Skip to content

පටුනට යන්න

මධ්‍යස්ථභාවය ක්‍රිස්තියානි ප්‍රේමය පෙන්වීමට බාධාවක්ද?

මධ්‍යස්ථභාවය ක්‍රිස්තියානි ප්‍රේමය පෙන්වීමට බාධාවක්ද?

මධ්‍යස්ථභාවය ක්‍රිස්තියානි ප්‍රේමය පෙන්වීමට බාධාවක්ද?

ක්‍රිස්තියානියෙකුව සිටීම යන්නෙන් අදහස් කරන්නේ ඉරු දිනයන්හි බයිබලය කියවීම, යාච්ඤා කිරීම හා ගීතිකා ගැයීම වැනි දේවලට වඩා වැඩි දෙයකි. දෙවි හා ජනයා වෙනුවෙන් යම් දේවල් කිරීම ඊට ඇතුළත් වේ. බයිබලයේ මෙසේ පවසයි. “අපි වචනයෙන්වත් කතාවෙන්වත් නොව, ක්‍රියාවෙනුත් සත්‍යතාවෙනුත් ප්‍රේම කරමු.” (1 යොහන් 3:18, NW) යේසුස් අන්‍යයන් කෙරෙහි අවංක සැලකිල්ලක් පෙන්වූ අතර ක්‍රිස්තියානීන්ටද වුවමනා කරන්නේ ඔහුව අනුකරණය කිරීමටය. ප්‍රේරිත පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ට බොහෝ සෙයින් උනන්දු කළේ නිතරම “ස්වාමීන්ගේ වැඩෙහි නියැලී සිටින්න” කියාය. (1 කොරින්ති 15:58, NW) එහෙත් ස්වාමීන්ගේ වැඩය යනු කුමක්ද? දුප්පතුන්ගේ හා පීඩිතයන්ගේ ප්‍රයෝජනය සඳහා රජයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට වෑයම් කිරීම ඊට ඇතුළත්ද? යේසුස් කළේ එවැන්නක්ද?

යේසුස්ට දේශපාලනික කාරණාවලට මැදිහත් වීමට හෝ පැතිගැනීමට උනන්දු කළ නමුදු ඔහු එසේ කිරීම ප්‍රතික්ෂේප කළේය. ඔහුට ලෝකයේ සියලු රාජ්‍යයන් කෙරෙහි බලය දීමට සාතන් ඉදිරිපත් වූ විට ඔහු එය නොපිළිගත් අතර බදු ගෙවීම සම්බන්ධයෙන් වාදයකට පැටලීමෙන්ද වැළකී සිටියේය. එමෙන්ම ඔහුව රජෙකු කරගැනීමට ප්‍රසිද්ධ කණ්ඩායමක් සැරසුණු විට ඔහු මඟහැර ගියේය. (මතෙව් 4:8-10; 22:17-21; යොහන් 6:15) එහෙත් ඔහුගේ මධ්‍යස්ථභාවය නිසා අන්‍යයන්ගේ යහපත උදෙසා දේවල් කිරීමෙන් ඔහු වැළකුණේ නැත.

යේසුස් වැඩියෙන් අවධානය යොමු කළේ අන්‍යයන්ට සදාකාල යහපතක් ගෙනෙන දේවල් කෙරෙහිය. පන්දහසකට කන්න දීමෙන් හා රෝගීන් සුව කිරීමෙන් ඔහු ස්වල්පදෙනෙකුට තාවකාලික සහනයක් ලබා දුන් නමුත් ඔහුගේ ඉගැන්වීම්වලින් ඔහු සියලු මිනිස් වර්ගයාට සදාකාල ආශීර්වාද ලබාගැනීමට මං සැලසීය. යේසුස් ප්‍රසිද්ධ වූයේ සහන සේවා ව්‍යාපාරයන් සංවිධානය කරන්නෙකු වශයෙන් නොව නමුත් ‘ගුරුතුමෙකු’ වශයෙනි. (මතෙව් 26:18; මාක් 5:35; යොහන් 11:28; NW) ඔහු මෙසේ පැවසුවේය. “මා ඉපදුණෙත් ලෝකයට පැමිණියේත් සත්‍යය ගැන සාක්ෂි දැරීමටය. සත්‍යයට පක්ෂව සිටින සියල්ලෝ මාගේ හඬට සවන් දෙන්නෝය.”—යොහන් 18:37, NW.

දේශපාලනයට වඩා හොඳ දෙයක් ගැන දේශනා කිරීම

යේසුස් ඉගැන්වූ සත්‍යයන් දේශපාලනික න්‍යායන් නොවේ. ඒ වෙනුවට ඔහුගේ ඉගැන්වීම් කේන්ද්‍රගත වූයේ තමා රජ බවට පත් වනු ඇති රාජ්‍යය වටාය. (ලූක් 4:43) මෙම රාජ්‍යය ස්වර්ගික ආණ්ඩුවක් වූ අතර සියලුම මිනිස් පාලනයන් වෙනුවට පාලන බලයට පැමිණෙන එය මිනිස් වර්ගයාට සදාකාලික සාමය ගෙනෙනු ඇත. (යෙසායා 9:6, 7; 11:9; දානියෙල් 2:44, 45ආ) එබැවින් මිනිස් වර්ගයාට තිබෙන එකම සැබෑ බලාපොරොත්තුව එයයි. සුරක්ෂිත අනාගතයක් ලබා දීම සම්බන්ධයෙන් මිනිසුන් කෙරෙහි විශ්වාසය තැබීමට ජනයාට දිරිගන්වනවාට වඩා අනාගතය සඳහා වූ එවැනි ස්ථිර බලාපොරොත්තුවක් ගැන ප්‍රකාශ කිරීම වඩාත් ප්‍රේමණීය දෙයක් නොවන්නෙහිද? බයිබලයේ මෙසේ පවසයි. “අධිපතීන් කෙරෙහිවත් පිහිට විය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්. ඔහුගේ හුස්ම නික්ම යයි, ඔහු ස්වකීය භූමියට හැරී යයි. එදාම ඔහුගේ කල්පනා නැති වේ. යාකොබ්ගේ දෙවි උපකාර කොට ඇත්තාවූ, තමාගේ දෙවි වූ යෙහෝවා කෙරෙහි තමාගේ බලාපොරොත්තුව ඇත්තාවූ තැනැත්තේ වාසනාවන්තය [සන්තෝෂ වන්නේය, NW].” (ගීතාවලිය 146:3-5) ආණ්ඩු සංවිධානය කිරීමේ වඩාත් හොඳ මාර්ගයක් ගැන පැවසීමට තම ගෝලයන්ව යවනවා වෙනුවට යේසුස් ඔවුන්ට ඉගැන්නුවේ ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ ගැන දේශනා කිරීමටය.—මතෙව් 10:6, 7; 24:14.

එසේනම්, ක්‍රිස්තියානි දේශනා කරන්නන්ට කිරීමට අණ කළ ‘ස්වාමීන්ගේ වැඩය’ මෙයයි. දෙවිගේ රාජ්‍යයේ යටත්වැසියන් එකිනෙකාට ප්‍රේම කළ යුතු වන නිසා එමගින් මිනිස් වර්ගයාගේ සම්පත් සමබර ලෙස බෙදාහරිනු ලබන අතර දුප්පත්කමද සහමුලින්ම නැති කර දැමීමට සමත් වනු ඇත. (ගීතාවලිය 72:8, 12, 13) මෙය ශුභාරංචියක් වන අතර මේ ගැන ඇත්තෙන්ම දේශනා කළ යුතුය.

අද දින, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ රටවල් 235ක මෙම ‘ස්වාමීන්ගේ වැඩය’ සඳහා සංවිධානය වී සිටිති. යේසුස්ගේ අණට එකඟව ඔවුහු සියලු ආණ්ඩුවලට ගරු කරති. (මතෙව් 22:21) එහෙත් යේසුස්ගේ අනුගාමිකයෝ ඔහු පැවසූ මෙම වදන්වලටද අවනත වෙති. ‘ඔබ ලෝකයේ කොටසක් නොවේ. මා ඔබව ලෝකයෙන් වෙන් කොට තෝරාගෙන තිබේ.’—යොහන් 15:19, NW.

දේශපාලනයට හවුල්ව සිටි සමහරුන් ඉතා හොඳින් බයිබලය අධ්‍යයනය කළ පසු එයින් ඉවත් වී ඇත. කතෝලික පල්ලියකින් පාලනය වූ සංවිධානයක් වන කැතලික් ඇක්ෂන් ව්‍යාපාරයේ සාමාජිකයෙකුව සිටි ඉතාලි ජාතික දේශපාලනඥයෙක් මෙසේ පැවසුවේය. “මම දේශපාලනයට සම්බන්ධ වුණේ කෙනෙක් දේශපාලනයෙහි හා සමාජයේ සුගතිය සඳහා ක්‍රියාශීලීව දායක විය යුතුයි යන හැඟීම තිබුණ නිසයි.” යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වී දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කිරීමට වුවමනා වූ නිසා නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූ ඔහු, අවංකව දේශපාලනයේ නියැලුණු ජනතාවගේ ප්‍රයත්නයන් අසාර්ථක වූයේ මන්දැයි පැහැදිලි කළේය. “අද පවතින ලෝකය මේ තත්වයට පත් වී තිබෙන්නේ ශිෂ්ටසම්පන්න පුද්ගලයන් වඩාත් හොඳ සමාජ තත්වයන් බිහි කිරීමට වෑයම් දරා නොතිබීම නිසා නොව, ටිකදෙනෙකුගේ අවංක වෑයම යට කර දමන තරමටම බොහෝදෙනෙකුගේ දුෂ්ටකම අබිබවා ගොස් තිබෙන නිසාය.”

මිනිස් වර්ගයා සඳහා තිබෙන එකම සැබෑ බලාපොරොත්තුව ගැන දේශනා කිරීම සඳහා සැබෑ ක්‍රිස්තියානීන් දේශපාලනයට සම්බන්ධ නොවී සිටීම, ප්‍රායෝගික ක්‍රමවලින් අන්‍යයන්ට උපකාර කිරීමට බාධාවක් නොවේ. දෙවිගේ රාජ්‍යයේ යටත්වැසියන් බවට පත්වීමට ඔවුන්ගේ උපකාරය ලබන්නෝ, විනාශකාරී ආකල්ප වෙනස් කරගැනීමට, අධිකාරිත්වයට ගරු කිරීමට, තමන්ගේ පවුල් ජීවිත යහපත් අතට හරවාගැනීමට හා ද්‍රව්‍යමය සැප සම්පත් පිළිබඳ සමබර දෘෂ්ටියක් තබාගැනීමට ඉගෙනගනිති. ඊටත් වඩා වැදගත් දෙයක් වශයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ජනයාට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් භුක්ති විඳීමට උපකාර කරති.

දෙවිගේ රාජ්‍යය පිළිබඳව දේශනා කරන අය, තමන් ගැවසෙන සමාජයට යහපත සලසති. එහෙත්, ඊටත් වඩා ඔවුහු සැබෑ දෙවිට ප්‍රේම කරන සියල්ලන්ට සදහටම සාමය ගෙනෙන්නාවූ සැබෑ ආණ්ඩුවක් කෙරෙහි විශ්වාසය තැබීමට ජනයාට මඟ පෙන්වති. තම මධ්‍යස්ථභාවයේ ප්‍රතිඵලයක් වශයෙන්, අද දින තමන්ට දිය හැකි දිගු කාලීන මෙන්ම ප්‍රායෝගික උපකාර සැපයීමට මෙම ක්‍රිස්තියානීන්ට නිදහස ඇත.

[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දේශපාලනයේ සිට දේවරාජ්‍යය දේශනා කිරීම දක්වා

ළමයෙකුව සිටියදී ආටෙල, විමුක්තිය ලබා දෙන දේවධර්ම ශාස්ත්‍රය පිළිබඳව බ්‍රසීලයේ බෙලෙම්හිදී ඔහු අයත්ව සිටි මීසමේ පූජකයන්ගෙන් ඉගෙනගත්තේය. අවසානයේදී මිනිස් වර්ගයා හිංසා පීඩාවලින් මිදීම ගැන අසන්න ලැබීමෙන් ප්‍රීතියක් ලැබූ ඔහු විප්ලවවාදී ප්‍රජාවකට හවුල් විය. එමෙන්ම විරෝධතා පෙළපාළි සහ විප්ලවවාදී ව්‍යාපාරයන් සංවිධානය කිරීමටද ඔහු එහිදී ඉගෙනගත්තේය.

කෙසේනමුත්, උතුම් ගුරුවරයාට සවන් දීම (සිංහලෙන් නැත) යන පොත ඔහුට ලැබී තිබූ අතර ඔහු එය භාවිත කරමින් එම කණ්ඩායම්වල දරුවන්ට ඉගැන්වීමෙන්ද සතුටක් ලැබුවේය. * යහපත් හැසිරීම හා අධිකාරීන්ට කීකරු වීම ගැන එහි සඳහන් කර තිබිණ. මේ නිසා ආටෙල විමුක්තිය ලබා දෙන දේවධර්ම ශාස්ත්‍රයට අනුබල දෙන්නන් යේසුස්ගේ උසස් සදාචාර ප්‍රමිති අනුගමනය නොකරන්නේ මන්ද, බලය ලබන සමහරෙකු පීඩිත ජනයාව අමතක කරන්නේ මන්ද කියා කල්පනා කිරීමට පටන්ගත්තේය. ඔහු එම ප්‍රජාවෙන් ඈත් විණ. පසු දිනෙක, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔහුගේ දොරට තට්ටු කළ අතර දෙවිගේ රාජ්‍යය ගැන ඔහුට පැවසුවේය. ඔහු අප්‍රමාදව බයිබලය පාඩම් කරන්න පටන්ගත් අතර මිනිස් වර්ගයාගේ පීඩිත තත්වයට ලැබෙන සැබෑ පිළියමක් ගැනත් ඉගෙනගත්තේය.

මේ කාලයේදීම ආටෙල ආගම සහ දේශපාලනය සම්බන්ධයෙන් වූ කතෝලික සම්මන්ත්‍රණයකට සහභාගි විය. “මේ දෙක එකම කාසියේ දෙපැත්තකි” කියා උපදේශකයා පැහැදිලි කළේය. ඔහු රාජ්‍ය ශාලාවේ රැස්වීමකටත් සහභාගි විය. මොන තරම් වෙනසක්ද! එක් දෙයක් පවසනවා නම්, එහි දුම්පානය කරනවා, මත්පැන් පානය කරනවා හෝ අශික්ෂිත විහිළු කරනවා දකින්න තිබුණේ නැත. ඔවුන්ගේ දේශනා සේවයට හවුල් වීමට ඔහු තීරණයක් ගත් අතර වැඩි කල් නොගොස් ඔහු බව්තීස්ම විය. දුප්පතුන්ගේ ගැටලුවලට එකම සැබෑ විසඳුම විමුක්තිය ලබා දෙන දේවධර්ම ශාස්ත්‍රය නොවන්නේ මන්දැයි දැන් ඔහුට තේරුම්ගත හැකියි.

[පාදසටහන]

^ 15 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

[6වන පිටුවේ පින්තූර]

ක්‍රිස්තියානි දේවසේවකයන්ගේ මධ්‍යස්ථභාවය අන්‍යයන්ට උපකාර කිරීමට බාධාවක් නොවේ