Skip to content

පටුනට යන්න

යෙරෙමියා මෙන් ධෛර්යවත් වන්න

යෙරෙමියා මෙන් ධෛර්යවත් වන්න

යෙරෙමියා මෙන් ධෛර්යවත් වන්න

“යෙහෝවා කෙරෙහි බලා සිටින්න. ශක්තිමත් වන්න. ඔබේ සිත ධෛර්යවත් වේවා. එසේය, යෙහෝවා කෙරෙහි බලා සිටින්න.”—ගීතාවලිය 27:14.

1. යෙහෝවාගේ සාක්ෂිකරුවන් භුක්ති විඳින්නේ කවර මහඟු ආශීර්වාදයද?

යෙහෝවාගේ සාක්ෂිකරුවන් වාසය කරන්නේ ආත්මික පාරාදීසයකයි. (යෙසායා 11:6-9) මෙම ලෝකය ඉමහත් සිත්තැවුල්වලින් පිරී තිබුණද, යෙහෝවා දෙවි සමඟත් එකිනෙකා සමඟත් සමාදානයෙන් සිටින සෙසු ක්‍රිස්තියානීන් සමඟ සාක්ෂිකරුවන් වෙසෙන්නේ අද්විතීය වූ ආත්මික පරිසරයකය. (ගීතාවලිය 29:11; යෙසායා 54:13) ඒ ආත්මික පාරාදීසය තව තවත් වර්ධනය වෙමින් පවතී. මන්ද, ‘මුළු හදවතින්ම දෙවිගේ කැමැත්ත කරන’ සියලුදෙනාම එම වර්ධනයට දායක වන හෙයිනි. (එෆීස 6:6, NW) ඒ කෙසේද? බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමෙන් හා එසේ කිරීමට අනුන්ටද ඉගැන්වීමෙනි. මෙසේ ඉගැන්වීමෙන් එම පාරාදීසයේදී භුක්ති විඳිය හැකි මහඟු ආශීර්වාදවල පංගුකාරයන් වීමට ඔවුහු ඔවුන්ට ඇරයුම් කරති.—මතෙව් 28:19, 20; යොහන් 15:8.

2, 3. සැබෑ ක්‍රිස්තියානීන්ට විඳදරාගැනීමට සිදු වන්නේ කවර දේවල්ද?

2 එහෙත්, ආත්මික පාරාදීසයක ජීවත් වූ පමණින්ම අපට පීඩා ප්‍රශ්නවලින් තොර ජීවිතයක් තිබෙන බව අදහස් නොකරයි. අපට තවමත් අසම්පූර්ණකම් තිබේ. අපි අසනීපවලින් පෙළෙන අතර, මහලු වන්නෙමු. අවසානයේදී මරණයටද මුහුණ දෙමු. එපමණක්ද නොව, “අන්තිම දවස්” ගැන ලියවී ඇති අනාවැකි අපගේ ඇස් පනාපිටම ඉටු වන අන්දමද දකින්නෙමු. (2 තිමෝති 3:1) යුද්ධ, අපරාධ, අසනීප, සාගත සහ වෙනත් බරපතළ දුෂ්කරතා මුළු මිනිස් වර්ගයාටම ඉමහත් පීඩාවක් වී තිබේ. එම පීඩා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ටද බලපායි.—මාර්ක් 13:3-10; ලූක් 21:10, 11.

3 මීට අමතරව, අපගේ ආත්මික පාරාදීසය තුළ තිබෙන උණුසුම් වාතාවරණය වෙතට පිටත තිබෙන ලෝකය වෙතින් විරුද්ධවාදිකම් නමැති දැඩි, ශීත සුළං හමයි. යේසුස් තම අනුගාමිකයන්ට අනතුරු ඇඟෙව්වේ මෙලෙසය. “ඔබ ලෝකයේ කොටසක් නොවන නිසාත්, මා ඔබව ලෝකයෙන් වෙන් කොට තෝරාගෙන තිබෙන නිසාත්, ලෝකය ඔබට වෛර කරන්නේය. දාසයෙකු තම ස්වාමියාට වඩා උතුම් නොවේයයි මා ඔබට පැවසූ වචනය මතක තබාගන්න. ඔවුන් මට පීඩා කළා නම්, ඔවුහු ඔබටත් පීඩා කරන්නෝය.” (යොහන් 15:18-21, NW) ඒ හා සමාන තත්වයක් අද දිනද පවතී. නමස්කාරයේදී අප අනුගමනය කරන පිළිවෙත තේරුම්ගැනීමට හෝ අගය කිරීමට වැඩිදෙනාට තවමත් නොහැකි වී තිබේ. ඇතැම්හු අපව විවේචනයට හෝ සරදමට ලක් කරති. එසේ නැතහොත් යේසුස් පැවසුවාක් මෙන් සමහරු අපට වෛර කරති. (මතෙව් 10:22) බොහෝවිට අප ගැන ජනමාධ්‍යය තුළින් වැරදි තොරතුරු හා ද්වේෂසහගත බොරු ප්‍රචාරය කෙරේ. (ගීතාවලිය 109:1-3) ඔව්, අපි සැවොම යම් යම් අභියෝගයන්වලට මුහුණ දෙන්නෙමු. ප්‍රතිඵලයක් ලෙස අපගෙන් සමහරෙකුට අධෛර්යයට පත් වී ඇති බවක් හැඟෙන්නට පුළුවන. අපට මේ සියල්ල විඳදරාගත හැක්කේ කෙලෙසද?

4. විඳදරාගැනීම සඳහා අවශ්‍ය උපකාරය අප ලබාගන්නේ කොහෙන්ද?

4 අපගේ උපකාරයට සිටින්නේ යෙහෝවාය. ගීතිකාකරු දේවානුභාවයෙන් මෙලෙස ලීවේය. “ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නමුත් යෙහෝවා ඒ සියල්ලෙන් ඔහු ගලවන්නේය.” (ගීතාවලිය 34:19; 1 කොරින්ති 10:13) අප යෙහෝවා කෙරෙහි පූර්ණ විශ්වාසය තබන විට ඕනෑම දුෂ්කරතාවක් විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය ඔහු සපයන බව අපගෙන් බොහෝදෙනෙකු අද්දැක තිබේ. අධෛර්යය වීම හා බිය අබිබවමින් ජයගැනීමට අපට උපකාරවත් වන්නේ ඔහු කෙරෙහි අපට ඇති ප්‍රේමය හා අප ඉදිරියේ තබා තිබෙන ප්‍රීතිමත් අපේක්ෂාවයි. (හෙබ්‍රෙව් 12:2) ප්‍රතිඵලයක් ලෙස දුෂ්කරතා හමුවේ වුවත් අපි දිගටම ස්ථිරව සිටින්නෙමු.

දෙවිගේ වචනය යෙරෙමියාව ශක්තිමත් කළේය

5, 6. (අ) විඳදරාගැනීමට සමත් වූ සැබෑ නමස්කාරකයන් පිළිබඳව උදාහරණ සඳහන් කරන්න. (ආ) අනාගතවක්තෘවරයෙකු වීමට කැඳවූ විට යෙරෙමියා ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

5 ඉතිහාසය පුරාම යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයෝ අසීරු තත්වයන්ට මුහුණ දුන්නත් ප්‍රීතිය අද්දුටූහ. ඉන් සමහරෙකු ජීවත් වූයේ යෙහෝවා අවිශ්වාසවන්ත අය කෙරෙහි තම උදහස විනිශ්චයක් තුළින් ප්‍රකාශ කළ කාලවලය. එවන් විශ්වාසවන්ත නමස්කාරකයන් අතර යෙරෙමියාද, ඔහුගේ සමකාලීනයන් කිහිපදෙනෙකුද මුල් සියවසේ විසූ ක්‍රිස්තියානීන්ද විය. ඉතිහාසයේ සඳහන් මෙම උදාහරණ බයිබලයේ වාර්තා කර තිබෙන්නේ අපව දිරිගැන්වීම සඳහාය. ඒවා අධ්‍යයනය කිරීමෙන් අපට බොහෝ දෑ උගත හැක. (රෝම 15:4) නිදසුනකට, යෙරෙමියාව සලකා බලන්න.

6 යෙරෙමියාව යූදාහි අනාගතවක්තෘවරයෙකු ලෙස සේවය කිරීමට කැඳවූ විට ඔහු සිටියේ තරුණ වියේය. මෙය පහසු පැවරුමක් නම් නොවීය. බොහෝදෙනෙක් බොරු දෙවිවරුන්ට වන්දනාමාන කළෝය. යෙරෙමියා තම සේවය පටන්ගත් කාලයේදී යොෂියා රජු විශ්වාසවන්ත රජු කෙනෙකු වුවද, ඔහුගෙන් පසුව සිහසුන හිමි කරගත් සියලුම රජවරු අවිශ්වාසවන්ත වූහ. ජනයාව දැනුවත් කිරීමේ වගකීම භාරව සිටි අනාගතවක්තෘවරුන්ගෙන් හා පූජකයන්ගෙන් වැඩිදෙනෙක් සත්‍යයට පක්ෂව නොසිටියෝය. (යෙරෙමියා 1:1, 2; 6:13; 23:11) එබැවින්, යෙහෝවා යෙරෙමියාව අනාගතවක්තෘවරයෙකු වන්නට කැඳවූ විට ඔහුට හැඟුණේ කෙසේද? ඔහුට ඉමහත් බියක් ඇති විය! (යෙරෙමියා 1:8, 17) තමා මුලින්ම ඊට ප්‍රතිචාරය දැක්වූ ආකාරය යෙරෙමියා මෙසේ සිහිපත් කරයි. “අනේ ස්වාමි වූ යෙහෝවා, මම කතා කරන්ට නොදනිමි. මක්නිසාද මම බාලයෙක්මි” යනුවෙන් ඔහු පැවසුවේය.—යෙරෙමියා 1:6.

7. යෙරෙමියා සේවය කළ ප්‍රදේශයේදී ඔහුට ලැබුණේ කවර ප්‍රතිචාරයක්ද? ඔහු ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙලෙසද?

7 යෙරෙමියා සේවය කළ ප්‍රදේශයේ විසූ ජනයාගෙන් බහුතරයක් හොඳ ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. ඔහු නිතර නිතරම දැඩි විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්නේය. එක් අවස්ථාවකදී, පූජකයෙකු වූ පෂ්හූර් ඔහුට තළා දඬු කඳේ ගැසුවේය. තමාට ඒ මොහොතේදී හැඟුණේ කෙසේදැයි කියා යෙරෙමියා වාර්තා කළේ මෙලෙසය. ‘[යෙහෝවා] ගැන සඳහන් නොකරන්නෙමි. ඔහුගේ නාමයෙන් තවත් කතා නොකරන්නෙමි.’ උත්සාහයන් අත්හැර දැමුවොත් හොඳයි කියා සිතමින් ඔබටත් එවන් සිතුවිලි පහළ වී තිබෙනවා විය හැක. එහෙත් තම උත්සාහය අත් නොහැරීමට යෙරෙමියාට උපකාරවත් වූ දේ සැලකිල්ලට ගන්න. ඔහු මෙසේ පැවසීය. “එය [දෙවිගේ වචනය හෙවත් පණිවිඩය] මාගේ ඇට තුළේ වැසී ඇවිළෙන ගින්නක් මෙන් මාගේ සිත තුළ තිබේ. දරන්ට මා වෙහෙසෙන නමුත් මට බැරිය.” (යෙරෙමියා 20:9) දෙවිගේ වචන ඔබටත් එලෙස බලපාන්නේද?

යෙරෙමියාගේ ආශ්‍රිතයෝ

8, 9. (අ) උරියා නම් අනාගතවක්තෘ තුළ දක්නට තිබුණේ කවර දුර්වලකමද? ඉන් ඇති වූ ප්‍රතිඵලය කුමක්ද? (ආ) බාරුක් අධෛර්යයට පත් වූයේ මන්ද? ඔහුට උපකාර ලැබුණේ කෙලෙසද?

8 අනාවැකි පළ කිරීමේ තම කාර්යයේදී යෙරෙමියා තනිව සිටියේ නැත. ඔහු සමඟ ඇසුරු කළ අය සිටි අතර, එයින් ඔහු යම් දිරිගැන්වීමක් ලබන්නට ඇත. එනමුත් සමහර අවස්ථාවලදී ඔහු සමඟ ඇසුරු කළ අය ඥානවන්තව ක්‍රියා නොකළෝය. නිදසුනකට, “යෙරෙමියාගේ සියලු වචනවල හැටියට” උරියා නම් වූ සෙසු අනාගතවක්තෘවරයෙක් යෙරුසලමට හා යූදා දේශයට විරුද්ධව කඩිසර ලෙස අනතුරු ඇඟවීම් කළේය. එනමුත්, උරියාව මරන ලෙසට නියෝගයක් යෙහෝයාකිම් රජුගෙන් නිකුත් වූ විට, එම අනාගතවක්තෘ බියෙන් ඊජිප්තුවට පලා ගියේය. කෙසේවෙතත්, මෙම පියවරෙන් ඔහුගේ දිවි ගලවාගත නොහැකි විය. රජුගේ මනුෂ්‍යයෝ ඔහු පසුපස ලුහුබැඳ ඔහුව අල්ලාගෙන ඔහුව ආපසු යෙරුසලමට ගෙනාවෝය. එහිදී ඔහුව මරා දමන ලදි. මෙයින් යෙරෙමියා මොන තරම් කම්පනයට පත් වන්නට ඇද්ද!—යෙරෙමියා 26:20-23.

9 යෙරෙමියා ඇසුරු කළ තවත් අයෙකි ඔහුගේ ලේකම් වූ බාරුක්. බාරුක් යෙරෙමියාට කදිම ආකාරයකින් අත හිත දුන්නද එක්තරා අවස්ථාවකදී ඔහුගේද ආත්මික දෘෂ්ටිය බොඳ වී ගියේය. ඔහු මැසිවිලි නඟමින් මෙසේ පැවසීය. “අහෝ මට දැන් දුක් වේ! යෙහෝවා මාගේ වේදනාවට ශෝකය එකතු කළේය. මාගේ සුසුම්ලෑමෙන් වෙහෙසව සිටිමි. සහනයක් මට ලැබී නැත.” අධෛර්යයට පත් වූ බාරුක්ට, ආත්මික දේවල් සඳහා තිබූ අගය නැති වෙන්නට පටන්ගත්තේය. එසේ වුවත්, යෙහෝවා කාරුණිකව බාරුක්ට නැණවත් උපදෙස් ටිකක් දුන්නේය. ප්‍රතිඵලයක් ලෙස ඔහු පියවි සිහියට පැමිණියේය. ඉන් අනතුරුව ඔහුගේ බිය සැක දුරු කරමින් ඔහුට පොරොන්දු වූයේ යෙරුසලමේ විනාශයෙන් ඔහු බේරෙන බවය. (යෙරෙමියා 45:1-5) බාරුක් යළිත් තම ආත්මික සමබරතාව පවත්වාගන්න සමත් වූ විට යෙරෙමියාට මොන තරම් ධෛර්යයක් ඇති වන්නට ඇද්ද!

යෙහෝවා තම අනාගතවක්තෘට උපකාර කළේය

10. උපකාර ලබා දෙන බව කියමින් යෙහෝවා යෙරෙමියාට දුන්නේ කවර පොරොන්දුද?

10 වැදගත්ම දෙය වූයේ යෙහෝවා යෙරෙමියාව අත් නොහැරීමයි. ඔහු තම අනාගතවක්තෘගේ හැඟීම් තේරුම්ගත් අතර, අවශ්‍ය වූ ශක්තිය හා උපකාරය ලබා දුන්නේය. නිදසුනකට, තම සේවය ආරම්භ කළ අවදියේ යෙරෙමියාට තම සුදුසුකම් ගැන යම් සැකයන් තිබිණ. එවිට යෙහෝවා ඔහුට පැවසුවේ මෙයයි. “ඔවුන්ට භය නොවන්න. මක්නිසාද ඔබ ගලවන්ට මම ඔබ සමඟ සිටිමියි යෙහෝවා කියන්නේය.” ඉන් අනතුරුව තම අනාගතවක්තෘට ඔහුගේ පැවරුම ගැන තොරතුරු සැපයීමෙන් පසු යෙහෝවා මෙසේ පැවසීය. “ඔවුහු ඔබට විරුද්ධව යුද්ධ කරන්නෝය. නමුත් ඔබෙන් ජය ගන්ට ඔවුන්ට බැරි වන්නේය. මක්නිසාද ඔබ ගලවන්ට මම ඔබ සමඟ සිටිමියි යෙහෝවා කියන්නේය.” (යෙරෙමියා 1:8, 19) එම වදන් මොන තරම් අස්වැසිල්ලක් වන්නට ඇද්ද! එපමණක්ද නොව, යෙහෝවා එම වචනවලට එකඟව විශ්වාසවන්තව ක්‍රියා කළේය.

11. යෙහෝවා යෙරෙමියාට උපකාර කරන බවට දුන් පොරොන්දුව ඔහු ඉටු කළ බව අප දන්නේ කෙසේද?

11 ප්‍රතිඵලයක් ලෙස, යෙරෙමියා දඬු කඳේ ගසා සිටියදී ප්‍රසිද්ධියේ ජනතාවගේ කවටකම්වලට ලක් වුවද ඔහු නිසැකකමකින් යුතුව මෙසේ පැවසීය. “යෙහෝවා භයානක වූ බලවන්තයෙකු මෙන් මා සමඟ සිටියේය. එබැවින් මාගේ පීඩාකාරයෝ පැකිලෙන්නෝය, ජය නොගන්නෝය. ඔවුහු . . . බොහෝ සෙයින් ලජ්ජාවට පැමිණෙන්නෝය.” (යෙරෙමියා 20:11) පසු කාලයකදී යෙරෙමියාව මරා දැමීමට ඇතැම් අය තැත් කළ අවස්ථාවලදී යෙහෝවා ඔහු සමඟ දිගටම සිටියේය. තවද බාරුක් මෙන්, යෙරෙමියාද නිර්දාසයෙකු ලෙස යෙරුසලමේ විනාශයෙන් බේරී ජීවත් විය. ඊට වෙනස්ව ඔහුට පීඩා කළ අයද ඔහුගේ අනතුරු ඇඟවීම් නොසලකාහැරිය අයද මිය ගියෝය. එසේ නැතහොත් ඔවුන්ව වහලුන් ලෙස බැබිලෝනියට ගෙන යන ලදි.

12. අධෛර්යයට පත්වීමට හොඳ හේතු තිබුණද, අප සිතේ තබාගත යුත්තේ කුමක්ද?

12 යෙරෙමියාට සමානව යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් අද දින නොයෙකුත් පීඩා හිරිහැර විඳදරාගෙන සිටිති. කලින් සඳහන් කළ පරිද්දෙන් ඒවායින් සමහරක් අපගේම අසම්පූර්ණකම් නිසා ඇති වේ. තවත් ඒවා මේ ලෝකයේ පවතින මහත් වියවුල හේතුවෙන් ඇති වේ. වෙනත් පීඩා හිරිහැර අපට අත් වන්නේ අප කරන සේවයට විරුද්ධ වන අයගෙනි. ඇත්තවශයෙන්ම, මෙවන් දේවලින් අප අධෛර්යයට පත් විය හැක. ඇතැම්විට, යෙරෙමියා කල්පනා කළා සේ අපගේ සේවය දිගටම කරන්නට පුළුවන් වේවිද යන්න ගැන අපද සැක කිරීමට පටන්ගත හැක. ඇත්තෙන්ම විටින් විට අධෛර්යය වීම් අපට අපේක්ෂා කළ හැක. අප අධෛර්යයට පත් වන විට අප යෙහෝවාට කොතරම් ගැඹුරින් ප්‍රේම කරනවාද යන්න පරීක්ෂාවට ලක් කෙරේ. එමනිසා උරියාට සමාන නොවී, අධෛර්යයට පත්වීම නිසා යෙහෝවාට සේවය කිරීම අත් නොහැරීමට අදිටන් කරගනිමු. ඒ වෙනුවට යෙරෙමියාව අනුකරණය කරමින් යෙහෝවා උපකාරය දෙයි කියා නිසැක වෙමු.

අධෛර්යයට පත් නොවී සිටීම සඳහා සටන් වැදිය හැකි අයුරු

13. අපට යෙරෙමියාගේ හා දාවිත්ගේ ආදර්ශ අනුගමනය කළ හැක්කේ කෙලෙසද?

13 යෙරෙමියා යෙහෝවා දෙවිට නිතරම කතා කළේය. එම අවස්ථාවලදී තම ඇතුළාන්ත හැඟීම් හෙළි කරමින් ඔහු දෙවිගෙන් අයැද සිටියේ තමාට ශක්තිය දෙන ලෙසය. මෙය, අනුගමනය කිරීම සඳහා කදිම ආදර්ශයකි. ශක්තිය සඳහා දෙවි දෙසටම යොමු වූ පුරාණයේ විසූ දාවිත් මෙසේ ලීවේය. “යෙහෝවා, මාගේ වචනවලට කන් යොමු කර, මාගේ භාවනාව [සුසුම්ලෑම, NW] සැලකුව මැනව. මාගේ රජ්ජුරුවෙනි, මාගේ දෙවි, ඔබට යාච්ඤා කරමි. මාගේ හඬගැසීමේ ශබ්දයට ඇහුම්කන් දුන මැනව.” (ගීතාවලිය 5:1, 2) දාවිත්ගේ ජීවිතය ගැන ලියවී ඇති දේවානුභාවය ලත් වාර්තාවෙන් තහවුරු වන්නේ දාවිත් උපකාර ඉල්ලා කළ යාච්ඤාවලට යෙහෝවා යළි යළිත් ප්‍රතිචාරය දැක්වූ බවය. (ගීතාවලිය 18:1, 2; 21:1-5) ඒ හා සමානව, අපට දැනෙන පීඩන දරාගැනීමට අසීරු වන අවස්ථාවලදී හෝ අප මුහුණ දෙන ගැටලු උසුලන්නට අමාරු වන අවස්ථාවලදී හෝ යෙහෝවාට යාච්ඤා කිරීමෙන් ඔහු වෙතට හැරී අපගේ සිත් ඔහු ඉදිරියේ වැගිරවීම අපට ඉමහත් සැනසිල්ලක් වේ. (පිලිප්පි 4:6, 7; 1 තෙසලෝනික 5:16-18) යෙහෝවා අපට සවන් දෙන්නට කැමැත්තෙන් සිටියි. ‘ඔහු අප ගැන සලකන’ බව අපහට සහතික කරයි. (1 පේතෘස් 5:6, 7) එහෙත්, යෙහෝවාට යාච්ඤා කළායින් පසුව, ඔහු කියන දේට සවන් නොදී සිටීම සාධාරණ දෙයක්ද?

14. යෙහෝවාගේ වචන යෙරෙමියාට බලපෑවේ කෙලෙසද?

14 යෙහෝවා අපට කතා කරන්නේ කෙසේද? යෙහෝවා යෙරෙමියාට කතා කළ අයුරු නැවතත් සලකා බලන්න. යෙරෙමියා අනාගතවක්තෘවරයෙකු වූ නිසා යෙහෝවා කෙළින්ම ඔහු සමඟ කතා කළේය. දෙවිගේ වචන තම සිතට බලපෑ අන්දම යෙරෙමියා විස්තර කරන්නේ මෙලෙසය. “ඔබගේ වචන සම්බ වූ විට මම ඒවා කෑවෙමි. ඔබගේ වචන මට ප්‍රීතියක් සහ සිතට සතුටක් විය. මක්නිසාද, සේනාවල දෙවි වූ යෙහෝවා ඔබගේ නාමය මා කෙරෙහි කියනු ලැබේ.” (යෙරෙමියා 15:16) එම නාමය දැරීමෙන් යෙරෙමියා ඉමහත් ප්‍රීතියක් ලැබූ අතර, දෙවිගේ වචන ඔහු සැලකුවේ අනර්ඝ දෙයක් ලෙසය. මේ අනුව බලන කල පෙනී යන්නේ, ප්‍රේරිත පාවුල්ට සමානව යෙරෙමියාටද තමාට භාර දී තිබුණු පණිවිඩය ප්‍රකාශ කිරීමට මහත් ඕනෑකමක් තිබූ බවය.—රෝම 1:15, 16, NW.

15. යෙහෝවාගේ වචන අපගේ සිත් තුළ පැලපදියම් කරගත හැක්කේ කෙලෙසද? නිහඬව නොසිටීම සඳහා අදිටන් කරගැනීමට කවර දේවල් සලකා බැලීම අපට උපකාරවත් වේද?

15 යෙහෝවා අද දින කිසිම කෙනෙකු සමඟ කෙළින්ම කතා කරන්නේ නැත. එහෙත්, දෙවිගේ වදන් අපට ඇසෙන්නේ බයිබලයේ පිටු තුළිනි. එමනිසා අප බයිබලය අධ්‍යයනය කිරීමේ මහත් උනන්දුවකින් යුතුව නිරත වෙමින්, අප ඉගෙනගන්නා දේවල් ගැන ගැඹුරින් මෙනෙහි කරනවා නම්, දෙවිගේ වචන අපටත් “ප්‍රීතියක් සහ සිතට සතුටක්” ගෙන දෙන බව නොඅනුමානය. තවද, අනුන් සමඟ දෙවිගේ වචන බෙදාගැනීමට යන විට අප යෙහෝවාගේ නාමය දරනවා යන කාරණයෙන්ද ඉමහත් ප්‍රීතියක් ලබාගත හැක. යෙහෝවාගේ නාමය ප්‍රකාශ කරන වෙනත් කිසිදු සෙනඟක් ලෝකයේ නැති බව අපි කිසිදාක අමතක නොකරමු. දැනටමත් පිහිටුවා ඇති දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ගැන දැනුවත් කරන්නේ ඔහුගේ සාක්ෂිකරුවන් පමණි. යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් වීමට මොළොක් ගුණැති අයට උගන්වන්නේද ඔවුන් පමණි. (මතෙව් 28:19, 20) එය අපහට මොන තරම් ආශීර්වාදයක්ද! යෙහෝවා අපට ප්‍රේමණීයව භාර දී ඇති මෙම කාර්යය ගැන සිතද්දී අපට නිහඬව සිටිය හැකිද?

අපි අපගේ ආශ්‍රිතයන් ගැන සෝදිසියෙන් සිටිමු

16, 17. ආශ්‍රිතයන් සම්බන්ධයෙන් යෙරෙමියා දැරුවේ කවර ආකල්පයක්ද? අපට ඔහුව අනුකරණය කළ හැක්කේ කෙලෙසද?

16 තමාට ධෛර්යවත්ව සිටීමට උපකාර කළ තවත් දෙයක් යෙරෙමියා සඳහන් කරයි. ඔහු පැවසුවේ මෙසේය. “මමද සිනාසෙන්නන්ගේ සභාවෙහි හිඳගෙන ප්‍රීති නොවීමි. ඔබගේ හස්තය නිසා තනියම හිඳගතිමි. මක්නිසාද ඔබ කෝපයෙන් මා පිරෙව්වේය.” (යෙරෙමියා 15:17) නරක ආශ්‍රිතයන්ගේ දූෂිත බලපෑමට හසු වනවා වෙනුවට තනිව සිටීමට වුවද යෙරෙමියා කැමැත්තක් දැක්වීය. අපට තිබෙන්නෙත් එවැනිම ආකල්පයකි. වසර ගණනාවක් තිස්සේ අපට තිබුණාවූ හොඳ පුරුදු පවා “නරක ආශ්‍රයෙන් . . . නැති වන්නේය” යන ප්‍රේරිත පාවුල්ගේ අනතුරු ඇඟවීම අපි කිසිදාක අමතක නොකරමු.—1 කොරින්ති 15:33, NW.

17 නරක ආශ්‍රය තුළින්, අප සිතන අන්දම දූෂණය කිරීමට ලෝකයේ ආත්මයට අවකාශය ලැබේ. (1 කොරින්ති 2:12; එපීස 2:2; යාකොබ් 4:4) එබැවින්, හානිකර ආශ්‍රය යනු කුමක්දැයි හඳුනාගැනීමට අපි අපගේ වටහාගැනීමේ හැකියාව පුහුණු කරගෙන, එයින් සම්පූර්ණයෙන්ම ඈත් වී සිටිමු. (හෙබ්‍රෙව් 5:14, NW) පාවුල් අද දින අප සමඟ සිටිනවායයි සිතන්න. දුරාචාරමය හෝ ප්‍රචණ්ඩකාරී චිත්‍රපටි එසේ නැතහොත් දරුණු ක්‍රීඩා නරඹන ක්‍රිස්තියානියෙකුට ඔහු කුමක් පවසයි කියාද ඔබ සිතන්නේ? අන්තර්ජාලය ඇසුරෙන්, තමන් කොහෙත්ම හඳුනන්නේ නැති අය සමඟ මිත්‍රත්වයන් ඇති කරගන්නා සහෝදරයෙකුට ඔහු කවර උපදෙසක් දෙයිද? එසේ නැතහොත් පුරුද්දක් ලෙස පෞද්ගලික පාඩමෙහි යෙදෙනවාට වඩා, පැය ගණනාවක් තිස්සේ වීඩියෝ ක්‍රීඩා සෙල්ලම් කරමින් හෝ රූපවාහිනිය නරඹමින් සිටින ක්‍රිස්තියානියෙකු ගැන ඔහුට කවර හැඟීමක් ඇති වෙයිද?—2 කොරින්ති 6:14ආ; එපීස 5:3-5, 15, 16.

ආත්මික පාරාදීසයෙහි දිගටම රැඳී සිටින්න

18. ආත්මිකව ශක්තිමත්ව සිටීම සඳහා අපට උපකාරවත් වන්නේ මොනවාද?

18 අප සතු ආත්මික පාරාදීසය අප සලකන්නේ වටිනා වස්තුවක් ලෙසයි. වත්මන් ලෝකය තුළ ඒ හා සැසඳිය හැකි කිසිම දෙයක් නොමැත. ක්‍රිස්තියානීන් එකිනෙකා කෙරෙහි ප්‍රේමය, සැලකිල්ල හා කරුණාව (ගුණවත්කම) දැක්වීම ගැන නොඇදහිලිකාරයන් පවා ප්‍රශංසාව පළ කර ඇත. (එපීස 4:31, 32) කෙසේවෙතත්, වෙන කිසිම දාකට වඩා දැන් අප අධෛර්යයට පත් නොවී සිටීම සඳහා සටන් වැදිය යුතුය. දිගටම ආත්මිකව ශක්තිමත්ව සිටීම සඳහා අපට උපකාරවත් වන්නේ යහපත් ආශ්‍රය, යාච්ඤාව සහ බයිබල් අධ්‍යයනයේදී හොඳ පුරුදු ඇති කරගැනීමයි. එමගින්, යෙහෝවා කෙරෙහි පූර්ණ නිසැකකමකින් යුතුව ඕනෑම පරීක්ෂාවකට මුහුණ දීමට අප ශක්තිමත් වනවා ඇත.—2 කොරින්ති 4:7, 8.

19, 20. (අ) විඳදරාගෙන සිටින්නට අපට කුමක් උපකාරවත් වේවිද? (ආ) ඊළඟ ලිපියෙන් අවධානය යොමු කෙරෙන්නේ කවුරුන් වෙතටද? එමෙන්ම එහි තොරතුරු වෙන කාට ප්‍රයෝජනවත් වේවිද?

19 අප බයිබලයෙන් ඉදිරිපත් කරන පණිවිඩයට වෛර කරන අයගේ තර්ජනවලට අපව බියගන්වන්නට හෝ අපගේ ඇදහිල්ල දුර්වල කිරීමට හෝ අප කිසි විටකත් ඉඩ නොදිය යුතුය. යෙරෙමියාට පීඩා කළ සතුරන් සේ, අපට විරුද්ධව සටන් කරන අයද සටන් කරමින් සිටින්නේ දෙවිට විරුද්ධවයි. ඔවුන් ජයගන්නේ නැත. අපගේ විරුද්ධවාදීන්ට වඩා බෙහෙවින් ශක්තිමත් වූ යෙහෝවා අපට මෙසේ පවසයි. “යෙහෝවා කෙරෙහි බලා සිටින්න. ශක්තිමත් වන්න. ඔබේ සිත ධෛර්යවත් වේවා. එසේය, යෙහෝවා කෙරෙහි බලා සිටින්න.” (ගීතාවලිය 27:14) යෙහෝවා කෙරෙහි බලා සිටින ආකල්පයක් අපගේ සිත් තුළ ගැඹුරින් කාවද්දවාගෙන, යහපත කිරීම අත් නොහැරීමට අදිටන් කරගනිමු. විඩාවට පත්ව හෙම්බත් නොවී සිටින්නේ නම් ප්‍රතිඵල නෙළාගත හැකි බවට යෙරෙමියා හා බාරුක් මෙන් අපිද නිසැක වෙමු.—ගලාති 6:9, NW.

20 ක්‍රිස්තියානීන්ගෙන් බොහෝදෙනෙකුට අධෛර්යයට පත් නොවී සිටීම සඳහා නිරන්තර සටනක යෙදිය යුතු වේ. එහෙත් තරුණ තරුණියන්හට විශේෂ අභියෝගයන් ඇත. එනමුත් ඔවුන්ට මහඟු ප්‍රස්තාද ඒත් සමඟම විවෘතව පවතී. ඊළඟ ලිපියෙන් අවධානය යොමු කෙරෙන්නේ අප අතර සිටින තරුණ තරුණියන් වෙතටයි. එහි තොරතුරු දෙමාපියන්ටද, සභාවේ සිටින කැප වූ වැඩිහිටියන්ටද ප්‍රයෝජනවත් වනවා නිසැකයි. මන්දයත් වචනයෙන්, ආදර්ශයෙන් හා ඍජුව සහයෝගය දැක්වීමෙන් සභාවේ සිටින යෞවන යෞවනියන්ට උපකාර කරන්නට හැකියාවක් ඔවුන්ට තිබෙන බැවිනි.

ඔබේ පිළිතුරු මොනවාද?

• අධෛර්යය කරවන තත්වයන් අපට අපේක්ෂා කළ හැක්කේ මන්ද? උපකාරය සඳහා අප හැරිය යුත්තේ කා වෙතටද?

• යෙරෙමියාට දුෂ්කර පැවරුමක් තිබුණද, ඔහු අධෛර්යයට පත් නොවී සිටියේ කෙලෙසද?

• දුෂ්කරතා මධ්‍යයෙහි වුවත් අපගේ සිතට ‘ප්‍රීතියක් හා සතුටක්’ දැනෙන්නට කුමක් ඉවහල් විය හැකිද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය]

අනාගතවක්තෘවරයෙකු වීමට තමා බාල වැඩි බවත්, තමාට අද්දැකීම් මදි බවත් යෙරෙමියාට සිතිණ

[10වන පිටුවේ පින්තූරය]

යෙරෙමියා පීඩාවට ලක් වෙමින් සිටියත් යෙහෝවා තමා සමඟ “භයානක වූ බලවන්තයෙකු මෙන් සිටි” බව ඔහු දැන සිටියේය