දෙවිගේ වචනයෙන් ඔබ ශක්තියක් ලබනවාද?
දෙවිගේ වචනයෙන් ඔබ ශක්තියක් ලබනවාද?
යම් අභියෝගයන් ඉස්මතු වෙන විට ඔබ ඊට මුහුණ දෙන්නේ කොහොමද? යේසුස්ට සාතන්ගෙන් අභියෝග එල්ල වූ අවස්ථාවලදී යෝග්‍ය බයිබල් පදයක් මතකයට නඟාගැනීම ඔහුට ප්‍රයෝජනවත් වුණා. (මතෙව් 4:1-11) ඒ හා සමානව දාවිත් රජුද පෞද්ගලිකවම පරීක්ෂා අද්දකින විට දෙවිගේ වචනයෙන් ශක්තිය ලැබුවා. ඔහු මෙසේ පැවසුවා. “මා තුළ [නොසන්සුන්, NW] සිතිවිලි බොහෝ වූ කල, ඔබගේ සැනසීම මාගේ ආත්මයට සැප දෙයි.”—ගීතාවලිය 94:19.
ඒ හා සමානව අප යම් අභියෝගවලට මුහුණ දෙන විට අපගේ ප්‍රියතම බයිබල් පදයක් මතකයට නැඟීමෙන් අපට සැනසීමක් හෝ ශක්තියක් ලබාගත හැකියි. මේ උදාහරණය සලකා බලන්න. අවුරුදු 89ක් වන රෙක්ස් 1931 සිට පූර්ණ කාලීන එවැන්ජලිස්තවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. එනමුත් ඔහු මෙහෙම කියනවා. “ක්ෂේත්රයේ විශේෂ පැවරුමක් ලැබෙනකොට මට සුදුසුකම් නැහැයි කියලා නිතරම හැඟුණා.” ඔහු එම ගැටලුවට මුහුණ දුන්නේ කොහොමද? “මම මගේ ප්‍රියතම බයිබල් පදය වන හිතෝපදේශ 3:5 මතකයට නැඟුවා. ‘ඔබේම නුවණෙහි නොපිහිටා, ඔබේ මුළු සිතින් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න’ යනුවෙන් එහි සඳහන් වෙනවා. මෙම පදය මතකයට නැඟීමෙන් සහ අදාළ කරගැනීමෙන් මගේ පැවරුම් හොඳින් ඉටු කරගැනීමට මට හැකියාව ලැබුණා.”
බාලයන් පවා ප්‍රියතම බයිබල් පදයක් මතකයට නැඟීමෙන් ප්‍රයෝජන ලබනවා. අවුරුදු හයක් වයසැති ජැක්ගේ ප්‍රියතම බයිබල් පදය මතෙව් 24:14යි. මෙම පදය ඔහුට ඔහුගේ දෙමාපියන් සමඟ දේශනා සේවයේ යෑමට පොලඹවනවා. “මම හැම සෙනසුරාදාම මගේ අම්මයි, තාත්තයි, අක්කයි එක්ක සේවයේ යන්න කැමතියි” කියා ඔහු පවසනවා.
යේසුස්ට මෙන් ඔබටත් ඔබගේ ඇදහිල්ලට ඍජුවම එල්ල වන අභියෝගවලට සමහරවිට මුහුණ දෙන්න සිදු වෙනවාද? එසේනම් පිලිප්පි 4:13 ඔබගේ ප්‍රියතම බයිබල් පදවලින් එකක් වන්නට පුළුවන්. දාවිත් රජ මෙන් ඔබත් ‘නොසන්සුන් සිතුවිලිවලින්’ පිඩා විඳිනවාද? එසේනම් පිලිප්පි 4:6, 7 ඔබට උපකාරවත් විය හැකියි. ඔබ දෙවිට කරන සේවයේ කිසි ප්‍රතිඵලයක් නැහැයි කියා ඔබ සමහරවිට දුක් වෙනවාද? පළමුවෙනි කොරින්ති 15:58 ඔබට ශක්තියක් ලබා දෙයි.
සුදුසු බයිබල් පද කටපාඩම් කරගැනීමෙන් දෙවිගේ වචනයේ බලය අපගේ ජීවිත තුළ ක්‍රියාත්මක වීමට අපි ඉඩ දෙනවා. (හෙබ්‍රෙව් 4:12) එවැනි ප්‍රියතම බයිබල් පදවලට හැකියි අපට ශක්තිය සහ සැනසිල්ල ලබා දෙන්න.—රෝම 15:4.