Skip to content

පටුනට යන්න

පුරාණ ක්‍රීඩා හා ජයග්‍රහණයේ ඇති වැදගත්කම

පුරාණ ක්‍රීඩා හා ජයග්‍රහණයේ ඇති වැදගත්කම

පුරාණ ක්‍රීඩා හා ජයග්‍රහණයේ ඇති වැදගත්කම

“තරඟයකට සහභාගි වන සෑම මිනිසෙකුම සියල්ලෙහිදී ආත්ම දමනයෙන් යුතුව හැසිරෙන්නේය.” “තරඟයකට සහභාගි වන කෙනෙක් එහි නීති රීතිවලට අනුව තරඟ නොකළොත් ඔහු ඔටුන්න දිනාගන්නේ නැත.”—1 කොරින්ති 9:25; 2 තිමෝති 2:5; NW.

ප්‍රේරිත පාවුල් යොමු දැක්වූ ක්‍රීඩා උත්සව පුරාණ ග්‍රීකවරුන්ගේ ජීවිතවල අතිවැදගත් අංගයක් විය. එම තරඟ පිළිබඳ ඉතිහාසයෙන් අපට දැනගත හැක්කේ කුමක්ද? එම තරඟ ජනයාට බලපෑවේ කෙසේද?

“නයිකිතරඟය හා ජයග්‍රහණය” (NikeIl gioco e la vittoria) යනුවෙන් නම් කරන ලද ග්‍රීක ක්‍රීඩා පිළිබඳව ප්‍රදර්ශනයක් රෝමයේ කොලසියම් රංග භූමියේදී මෑතකදී පවත්වන ලදි. * එහි ප්‍රදර්ශිත දේ මගින් ඉහත සඳහන් ප්‍රශ්නයන්ට පිළිතුරු ලබා දෙන අතරම ක්‍රීඩා පිළිබඳව තමන්ට තිබෙන ආකල්ප ගැන ක්‍රිස්තියානීන්ට වැඩිදුරට සිතා බැලීමට යම් ඉඟියක් ලබා දෙයි.

පුරාණයේ සිට පැවතෙන්නක්

ක්‍රීඩාවල නිරත වූ මුල්ම ජන කොට්ඨාසය ග්‍රීකයන් නොවෙයි. එනමුත් ක්‍රිස්තු පූර්ව අටවන සියවසේදී පමණ වීර චරිත සහ තරඟකාරිත්වය මගින් යම් පණ ගැන්වීමක් ලැබූ සමාජයක් පිළිබඳව ග්‍රීක කවියෙකු වන හෝමර් කාව්‍ය සංග්‍රහයක් රචනා කොට තිබේ. එම කාව්‍ය සංග්‍රහයෙන් තවදුරටත් හෙළි වන්නේ ඔවුන් යුධ පිටියේ සහ ක්‍රීඩා ඉසව්වලින් විදහා පෑ දස්කම්ද මහ ඉහළින් සැලකූ බවය. මුලින් ග්‍රීක ක්‍රීඩා තරඟ ආරම්භ වී තිබෙන්නේ වීරයන්ගේ අවමඟුල් උත්සවයන්වලදී දෙවිවරුන්ට ගරු බුහුමන් දැක්වීමක් ලෙසටයි කියා ප්‍රදර්ශනයේ පැහැදිලි කර තිබුණි. ග්‍රීක සාහිත්‍යය පිළිබඳව ලියැවුණු දැනට තිබෙන පැරණිතම පොතක් වන හෝමර්ගේ ඉලියඩ් නමැති ග්‍රන්ථයේ ඇකිලීස්ගේ සගයන් වන ශ්‍රේෂ්ඨ රණශූරයන් පැට්‍රොක්ලස්ගේ අවමඟුල් උත්සවයේදී ආයුධ බිම තබා ඔවුන්ගේ නිර්භීතකම පෙන්වීමට බොක්සිං, මල්ලව පොර, කව පෙත්ත හා හෙල්ලය වීසි කිරීම සහ අශ්ව රථ තරඟ වැනි තරඟවල යෙදුණ ආකාරය පැහැදිලි කර තිබේ.

ඒ හා සමාන උත්සව ග්‍රීසිය පුරාම ප්‍රකට විය. ඒ පිළිබඳව ප්‍රදර්ශනයේ තිබුණ අත්පොතක මෙවැන්නක් සඳහන් වේ. “එම උත්සව මගින් තමන් අතර නිරන්තරයෙන් තිබූ සැහැසික ඝට්ටන පසෙක ලා දෙවිවරුන්ට ගරු බුහුමන් දැක්වීමට ග්‍රීකවරුන්ට අවස්ථාවක් උදා විය. ඔවුන් තමන් තුළ මුල් බැසගෙන තිබූ තරඟකාරී ගතිය වඩා ප්‍රශංසනීය මෙන්ම සාමකාමී වෑයමක් උදෙසා යෙදවීය. මලල ක්‍රීඩා තරඟවලින් ජය අත් කරගැනීමට දැරූ එම වෑයමේදී දක්නට ලැබුණේ සටන් වැදීම්වලදී ඔවුන් දැක්වූ අභිලාෂකාමී ස්වභාවයයි.”

මලල ක්‍රීඩා තරඟ මගින් තමන්ගේ දෙවිවරුන්ට ගරුබුහුමන් දැක්වීම සඳහා එක් සුප්‍රසිද්ධ නමස්කාර ස්ථානයකට එක් රැස් වීමේ සිරිත ග්‍රීසියේ පුරවර කිහිපයක් අනුගමනය කළේය. කාලයාගේ ඇවෑමෙන් ක්‍රීඩා උත්සව හතරක් බිහි විය. ඔලිම්පික් සහ නිමියන් තරඟාවලියන් සියුස් දෙවියාටත්, පිතියානු සහ ඉස්මියන් තරඟාවලියන් ඇපලෝ සහ පොසෙයිඩන් දෙවියාටත් කැප කර තිබුණි. මෙම තරඟාවලියන් කොතරම් වැදගත් කොට සැලකුවේද යත් ඒවා පසු කාලයකදී පැන්හෙලනික් උත්සව දක්වා වර්ධනය විය. එනම් ග්‍රීසියේ ඕනෑම ස්ථානයක සිටි තරඟකරුවන්ට සහභාගි විය හැකි තරඟ හැටියට ඒවා සකස් විය. යාග හා යාච්ඤා පුද කිරීම එම උත්සවයන්වලට ඇතුළත් වූ අතර දෙවියන්ට ගෞරවය කිරීම සඳහා මලල ක්‍රීඩා හා චිත්‍ර කලා තරඟද පැවැත්වීය.

එම උත්සව අතුරින් පැරණිතම සහ අතිවැදගත්ම උත්සවය ක්‍රි.පූ. 776 තරම් අතීතයට දිව යන අතර එය සියුස් දෙවියාට ගෞරවයක් සඳහා අවුරුදු හතරකට වරක් ඔලිම්පියාවේ පවත්වනු ලැබීය. වැදගත්කම අතින් දෙවන ස්ථානය හිමි වූයේ පිතියානු උත්සවයටයි. එය පවත්වන ලද්දේ පුරාණ ඩෙල්ෆි නගරයේ සුප්‍රසිද්ධ පේන කියන ස්ථානයකට යාබදවයි. මෙම උත්සවයටත් මලල ක්‍රීඩා ඇතුළත් වුණි. නමුත් කාව්‍ය නිර්මාණවලට හා සංගීතයට අධිපති දෙවි වන ඇපලෝ වෙනුවෙන් පවත්වනු ලැබූ එම උත්සවයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ නැටුම් සහ ගැයුම් වෙතටයි.

තරඟ ඉසව්

නවීන දින මලල ක්‍රීඩා තරඟ සමඟ සන්සන්දනය කරන විට එවකට තිබුණේ සීමිත ඉසව් සංඛ්‍යාවකි. එමෙන්ම තරඟයට සහභාගි වූයේ පුරුෂයන් පමණි. පුරාණ ඔලිම්පික් ක්‍රීඩා උත්සවයක ඉසව් දහයකට වඩා ඇතුළත් නොවුණි. කොලසියම් ප්‍රදර්ශනයේ තිබූ රූප, කැටයම්, මොසැයික් චිත්‍ර සහ මැටි බඳුන් මත පින්තාරු කර ඇති චිත්‍ර මගින් එම ඉසව් පිළිබඳව ස්වල්ප වශයෙන් දැනගත හැකියි.

දුර ප්‍රමාණ තුනකින් යුත් ධාවන තරඟ තිබුණි. මීටර 200 ධාවන පථයකුත්, අද දින තිබෙන මීටර 400 ධාවන පථය මෙන් ධාවන පථයකුත්, මීටර 4,500 මැරතන් ධාවන පථයකුත් තිබුණි. ක්‍රීඩකයන් ව්‍යායාම් කළෙත් ක්‍රීඩා කළෙත් නිර්වස්ත්‍රවයි. පෙන්ටැතලන් ක්‍රීඩා තරඟයට ධාවන, දුර පැනීම, කවපෙත්ත සහ හෙල්ලය වීසි කිරීම මෙන්ම මල්ලව පොර යන ඉසව් පහ අයත් විය. වෙනත් තරඟවලට බොක්සිං තරඟ හා “අත් වැසුම් නොමැතිව කළ බොක්සිං හා මල්ලව පොර යන තරඟ දෙකම ඇතුළත් ඉතා කෲර ක්‍රීඩාවක්” වන පැන්ක්‍රෙෂියන් තරඟයද ඇතුළත් වුණි. එමෙන්ම මීටර 1,600ක දුර ප්‍රමාණයකින් යුත් අශ්ව රථ ධාවන තරඟයක්ද තිබුණි. මේ සඳහා යොදාගත් පිටුපස විවෘත වූ සැහැල්ලු කුඩා රෝද සහිත රථය ඇදගෙන ගියේ තරුණ හෝ මේරූ අශ්වයන් දෙදෙනෙකු හෝ හතරදෙනෙකුය.

බොක්සිං ක්‍රීඩාව ඉතාම සැහැසික වූ අතර යම් අවස්ථාවල මාරාන්තික විය. තරඟකරුවෝ ඔවුන්ගේ අත් මිට වටා යකඩ ඇණ එබ්බවූ ගනකම් හම්වලින් තැනූ පටි පැළඳ සිටියෝය. ස්ට්‍රැටුෆොන්ටේ නම් වූ ක්‍රීඩකයා පැය හතරක් බොක්සිං ක්‍රීඩාවේ නියැලීමෙන් පසු කැඩපතෙන් තම මුහුණ බැලූ විට ඔහුට ඔහුවම හඳුනාගත නොහැකි වූයේ ඇයි කියා ඔබට සිතාගත හැකිද? බොක්සිං ක්‍රීඩකයෝ බොහෝ සෙයින් ශාරීරිකව විරූපී වූ බව පුරාණ ප්‍රතිමා සහ මොසැයික් චිත්‍ර මගින් පැහැදිලි වේ.

මල්ලව පොර තරඟවලදී ක්‍රීඩකයාට ප්‍රතිවාදියාගේ ශරීරයේ උඩ කොටස පමණයි බදාගත හැකි වූයේ. ජයග්‍රාහකයා වූයේ ප්‍රථමයෙන්ම තම ප්‍රතිවාදියාව තුන් වතාවක් බිම හෙළූ තැනැත්තායි. නමුත් පැන්ක්‍රෙෂියන් තරඟවලදී එවන් තහනමක් නොතිබුණි. තරඟකරුවන්ට පයින් ගැසීමට, මිට මොළවා ගැසීමට, සන්ධි ඇඹරීමට නිදහසක් තිබුණි. තහනම් කර තිබුණේ ඇස් ගැලවීම, සීරීම සහ සැපීම පමණි. මෙහි අරමුණ ප්‍රතිවාදියාව බිමට හෙළා ඔහුව අක්‍රියාශීලී කර යටත් කරගැනීමයි. “මුළු ඔලිම්පියාවේම ඉතාම කදිම දර්ශනය මෙය” වූ බවට සමහරෙකුගේ මතය විය.

පුරාණයේ පැවති ඉතා සුප්‍රසිද්ධම පැන්ක්‍රෙෂියන් තරඟය තිබී ඇත්තේ ක්‍රි.පූ. 564දී පවත්වන ලද ඔලිම්පික් තරඟාවලියේ අවසන් තරඟයේදීයි. අරාහීයොන් නමැති ක්‍රීඩකයාගේ ගෙල ප්‍රතිවාදියා විසින් සිර කරනු ලැබූ විට ඔහු ප්‍රතිවාදියාගේ පා ඇඟිල්ලක් අවසන්ධි කළේය. වේදනාවෙන් මිරිකුණු අරාහීයොන්ගේ ප්‍රතිවාදියා අරාහීයොන් මිය යෑමට පෙර ඔහුට යටත් විය. ජයග්‍රාහකයා අරාහීයොන්ගේ මළ කඳ බව විනිසුරුවෝ ප්‍රකාශයට පත් කළහ!

තරඟ ඉසව් අතරින් වැඩි වැදගත්කමක් ඉසුලුවේ අශ්ව රථ තරඟයි. ජයග්‍රාහකයා වූයේ පදවන්නා නොව රථයේ සහ අශ්වයාගේ අයිතිකරු නිසා එය රදලයන් අතර ඉතා ජනප්‍රිය විය. තරඟයේ තීරණාත්මක අවස්ථා වන්නේ ධාවනය ආරම්භයේදී පදවන්නන් තමන්ට අදාළ ධාවන පථයේ සිටීමත් ඊළඟ වටය සඳහා වංගුව ගැනීමත්ය. යම් වැරදීමක් හෝ නීති විරෝධි ක්‍රියාවක් සිදු වුණොත් අනතුරක් සිදුවීමට ඉඩ තිබුණි. මෙවැනි සිදුවීම් මෙම ජනප්‍රිය තරඟය තවත් උණුසුම් කළේය.

ත්‍යාගය

“ධාවන තරඟයකදී ධාවකයන් සියලුදෙනාම දුවන නමුත්, තෑග්ග ලැබෙන්නේ එක් කෙනෙකුට පමණක්” බව ප්‍රේරිත පාවුල් පැවසීය. (1 කොරින්ති 9:24, NW) වැදගත්ම දෙය වූයේ ජයග්‍රහණය අත් කරගැනීමයි. රිදී හෝ ලෝකඩ පදක්කම්, දෙවෙනි හෝ තුන්වන ස්ථාන නොතිබුණි. “ක්‍රීඩකයෙකුගේ එකම ඉලක්කය වූයේ ‘නයිකි’ හෙවත් ජයග්‍රහණයයි. වෙන කිසිවකින් ඔහු සෑහීමට පත් වූයේ නැත. මන්ද, ඔහු ශාරීරිකවත් සදාචාරාත්මකවත් කොයි වගේ පුද්ගලයෙක්ද යන වග පිළිබිඹු කළ හැකි වූයේ එමගින් පමණයි. ඔහුගේ ගම් පළාතට ගරු නම්බුවක් අත් වූයේ ඉන් පමණයි” යන්න ප්‍රදර්ශනයෙන් පැහැදිලි විය. “මම ශ්‍රේෂ්ඨතමයා වෙන්න සෑමවිටම උත්සාහ දැරුවා” කියා හෝමර් කියූ වදන් පෙළින් එම ආකල්පය පිළිබිඹු වේ.

පැන්හෙලනික් තරඟවලදී ජයග්‍රාහකයාට දෙනු ලැබූ ශාක පත්‍රවලින් තැනූ ඔටුන්න මුළුමනින්ම සංකේතාත්මක විය. පාවුල් එය හැඳින්වූයේ “දිරාපත් වන ඔටුන්නක්” ලෙසයි. (1 කොරින්ති 9:25, NW) නමුත් එම ත්‍යාගයට ගැඹුරු අර්ථයක් තිබුණි. එනම් ජයග්‍රාහකයාට ප්‍රදානය කරනු ලැබූ බවට විශ්වාස කළ ස්වභාවධර්මයාගේ බලය ඉන් නියෝජනය කළේය. එක සිතින් ජයග්‍රහණය සඳහා වෑයම් කිරීම නොඅනුමානවම දේවාශීර්වාදය ලැබීමට හේතුවක් බවයි ඉන් කියා පෑවේ. පුරාණ මූර්ති ශිල්පීන් සහ පින්තාරුකරුවන් ජයග්‍රහණය සැලකුවේ කෙලෙසද කියා ප්‍රදර්ශනය කර තිබූ දේවලින් පැහැදිලි වේ. ඔවුන් එම අවස්ථාව චිත්‍රයට නඟා තිබුණේ පියාපත් සහිත ජයග්‍රහණයේ දේවතාවිය වන නයිකි විසින් ජයග්‍රාහකයාට කිරුළ පළඳන ආකාරයටයි. ඔලිම්පියාවේ ජයග්‍රහණය කිරීම තමයි ක්‍රීඩකයෙකුට තම ජීවිතයේ ලැබිය හැකි වූ උතුම්ම දෙය.

ඔලිම්පික් කිරුළ වල් ඔලිව් පත්‍රවලිනුත්, ඉස්මියන් කිරුළ පයින් පත්‍රවලිනුත්, පිතියානු කිරුළ දවුල් කුරුඳු පත්‍රවලිනුත්, නිමියන් කිරුළ වල් සැල්දිරි පත්‍රවලිනුත් සාදා තිබුණි. වෙනත් තරඟවල සංවිධායකවරු දක්ෂතම ක්‍රීඩකයන්ට මුදල් හෝ වෙනත් ත්‍යාග පිරිනමන ලදි. ඇතීනා දේවතාවියට ගරු බුහුමන් දැක්වීම සඳහා ඇතන්ස් නුවර පවත්වන ලද පැනතනික් උත්සවයේ පිරිනමන ලද බඳුන් කිහිපයක් ප්‍රදර්ශනයේ ඉදිරිපත් කර තිබුණි. එම වකවානුවේදී මෙම බඳුන්වල වටිනා තෛලයක් වන ඇටිකා අඩංගු වී ඇත. මෙම එක් බඳුනක එක් පැත්තක දේවතාවියගේ පින්තූරයක් සහ “ඇතීනා වෙනුවෙන් තරඟ වැදි අයගේ ත්‍යාගය” කියා සඳහන් කර තිබුණි. අනෙක් පැත්තේ තිබූ රූපය ජයග්‍රාහකයා තරඟ කර ජයගත් ඉසව්වේ රූපයක් විය හැකියි.

මලල ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණය ඔවුන් විසූ ගම් පළාතේ වීරවරයෙකු ලෙසට සැලකීමට හේතුවක් වූ අතර එය තමන් ලද කීර්තියක් ලෙසට ගම්වැසියන්ද සලකන ලදි. ජයග්‍රාහකයන්ගේ පැමිණීම සැමරුවේ උත්සවාකාරයෙනි. දෙවියන්ට ස්තුති ප්‍රශංසා කරන ආකාරයෙන් ඔවුන්ගේ රූප ඇඹූහ. කවීන් ඔවුන්ගේ ගුණ ගැයූහ. ඇත්තෙන්ම එවන් ගෞරවයක් මිනිසෙකුට හිමි නොවූවකි. ජයග්‍රාහකයන්ට මහජන උත්සව අවස්ථාවලදී පළමු ස්ථානයත් මහජනයාගේ වියදමින් විශ්‍රාම වැටුපකුත් හිමි විය.

ජිම්නේසියම සහ ඒවායේ ක්‍රීඩකයෝ

සෙබළුන්ගේ දියුණුවට මලල ක්‍රීඩා අත්‍යවශ්‍ය අංගයක් ලෙස සලකන ලදි. ග්‍රීසියේ සෑම නගරයකම ජිම්නේසියම තිබුණි. එහිදී තරුණයන්හට ශාරීරික ව්‍යායාම් මෙන්ම අධ්‍යාපනික සහ ආගමික කාරණාද ඉගැන්වීය. මෙම ජිම්නේසියම් ගොඩනැඟිලි ව්‍යායාම් කිරීම සඳහා පෝටිකෝ සහිත විශාල එළිමහන් පිට්ටනිවලින් සමන්විත විය. එමෙන්ම පුස්තකාල හා පන්ති කාමරවලින්ද සමන්විත විය. මෙවැනි ස්ථානවලට නිතර ආව ගියේ වැඩ නොකර අධ්‍යාපනය සඳහා තම කාලය යෙදවීමට හැකියාවක් තිබූ ධනවත් පවුල්වල තරුණයනුයි. මෙහිදී ක්‍රීඩකයෝ පුහුණුකරුවෙකු යටතේ තරඟ සඳහා දීර්ඝ සහ දැඩි පුහුණු වීමේ වැඩසටහනකට සහභාගි විය. එමෙන්ම එම පුහුණුකරුවෝ තරඟකරුවන්ට ආහාර රටාවක් නියම කළ අතර ඔවුන් ලිංගික චර්යාවෙන් වැළකී සිටින බවටද වගබලා ගත්හ.

පුරාණයේ සිටි ප්‍රමුඛ පෙළේ මලල ක්‍රීඩකයන්ගේ ප්‍රතිමාවන් ඇගයීමට කොලසියම් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අයට අවස්ථාවක් උදා විය. ඒවා බොහොමයක් රෝම අධිරාජ්‍යය සමයේදී කළ මුල් ග්‍රීක මූර්තිවල අනුරූපයන්ය. මනා ශාරීරික පරිපූර්ණත්වය යනු සදාචාරාත්මක පරිපූර්ණත්වය බවත් එවැන්නකට උරුමකම් කීවේ රදලයන් බවත් පුරාණ ග්‍රීකයන් අතර මතයක් තිබුණි. එමනිසා පරිපූර්ණ ශාරීරික හැකියාවන්ගෙන් සපිරි මෙම ජයග්‍රාහී ක්‍රීඩකයන් පිළිබිඹු කළේ දර්ශනවාදි සංකල්පයකි. ක්‍රීඩකයන්ගේ මෙම ප්‍රතිමා කලා කෘතීන් ලෙසට සැලකූ රෝමවරු ඒවා ක්‍රීඩාගාර, තටාක, මහ මන්දිර සහ මාලිගා සැරසීමට යොදාගත්හ.

රෝමවරුන් අතර සැහැසික දර්ශන නැරඹීම කොයි කවදත් ජනප්‍රියව තිබුණි. එම නිසා රෝමයේ පැවැත්වූ ග්‍රීක ක්‍රීඩා ඉසව් අතුරින් බොක්සිං, මල්ලව පොර සහ පැන්ක්‍රෙෂියන් ක්‍රීඩාවලට තිබුණේ ඉහළ පිළිගැන්මකි. රෝමවරු එවැනි ක්‍රීඩා සැලකුවේ හුදු විනෝදය තකා කරන යමක් මිසක සම ශක්තීන් තිබූ දෙදෙනෙකුට තම හැකියාවන් පිළිබිඹු කරන තරඟ ලෙස නොවේ. ක්‍රීඩාවේ මුල් අරමුණ වූ ශ්‍රේෂ්ඨ රණවිරුවන් සමූහයක් තම අධ්‍යාපනයේ අංගයක් හැටියට එකතු වීම, තවදුරටත් එහි අරමුණ නොවීය. ඒ වෙනුවට රෝමවරු, ග්‍රීක ක්‍රීඩා, ස්නානයට පෙර කළ හැකි හිතකර ව්‍යායාමයකට හෝ (ග්ලැඩියේටර්වරුන් වැනි) අඩු සමාජ මට්ටමක සිටි අය විසින් නරඹන්නන්ව කුල්මත් කිරීම සඳහා කළ ක්‍රීඩාවලට සීමා කළහ.

ක්‍රිස්තියානීන් සහ ක්‍රීඩා

පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන් ක්‍රීඩාවෙන් වැළකී සිටීමට එක් හේතුවක් වූයේ ක්‍රීඩාවත් ආගමත් අතර තිබූ සබැඳියාවයි. ඇත්තෙන්ම “දෙවිගේ මාලිගාව සහ දේවතා රූප අතර ඇති එකඟත්වය කුමක්ද?” (2 කොරින්ති 6:14, 16, NW) අද දින ක්‍රීඩා ගැන කුමක් කිව හැකිද?

නවීන දින ක්‍රීඩා මිථ්‍යා දෙවිවරුන්ට ගරුබුහුමන් දැක්වීමක් නොකරන බව පැහැදිලියි. එනමුත් පුරාණ කාලයේ ක්‍රීඩා හා සමානව, අද පවත්වන ක්‍රීඩාවලටද දක්වන්නේ භක්ත්‍යාදරයෙන් පිරි උද්‍යෝගයක් නොවෙයිද? එපමණක් නොව, සමහර මලල ක්‍රීඩකයන් ජයග්‍රහණය කිරීම සඳහා ඔවුන්ගේ සෞඛ්‍යයට සහ ජීවිතයට පවා තර්ජනයක් විය හැකි උත්තේජක ඖෂධ භාවිත කිරීමට පෙලඹෙන බවට පසුගිය වසර කිහිපය ඇතුළත වාර්තා වී තිබේ.

ක්‍රිස්තියානියෙකුට ශාරීරික අතින් ලබාගන්නාවූ සාර්ථකත්වයන් එතරම් වටිනා දෙයක් නොවෙයි. දෙවි ඉදිරියෙහි අපව අලංකාර කරන්නේ “සිතේ අභ්‍යන්තර පුද්ගලයා” වන ආත්මික ගුණාංගයි. (1 පේතෘස් 3:3, 4, NW) වර්තමානයේ ක්‍රීඩාවලට සහභාගි වන සෑම කෙනෙකුටම අසාමාන්‍ය තරඟකාරී ස්වභාවයක් නොතිබෙන බව අපට පැහැදිලියි. නමුත් බොහෝදෙනෙකුට එවැනි ස්වභාවයක තිබේ. එවැනි අයව ඇසුරු කිරීමෙන් ‘දබරකාරීව හෝ හිස උදුම්මවා නොගෙන යටහත් පහත් මනසකින් යුක්තව සිටින’ ලෙසට අපට උනන්දු කරන ශුද්ධ ලියවිලි උපදේශය අනුගමනය කිරීමට උපකාරයක් ලැබේවිද? නැතහොත් “සතුරුකම්, අඬ දබර, ඊර්ෂ්‍යාව, හදිසි කෝපය, විවාද, භේද” වැනි දේවල් ප්‍රතිඵලයන් ලෙස අද්දකින්න සිදු වේවිද?—ෆිලිප්පි 2:3; ගලාති 5:19-21; NW.

තරඟකරුවන් එකිනෙකා සමඟ ශාරීරිකව ගැටෙමින් කරන ක්‍රීඩාවන්වලදී සැහැසික දේවල් සිදුවීමට ඉඩ කඩ තිබේ. එවැනි ක්‍රීඩාවකට කැමැත්තක් දක්වන කෙනෙක් ගීතාවලිය 11:5හි සඳහන් වචන මතකයට නඟාගත යුතුයි. “යෙහෝවා ධර්මිෂ්ඨයා විමසයි. නමුත් ඔහුගේ ආත්මය දුෂ්ටයාටත් බලාත්කාරකමට ප්‍රිය වෙන්නාටත් ද්වේෂ කරයි.”

සමබර ලෙස ව්‍යායාම්වල නිරත වීමෙන් ප්‍රීතියක් අද්දැකිය හැකියි. ඒ වගේම ‘ශාරීරික ව්‍යායාමයෙන් අල්ප වශයෙන් ප්‍රයෝජන ලැබෙන’ බවත් ප්‍රේරිත පාවුල් පැවසුවේය. (1 තිමෝති 4:7-10, NW) පාවුල් ග්‍රීක ක්‍රීඩා ගැන කතා කළ විට ඔහු ඇත්තෙන්ම යොමු දැක්වූයේ ආත්ම දමනය සහ විඳදරාගැනීම වැනි ගුණාංග ක්‍රිස්තියානියෙකුට තිබීමේ වැදගත්කම නිදර්ශනය කිරීමටයි. පාවුල් ලබාගැනීමට වෑයම් කළ එකම ඉලක්කය නම් දෙවි දෙනු ලබන සදාකාල ජීවනය නමැති “ඔටුන්නයි.” (1 කොරින්ති 9:24-27, NW; 1 තිමෝති 6:12) ඒ සම්බන්ධයෙන් ඔහු අපට ආදර්ශයක් සපයයි.

[පාදසටහන]

^ 4 ඡේ. නයිකි යනු “ජයග්‍රහණය” සඳහා භාවිත කරනු ලබන ග්‍රීක වචනයයි.

[31වන පිටුවේ කොටුව⁄පින්තූර]

බොක්සිං තරඟයකට පසු

මෙම හතරවන සියවසේ ලෝකඩ රූපය මගින් පුරාණ බොක්සිං ක්‍රීඩාව තුළ කොතරම් ව්‍යසනකාරී ප්‍රතිඵල තිබුණාද කියා පෙන්වයි. “තුවාලයට තුවාලයක් කිරීම ඇතුළත් හෙම්බත් කරවන සටන්වල නිරත වූ බොක්සිං තරඟකරුවා, ප්‍රතිවාදියාගෙන් ප්‍රහාර එල්ල වන විට විරෝධය පෑ ආකාරය ඉතාමත් ඉහළින් අගය කළා” කියා රෝමයේ ප්‍රදර්ශනයේ තිබූ අත්පොතක සඳහන් වේ. “මෑතකදී සහභාගි වූ සටනකින් වුණු තුවාල ආයෙත් පාරනවා” කියා එහි තවදුරටත් කියා සිටියි.

[29වන පිටුවේ පින්තූරය]

පුරාණ තරඟවලින් අතිවැදගත්ම තරඟය වූයේ අශ්ව රථ තරඟයයි

[30වන පිටුවේ පින්තූරය]

පුරාණ චිත්‍ර ශිල්පීන් එම අවස්ථාව චිත්‍රයට නඟා තිබුණේ පියාපත් සහිත ජයග්‍රහණයේ දේවතාවිය වන නයිකි විසින් ජයග්‍රාහකයාට කිරුළ පළඳන ආකාරයටයි