් පුරුෂ අවස්ථාවත් නිෂ්ඵලකමය” කියායි.—දේශනාකාරයා 11:9, 10.

4, 5. තරුණ අය අනාගතය සඳහා හොඳ අඩිතාලමක් දැමීම ඥානවන්ත දෙයක් වන්නේ මන්ද? පැහැදිලි කරන්න.

4 සලමොන් අදහස් කළ දේ ඔබට තේරුණාද? එය නිදසුනකින් පැහැදිලි කරගනිමු. තරුණ කෙනෙකුට විශාල තෑග්ගක්, සමහරවිට මුදල් සම්භාරයක් උරුමයෙන් ලැබුණායයි සිතන්න. ඔහු එම මුදලින් කුමක් කරාවිද? යේසුස්ගේ උපමාවේ සඳහන් නාස්තිකාර පුත්‍රයා වගේ, විනෝදය සඳහා ඔහුට එය සම්පූර්ණයෙන්ම වියදම් කළ හැකිය. (ලූක් 15:11-23) එහෙත් ඒ මුදල ඉවර වූ විට සිදු වන්නේ කුමක්ද? දුර දිග බලා ක්‍රියා නොකිරීම ගැන ඔහු කනගාටු වනවාට සැකයක් නැත. අනික් අතට, ඥානවන්තව, එයින් වැඩි කොටසක් ආයෝජනය කිරීමෙන් අනාගතය සඳහා හොඳ අඩිතාලමක් දැමීමට එම තෑග්ග භාවිත කළායයි සිතමු. මතු දවසක තමා කළ ආයෝජනයේ ප්‍රතිඵල භුක්ති විඳින විට, තරුණ කාලයේදී විනෝද වීම සඳහා ඒ සියලු මුදල් වියදම් නොකිරීම ගැන ඔහු කනගාටු වෙයි කියා ඔබ සිතනවාද? එසේ සිතීම උගහටය.

5 ඔබේ තරුණ කාලය දෙවිගෙන් ලද ත්‍යාගයක් ලෙස සලකන්න. ඇත්තෙන්ම එසේ සැලකීම සුදුසුය. ඔබ ඒ කාලය භාවිත කරන්නට අදහස් කරන්නේ කෙලෙසද? අනාගතය ගැන නොසිතා, ඔබේම ඉඳුරන් පිනවීම සඳහා ඔබේ ජීවිතය ලොකු විනෝද සවාරියක් කරගනිමින් ඔබේ තරුණ ශක්තිය හා උද්‍යෝගය නැති කරගැනීමට පුළුවන. එහෙත්, ඔබ එවැනි දෙයක් කළොත් ඔබේ ‘යෞවන කාලයත් පුරුෂ අවස්ථාවත් නිෂ්ඵලකමක්’ බවට පත් වනවා නියතය. ඒ වෙනුවට ඔබේ තරුණ කාලය අනාගතය සඳහා හොඳ අඩිතාලමක් දැමීමට පාවිච්චි කළහොත් කොතරම් හොඳද!

6. (අ) සලමොන් දෙන කවර උපදෙසද තරුණ අයට මඟ පෙන්වීමක් සපයන්නේ? (ආ) යෙහෝවා කැමති වන්නේ තරුණ අය වෙනුවෙන් කුමක් කරන්නටද? මෙය ලැබීමට නම් ඔවුන් කුමක් කළ යුතුද?

6 ඔබේ තරුණ කාලයෙන් උපරිම ප්‍රයෝජන නෙළාගැනීමට උපකාරවත් වන ප්‍රතිපත්තියක් සලමොන් සඳහන් කළේය. ඔහු පැවසුවේ “ඔබේ යෞවන දවස්වලදී ඔබේ මැවුම්කාරයා සිහි කරන්න” කියාය. (දේශනාකාරයා 12:1) ඔව්, සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට නම් රහස එයයි. වෙනත් වචනවලින් කිවහොත් යෙහෝවාට සවන් දී ඔහුගේ කැමැත්ත කරන්න. යෙහෝවා පුරාණ ඊශ්‍රායෙලිතයන් වෙනුවෙන් යෝජනා කළේ මොනවාද කියා ඔවුන්ට පැවසුවේ මෙසේය. “මා විසින් ඔබ ගැන කරන යෝජනා මමම දනිමි. ඔබට මතු කාලයේදී [අනාගතයක් හා, NW] බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාදානයේ යෝජනායයි යෙහෝවා කියන්නේය.” (යෙරෙමියා 29:11) ඔබටත් “බලාපොරොත්තුවක්” මෙන්ම අනාගතයක් ලබා දීමට යෙහෝවා කැමතිය. ඔබ කරන දේවලදී, සිතද්දී සහ තීරණ ගනිද්දී ඔබ ඔහුව සිහි කරනවා නම්, ඔබේ අනාගතය සහ බලාපොරොත්තුව ස්ථිර වනු ඇත.—එළිදරව් 7:16, 17; 21:3, 4.

“දෙවිට ළං වන්න”

7, 8. තරුණ කෙනෙකුට දෙවිට ළං විය හැක්කේ කෙලෙසද?

7 යෙහෝවාව සිහි කරන්න කියා යාකොබ් අපට දිරිගන්වන්නේ මෙසේ උනන්දු කිරීමෙනි. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය.” (යාකොබ් 4:8, NW) යෙහෝවා වනාහි මැවුම්කරුය. ස්වර්ගික පරමාධිපතියාණෝය. නමස්කාරය හා ප්‍රශංසාව මුළුමනින්ම ලබන්නට වටින තැනැත්තාය. (එළිදරව් 4:11) එහෙත්, අප ඔහුට ළං වනවා නම්, ඔහු අපට ළං වනවා ඇත. අප කෙරෙහි එතරම් ප්‍රේමණීය සැලකිල්ලක් ඇති බව දැන සිටීම අපගේ හදවත් ප්‍රේමයකින් පුරවන්නේ නැද්ද?—මතෙව් 22:37.

8 අපි කිහිප ආකාරයකින් යෙහෝවාට ළං වන්නෙමු. නිදසුනකට ප්‍රේරිත පාවුල් මෙසේ පවසයි. “අත් නෑර නොකඩවා යාච්ඤා කරන්න. ස්තුති දීමෙන් යුක්තව යාච්ඤාවේ යෙදෙමින් අවදිව සිටින්න.” (කොලොස්සි 4:2, NW) වෙනත් වචනවලින් කිවහොත් යාච්ඤා කිරීමේ පුරුද්ද ඇති කරගන්න. ඔබේ තාත්තා හෝ සභාවේ ක්‍රිස්තියානි සහෝදරයෙකු යාච්ඤාවක් පැවසුවායින් පසු ආමෙන් කීමෙන් පමණක් සෑහීමට පත් නොවන්න. ඔබ කවදා හෝ යෙහෝවාට ඔබේ සිතේ ඇති ගැඹුරුම හැඟීම් හා සිතිවිලි හෙළි කර තිබෙනවාද? ඒ අවස්ථාවේදී ඔබේ සිතේ දුවන දේවල්, ඔබව බියට පත් කරන දේවල්, ඔබ මුහුණ දෙන අභියෝගයන් ගැන ඔහුට පවසා ඇද්ද? වෙන කෙනෙකු හා සාකච්ඡා කිරීමට ඔබ ලජ්ජා වන දේවල් ගැන ඔබ කවදා හෝ ඔහු සමඟ කතා කර තිබෙනවාද? අවංක මෙන්ම හෘදයාංගම යාච්ඤාවලින් සිතට සමාදානයක් දැනේ. (පිලිප්පි 4:6, 7) යෙහෝවාට ළං වන්නටත්, ඔහු අපට ළං වෙනවා කියා දැනෙන්නටත් එවැනි යාච්ඤා මහෝපකාරී වේ.

9. තරුණ කෙනෙකුට යෙහෝවාට සවන් දිය හැක්කේ කෙලෙසද?

9 යෙහෝවාට ළං විය හැකි තවත් මාර්ගයක් මතු දැක්වෙන දේවානුභාවය ලත් වචනවලින් අපට දැකගත හැක. “අවවාදයට සවන් දී උපදෙස් පිළිගන්න. එවිට ඔබ මතු දවස නැණවතෙක් වන්නෙහිය.” (හිතෝපදේශ 19:20, නව අනුවාදය) ඔව්, ඔබ යෙහෝවාට සවන් දී ඔහුට කීකරු වෙනවා නම්, ඔබ මතු දවස සඳහා එනම් අනාගතය සඳහා හොඳ අඩිතාලමක් දමනවා ඇත. ඔබ ඇත්තටම යෙහෝවාට සවන් දෙන කෙනෙකු බව ඔප්පු කළ හැක්කේ කෙලෙසද? ඔබ නිතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට ගොස් වැඩසටහනේ ඉදිරිපත් කරන කොටස්වලට සවන් දෙන බවට සැකයක් නැත. මීට අමතරව ඔබ පවුලේ බයිබල් පාඩමට පැමිණීමෙන් “ඔබේ පියාට සහ මවට ගෞරව” කරනවා ඇත. (එෆීස 6:1, 2, NW; හෙබ්‍රෙව් 10:24, 25) ඒ සම්බන්ධයෙන් ඔබව පැසසිය යුතුය. කෙසේනමුත්, ඊට අමතරව, රැස්වීම්වලට සූදානම් වීම සඳහාද නිතිපතා බයිබලය කියවීම සඳහාද පර්යේෂණ කිරීම සඳහාද “ඇති සෑම අවස්ථාවකින්ම [ඔබ] උපරිම ප්‍රයෝජන” ගන්නවාද? ‘ප්‍රඥාවන්තයෙකු’ මෙන් ගමන් කිරීම සඳහා ඔබ කියවන දේ පිළිපැදීමට උත්සාහ දරනවාද? (එෆීස 5:15-17, NW; ගීතාවලිය 1:1-3) ඔබ එසේ කරනවා නම්, ඔබ යෙහෝවාට ළං වෙමින් සිටින්නෙහිය.

10, 11. තරුණ අය යෙහෝවාට සවන් දෙන විට ඔවුන් ලබන මහඟු ප්‍රයෝජන මොනවාද?

10 හිතෝපදේශ පොත දේවානුභාවයෙන් ලියූ ලේඛකයා එහි මුල් වචනවලින් එම පොතෙහි අරමුණ පැහැදිලි කරයි. ඔහු පවසන්නේ මෙසේය. හිතෝපදේශ ලියා ඇත්තේ “ප්‍රඥාවද ගුරුකමද දැනගැනීමටත්, බුද්ධිමත් වාක්‍ය තේරුම්ගැනීමටත්, ඥානවන්ත හැසිරීමේද ධර්මිෂ්ඨකමේද යුක්තියේද [විචාර බුද්ධියේද, NW] අවංකකමේද ගුරුකම් ලබාගැනීමටත් අනුවණයන්ට ඥානයද තරුණයාට දැනගැන්ම සහ සිහිකල්පනාවද දීමටත්ය.” (හිතෝපදේශ 1:1-4) එබැවින්, ඔබ හිතෝපදේශ පොත මෙන්ම බයිබලේ අනිකුත් පොත්ද කියවා එහි වදන් පිළිපදින විට ධර්මිෂ්ඨකම සහ අවංකකම වැඩි වර්ධනය කරගන්නට ඔබට හැකි වන අතර, ඔබ යෙහෝවාට ළං වනවා දැකීමෙන් ඔහුද සන්තෝෂ වනු ඇත. (ගීතාවලිය 15:1-5) ඔබ විචාර බුද්ධිය, ඥානය, දැනගැන්ම හා සිහිකල්පනාව වැඩි දියුණු කරගන්නා තරමට ඔබ ගන්නා තීරණ වඩාත් හොඳ ඒවා වනු ඇත.

11 තරුණ කෙනෙකුගෙන් මෙයාකාරයෙන් ප්‍රඥාවන්තව හැසිරීම අපේක්ෂා කිරීම අසාධාරණ දෙයක්ද? නැත. මන්දයත් තරුණ ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකු එසේ කරන බැවිනි. ප්‍රතිඵලයක් ලෙස අන් අය ඔවුන්ට ගරු කරන අතර, ‘ඔවුන්ගේ තරුණකම සුළු කොට නොසලකති.’ (1 තිමෝති 4:12, NW) ඔවුන්ගේ දෙමාපියන්ද හොඳ හේතු ඇතුව ඔවුන් ගැන ආඩම්බරයෙන් සිටින අතර, යෙහෝවා පවසන්නේ ඔවුන් ඔහුගේ සිත ප්‍රීතිමත් කරන බවය. (හිතෝපදේශ 27:11) ඔවුන් තරුණ අය වුවත්, මතු දැක්වෙන දේවානුභාවය ලත් වදන් ඔවුන්ට අදාළ වන බව ඔවුන්ට නිසැක වන්නට පුළුවන. “නිර්දෝෂ තැනැත්තා කල්පනා කොට අවංක තැනැත්තා [දෙස බලන්න]. මක්නිසාද ඒ මනුෂ්‍යයාගේ අනාගතය සමාදානය වේ.”—ගීතාවලිය 37:37.

හොඳ තේරීම් කරන්න

12. තරුණ අයට කරන්නට තිබෙන වැදගත් තේරීම් අතුරින් එකක් නම් කරන්න. ඒ සම්බන්ධයෙන් කරන තේරීම දිගු කාලීනව බලපාන්නේ මන්ද?

12 තරුණ කාලය යනු තේරීම් කළ යුතු කාලයකි. මින් සමහරක් දිගු කාලීනව බලපායි. එමනිසා ඔබ දැන් කරන ඇතැම් තේරීම් ඔබේ අනාගතයට බලපානු ඇත. ඥානවන්තව තේරීම් කිරීම සතුටින් පිරි, ඵලදායී ජීවිතයකට මඟ පාදයි. අඥාන ලෙස කරන තේරීම් මුළු ජීවිත කාලයටම කැළලක් විය හැකිය. ඔබට කරන්නට තිබෙන තේරීම් දෙකක් සම්බන්ධයෙන් මෙය සැබෑ වන අන්දම සලකා බලන්න. පළමු තේරීම වන්නේ, ඔබ ආශ්‍රිතයන් ලෙස තෝරාගන්නේ කවුරුන්වද යන්නයි. එය වැදගත් වන්නේ මන්ද? දේවානුභාවයෙන් ලියන ලද හිතෝපදේශය මෙසේ පවසයි. “ඥානවන්තයන් කැටුව යන්න. එවිට ඔබ ඥානවන්ත වන්නේය. එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදු වන්නේය.” (හිතෝපදේශ 13:20) වෙනත් වචනවලින් කිවහොත්, අපගේ පෞද්ගලිකත්වය හැඩගැසෙන්නේ අප ඇසුරු කරන අයගේ ආභාෂයට අනුවයි. එනම් අප ඥානවන්තයෙකු හෝ අඥානයෙකු බවට පත් විය හැක. ඔබ වඩාත් කැමති වන්නේ කවරෙකු වන්නටද?

13, 14. (අ) පුද්ගලයන් සමඟ ඍජුව කරන ආශ්‍රයට අමතරව, ඇසුරට ඇතුළත් වන්නේ තවත් මොන දේවල්ද? (ආ) තරුණ අය කවර වැරදි අදහස්ද අහක් කරගත යුත්තේ?

13 ඇසුර ගැන කතා කරන විට එයින් පුද්ගලයන්ට යොමු දක්වනවා කියා ඔබ සිතනවා විය හැක. එම අදහස නිවැරදිය. එනමුත් ඊට තවත් පැත්තක්ද ඇතුළත්ය. ඔබ රූපවාහිනී වැඩසටහනක් නරඹන විට, සංගීතයට සවන් දෙන විට, නව කතාවක් කියවන විට, චිත්‍රපටයක් නැරඹීමට යන විට හෝ අන්තර්ජාලයෙන් ඇතැම් සේවාවන් භාවිත කරන විට ඔබ ඇත්තටම ඇසුරක යෙදී සිටිනවායයි පැවසිය හැක. එවන් ඇසුරක් ප්‍රචණ්ඩකාරී හෝ දුරාචාරමය නැඹුරුවාවන් මුදුන්පත් කිරීමට ඉවහල් වෙනවා නම්, එසේ නැතහොත් මත්ද්‍රව්‍ය භාවිතය, බේබදුකම හෝ බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි වෙනත් ඕනෑම දෙයක් කිරීමට දිරිගන්වනවා නම්, ඔබ ඇසුරු කරමින් සිටින්නේ යෙහෝවා නැතැයි කියා සිතාගෙන ක්‍රියා කරන “අඥානයා” සමඟයි.—ගීතාවලිය 14:1.

14 ඔබ ක්‍රිස්තියානි රැස්වීම්වලට යන නිසාත්, සභාවේ කටයුතුවලට ක්‍රියාශීලීව සහභාගි වන නිසාත් කිසිම හානියකට ලක් නොවී ප්‍රචණ්ඩකාරී චිත්‍රපටයක් නැරඹීමට හෝ හොඳ තාලයක් ඇති මුත් නුසුදුසු විය හැකි පද මාලා තිබෙන ගීතවලට සවන් දීමට තරම් ආත්ම ශක්තියක් ඔබට තිබෙනවායයි ඔබට හැඟෙන්නට පුළුවන. කාමුක දර්ශන තිබෙන වෙබ් අඩවියක් මොහොතකට නැරඹුවාට එයින් ඔබට කිසිම අහිතකර ප්‍රතිඵලයක් විඳින්නට සිදු නොවන බව ඔබට සිතෙන්නට පුළුවන. ප්‍රේරිත පාවුල් ඔබට කියන්නේ ඔබ දරන ඒ අදහස වැරදියි කියාය! ඔහු පවසන්නේ මෙසේය. “නරක ආශ්‍රයෙන් හොඳ පුරුදු නැති වන්නේය.” (1 කොරින්ති 15:33, NW) කනගාටුවට කරුණක් වන්නේ මේරූ ක්‍රිස්තියානීන් බවට වැඩෙනු ඇතැයි අප සිතූ තරුණ ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකුගේ හොඳ පුරුදු අඥාන ආශ්‍රිතයන් නිසා නරක් වී තිබීමය. එමනිසා, එවන් ආශ්‍රිතයන්ගෙන් වැළකී සිටීමට අදිටන් කරගන්න. ඔබ එසේ කරනවා නම් ඔබ පාවුල්ගේ මෙම උපදෙසටයි අවනත වන්නේ. “මේ සමාජ ක්‍රමයට අනුව හැඩගැසීමෙන් වැළකී, දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ පරිපූර්ණ කැමැත්ත කුමක්දැයි තමුන්ටම ඔප්පු කරගන්නා පිණිස, ඔබේ මනස අලුත් කරගැනීමෙන් මුළුමනින්ම වෙනස් වන්න.”—රෝම 12:2, NW.

15. තරුණ අයට කරන්නට තිබෙන දෙවන තේරීම කුමක්ද? මේ සම්බන්ධයෙන් ඔවුන්ට ඇතැම්විට මුහුණ දීමට සිදු වන පීඩනයන් මොනවාද?

15 ඔබට කරන්නට තිබෙන දෙවන තේරීම මෙයයි. ඔබේ පාසැල් ජීවිතය අවසන් වූවායින් පසු, කුමක් කරන්නේදැයි යන්න ගැන තීරණයක් ගැනීමට සිදු වන අවස්ථාවක් එළඹෙයි. ඔබ ජීවත් වන්නේ රැකියා ප්‍රස්තා හිඟව තිබෙන රටක නම්, ලබාගත හැකි හොඳම රැකියාව ලබාගැනීමට බල කෙරෙන යම් පීඩනයක් ඔබට දැනිය හැක. ඔබ ධනවත් රටක ජීවත් වනවා නම්, විකල්ප ගණනාවක්ම තිබෙන්නට පුළුවන. ඒවායින් සමහරක් ඉතා ආකර්ෂණීයද විය හැක. හොඳ චේතනාවෙන් ඔබේ ගුරුවරුන් හෝ ඔබේ දෙමාපියන් මූල්‍යමය වශයෙන් යම් සුරක්ෂිත බවක් ලබා දෙන හෝ ධනයක් එක් රැස් කිරීමට ඉවහල් වන වෘත්තියක් තෝරාගැනීමට ඔබව උනන්දු කරනවා විය හැක. කෙසේවෙතත්, එම වෘත්තිය සඳහා පුහුණුව ලැබීමට ගත වන කාලය නිසා යෙහෝවාට සේවය කිරීම සඳහා වෙන් කළ හැකි කාලය ප්‍රබල ලෙස සීමා විය හැක.

16, 17. රැකියා සම්බන්ධයෙන් සමබර ආකල්පයක් ඇති කරගැනීමට බයිබල් පද උපකාරවත් වන අයුරු පැහැදිලි කරන්න.

16 තීරණයක් ගැනීමට පෙර බයිබලයේ මඟ පෙන්වීම් සලකා බැලීමට අමතක නොකරන්න. අපගේ අවශ්‍යතා පිරිමසාගැනීමේ වගකීම අප කරට ගත යුතු බව පෙන්නුම් කරමින් ජීවනෝපාය සඳහා වැඩ කිරීමට බයිබලය දිරිගන්වයි. (2 තෙසලෝනික 3:10-12) එසේ වුවත්, තවත් දේවල් සලකා බැලිය යුතුය. මතු දැක්වෙන බයිබල් පද කියවා, වෘත්තියක් තේරීමේදී සමබරව ක්‍රියා කිරීමට තරුණයෙකුට ඒවා උපකාරවත් වන අන්දම ගැන සිතා බැලීමට අපි ඔබව දිරිගන්වන්නෙමු: හිතෝපදේශ 30:8, 9; දේශනාකාරයා 7:11, 12; මතෙව් 6:33; 1 කොරින්ති 7:31; 1 තිමෝති 6:9, 10. එම පද කියවීමෙන් පසුව මෙම කාරණය සම්බන්ධයෙන් දෙවි දරන ආකල්පය ඔබ දුටුවාද?

17 ජීවනෝපාය සඳහා කරන රැකියාවට වඩා අපි යෙහෝවාට කරන සේවය වැදගත් විය යුතුය. උසස් පෙළ සමත් වී අවශ්‍යතා පිරිමසාගැනීමට හැකි වන රැකියාවක් සොයාගැනීමට අවශ්‍ය සුදුසුකම් ලැබී ඇත්නම්, එය හොඳ දෙයකි. උසස් පෙළ විභාගයෙන් සමත් වීමෙන් පසු, එවැනි රැකියාවක් සඳහා ඔබට අමතර පුහුණුවක් අවශ්‍ය නම්, එම කාරණය ගැන ඔබේ දෙමාපියන් සමඟ සාකච්ඡා කළ හැක. කෙසේවෙතත්, “වඩා වැදගත් දේවල්” එනම් ආත්මික දේවල් ඔබේ දෘෂ්ටියෙන් කිසිදාක ඉවත් කර නොගන්න. (ෆිලිප්පි 1:9, 10, NW) යෙරෙමියාගේ ලේකම් වූ බාරුක් කළ වරදට හසු නොවන්න. තම සේවා වරප්‍රසාදය ගැන තිබූ අගය ඔහුට නැති වී ‘තමාට මහත් දේවල් ලබාගන්නට සෙව්වේය.’ (යෙරෙමියා 45:5) මෙම ලෝකයේ කිසිදු ‘මහත් දෙයකට’ ඔහුව යෙහෝවාට තවත් ළං කරවන්නට හෝ යෙරුසලමේ විනාශයෙන් බේරී ජීවත් වන්නට ඔහුට උපකාර කරන්නට හෝ බැරි බව ඔහු මොහොතකට අමතක කළේය. අද දින අපටත් ඒ හා සමාන දෙයක් සිදු විය හැක.

ආත්මික දේවල් අගය කරන්න

18, 19. (අ) ඔබේ අසල්වාසීන් බොහෝදෙනෙකු පෙළෙන්නේ කුමකින්ද? එමනිසා ඔබට ඔවුන් ගැන හැඟිය යුත්තේ කෙලෙසද? (ආ) බොහෝදෙනෙකුට ආත්මික වශයෙන් කුසගින්නක් නොදැනෙන්නේ මන්ද?

18 සාගතයෙන් පෙළෙන රටවල සිටින දරුවන්ගේ පින්තූර ඔබ ජනමාධ්‍යය තුළින් දැක තිබෙනවාද? එසේ දැක ඇත්නම්, ඔබේ හදවත අනුකම්පාවෙන් පිරී යනවාට සැකයක් නැත. ඔබේ අසල්වාසීන් ගැනත් ඔබට ඒ හා සමාන අනුකම්පාවක් දැනෙනවාද? එසේ දැනිය යුත්තේ මන්ද? මන්දයත් ඔවුන්ගෙන් බොහෝදෙනෙකුද හාමතෙන් පෙළෙන නිසාය. ඔවුන් හාමතෙන් සිටින්නේ ආමොස් විසින් පුරෝකථනය කරන ලද හානිය නොහොත් සාගතය හේතුවෙනි. ඔහු පැවසුවේ මෙසේය. “බලව, හානියක්, එනම් කෑම හානියක්වත් වතුර පිපාසයක්වත් නොව යෙහෝවාගේ වචන ඇසීමේ හානියක්, මා විසින් දේශයට එවන දවස් පැමිණෙන්නේය . . . ස්වාමි වූ යෙහෝවා කියන්නේය.”—ආමොස් 8:11, 14.

19 මෙම ආත්මික සාගතයෙන් පෙළෙන බොහෝදෙනෙකු ‘තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත්’ නොවන බව ඇත්තයි. (මතෙව් 5:3, NW) බොහෝදෙනෙකුට ආත්මික වශයෙන් කුසගින්නක් නොදැනේ. තමන්ට හොඳ පෝෂණයක් ලැබෙන බව සමහරුන්ට දැනෙන්නටත් පුළුවන. එනමුත් ඔවුන්ට එසේ දැනුණද ඊට හේතුව වන්නේ ඔවුන් ද්‍රව්‍යවාදය, විද්‍යාව මගින් කර තිබෙන උපකල්පන, සදාචාරය පිළිබඳ විවිධ මත හා එවැනි වෙනත් දේවල් ඇතුළු කිසි වැදගැම්මකට නැති ‘ලෝකයේ ප්‍රඥාවෙන්’ පෝෂණය ලබන නිසාය. නූතන “ප්‍රඥාව” නිසා බයිබල් ඉගැන්වීම් අද දිනට නොගැළපෙන බවද ඇතමුන්ගේ මතයයි. කෙසේවෙතත්, ‘ලෝකයා ස්වකීය ප්‍රඥාවෙන් දෙවිව ඇඳින නොගත්තේය.’ එමනිසා දෙවිට ළං වන්නට ලෝකයේ ප්‍රඥාව ඔබට රුකුලක් නොවේ. එය ‘දෙවි ඉදිරියෙහි මෝඩකමකි.’—1 කොරින්ති 1:20, 21; 3:19.

20. යෙහෝවාට නමස්කාර නොකරන අයව අනුකරණය කිරීමට කැමැත්තක් දැක්වීම නැණවත් දෙයක් නොවන්නේ මන්ද?

20 ඉහත සඳහන් පරිද්දෙන් හාමතෙන් පෙළෙන දරුවන්ගේ පින්තූර ඔබ දකින විට, ඔවුන්ගේ තත්වයේ සිටින්නට ඔබ කැමැත්තක් දක්වයිද? කිසිසේත් නැත. එහෙත් ක්‍රිස්තියානි පවුල්වලට අයත් සමහර යෞවනයන් ඔවුන් අවට සිටින, ආත්මික වශයෙන් හාමතෙන් පෙළෙන පුද්ගලයන් හා සමාන වීමට යම් කැමැත්තක් දක්වා ඇත. ලෝකයේ තරුණයන් සතුටින් පිරි කෙළිලොල් ජීවිතයක් ගත කරනවායයි එවැනි තරුණ අය සිතනවා විය හැක. එනමුත්, එම තරුණයන් යෙහෝවාගෙන් විදේශීව සිටිනවා යන කාරණය ඔවුහු අමතක කර දමති. (එපීස 4:17, 18) එමෙන්ම ආත්මික හාමතය නිසා අත් වන අහිතකර ප්‍රතිඵලද ඔවුන්ට අමතක වේ. නහඹර වියේ අනපේක්ෂිත ගැබ්ගැනීම් ඉන් එකකි. තවද අනාචාරයේ යෙදීමෙන්, දුම්පානයෙන්, බේබදුකමෙන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අද්දැකීමට සිදු වන ශාරීරික හා චිත්තවේගීය ප්‍රතිඵල ඒවායින් තවත් කිහිපයක් වේ. ආත්මික වශයෙන් හාමතෙන් පෙළීම නිසා කැරලිකාර ස්වභාවයක් හා අසුබවාදීව සිතීමට මුල් බැසගත් ප්‍රවණතාවක් ඇති විය හැකි අතර ජීවිතයට කිසිම අරමුණක් නොමැති බවද හැඟිය හැක.

21. යෙහෝවාට නමස්කාර නොකරන අයගේ වැරදි ආකල්පවලින් අපට අපවම ආරක්ෂා කරගත හැක්කේ කෙසේද?

21 එමනිසා යෙහෝවාට නමස්කාර නොකරන අය සමඟ පාසැලේදී ගැවසෙන විට ඔවුන්ගේ ආකල්පවලින් යටපත් නොවන්න. (2 කොරින්ති 4:18) ඇතමුන් ආත්මික කාරණා ගැන උපහාසාත්මකව කතා කරනු ඇත. ඒත් සමඟම ජනමාධ්‍යය ඉතා සූක්ෂ්ම ලෙස වැරදි අදහස් ප්‍රචාරය කරයි. එනම් අනාචාරයේ යෙදීම, වෙරි වීම හෝ අසභ්‍ය භාෂාව කතා කිරීම සාමාන්‍ය දේවල් කියා වක්‍රාකාරයෙන් අඟවනු ඇත. එම බලපෑමට එරෙහි වන්න. “ඇදහිල්ලද යහපත් හෘදය සාක්ෂියක්ද ඇතිව” සිටින අය සමඟ නිතිපතා සහ සැමදා ඇසුරු කරන්න. “ස්වාමීන්ගේ වැඩෙහි නිතරම නියැලී සිටින්න.” (1 තිමෝති 1:19; 1 කොරින්ති 15:58, NW) රාජ්‍ය ශාලාවේ කටයුතුවල හා ක්ෂේත්‍ර සේවයේ කඩිසරව නිරත වෙමින් සිටින්න. ඔබේ පාසැල් කාලයේදී විටින් විට උපකාරික පුරෝගාමි සේවයෙහි නිරත වන්න. ඔබ මෙයාකාරයෙන් ඔබේ ආත්මික දෘෂ්ටිය ශක්තිමත් කරගන්නවා නම්, ඔබේ සමබරතාව නැති වන්නේද නැත.—2 තිමෝති 4:5.

22, 23. (අ) තරුණ ක්‍රිස්තියානියෙකු අන් අයට ඇතැම්විට සම්පූර්ණයෙන්ම වටහාගත නොහැකි තීරණ ගන්නේ මන්ද? (ආ) තරුණ අයට දිරිගන්වා ඇත්තේ කුමක් කරන්නටද?

22 ආත්මික දෘෂ්ටියක් තිබීම නිසා, අන් අයට සම්පූර්ණයෙන්ම වටහාගත නොහැකි තීරණ ගැනීමට ඔබ පෙලඹෙන්නට පුළුවන. නිදසුනකට, එක්තරා ක්‍රිස්තියානි තරුණයෙක් දක්ෂ සංගීතඥයෙක් හා පාසැලේදී හැදෑරූ සෑම විෂයකින්ම විශිෂ්ට සම්මාන ලැබූ ශිෂ්‍යයෙක් වූයේය. ඔහු විභාගවලින් සමත් වී පාසැල් ජීවිතය නිම කළායින් පසු තම පියා සමඟ ජනෙල් පිරිසිදු කිරීමේ ව්‍යාපාරයක් දියත් කළේ තමන් තෝරාගත් වෘත්තිය වූ පූර්ණ-කාලීන එවැන්ජලිස්ත සේවය හෙවත් පුරෝගාමි සේවය කිරීමේ අදහසිනි. ඔහු එම තීරණය ගත්තේ ඇයි කියා ඔහුගේ ගුරුවරුන්ට තවමත් නොතේරෙයි. එනමුත් ඔබ යෙහෝවාට ළංව සිටිනවා නම්, ඔහු එම තීරණය ගැනීමට හේතුව ඔබට තේරෙන බව අපට නිසැකයි.

23 ඔබේ තරුණ කාලය නමැති වටිනා සම්පත ප්‍රයෝජනයට ගන්නා අන්දම ගැන සිතද්දී ‘සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමට හැකි වන ලෙස අනාගතය සඳහා හොඳ අත්තිවාරමක් දමන්න. එය වස්තුවක් මෙන් සුරක්ෂිතව රැකගන්න.’ (1 තිමෝති 6:19, NW) ඔබේ තරුණ කාලයේදී හා ඔබේ ජීවිත කාලය පුරාම ‘ඔබේ මැවුම්කරුව සිහි කිරීමට’ අදිටන් කරගන්න. සාර්ථක අනාගතයක්, එනම් නිමක් නොමැති අනාගතයක් සඳහා හොඳ අඩිතාලමක් දැමිය හැකි එකම මඟ එයයි.

ඔබේ නිගමනය කුමක්ද?

• අනාගතය ගැන සැලසුම් කිරීමේදී තරුණ අයට උපකාරවත් වන්නේ දේවානුභාවයෙන් දෙන ලද කවර උපදෙස්ද?

• තරුණයෙකුට ‘දෙවිට ළං විය’ හැක්කේ කවර ආකාරවලින්ද?

• තරුණ කෙනෙකුගේ අනාගතයට බලපාන තේරීම් සමහරක් මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූර]

ඔබේ තරුණ ශක්තිය හා උද්‍යෝගය සම්පූර්ණයෙන්ම ගිල දැමීමට ඔබ පෞද්ගලික අභිලාෂයන්ට ඉඩ දෙනු ඇද්ද?

[16, 17වන පිටුවේ පින්තූරය]

නැණවත් තරුණ ක්‍රිස්තියානීන් තම ආත්මික දෘෂ්ටිය බොඳ කරගන්නේ නැත