Skip to content

පටුනට යන්න

පූජක පක්ෂය දේශපාලනයට හවුල් විය යුතුද?

පූජක පක්ෂය දේශපාලනයට හවුල් විය යුතුද?

පූජක පක්ෂය දේශපාලනයට හවුල් විය යුතුද?

“දේශපාලනයට හවුල් වීම මගින් දුප්පතුන්ට උපකාර කරන්න පුළුවන්යැයි කැනේඩියානු පූජාප්‍රසාදිවරයෙක් බැතිමතුන්ට පැවසීය. . . . දේශපාලන ක්‍රමය දේවකැමැත්තට එකඟව සිදු නොවුණත් ‘දුප්පතුන්ට යුක්තිය ඉටු කිරීමට නම් දේශපාලනයට හවුල් වෙන්න අපට සිද්ධ වෙනවා’”—කැතලික් නියූස්.

දේශපාලනයෙහි හවුල් වීමට පක්ෂව ජ්‍යෙෂ්ඨ ආගමික නායකයන් කතා කිරීම පිළිබඳ වාර්තා අසන්න ලැබීම අරුමයක් නොවේ; ඔවුන් දේශපාලනික නිලයන් දැරීම කලාතුරකින් සිදු වන්නක්ද නොවේ. දේශපාලනය ප්‍රතිසංස්කරණය කිරීමට සමහරුන් තැත් කර ඇත. ජාති විෂමතාව හා වහල් මෙහෙවර නැති කර දැමීම වැනි කාරණා සම්බන්ධයෙන් ව්‍යාපාරයන් දියත් කළ වෙනත් අයව අගය කරනු ලබන අතර මතකයටද නඟනු ලැබේ.

කෙසේනමුත්, තම ආගමික නායකයන් දේශපාලනමය කාරණාවලට මැදිහත් වන විට බොහෝ ගිහියන් තුළ හොඳ හැඟීමක් ඇති නොවේ. “තම පූජක පක්ෂය මහජන විප්ලවවලට හවුල් වීම ගැන ඇතැම් අවස්ථාවලදී ප්‍රශ්න කර තිබෙන්නේ රෙපරමාදු සභාවට අයත් අය” බව දේශපාලනික දේවධර්ම ශාස්ත්‍රය පිළිබඳව ලියැවෙන ක්‍රිස්තියානි සියවස (සිංහලෙන් නැත) නම් සඟරාවේ පළ වූ ලිපියක සඳහන් විය. සභාව පරිශුද්ධ තැනක් නිසා දේශපාලනයට එහි ඉඩක් නොතිබිය යුතු බවයි ආගම දහමට ලැදි බොහෝදෙනෙකුගේ අදහස වන්නේ.

වඩාත් හොඳ ලෝකයක් දැකීමට කැමැත්තෙන් සිටින සියල්ලන් තුළ මෙම කාරණය සම්බන්ධයෙන් උනන්දුව දනවන ප්‍රශ්න හටගනී. ක්‍රිස්තු ධර්මය දේශනා කරන්නන්ට දේශපාලනය ප්‍රතිසංස්කරණය කළ හැකිද? * දේශපාලනයට හවුල් වීම වඩාත් හොඳ රජයක් හා හොඳ ලෝකයක් බිහි කිරීම සඳහා වූ දෙවිගේ මාර්ගයද? ක්‍රිස්තු ධර්මය ආරම්භ වූයේ දේශපාලන කටයුතුවල නියැලීම සඳහා නව මඟක් උදා කරලීමටද?

ක්‍රිස්තුස්ගේ නම දේශපාලනයට සම්බන්ධ වූ අයුරු

හෙන්රි චැඩ්වික් නම් ඉතිහාසඥයා මුල් සභාව (සිංහලෙන් නැත) නමැති පොතෙහි පවසන්නේ මුල් ක්‍රිස්තියානි සභාව “මෙම ලෝකයේ පවතින බලය අත් කරගැනීමෙන් වැළකී” සිටි බවට ප්‍රචලිත වී තිබුණා කියාය. එහි සාමාජිකයෝ “දේශපාලනයට සම්බන්ධ නොවූ අතර කලහාකාරීද නොවූ සාමකාමී සෙනඟක්” වූහ. ක්‍රිස්තු ධර්මයේ ඉතිහාසය (සිංහලෙන් නැත) පවසන්නේ මෙයයි. “තමන්ගේ කිසිවෙකු රජයේ නිලතල හෙබවීම නුසුදුසු බවට ක්‍රිස්තියානීන් අතර දැඩි විශ්වාසයක් තිබිණ. . . . තුන්වන සියවසේ මුල්භාගය තෙක් හිපොලිටස් පැවසුවේ, ඓතිහාසික ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුව ප්‍රජා මහේස්ත්‍රාත්වරයෙකුට ක්‍රිස්තියානි සභාවට සම්බන්ධ වීමට නම් තම නිලයෙන් ඉල්ලා අස් විය යුතුව තිබුණ බවය.” එහෙත්, බල තණ්හාවෙන් සිටි මිනිසුන් ක්‍රමක්‍රමයෙන් බොහෝ සභාවල නායකත්වය දරන්න පටන්ගත්තේ තමන්ව උසස් කරගන්නාවූ පදවි නාමද පටබැඳගනිමිනි. (ක්‍රියා 20:29, 30) සමහරුන්ට ආගමික නායකයන් මෙන්ම දේශපාලනඥයන්ද වීමට වුවමනා විය. රෝම රජයේ ඇති වූ හදිසි විපර්යාසයක් නිසා එවැනි ක්‍රිස්තියානි පූජකයන්ට තම කැමැත්ත අනුව කටයුතු කිරීමට ප්‍රස්තා විවෘත විය.

ක්‍රිස්තු වර්ෂ 312දී මිථ්‍යා රෝම අධිරාජ්‍යයා වූ කොන්ස්ටන්ටයින් නාමික ක්‍රිස්තු ධර්මය දෙස බැලුවේ සතුටු සිතකිනි. පුදුමසහගත දෙයක් වන්නේ, සභාවල සිටි පූජාප්‍රසාදිවරුන් මිථ්‍යාදෘෂ්ටික අධිරාජ්‍යයා සමඟ ගිවිසුමකට බැඳී ඔහු තමන්ට පිරිනැමූ වරප්‍රසාද පිළිගැනීමට කැමති වීමය. “දේශපාලනමය වශයෙන් වැදගත් තීරණ ගන්නා විට ක්‍රිස්තියානි සභාව වැඩි වැඩියෙන් ඊට සම්බන්ධ වූවා” යැයි හෙන්රි චැඩ්වික් ලීවේය. දේවගැතිවරුන් දේශපාලනයට සම්බන්ධ වීමෙන් ඇති වුණේ කුමන ප්‍රතිඵලද?

දේවගැතිවරුන්ට දේශපාලනය බලපෑම් කළ අයුරු

දේවගැතිවරුන්ව දෙවි විසින් දේශපාලනඥයන් ලෙස යොදාගනු ලබනවාය යන අදහසට අනුබල දුන්නේ විශේෂයෙන්ම පස්වන සියවසේ බලවත්ව සිටි කතෝලික දේවධර්මාධරයෙකු වන ඔගස්ටින් විසිනි. ඔහු සිතුවේ ක්‍රිස්තියානි සභාව ජාතීන්ව පාලනය කර මිනිස් වර්ගයාට සාමය ගෙන ඒවි කියාය. එහෙත් ඉතිහාසඥ එච්.ජී. වෙල්ස් මෙසේ ලීවේය. “පස්වන සියවසේ සිට පහළොස්වන සියවස දක්වා වූ යුරෝපා ඉතිහාසය, දෙවිගේ උපකාරයෙන් ලෝක ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ වූ මෙම ශ්‍රේෂ්ඨ අදහස මුදුන්පත් කරගැනීමට නොහැකි වූ අසාර්ථක යුගයකි.” ක්‍රිස්තියානි රාජ්‍යය මුළු ලෝකයට නොව අඩුම තරමින් යුරෝපයටවත් සාමය ගෙන ආවේ නැත. මෙලෙස, ක්‍රිස්තු ධර්මය ලෙස සැලකූ දෙය බොහෝදෙනාගේ නෙත් හමුවේ අප්‍රසාදයට ලක් විණ. වැරදුණේ කොතැනද?

ක්‍රිස්තු ධර්මය දේශනා කරන්නන්යැයි කියා සිටි බොහෝදෙනෙකු දේශපාලනයට ඇදී ගියේ හොඳ චේතනාවන් ඇතුව වුවත් පසුව ඔවුහුද දූෂිත ක්‍රියාවල නියැලුණෝය. බයිබලය ගැන දේශනා කරන්නෙකු මෙන්ම එය පරිවර්තනය කරන්නෙකු වූ මාටින් ලූතර් කතෝලික සභාවේ ප්‍රතිසංස්කරණය සඳහා වෑයම් දැරූ කෙනෙකු ලෙසද ප්‍රචලිතය. කෙසේවෙතත්, ක්‍රිස්තියානි මූලධර්මවලට එරෙහිව ඔහු නිර්භීත ස්ථාවරයක් ගත් නිසා ඔහු ජනප්‍රිය වූයේ දේශපාලනික අභිප්‍රායන් ඇතුව කැරලිගැසූ අය අතරේය. දේශපාලනික ප්‍රශ්නවලට මැදිහත් වීමට ලූතර්ද පටන්ගත් විට බොහෝදෙනෙකුගේ ගෞරවය ඔහුට අහිමි විය. කෲර ධනපති පංතියට එරෙහිව කැරලිගැසූ ගම්බද වැසියන්ට ඔහු මුලින් අනුග්‍රහය දැක්වීය. පසුව, කැරැල්ල දරුණු අතට හැරුණු විට ඔහු කැරලිකරුවන්ව විනාශ කර දැමීමට ධනපති පංතියට දිරි දුන්නේය. ඊට එකඟව ඔවුහු දහස් ගණන් දෙනෙකුව අමු අමුවේ මරා දැමූහ. ගම්බද වැසියන් ඔහුව ද්‍රෝහියෙකු ලෙස සැලකීම පුදුමයක් නොවේ. එමෙන්ම කතෝලික අධිරාජ්‍යයාටද විරුද්ධව නැඟී සිටීමට ලූතර් ධනපති පංතියව දිරිගැන්නුවේය. ඇත්තවශයෙන්ම, ලූතර්ගේ අනුගාමිකයන් ලෙස ප්‍රචලිත වූ රෙපරමාදු බැතිමත්හු මුල සිටම දේශපාලනික ව්‍යාපාරයක් සාදාගත්හ. බලය ලැබුණු විට ලූතර්ට කුමක් සිදු වීද? එය ඔහුව දූෂිත තත්වයකට පත් කළේය. උදාහරණයකට, ආගමික මතවලට විරෝධයපාන්නන්ට බලෙන් ඒත්තුගැන්වීම සම්බන්ධයෙන් ඔහු මුලදී විරුද්ධව සිටියත්, පසු කලෙක ඔහු බිලිඳු බව්තීස්මයට විරුද්ධ වූ අයව ඝාතනය කිරීමට තම දේශපාලනික මිත්‍රයන්ට දිරි දුන්නේය.

ජෝන් කැල්වින් ජිනීවාවල පූජකයෙකු ලෙස ප්‍රසිද්ධව සිටියත් පසු කලෙක ඔහු මහා දේශපාලනික බලවතෙකු බවටද පත් විය. ත්‍රිත්වය ඔප්පු කිරීම සඳහා ශුද්ධ ලියවිල්ලේ සාධක නැති බව මයිකල් සර්වෙටස් පැහැදිලි කළ විට කැල්වින් තම දේශපාලනික බලය පාවිච්චි කරමින් ඔහුව මරා දැමීමට සහයෝගය දුන්නේය. සර්වෙටස්ව කණුවක බැඳ පුලුස්සා දමනු ලැබුවේය. මෙය යේසුස්ගේ ඉගැන්වීම්වලින් භයානක ලෙස පිට පැනීමක් නොවේද!

සමහරවිට මෙම පුරුෂයන්ට 1 යොහන් 5:19හි [NW] සඳහන් “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත්” බවට වූ කාරණය අමතක වූවා විය හැක. තමන්ගේ කාලයේ පැවති දේශපාලනය ප්‍රතිසංස්කරණය කිරීමට ඔවුන් තුළ අවංක ආශාවක් තිබුණාද? නැතහොත් ඔවුන් ඊට ඇදී ගියේ බලය ලබාගැනීමට සහ බලයේ සිටින අයව මිත්‍රයන් කරගැනීමට තිබූ ආශාව නිසාද? කෙසේනමුත්, ඔවුන් යේසුස්ගේ ගෝලයෙකු වූ යාකොබ්ගේ ආනුභාවය ලත් මෙම වදන් මතකයේ තබාගත යුතු විය. “ලෝකය සමඟ මිතුරුකම දෙවි සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද්ද? එබැවින්, යමෙකු ලෝකයේ මිතුරෙකු වන්න කැමති නම් ඔහු තමාව දෙවිගේ සතුරෙක් කරගන්නේය.” (යාකොබ් 4:4, NW) ‘මා ලෝකයේ කොටසක් නොවන්නා සේම ඔවුන්ද ලෝකයේ කොටසක් නොවේය’ කියා යේසුස් තම අනුගාමිකයන් ගැන පැවසූ දෙය යාකොබ් දැන සිටියේය.—යොහන් 17:14, NW.

ක්‍රිස්තියානීන් ලෝකයේ තිබෙන නරක දේවල පංගුකාරයන් නොවිය යුතු බව වටහාගත්තත්, ‘ලෝකයේ කොටසක් නොවී සිටීම’ හෙවත් දේශපාලනික වශයෙන් මධ්‍යස්ථව සිටීම යන කාරණයේදී ඔවුහු ඊට එකඟ නොවෙති. ඔවුන් පවසන්නේ, එලෙස මධ්‍යස්ථව සිටීමෙන් ක්‍රියාශීලී ලෙස අන්‍යයන්ට ප්‍රේමය පෙන්වීමට ක්‍රිස්තියානීන්ට නොහැකි වන බවය. ඔවුන්ගේ අදහස, ක්‍රිස්තියානි පූජකයන් දූෂණයට හා අයුක්තියට එරෙහි වීම සඳහා කතා කළ යුතු බව සහ යම් වැඩ කොටසක් කළ යුතු බවය. එහෙත් යේසුස් ඉගැන්වූ මධ්‍යස්ථභාවය අන් අය කෙරෙහි ක්‍රියාශීලී සැලකිල්ලක් දැක්වීම යන කාරණයට ඇත්තෙන්ම පටහැනිද? භේද ඇති කරන දේශපාලනික ප්‍රශ්නවලින් ඈත්ව සිටින අතරේදීම අන්‍යයන්ට ප්‍රායෝගික උපකාර සැපයීමට ක්‍රිස්තියානියෙකුට හැකිද? ඊළඟ ලිපියෙහි මෙම ප්‍රශ්න ගැන සාකච්ඡා කෙරේ.

[පාදසටහන]

^ 5 ඡේ. දේශපාලනය නිර්වචනය කර තිබෙන්නේ රටක හෝ පළාතක පාලනය හා බැඳි ක්‍රියාකාරකම්, විශේෂයෙන්ම බලය අත් කරගෙන සිටින හෝ එවැන්නක් බලාපොරොත්තු වන පුද්ගලයන් හෝ පක්ෂ අතර විවාද නැතහොත් ගැටුම් පැවතීම වශයෙනි.

[4වන පිටුවේ පින්තූරය]

දේශපාලනික බලය ලබාගැනීම සඳහා ක්‍රිස්තියානි දේවගැතිවරු කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා වැනි පාලකයන්ට යටත් වූහ

[හිමිකම් විස්තර]

Musée du Louvre, Paris

[5වන පිටුවේ පින්තූර]

සුප්‍රසිද්ධ ආගමික නායකයන් දේශපාලනයට ඇදී ගියේ මන්ද?

ඔගස්ටින්

ලූතර්

කැල්වින්

[හිමිකම් විස්තර]

ඔගස්ටින්: ICCD Photo; කැල්වින්: Portrait by Holbein, from the book The History of Protestantism (Vol. II)